ආසියාවේ යථාර්ථවාදී රූපණයේ පුරෝගාමී නිළියගේ  ප්‍රවිෂ්ටය

ජුනි 18, 2020

“යථාර්ථය පිළිබිඹු කිරීමේදී යථාර්ථය හුදෙක් පිටපත් නොකළ යුතු  සේම කලාකරුවා අන්තර්ගතයේ මුවාවෙන් යථාර්ථ  සංසිද්ධීන්ට සත්‍යමය ස්වභාවයක් දීමට ද නොපෙලඹිය යුතුය. කලාකරුවාගේ කාර්යය වනුයේ පවතින සත්තාව මැනවින් අවබෝධ කොටගෙන ඊට අර්ථ නිරූපණය කිරීමය”  යනු සුප්‍රකට විචාරක වී. ජී. බෙලින්ස්කිගේ කියුමකි. ලොව රංග ශිල්ප ශාලිකා (Theatre Studio) සංකල්පයෙහි නිර්මාතෘ වූ ද තත්විධ රූපණ න්‍යාය (Theory of Method Acting) හඳුන්වා දෙමින් “රංග කලාව උඩු යටිකුරු කළ මිනිසා” යන අන්වර්ථ නාමයෙන් සම්භාවනාවට පාත්‍ර වූද රුසියානු ජාතික කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලව්ස්කි (1863-1938) විෂයෙහි එහිලා යථෝක්ත වී. ජී. බෙලින්ස්කිගේ (1811-1848) මතවාද ද බලපෑ බැව් සත්‍යයකි. 

ග්‍රීසියේ තෙස්පීස්ගෙන් ඇරැඹුණු නළුවාගේ කාර්ය පිළිබඳ විවිධ මතවාද ස්ටැනිස්ලව්ස්කිගේ රූපණ විධි ක්‍රමයේ පදනම සේ සැලකිය හැකි නමුත් 19 වැනි සියවසේ යුරෝපයේ පහළ වූ කාර්මික හා චින්තන විප්ලවයන්හි ප්‍රතිඵල ඔහුගේ රූපණ සිද්ධාන්ත කෙරෙහි දැඩිව බලපෑවේය.

නළුවාගේ කාර්ය අර්ථකථනය කිරීමේදී ඉතාලියේ (1480-1520) ප්‍රකට වූ “කොමීඩියා ඩෙල් ආටේ” නමැති ප්‍රවණතාව සුවිශේෂි වේ. මෙකී ප්‍රවණතාව බිහි වූයේ ප්‍රංශ හමුදා ඉතාලිය ආක්‍රමණය කිරීමෙන් පසුව 16 වැනි  සියවසේ ප්‍රංශ නාට්‍ය කලාවේ ආභාසය ඉතාලියට සංක්‍රමණය වීමේ ඵලයක් වශයෙනි. පුනරුද යුගයේ වර්ධනය වූ උසස් සාහිත්යික වටිනාකමකින් යුත් නව සම්භාව්‍ය නාට්‍ය කලාව ද එකල යුරෝපයේ මුල් බැසගෙන තිබිණ. කොමීඩියා ඩෙල් ආටේ බිහි වූයේ මීට ප්‍රතිපක්ෂ නළු නිළි කණ්ඩායම්වල එකතුවෙනි. ‘Commedia dell’arte’ යන්නෙහි අරුත “වෘත්තීය නාට්‍ය ශිල්පීන්ගේ කොමඩි නාටකය” වේ.

මෙහි ලක්ෂණය වූයේ උසස් රඟපෑම් ඉදිරිපත් කළ දක්ෂ නළුවන් නාට්‍ය ඇරැඹීමෙන් පසුව ක්ෂණ නිර්මාණවල (Improvisation) නියැළෙමින් ප්‍රේක්ෂකයන් සිනහ ගැන්වීම උදෙසා ඔවුන්ගේම සංවාද අවස්ථාවට උචිත පරිදි ඉදිරිපත් කිරීමය. සමහර කොමඩි නළුවෝ හම්වලින් තැනූ අර්ධ වෙස් මුහුණු පැලැඳ සිටියහ. ඒකාකාරී වර්ග චරිත මේ භූමිකා හරහා ඉස්මතු විය. රංගනයේදී පෙළ (Text)  අවතක්සේරුවට ලක් වූ අතර  නළුවා නාට්‍යයේ ප්‍රමුඛත්වයට පත් විය. එය නළුවාගේ කලාවක් (Actor’s Art) බවට පත් වූ අයුරු දක්නට ලැබිණ.

විලියම් ෂේක්ස්පියර්ගේ යුගයේදී පෙළෙහි භූමිකා එකිනෙකට වෙනස් වූ හෙයින් නිරූපණය කළ චරිත ප්‍රාබල්‍යයෙන් ඉස්මතු විය. ඔහු නිර්මාණය කළ ඔතෙලෝ, හැම්ලට්,  මැක්බත්, ෂයිලොක් ඈ භූමිකා පිළිබඳ විමංසනාක්ෂියෙන් වුව පසක් වනුයේ අභ්‍යන්තර, බාහිර වශයෙන් චරිතවල පවත්නා එකිනෙකට වෙනස් ස්වරූපයයි. විලියම් කෙම්ප් එකල ෂේක්ස්පියර්ගේ නාට්‍යවල භූමිකා රැසක් ශූර ලෙස රඟපෑවේය.

19 වැනි සියවස අවසන් වන විට තාත්විකවාදය නැඟ එමින් තිබිණ. ඇලෙක්සැන්ඩර් ඔස්ත්‍රොව්ස්කි (1823 - 1886) මීට අඩිතාලම දැමූ ප්‍රබල නාට්‍යවේදියෙකි. ඔහුගේ ප්‍රවිෂ්ටයට පූර්වයෙහි රුසියාවේ රඟදැක් වූයේ වෝඩ්විල් (Vaude Wille) ගණයේ නාට්‍ය හා අති නාට්‍ය (Melodrama) වර්ගයෙහිලා ගිණිය හැකි නාට්‍ය වේ. 

19 වැනි සියවස මැද භාගය වන විට එවක පැවැති අද්භූතවාදයට (Romanticism)  ප්‍රතිවිරුද්ධව ඇලෙක්සැන්ඩර් පුෂ්කින්, නිකොලොයි ගොගොල්, ඇන්ටන් චෙකොෆ්, ලියෝ ටෝල්්ස්ටෝයි, පියඩෝර් ඩොස්ටොව්ස්කි, නෝර්වීජියානු ජාතික හෙන්ඩ්රික් ඉබ්සන් (නූතන නාට්‍ය කලාවෙහි නිර්මාතෘ ලෙස මොහු සැලකේ), ප්‍රංශයේ ගුස්ටාව් ෆ්ලොබෙයාර් ආදීන් ගොඩනැඟූ යථාර්ථවාදී (Realism) සාහිත්‍යයෙහි බලපෑම නාට්‍ය කලාවට ලැබිණ.

විශේෂයෙන් ඇන්ටන් චෙකොෆ් එවක වේදිකාවේ පැවැති රූපණ සම්ප්‍රදාය පිළිබඳ බලවත් සේ කලකිරී  සිටියේය. එවක ප්‍රකට නිළි වී. එෆ්. කොමිසාර්ෂෙව්ස්කි ප්‍රමුඛ ‘Aleksandrinski Theatre’ නාට්‍ය කණ්ඩායමට චෙකොෆ්ගේ ’he Sea Gull’ නමැති නාට්‍යයෙහි නිෂ්පාදනය භාර වී තිබිණ. එවක පැවැති අද්භූතවාදී රංග රීතිය ඔවුහු මේ නිර්මාණයේදී අනුදත්හ.

නාට්‍යයේ භූමිකාවල මතුපිට ස්වරූපය පමණක් අනුකරණය කළ භාවාතිශය රූපණ රීතියක් ඉන් පළ විය. මේ              නිෂ්පාදනය නැරැඹූ ප්‍රේක්ෂකයෝ අනපේක්ෂිත තැන්වලදී සිනාසුණහ. ස්වකීය නාට්‍යයේ විනාශය දැන කලකිරුණු චෙකෝෆ් ශාන්ත පීටර්ස්බර්ග් නුවර පවා නොරැඳී පලා ගියේය. මොස්කෝ රංග කලායතනයේ ස්ටැනිස්ලව්ස්කි යථාර්ථවාදී සාහිත්‍ය ලක්ෂණ කුළුගැන්විය හැකි අභිනව රූපණ සිද්ධාන්තයක් සොයා ගැනීම ඔස්සේ චෙකොෆ්ගේ ’The Sea Gull’ නාට්‍යය නිවැරැදිව අර්ථ කථනය කළේය.

සුප්‍රකට නාට්‍යවේදී, විචාරක නෙමිරොවිච් ඩැන්චෙන්කෝගෙන්  (1858 - 1943) එහිලා ඔහුට මනා සහයක් ලැබිණ. ස්ටැන්ස්ලව්ස්කි ප්‍රාරබ්ධ කළ මේ අභිනව රූපණ විධි ක්‍රමය (Theory of Method Acting) තත්විධ රූපණ විධි ක්‍රමය ලෙස සම්භාවනාවට පාත්‍ර විය. ඔහුගේ ශාලිකා සංකල්පය ඇමරිකානුවෝ ඉහළින්ම පිළිගත්හ. මේ රූපණ විධි ක්‍රමය ඉගැන්වෙන ‘The Actors Studio’ නිව්යෝක් නුවර ස්ථාපිත වූයේ මෙහි ඵලයක් වශයෙනි. ලී ස්ට්‍රැස්බර්ග් (1901-1982) නමැති  සුප්‍රකට රංග ශිල්පියා, අධ්‍යක්ෂවරයා මේ නිව්යෝක් නුවර ‘Actors Studio’ හී නියමුවා බවට පත් විය. ඉන් බිහි වූ මාලන් බ්‍රැන්ඩෝ, පෝල් නිව්මන් ඇතුළු සුප්‍රකට නළුවෝ වේදිකාවෙන් සිනමාවට පිවිස පසු කලක සිනමා රූපණ රීතිය වෙනස් කළහ.

යථාර්ථවාදී රූපණ ක්‍රමවේදය හරහා එකී පෙරළිය බටහිර මෙලෙස ස්ථාපිත වුවත් එය ආසියානු කලාපයට බලපෑවේ කලකට පසුවය.

ජපානය කබුකි, නෝ නාට්‍ය සම්ප්‍රදායන් ඔස්සේ ශෛලිගත රූපණ සම්ප්‍රදායක් පවත්වාගෙන ගිය අතර ඉන්දියාවේ වේදිකාවේ මතු නොව සිනමාවේද කලක් පුරා පැවතියේ නාට්‍යාතිශය (Melodramatical) භාවාතිශය (Emotional) ශෛලිගත (Stylish) හා අධි රංගන (Over Acting) ශෛලීන්ය. ශ්‍රේෂ්ඨ රූපණවේදී ගාමිණි ෆොන්සේකා ආසියානු කලාපයේ පුරෝගාමියා බවට පත් වෙමින් යථාර්ථවාදී රූපණවේදය ලාංකේය සිනමාවට හඳුන්වා දුන් බව මවිසින් විරචිත “ගාමිණි : විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා” (2004) ග්‍රන්ථයෙන් මුල්වරට පෙන්වා දෙන ලදී.

එසේම ලාංකේය වේදිකාවට මතු නොව සිනමා නිළි රූපණයටද යථාර්ථවාදී (Realistic) රූපණවේදය හඳුන්වා  දුන් පුරෝගාමී නිළිය අයිරාංගණී සේරසිංහ බව මම මුල්වරට ඒ ග්‍රන්ථයෙන්ම පෙන්වා දුන්නෙමි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබා 1947 ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමත් සමඟ ඇගේ රූපණ දිවිය ඇරැඹිණ.  විශ්වවිද්‍යාලයීය ඉංග්‍රීසි නාට්‍ය සංගමය නිර්මාණය කළ ‘The Second Mrs Tanqueray’ නාට්‍යයෙහි ටැන්කරේ මහත්මිය ලෙස රඟපාමින් ඕ වේදිකා නාට්‍ය රූපණයට ප්‍රවිෂ්ට වූවාය.

මහාචාර්ය ඊ. එෆ්. සී. ලුඩොවයික්ගේ මඟ පෙන්වීම ලැබ ඉංග්‍රීසි නාට්‍ය රාශියක විවිධ සංකීර්ණ භූමිකා රඟපෑමේ අවස්ථාව ඇයට ලැබිණ ‘‘Antigone’ ‘Black Chiffon’ ‘Twins’ ‘Ghosts’’ (ඇල්වින් මහත්මිය ලෙස) ‘The Government Inspector’, ‘Three Sisters’, The House of Bernarda Alba’’ (බර්නාඩා ආර්යාව ලෙස), ‘Macbeth’ (මැක්බත් ආර්යාව), ‘The Caucasian Chalk Circle’ (ගෲෂා ලෙස) ‘Othello’ (ඩෙස්ඩිමෝනා) යනාදී ඉංග්‍රීසි නාට්‍ය අයිරාංගණියගේ ශූර රූපණ ප්‍රතිභාවට දෙස් දේ. එසේම නියුමන් ජුබාල් නිර්මාණය කළ ‘The Lower Depths’ නාට්‍යයේ  නස්ටියා ලෙස ඇගේ චරිත නිරූපණය ද අමතක කළ නොහැකිය. “රාමා සහ සීතා”, “පෝරිසාදයා” යන නාට්‍ය යුගල නිෂ්පාදනය කළ ඇය ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ “අපට පුතේ මඟක් නැතේ” (මව), ධම්ම ජාගොඩගේ “වෙස් මුහුණු” (කුමාරි) යන නාට්‍යවල රඟපෑ භූමිකා ඔස්සේ සිංහල වේදිකාව ද යථාර්ථවාදී රූපණයෙන් වර්ණවත් කළාය.

ඉතිරි කොටස ලබන සතියේ