රූපසිංහ මාස්ටර්, කෝකිල දේවී සහ රුක්මණී දේවී එක්ව ගැයූ “මංගල ගී”

අගෝස්තු 13, 2020

විසි වැනි සියවසෙහි මුල් කාර්තුවෙහි මෙරට සමාජයට හදුන්වා දුන් විශේෂිත ම මාධ්‍ය මෙවලම වූයේ ග්‍රැමොෆෝනය යි. ග්‍රැමොෆෝන් යන්ත්‍රයක් නිවෙසක පැවැතීම එක්තරා අතෙකින් ධනවත් බවෙහි මිනුම්දණ්ඩක් හෝ සංකේතයක් ලෙස ද එවක සමාජයේ පිළිගැණුනි. ග්‍රැමොෆෝන් යන්ත්‍ර වල වාදනය කෙරුණු ශබ්දවාහිනී තැටි හරහා ශ්‍රාවක ජනයාට දේශානුරාගය, ස්වදේශ වාත්සල්‍යය, බෞද්ධ, කිතුණු සදූපදේශ, බණ- දහම් මෙන්ම සරල විනෝදාස්වාදය ලබා දෙන, ගීත- කවි- විරිඳු -බයිලා- කපිරිඤ්ඤා -විකට ජවනිකා ආදිය සමීප කෙරුණි. එබැවින් ග්‍රැමොෆෝනය නොහොත් කතා පෙට්ටිය සහ ග්‍රැමොෆොනයෙන් වාදනය වුණු ගී ජන මනස පුබුදුවාලීමට සමත් විය.

 වර්ෂ 1939 මෙරට ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයට කඩඉම් වසරක් වූයේ කරුණු කිහිපයක් නිසාවෙනි. ඉන් පළමුවැන්න වූයේ, එවකට විවධ ගීත තැටි ලේබල වෙනුවෙන් ගීත ගායනා කළ ග්‍රැමොෆෝන් ගායක -ගායිකාවන් වෘත්තීමය වශයෙන් එවකට ප්‍රසිද්ධ ගීත තැටි සමාගම් දෙක වූ HMV සහ COLUMBIA සමාගම් වෙනුවෙන් පස් අවුරුදු ගිවිසුම් අත්සන් කොට ලියාපදිංචි වූයේ මෙම වසරේදීය. ඉන් දෙවැන්න නම්, HMV සමාගම වෙනුවෙන් ගීත නිර්මාණය කිරීම සඳහා ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ධුරය එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් වෙතද, COLUMBIA  සමාගම වෙනුවෙන් ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ධූරය මොහොමඩ් ගවුස් මාස්ටර් වෙත ද පැවරීම ය. තෙවැන්න නම්, උක්ත සංගීත අධ්‍යක්ෂකවරු දෙපළ සහ ඉහත කී ගීත තැටි සමාගම් දෙක මගින් සිංහල ගායන ක්ෂේත්‍රයට නවක ගායක -ගායිකා පරපුරක් හඳුන්වා දීම ය. මෙසේ සකස් වූ “නව ගීත” බොහොමයක්ම එවකට ජනප්‍රිය වූ හින්දි, මරාති, බෙංගාලි , දමිළ ගීත තනු ඇසුරින් නිෂ්පන්න වූ ඒවා විය. HMV සහ COLUMBIA සමාගම් අතර ගීත නිෂ්පාදනයේ තරඟය වඩා තීව්‍ර එකක් විය. එවකට ජනප්‍රිය හින්දුස්ථානි බොහොමයක් ගීත තනු වලට සමාගම් දෙකෙන් වෙන වෙනම ගීත ගීත නිෂ්පාදනය වුණි .

වර්ෂ 1939 සිට HMV සමාගම වෙනුවෙන් නව ගී රාශියක් නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව එච්. ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් වෙත පැවරුණි. වර්ෂ 1917 සිට ටවර්හෝල් හි තබ්ලා සහ හාර්මෝනියම් වාදකයෙක් ලෙසද, වර්ෂ 1927 පමණ පටන් ODEON, HMV සහ PARLOPHON ගීත තැටි වෙනුවෙන් ගායකයෙක් සහ වාදකයෙක් ලෙසද, වර්ෂ 1934-37 වකවානුවේ BROADCAST  සහ HMV ලේබල සඳහා සහාය සංගීත සමායෝජකයෙක් ලෙසද කටයුතු කර අත්දැකීම් බහුල සංගීතඥයෙක් ලෙස මෙතුමා මේ වකවානුවෙහි චිරප්‍රසිද්ධව සිටියේ ය. මෙතුමා HMV තැටි සමාගම වෙනුවෙන් බොදු බැති ගී, ජාතික හෝ දේශාභිමානී ගී, පෙම් ගී, ළමා ගී, උපදේශාත්මක ගී, විරිඳු, කවි පන්ති, ග්‍රැමොෆෝන් ගීත නාටක සහ විකට ජවනිකා ආදී තේමාවන් යටතේ විවිධත්වයකින් යුතුව ගීත රාශියක් නිර්මාණය කළේ ය. එවකට ප්‍රිය සම්භාෂණ, සරණ මංගල්‍ය උත්සව ආදිය සඳහා නැතුවම බැරි අංගයක් වූ ග්‍රැමොෆෝනය වෙතින් වෙසෙසින් ම “සරණ මංගල උත්සව” වලදී වාදනය කිරීම සඳහා “මංගල ගීත” යුග්මයක් පළමුවරට නිර්මාණය කළේ එච්.ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් විසිනි. මෙම ලිපියෙන් අද මා ඉදිරිපත් කරන්නේ එකී ගීත යුග්මය පිළිබඳ ඉතිහාසයයි.

ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසය දෙස හැරී බලනක කල, මංගල ගී ලෙස නොව “මංගල කවි” ලෙස වර්ෂ 1929 ODEON ලේබලය (තැටි අංක ඒ 226048-ඒ ) යටතේ එන්. රොමියුලස් ද සිල්වා මහතාගේ කවි පන්තියක් තැටිගත කර තිබුණු අතර, රොමියුලස් සිල්වා මහතා විසින්ම “පියෙකු විසින් සරණ යන දියණියකට දෙන අවවාද” දැක්වෙන කවිපෙළක් ද ODEON ලේබලයට ම (තැටි අංක ඒ 226050-ඒ සහ ඕ ලෙස) 1929 වසරේදී ම නිකුත් කොට තිබුණි. තවද, වර්ෂ 1930 ජනවාරි මාසයේ දී PARLOPHON  ලේබලයට (තැටි අංක 32072-1 සහ 2 ලෙස) අල්විස් නෝනා සහ ශිෂ්‍යයාවන් ගේ ප්‍රධානත්වයෙන් “ජයමංගල ගාථා“ ග්‍රැමොෆෝන් තැටියට නගා තිබුණි. එසේම වර්ෂ 1927 දී PARLOPHON ලේබලයටම (තැටි අංක ඕ 32006-1) උඩරට මගුල් බෙර සහ මංගල ස්තොත්‍ර ගායනයක් කන්ද උඩරට නෘත්‍ය සහ ගායක පිරිසක් විසින් තැටිගත තිබුණි. ඒ හැරෙන්නට මංගල උත්සව වලදී ගායනා කරන්නට හෝ වාදනය කරන්නට ආශීර්වාදාත්මක මංගල ගී, ග්‍රැමොෆෝන් ගීත තැටි ලෙස නිකුත් කර නොතිබුණි. මේ අඩුව පුරවාලූයේ, වර්ෂ 1939 අප්‍රියෙල් මාසයේ ව්9304 අංකයෙන් වෙළෙඳපොළට නිකුත් කළ HMV ගීත තැටියෙනි. “ඉධ්ව්ඩ්ඒඹ්ඡ්ඉඡ් එඡ්ච්ච්ධ්ව්ට් ඉර්‍ණව්ට්ඉ” (සිංහල මංගල/ මංගල්‍ය ගී) ලෙස නම් කොට තිබු “සුභ සරණ වේවා වාසනා” සහ “දීර්ඝායු සිරි ලැබේවා“ යන ගීත ද්විත්වය ගායනා කළේ රූපසිංහ මාස්ටර් සමගින් ඔහුගේ සංගීත කණ්ඩායමේ සිටි අග්‍රගණ්‍ය ගායිකාවන් දෙදෙනා වන කෝකිල දේවී සහ රුක්මණී දේවී තරුණ ගායිකාවන් දෙදෙන විසිනි.

“ගර්ටෘඩ් අමාලියා ඩෝසන් සෙල්වරාජ්” තරුණිය “කෝකිල දේවී” යනුවෙන් ද, “ඩේසි රාසම්මා ඩැනියෙල්ස්” නම් තරුණිය “රුක්මණී දේවී” ලෙසද ගායන ලොව බෞතීස්ම කරන ලද්දේ ගාන්ධර්ව රූපසිංහ මාස්ටර් විසිනි. රූපසිංහ මාස්ටර් HMV තැටි සඳහා යුග ගී ගායනා කළේ මෙම අග්‍රගණ්‍ය ගායිකාවන් දෙදෙනා සමගින් පමණකි. එසේම, 1939-45 වකවානුවේ රුක්මණී දේවී සහ කෝකිල දේවී ගායිකාවන් දෙදෙනා යුග ගී ගැයුවේ ද රූපසිංහ මාස්ටර් සමගින් පමණක් වීම ද තවත් විශේෂත්වයකි. එයිනුත් සරල ශාස්ත්‍රීය ගීත බොහොමයක් එතුමා ගායනා කළේ කෝකිල දේවී මහත්මිය සමගිනි. කෝකිල දේවී මහත්මිය එවකට HMV සමාගමේ සහාය සංගීත අධ්‍යක්ෂකවරියක ලෙස ද කටයුතු කළා ය. එවකට (1929 දී ) ගුවන්විදුලියේ සජීවීව ගීත ගායනයක් ඉදිරිපත් කළ පළමු ගායිකාව ලෙස ද කෝකිල දේවී මහත්මිය ප්‍රසිද්ධියට පත්ව සිටියා ය. 1939-43 වකවානුව තුළ රූපසිංහ මාස්ටර් සහ කෝකිල දේවී ගැයූ යුග ගී සංඛ්‍යාව 14 කි. එම වකවානුවේ ම රූපසිංහ මාස්ටර් සහ රුක්මණී දේවී ගැයූ ගීත සංඛ්‍යාව 15 කි.

රූපසිංහ මාස්ටර්, කෝකිල දේවී සහ රුක්මණී දේවී එක්ව ගැයූ තවත් ගීත දෙකක් සහිත තැටියක්  N 9362 අංකයෙන් නිකුත් විය. දේශාභිමානි ගීත දෙකක් අඩංගු වූ එම තැටියේ එක් පසෙක “වඳීමි සමාදරෙන්” නම් ගීතයත්, අනෙක් පස “ලක් මෑණිගේ දරු කැළ” නම් ගීතයත් අන්තර්ගත විය.

“සුබ සරණ වේවා” සහ “ දීර්ඝායු සිරි ලැබේවා” නම් මෙම මංගල ගීත යුග්මයේ තවත් විශේෂත්වයක් වන්නේ 1939 න් ආරම්භ වන ව් 9300 HMV තැටි අංක ශ්‍රේණියේ හමුවන ශිල්පීන් තිදෙනෙක් එක්ව ගායනා කරන පළමු ගීත තැටිය මෙය වීම ය. වර්ෂ 1939 නිකුත් කරන ලද HMV ගීත කැටලොග් පොතෙහි මෙම ගීත යුගලය හදුන්වා දී තිබුණේ එවකට මංගල්‍ය උත්සව සහ සම්භාෂණ වලදී වාදනය කිරීමට අවැසි ම ගීත තැටියක් බව ඒත්තුගන්වන විලාසයෙනි. “සිංහල මගුල් ගෙයකට ඉතා අවශ්‍යව තිබු දෙයක් මෙයින් සම්පූර්ණ වේ. එනම්, යුවතිපති දෙදෙනෙකුට සුබ ප්‍රාර්ථනා කරන ඉතා වැදගත් අර්ථ ඇති, කර්ණ රසායන සින්දු දෙකකින් යුත් රැකෝඩ් එකකි. මෙහි අර්ථ මෙම සින්දු කියැවීමෙන් දැනගත හැක. විශේෂයෙන්ම මඟුල් ගෙදරකට පිළියෙල කරන ලද මේ සින්දු ගායනා කර තිබෙන්නේ ඊට ඉඳුරාම ගැළපෙන විදියට ය. තවද මේ රැකෝඩ් එක නව යුවතිපතින්ට තෑගී දීමට ද ඉතා අනර්ඝ වේ” යනුවෙන් සටහනක් මෙම ගීත තැටිය සමග බෙදා හරින ලද HMV කැටලොග් පොතෙහි ඇතුළත් කළේ මෙම ගීතයෙහි ඇති වැදගත්කම ශ්‍රාවකයන්ට පසක් කර දීමට ය.

“සුබ සරණ වේවා වාසනා” ගීතයේ වචන පහත ආකාර වේ. ගීත තැටි ලේබලයේ මෙය මුද්‍රණය කර තිබුණේ “මංගල ගීය” යනුවෙනි. විවාපත් වන නව යුවලකට ආසිරි පතන අයුරු මෙම ගීයෙන් දැක්වේ.

සරණ වේවා වාසනා -

සුභ සරණ වේවා වාසනා

ප්‍රීතිමත් දිනේ මේ -පාමු ප්‍රීති රාවේ

සරණ වේවා වාසනා -

සුභ සරණ වේවා වාසනා //

 

සාර සිරි ලැබේවා -

සරණ බැඳී මේ යුවළටා //

ආයු ශ්‍රීය පතමු මේ සුභ

සරණ වේවා වාසනා -

සුභ සරණ වේවා වාසනා //

 

ඥාති මිත්‍ර ආදී - පිරිස සතුටු කරමිනා //

සැරද මැතිඳ මැතිනිගේ සුභ සරණ වේවා වාසනා //

 

ප්‍රේම දාමයේ බැඳී - සැමදාම සැපතිනා

වාසවෙව්වා දෙදෙනාගේ සුභ සරණ වෙව්වා වාසනා //

සුභ සරණ වේවා වාසනා //

 

මෙම ගීතයේ සංගීතය ගැන වෙසෙසින් සඳහන් කළ යුතු කරුණ වන්නේ, එහි සංගීත සංයෝජනයේදී පෙර‘පර දෙදිග වාද්‍ය භාණ්ඩ එක් කොට අතිවිශිෂ්ට අන්දමින් රූපසිංහ මාස්ටර් විසින් කරන ලද ස්වර සංරචනය යි.

මෙම ගීතය වෙනුවෙන් පියානෝව, තබ්ලාව, වයලීනය, ක්‌ලැරිනට්, ඉංගිරිසි මැන්ඩලීනය, කර්ණාටක සංගීතයේ ප්‍රාථමික තාල භාණ්ඩයක් වන ම්‍රින්දාංගම් බෙරය ආදී වාද්‍යභාණ්ඩ සහ ගෙජ්ජි භාවිත කර තිබීම ද, විශේෂත්වයකි. ගීතයේ ආමුඛ (ආරම්භක) සංගීතය ඉතා රසවත් ලෙස සියලුම වාද්‍ය භාණ්ඩ එක් කොට ‌මාත්‍රා 8/8 න් සුසැදි මනරම් එකස්වර සංගතියකින් (unison) නිර්මාණය කර ඇත. මෙම ගීතය හින්දුස්ථානි රාගධාරී සංගීතයේ භූපාලී රාගයෙන් ඡායානුගතය. මෙම ස්වර රචනාවේ ආමුඛ සංගීතය හින්දුස්ථානි කෙහෙර්වා තාලයෙන් ද (මාත්‍රා 8/4) සහ සෙසු ගායන කොටස් දාදරා තාලයෙන් (මාත්‍රා 6/8) ද නිර්මාණය කර ඇත. එසේම, කර්ණාටක සංගීතයේ ලාක්ෂණික අංග ලක්ෂණ මතු කර ඇති මෙම ගීතයේ, ස්වර සංකරණය (permutation) කර්ණාටක සංගීතය ඇසුරින් කොට විග්‍රහ කළ විට, ආමුඛ සංගීතය “ආදී තාලම්” (මාත්‍රා 8/8) ලෙසද, සෙසු කොටස් “රූපක් තාලම්” (මාත්‍රා 6/8) ලෙස ද හඳුන්වා දියහැකිය. මෙම ගීතයේ ස්ථායි සහ අන්තරා කොටස් අතර ඇති අන්තර් වාද්‍ය ඛණ්ඩ (interludes) වලදී එක් එක් වාද්‍ය භාණ්ඩය ප්‍රමුඛව වැයීම පෙන්නුම් කර ඇත. එසේ, පළමු කොටසේ දී පියානෝව ප්‍රමුඛව ද, දෙවැනි කොටසේ දී වයලීනය ද, තෙවැනි කොටසේදී ඉංගිරිසි මැන්ඩලීනය ද ප්‍රමුඛව වයා ඇත. එම එක් එක් කොටස් අවසානයේ සියලුම වාද්‍ය භාණ්ඩ එකතුව වැයීම සිදු කිරීම මගින් මෙම සරල ගීතයේ කර්ණරසායන භාවය තීව්‍ර කර ඇත.

 

ගීත තැටි ලේබලයේ සඳහන් වන්නේ මෙම ගීතයේ රචනය මර්සිලිනු ඇල්බට් මහතා ලෙස ය. HMV තැටි සමාගමේ නිත්‍ය ගීය පද රචකයා සහ ගීත සම්පාදක ලෙස කටයුතු කළේ ද මර්සිලිනු ඇල්බට් මහතා ය. ගීතයේ සහාය ගායිකාවන් දෙදෙනාගෙන් එක අයෙකු වූ කෝකිල දේවී රත්නසභාපති මහත්මිය එවකට සුප්‍රසිද්ධ වීණා ෂන්මුගම් සහ චොක්කාලිංගම් යන මහත්මාවරු යටතේ වීණා වාදනය සහ කර්ණාටක සංගීතය මැනවින් හදාරා සිටි ශිල්පිනියකි. නමුත්, ඒ වන විට ග්‍රැමොෆෝන් ගීත දෙකක් (“සිරි බුද්ධගයා විහාරේ” සහ “ශිල්ප සතර ලෝකේ” ගීත යුගලය, රූපසිංහ මාස්ටර් සමග) පමණක් තැටිගත කොට තිබු, සොළොස් වියැති නව යොවුන් ගායිකාවක වූ රුක්මණී දේවිය ගේ වෙළෙඳපොළට නිකුත් වූ දෙවැනි ග්‍රැමොෆෝන් තැටිය වූයේ මෙය යි. මෙම ගීතයේ ප්‍රබලව ඉස්මතු වන්නේ රුක්මණී දේවියගේ හඬයි. ආධුනික ගායිකාවක වුව ද, රුක්මණී මෙම ගායනයෙහි දැක්වූ ප්‍රතිභාව විශිෂ්ට ය.

මෙම ගීත තැටියෙහි අනෙක් පස දැක්වෙන්නේ ද මෙම ශිල්පීන් තිදෙනාගේ ම තවත් ගීයකි. ගීත තැටි ලේබලයේ මෙය මුද්‍රණය කර ඇත්තේ “මංගල්‍ය ගීතය” ලෙසය. සරණ බන්ධනයෙහි අතපැන් වඩනා යුවති-පති යුවලක් වෙනුවෙන් ආශිර්වාදාත්මකව ගැයෙන මෙම ගායනයෙහි, රූපසිංහ මාස්ටර් ගේ හඬ මූලික වෙයි. රුක්මණී දේවී සහ කෝකිල දේවී එක්වන්නේ අත්වැල් ගායනයෙනි. සරල ශාස්ත්‍රීය ශෛලීයේ ගායනාවක් වන මෙම ගීතයෙහි උච්ච් ස්වර සහිත ශාස්ත්‍රීය කොටස් සියල්ලක් ම පාහේ ඉතා ගම්භීර ලෙස ගැයෙන්නේ රූපසිංහ මාස්ටර් ගේ හඬිනි. රාගධාරී හින්දුස්ථානි සංගීතයේ කාෆී ථාටයට (මේලයට) අයත් රාග කීපයක් සහ මිශ්‍ර පීලු රාගය යොදා මනරම් අන්දමින් මෙම ගීතයේ ස්වර රචනාව කර ඇත. “දීර්ඝායු සිරි ලැබේවා” නම් මෙම ගීතයේ වචන පහත ආකාර වේ.

 

රූ : දීර්ඝායු සිරි ලැබේවා - සැප සෑදේවා දිනේවා

ගා : ශුභ කාර බැඳී මේ දෙදෙනා ශ්‍රීනි දිනේවා ...දිනේවා...දිනේවා //

රූ : ලොව පාලනා වූ සුරණා -

දී දී සරණා රකීවා

ගා: රෝ දුක් දුරලා පා කරුණා දෙදෙනා රකීවා ...රකීවා...රකීවා //

රූ : වී ප්‍රේමේ යුවති පති මේ -සමාදානෙන් වෙසේවා

ගා : නීති රන්රස සේ එක පණ සේ සැපසේ වෙසේවා..වෙසේවා...වෙසේවා//

රූ : ලෝ වාසි කරන ප්‍රීති -

දහමේ පැහැදී වෙසේවා

ගා : සිහිනෙන් පමණක් පීඩා නොවී ලෝකේ වෙසේවා....වෙසේවා...වෙසේවා//

( රූ : රූපසිංහ මාස්ටර් විසින් ගායනා කරන කොටස් ; ගා : රුක්මණී දේවී සහ කෝකිල දේවී ගායනා කරන කොටස්)

මෙම ගීත දෙකෙහිම තබ්ලා වාදනයෙන් ජේ.ඒ. එඩ්වින් පෙරේරා නොහොත් “තබ්ලා පොඩිඅප්පුහාමි” මාස්ටර් සහ බී. එඩී ද සිල්වා මාස්ටර් ද, වයලීනය වාදනයෙන් ඩබ්ලිව්. දොන් එඩ්වර්ඩ් මහතාද, ඉංගිරිසි මැන්ඩලීනය වාදනයෙන් එම්.කේ. වින්සන්ට් මහතා ද, ක්‌ලැරිනට් වාදනයෙන් ජෝසප් ප්‍රනාන්දු ද, පියානෝව බී. සනී ද සිල්වා මාස්ටර් ආදී දස දෙනෙකුගෙන් පමණ සමන්විත වාද්‍ය වෘන්දයක් සම්බන්ධ විය.

උක්ත ගීත යුගලය අන්තර්ගත ග්‍රැමොෆෝන් තැටිය ඉතා ජනප්‍රිය වූ එකක් නිසා නැවතත් 1941 වර්ෂයේ ප්‍රතිනිකුතුවක් ලෙස වෙළෙඳපොළට නිකුත් වී ඇත. බොහෝ මංගල උත්සව වෙනුවෙන් වාදනය කිරීම සඳහා මේ ගීත දෙක සඳහා තිබුණු ඉල්ලුම අධික වීම නිසා මෙසේ සිදුවන්නට ඇතැයි සිතිය හැක. එසේම HMV සමාගමේ එවකට සිටි ජනප්‍රියම ගායකයා සහ ගායිකාවන් තිදෙනෙකු විසින් ගැයූ නිසා යැයි ද සිතිය හැකි ය. මෙම ගීත තැටිය බහාලු කවරයෙහි එක් පසෙක ආධුනික ගායිකා රුක්මණී දේවීගේ සේයාරුවක් ද මුද්‍රණය කෙරුණි. “රුක්මණී දේවී තරුණ නෝනා මහත්මී හිස් මාස්ටර්ස් වොයිස් තැටි සඳහා පමණක් ගීත ගයන්නීය” යනුවෙන් එහි සඳහනක් ද යෙදුණි. වර්ෂ 1939 දී “කාගීල්ස් සමාගම” මගින් නිකුත් කළ HMV රැකෝඩ් ලැයිස්තුව සහිත ගීත පොතෙහි මුල් පිටුවෙහි රූපසිංහ මාස්ටර් ගේ සේයාරුවක් ද ඇතුල් පිටුවල කෝකිල දේවී සහ රුක්මණී දේවී ගේ සේයාරූ සහිතව මෙම ගීත යුගලය පිළිබඳ තොරතුරු පළ විය. ආධුනික ගායිකාවක ලෙස රුක්මණී දේවීය ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙහි ම තැබීමට ද, ශාස්ත්‍රීය ගායිකාවක ලෙස කෝකිල දේවියගේ ගායනා ප්‍රචලිත වීමට ද, මූලික ව ක්‍රියා කළ සංගීතඥයා වූයේ රූපසිංහ මාස්ටර් ය.

මේ වකවානුවෙහිදී ම, COLUMBIA ගීත තැටි සමාගමෙන් HMV සමාගමේ මෙම “මංගල ගීත” යුග්මය වෙනුවෙන් එයට ප්‍රතිචාර ලෙස මංගල ගීයක් නිර්මාණය කෙරුණි. COLUMBIA තැටි අංක ට්ඡ් 15025 අංකය යටතේ “අභිනව යුවළට ආශිර්වාද” ලෙස නිකුත් කළ මෙම ගීතය ප්‍රබන්ධ කළේ යූ.ඩී පෙරේරා මහතා විසිනි. ගීතය ගායනා කරන ලද්දේ ඩබ්ලිව්. ජස්ටින් පීරිස් මහතා, ජස්මින් පීරිස් සහ චාලට් වෙත්තසිංහ යන තරුණ නෝනාවරු විසිනි. ගීතය සංගීතවත් කරන ලද්දේ මොහොමඩ් ගවුස් මාස්ටර් විසිනි.

මෙරට සංගීතයෙහි ප්‍රගමනයට අති උදාර කාර්යයක් ඉටු කළ, මෙරට බිහි වූ අග්‍රේසර ගීත කෝකිලාව වූ රුක්මණී දේවිය නම් අතිවිශිෂ්ට ගායිකාව බිහි කිරීමේ සම්පූර්ණ ගෞවරවය හිමිවිය යුත්තේ එතුමාට ය. මීට අමතරව, කෝකිල දේවී, අනුලාවතී, ලීලාවතී, නිර්මලා, වාසුදේවී, ඇලන් රත්නායක, ඇම්.කේ. වින්සන්ට්, ලතීෆ් බායි ආදී වූ ගායක ගායිකාවන් රැසක් ගීත ක්ෂේත්‍රයට හදුන්වා දුන්නේ ද මෙතුමා ය. සිංහල සංගීතයේ ප්‍රගමනයට අත්‍යුදාර සේවාවක් කළ ගාන්ධර්ව එච්.ඩබ්ලිව්.රූපසිංහ සිරිමතාණන් ගේ ශ්‍රී නාමයට මෙම ලිපිය උපහාරයක් ම වේවා!

 

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන් තැටි සංරක්ෂකවරුන් වන අමරදාස අබේවික්‍රම, දයා ලියනගේ, කුලසේකර මද්දුමගේ, සහ එච්. එම්. ගුණතිලක මහත්මාවරු, ගීතයන් හි සංගීතමය භාවිත සහ රාග- තාල පිළිබඳව දැනුම්වත් කළ අසංක පෙරේරා සහ රංජන අමරදේව මහත්මාවරු.

 

මූලාශ්‍ර : HMV
 කැටලොග් පොත (1939) - කාගීල්ස් සමාගම, COLUMBIA
 කැටලොග් පොත (1940) එන් . පොරෝලිස් ප්‍රනාන්දු සමාගම. කෝකිල දේවී වීරතුංග මහත්මිය සහ ගේබ්‍රියල් ගුණරත්න මහතා විසින් කරන ලද රුපවාහිනී සංවාදය (1991)