යුගයක එක් ගීතයක් මෙසේ නිමවිය

මර්වින් සේනාරත්න
ජූලි 9, 2020

මහාවංශය ඇසුරෙන් පොළොන්නරු යුගය පසුබිම් කොට පුරා තුන් වසරක් සතිපතා ප්‍රචාරය වූ සිංහල වීර අපදාන ගුවන්විදුලි නාට්‍යය වූ ‘සුගන්ධිකා’ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ශ්‍රවණ පර්යේෂණ අංශය මඟින් දීප ව්‍යාප්තව පවත්වන ලද ජාතික සමීක්ෂණයේදී ඉතාමත් ජනප්‍රිය වූද, එමෙන්ම අතිවිශාල ශ්‍රාවක ප්‍රතිචාරයක් දැක්වූද, නිර්මාණයක් ලෙස වාර්තාවක් තබා තිබුණි.

ඒ වෙනුවෙන් සම්මානයක් 1988 සැප්තැම්බර් 12 වෙනිදා එකල රාජ්‍ය ඇමති හා ගුවන්විදුලි අමාත්‍ය ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා අතින් ‘සුගන්ධිකා’ නාට්‍ය රචක මර්වින් සේනාරත්න මහතාට පිරිනමා ඇත.

කවියකු, ගීත රචකයකු, සිංහල හා ඉංග්‍රිසි බසින් ගුවන්විදුලි නාට්‍ය රචකයකු, ලෙස වසර 70ක් අමාත්‍යාංශ ප්‍රවෘත්ති නිලධාරියකුව සිටි මර්වින් සේනාරත්න මහතා වසර 92 ආයු වළඳා පසුගියදා ජීවිතයෙන් සමුගත්තේය.

සේනාරත්නයන් ගීත රචනයට පිවිසෙන්නේ 1949 වසරේදීය. තම ප්‍රථම ගුවන් විදුලි ගීතය 1949 සැප්තැම්බර් 02 වෙනිදා රාත්‍රී 9.45 සිට 10.15 දක්වා ප්‍රචාරය වූ ඩබ්ලිව්. මධුරාවතී ගේ ශාස්ත්‍රීය ගී ගායනා වැඩසටහනට ප්‍රචාරය වී ඇත. මේ පිළිබඳව සේනාරත්නයන් මෙසේ සටහන් කර තිබුණි.

“මධුරාවතී ගායිකාවගේ මඟපෑම නිසා ගුවන්විදුලි වාදක මණ්ඩලයේ මුල්ම වයලීන වාදක සංගීතඥ ඇම්. ඒ. පියදාස, බී. එඩී ද සිල්වා (එඩී මාස්ටර්) දොන් මානිස් පට්ටිආරච්චි, ඇම්. තුංගසේන, වී. වික්ටර් පෙරේරා ආදී ශාස්ත්‍රීය ගායකයන්ට ද ගීත රචනා කිරීමේ භාග්‍ය ලැබුණා. මා මෙන්ම ගායිකා වසන්තා සන්දනායක ගේ සැමියා වූ ධර්මපාල සන්දනායකගේත් ගම කළුතරය.

මේ නිසා මම සන්දනායක පවුලේ සමීප හිතවතෙකු වුණා. ඒ අනුව වසන්තාට ලියන ලද මුල්ම යුග ගීතය 1953 ජුනි 12 දින රාත්‍රී 7.15 සිට 7.45 දක්වා ප්‍රචාරය වූ ඇගේ සරල ගී වැඩසටහනකට ඇතුළත් විය. එච්. ආර්. ජෝතිපාල සිය ජීවිතයේ මුල්ම ගුවන්විදුලි ගීතය ගායනා කරන ලද්දේ 1954 අගෝස්තු 07 වැනිදා රාත්‍රී 7.45 සිට 8.00 දක්වා ප්‍රචාරය වූ වසන්තා සන්දනායකගේ සරල ගී ගායනා වැඩසටහන තුළිනි. හින්දි ගීතයක තනුවකට ‘ශිකාටිස්’ හින්දි චිත්‍රපටයේ ‘ජබ් ජබ් කෝ බාලම’ ගීතයට ලියූ ගීතයක්.

‘අද අද එයි මාරයා -

නොපමාවී පින් කරනු සැමා අද අද එයි මාරයා’

 

ජෝතිපාලගේ කුලුඳුල් ගුවන්විදුලි ගීතයට සරත් සන්දනායක, පුෂ්පරාණි ආරියරත්න, ඇන්. ඇන්තනීත් එක් වුණා. මෙයට කලින් ජෝතිපාල විසින් වසන්තාගේ ‘මහවැලි නදියේ’ යන ග්‍රැමෆෝන් තැටි ගීතයේ අත්වැල් ගායනයට එක් වෙමිනි. ‘තොටියෝ’ යන අකුරු තුන පමණක් ගායනා කොට තිබුණි. ඔහුට මේ අවස්ථාව ලබා දුන්නේ එම තැටියේ සංගීත අධ්‍යක්ෂණය කළ වින්සන්ට් පෙරේරාය. ඔහු ගායිකා ෆ්‍රිසිලා ඕපාතගේ සැමියාය.

1954 දි මර්වින් සේනාරත්නයන් ‘මදර් ඉන්දියා’ චිත්‍රපටයේ ගීත තනුවකට ලියා වසන්තා සන්දනායක ගැයූ මේ ගීතය අදත් වෙසක් පෝදිනය හා බෞද්ධ වෙහෙර විහාරවල අසන්නට ලැබෙයි.

“නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා

මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා”

පුෂ්පරාණි ආරියරත්න සමඟ ජෝතිපාල ගැයූ මේ යුග ගීත දෙකේ හා තනු රචකයා ඔහුය.

 

“පුෂ්පරාණි - මාගම්පුරයේ ඉඳන් ආ ගාමිණී කුමරුවනේ

පෙම් කෙරුවාට බයයි දැන් නම් මගෙ හිතට අනේ

ජෝතිපාල - ඔබ බය වෙන්න එපා මලය රටේ මැණික මගේ

මගේ නැත ආදරයක් වෙන ළඳකට ඔබට වගේ

අනික් ගීතය මෙසේය.

ජෝතිපාල - තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැඳ ජය කෙළී

ඔබ වන්න ප්‍රියේ මේ උද්දාලගෙ මනමාලී

පුෂ්පරාණි - උද්දාල ප්‍රියේ අත දුන් ළඳකට හුලවාලී

අපි යමුකො ඉතින් මදුරාපුර පෙම් පෙලපාළි”

 

‘ඩීඩාර්’ හින්දි චිත්‍රපට ගීයක තනුවකට මේ දෙදෙනා ගැයු ‘ශෝකාදේ මව්නී සැප නෑනේ අහෝ මේ ලෝකයේ’ ගීතයද සේනාරත්නයන්ගේ රචනයකි.

‘කොහිනුර්’ හින්දි චිත්‍රපටයට ජෝතිපාල හා පුෂ්පරාණිට ‘උතුරා යන්න ගියා ආදර ගංගාව‘ ගීතය සේනාරත්නයන් ලියා දී ඇත.

මීට අමතරව ජෝතිපාල ගැයු මර්වින් සේනාරත්න 1961 වසරේ පබැඳු යුග ගීත කිහිපයක් වෙයි. ඔහු පුෂ්පරාණි මඟ ගැයූ ‘අත දුන්න හිතබැන්ද මගෙ ගීතිකා’ (ද්‍රවිඩ ගීයක තනුවකි) ජෝතිපාල හා විවියන් බොරලැස්ස ගැයූ ‘තිස්ස වැවේ වැව රවුම වටේ’ ‘පුදුමයි සෝබාව ධර්මේ’, ‘බරණැස් නගරයෙහි විසූ ගුත්තිල පඬුවාණෝ’ (බුට්පොලිෂ් චිත්‍රපටයේ ගීයක තනුවකි)

 

සේනාරත්නයන් (1958) රචනා, තනුව හා සංගීතය නිර්මාණය කළ ගීත අතර දයාරත්න අමරා රණතුංග මේ යුග ගීතය සංගීත රසිකයා අමතක නොවන ගීයකි.

අමරා - මහ රෑ යාමේ මේ ඇල්හේනේ

තනියම සී පද කියනු අසා

වෙහෙස දරාගෙන පාර අසාගෙන

ආවෙමි අඳුරෙම ඔබව සොයා

දයාරත්න - සී පද රාවේ සවනත වැකිලා

ඉන් මත්වීලද ඔබ ආවේ

මහ රෑ තනියම මේ ලෙස එන්නට

හොඳ නෑ ඇයි එය නොසිතුවේ

අමරා - ඔබ සීපද මට හරි මිහිරී

දයාරත්න - මෝරන සෙනෙහස යයි ඉතිරී

අමරා - කියන්න සීපද රස කරලා

දයාරත්න - අහන්න ඒවා සැනසීලා

අමරා - ඔබ කියනවා නම් අසා සිටින්නම්

ඔබේ දෙපා ළඟ සැතපීලා

දයාරත්න - මහ රෑ යාමේ

අමරා - අඳුරයි සුළඟයි අපට වටා

දයාරත්න - තනි රකිනවා ආදරය සොයා

දෙදෙනාම - දිවි ගංගාවේ ඔරුවයි හබලයි වාගේ

නැළවෙමු සුවය පතා

 

සරත් සන්දනායක හා පුෂ්පරාණි ආරියරත්න 1959 වසරේ ගැයූ මේ ජනප්‍රිය ගීතයේ ද රචනය හා සංගීත රචනය සේනාරත්නයන් ගෙනි.

“සරත් - අක්කෙ ටිකක් එන්නකෝ

ඇවිදින් ඉඳ ගන්නකෝ

පුංචි කතාවක් කියන්න තියෙනවා

පුෂ්පරාණි - මල්ලි නිකන් ඉන්නකෝ

මට යන්නට දෙන්නකෝ

ගෙදර දොරේ වැඩපල මට තියෙනවා”

 

1957 සේනාරත්නයන් ගීත රචනා කොට තනුව යොදා වසන්තා සරත් සන්දනායක ගැයූ මේ ගීතය ජනකවි විකෘති කරන බවට මහාචාර්ය තිලක් රත්නකාර ප්‍රසිද්ධියේ චෝදනා කළ ද මෙම ගීතය අතිශය ජනප්‍රිය වූ බව සේනාරත්න පවසා තිබුණා.

“වසන්තා - ඔන්න පුතේ ඔය නාමල නෙළා

වරෙන්

කැලණි ගඟේ ඔරු යනවා බලා වරෙන්

සරත් - මොකටද අම්මේ නාමල් නෙළලා

කැලණි ගඟේ ඔරු යනවා පැදිලා

වසන්තා - එගොඩගොඩේ සපු කණුවේ

බැන්ද ගොනා කොහිත පුතේ”

 

මර්වින් සේනාරත්නයන්ම කියා ඇති පරිදි ඔහු රචනා කළ ගී තනු නිර්මාණ අප මෙසේ පළ කරන්නේ ඇතැම් විට එම පදමාලා ඇතැම් විට වෙනත් ගේය පද රචකයකුගේ ගිණුමට බැරවෙන නිසාවෙනි. ඔහු ලියූ පසුව ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ගැන කිසිවෙකු නොදන්නා නිසා මේ අයුරින්වත් අයිතිය තහවුරු වීමටය. ඔහු ලියූ ගීතවල අසම්පූර්ණ ලේඛනයකි මේ.

‘ලියට ලියක් නැත’ (1956) ගායනය - වසන්තා හා සරත් සන්දනායක, තනුව/ගීත රචකයාගේය. ‘ගලේ යන්න බැහැ මැණිකේ ගල් රත්වෙනවා’ (1959) ගායනය - පුෂ්පරාණි හා සරත් සන්දනායක, තනුව/ගීත රචකයාගේය. ‘බුදු වෙන්න ගියසේය’ (1961) ගායනය - රැද්‍රානි ලියනගේ හා හරූන් ලන්ත්‍රා, ‘ඔන්න බබෝ ඇතින්නී’ (1963) ගායනය - මොහිදීන් බෙග් / මල්ලිකා ද සිල්වා (කහවිට) ‘ආදරවන්ත ඉතා මගෙ සුදු පුංචි පුතා’ (1953) ගායනය - වසන්තා හා ටයිටස් සමරවීර, ‘තියෙන තරමින් මෙතෙක්’ (1963) ගායනය - සරත් සන්දනායක / පුෂ්පරාණී, ‘හා හා කලබල වෙන්න එපා’ (1963) ගායනය - මොහිදින් බෙග් හා සුජාතා පෙරේරා (අත්තනායක), ‘අනුන් මුලාවේ දමා විනෝදේ’ (1963) ගායනය - වසන්තා හා ධර්මදාස වල්පොල, ‘මහ වැහි ආවා’ (1962) ගායනය - ජී. එස්. බී. රාණි හා මිල්ටන් පෙරේරා, ‘ඒ ශ්‍රී නාමේ සදා ඔබගේ’ (1968) ගායනය - වසන්තා සහ ආර්. සිවනන්ද, ‘පුරා පෙරුමන් මනාසේ’ (1954) ගායනය - ජී. එස්. බී. රාණි හා ධර්මදාස වල්පොල, ‘මේ කාලෙ කාලේ විකාලේ’ (1959) ගායනය - වසන්තා සහ සරත් සන්දනායක, ‘සිත දිය ඇල්ලකට ගොස්’ (1960) ගායනය - වසන්තා සහ දයා හේමන්ත සන්දනායක (අබේසේකර) ‘උදයේ පිබිදුණේ’ (1960) ගායනය - නන්දා මාලිනී සහ ඩී. ඩී. ඩැනී, ‘සුදු බුදු රැස් කැරලි‘ (1961) ගායනය - මොරිස් දහනායක සහ චිත්‍රා සෝමපාල, ‘හේමමාලි මල් කුමාරි (1963) පුෂ්පරාණි සහ රෝහණ බෝගොඩ, ‘කෝ අද සිංහල දැයේ’ (1963) ගායනය - ෆ්‍රිසිලා ඕපාත සහ ජෙරී ඕපාත, ‘මාගේ පුතා ගාමිණී’ (1962) ගායනය - වසන්තා සහ සරත් සන්දනායක, ‘මිහිරි රස ගීතිකා’ (1960) ගායනය - සරත් සන්දනායක සහ පුෂ්පරාණි, ‘කතරගමේ දේව බලේ’ (1954) ගායනය - වසන්තා සහ සරත් දන්දනායක, ‘කිරි මුහුද කලම්බලා’ (1962) ගායනය - ඇම්. අයි. ඇම්. අමීන් සහ පුෂ්පරාණී, ‘පිරුණු කලේ දිය නොසැලේ’ ගායනය - වසන්තා සහ සරත්, ‘අක්කේ රහසක් එන්න කියන්න’ (1963) ගායනය - සුජාතා පෙරේරා සහ රංජනී පෙරේරා, ‘කෙනෙකුට කාසි ඇතී’ (1956) ගායනය - ඩී. ඩී. ඩැනී සහ නන්දා මාලිනී, ‘තුරු සෙවන මේ ගසින් ලැබේ’ (1962) ගායනය - තිලකසිරි ප්‍රනාන්දු සහ ජීවරාණි කුරුකුලසූරිය, ටිකිරි ලියා ටිකිරි ලියා’ (1982) ගායනය - ඩී. ඩී. ඩැනී සහ විජිත කුසුම් ලියනගේ, ‘මධුර මධුර ගෙණි මාගේ’ (1963) ගායනය - පුෂ්පරාණි සහ ඇම්. අයි. ඇම්. අමීන්, ‘වටින් පිටින් එළිය වැටෙනවා’ (1963) ගායනය - පී. එල්. ඒ. සෝමපාල සහ චිත්‍රා සෝමපාල, ‘තිලෝතිලක සම්මා සම්බුද් හිමි’ (1962) ගායනය - දයාරත්න රණතුංග සහ සෝමපාල රණතුංග ‘සුදට සුදේ සුදු සඳ එළියයි’ (1962) ගායනය - ඇම්. කරුණාරත්න සහ පුෂ්පරාණි, ‘අත්තක් උඩබුම්මාගෙන ගායනය - ඇන්. ඇන්තනී සහ පුෂ්පරාණි, ‘රෝහිණී රන් රාජිනී (1959) ගායනය - ධර්මදාස වල්පොල සහ විවියන් බොරලැස්ස, ‘අවට සුපිපී සපු දුනුකේ’ ගායනය - ප්‍රිසිලා ඕපාත සහ සී. ඩී. ෆොන්සේකා, ‘මගේ දයාබර ගැමුනු පුතේ’ ගායනය - වසන්තා සහ සරත් දසනායක, ‘දිට්ඨ මංගලිකා’ (1960) ගායනය - ඇම්. අයි. ඇම්. අමින් සහ පුෂ්පරාණි, ‘වනන්තරේ දරට ගිහින්’ (1960) ගායනය - ඩබ්ලිව්. චූලරත්න සහ චාන්දනී චූලරත්න, ‘සෙත්සිරි දෙන මහ ගුණ මුහුදකි’ (1961) ගායනය - වසන්තා, සරත්, ශ්‍රීමා, දයා හේමන්තා, ‘කැලණි ගඟෙන් නාලා’ (1958) (ගායනය - සරත් සන්දනායක හා පුෂ්පරාණි.

 

ගීත රචකයකු, ගුවන්විදුලි නාට්‍ය කලාවේ නොමැකෙන වාර්තාවක් පිහිටුවූ මර්වින් සේනාරත්නයන් වෙසක් තොරන් කලාවේ ද පෙරළියක් කළහ. එපමණක් නොව ‘මහාවංශය’ සිංහල ඉංග්‍රීසි බසින් නාට්‍යානුසාරයෙන් රචනා කොට වසර තුනක් සතිපතා සිංහල බසින් හා ඉංග්‍රීසි ගුවන්විදුලි නාළිකා ඔස්සේ ප්‍රචාරය කොට කළ මෙහෙය වෙනුවෙන් දෙවරක් ඔහු උණ්ඩා අන්තර්ජාතික සම්මානයෙන් පුද ලැබීය.

මේ මර්වින් සේනාරත්න කවුරුන්ද?

දොන් මර්වින් ඇලෙක්සැන්ඩර් සේනාරත්න 1928 ඔක්තෝබර් 10 වෙනිදා කළුතර පනාපිටියේදී උපත ලැබීය. කළුතර පනාපිටිය මිශ්‍ර පාසලින් හා නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු පසුව කළුතර හෝලික්‍රොස් විද්‍යාලයෙන් ඉංගී‍්‍රිසි අධ්‍යාපනයත් කළුතර උග්ගල්ගොඩ විද්‍යාදර්ශි පිරවෙනෙන් දහම් අධ්‍යාපනය ලැබීය. ඉංග්‍රිසි ගුරුවරයකු ලෙස ජීවිතය ඇරඹූ ඔහු 1952 හේමපාල මුනිදාස සූරීන් කර්තෘත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සතිපතා ප්‍රකාශනයක් වූ ‘සිංහලේ’ පුවත්පතේ උප කර්තෘවරයකු විය. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ භාෂා පරිවර්තකයකු ලෙස ද මැලේසියානු කොමසාරිස් කාර්යාලයේ ප්‍රවෘත්ති නිලධාරියා ලෙසද සේවය කළ සේනාරත්නයන් සංස්කෘතික අමාත්‍යාංශයේද ප්‍රවෘත්ති නිලධාරියා ලෙස කටයුතු කොට ඇත.

ගුවන්විදුලියේ ළමා වැඩසටහන්වලට මර්වින් සහභාගි වූයේ 1947 වසරේ සිටය. විමල් ජේ. අභයසිරි, තිස්ස සිරිවර්ධන, ඇලන්සන් පියදාස, සිරිසෝම ජයසිංහ, සිසිර කුමාර මානික්කආරච්චි හා මර්වින් සේනාරත්න විසින් දිවයිනේ දුර බැහැර ප්‍රදේශවල නොදියුණු පාසල් රාශියක් ළමුන් සහභාගි කරවාගෙන ප්‍රචාරය කළ සතිපතා ‘ළමා පිල’ වැඩසටහන් මාලාව පටන්ගෙන ඇති බව මේ රටේ දන්නේ කවුද වරක් සේනාරත්න මහතා ප්‍රශ්න කර තිබුණි. ගුවන් විදුලි ළමා වැඩසටහන් ඉතිහාසයෙන් සාපරාධි ලෙස කපා දමා යටපත් කර ඇතැයි ඔහු චෝදනා කළේය.

සිරි අයියාගේ ‘ළමා තීරයෙන්’ කරුණාරත්න අබේසේකර වැනි අය බිහිවුණා සේම පසු කලෙක විවිධ කලා ක්ෂේත්‍ර තුළ නමක් දිනු සිසිර කුමාර මානික්කආරචචි, ඩි. ඩී ඩැනී, අලන්සන් පියදාස, විමල් අභයසිරි හා මා ද බිහිවුණේ ‘ළමා විල’ වැඩසටහනකින්ය. සේනාරත්න පවසා තිබුණි.

1948 මුල්වරට ගුවන්විදුලි කාර්යාලයට ගිය සේනාරත්නයන් ‘කවිකාර මඩුව‘ වැඩසටහන සහභාගි වී ඇත. එකල ‘කවිකාර මඩුව‘ මෙහෙය වූයේ ටිබෙට් මහින්ද හිමි, සිසිර කුමාර මානික්කආරච්චි, විමලරත්න කුමාරගම, විල්සන් හෑගොඩ, එච්. එම්. කුඩලිගම වගේ කවියන්. තමා කවියෙකු ලෙස මතුවුණේ කවිකාර මඩුවෙන් බව ආඩම්බරයෙන් කියා සිටියේය.

වසර 92 තුළ තම ජීවිතයේ අවසාන මොහොත දක්වාම කලාවට කැප වූ මේ අව්‍යාජ මිනිසා රචනා කළ වීදිය බණ්ඩාර, වෙලේගෙදර, දියකිල්ලේ රාළ. දඹතැන්න, දොලේලන්ද රජතලාව වැනි ගුවන්විදුලි නාට්‍ය නොමැකී කලා ලෝකයේ රැඳී තිබෙනු නොඅනුමානය. නව පරපුරේ විශිෂ්ට ලේඛකයකු වූ මංජුල සේනාරත්න, මර්වින් සේනාරත්නගේ පුතණුවන්ය. මර්වින් සේනාරත්න පුතෙකුගේ හා දියණියකගේ පියෙකි.