නිහඬ මිනිසාට හඬ දුන් මොරිකෝනේ

ජූලි 16, 2020

ඈත දූවිලි වලාවක් නැඟෙමින් තිබේ. ඒ සමඟ අසරුවෙකුගේ හඬ ඇසේ. ඊළඟට ඇසුණේ වෙඩි හඬකි. අසරුවා බිම ඇද වැටිණි. කාන්තාරයේ තනි කෙළින් තිබූ දුම්රිය මාර්ගය දිගේ දුම්රියක් ධාවනය වෙමින් තිබිණ. එකවරම දුම්රිය නතර විණි. ඒ දුම්රිය නතර වූයේ එය නැවැත්විය යුතු නියමිත ස්ථානයක නොවේ. එබැවින් එහි නියාමකවරයා කවුළුවෙන් හිස එළියට දමා, මේ කුමක් දැයි බලන්නට තැත් කළේය. ඉදිරි මැදිරියකින් අසරුවකු එළියට බසිනු දැක ඔහු යමක් කියන්නට තැත් කළේය. එහෙත් අසරුවාගේ ඉණ බැඳී රිවෝල්වරය දුටු නියමුවා කටට ආ වචන ගිල දැමුවේය. නිහඬ මිනිසාට හඬක් වුවමනා විය. ඒ හඬ මතු වූයේ ඔහුගේ ස්වරයෙනි. 

1928 නොවැම්බර් 10 වන දින ඉතාලියේදී ලිබේරා රිඩොල්ෆ් සහ මාරියෝ මොරිකෝනේ නම් යුවළට දාව උපන් පිරිමි දරුවා වූ ඔහු, එන්යූ ලෙස නම් ලැබුවේය. ඉතාලිය ෆැසිස්ට් ආධිපත්‍යයට යටව තිබුණු ඒ සමයේ සංගීතඥයෙකු වුණු මාරියෝ ට්‍රම්පට් වාදකයෙකු ලෙස සේවය කළ අතර ලිබේරා කුඩා මැහුම් ව්‍යාපාරයක් පවත්වාගෙන ගියාය. මාරියෝ හැකි සෑම විටම සිය කුඩා පුතු එන්යූට සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කිරීමට ඉගැන්වීය. සිය 12 වන වියේදී ජාතික සංගීත ඇකඩමියට ඇතුළත්ව සිවු වසරක අධ්‍යාපනික වැඩසටහනක් මාස සයක් වැනි කෙටි කලකින් සම්පූර්ණ කළ එන්යූ 1941 දී ඇකඩමියේ ඔපෙරා වාදක වෘන්දයට බඳවා ගැනිණි. තරුණ එන්යූ සිය පළමු සංගීත රචනය (Composition) ‘ඉල් මට්ටිනෝ’ (උදය) යන නමින් සිය 18 වන වියේදී ඉදිරිපත් කළේය.

1946 දී අරඹා, දශක හතක් පුරාවට චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍ය මාලා 500 කට අධික ගණනකට සංගීතය සපයමින්, ලෝක සිනමා සංගීතයට විශිෂ්ට සේවාවක් සිදු කළ එන්යූ මොරිකෝනේ නම් මහා සංගීතවේදියා 2020 ජූලි මස 6 වැනිදා සදහටම මෙලොව හැර ගියේය. වෘත්තියෙන් සංගීත රචකයෙක්, මෙහෙයවන්නෙක් සහ ට්‍රම්පට් වාදකයෙක් වන මොරිකෝනේ චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා වෙනුවෙන් විවිධ වූ ශෛලීන්ගෙන් පසුබිම් සංගීතය නිර්මාණය කර ඇති අතර ඔහුගේ සම්භාව්‍ය සංගීත නිර්මාණ ගණන සියයකට අධික ය. ලෝක චිත්‍රපට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කළ විශිෂ්ට ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන සර්ගියෝ ලියොන් ගේ ‘A Fistful of Dollars (1964)’, ‘For a Few Dollars More (1965)’,‘The Good, the Bad and the Ugly (1966)’ චිත්‍රපට ත්‍රිත්වයේම පසුබිම් සංගීතය මොරිකෝනේ විසින් නිර්මාණය වුණු අතර එම චිත්‍රපටයන්හි සාර්ථකත්වයට මොරිකෝනේගේ සංගීතය බෙහෙවින් හේතු වුණු බව ප්‍රකට කරුණකි.

‘The Good, the Bad and the Ugly චිත්‍රපටයට මොරිකෝනේ අතින් නිර්මාණය කෙරුණු සංගීතය එදා මෙදා තුර චිත්‍රපට පසුබිම් සංගීත නිර්මාණ වෙත දැඩි බලපෑමක් එල්ල කළ සංගීත නිර්මාණයක් බව කියවේ. මොරිකෝනේ සම්මානනීය චිත්‍රපට 70 කට වැඩි ගණනකට පසුබිම් සංගීතය නිර්මාණය කර දී ඇති අතර තවත් විශිෂ්ට ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ගුඉසේප් ටෝනටෝගේ බොහෝ චිත්‍රපට සහ The Battle of Algiers (1966), දරිඕ ආගේන්ටෝ ගේ ‘Animal’   චිත්‍රපට ත්‍රිත්වය, 1900 (1976), Exosist II (1977), ‘Days of Heaven (1978)’ මේ අතර වේ. මොරිකෝනේ විසින් සංගීතය සැපයුණු ප්‍රධාන ප්‍රංශ චිත්‍රපට අතර ‘La Cage Aux Folles (1978 – 1985)’චිත්‍රපට ත්‍රිත්වය සහ ‘Le Professional’ යන චිත්‍රපට සුවිශේෂ වේ. The Thing (1982), Once Upon a Time in America (1984), The Untouchables (1987), Disclosure (1991), In the Line of Fire (1993), Bulworth (1998), Mission to Mars (2000), Bugsy, Ripley's Game (2002), The Hateful Eight (2015)  ඔහු විසින් පසුබිම් සංගීතය සැපයූ ඇමෙරිකානු චිත්‍රපට වේ. මොරිකෝනේ ගේ පසුබිම් සංගීත නිර්මාණ පැරණි අපරදිග (Old West), භීහත්ස්‍ය (Horror), ප්‍රහසන (Comedy), නාට්‍යමය (Drama), සහ දේශපාලනික යනාදී චිත්‍රපට ප්‍රවර්ග (Genre) ගණනාවකම දැකිය හැකි වීම සුවිශේෂී වන අතර ඔහු සිය මුල්ම පසුබිම් සංගීත නිර්මාණය ලෙස සටහන් වන Abandoned (1955) හි සිට අවසන් නිර්මාණය වන The Correspondence(2016) දක්වා දශක හතක චිත්‍රපටයන්ට යාවත්කාලීනව සංගීතය සපයා ඇත. 

1976 වසරේදී මොරිකෝනේ මුල් වරට ඇකඩමි සම්මානයකට නාමයෝජනා වුණු අතර ඒ 1979 වසරේ තිරගත කෙරුණු ‘Days of Heaven’ චිත්‍රපටයේ පසුබිම් සංගීතය වෙනුවෙනි. he Untouchables (1987), Bugsy (1991), Malèna (2000) මොරිකෝනේ ඇකඩමි සම්මාන වෙනුවෙන් නාමයෝජනා වුණු අනෙකුත් චිත්‍රපට අතර වේ. ඔහු පළමු වරට සිය පසුබිම් සංගීතය වෙනුවෙන් තරගකාරී ඇකඩමි සම්මානයක් දිනා ගත්තේ 2016 වසරේ The Hateful Eight  චිත්‍රපටය වෙනුවෙන් වුවද 1928 වසරේ සිට මේ දක්වා කාලය තුළ සිය සංගීත නිර්මාණ වෙනුවෙන් ඇකඩමි ගරු සම්මානයක් දිනූ දෙදෙනාගෙන් එක් අයෙකි. ඔහුගේ නිර්මාණ බොහෝ විශිෂ්ට සංගීතවේදීන් ගණනාවක්ම ආදර්ශයට ගත් බව ද රහසක් නොවේ. මේ අතර ඩේන්ජර් මවුස්, ඩයර් ස්ට්‍රේටස්, මූස්, මෙටලිකා, රේඩියෝහෙඩ් සහ හාන්ස් සිමර් පෙන්වා දිය හැකිය. 

1956 දී මරියා ට්‍රවියා සහ විවාහ වුණු මේ සංගීතවේදියාට මාකෝ, ඇන්ඩ්‍රියා සහ ජිවානි ලෙස  පුතුන් තිදෙනෙකුත් සහ  අලෙක්සැන්ඩ්‍රා නමින් දියණියක සිටී. වසර 63ක් සිය බිරිඳ සමඟ සතුටින් දිවිගෙවූ මොරිකෝනේ පසුගිය 6 වනදා මිය යන විට වයස 91 කි. ඉංග්‍රීසි භාෂාව කිසි දිනෙක ප්‍රගුණ නොකළ මොරිකෝනේ කියා සිටියේ, චිත්‍රපටයන්හි සිය සංගීතය එයට අවශ්‍ය භාෂාව කතා කරන බවයි. හොලිවුඩ් චිත්‍රපට විශාල ගණනකට සංගීතය සැපයුවද හොලිවුඩයේ ජීවත් වීම ප්‍රිය නොකළ ඔහු ඉතාලියේම සිය දිවිය ගත කළේය.