අතවරයට ස්ත්‍රී පුරුෂ භේදයක් තිබේද?

ජූලි 9, 2020

සුගතපාල ද සිල්වාගේ “සත සහ සත” නාට්‍යයේ අවසානයේ කාලි මාතාව කුමාරසිංහගේ ඔළුව වැදිසිංහටත් වැදිසිංහගේ ඔළුව කුමාරසිංහටත් මාරු කිරීමෙන් ඔවුන්ගේ සිරුරුවල ඔළුව හා කඳ අතර නොගැළපීමක් හට ගනී. එහි අත්‍යන්ත ප්‍රතිඵලය ලෙස කුමාරි උදෙසා මොවුහු සටන් වදිති. මෙය බලා සිටිනු නොහැකිව කුමාරි සිය දිවි නසා ගැනීමෙන් නාට්‍යය අවසන් වේ. මහාචාර්ය සරච්චන්ද්‍ර “මනමේ” නාට්‍යයේ මනමේ කුමරියට ලබා නොදුන් එහෙත් චාල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ ඇයට ලබා දිය යුතු යැයි තරයේ ඇදහූ දඬුවම සුගතපාල ද සිල්වා “සත සහ සත” ඔස්සේ ලබා දුන් බැව් පෙනේ.

“මනමේ” හා “සඳකිඳුරු” මුලින්ම බිහි වූයේ කෝලම්, කවි නාඩගම් ලෙසිනි. මේ යුගල සමාන්තරව රඟ දැක්වීමෙන් ගැමි නාට්‍යකරුවා අපේක්ෂා කළේ පරමාදර්ශී ස්ත්‍රීත්වය හා චපල ස්ත්‍රීත්වය ප්‍රේක්ෂකයාට කාවැද්දීමටය. ගුණසේන ගලප්පත්ති සූරීන් කවි නාඩගම් ඇසුරෙන් නිර්මාණය කළ ‘සඳ කිඳුරු” (1957) නාට්‍යයෙන් පරමාදර්ශී, පතිවෘත්තාව වෙනුවෙන් දිවි පිදුමට ද මැළි නොවූ උදාර ස්ත්‍රියක මූර්තිමත් කෙරිණ. ලාංකේය නාට්‍ය වංශයේ අග්‍රඵලය වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” (1961) නාට්‍යය ඔස්සේ ස්වාමියාගේ ප්‍රේමයටත් පුත්‍ර ස්නේහයටත් මැදිව දෝලනය වන ප්‍රාබල්‍ය මානසික ගැටුමකට මුහුණ දෙන ස්ත්‍රීත්වය, මාතෘත්වය ‘සුප්පා දේවි’ චරිතයෙන් ඉස්මතු කෙරිණ. මේ ඔස්සේ ලාංකේය නාට්‍ය කලාවේ ප්‍රබල, අමරණීය නිළි ප්‍රතිරූපයක් ස්ථාපිත කිරීමට මාලිනී රණසිංහ සමත් වූවාය. එසේම ඇය අඛණ්ඩව ඒ භූමිකාව අඩ සියවසක් රඟපාමින් ද වාර්තාවක් තැබුවාය. මේ වූ කලී සර්වකාලීන ගැටුමකි. පරම්පරා අතර පිය පුතු ගැටුම සහ ඊට මැදිවන බිරියක හා මවක මුහුණපාන සංකිර්ණ මානසික ස්වභාවය මෙකලත් සමාජයේ කොතෙකුත් දක්නට ලැබේ. ඉක්බිතිව ප්‍රේමරංජිත් තිලකරත්නයන් නාට්‍ය ක්ෂේත්‍රයේ ස්වකීය ලකුණ ස්ථාපිත කළ ‘වහලක් නැති ගෙයක්’ (1964) නිර්මාණය කළේ සිංහබාහු හී පිය - පුතු ගැටුමෙහි ආභාසයෙනි. මෙහිදී පිය පුතු ගැටුමෙන් බැට කන මවගේ භූමිකාව ශූර ලෙස නිරූපණය කරමින් චන්ද්‍රා කළුආරච්චි 1964 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළියගේ සම්මානයට පාත්‍ර වූවාය. “සිංහල වේදිකාවේ සදාකාලික අම්මා” චන්ද්‍රා කළුආරච්චි බව වරක් පැවසුවේ ප්‍රවීණ නාට්‍යවේදී සුමන ආලෝක බණ්ඩාරයන්ය. (සිංහල වේදිකාවේ රත්තරන් අවධිය ගැන සුමන මතක ග්‍රන්ථය) 1961 බිහි වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “ඒකට මට හිනා හිනා” උමංදාවේ එන කාල ගෝල කතාව දෙස නව්‍ය දෘෂ්ටියකින් බැලීමට ප්‍රයත්න දැරූ හාස්‍යෝත්පාදක නාට්‍යයකි. මෙහි දික්තලා පුණ්‍යසේන ගුණසිංහගේ “කාලගෝල” නාට්‍යයෙහි මෙන් චපල ස්ත්‍රියක නොවේ. ඇය ස්වාමි භක්තියෙන් යුතු කාන්තාවකි.

දික්පිටියාගේ භූමිකාව මෙහි නිරූපණය කොට ඇත්තේ බලහත්කාරකම් කරන සල්ලාලයකු ලෙසිනි. දයානන්ද ගුණවර්ධනයන්ගේ “පිංගුත්තර” (1961) උමංදාවේ එන පිංගුත්තර කතාවෙහි ඇසුරෙන් නිර්මාණය කෙරුණු නාට්‍යයකි. ලැජ්ජාශීලීව උදුම්බරා දේවියගේ ඇසුරෙන් දුරස්ථ වන පිංගුත්තර චරිතය ඇසුරෙන් නාට්‍යයක් නිර්මාණය කිරීමට දයානන්ද ගුණවර්ධනයන්ට සිතුණේ ස්වකීය අත්දැකීමක් පාදක කොට ගෙනය. දයානන්ද ගුණවර්ධනයන් ස්ත්‍රී ඇසුරට ලැජ්ජාශීලී වූ පුද්ගලයකු බව වරක් සඳහන් කොට තිබුණි. මුල් යුගයේ රංගන ශිල්පියකු වූ දයානන්ද චිත්‍රපටවලදී පෙම් චරිත රඟපෑමට මැළිකමක් දැක්වූයේ එහෙයිනි. “කුරුලු බැද්ද” (1961) චිත්‍රපටය රූගත කිරීමේදී ඔහුට පුණ්‍යා හීන්දෙණිය සමඟ ප්‍රේමාන්විත දර්ශනවල රඟපෑමට සිදු වූ අතර අධ්‍යක්ෂ එල්. එස්. රාමචන්ද්‍රන්ගේ උපදෙස් අනුව ඒ දර්ශනවල රඟපෑමේදී තමා දැඩි ලැජ්ජාවකට හා අපහසුතාවකට පත් වූ බව දයානන්ද ගුණවර්ධනයෝ පසු කලෙක සඳහන් කළහ. ඒ ඔස්සේ ඔහු තුළ ඇති වූ චකිතයෙන් පසුව “පිංගුත්තර” නාට්‍යය බිහි වූ බව ඔහු කීවේය. ස්ත්‍රියකට බැඳි ප්‍රේමයෙන් අවසන ඛේදයට පත් වන පුරුෂයකු අරභයා “පේමතෝ ජායතී සෝකෝ” නිර්මාණය කළ සරච්චන්ද්‍රයෝ “මහාසාර” නාට්‍යය හරහා බහුතරයක් ස්ත්‍රීන්ට ආවේණික දුබලතා හාස්‍යෝත්පාදක දෘෂ්ටියෙන් විවරණය කරති. සෑමවිටකම සිදු වනුයේ පුරුෂයකුගෙන් ස්ත්‍රියක අතවරයට ලක් වීම පමණක්ද? ස්ත්‍රියකගෙන් පුරුෂයකුට අතවරයක් සිදු විය නොහැකිද? මහාචාර්ය සරච්චන්ද්‍රයෝ “ලෝමහංස” නාට්‍යය ඔස්සේ ඉස්මතු කරනුයේ ඒ පැනය නොවේද? පන්සිය පනස් ජාතක පොතෙහි එන මහා පදුම ජාතකය මෙහිලා පාදක විය. පියාගේ දෙවන භාර්යාව වූ තරුණ කුඩම්මාගේ ප්‍රේමයෙන් බරපතළ විපතට ලක්වන තරුණයකු මුහුණපාන ඛේදවාචකයක් මීට වස්තු විෂය වේ.

මේ වස්තු බීජය අපරදිග සාහිත්‍යයට එක් වන්නට ඇත්තේ පෙරදිග සාහිත්‍යයෙන් බැව් සිතීම සහේතුකය. ග්‍රීසියේ ශ්‍රේෂ්ඨ නාට්‍යවේදී යුරිපිඩිස්ගේ “ඩ්ධ්ර්‍ථර්‍ථර්‍ණඹ්කඊඋඉ” නාට්‍යයට මේ වස්තු බීජය පිවිසෙන්නට ඇත්තේ ඒ අනුව බැව් සිතිය හැකිය. රෝම නාට්‍ය යුගයේ සෙනෙකා මේ ඇසුරෙන් “ර්‍ථඩ්ඒඡ්ච්අඒ” නාට්‍යය බිහි කළ අතර පසු කලෙක ශාන් රසින්ගේ “ර්‍ථඩ්ඡ්ච්අඡ්” (1677) නාට්‍යය ඔස්සේ ඊට නව්‍ය මානයක් එක් විය. 1962 දී ජූල්්ස් ඩසින් මේ නාට්‍යය ඇසුරෙන් “ර්‍ථඩ්ඒඡ්ච්අඒ” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර ප්‍රේමරංජිත් තිලකරත්නයන්ගේ ප්‍රවිෂ්ටය සනිටුහන් කළ “වගුරුබිම” (1963) නාට්‍යය සඳහා ආභාසය වූයේ මේ චිත්‍රපටය බැව් පෙනේ. පැරැණි පෙම්වතියක වූ ස්ත්‍රියකගෙන් අතවරයට ලක්වන පුරුෂයකු බේරා ගැනීමට අවසන නීතිවේදිනියක වන ඔහුගේම බිරිඳ ඉදිරිපත් වන ත්‍රාසජනක කතා පුවතක් ඇතුළත් වූ හින්දි චිත්‍රපටයක් මට සිහිපත් වේ. ඒ “ඒධ්ඊඅඒඒඛ” (2004)ය. ස්පාඤ්ඤ ජාතික ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකාගේ “කඡ්අර්ඒ” නාට්‍යය ඇසුරෙන් ගුණසේන ගලප්පත්ති සූරීන් අනුවර්තනය කළ “මුහුදු පුත්තු” (1961) ලාංකේය නාට්‍ය වංශයේ ස්ත්‍රී භූමිකා නිරූපණ පිළිබඳ විමංසනාක්ෂියෙහිදී අමතක කළ නොහැකි නාට්‍යයකි. “කඡ්අර්ඒ” නාට්‍යයේ පිටපත පසුකලෙක මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සිංහලට නඟා පළ කළහ. කිසියම් පවුලකට දරුවකු නොමැති නම් එහි සකලවිධ චෝදනා, දෝෂාරෝපණය, අපහාස සමාජයෙන් මෙන්ම තමා අයත් පවුල් සංස්ථාවෙන් ද එල්ල වනුයේ බොහෝ විට ස්ත්‍රියටය.

මේ අයුක්තිසහගත ආකල්පය අතීතයේත් වර්තමානයේත් එලෙසින්ම පවතී. “මුහුදු පුත්තු” නාට්‍යයේ තේගිරිස්ගෛ් බිරිය “සරා” වඳ ගැහැනියක සේ සමාජයෙන් ගැරහුම් ලබන අතර ඇය එසේ නොවන බව තේගිරිස්ගේ සොහොයුරු දියෝනිස් මැදිහත් වී ඔප්පු කොට සිටී. මේ බැව් දැන ගත් තේගිරිස් දරුවා මරා දැමීමෙන් අවසානය ඛේදවාචකයක් බවට පත් වේ. සෝමලතා සුබසිංහ “සරා”ගේ භූමිකාවෙන් ලාංකේය වේදිකාවේ ප්‍රබල ලෙස 60 දශකයේ ඉස්මතු වූ රූපණවේදිනියකි. ප්‍රවීණ රූපණවේදී බුද්ධදාස විතානාරච්චි මහතා පසුගියදා මා සමඟ පැවසුවේ ධම්ම ජාගොඩගේ “වෙස් මුහුණු” නාට්‍යයේ කුමාරි උඩුවෙලගේ චරිතය රුක්මණී දේවියට පසුව රඟපෑවේ සෝමලතා සුබසිංහ බවය. එහි සැම්සන් ලෙස ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියත් වික්ටර් ලෙස බුද්ධදාස විතානාරච්චිත් සෙසු චරිත සිරිල් වික්‍රමගේ, සුමින්ද සිරිසේන, ශාන්තා පද්මපෙරුමත් රඟපෑහ.

ඉතිරි කොටස ලබන සතියේ