මුද්‍රා නාටකයෙන් තැටියට නැඟුණු “දසබලධාරී”

ජූලි 16, 2020

සිංහල ගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ නාදේශ්වර ආර්.ඒ. චන්ද්‍රසේන සූරීන් විසින් දශක අටකට පමණ ඉහතදී ගායනා කරන්නට යෙදුණු “දසබලධාරී බුදු රජ පෙර කල” නම් වූ සුප්‍රසිද්ධ ගීතයේ ඉතිහාසය මෙම ලිපියෙන් ගෙන හැර පාන්නෙමි. සිංහල ග්‍රැමොෆෝන් ගීතය, ගුවන්විදුලි ගීතය, චිත්‍රපට පසුමිබ් සංගීතය, කණ්ඩායම් සංගීතය, ස්ටීරියෝ සංගීතය ආදී සකලවිධ සංගීතමය මාධ්‍යයන් සමතික්‍රමණය කොට සිංහල සංගීත ක්ෂේත්‍රයට අතිදක්ෂ ගායක සහ වාදක ශිෂ්‍ය- ප්‍රශිෂ්‍ය පරපුරක් බිහිකළ යුගපුරුෂයෙකු ලෙස ආර්.ඒ. චන්ද්‍රසේනයන් හඳුන්වා දිය හැකි ය. චන්ද්‍රසේන නාදෙශ්වරයාණන් විසින් සංගීතවත් කළ ගීත රාශියක් පැවතුණ ද, ඔහු විසින් සංගීතය මෙහෙයවා, ඔහු විසින් ම ගායනා කරන ලද ගීත හමුවන්නේ අතළොස්සකි. ඒ අතුරින් චන්ද්‍රසේන නැමැති ගායකයා ගේ කූටප්‍රාප්තිය සේම ඔහුගේ අනන්‍ය මුද්‍රාව සනිටුහන් කරන ගීත අතර ඉහළම ස්ථානයේ වැජඹෙන්නේ මෙම “දසබලධාරී” ගීතයයි.

 

දස බලධාරී බුදු රජ පෙර කල

ඉපිද හිමාලේ කිඳුරෙකු වීලා

වසනා සඳෙහි කිඳුරඟ සමඟා

වනයේ තුටිනා ප්‍රේමය පාලා

 

කර ආලේ රාජා ඒ

බරණැසෙහී කිඳුරී ටා

මැරුවෝ බෝසත් විද හී පාරා

බෝසතුගේ ප්‍රාණය ඒ

සක් දෙවිඳුන් දානය කෙරුවෝ

 

දසබලධාරී .........

 

මෙම ගීතය මගින් විස්තර කෙරෙන්නේ පන්සිය පනස්‌ ජාතක පොතෙහි එන “චන්ද කින්නර” ජාතකයයි. එම ජාතකය සැකෙවින් විස්තර කළහොත් කිඳුරු යුවළක් ඉතා සතුටින් ප්‍රේම සල්ලාපයෙන් වෙළී සිටින අවස්ථාවක, එහි පැමිණි බරණැස් නුවර බඹදත් රජ කිඳුරිය කෙරෙහි ලොබ සිත් ඇතිකරගෙන, කිඳුරා ඊතලයෙන් විද මරා දමයි. කිඳුරියගේ පතිවෘතාව දුටු ශක්‍ර දේවේන්ද්‍රයා කිඳුරාට නැවත ජීවිතය ලබාදෙයි. කුරුණෑගල යුගයේ විල්ගම්මුල සංඝරාජ හිමියන් විසින් විරචිත “සඳ කිඳුරුදා කව” මෙන්ම අතීතයේ ගැමියන් අතර ප්‍රචලිත වූ “සඳකිඳුරු නාඩගම“ සඳහා ද ප්‍රස්තුත වූයේ යට කී කතා පුවතම ය.

ආර්.ඒ. චන්ද්‍රසේනයන් විසින් ගායනා කරන ලද මෙම “දසබලධාරී“ ගීතය පළමු වරට ඇතුළත් කෙරුණේ වර්ෂ 1948 මාර්තු 13 දින මාදම්පේ රජයේ මාධ්‍ය මහා විද්‍යාලයයේ පවත්වන්නට යෙදුණු “සඳකිඳුරු” මුද්‍රා නාටකයටය. මෙම ගීතය නිර්මාණය වූ අයුරු ආර්. ඒ චන්ද්‍රසේන සූරීන් ගේ ප්‍රිය බිරිඳ වූ ශ්‍රියානි චන්ද්‍රසේන මහත්මිය එතුමිය විසින් රචිත “ආර්. ඒ චන්ද්‍රසේන සංගීතවේදියාණන්ගේ උදාර මෙහෙවර” නම් ග්‍රන්ථයෙහි පහත පරිදි දක්වා ඇත. එවකට මාදම්පේ මැදි විදුහලෙහි නර්තනාචාර්යවරයා වශයෙන් සිටියේ වසන්ත කුමාර ඩෙප් මහතා ය. එතුමා චන්ද්‍රසේන මහතාගේ කුළුපඟ මිතුරෙකි. එවකට චන්ද්‍රසේන මහත්මා සහ එම මහත්මී ශ්‍රී ලංකා ගුවන්විදුලියෙහි වාදන සහ ගායන ප්‍රසංගාදිය පවත්වා ජනප්‍රිය තලයෙහි ඉහළින්ම සිටි යුවලකි. මේ කාලයේ වසන්ත කුමාර ඩෙප් මහතා මාදම්පේ මැදි විදුහලේ “සඳකිඳුරු” මුද්‍රා නාටකය ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කරමින් සිටියේය. මෙම මුද්‍රා නාටකයේ සංගීතය අධ්‍යක්ෂණය කිරීම සඳහා ඩෙප් මහතා විසින් තෝරාගනු ලැබුවේ ආර්. ඒ චන්ද්‍රසේන මහතාය. “සඳකිඳුරු” මුද්‍රා නාටකයේ ගීත සහ සංගීතය පුහුණු කිරීම සඳහා චන්ද්‍රසේන මහතා සහ ශ්‍රියානි චන්ද්‍රසේන මහත්මිය ඇතුළු කණ්ඩායමක් මාදම්පේ මැදි විදුහලට පිටත්ව ගියෝ ය. මෙම කණ්ඩායමට තූර්ය වාදනයෙන් එවකට ජනප්‍රිය ගායකයෙකු සහ වාදකයෙකු වූ, එම්. එඩ්වඩ්. පෙරේරා මහතා, එස්.එම්. සේවියර් මහතා, ෆ්‍රැන්සිස් ජෝන් මහතා, වනසා ආමත් මහතා ඇතුළත් වූ අතර තබ්ලා වාදනය සඳහා එඩ්මන්ඩ් අබේගුණවර්ධන මහතා එක්කරගන්න ලදී.

“දසබලධාරී ගීතය” ගීතය ඇතුළු අනෙක් ගීත රචනා කළේ එවකට මෙම විදුහලෙහි සිංහල භාෂා ආචාර්යවරයකු වූ එස්.එල්. කැකුලාවල මහතා විසිනි. කැකුලාවල මහතා පසු කලෙක මෙරට ප්‍රථම වාග් විද්‍යා මහාචාර්යවරයා ලෙස පත්වුණු අතර, පසු කලෙක කැලණිය සරසවියෙහි උපකුලපති ධුරය ද හෙබවී ය. මෙම මුද්‍රා නාටකයේ සමාරම්භක ගීතය ලෙස “දසබලධාරී” ගීතය චන්ද්‍රසේන මහතා ස්වකීය සංගීතමය හරඹයන් යොදා ඉතා විශිෂ්ට ලෙස නිර්මාණය කළේ ය. මුළු නාටකයේම කථා සාරය ගැබ් කරගත් මෙම ගීතය පසුබිමෙන් ඇසෙන විට ඍෂිවරයෙක් විසින් එය මුද්‍රානාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන අයුරින් මෙය නාටකය ආරම්භයේදී ඉදිරිපත් කෙරුණි.මෙම නාටකයේ සියලුම ගීත චන්ද්‍රසේනයන් ගේ ස්වතන්ත්‍ර නිර්මාණයන් ම විය. චන්ද්‍රසේනයන් ගේ සහ ශ්‍රියානි චන්ද්‍රසේන මහත්මියගේ කේවල ගායනා මෙන්ම යුග ගායනා ද මෙම නාටකයට ඇතුළත් විය. නාටකය ඉතා මනරම් ආකාරයෙන් අවසන් වුණු අතර එයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ද නොඅඩුව ලැබුණි.

මෙකී ජනප්‍රසාදය නිසාවෙන්ම, වර්ෂ 1948 ජුනි මස 25 දින චන්ද්‍රසේනයන්ගේ මෙහෙයවීමෙන්, ශ්‍රියානි චන්ද්‍රසේන මහත්මිය නිෂ්පාදනය කළ, “සඳකිඳුරු”නාටකය පළමු වරට ගුවනට මුසු විය. ගුවන්විදුලියේ සිංහල සේවයෙන් ප්‍රචාරය කරන ලද පැය භාගයකට සීමා වූ මෙම නාට්‍යය ඉතා ඉහළ ශ්‍රාවක ප්‍රසාදයක් දිනා ගත්තේ ය. ගුවන්විදුලි නාටකයක් ලෙස ඉදිරිපත් කළ මෙහි ද, “දසබලධාරී” ගීතය ගායනා කළේ චන්ද්‍රසේනයන් විසිනි. බඹදත් රජු සහ කිඳුරිය ගේ ගීතය වූ “චන්නකින්නර රාණි“ නම් යුග ගීය ගැයුවේ චන්ද්‍රසේන සහ ශ්‍රියානි යුවළ විසින්ම ය. මෙම නාටකයේ ජනප්‍රිය භාවය නිසාම නැවතත් වර්ෂ 1949 අප්‍රියෙල් මස 10 වැනි ඉරු දින ගුවන්විදුලියෙන් මෙම නාටකය ප්‍රචාරය කළේ ය.මෙම ගීත නාටකයේ තිබු විශිෂ්ටත්වය එකල පුවත්පත් කීපයකම ප්‍රශංසා මුඛයෙන් සටහන් විය. එඅතුරින්, 1948 අප්‍රියෙල් මස 17 ශනි දින “ලංකාදීප” පුවත්පතෙහි පළ වූයේ මේ ආකාරයෙනි. “පසුගිය සතියෙහි ගුවන්විදුලියේ සිංහල සේවයෙන් ප්‍රචාරය වුණු ආර්.ඒ.චන්ද්‍රසේන මහත්මයාගේ සඳකිඳුරු නාට්‍යය උසස් තත්වයක් ගත්තේය. ගායනයෙන් හා වාදනයෙන්ම පැවතුණු එම නාට්‍යයේ මුද්‍රා නාට්‍යයක විශේෂ අංගයන් ද, සාමාන්‍ය නාට්‍යක අංගයන් ද මනා ලෙස ගළපා තිබුණි. ජවනිකාව පිළිබඳ හැඟීම ගායනයෙන් පමණක් ඇති කිරීමට සමත් වූ, අනෙක් අංගයන් ද දක්ෂ ලෙස පිළියෙල වූ කලෙකින් ගුවන්විදුලියෙන් ප්‍රචාරය වූයේ මෙපමණක් යයි කිවයුතු තරම්ය” යනුවෙන් සටහනක් යෙදීමෙන් මෙම නාටකය සහ එහි ගීත පිළිබඳව පුවත්පත් විසින් ලබා දුන් තක්සේරුව මනාව පැහැදිළි වේ.

“දසබලධාරී” ගීතයේ ජනප්‍රියභාවය නිසාම එම ගීතය තවදුරටත් ශ්‍රාවකයන් අතර ප්‍රචලිත කිරීමට වර්ෂ 1950 දී HMV  ගීත තැටි සමාගම වෙනුවෙන්, ගේබ්‍රියල් ගුණරත්න මහතාගේ අනුග්‍රාහකත්වය ඇතිව, චන්ද්‍රසේනයන් ස්වකීය වාද්‍ය වෘන්දය සමඟින් HMV  තැටි අංක එව් 125 අංකය යටතේ මෙම ගීතය තැටිගත කළේ ය. මෙම ගීතයේ තැටි ඉතා විශාල සංඛ්‍යාවක් අලෙවි වූයේ මෙම ගීතය එවකට බොහෝ ප්‍රිය සම්භාෂණවල වාදනය කළ ගීතයක් බැවිනි. ගුවන්විදුලියේ ද එවකට මෙම ගීත තැටිය බොහෝවිට වාදනය වූයේ ශ්‍රාවකයන් ගේ දැඩි ඉල්ලුමක් මෙම ගීතයට පැවැතුණු බැවිනි. එබැවින් වර්ෂ 1951 දී මෙම ගීත තැටියෙහි ප්‍රති නිකුතුවක් ද HMV  තැටි සමාගම විසින් වෙළෙඳපොළට බෙදා හරින ලදී.

මෙම ගීතයේ සංගීතය ගැන වෙසෙසින්ම සඳහන් කළ යුතු වන්නේ ආර්.ඒ.චන්ද්‍රසේන සූරීන් සිංහල සංගීතය නව දිශානතියකට යොමු කිරීමෙහි පුරෝගාමී වූ සංගීතවේදියෙක් වූ නිසාවෙන් ම ය. “දසබලධාරී” ගීතය සංගීතමය අතින් හින්දුස්ථානි රාගධාරී සංගීතය හදාරන්නෙකු ට එකම තක්සලාවකි.

චන්ද්‍රසේන මහතාගේ දයාබර දියණිය වන සංගීතාචාරිනි, ලලිතකලාවේදිනි, විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය පෙන්වා දෙන ආකාරයට මෙම ගීතය සඳහා කාෆී මේලගත රාග සහ ආශාවරී මේලගත කානඩා අංග ඇතුළත් රාග කිහිපයක ඡායාවන් යොදාගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. නිදසුන් ලෙස සුහා, සුභා කානඩා, බසන්ත්, බහාර්, භාගේ ශ්‍රී, අඩානා, සුධරායි, බ්‍රින්දාවන් සාරංගා, මියාන්කි මල්හාර්, ඛමාජ් ආදී සුමධුර රාග දහයක පමණ සම්මිශ්‍රණයක් මෙම ගීතයේ ස්වර සරණිය පුරාම විහිදෙයි. කෝමළ නිශාදය සහ කෝමළ ගාන්ධාරයත්, ශුද්ධ නිශාදය සහ ශුද්ධ ගාන්ධාරයත් එකම ගීතයක් තුළ යොදා තිබීම මෙම ගීතයේ දක්නට ලැබෙන තවත් විශේෂත්වයකි. එනම් කෝමළ “නී ” සහ “ගා” ස්වරයන් මෙන්ම ශුද්ධ “නී ” සහ “ගා” ස්වරයන් උච්චාවචනය වන මෙම ගායනයෙහි, උක්ත රාගයන් හි ස්වර ඛණ්ඩ යළි - යළිත් වාදනය කිරීමෙන් ගීතයේ කර්ණරසායන භාවය තීව්‍ර කොට ඇත. උත්තරාංගය අනුශ්‍රය කොට නිපදවන ලද ස්වර සරණිය අනුක්‍රමිකව ආරෝහණය වන ආකාරය ඉතා මනරම් අන්දමින් චන්ද්‍රසේනයන් විසින් ගායනය කරනු ලබයි. ගීතයේ දැක්වෙන

“ කර ආලේ රාජා ඒ

බරණැසෙහී කිඳුරී ටා

මැරුවෝ බෝසත් විද හී පාරා

බෝසතුගේ ප්‍රාණය ඒ

සක් දෙවිඳුන් දානය කෙරුවෝ”

ගීත කොටස ස්වරදේව චන්ද්‍රසේනයන් විසින් මනහර අන්දමින් ආරෝහණය කරනු ලබන්නේ සංගීතමය පෙළහරකින් පමණක් නොව, අසන්නාගේ චිත්ත සන්තානය තුළ ශෝක රසය, විප්‍රලම්භය සහ චිත්ත විද්‍රැතිය (සිත උණු වීම) ඇති කරන අයුරකිනි. අනුකාරක ගීත සුලභ වූ යුගයක, ස්වතන්ත්‍ර ගීත නිර්මාණ ඔස්සේ චන්ද්‍රසේනයන් කළ මේ සංගීතමය විප්ලවයෙහි කූට ප්‍රාප්තිය ලෙස මෙම ගීතය හදුන්වා දීම නිවැරදිය. එසේම මෙම ගීතයේ සංගීත සංයෝජනය සඳහා චන්ද්‍රසේනයන් විසින්, තබ්ලාව, බටනලාව, හාර්මෝනියම්, වයලීන්, සැක්සෆෝන්, පියෑනො සහ ට්‍රම්පට් භාවිත කර තිබීම ද සුවිශේෂත්වයකි. තවත් එක් සුවිශේෂී කරුණක් වන්නේ, මෙම ගීතය චන්ද්‍රසේන පරපුරේ තෙවැනි පරම්පරාව, එනම් විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මියගේ පුත් හර්ෂදේව ආරියසිංහ මහතා විසින් ද වර්තමානයේ ගායනා කිරීම ය.

හින්දුස්ථානි රාගධාරී සංගීතයත්, බටහිර සංගීත නාද රටාවන් සම්මිශ්‍රණය කිරීමක් චන්ද්‍රසේනයන් සංගීත සැරිය පුරා දැකිය හැකිය. ඔහු විසින් සංගීතය සැපයු චිත්‍රපට නොවන ග්‍රැමොෆෝන් ගීත සහ චිත්‍රපට ගීත බොහොමයක් (1950 දශකයේ) අනුකාරක හින්දුස්ථානි ගීත තනු වුවත්, එකී තනු එම ආකාරයෙන්ම ඉදිරිපත් නොකොට, මුල් ගීත තනුවල දක්නට නොහැකි වූ යම් යම් ස්වර ශික්ෂාවන් සහ නවාංගයන් සංගීතයෙන් මෙන්ම ගායනයෙන් ද මතුකර දැක්වීමට චන්ද්‍රසේනයන් සමර්ථකම් පෑවේය. මේ සඳහා හොඳම නිදසුන් හමුවන්නේ චන්ද්‍රසේනයන් විසින් 1950-54 කාල සීමාවේ ගීත කෝකිලා, නිළි රාජිණී, රුක්මණී දේවිය සඳහා HMV
 සමාගම වෙනුවෙන් නිර්මාණය කළ ගීතයන් ය. නිසගයෙන් ම ශෝකී ස්වරයකට හිමිකම් කියූ රුක්මණී දේවියගේ ස්වර මාධුර්යය ශෝක රසයට පෙරළා ශ්‍රාවකයන් වෙත මධුරතර අයුරකින් සම්ප්‍රේෂණය කිරීමේ පුරෝගාමියා වූයේ චන්ද්‍රසේනයන් ය.

“දුෂ්මන්ත අහෝ කිමදෝ”, “කොහෙද ගියේ මගේ නෙත් දෙක වන් පොඩි ජාලිය ක්‍රිෂ්ණජිනා”, “අද අඬනව හිමියෙනි යශෝධරා”, “නින්දේදී රාත්‍රී පෙනේ සැමදා ඔබේ රූපේ දයා”, “අඳුරු ආලේ නිසා වැටි දුකටා“ ආදී ගීත මේ සඳහා කදිම නිදසුන් ය.

රුක්මණී දේවී , ධර්මදාස වල්පොල, ලතා වල්පොල, ජී.එස් .බී රාණි , මොහිදීන් බෙග්, මේබල් බ්ලයිත්, ෂර්ලි බ්ලයිත්, සුජාතා අත්තනායක, සිඩ්නි ආටිගල ආදී ජනප්‍රිය ගීත තාරකාවන් රැසකගේ ගීත රාශියක් සිංහල ගීත ක්ෂේත්‍රයට දායාද කළේ මෙතුමාණන් විසිනි. අයිරාංගණී (1954-එස්.එස්.වේදාචලම් සමග), මතභේදය (1955), වනලිය (1958), දෛව විපාකය(1958), වැදි බිම (1961) කොළඹ හාදයෝ (1966), මිරිඟුව (1972) ආදි චිත්‍රපට සඳහා මෙතුමා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක විය. වර්ෂ 1946 සිට ශ්‍රී ලංකා ගුවන්විදුලියෙහි සංගීත වාදන, ගායනා, විවධ ප්‍රසංග ඉදිරිපත් කළ මෙතුමා, 1950 දශකයේ සිට “චන්ද්‍රසේන කලායතනය” මගින් ශිෂ්‍ය- ශිෂ්‍යාවන් දහස් ගණනකට සංගීත අධ්‍යාපනය ලබා දුන්නේ ය. “රිදී ධාරා”, “සිහි වේ සිහි වේ“, “ලෝ නාථා බුදු හිමි රාජා”, “ලෝ පූජිත වූ රමණි”, “සිරි ලංකා මාතා”, “සිරි සාර නේක”, “සුන්දර ශ්‍රීය විදා”, “ගංගා තීරේ මේ මල්”, “මහා මැදියම රෑ”, “උගෙන ශිල්පේ“ යනාදී ගීත 1948-1954 වකවානුවේ චන්ද්‍රසේන යුවළ විසින් ගුවන්විදුලියට ගායනා කොට අතිශය ජනප්‍රිය වූ ගුවන්විදුලි ගීතයන් ය. එවකට “ලංකා නෞෂාද්” ලෙස විරුදාවලි ලද මෙතුමා වර්ෂ 1953 දී ඉන්දීය ගායක මොහොම්මද් රාෆී මෙරටට පැමිණි අවස්ථාවෙහි පවත්වන්නට යෙදුණු සම්භාෂණයෙහි දී සංගීතය සැපයුවේ ය. වර්ෂ 1951-60 දක්වා චිත්‍රපට නොවන ග්‍රැමොෆෝන් ගීත පණහකට පමණ ද, එම වකවානුවේ ම, ගුවන්විදුලියේ පටිගත කොට, ග්‍රමොෆෝන් තැටිවලට නොනැගුණු ගීත රාශිකයකට ද, මෙතුමා සංගීතය සැපයුවේ ය. එසේම, වර්ෂ 1949 නොවැම්බර් මාසයේ දී පළමුවරට පවත්වන්නට යෙදුණු ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය කිරීමේ රත්නජංකර් පරීක්ෂණයෙන් ද “ඒ ශ්‍රේණියේ” විශිෂ්ටතම ගායකයෙක් ලෙස මෙතුමා ශ්‍රේණිගත වූයේ ය.

මෙරට සංගීතය නවමු මගකට යොමු කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාස , ආචාර්ය වික්ටර් රත්නායක ආදී බොහෝ සංගීතඥයන් ගායන සහ වාදන අත්පොත් තැබුවේ චන්ද්‍රසේන මාස්ටර් වෙතිනි. 1960-70 දශකයන් හි අතිශය ශ්‍රාවක ප්‍රසාදය දිනාගත් ගීතයන් වූ, “ජීවිතේ ප්‍රීති සංචාරෙකි ලොවේ“ (ධර්මදාස වල්පොල), “මෝහෙන් මුළා වෙලා“(වික්ටර් රත්නායක), “ළිඳෙන් වතුර බීලා” (වික්ටර් රත්නායක),“මල් කිනිත්ත වාගේ“(දර්ශනී සහ තිලංගනී) , “පුන් සඳෙන් රැස්“(පුන්සිරි සොයිසා), “ලස්සනට පිපුණු වන මල්” (නිහාල් නෙල්සන්), “ සුවඳයි මුවේ මල්පැණි” (සුමිත් අහංගම) ආදී ජනප්‍රිය ගීත රාශියක් නිර්මාණය කිරීම හිමිකරුවා වන්නේ ආර්.ඒ. චන්ද්‍රසේන මාස්ටර් ය. වර්ෂ 1980 මාර්තු මස 01 දින මෙම ශ්‍රේෂ්ඨ කලාකරුවා සදහටම දෙනෙත් පියා ගත්තේය.

මෙරට සිංහල සංගීතය නවමු මඟකට හැරවීමේ එක්තරා යුග පුරුෂයෙකු වූ ආර්.ඒ. චන්ද්‍රසේන මහතාගේ නාමයට මෙම සටහන උපහාරයක්ම වේවා !

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක අයි. බන්දුල ගමගේ මහතා, ගීතයේ රාග තාල පිළිබඳ දැනුම්වත් කළ ආර්.ඒ. චන්ද්‍රසේන මහතාගේ දයාබර දියණිය ලලිතකලා වේදිනි, විශාරද දර්ශනී චන්ද්‍රසේන මහත්මිය.

මූලාශ්‍ර : ශ්‍රියානි චන්ද්‍රසේන, “ආර්. ඒ චන්ද්‍රසේන සංගීතවේදියාණන්ගේ උදාර මෙහෙවර”(1998); මහාචාර්ය සුචරිත ගම්ලත් , ගී මිණි ආර -1 (2006); දිනමිණ -2018 පෙබ.28, ලංකාදීප, 1948 අප්‍රියෙල් 17