බී. ඇල් .බෝධිපාල සූරීන් ලියා එච්. ඒ. ලෝරන්ස් පෙරේරා ගැයූ

”සිරි ගණ මහ මුනි” ගීතය
මැයි 14, 2020

සිංහල නෘත්‍යයේ ක‍්‍රම විකාශනය සලකා බලන කල, ”නූර්ති” වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බලිවාලා නාට්‍ය කණ්ඩායමේ අභාසය ලදුව ඇරඹි සිංහල නූර්තියෙහි පුරෝගාමීන් වන සී. දොන් බස්තියන්, නීතීඥ ජෝන් ද සිල්වා, ආර්. ජෝන් පෙරේරා, නීතීඥ චාර්ල්ස් ඩයස් අමරතුංග ආදී මහත්මාවරුන් ගැන ඔබ බොහෝදෙනා අසා ඇතුවාට සැක නැත. එම යුගයේ මෙරට සිටි ටවර්හෝල් හි ”කොළඹ ආර්ය සිංහල නාට්‍ය සභාවෙහි” කීර්තිමත් චරිතයක් වූ ”බී. ඇල්. බෝධිපාල” නම් ශේෂ්ඨ නාටක කතුවරයා සහ ගීත රචකයා පිළිබඳ ඔබ සමහරවිට අසා නොතිතිබෙන්නට පුළුවන. අද මා මෙම ලිපියෙන් සංක්ෂේප කරන්නේ බී. ඇල්. බෝධිපාල සූරීන් විසින් 1927 වර්ෂයේ දී රචනා කරන ලදුව, ටවර්හෝල් හි සුප‍්‍රසිද්ධ නළුවෙකු සහ ගායකයෙකු වූ එච්.ඒ. ලෝරන්ස් පෙරේරා මහතාණන් විසින් ගායනා කරන ලද ”සිරි ගණ මහ මුණි” යන සුප‍්‍රසිද්ධ ගීතයේ විස්තරයයි.


ක‍්‍රිස්තු වර්ෂ 1873 රත්නපුර දිස්ත‍්‍රික්කයේ උපත ලද, ”බටුගෙදර අප්පුහාමිලාගේ ලත්සිංහ බෝධිපාල” නම් මෙතුමා සිංහල, පාලි, සංස්කෘත සහ ඉංගිරිසි ආදී භාෂා පිළිබඳ මනා නිපුණත්වයක් ලබා ගත්තෙකි. කොළඹ පිටකොටුවේ ”දොන් අමාරිස් සහ සමාගමේ” ලිපිකරුවෙකු ලෙස සේවයට බැඳෙන මෙතුමා වර්ෂ 1905-1912 අතර කාලයේ නීතීඥ ජෝන් ද සිල්වා මහතාගේ ආර්ය සුබෝධ නාට්‍ය ශාලාවේත්, වර්ෂ 1918-1922 අතර කාලයේ ජේ.පීටර් සිල්වා මහතාගේ විපුල ජන රංග නාට්‍ය සභාවේත්, වර්ෂ 1924-1930 අතර කාලයේ ටවර්හෝල් හි ආර්ය සිංහල නාට්‍ය සභාවේත්, නාටක කතුවරයෙකු ලෙසත් ඉතා අමිල මෙහෙවරක් සිංහල නාටකයේ උන්නතිය උදෙසා ඉටුකර තිබේ. මෙතුමා විසින් විරචිත සුප‍්‍රසිද්ධ නාටක අතුරින්, කල්‍යාණවතී (1903), සිංහබා සහ මහිලා (1908), කණිෂ්ක චක‍්‍රවර්තී චරිතය (1919), මහා විජයබාහු චරිතය (1919), කුවේණි චරිතය (1920), සංසාර චක‍්‍රය (1922), පද්මනාථ (1924), ලලිතා (1925), සුවිනීත භාර්යා (1926), දුෂ්ට නීතීඥයා (1927), ශ‍්‍රී දේව (1928), ඝෝෂක චරිතය (1929) ආදී නාට්‍ය රාශියක් වෙත්. මෙම නාටක වල ගීත බොහොමයක් එවකට ශබ්දවාහිනී තැටි මගින් ශ‍්‍රාවකයන් වෙත සම්පේ‍්‍රෂණය කිරීම හේතුවෙන්, එතුමාගේ නාටකයන් හි ගීත තව තවත් ජනප‍්‍රිය භාවයට පත් විය. එවකට ටවර්හෝල් හි ආර්ය සිංහල නාට්‍ය සභාවේ ජනකාන්ත නළුවෙකු සහ ජනප‍්‍රිය ග‍්‍රැමොෆෝන් ගායකයෙක් වූ රොමියුලස් ද සිල්වා මහතා පළමු වරට, එනම් 1927 වර්ෂයේ ග‍්‍රැමොෆෝන් තැටියකට (ජර්මනියෙහි නිෂ්පාදිත ධෘෑධභ ලේබලයට) ගැයූ, ”මුතු ඇටයකි ඉන්දීය සාගරයේ මනෝරම්‍ය ලංකා” නම් ගීතය රචනා කොට, පුහුණු කළේ ද බී. ඇල්. බෝධිපාල මහතා විසිනි. රොමියුලස් ද සිල්වා, විල්බට් පෙරේරා, ගම්පහ පර්ල් දසනායක, ලක්ෂ්මි බායි ආදී වූ ජනප‍්‍රිය ටවර්හෝල් ගායක ගායිකාවන් මුල්වරට ගීත තැටිගත කළේ මෙතුමාගේ ගීත රචනා වලට ය.

ජර්මනියෙහි නිෂ්පාදිත ODEON (1920-29) සහ PARLOPHON (1927-30) ග‍්‍රමොෆෝන් ගීත තැටි ලේබල සඳහා බෝධිපාල මහතා විසින් විරචිත බොහෝ නුර්ති ගීත අන්තර්ගත විය. ඒ අතුරින් PARLOPHON ලේබලයට ලක්ෂ්මි බායි විසින් 1930 දී තැටිගත කළ ”මා හිමියා පුරුෂා” (”පද්මනාථ” නූර්තිය), ”ප‍්‍රාර්ථනා මා සිඳු වී” (”සුවිනීත භාර්‍යා” නූර්තිය), පර්ල් දසනායක විසින් 1930 තැටිගත කළ ”මරා දා ගියත් මා” (”දුෂ්ට නීතීඥයා” නූර්තිය), සහ පොඩිඅප්පුහාමි මහතා විසින් තැටිගත කළ ”සූර්යාකාන්තා” (”පද්මනාථ” නූර්තිය) ආදිය බෝධිපාල මහතාගේ ජනප‍්‍රිය නාටක අතුරින් ග‍්‍රැමොෆෝන් ලේබලයට නැගුණු ජනප‍්‍රිය ගීත ගායනාවන් ය. එසේම, ඇතැම් PARLOPHON ගීත තැටි ලේබල වල පමණක් “B'L'B“යන අකුරු ත‍්‍රිත්වය මුද්‍රණය කර, එම ගීත බි. ඇල්. බෝධිපාල මහතා විසින් රචනා කරනලද ඒවා බව ප‍්‍රකාශයට පත් කර තිබේ. නමුත්, එම යුගයේ සහ ඉන් පසුව නිකුත් වුණු බොහොමයක් ග‍්‍රැමොෆෝන් ගීත තැටිවල ගීත රචකයා ගේ නාමය සඳහන් කර නොතිබීම නිසා එම ගීත රචනා වල නියම කර්තෘත්වය සොයා ගැනීමේ දුෂ්කරතාවය ඉස්මතු කරවයි.

වර්ෂ 1931 මාර්තු මස 7 දින කොළඹ මරදානේ පංචිකාවත්ත පාරේ ”වියානා” හෝටලයේ ලැගුම්හලෙහි තමාගේ කාමරය තුළ දි ඇති වූ හදිසි හෘදයාබාධයකින් බෝධිපාල මහතා පරලෝසැපත් වූ බව සඳහන් වෙයි. වර්ෂ 1914 දී පාඨශාලාචාරිනි හඳපාන්ගොඩ මිසිනෝනා අමරසිංහ මෙනෙවිය සමග විවාහප‍්‍රාප්ත වූ මෙතුමාට උපනන්ද, නන්දරත්න, චන්ද්‍රසේන, තිලකා සහ ජයන්තා යනුවෙන් දුවා දරුවන් පස් දෙනෙකු වූහ. මොවුන් අතුරින් එක පුත‍්‍රයෙකු වන ”බටුගෙදර උපනන්ද” මහතා මෙරට සිටි ප‍්‍රවීණ සහ ජ්‍යෙෂ්ට කවියෙකි.

අද මා මෙම සටහනින් ඉදිරිපත් කරන ගීතය ජර්මනියෙහි නිෂ්පාදිත ODEON නම් ශබ්දවාහිනී තැටි ලේබලයට, ගීත තැටි අංක A 226019-a යටතේ වර්ෂ 1927 දී පමණ තැටිගත කළ ගීතයකි. මෙම ගීතය එවකට ජනප‍්‍රිය වූ නූර්ති ගීත තනුවක් ඇසුරින් නිෂ්පන්න කළ ගීතයක් වන නමුත්, ගීතය රචනා කළ බි. ඇල්. බෝධිපාල මහතාගේ නාමය ගීත තැටියෙහි සඳහන් කර නැත. එසේම මෙහි සංගීතය එවකට සිටි සුප‍්‍රසිද්ධ සංගීතඥ ඇම්. ජී පෙරේරා මහතා ගේ සහ රූපසිංහ මාස්ටර්ගේ යයි අනුමාන කෙරේ. ගීතය ගායනා කළේ එවකට ටවර්හෝල් හි ජනකාන්ත නළුවෙකු සහ ගායකයෙකු වූ , එච්. ඒ ලෝරන්ස් පෙරේරා මහතා ය.

අප සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කොට ඉන්ද්‍රදේව සභාවෙහි ඉන්ද්‍ර දෙවියන් ඇතුළු දේව සමූහයා වෙත අභිධර්මය දේශනා කළ සිද්ධිය මෙම ගීතයෙන් විස්තර කෙරේ.

සිරි ගණ මහ මුණි ශ‍්‍රී අභිධර්මේ -

තව්තිසා දෙව් භවනේහී //

පින්සර ඉන්ද්‍රාදී දෙවියන්ගේ සංගමේ -

තව්තිසා දෙව් භවනේහී //

දිව්‍ය හෘද සැම ප‍්‍රබෝධ කරවා -

ආලෝක කර ලෝක ධාතූ//

දේශනා කළෝ නිර්වාණ සපැතා //

තව්තිසා දෙව් භවනේහී.....

සිරි ගණ මහ මුණි ශ‍්‍රී අභිධර්මේ -

තව්තිසා දෙව් භවනේහී//

ධර්ම ගම්භීර දෙවියන්ට තේරී //

සර්වඥතා ඥානේ මහිම දැනී //

ලෝකනාථ පාද පද්මය වැන්දෝ //

තව්තිසා දෙව් භවනේහී .....


මෙම ගීතයේ තනුව කෙහෙර්වා තාලයෙන් නිර්මිත අතර, හින්දුස්ථානි රාගධාරී සංගීතයේ ධනාශ‍්‍රි සහ භිම්පලාසි රාග වලින් සුසංයෝගීත ය. එසේම ගීතයේ අන්තරා කොටසෙහි ශුද්ධ නිෂාදය යෙදීමෙන් පට්දීප් රාගයේ සේයාවන් ද මතුකර ඇත. ගීතය සඳහා අවම වාද්‍ය භාණ්ඩ ප‍්‍රමාණයක් යොදාගෙන එනම්, ෆුට්බැලෝ හාර්මෝනියම් සහ තබ්ලාව පමණක් භාවිත කර, සංගීතය සපයා දී තිබෙන බවක් පෙනේ. ගායකයාගේ ගායනයෙහි වචන උච්චාරණය සහ ගායනය ඉතා ගම්භීර ය.

මෙම ගීතයේ තේමාවට ම සමාන තේමාවක් රැගත් ගීතයක් පසුකලෙක එනම්, 1939 දී පමණ බෝධිපාල මහතාගේ ඉතා සමීපත ම, ගෝලයෙකු වූ, පසු කලෙක මෙරට ජනප‍්‍රිය ම ගීත ප‍්‍රබන්ධකයෙක් වූ යූ. ඞී. පෙරේරා මහතා අතින් ද රචනා විය. එනම්, ඒ. ආර්. ඇම්. ඉබ‍්‍රාහීම් මහතා විසින් COLUMBIA තැටියකට ගැයූ ”සුගත් තුම් තව්තිසා හි ප‍්‍රීති පාලා නිවනේ මග පාදා” යන ගීතය සඳහා යූ. ඞී. පෙරේරා සූරීන් වෙත මෙම මුල් ගීතය කිසියම් අයුරකින් අනුප‍්‍රාණයක් ලබා දුන් බවක් සිතිය හැකි ය.

ගීතය ගායනා කළ එච්. ඒ ලෝරන්ස් පෙරේරා මහතා ගැනද සටහනක් තැබිය යුතුම ය. වර්ෂ 1902 දී කොළඹ මරදානේ උපත ලද එච්. ඒ . ලෝරන්ස් පෙරේරා මහතාගේ පියා එවකට දක්ෂ නාඩගම් සහ නුර්ති ශිල්පියෙකු වූ පෑලිස් අප්පුහාමි මාස්ටර් ය. 1911 දී පමණ එවකට පරණවාඩියේ (මරදාන) කැරොල් කණ්ඩායමෙන් ගීත ගායනයට ප‍්‍රවිෂ්ට මෙතුමා, 1916 -20 දී පමණ, සාදිරිස් මාස්ටර් සහ එඩි මාස්ටර් වෙතින් සංගීතය හදාරා පසුව දක්ෂ සර්පිනා වාදකයෙක් මෙන්ම ගායකයෙක් බවටද පත් විය. එවකට ටවර්හෝල් හි විදුර, සිරිසඟබෝ, වෙස්සන්තර, දුටුගැමුණු ආදී නුර්ති රැුසක අතිමහත් ජනාකර්ෂණයක් දිනා ගත් නළුවෙක් බවටද පත් විය.HMV,PARLOPHON, BROADCAST සහ ODEON ආදී ග‍්‍රැමොෆෝන් තැටි ලේබල සදහා මෙතුමා ගේ ගීත ඉතා විශාල සංඛ්‍යාවක් නිකුත් විය. එතුමාගේ ජනප‍්‍රිය වූ ගීත අතර, ”සිරිගණ මහ මුණි”, ”සිරිකත සේමා”, ”මෙදා ඉන්දියාවේ”, ”සිරිගණ මුණි ගුණ”, ”සඳ වාගේ ලෝකේ දස දෙස”, ”නිලම්බරේ සිසි දුලා කැළුම්” ආදී වශයෙන් ගීත රාශියක් වෙයි. වර්ෂ 1938 දී, වෝල්ටර් අබේසිංහයන් විසින් නිෂ්පාදනය කළ , රාමායණය නාට්‍යයට තුදුස් වියැති ”ඬේසි රාසම්මා ඩැනියෙල්ස්” නොහොත් අප කවුරුත් දන්නා රුක්මණී දේවිය ”සීතා” ගේ භූමිකාව ට තෝරාගත් විට, සිංහල ලිවීමට හෝ කියවීමට නොදත් ඇයට ගීත ගායනා, දෙබස් සියල්ල පුරුදු පුහුණු කළේ ලෝරන්ස් පෙරේරා මාස්ටර් විසිනි. එබැවින්, රුක්මණී දේවියගේ කලා ලොවෙහි මුල් ගුරුතුමා වන්නේ ද එච්. ඒ ලෝරන්ස් පෙරේරා මහතා ය.

කාලයේ වැලි තලාවෙන් වැසි ගිය මෙරට සිංහල නාටකයෙහි, මුල් ම යුගයෙහි ප‍්‍රගමනය ට ස්වකීය ජීවිතකාලයම කැප කළ බී.ඇල්. බෝධිපාල නම් ශේෂ්ඨ නාටක කතුවරයාටත් , ටවර්හෝල් හි ජනප‍්‍රිය ගායකයෙක් සහ නළුවෙක් වූ එච්. ඒ ලෝරන්ස් පෙරේරා මහතාගේ නාමයටත් මෙම සටහන උපහාරයක් ම වේවා!

විශේෂ ස්තුතිය :

බී.ඇල්. බෝධිපාල මහතාගේ මුණුබුරු සුදස්සන බටුගෙදර මහතා, කලාභූෂණ ඇඹුල්දෙනියේ ලයනල් ගුණතිලක මහතා, ග‍්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂකයන් වන, මුදිත අභයගුණවර්ධන සහ, ටී. එන්. විජේසිංහ මහත්මාවරු. ගීතයේ රාග-තාල පිළිබඳ දැනුම්වත් කළ බුද්ධි ගයාශාන් ජයසේකර මහතා.

ආශේය ග‍්‍රන්ථ : ටවර්හෝල් නාටක ඉතිහාසය - ඇල් .ඞී .ඒ රත්නායක මහතා , විසි වසරක සිංහල නාට්‍ය හා රංග කලාව (1912-31) - තිස්ස කාරියවසම්