සිසිලියානා ඩයස් සහ වයලට් වීරකෝන් ගැයූ ”වී කොටන ගීතය”

සිංහල ජන කවියෙන් ඔපවත් වූ ග‍්‍රැමොෆෝන් ගී
මැයි 21, 2020


 සිංහල ග‍්‍රැමොෆෝන් ගීතයේ මුල් වකවානුව (1906-1939) සලකා බලන කල, විවධ තේමාවන් යටතේ බිහි වූ ගීත අතුරින්, කවි සහ කව්-ගී වලට හමුවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ අතුරින්, 1920-39 කාලයේ ග‍්‍රැමොෆෝන් තැටිවලට කරත්ත කවි, ඇඹුම් කවි, නෙලූ‍ම් කවි, දරු නැළවිලි කවි ආදී සිංහල ජන කවි ගායනා ඇතුළත් වූ අතර, සිංහල ජන කවියේ ආභාසයෙන් විවධ ගීත රචකයන් විසින් නිර්මාණය කළ ”කව්-ගී” ද, ”නව නිර්මාණ” ලෙසින් බිහි විය. එවැනි ගීත සඳහා නිදසුන් ලෙස, වර්ෂ 1935 BROADCAST ලේබලයට සුසිලා ජයසිංහ ගැයූ ”ඔංචිලි ගී” ඇතුළත් ”සිරි උපුල කමල පළඳලා - කොමල අඟනෝ සැරසිලා”‍යන ගීතයත්, 1939 HMW ලේබලයට සුසිලා ජයසිංහ විසින් ම ගැයූ ”දොයි -දොයි බබෝ” ගීතයත්, 1940 දී COLUMBIA ලේබලයට ගේ‍්‍රටා ජැනට් ද සිල්වා ගැයූ ”ලොව රකිනා මුරු සුපසන්” ගීතයත් සිංහල ජන කවියේ ආභාසය ඇතිව බිහි වුණු ”නව ගීත” බව එම ගීත ඇසීමෙන් වටහා ගත හැකි ය.
 
 අද මා මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ ද එවැනි ජනකවියේ ආභාසයෙන් බිහි වුණු එක් ග‍්‍රැමොෆෝන් ගීතයක විස්තරයකි. අතීතයේ සිංහල නිවෙස් හි කාන්තාවන් අතින් සිඳුකෙරුණු ”වී කෙටීම” විශේෂයෙන් ම,සිංහල අවුරුදු කාලයේ බොහෝ නිවෙස්වල දක්නට ලැබුණු ඉතා සුලභ දසුනකි. බොහෝ විට ”දෙමෝලෙන් කෙටීම” එනම්, එකම වංගෙඩියක කාන්තාවන් දෙදෙනෙකු විසින් මාරුවෙන් මාරුවට මෝල් ගස් දෙකක් භාවිත කරමින් වී කෙටීම අතීතයේ ඉතා ප‍්‍රචලිත වූ අතර වර්තමානයේ ද, ඇතැම් ප‍්‍රදේශ වල මෙය දැකිය නොහැක්කේ නොවේ. ”වී කෙටීම” පිළිබඳ සිංහල ජනකවියා කවියට නගා ඇත්තේ මෙසේ ය.
 
 මුකුළු මඳ සිනා කොඳ කැකුළු මුව තුලේ
 
 පබුළු මුතු මැණික් ගණ රන් මාල ගෙලේ
 
 එළළු බඳට පෙති ගෝමර ඉසි බැබලේ
 
 මුකුළු කර ළඳුන් වී කොටති බිම වලේ
(මූලාශ‍්‍රය: ජන සම්මත කව් ගී)
 
 එසේම තවත් ප‍්‍රකට ජන කවි විශේෂයක් වූ ”සොකරි කවි” අතර ද, ”වී කෙටීමේ චාරිත‍්‍රය” විදහා පාන කවි කීපයක් ඇත. එඅතුරින් එකක් පහත ඉදිරිපත් කරමි.
 
 සොකරි කොටන්නේ කාගේ වීයක් දෝ
 
 නෙකෙටි තියෙන්නේ මහමෙර ගලක් දෝ
 
 නොපිපි තියෙන්නේ මානෙල් මලක් දෝ
 
 ගුරුව නෙන්නේ කාගේ බසක් දෝ

 
 (මූලාශ‍්‍රය : සිංහල ජනකවි සංග‍්‍රහ ප‍්‍රවේශය)
 
 මෙසේ සිංහල ජනකවියෙන් ආභාසය ලත් අඥාත ගීත රචකයෙකු (ගීත තැටි ලේබලයේ ප‍්‍රබන්ධකයාගේ නම සඳහන් නොවේ) විසින් විරචිත ”වී කොටන ගීතය”‍ ලෙස නම් කරන ලද මෙම ගීතයෙන්, වී කෙටීමේ සහ කෙටූ වී පෙළීමේ ක‍්‍රියාවලිය විස්තර කර ඇති අයුරු ඉතා විචිත‍්‍රවත් ය. ගීතයේ වදන් පහත අයුරින් වේ.
 
 නැවිලා ගත සල සලා -
 
 කොටලා වී පොළ පොළා //
 
 උයලා බත් වලඳළා - සිංහල හාලේ //
 
 ගය ගය ගී තාලයේ - පැදි පැදි එක සීරුවේ //
 
 කර කර අත් මාරුවේ - කොටමු පොළමු වී //
 
 කය හොඳ හැටි වෙහෙසවා -
 
 කොට කොට වී අහුල ලා //
 
 පොකුණෙ බැසල නානවා - ආයු වඩනවා //
 
 වළගම්බා නිරිඳුගේ - මෑණියො පෙර කාලයේ //
 
 වී කොටලා වීරියෙන් - ඉව්ව පුතුට බත් //

 
 ඉහත ගීතය ග‍්‍රැමොෆෝන් තැටියකට නැගෙන්නේ 1939 තරම් ඈත අතීතයකය. එවකට ඣඛඹඵඊෂ් ගීත තැටි සමාගමේ ජනප‍්‍රියම ගායිකාවන් යුවලක් වූ සිසිලියානා ඩයස් සහ වයලට් වීරකෝන් මහත්මීන් දෙදෙනා විසින් මෙම ගීතය තැටිගත කරන්නේ ඣඛඹඵඊෂ් තැටි අංක ඨෑ 15010 තැටි අංකය යටතේ ය. ගීතයේ රචකයා අප‍්‍රකට වුවත්, එම වකවානුවේ බොහොමයක් ඣඛඹඵඊෂ් ගීත තැටි රචනා වූයේ යූ .ඞී පෙරේරා මහතා අතින් බැවින් මෙම රචනාව ද, ඔහුගේ එකක් බවට අනුමාන කළ හැකි නමුත් ඒ පිළිබඳ ප‍්‍රමාණවත් සාක්ෂයක් සොයා ගැනීමට නොහැකි විය. මෙම ගීතයේ වාදය වෘන්දය මෙහෙයවූයේ එවකට ඣඛඹඵඊෂ් සමාගමේ ප‍්‍රධාන සංගීත අධ්‍යක්ෂක ධූරය දරු මොහොමඞ් ගවුස් මාස්ටර් විසිනි. මේ ගීතයේ පියානෝව මොහොමඞ් ගවුස් මාසට්ර් විසින් ද, තබ්ලාව ස්ටැන්ලි මාස්ටර් සහ අමරදාස මාස්ටර් විසින් ද, වයලීනය පීටර් සිරිවර්ධන මහතා විසින් ද, සර්පිනාව බී. එඞී ද සිල්වා මාස්ටර් විසින් ද වාදනය කරන ලදී. මෙම ගීතයේ සිංහල ජන සංගීතයේ ඔලිඳ කෙළි නාදමාලවන්හි යම් යම් සේයාවන් ද, බෙංගාලි ජන සංගීතයේ කිසියම් ආභාසයක් ද ගැබ් කොට නිර්මාණය වූ බව පෙනෙන්නට ඇත. එසේම හින්දුස්ථානි බෙම්ටෝ තාලයෙන් මෙම ගීතය නිර්මාණය කර ඇත.
 
 එවකට ඣඛඹඵඊෂ් ගීත තැටි බෙදාහරින්නන් වූ ඇන්. පොරෝලිස් ප‍්‍රනාන්දු සමාගම විසින් නිකුත් කරන ලද ඣඛඹඵඊෂ් ගීත කැටලොග් පොතෙහි සිසිලියානා ඩයස් සහ වයලට් වීරකෝන් මහත්මීන් ගේ ඡුායාරූප ද සහිතව මෙම ගීතය පිළිබඳ පහත ආකාරයේ සඳහනක් යෙදුණි: ”විශේෂයෙන් ම නාගරික කාන්තාවන් ගේ සිත් ප‍්‍රබෝධ කරවන අයුරු මේ පිටිසර වී කෙටීමේ ශ‍්‍රියාව’ රමණීය ක‍්‍රීඩාවක් බව සංගීතයට නගා තිබෙන මේ කව්වල අලංකාරත්වයෙන් පෙනී යයි”. මෙම ගීත තැටියක් එවකට රුපියල් දෙකයි ශත විසිපහක ට අලෙවි කළ බව ද එම කැටලොග් පොතෙහි සඳහන් කර ඇත.
 
 එවකට ඉන්දියාවෙන් ගෙන්වා මෙරට පෙන්වන ලද සමකාලීන ඉන්දීය චිත‍්‍රපට කීපයක ම මෙම ”වී කෙටිමේ දර්ශන” සහිත ගීත ඇතුළත්ව ව තිබුණි. එඅතුරින්, අශෝක් කුමාර් සහ දේවිකා රාණි ප‍්‍රධාන චරිත නිරූපණය කළ ”අච්චුත් කන්‍යා” නම් හින්දි චිත‍්‍රපටයෙහි (1937) කුසුම් කුමාරි සහ ප‍්‍රධාන පිරිස ගයන ”ධිරේ බහු නදියා” යන ගීතය අඩංගු ජවනිකාවට ඇතුළත් වූයේ ද, කාන්තාවන් සමූහ වශයෙන් එක්ව, වී කෙටීමේ ගම්බද දර්ශනයකි. එසේම 1939 තිරගත වූ, ”එන් මානවී” නම් දමිළ චිත‍්‍රපටයට ද, කේ. ආර්. සෙල්වම් නම් ගායිකාව රඟපාමින් ගැයූ ගීතයක ද වී කොටන දර්ශනයක් ඇතුළත් විය. මේ චිත‍්‍රපට එවකට ලංකාවේ ජනප‍්‍රිය වූ නිසා ද, එවකට ඉන්දීය ගීත තනු සහ ඉන්දීය චිත‍්‍රපට මගින් (මෙරට සිනමා කර්මාන්තයක් ඇති වීමට ප‍්‍රථමව) ඉතා විශාල බලපෑමක් මෙරට සංගීතයට ඇති කළ නිසාද, එක්තරා අතකට ගීත රචකයාට මෙම තේමාව ගීතයක් නිර්මාණය කිරීම සඳහා ප‍්‍රස්තුතයක් වූයේ යයි කෙනෙකුට අනුමාන කළ හැකි ය.
 
 මෙම සිංහල වී කෙටීමේ ගීතය සුවිශේෂී වීමට තවත් කාරණයක් වන්නේ ඉතා ඈත අතීතයේ ගායිකාවන් දෙදෙනෙකු විසින් ගැයූ යුග ගීතයක් වීමය. මෙම ගීතය අඩංගු ගීත තැටියෙහි අනෙක් පස අඩංගු වූයේද සිසිලියානා ඩයස් සහ වයලට් වීරකෝන් ගායිකාවන් දෙදෙනා විසින් ම ගයන ”නැන්දම්මා සහ ලේලි” නම් වූ සංවාද ස්වරූපී ගීතයකි.
 
 ගීතය ගායනා කළ සිසිලියානා ඩයස් සහ වයලට් වීරකෝන් මහත්මීන් ගැන වෙසෙසින් ම සඳහන් කළ යුතුය. මේ ගායිකාවන් දෙදෙනා ම එවකට ටවර්හෝල් හි දෙවන පෙළ නිළියන් වශයෙන් ප‍්‍රසිද්ධියට පත්ව සිටියහ. වර්ෂ 1921 නොවැම්බර් මස 12 දින උපත ලැබූ සිසිලියානා ඩයස් ප‍්‍රසිද්ධ වේදිකාවට පා තබන්නේ යන්තම් වයස 7 ක් සපිරෙද්දී ය. ඒ වර්ෂ 1928 දී, බත්තරමුල්ලේ දී රඟ දක්වන ලද දිවංගත (වර්ෂ 1914 දී අභාවප‍්‍රාප්ත වූ) මෙරට පුරෝගාමී සුප‍්‍රසිද්ධ නාට්‍යකරුවෙකු වූ ආර්. ජෝන් පෙරේරා විසින් වර්ෂ 1907 දී පළමුවරට රචිත ”සෙලෙස්තිනා” නාටකයේ සෙලෙස්තිනාගේ කුඩා කල චරිතයට පණ පොවමිනි. අනතුරුව, වර්ෂ 1938 පමණ වන විට සිසිලියානා ඩයස් ටවර්හෝල් හි ජනප‍්‍රිය නිළියකව සිටි අතර, ගවුස් මාස්ටර් ගේ ඇරයුමින් ඣඛඹඵඊෂ් තැටි සමාගමේ නවතම ගීත ගායනා සඳහා ඇරයුම් ලැබුවා ය. වර්ෂ 1938(9) කඩඉම් වසරක් වූයේ ගායක ගායිකාවන් ්‍යඵඪ සහ ඣඛඹඵඊෂ් තැටි සමාගම් වෙනුවෙන් පස් අවුරුදු ගිවිසුම් අත්සන් කළ බැවිනි. සිසිලියානා ඩයස් වර්ෂ 1938 අග භාගයේ සිටම ඣඛඹඵඊෂ් තැටි සමාගමේ නිත්‍ය ගායිකාවක වූවා ය. එසේ ආරම්භ කළ ඣඛඹඵඊෂ් තැටි සමාගමේ ඨෑ 15000 අංක ශේණියෙන් ඇරඹි ගීත තැටි සඳහා පළමු ගීත යුගලය ද තැටිගත කළේ සිසිලියානා ඩයස් ගේ හඬිනි. ඒ ඨෑ 15001 අංකයට ”කළු ගෙඟ් ගිලිලා නාමු” ගීතයත් එම තැටියේ අනෙක් පස ”ඇස් ඇති ලොවෙහි විවාහේ වේ සම්පතා” ගීතයත්, ඨෑ 15002 අංකයට ”රම්‍ය ලංකා ද්‍වීපේ” සහ ”දෙවියෙකි පිනැති” යන ගීතයත් ය. මෙම ගීත වලින් ලත් ජනප‍්‍රිය භාවය නිසාම 1938-40 වකවානුව තුළ ඣඛඹඵඊෂ් සමාගමේ ජනප‍්‍රියම ගායිකාව වන්නේ සිසිලියානා ඩයස් ය. වයලට් වීරකෝන් සහ පීටර් සිරිවර්ධන සමගින් සිසිලියානා ඩයස් ගැයූ ”ඩිංගිසි ඩිංගාරේ” නම් බයිලා ගීතය ද, ”අනාථ තරුණිය” යනුවෙන් ගැයූ කවිපෙළ ද, ”සීතා -සීතා පතිවත රැුකි ප‍්‍රිය දේවී”, ”අතීත කාලේ උතුම්”, ”ජනනායක සිංහල භේදය” සහ ”මහේශාඛ්‍ය සිහලූ‍න්” වැනි කේවල ගායනා ද, ටයිටස් සමරවීර මහතා සමගින් ගැයූ ”බන්ධුල පේ‍්‍රමී ශ‍්‍රී සුකුමාරී” සහ ”සිරි සාර අලංකාර ලූ‍ම්බිණියේ” වැනි යුග ගීත ද, එම යුගයේ අතිශය ජනප‍්‍රියත්වය ට පත් විය. 1939-45 වකවානුවේ සිසිලියානා ඩයස් ඣඛඹඵඊෂ් සමාගමට ගීත 14 ක් පමණ ගායනා කරන ලද අතර, සහ ග‍්‍රැමොෆෝන් ගීත නාටක කීපයකට ද (”පෙරකොදෝරු බෑණා සහ අන්තිම කැමැත්ත”, සහ ” ශ‍්‍රී වික‍්‍රම”ආදී ග‍්‍රැමොෆෝන් ගීත නාටක ) වෙනුවෙන් ස්වරය මුසු කළා ය. එසේම ශ‍්‍රී ලංකා ගුවන්විදුලියේ එවකට සරලා බායි සහ රුක්මණි දේවිය සමගින් සරල ගී වැඩසටහන් වලට ද සම්බන්ධ වූවා ය. මෙරට සංගීත ක්ෂේත‍්‍රය වෙනුවෙන් කල සේවය වෙනුවෙන් ඇයට ”කලා භූෂණ” සම්මානය ද, එසේම වර්ෂ 1996 ජුනි මස 01 දින ශ‍්‍රී ලංකා ත්‍රෛනිකායික සංඝ සරණ සමිති සරණ පදනම” මගින් එතුමිය වෙත ”සංගීත් ශිරෝමණි ගෞරව උපාධි” සම්මානය ද පිරිනමන ලදී. වර්ෂ 2005 දී වසර 84 ක් ආයු වළඳා, සිසිලියානා ඩයස් මහත්මිය සිය ජීවන රඟමඩලින් සමුගත්තා ය.
 
 ගීතය ගායනා කළ අනෙක් සහාය ගායිකාව වූයේ වයලට් වීරකෝන් මහත්මියයි. වර්ෂ 1917 දී පමණ උපත ලදැයි සැලකෙන වයලට් වීකරෝන් මහත්මිය එකල ටවර්හෝල් හි සිටි සුරූපිම නිළියන් කීපදෙන අතුරින් කෙනෙකු වූවාය. ඇය වඩාත් ප‍්‍රසිද්ධ වූයේ තංගල්ලේ සිරිසේන විමලවීරයන් ගේ නාටක වල ප‍්‍රධාන චරිත නිරූපණය කිරීමෙනි. හෙළදිව පුරඟන, රොඞී කෙල්ල, ගං වතුර, කුවේණි, රොඞී කොල්ලා, සහ ඕගන් රුද්‍රිගු ගේ බලගතු කාසිය ආදී නාටක වල ස්ත‍්‍රී මෙන්ම පුරුෂ චරිත නිරූපණය කිරීමට වයලට් වීරකෝන් මහත්මිය සමර්ථ වූවාය. වර්ෂ 1938 සිට ඣඛඹඵඊෂ් තැටි සමාගමේ නිත්‍ය ගායිකාවක වූ එතුමිය ගැයූ ගීත අතර, ”පක්ෂ භජනයෙන්”, ”සීල සුගන්දේ”, ”ජම්බු දීපෙහි සිරි වංග දේසෙහි”, ”කාසි කාසි ලෝකෙහි” ආදිය පෙන්වා දිය හැකිය. එවකට රුපවහිනියෙහි ඉදිරිපත් කළ ”හද බැඳී ගීතා” (ස්වර්ණවාහිනී නාලිකාව මගින් ප‍්‍රචාරය වන්නට යෙදුණු) නම් පැරණි ගායක ගායිකාවන් වෙනුවෙන් වෙන් වූ, වැඩසටහනට සහභාගී වී ”කවාලා විළඳ ජාති ඇති කළත් රන් කුඩුවේ ගිරවා” යන ගීතය මෙතුමිය වර්ෂ 2002 පමණ නැවත ගායනා කළා ය. වර්ෂ 2006 දී පමණ මෙතුමිය සිය ජීවන රඟමඩලින් සමුගත්තා ය.
 
 කාලයේ වැලි තලාවෙන් වැසි, අප බොහෝ දෙනෙකුට අමතකව ගිය, ස්වකීය ජීවිතය මෙරට සනීත සහ නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ම කැප කළ, සිසිලියානා ඩයස් සහ වයලට් වීරකෝන් නම් වූ මෙම උත්තරීතර කලාශිල්පිනියන් දෙදෙනාගේ නාමයන්ට මෙම සටහන උපහාරයක්ම වේවා !
 
 විශේෂ ස්තූතිය :
 
 ග‍්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක කුලසේකර මද්දුමගේ මහතා, ටී. ඇන්. විජේසිංහ මහතා, ගීතයේ සංගීතමය වටිනාකම පිළිබඳ දැනුම්වත් කළ ලලිතකලා වේදිනි, විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය.