ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සිංහල ගීතයක් ගැයූ පළමුවැනි මැලේ ගායිකාව “ඉන්තම් ආමත්”

ජුනි 18, 2020

ශ්‍රී ලාංකික ජන කොට්ඨාසයක් වන මැලේවරුන් ට ඇත්තේ 17 වැනි සියවස තරම් ඈතට දිවෙන ඉතා දිගු ඉතිහාසයකි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන්  0.02%ක්‌  වැනි සංඛ්‍යාත්මක වශයෙන් ඉතා සුළු  ප්‍රතිශතයකින් සමන්විත වුව ද, දේශපාලන, ක්‍රීඩා, ලලිතකලා ආදී විවධ විවධ         ක්ෂේත්‍රයන්ගෙන් ඉතා ඉහළින් වැජැඹුණු නාමයන් සනිටුහන් කිරීමට ශ්‍රී ලාංකික මැලේවරුන් සමර්ථ වී ඇති බවට මෑත ඉතිහාසයේ ඕනෑතරම් සාක්ෂ්‍යය ඉදිරිපත් කළ හැකිය. එඅතුරින් මෙරට සිංහල වේදිකාව, සිංහල සංගීතය සහ සිංහල චිත්‍රපට ක්ෂේත්‍රයන් හි ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කළ ශ්‍රී ලාංකික මැලේ වරුන් අපට කිසිදා අමතක කළ නොහැකි ය. ඔවුන් අතුරෙනුත් අප හට අමතකව ගිය වේදිකාවේ මෙන්ම ගීත ගායනයෙහි ද, ජයකෙහෙළි නැංවූ කලාශිල්පීන් බොහෝ දෙනෙකු සිටීති. 

20 වැනි ශත වර්ෂයේදී මුල් කාර්තුවෙහි කලා ක්‍ෂේත්‍රයේ දස්‌කම් පෑ ශ්‍රී ලාංකික මැලේ  වරුන්ගේ ආදිතමයා ලෙස සැලකෙන්නේ නර්තනයේදී තම ප්‍රතිභාව මැනවින් පෙන් වූ ටී. අයි. ජී. සල්ඩින්ය. එතුමා ස්‌වෝත්සාහයෙන් නර්තනය ප්‍රගුණ කර තමන්ටම ආවේණික නැටුම් රටාවකින් නර්තන කලාව හැසිර වූ ශිල්පියෙකි. නර්තනයේ මෙන්ම ගායනයෙහි සහ වාදනයෙහිද එක සේ සමත්කම් පෑ සල්දීන් මහතා  1936 කොළඹ රීගල් ශාලාවේදී නර්තන ශිල්පීන් සියයකට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් “විජයාවතරණය” නමින් මුද්‍රා නාටකයක්‌ රංග ගත කළේ එවක ප්‍රකට කලාකරුවන් වූ ඡේ. ඩී. ඒ. පෙරේරා සහ සුප්‍රසිද්ධ නාටිකාවක වූ  චන්ද්‍රලේඛා වැන්නවූන්ගේ සමාගමයේ හිඳීමිනි.

ලක්ෂ්මි බායි  (අද්‍රාහීම්  කයිජම්මා) මෙරට සිංහල නුර්තිය සහ ග්‍රැමොෆෝන් ගීතයෙහි ජයකෙහෙළි  නැංවූ පළමු සුපිරි තාරකාව වන්නී ය. ලක්ෂ්මී බායි ගෙන් ඇරඹී මෙම ග්‍රැමොෆෝන් ගායක -ගායිකා පරපුරේ අනෙකුත් පුරුක් ලෙස නෝනා සුබෙයිදා, ඉන්තම් ආමත්, ධර්මානී ආමත් ( ග්‍රැමොෆෝන් ගී ලොවෙහි “නිර්මලා” නමින් සුප්‍රසිද්ධව සිටි), හරූන් ලන්ත්‍රා, ජුවීටා ලන්ත්‍රා (ග්‍රැමොෆෝන් ගී ලොවෙහි “ගීතා” නමින් ප්‍රසිද්ධව සිටි), ඇම්.ඩී. ජෝහොර්ෂා, අසීස් කම්බාල්, ඤෙයි සීනාර් බන්සජයා (ග්‍රැමොෆෝන් ගී ලොවෙහි “ජී.එස්.බී. රාණී  පෙරේරා” නමින් සුප්‍රසිද්ධව සිටි), සරලා බායි (තුවාන් හලාල්දීන් ෂෙරීෆ්), ඉබ්‍රාහීම් සැලී, උම්මු සල්මා (කලා  ලොවෙහි “දේවී සකුන්තලා” නමින් ප්‍රසිද්ධව සිටි) , ලතීෆ් බායි, ජෙමිනි කාන්තා (ඤෙයි නෝනා යුහානා බක්‌ස්‌) සහ ඒ.ජේ. කරීම් ආදී ගායක ගායිකාවන් පූර්ව සිනමා ග්‍රැමොෆෝන් යුගයේ ගීත වලින්  මෙරට රසික හදවත් දිනාගෙන සිටියහ. එවකට ග්‍රැමොෆෝන් ගීත වලින් ගායනා වූ ගීත බොහොමයක් බෞධාගමික තේමා රැගත් ගීත වූ අතර, ඒවා බොහොමයක් ගායනා වූයේ මෙම අන්‍ය ලබ්ධික ගායක -ගායිකාවන් අතින් වීම තවත් සුවිශේෂී කාරණයකි. 

මෙම මැලේ  ගායක - ගායිකාවන් අතුරින් අප බොහෝ දෙනෙකුට නම අසා නුපුරුදු ගායිකාවක වූ “ඉන්තම් ආමත්”  මහත්මියගේ ගීත සහ විස්තර ඔබ හමුවේ මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමි. මෙතුමියගේ නාමය ග්‍රැමොෆෝන් ගීත ක්ෂේත්‍රයේ රැඳෙන්නේ ඉතා කෙටි කාලයකි. ග්‍රැමොෆෝන් ගීත තැටි සඳහා ගීත තැටිගත කිරීමට පෙරාතුව, 1930 දශකයේ අග භාගයේ  ගුවන්විදුලි ගායිකාවක සහ ශාස්ත්‍රීය වාදන ඉදිරිපත් කළ ශිල්පිනියක ලෙස ආමත් මහත්මිය ඉතා  ප්‍රසිද්ධියට පත්ව සිටියා ය. එතුමියගේ නාමය සිංහල ගීත ක්ෂේත්‍රයේ ඓතිහාසිකව ඉතා වැදගත් වන්නේ “සිංහල ගීතයක් පළමු වරට ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයෙන් ප්‍රචාරය කළ මැලේ ජාතික ශිල්පිනිය” වශයෙනි. වර්ෂ 1937-39 වකවානුවෙහි ශ්‍රී ලංකා ගුවන්විදුලියෙහි සංගීත අංශයේ මාසික සංගීතමය වැඩසටහන් හි නිත්‍ය ශිල්පිනියක ලෙස ඉන්තම් ආමත් මහත්මිය සහභාගී වූ බව එවකට පුවත්පත් පරීක්ෂා කිරීමෙන් පැහැදිලි  වේ. 

වර්ෂ 1917 අප්‍රියෙල් මස 17 දින “ඤෙයි ඉන්තම් මස්කීන්” නමින් සහෝදරයන් දෙදෙනෙකු සහ දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික මැලේ පවුලක උපත මෙතුමිය, කුඩා කල පටන් ගායනයට මෙන්ම වාදනයට ද ඉතා දක්ෂ දැරියක වූවාය. වර්ෂ 1937 දී කොළඹ පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධරයෙකු වන මොහොමඩ් අසාම් ජලාල් ආමත්  මහතා සමගින් විවාහප්‍රාප්ත වන මෙතුමිය “ඉන්තම් ආමත් නෝනා මහත්මී” නොහොත් ර්පඵ. ධ්දබඩචථ ඒථචබඩ යනුවෙන් ගීත තැටි සහ අනෙකුත් ශ්‍රව්‍ය මාධ්‍ය වල නමක් දිනා ගන්නේ ඇයගේ ශාස්ත්‍රීය සහ සරල ගී ගායනා මෙන්ම වාදනයන ද  ශ්‍රාවකයන් අතර ඉතා ජනප්‍රියව තිබු  බැවිනි. සර්පිනා වාදනයෙහි ද මෙතුමිය දක්ෂතා ප්‍රකට කළ බවක් සඳහන්  වේ. කොළඹ 09 දෙමටගොඩ පාරෙහි වාසය කළ මෙම ආමත් යුවළට දුවාදරුවන් දස දෙනෙකි. එතුමියගේ ස්වාමිපුරුෂයා වූ ඇම්.ඒ.ජේ. ආමත් මහතා ද, සංගීතයට බෙහෙවින් ප්‍රිය කළ අතර, හෙතම් දක්ෂ තබ්ලා වාද්‍ය ශිල්පියෙක් මෙන්ම, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රිකට් සහ මලල ක්‍රීඩා කණ්ඩායම්  නියෝජනය කළ දක්ෂ ක්‍රීඩකයෙක් ද විය. 

 දෙමටගොඩ පාරේ මෙතුමියගේ  නිවස්නට යාබදව සිටි අසල්වැසියා වූයේ එවකට COLUMBIA ග්‍රැමොෆෝන් තැටි සමාගමේ ජනප්‍රියම  ගායකයා වූ මොහිදීන් බෙග් මහතා ය.  මොහිදීන් බෙග් මහතාගේ ඇරයුමෙන් සහ එවකට එතුමිය ගුවන්විදුලියෙහි ගීත ගායනා කිරීමෙන් ලද ප්‍රසිද්ධිය නිසාම එවකට COLUMBIA ග්‍රැමොෆෝන් තැටි සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක වූ මොහොමඩ් ගවුස් මාස්ටර් ගෙන් ග්‍රැමොෆොන් ගීත තැටිගත කිරීමකට ආමත් මහත්මියට ඇරයුම් ලැබෙන්නේ 1939 වසරේදී ය. එතුමිය විසින් COLUMBIA සමාගමට තැටිගත කළ ගීත  තැටි සොයාගැනීම ඉතාමත් සුදුර්ලභ ය. 

කෙසේ වෙතත් මෙම වකවානුවේ වෙළෙඳපොළට නිකුත් කරන ලද  ග්‍රැමොෆෝන් ගීත තැටි පිරික්සීමේදී අහම්බෙන් ට්ඡ් 15032 අංකය දරණ  COLUMBIA ලේබලයෙන් නිකුත් වුණු ශබ්දවාහිනී තැටියක මෙතුමියගේ නම සඳහන්  ගීත දෙකක් (තැටියේ දෙපස) මා හට සොයාගැනීමට හැකි විය. එම තැටියෙහි එක්පසෙක “සාධු ශ්‍රී දළදා” යනුවෙන් ඉන්තම් ආමත් මහත්මිය සහ යූ.ඩී පෙරේරා මහතා ගායනා කරන යුග ගීතයක් (තැටි ලේබලයේ යූ .ඩී. පෙරේරා සහාය ගායකයා බව සඳහන්  නොවේ) ද,  තැටියේ අනෙක් පස “ප්‍රේම කුසුමකි ස්වාමී” යනුවෙන් ඉන්තම් ආමත් මහත්මියගේ කේවල ගායනයක් ද අන්තර්ගත වෙයි. මෙම ගීත ද්විත්වයම ප්‍රබන්ධ කරන ලද්දේ එවකට COLUMBIA සමාගමේ නිත්‍ය ගීත නිබන්ධක යූ .ඩී. පෙරේරා මහතාණන් විසිනි. 

වර්ෂ 1939 වෙළෙඳපොළට නිකුත් වුණු  මෙම ගීත තැටිය සමගින්, එම තැටි බෙදාහරින්නන් වූ ඇන්. පොරෝලිස් ප්‍රනාන්දු  සමාගමෙන් නිකුත් කරන ලද  COLUMBIA ගීත පොතක  “සාධු ශ්‍රී  දළදා” ගීතය පිළිබඳ  මෙසේ සඳහනක් යෙදුණි. “සාධු ශ්‍රී දළදා : ඉන්තම් ආමත් නෝනා  මහත්මයාගේ ප්‍රමුඛත්වයෙන් කියැවුණු යුග ගීතයකි. දෙවි බඹහු සාදරෙන්  වඳීන පුදන  ලෝකවාසී සකල බෞද්‍ධ ජනයාගේ මුදුන්මල්කඩක් වන සිරි දළදා සාමීන් ගැන නිතර සිහිකරන වඳීන පුදන සැදැහැවතුන්ට තමාගේ නිවාසයන්හි කියවීමට සෑහෙන ගීතයකි”. මෙම ගීතය සුප්‍රකට ගීත රචක යූ .ඩී .පෙරේරා මහතාණන් විසින් ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ තැටියකට ගායනා කළ පළමු යුග ගීතය ලෙස ද පෙන්වාදිය හැකිය. ගීතයේ වචන පහත ආකාර වේ. 

ගැ : සාධු ශ්‍රී දළදා මගේ ස්වාමී - වඳීමි ......සාධු ශ්‍රී දළදා මගේ ස්වාමී

පි : ලක්දිවෙහි අග රාජ මන්දිරේ සෙංකඩගල නගරෙහි //

ගැ : දිලේ මනෝහර රශ්මි දී දී - බුදු රශ්මි දී දී මගේ ස්වාමී//

       පුදනා ප්‍රේමෙනි  දෙව් ලෝ වාසි දෙව්කැළ ප්‍රිය කුසුමේනී //

      මහා පින් ඇති මංගල මූර්ති සිරි දළදා මගේ ස්වාමී 

පි: මිසදිටු ආදී තලා දීපු වධ බන්ධන ඉවසුව ස්වාමී

    සාදා මගේ හිසෙහි ගඳකිළි කර සිරිගන දළදා ස්වාමී//

ගැ /පි :සාධු ශ්‍රී දළදා මගේ ස්වාමී..සාධු ශ්‍රී දළදා.....සාධු ශ්‍රී දළදා....සාධු ශ්‍රී දළදා මගේ ස්වාමී

මෙම ගීතය ශ්‍රවණය කිරීමේදී පැහැදිලි වන ඉතා  සුවිශේෂී කාරණය වන්නේ ආමත් මහත්මියගේ අතිවිශිෂ්ට සිංහල වචන උච්චාරණය සහ ගායනයේ ඇති ඉතා සුපැහැදිලි භාවය ය. මෙම  ගීත තැටියෙහි අනෙක් පස අන්තර්ගත වූයේ, ප්‍රේම ගීතයකි.  ස්වකීය ස්වාමියා කෙරෙහි ඇති ආලයෙන් සහ භක්තියෙන්   ඔහුගේ ප්‍රේමයේ සුප්‍රහර්ශය ප්‍රේමවන්තියකගේ මුවින් වර්ණනා කෙරෙන අන්දමේ  ගීතයක් ලෙස මෙය පෙන්වා දී ඇත. 

ප්‍රේම කුසුමකි ස්වාමී මාගේ...ප්‍රේම කුසුම මාගේ //

ප්‍රේම කුසුමකි -සුපිපි කුසුම මේ 

ප්‍රේම කුසුමකි ස්වාමී මාගේ...ප්‍රේම කුසුම මාගේ

රම්‍ය සුගන්ධේ දී සනසාවී - චිත්තප්‍රබෝධේ  පාවී සිනහ වී //

පෙම් රස ප්‍රීති - ප්‍රීතිය දේවී ...

ආ ......ආ ...ආ .....ග*ආලප් කොටසඝ

පෙම් රස ප්‍රීති - ප්‍රීතිය දේවී 

ලෝකෙහි වාසනා සදාවී 

ප්‍රේම කුසුමකි ස්වාමී මාගේ...ප්‍රේම කුසුම මාගේ

සුන්දර ගුණයෙන් යුත් ඔබේ රූපේ 

දර්ශනයෙන් මා හර්ද විමානේ 

ඇඳී පිළිරූ දිළි සේ නොමැකි මේ 

පරම සැපකි ස්වාමි ප්‍රාසේ  

ප්‍රේම කුසුමකි ස්වාමී මාගේ...ප්‍රේම කුසුම මාගේ

මෙම ගීත ද්විත්යහිම සංගීතය ඉතා ප්‍රශස්ත මට්ටමේ පවතී. පියානෝව, ක්‌ලැරිනට්, වයලීනය ආදී බටහිර වාද්‍ය භාණ්ඩ ඇසුරුකොට නිපදවා ඇති මෙම ප්‍රේම කුසුමකි ගීතය කෙහෙර්වා තාලයෙන් නිර්මිතය. මෙම ගීත දෙකෙහිම පියානෝව වාදනය කළේ සංගීතඥ මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි. 

මෙම ගීත ද්විත්වයට අමතරව, ඉන්තම් ආමත් මහත්මිය මොහිදීන් බෙග් මහතා සමග ද යුග ගීතයක් තැටිගත කර ඇති බව සඳහන් වේ. එවකට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ සංගීත අංශයෙහි මොහොමඩ් ගවුස් මාස්ටර් විසින්  ඉදිරිපත් කළ උර්දු ගායනා සඳහා  සහාය ගායිකාවක වූයේ ද ඉන්තම් ආමත් මහත්මියයි. එතුමිය ඒ.ජේ. කරීම් මහතා සහ සරලා බායි සමගින් ද ගුවන්විදුලියේ යුග ගීත ගයා ඇති බව සඳහන් වේ. එතුමියගේ ඉතා කිට්ටුතම ඥාති සොයුරිය වන්නේ ඤෙයි සීනාර් බන්සජයා නොහොත් ගායන ලොවෙහි අප කවුරුත් දන්නා ජී.එස්.බී  රාණී පෙරේරා ය. වර්ෂ 1941 දී  ඉන්තම් ආමත් මහත්මිය ස්වකීය කුටුම්භය පෝෂණය කිරීම උදෙසා ස්වකීය කලා  දිවියට සමුදෙන්නී ය. දරුවන් දස දෙනෙකුගේ දයාබර මාතාවක වූ ඉන්තම් ආමත් මහත්මිය වයස 55 සපිරෙන විට දී, වර්ෂ 1972 ජුලි මස 28 දින සිය දිවි සැරිය  නිමා කරන්නී ය. 

දශක අටකට ආසන්න කාලයක් කලා ලොවේ අප සැමට අමතකව තුබූ නාමයක් වූ මෙරට ගුවන්විදුලි ඉතිහාසයේ සිංහල ගීයක් ගැයූ පළමු මැලේ ගායිකාව වූ ඉන්තම් ආමත් මහත්මියගේ නාමයට මෙම සටහන උපහාරයක් ම වේවා !

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක දිමුතු පරුස්සල්ල සහ බන්ධුල ගමගේ මහත්මාවරු, කාලයේ වැලිතලාවෙන් වැසි ගිය ඉන්තම් ආමත් මහත්මියගේ  ජීව දත්ත  සොයාගැනීමට මවිසින්  දරු උත්සාහයේදී “ශ්‍රී ලාංකික මැලේවරුන්ගේ සංගමය” (Sri Lanka Malay Association) වෙතින් ලද නොමද සහාය ප්‍රශංසනීය ය. මා පළමු වරට මෙම සංගමය වෙත එතුමිය පිළිබඳ  තොරතුරු  දන්වා විද්‍යුත් තැපැලක් යොමු කළ  විට එම සංගමය  විසින් පැය විසිහතරක් යන්නටත් මත්තෙන් ඉන්තම් ආමත් මහත්මියගේ ඥාතීන් සම්බන්ධ කොට මෙම ලිපිය සකස් කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරදීම පිළිබඳව මාගේ  කෘතඥතාවය පළ කරමි. ඒ සම්බන්ධයෙන් එම සංගමයේ ලේකම් මර්ලීන් ඩූල් මහත්මිය, ඉන්තම් ආමත් මහත්මියගේ ලේළිය වන ශර්මීන් ආමත් මහත්මිය, මේ කටයුත්ත සම්බන්ධීකරණය සිදු කළ සැන්ඩ්‍රා එස්‌. සෞර්ජා මහත්මියට ස්තුතිය පුද කරමි.