කලාකාරියකගේ සර්වකාලීන ශෝකාන්තය

අගෝස්තු 20, 2020

යුරෝපයේ සුප්‍රකට අභූතරූපී (ABSURD) නාට්‍යවේදියකු වූ ඉයුජින් අයනෙෂ්්කෝගේ “THE CHAIRS”  නමැති නාට්‍යය ආචාර්ය ධර්මසේන පතිරාජ “පුටු” (1971) මැයෙන් පරිවර්තනය කොට නිෂ්පාදනය කළේය. ඉන් පෙර පතිරාජ එල්. එස්. දයානන්ද “THE CHAIRS” පාදක කොට “කවුරුවත් එන්නේ නැහැ” (1969) නාට්‍යය නිර්මාණය කළේය. මේ වූ කලී නළු නිළි යුගලක් පමණක් රඟපෑ දීර්ඝ නාට්‍යයකි. පනස් වසරකට පූර්වයෙහි විවාහ පත් යුවළක් තම විවාහ ජීවිතයේ ස්වර්ණ ජයන්තිය සමරති. එහෙත් මේ අවස්ථාවට කිසිදු අමුත්තකු සහභාගි නොවීමෙන් ඔවුහු ඉච්ඡා භංගත්වයට පත් වෙති. අමුත්තන් සහභාගි වෙතැයි යන අපේක්ෂාව සහ එකී ඉච්ඡා භංගත්වය මෙහි වේදිකාවේ දක්නා ලැබෙන පුටුවල අඩු වැඩි වීමෙන් සංකේතාත්මකව මනාව නිරූපණය කෙරේ. විමල් කුමාර ද කොස්තා සහ මර්සි එදිරිසිංහගේ ශූර චරිත නිරූපණය මේ නාට්‍යයේ ආත්මය බවට පත් වේ. මහලු ගැහැනියකගේ ඉච්ඡා භංග“ABSURD PLAY”  ලෙස හැඳින්වීමත් සමඟ යුරෝපයේ අභූතරූපී නාට්‍ය ප්‍රවණතාව තහවුරු විය. එහෙත් මෙරට ඉන් බොහෝ කලකට ඉහත “සන්නි යකුම” ආදී නාට්‍යමය ලක්ෂණවලින් සුසැදි ගැමි ශාන්තිකර්මවල යුරෝපීයන්  “ABSURD”  ලෙස හැඳින්වූ නාට්‍ය ලකුණු දක්නට ලැබිණ. ජන නාට්‍ය ලක්ෂණ ඇසුරු කොට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නිර්මාණය කළ “වෙල්ලවැහුම්” (1960) නාට්‍යයෙහි මේ ලක්ෂණ දිස් වූයේ මෙරට ජන නාට්‍යවලින් පිළිපන් උරුමයක් ලෙසිනි. යුරෝපයේ කලාවන් හී පසුකාලීනව නොයෙක් ලෙසින් පහළ වූ ප්‍රවණතා ඉන් පෙර මෙරට පෙරදිග සංස්කෘතියක් ලෙස අප දුරාතීතයේ සිට උරුම කොට ගෙන පැවතියත් ඒවා අපේ කලාවන්ට බලපාන්නට පටන් ගනුයේ යුරෝපයෙන් ප්‍රවණතාවක් ලෙස ස්ථාපිත වූ කල්හිය. එවිට ඒවා අපගේ උරුමයක් ලෙස පූර්වයෙහි පැවති බව පවා අපේ බොහෝ කලාකරුවන්ට අමතක වී අර කී යුරෝපීය ප්‍රවණතාව ඔවුහු ඉතා ආශාවෙන් වැලඳ ගනිති. යුරෝපයේ “ABSURD”  නාට්‍ය වටාද 60 දශකයේ දේශීය නාට්‍යවේදීන් පෙළ ගැසුණේ ඒ අයුරෙන්මය.

ලංකාවේ පළමු “ABSURD”  ගණයේ නාට්‍යය ලෙස හැඳින්වුයේ සුමන ආලෝක බණ්ඩාරයන්ගේ “නිදිකුම්බා” (1967) යැයි මම සිතමි. ඒ නාට්‍යය අරභයා ඔහු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් සමඟ එවක ගුවන් විදුලියේ පැවැත් වූ සංවාදයකදී “විකාරරූපී” යන වාගුක්තිය මුල්වරට “ABSURD”  යන ඉංග්‍රීසි යෙදුම වෙනුවෙන් ව්‍යවහාර කළේය. එහෙත් මේ යෙදුම ප්‍රචලිත වෙත්ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ට පැවසුවේ මේ “විකාර රූපී“ යන යෙදුම “ABSURD”  නාට්‍යය හැඳින්වීමට නොගැළපෙන බවය. “අසම්මත නාට්‍ය”, “විමති නාට්‍ය”, “විප්‍රකාර නාට්‍ය” හා “අභූතරූපී නාට්‍ය” යන යෙදුම් මහැදුරු සරච්චන්ද්‍රයෝ යෝජනා කළහ. ඉන් පසුකාලීනව වඩාත් තහවුුරු වූයේ “අභූතරූපී නාට්‍ය” යන වාගුක්තිය බැව් පැහැදිලි වේ. “ABSURD”  නාට්‍ය නිර්මාණය කළ ඉයුජින් අයනෙෂ්කෝ තම නාට්‍ය අභූතරූපී නාට්‍ය ලෙසින් හැඳින්වීමට අකැමැති වූයේය. ඔහු ඒවා “PARADOX”  එනම් “විරෝධාභාස” නමින් හැඳින්වීමට වඩාත් ප්‍රිය කළ බැව් පෙනේ. ආචාර්ය ධර්මසේන පතිරාජ, පතිරාජ එල්. එස්. දයානන්ද, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර යනාදීන් එවක “අභූත රූපී“ නාට්‍ය සම්ප්‍රදාය කෙරෙහි නැඹුරු වූ බව ඔවුන්ගේ ඇතැම් නාට්‍ය නිර්මාණවලින් හෙළි වේ. එකී ප්‍රවණතාවෙහි ස්ත්‍රී භූමිකා නිරූපණය අරභයා “කවුරුවත් එන්නේ නැහැ” නාට්‍යයේ මර්සි එදිරිසිංහ නිරූපිත මහලු ගැහැනියගේ චරිතය කදිම සනිදර්ශනයකි.

කලාකාරියකගේ ජීවිතයේ ඛේදජනක ඉරණම විදහාපාන “ගජමන් පුවත’” (1976) මෙරට වේදිකාවේ ස්ත්‍රී භූමිකා නිරූපණය විවරණය කිරීමේදී අමතක කළ නොහැකි ප්‍රශස්ත නාට්‍යයකි. ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා කොර්නේලියා පෙරුමාල්ගේ චරිතය ඇසුරින් දයානන්ද ගුණවර්ධන සූරීන් නිර්මිත මේ නාට්‍යය අරභයා ඔහු සිදු කළ පර්යේෂණ බොහෝය. ඇගේ ජීවිතයේ සත්‍ය සිදුවීම් සොයා ඔහු අදාළ ප්‍රදේශවල සැරිසැරුවේය. ඓතිහාසික ලේඛන බහුලව පරිශීලනය කළේය. දයානන්ද ගුණවර්ධන ‘වාර්තාරංග‘ ශෛලිය  (DOCU DRAMA)  මෙමඟින් මෙරට වේදිකාවට හඳුන්වා දුන්නේය. දරිද්‍රතාව හේතු කොට ගජමන් නෝනා මුහුණපාන ගැටලු, ඇයට පෙම් බඳිමින්, වශීකෘත වී පැමිණෙන පිරිමින්ගේ ස්වරූපය, ගැහැනුකමට ආවේණික ප්‍රබලතා සේම දුබලතා ද ඉසියුම් ලෙස ඉස්මතු කිරීමට නාට්‍යවේදියා මෙහිදී සමත් වේ. එපමණක් නොව මෙය මුළු ලොවෙහිම සමස්ත කලාකරුවන් විෂයෙහි පොදු ධර්මතාවක් බව ගජමන් නෝනාගේ භූමිකාව ඔස්සේ සහෘද මනසට කාවැද්දීමට දයානන්ද ගුණවර්ධනයෝ සමත් වූහ. ඇගේ චරිතය රඟපෑමට තමා හැර වෙනත් නිළියක් නැතැයි සහෘදයන්ට සිතෙන තරම් සුවිශිෂ්ට ලෙස රත්මලී ගුණසේකර රංග ශිල්පිනිය මෙහි ගී ගයමින් ගජමන් නෝනා ජීවමාන කළාය. මුල් යුගයේ රත්මලී ගුණසේකරට මේ චරිතය කිසියම් හේතුවක් මත නිරූපණය කිරීමට නොහැකි වූ අවස්ථාවක 80 දශකයේ මුල සිනමාවේ නැඟ එමින් සිටි අනෝජා වීරසිංහට දයානන්ද ගුණවර්ධන මේ සඳහා ආරාධනා කළේය. එවක කලා ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක නොසිටි අනෝජා ‘ගජමන් පුවත’ නාට්‍යයේ ප්‍රශස්ත බව, මේ චරිතයේ විශිෂ්ටත්වය, දයානන්ද ගුණවර්ධනයන්ගේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කොට ගෙන නොසිටියාය. ජනප්‍රිය ධාරාවේ චිත්‍රපටයකට එවක ඇය තෝරා ගෙන සිටි හෙයින් මේ මහඟු අවස්ථාව අනෝජා ප්‍රතික්ෂේප කළාය. පසු කලෙක ඇය මා සමඟ කියා සිටියේ එදා තමාගේ තිබූ නොදැනුම්වත්කම නිසා ඇයට ගිලිහුණු අනර්ඝ අවස්ථාවක් ලෙසිනි. පසුව ධර්මසිරි බණ්ඩාරනායකයන් යුරිපිඩිස්ගේ“THE TROJAN WOMEN ඇසුරෙන් නිර්මාණය කළ “ට්‍රෙ‍්‍රීජන් කාන්තාවෝ” නාට්‍යයෙහි යුද්ධයෙන් සැමියා අහිමිවීම නිසා මුළු මහත් සමාජය වෙනුවෙන් කැප වූ වැන්දඹු දිරිය කාන්තාවක ලෙස වෙසෙස් භූමිකාවක්, ග්‍රීක නාට්‍ය සම්ප්‍රදායට උචිත ශෛලියෙන් රඟපෑ අනෝජා එකී භූමිකාව අරභයා නිබඳව තෘප්තියකින් කතා කළාය. එහෙත් එදා යොවුන් වියේ තමාට ගිලිහුණු “ගජමන් මෝනා” ගැන ඇය අදත් පශ්චාත්තාප වන්නීය.

ආචාර්ය ලක්ෂ්මි ද සිල්වා “ගජමන් පුවත” රසනුසුන්ව ඉංග්‍රීසි බසට නැඟුවාය. මේ අරභයා ඇය පැවසූ කියුමකි මේ. “මේ වූ කලී හුදෙක් රංගමය ආකාරයෙන් ඉදිරිපත් කොට ඇති අපදානයක් මතු නොව සර්ව දිශා ආලෝකවත් කරන්නා වූ ඓතිහාසික කෘතියකි. මාතර යුගයේ කවිය සහ කවීන් අරභයා පමණක් නොව සමාජ පෙරළිය ද මෙමඟින් විවරණය කිරීමේදී දයානන්ද, නොපෙනී ගිය අඳුරු අහුමුළුවලට පහන් දල්වා එහි එක් එක් චරිතවල හිස ආදරයෙන් පිරිමදිමින් ඔහුගේ සුපුරුදු දඟකාර සිනාව පායි.”

 

ඉතිරි කොටස ලබන සතියේ