ගෲෂා, නටෙල්ලා, අනිකෝ සහ ලුඩොවිකා

ජූලි 23, 2020

ආචාර්ය හෙන්රි ජයසේන  ස්වකීය නාට්‍යවල සන්දර්භයන්හි නව්‍ය අත්හදාබැලීම් නිබඳව සිදු කළ කෘතහස්ත නාට්‍යවේදියෙකි.  ග්‍රීක නාට්‍ය කලාව දේශීය වේදිකාවට මුල්වරට හඳුන්වා දෙන ලද්දේ ඔහු විසිනි. ඒ 1955 “ඇත්ත කුමක්ද?”නාට්‍යයෙනි. මේ වූ කලී  සුප්‍රකට ග්‍රීක නාට්‍යවේදී ඇරිස්ටොෆනීස්ගේ “The Clouds” (වලාකුළු) අනුවර්තනයෙන්      නිෂ්පාදනය කළ නාට්‍යයකි. සාම්ප්‍රදායික අධ්‍යාපනය හා නව්‍ය අධ්‍යාපන ක්‍රමය අතර මත ගැටුම මෙහි තේමාව විය. ඉපැරැණි සාම්ප්‍රදායික අධ්‍යාපනයෙහි අගය මෙහිදී ඇරිස්ටොෆනීස් පෙන්වා දේ. ස්වකීය නාට්‍යවල සන්දර්භයෙහි නව්‍ය අත්හදාබැලීම් සිදු කිරීම හෙන්රි ආරම්භ කළේ “ජනේලය” නාට්‍යයෙන් (1961) යැයි මම සිතමි. මේ වූ කලී ශෛලිගත සම්ප්‍රදායෙන් නූතන කතා පුවතක් කීමට දැරූ සාර්ථක ප්‍රයත්නයකි. ඔහුගේ “මනරංජන වැඩ වර්ජන” (1966) ඇමරිකානු සංගීත ශෛලියේ චිත්‍රපටවල ආභාසය දක්නා ලැබෙන නාට්‍යයකි.

ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ අග්‍රේසර නාට්‍ය නිර්මාණය කුමක්ද? යන පැනය මා ඇසූ කල්හී ඊට විද්වත්, සහෘද උභය පාර්ශ්වයෙන්ම ලැබෙන පිළිතුර “හුණුවටයේ කතාව“ (1967) නාට්‍යය බැව් නිසැකය. “හුණුවටයේ කතාව“ පරිපූර්ණ නාට්‍යයකැයි වරක් ආචාර්ය තිස්ස අබේසේකර සඳහන් කළේය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ “The Caucasian Chalk Circle” නම් වූ පැය 4 ක කාලයක් වේදිකා ගත වූ විවේක කාල 2 ක් සහිත දීර්ඝ නාට්‍යය, හෙන්රි ව්‍යුත්පත්තික ඥානයෙන් කෙටි කොට මැනවින් සිංහලයට අනුවර්තනය කළේය. එය ශිල්පීය පක්ෂයෙන් ද උසස්  නිෂ්පාදනයකි. අපගේ ප්‍රස්තුතයට අදාළව මෙය වැදගත් වනුයේ ගෲෂා නම් වූ අමරණීය ස්ත්‍රී භූමිකාව හේතු කොටගෙනය. මාතෘත්වය ලැබූ මුත් බලය, ධනය, කීර්තිය, භෞතික සැප සම්පත් හමුවේ දරු සෙනෙහස අමතක වන නටෙල්ලා   අබෂ්විල්ලි වැනි කාන්තාවෝ කවර යුගයක වුවත් මෙලොව වාසය කරති. උපත ලැබීමෙන් ඉක්බිතිව මහමඟ අතහැර දැමූ දරුවන් පිළිබඳ කොතෙකුත් පුවත් අප අසා තිබේ. අනෙක් අතට මාතෘත්වය නොලබා වුව අන්‍ය මවකගේ දරුවකුට සැබෑ මවක වන ගෲෂා බඳු කාරුණික කාන්තාවෝද විරලව හෝ සිටිති.

“යුගයක වුවද නැහැවුණු 

කඳුළින් ලෙයින් මුළු ලොව 

කාරුණික වූ අය 

වෙසෙති ඉඳහිට වාසනාවන්” 

යන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කියුම හෙන්රි ජයසේන මැනවින් මෙහි  සිංහලයට අනුවර්තනය කරනුයේ මෙකී විරල මනුෂ්‍යත්වය ධ්වනිත කරනු පිණිස නොවේද?

ප්‍රවීණ රූපණවේදිනී මානෙල් ජයසේන ගෲෂා නමැති මේ වෙසෙස් භූමිකාව කෙතරම් නම් ශූර අයුරින් නිරූපණය කළේ ද යත් ඇයට සේ ඒ භූමිකාවට පණ පෙවිය හැකි විකල්ප නිළියක් සිටියිද? යන පැනය සෑම සහෘදයකු තුළම පැන නඟී. මානෙල්ගේ ඇවෑමෙන් නව පරපුරේ කුසලතා සපිරි නිළි රුවිනි මනම්පේරි මේ චරිතයට තමාට හැකිතාක් සාධාරණය ඉටු කළ නමුදු වේදිකාවේ ඇතැම් චරිත නිළියන්ගේ සදාතනික මුද්‍රා බවට පත් වී ඇතැයි මට සිතේ. “සිංහබාහු” නාට්‍යයෙහි සුප්පා දේවි වූ මාලිනි රණසිංහ, “හුණුවටයේ කතාව“ හී ගෲෂා වූ මානෙල් ජයසේන, “ගජමන් පුවත” හී ගජමන් නෝනා වූ රත්මලී ගුණසේකර මීට සනිදර්ශන වෙති.

කිසියම් භූමිකාවක් එක් එක් නිළියන් නිරූපණය කිරීමේදී ඔවුන්ගේ රූපණ ප්‍රතිභාව අනුව ඒවාට නව්‍ය අර්ථකථන ආරෝපණය වනු දැකිය හැකිය. විශිෂ්ට ගණයේ නාට්‍යවල එන පොදු ජන විඥානයට කාවැදුණු සුප්‍රකට භූමිකා නව පරපුරේ ඇතැම් නිළියන් ශූර ලෙස නිරූපණය කරන බව සැබවි. එහෙත් ම විසින් පෙර කියන ලද භූමිකා අදාළ නිළියන්ට සින්නක්කරයට ලියා දී ඇති භූමිකා සේ පෙනෙන තරමට එකී නිළියන්ගේ මුද්‍රාව චරිතවලට කාවැදී තිබේ. එහෙයින් අවශේෂ ශිල්පිනියක් ඒවාට කෙතරම් සාධාරණය ඉටු කළ ද මුල් නාට්‍ය නැරඹූ සහෘදයාට අදාළ මුල් නිළියන් සිහිපත් වනු වැළැක්විය නොහැකිය. එහෙත් මුල් නාට්‍ය නැරඹුවේ නැති නව ප්‍රේක්ෂකයන්ට මේ තූලනාත්මක රසඥතාව නොමැත.

 “හුණුවටයේ කතාව“ හී නටෙල්ලා          අබෂ්විල්ලි බිසව (ගුණවතී ගුණවර්ධන රඟපෑ)ජීවිතය බේරා ගනු පිණිස තම පුතු මයිකල් කුමරු අමතක කොට දමා අත්‍යවශ්‍ය සළුපිළ , ආභරණ පමණක් රැගෙන පලා යද්දී සියලු කලබල අතර ගෲෂාගේ අවධානය බිලිඳා කෙරෙහි යොමු වේ.

කාරුණික ගෲෂාගේ උතුරා යන  දරු සෙනෙහස ආචාර්ය හෙන්රි ජයසේනයෝ එහි මෙසේ දක්වති.

“ගන්නෙ නැති කවුරුත්

පුත උඹ මම අරගන්නවා

උඹට නැති නිසා කවුරුත්

මම අම්මයි හිතන් පුතේ

කරපින්නම් ආපු හින්දා

දෙපා මගේ රිදෙන හින්දා

ගිනි ගණනට කිරි අරගෙන

උගුර උගුර දීපු හින්දා

මගෙ හිත බැඳුණාය පුතේ

උඹ නැතිවම බැරිය පුතේ

මගෙ හිත බැඳුණාය පුතේ

උඹ නැතිවම බැරිය පුතේ

සේද පිලී විසි කරලා

කඩමලු ඇඟ ඔතාලා 

සිහිල් දියෙන් දොවාලා

පොදක් වතුර පොවාලා

මං උඹ උස්සන් යනවා

කරපින්නාගෙන යනවා”

 “හුණුවටයේ කතාව“ හී අනේකවිධ ස්ත්‍රී භූමිකා රැසක් දක්නට ලැබේ. ගෲෂාගේ සොහොයුරාගේ (පිට්ස්රෝයි ද මෙල් රඟපෑ) බිරිය “අනිකෝ” (ගුණවතී ගුණවර්ධන රඟපෑ) තම ආධිපත්‍ය ගෘහයෙහි පවත්වා ගෙන යනු ලබන නිර්දය ස්ති‍්‍රයකි. බුදුන් වහන්සේ “සප්ත භරියා” සූත්‍රයෙහි දේශනා කොට වදාළ පරිදි ස්වාමි භාර්යාවකි. ඇය තම සැමියා නිවටයකු සේ සලකා ක්‍රියා කරන අයුරු පෙනේ. මෙබඳු ස්ත්‍රීහු සමාජයෙහි අදත් කොතෙකුත් සිටිති. 

 “හුණුවටයේ කතාව“ හි ඉතා සුළු වශයෙන් නිරූපිත තවත් වෙසෙස් ස්ත්‍රී භූමිකාවක් තිබේ. ඒ ලුඩොවිකාය (යසවතී අබේරත්න රඟපෑ). ඇගේ සැමියා වෙළෙඳාම සඳහා පිට පළාතකට ගොස් සිටී. මේ අතර අස්ගොව්වා ඇයට අතවර කොට තිබෙන බව මාමණ්ඩිය (පිට්ස්රෝයි ද මැල් රඟපෑ) අසඩක් (හෙන්රි ජයසේන රඟපෑ) නඩුකාරතුමාට පැමිණිලි කරයි. තමා අස්හලට එන විට ලේළියගේ කකුල හෙවත්  “පුතාගේ නම්බුව“ පෑගුණු බව මාමණ්ඩිය පැමිණිලි කොට සිටී. ලුඩොවිකාගේ දේහ ලක්ෂණ සුපරික්ෂා කොට ඇගේ ස්ත්‍රී ස්වභාවය විනිවිද දකින අසඩක්, ඉර මුදුන් වනතුරු නිදා ගැනීමත්, පැණි රස කෑමට ඇගේ ඇති ලෝලී බවත් අවබෝධ කොට ගනී. තම සේවකයා අතෙහි තිබෙන යතුරු කැරැල්ල වීසි කොට ඉක්බිතිව ලුඩොවිකාවට එය අහුලා ගැනීමට අසඩක් අණ කරයි. ඒ අනුව ඇගේ බඳ නළවන කෝල ගමන් විලාසය, සුරූපී බව ඔහු පසක් කොට ගනී. අසඩක් නඩුකාරතුමාගේ තීන්දුව මෙසේය. 

 “බලහත්කාරකම ගැන කිසිම සැකයක් නැහැ. උවමනාවට වඩා පැණි රස කෑමෙනුත් උවමනාවට වඩා නිදා ගැනීමෙනුත් ශරීරය මොළොක් වීම කරණ කොට ගෙන යුෂ්මතිය බලහත්කාරකමක් සිදු කොට තිබෙනවා මේ අහිංසකයාට. ඔය විදිහට එහාට මෙහාට නැළවෙන එක ලේසි පහසු සෙල්ලමක් කියලද හිතේ. එය බොහොම බරපතළ වරදක් හැටියටයි මේ විනිශ්චය ශාලාව  සලකන්නේ. විත්තිකාරයා නිදහස් කරනවා” ලුඩොවිකාලා එකලටත් වඩා මෙකල සමාජයේ බහුල යැයි මට සිතේ. 

“හුණුවටයේ කතාව“ හි අවසන් ජවනිකාවේ මයිකල් කුමරුගේ අයිතිය උදෙසා ආත්මාර්ථකාමී වැදූ මව  (නටෙල්ලා) හා කාරුණික හැදූ මව (ගෲෂා) අතර ගැටුම එක් අතකින් යහපත් හා අයහපත් ස්ත්‍රීත්වය පිළිබඳ ගැටුමකි.  “හුණුවටයේ කතාව” හී ගෲෂා, නටෙල්ලා, ලුඩොවිකා, අනිකෝ ඈ එකිනෙකට වෙනස්  ස්ත්‍රී භූමිකා ඔස්සේ ආචාර්ය හෙන්රි මෙරට වේදිකාවේ ස්ත්‍රී නිරූපණයේ නව මානයක් ගොඩනැඟුවේය.

ඉතිරි කොටස ලබන සතියේ