මාස්ටර් බ්ලාස්ටර් රෝයි වෙන්වී දෙවසරයි

ජුනි 25, 2020

චිත්‍රපටයක රඟපාන්නට විවිධ  තැන් සොයා ගිය ද එයට ඉඩක් නොවිණ. සහකාර වතු පාලකයකු ලෙස උඩරට ගිය රෝයිට තැපැල් ස්ථානාධිපතිධුරයක් ද ලැබිණ. එහෙත් සිනමාවට ගිය හිත අද්දා ගැනීම පහසු නැත. ඔහු වරෙක නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණයකට ගියේය. එහි සිටි කිහිප දෙනෙකුගේ බැල්ම හිතට නෑල්ලූ  රෝයි ගසා දමා  ආපසු ආවේය. එසේ නොවන්නට රෝයි සිනමාවට එන්නේ කුරුලු බැද්ද චිත්‍රපටයෙනි.

චතුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිඳමුලගේ රෝයි ඇලෝෂියස් ෆීලික්ස් ද සිල්වා උපන්නේ 1937 වසරේ අගෝස්තු මස තිස් වැනි දින එවකට බ්‍රිතාන්‍යයට යටත්ව තිබූ ලංකාවේ මාතලේ පළාතේ යටවත්තේ දීය. ඔහු අභාවප්‍රාප්ත වූයේ 2018 වසරේ ජූනි මස 30 වැනි දින ය. එතරම් දිග නමක් තිබුණ ද රසිකයන් ඔහු දැන සිටියේ රෝයි ද සිල්වා හැටියටය. අප පැවසුවේ රෝයි අය්යා යනුවෙනි. ඔහු නළුවෙකි. තිර කථා රචකයෙකි.අධ්‍යක්ෂවරයෙකි. ගායකයෙකි. සුමනා අමරසිංහයන්ට නම් ඔහු ඇයගේ දයාබර සැමියාය.  මේ හාදකම කෙතෙක්ද යත් මේ ගෙවුණු දෙවසර පුරා ඇය වචන දහයක් කතා කළොත් එයින් හයක්ම රෝයි ගැනය. වසර කිහිපයකට පෙර ඇය හදිසියේ රෝගාතුරව රෝහල් ගත කළ මොහොතේ තරම් රෝයි අය්යා විස්සෝපව සිටි කාලයක් මගේ මතකයේ නැත. මේදෙදෙනා අපේ සිනමාවේ සිටි හොඳට කැපෙන ජෝඩුවක් යැයි මා හිතන එක කාරණයක් එයයි. 

රෝයි අහම්බෙන් සිනමාවට පහළ ව තරුවක් වූවෙක් නොවිණ.ඔහු ඒ සඳහා කට්ට කෑවේය. පාසැල් කාලයේ දඟකාරයකු වූ ඔහුට ගැළපෙන අපූරු යාළුවෙක් ද හැදී වැඩුණු මොරටුව පළාතේ  විය. ඒ පසුකලෙක සිංහල සිනමාවේ විකට රජු වූ ෆ්‍රෙඩී සිල්වා ය. මොරටුව ශාන්ත සෙබස්තියන් හා මරදානේ ශාන්ත ජෝශප් විදුහල්වල ඉගෙනුම ලද රෝයි රංගනයට පිවිසියේ ඒ අවදියේමය. නර්බෝනා හි නිර්භීත සෙබලා ඔහු රඟපෑ මුල්ම නාට්‍යය විය. පාසැලෙන් පසු පිස්සු නටමින් සිටි රෝයිට තාත්තා රස්සාවක් සොයා දෙන්නට කළ උත්සාහය ගැන කවදත් හාස්‍යයෙන් කථා කී රෝයි පැවසුවේ මෙහෙමය.

තාත්තා කිව්වා ඒ මහත්තයා ළග හොඳට හැසිරියං කියලා. ඉතින් මාත් කොච්චර විනීත වුණාද කිව්වොත් ආපසු හැරිලා අවේ නෑ. ආවේ පස්සෙන් පස්සට. මං එච්චර ගරු කරලා එළියට ආවාම තාත්තා කියනවා බලන්නකෝ කොච්චර සල්ලි තිබුණත් කරුමෙක හැටි. මහත්තායගේ ඇස් දෙකම පේන්නේ නෑනේ.”

මේ විහිළුව තේරුම් යන්නේ ටික වේලාවකින්ය.

චිත්‍රපටයක රඟපාන්නට විවිධ  තැන් සොයා ගිය ද එයට ඉඩක් නොවිණ. සහකාර වතු පාලකයකු ලෙස උඩරට ගිය රෝයිට තැපැල් ස්ථානාධිපතිධුරයක් ද ලැබිණ. එහෙත් සිනමාවට ගිය හිත අද්දා ගැනීම පහසු නැත. ඔහු වරෙක නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණයකට ගියේය. එහි සිටි කිහිප දෙනෙකුගේ බැල්ම හිතට නෑල්ලූ  රෝයි ගසා දමා  ආපසු ආවේය. එසේ නොවන්නට රෝයි සිනමාවට එන්නේ කුරුලු බැද්ද චිත්‍රපටයෙනි. තවත් දවසක සම්මුඛ පරීක්ෂණය තිබුණේ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමාහලේ උඩුමහලේය. සම්මුඛ පරීක්ෂණයට ගිය රෝයි දුටු මතින් සිය චිත්‍රපටයට තෝරා ගන්නට තරම් චිත්‍රපටය හදන්නට පැමිණි ඉන්දියානු අධ්‍යක්ෂවරයා සිත සදා ගෙන තිබිණ. ඒ අධ්‍යක්ෂවරයා ද එසේ මෙසේ කෙනෙකු නොවිය. ඔහු එම්.ජී.ආර්ගේ ජනප්‍රිය චිත්‍රපට රැසක් තැනූ  පී.නීලකන්ටන්ය. අලුත් රෝයි සිනමාවට හඳුන්වාදෙන අතර ඔහු මතක හිටින අවවාදයක් ද රෝයිට දුන්නේය. මතක තියාගන්න ළමයා. වයින් ඇන්ඩ් විමෙන් කියන්නේ සිනමාවේ ගමන කෙටි කරන දෙයක්. ඒවට ඇබ්බැහි වෙන්න ලෑස්ති වෙන්න එපා.

රෝයි මියයනතුරු ඒ අවවාදය හිසින් ගෙන ඒවාට ඇබ්බැහි නොවී සිටියේය. 

ඔහු සිනමා නළුවකු ලෙස ඇරඹුව ද චිත්‍රපටයක සියලු අංග කෙරෙහි අවධානයෙන් පසුවිය. නීලකන්නටන් වෙතින් සිනමාවේ සියලු අංග හැදෑරු ඔහු වඩාත් සුපිරි තරුවක් කළ ජෝ දේව් ආනන්ද්ගෙන් එය ප්‍රායෝගිකව අත්හදා බැලුවේ, රංගනයට අමතරව සහාය අධ්‍යක්ෂවරයෙකු වෙමින්ය. ටොම් පචයා රෝයි අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය විය. ඒ ස්ටැන්ලි පෙරේරා සමඟ සම අධ්‍යක්ෂණයකි. රෝයි හා ස්ටැන්ලි චිත්‍රපට සංස්ථාව පිහිටුවා ගැනීමේ සටනේ එකල ක්‍රියාකාරි සාමාජිකයෝ වූහ. රෝයි තනිව අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය තණ ගිරවි. එය බෙහෙවින් විචාරක අවධානය දිනා ගත් චිත්‍රපටයක් විය. ඔහු  අනතුරුව තැනූ බොහෝ චිත්‍රපට අති සාර්ථක විය.

චෙයරියෝ ඩොක්ටර් හා  රෑ දනියෙල් දවල් මිගෙල් චිත්‍රපට මාලාව සමඟ රෝයි සිංහල සිනමාවේ බොක්ස්ඔෆිස් මාස්ටර් බ්ලාස්ටර් විය. ඒ චිත්‍රපටයෙන් චිත්‍රපටය ආදායම් එකිනෙකා පරයන්නට වූ බැවින්ය. ඔහුගේ චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ ලාච්චු මුදල්වලින් පුරවා දුන්නේය. වේළෙමින් තිබුණ සිනමා ශාලා අලුත් ආලෝකයෙන් බැබළිණ. ඔහු මියයන විට චිත්‍රපට තිහක් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් තිරයට ගෙනැවිත් තිබිණ.තවත් චිත්‍රපට දෙකක් තිර ගතවීමට නියමිතව තිබිණ.

ඔහු කලක් නළු නිළි සංගමයේ ලේකම්ධුරය ද දැරුවේය. ඔහුගෙන් වරම් ලද නළු නිළියෝ රැසක් වූහ. සිංහල චිත්‍රපට වලට අමතරව ඔහු ඉංග්‍රිසි චිත්‍රපට දෙකක් ද අධ්‍යක්ෂණය කළේය. කෙසේ වෙතත් අවසාන සමයේ සිනාමුසු මුහුණින් විහිලු තහළුවලින් කල් ගෙවුණ ද රෝයි සිතින් වේදනාවට පත්ව සිටියේය. ඔහු නිර්මාණය කළ චිත්‍රපට දෙකක් තිරගත වන්නට ඉඩ තිබිණ. උපයා ගත් මහා ධනයක් නොවුණත් ජීවිතයේ අවසාන සමයේ හොඳීන් ඉන්නට සිතා ඉතිරි කළ මුදල් වංචනිකයන් සතු කර ගෙනය. චිත්‍රපට හැදුවා විනා ජීවත් වන්නට නිවසක් හදා ගන්නට රෝයි සුමනා උත්සුක වූයේ  නැත. රෝයි සිනහව හිතින් දරා හදවතින් වැලපිණ. චාලි චැප්ලින්ගේ ප්‍රකාශයක් සිහිපත් වෙන්නේ එවිටය. මා වැස්සට කැමති එවිට මා හඬන අන්දම නොපෙනෙණ බැවින්ය. රෝයි අය්යා හිනාවුණේ ද ඒ නිසාමයැයි සිතීම අපට බැහැර කළ නොහැකිය.