ස්ත්‍රීත්වයේ සම්මත අසම්මත ස්වරූප

අගෝස්තු 6, 2020

ලාපෙළ සංවිධානය ආරම්භ කළ ජී. ඩී. එල්. පෙරේරා නාට්‍ය ක්ෂේත්‍රයෙහි ස්ථාවර වූයේ “සාමා” නාට්‍යය (1960) ඔස්සේය. වැඩිහිටි පරපුර හා තරුණ පරපුර අතර පැවති මත ගැටුම් මේ නාට්‍යයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ. තම මව හා පෙම්වතිය අතර මත ගැටුමට මැදි වූ තරුණයකු අවසන මේ දෙදෙනාම අහිමිවීමේ ඛේදවාචකයට ගොදුරු වේ. බොහෝ විට මව සහ පෙම්වතිය අතරත් නොඑසේනම් නැන්දම්මා සහ ලේළිය අතර පවත්නා ස්ත්‍රී ගැටුම් කවර කලෙක වුවත් සමාජයේ දුලබ නැත. මෙබඳු ගැටුම්වලින් බහුලව පීඩාවට පත් වනුයේ ඔවුන් අතරට මැදි වී සාධාරණව ක්‍රියා කරන පුරුෂයාය. කාන්තාවන් තම පෙම්වතා හෝ තම පියා අතර ගැටුමට මැදිවන අවස්ථා හෝ ඇය තම පියා හෝ තම සැමියා අතර ගැටුමට මැදි වී පීඩාවට පත් වන අවස්ථා මීට සාපේක්ෂව සැලකූ කල්හී ඉතාම විරල වශයෙන් දක්නා ලැබෙන සංසිද්ධියකි. එනම් මාමණ්ඩිය හා බෑණා අතර ගැටුම් නැන්දම්මා සහ ලේළිය අතර ගැටුම්වලට සාපේක්ෂව ඉතා අල්පය. පසුව කලාත්මක ධාරාවේ විචාරක පැසසුමට පාත්‍ර වූ චිත්‍රපටයක් ලෙසින් ද එළිදුටු ජී. ඩී. එල්. ගේ “සාමා” නාට්‍යයට වස්තු විෂය වූයේ ස්ත්‍රීත්වයෙහි මේ සුලබ පැතිකඩය. චරිතාංග රූපණයේ සුවිශේෂ නිළි දෙනවක හාමිනේ (ඩී. එම්. දෙනවක) පළමුව වේදිකාවෙහි ද ඉක්බිතිව සිනමාවෙහි ද ස්ථාපිත වූයේ “සාමා” නාට්‍යයෙහි ඇය ශූර ලෙස රඟපෑ අකාරුණික මවගේ භූමිකාවෙනි. මෙහි සාමා ලෙස රඟපෑ ලියෝනි වීරසිංහ (කොතලාවල) මෙහි පෙම්වතියගේ චරිතය රඟපාමින් කලා පෙළ සංවිධානයේ නාට්‍යවල ප්‍රමුඛතම නිළිය බවට පත් වූවාය. මේ ස්ත්‍රීන් දෙදෙනාට මැදි වූ ෂෙල්ටන් සිල්වා ගිරයට හසු වූ පුවක් ගෙඩියක් සදිසි පුත්‍රයාගේ ඛේදනීය චරිතය රඟපෑවේය.

එස්. කරුණාරත්න ලාංකේය නාට්‍ය කලාවේ ස්වර්ණමය යුගය නියෝජනය කළ ප්‍රතිභාපූර්ණ නාට්‍යවේදියෙකි. ඔහුගේ විශ්වවිද්‍යාල ජීවිතය පාදක කොට නිර්මාණය කළ “ගැහැනු නැති මිනිස්සු” අපගේ ප්‍රස්තුතයට අදාළව වැදගත් නාට්‍යයකි. උසස් අධ්‍යාපනය ලැබීමට 1962 දී එවක විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර) විශ්වවිද්‍යාලයට කරුණාරත්න ඇතුළත් වූ සමයේ මෙකල මෙන් එහි ශිෂ්‍යාවෝ නොසිටියහ. එවක එය භික්ෂූන් වහන්සේලාට සහ ශිෂ්‍යයන්ට පමණක් විවෘත වූ සරසවියකි. ශිෂ්‍යාවන් නොසිටීම හේතු කොට එකල එහි සරසවි සිසුහු නොසන්සුන් අසහනකාරී දිවියක් ගත කළහ. එස්. කරුණාරත්න ස්වකීය “ගැහැනු නැති මිනිස්සු” නමැති තාත්වික සම්ප්‍රදායේ නාට්‍යයට ප්‍රස්තුත කොට ගත්තේ මේ අනුභූතිය බැව් පෙනේ. පිරිමි සිව් දෙනෙකු විවිධ දෘෂ්ටි කෝණවලින් ගැහැනු දෙස බලන ආකාරය මෙහි විදාරණය කෙරිණ.

විශ්ව සාහිත්‍යයේ සුප්‍රකට භවසත්තාවාදී (EXISTENTIALISM) ලේඛකයකු, නාට්‍යවේදියකු වූ ශාන් ජෙනේගේ  “THE MAIDS” (1947) නාට්‍යය එස්. කරුණාරත්න “ටික්කි ටිකිරි ටිකිරිලියා” නමින් පරිවර්තනය කොට නිෂ්පාදනය කළ අතර නලින් විජේසේකර එය අධ්‍යක්ෂණය කළේය (ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත චිත්‍රපටයේ අනුලා කරුණාතිලකගේ සැමියා ලෙස රඟපෑවේ ඔහුය). මේ වූ කලී අසම්මත ලක්ෂණ ගැබ් වූ නාට්‍යයකි. ස්වාමි දුව (මොනිකා වීරසිංහ) සහ ගෘහ සේවිකාවන් දෙදෙනා (ලියෝනි කොතලාවල සහ මර්සි එදිරිසිංහ) යන කේන්ද්‍රීය ස්ත්‍රී භූමිකා ත්‍රයක් වටා මේ නාට්‍යය ගොඩනැඟී තිබේ. ගෘහ සේවිකාවෝ දෙදෙනා ස්වපීඩන රතියෙන් මඩනා ලද (Sadomasochistic) ස්ත්‍රීහු වෙත්. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් “සිංහල නවකතාව හා ජපන් කාම කතා සෙවණැල්ල” ග්‍රන්ථයෙහි කාමඅත්තකිලමතානු යෝගය ලෙස හැඳින් වූයේ මේ මානසික ස්වභාවයයි. අවසන ගෘහ සේවිකාවන් දෙදෙනා තම ස්වාමි දුව මරා දමති. ජෙනේ මේ නාට්‍යය උදෙසා ඇසුරු කොට ගත්තේ සත්‍ය සිදුවීමකි. ක්‍රිස්ටීන් පැපින් සහ ලී පැපින් යන ප්‍රංශ සොහොයුරියෝ ගෘහ සේවිකාවන් ලෙස සේවය කළහ. ඔවුහු සේවය කළ ගෘහයේ හිමියාගේ බිරිය හා දියණිය ඝාතනය කිරීමේ චෝදනාවට හසු වූහ. ඒ 1933 වසරේදීය. මෙකී සත්‍ය සිදුවීම සුප්‍රකට යුරෝපීය විද්වතුන් තිදෙනකුගේ අවධානයට සහ ගැඹුරු විග්‍රහයන්ට ලක් වූ බැව් පෙනේ. එනම් ශාන් ජෙනේ, ශාන් පෝල් සාත්‍රේ, ජැක් ලේකාන් යනාදීහු මේ සංසිද්ධියට ගැඹුරු මනෝමූලවාදී අර්ථකථන සැපයූහ. ජෙනේ එහි බලපෑමෙන් “The Maids” නාට්‍යය ලියා නිර්මාණය කළේය. ජෙනේගේ නාට්‍යය ඇසුරෙන් ක්‍රිස්ටෝපර් මිල්ස්“The Maids” (1975) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය. එහි ග්ලෙන්ඩා ජැක්සන්, සුසන්නාහ් යෝක් මෙහි ගෘහ සේවිකාවන් ලෙසත් විවියන් මර්චන්ට් ඔවුන්ගේ ස්වාමි දුව ලෙසත් කරට කර රඟපෑහ.

“දාසයකුට වසඟ වූ කුමාරිකාවකගේ හංස ගීතය” නමින් හැඳින් වූ ප්‍රේමරංජිත් තිලකරත්නයන්ගේ “ජුලි“ (1977) සංකීර්ණ ස්ත්‍රීත්වයෙහි වෙනත් මානයක් නිරූපිත නාට්‍යයකි. මේ වූ කලී සුප්‍රකට ස්වීඩිෂ් නාට්‍යවේදී ඕගස්ට් ස්ට්‍රීන්බර්ග්ගේ“Miss Julie” නාට්‍යයෙහි අනුවර්තනයකි. “ජුලි“ නාට්‍යයෙහි සුවිනීතා වීරසිංහ, ප්‍රසන්න ෆොන්සේකා හා මියුරි සමරසිංහ එකිනෙකා පරයා කුසලතා පාමින් රඟපෑ බව කෘතහස්ත නාට්‍යවේදී ගුණසේන ගලප්පත්ති ලියා තිබූ බව මට මතකය.

සුමන ආලෝක බණ්ඩාරයන්ගේ “සාදුක නිවන කිරි කඳුළක්” නාට්‍යයේ අවසාන ජවනිකාව ස්ත්‍රී භූමිකා නිරූපණ අරභයා විග්‍රහ කිරීමේදී බැහැර කළ නොහැකිය. මෙහි අවසන් ජවනිකාවේදී ප්‍රවීණ ගායන ශිල්පිනී මාලිනී බුලත්සිංහල “මේ දුක මෙලෝ කිසි කෙනෙකුට නොවේවා - සාදුක නිවන කිරි කඳුළක් එරේවා” යනුවෙන් මධුර ලෙස ගයද්දී එහි ප්‍රධාන චරිතය රඟපෑ සන්ධ්‍යා සිරිමාන්න තමන්ගේ පියයුර එළියට ඇදලා ගනියි. මෙහිදී ප්‍රේක්ෂකයන්ට දැනුණේ සිත් කම්පා කරවන ශුන්‍යත්වයකි. නාට්‍යවේදියකු ශික්ෂණයකින්, ස්වයං වාරණයකින්, උසස් දැක්මකින් නාට්‍යයක් නිර්මාණය කරන කල්හි තමා ඉන් අපේක්ෂා කරන මුඛ්‍ය රසය කරා ප්‍රේක්ෂකයා මෙහෙයවීමට සමත් වන බවට මේ නාට්‍යය මනා සනිදර්ශනයකි.

ශික්ෂණයකින්, උසස් ජීවන දැක්මකින් තොරව නාට්‍ය නිර්මාණය කරන නූතන පරපුරේ ඇතැම් (සියල්ලන්ම නොවෙයි) නාට්‍යවේදීන්ට සුමන ආලෝක බණ්ඩාරයන්ගේ “සාදුක නිවන කිරි කඳුළක්” බඳු නාට්‍යවලින් උගත හැකි පාඩම් බොහෝය. ස්ත්‍රී අඟපසඟ පෙන්වීමේදී නාට්‍යවේදියා නොලබන නිදහසක්, ඉඩ හසරක්, අවකාශයක් ලබන සිනමාවේදීන්ට යථෝක්ත ශික්ෂණය, උසස් ජීවන දැක්ම ඊටත් වඩා අදාළ වෙතැයි මම සිතමි.

ආර්. ආර්. සමරකෝන්ගේ “චරිත දෙකක්” (1967) ස්ත්‍රී පුරුෂ සබඳතා අරභයා මනෝ විද්‍යාත්මක විවරණයක් දක්නට ලැබුණු නාට්‍යයකි. මෙහි පුරුෂයා නිබඳවම තම බිරිය පිළිබඳ සැකයෙන් පසු වෙයි. සපත්තු අඩි පාරක්, බිරිඳගේ වෙනස් හැසිරීම් රටාවක්, සිගරට් කොටයක් ඔහුට විවාහයෙන් සපුරා ඉවත්විමට පවා තුඩු දෙන දේය. මේ වූ කලී ද්වි පුද්ගල නාට්‍යයකි. රංජිත් යායින්න සැමියා ලෙසත් චන්ද්‍රා කළුආරච්චි බිරිඳ ලෙසත් මෙහි රඟපෑහ. ආර්. ආර්. සමරකෝන් තම නාට්‍ය උදෙසා සංගීතය භාවිත නොකළ තරම්ය. ඒ වෙනුවට ආකර්ෂණීය සංවාද බහුලත්වය ඔහුගේ නාට්‍යවල වෙසෙස් ලකුණකි. ඔහු සංගීතවේදියෙක් (ඔස්ටින් මුණසිංහ) යොදා ගත් එකම නාට්‍යය “චරිත දෙකක්” යැයි මම සිතමි.

තම බිරිය අස්ථානයේ සැක කිරීමේ මනෝ ව්‍යාධියෙන් පෙළෙන ඇතැම් පුරුෂයෝ මෙකලත් අප සමාජයේ සිටිති.

 

ඉතිරි කොටස ලබන සතියේ