සිංහල සිනමාවේ ජනකතාකරු

කේ. ඒ. ඩබ්ලිව්.පෙරේරා
අගෝස්තු 20, 2020

ප්‍රතිභාපූර්ණ දෙබස් රචකයකු එසේ සිංහල සිනමාවට එක් වෙද්දී ලෙස්ටර්ගේ ඊළඟ චිත්‍රපට අධ්‍යක්ෂණය වූ ‘සන්දේශය’ චිත්‍රපටයේ ද දෙබස් රචනයත් සමඟ බෙනඩික්ට් දොඩම්පේගම සමඟ තිර නාටකය ද රචනය කළේය. කේ. ඒ. ඩබ්ලිව්.ගේ ‘සන්දේශය’ චිත්‍රපටයේ දෙබස් අතිශයින්ම ජනප්‍රිය විය. ඉන්පසුව කේ. ඒ. ඩබ්ලිව්.  දෙබස් රචනා කළේ ප්‍රේමනාත් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී 296’ චිත්‍රපටයේය. ඒ 1959 වසෙර්ය.

පොදු ජන සිනමාවේ පුරෝගාමියා ලෙස හඳුන්වන චිත්‍රපට අධ්‍යක්ෂ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මිය ගොස් අගෝස්තු 20 වෙනිදාට (අදට) හරියටම වසර 14 ක් සපිරෙයි. මට මුල්වරට ඔහු මුණ ගැසුණේ හරියට මීට වසර 50 කට එපිට 1970 වසරේ මා විසින් ‘සරසවිය’ පුවත්පතට ලියූ ‘සිහිනයක මල් පිපුණ දා’ විශේෂාංගය ලිවීමට නුගේගොඩ කන්දවත්ත පාරේ දෙමහල් නිවසේදීය. තමා විසින් මුලින්ම අධ්‍යක්ෂණය කළ ‘සැනසුම කොතනද?” චිත්‍රපටය සඳහා විඳි අප්‍රමාණ දුක් කන්දරාව ඔහු විස්තර කළේ මෙසේය.

 “මම මුලින්ම චිත්‍රපටයක දෙබස් ලිව්වේ ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ සිංහල සිනමාවේ ගමන් මඟ වෙනස් කළ ‘රේඛාව‘ චිත්‍රපටයෙන්. ඒ 1955 වසරේ.  එයට සම්බන්ධ වූ කතාව මම පස්සේ කියන්නම්. ‘රේඛාවට‘ මා ලියූ දෙබස් ගැන පැහැදුණු ලෙස්ටර් ඊළඟට අධ්‍යක්ෂණය කළ ‘සන්දේශය’ චිත්‍රපටයේ දෙබස් ලියන්න විතරක් නෙවෙයි, එහි තිර රචනය ලියන්නත් මටත්, බෙනඩික්ට් දොඩම්පෙගමටත් පැවරුවා. මේ 1959 වසරේ. ඊට පස්සේ මම සම්බන්ධ වුණේ ‘පිරිමියෙක් නිසා’ චිත්‍රපටයට‘ කේ. ඒ. ඩබ්ලිව්. දිගු කතාවකට මුල පිරුවේය.

කොත්දුල් ආරච්චිගේ විල්සන් පෙරේරා 1926 අප්‍රේල් 15 වෙනිදා කොළඹ හැව්ලොක්ටවුමේදී උපත ලැබූ අතර ඔහුගේ පියා වූ විල්මට් පෙරේරා වූ අතර මව විදානගමගේ කවිනිහාමි රත්නායකගේ නැන්සිනා පෙරේරා නම් වූවාය. කේ. ඒ. ඩබ්ලිව්. ලෙස පසුව සිංහල සිනමාවේ දිදුලන චරිතයක් වූ විල්සන් පෙරේරා මූලික අධ්‍යාපනය ලැබුවේ වැල්ලවත්තේ බොයිස් ඉන්ඩස්ට්‍රියල් හෝම් පාසලේද ද්විතීය අධ්‍යාපනය කොළඹ ආනන්ද විද්‍යාලයේය.

ඔහු වෘත්තීය අරඹන්නේ බියන්විල රජයේ පාසලේ ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙසය. ලංකා ගුවන් විදුලි සේවයේ පිටපත් රචකයකු ලෙස ද වැඩසටහන් හා විචිත්‍රාංග, නිෂ්පාදක, ළමා වැඩ සටහන් සම්පාදක තනතුරු දැරීය. එදා ගුවන් විදුලියේ ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රිය වූ ‘ගුවන් විදුලි රඟමඬල’ නාට්‍ය හා ‘ඉන්ස්පෙක්ටර් පෙරේරා’ නම් රහස් පරීක්ෂක නාට්‍ය තුළින් කේ. ඒ. ඩබ්ලිව්. ගේ නම රටම දැන සිටියේය.

රජයේ චිත්‍රපට අංශයේ සේවය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස්, විලී බ්ලේක්, ටයිටස් තොටවත්ත නම් සිනමාවේ කැරලිකරුවන් තිදෙනා ‘රේඛාව‘ චිත්‍රපටය නිපදවීමට සැලසුම් කරන විට දෙබස් රචකයකුගේ අවශ්‍යතාව වඩාත් දැනුණේය. චිත්‍රපට කතාව රචනා කළේ ලෙස්ටර්ය. මේ ගැන ලෙස්ටර් හා ටයිටස් කතා කරමින් සිටින අතර රජයේ චිත්‍රපට අංශයේ නිබන්ධ සම්පාදකවරයෙක් වූ සුරේන්ද්‍ර එස්. වෙඩික්කාරගේ හැඳින්වීමකින් දෙබස් රචකයකු සිනමාවට එක් විය.

 “රේඩියෝ සිලෝන් එකේ සිංහල නාට්‍ය ලියන හාදයෙක් ඉන්නවා කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා කියලා. එයා ලියපු රහස් පරීක්ෂක නාට්‍යයක් හෙට රේඩියෝ එකේ ප්‍රචාරය වෙනවා’ සුරේන්ද්‍ර කීවේය

 ‘එහෙනං ටයිටස් ඒ නාට්‍ය අහලා තීරණයක් ගන්න’ ලෙස්ටර් කීවේය.

කේ. ඒ. ඩබ්ලිව්. ගුවන් විදුලියට ලියූ ‘ජීවිත සහතිකය’ නාට්‍යය ශ්‍රවණය කළ ටයිටස් රචකයා ගැන ඉහළම රෙකමදාරුව දුන්නේය. මුල්වරට කට වහරට හුරු රඟපෑමට පහසු දෙබස් රචනය කිරීමට ‘රේඛාවෙන්’ ඔහු සමත් විය. චිත්‍රපටයේ සූටියා ලෙස රඟපෑ ඩී. ආර්. නානායක්කාර ද කේ. ඒ. බබ්ලිව් ට සහය වී ඇත. කේ. ඒ. ඩබ්ලිව්. ‘රේඛාව‘ට ලියූ ස්වභාවිකත්වය, ගැමිකමට, සමීප දෙබස් විචාරකයන්ගේ ප්‍රශංසාවට ලක් විය.

ප්‍රතිභාපූර්ණ දෙබස් රචකයකු එසේ සිංහල සිනමාවට එක් වෙද්දී ලෙස්ටර්ගේ ඊළඟ චිත්‍රපට අධ්‍යක්ෂණය වූ ‘සන්දේශය’ චිත්‍රපටයේ ද දෙබස් රචනයත් සමඟ බෙනඩික්ට් දොඩම්පේගම සමඟ තිර නාටකය ද රචනය කළේය. කේ. ඒ. ඩබ්ලිව්.ගේ ‘සන්දේශය’ චිත්‍රපටයේ දෙබස් අතිශයින්ම ජනප්‍රිය විය. ඉන්පසුව කේ. ඒ. ඩබ්ලිව්.  දෙබස් රචනා කළේ ප්‍රේමනාත් මොරායස් අධ්‍යක්ෂණය කළ ‘ශ්‍රී 296’ චිත්‍රපටයේය. ඒ 1959 වසෙර්ය.

මේ අතර  කේ. ඒ. ඩබ්ලිව්. අධ්‍යාපනය ලැබූ කොළඹ ආනන්ද විද්‍යාලයේ එකට ඉගෙන ගත් පන්ති සගයෙක් හමු වුණේය. පන්ති සගයකු කීවට ඔහු අඹ යාළුවෙකු විය. දෙදෙනාම චිත්‍රපට නැරඹීමේ උමතුවෙන් සිටියහ. නිව් ඔලිම්පියා, ටවර් සිනමාහල්වල තිරගත වූ ඉංග්‍රීසි චිත්‍රපට මෙන්ම හින්දි චිත්‍රපට ද ‘ස්කූල් කට්’ කොට නැරඹූ මේ දෙදෙනා කවදා හෝ චිත්‍රපටයක් නිපදවීමට සිහින මැව්වේය. එය කවදා සැබෑ වෙන  සිහිනයක් නොවේද? 

කේ. ඒ. ඩබ්ලිව්. ගේ මේ මිතුරා ප්‍රේමලාල් එදිරිසිංහය. ඊ. ඒ. පී. එදිරිසිංහ නමින් චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස ජනප්‍රිය සිනමාවේ ජය කෙහෙළි නැංවූයේ ඔහුය. ප්‍රේමලාල්ට කේ. ඒ. ඩබ්ලිව්. හමු වූයේ ‘සන්දේශය’ නිපදවෙන කාලයේ රේඩියෝ සිලෝන් එක අසලදීය. ඒ වන විට ප්‍රේමලාල් ව්‍යාපාර ලෝකය ජය ගත් ධනවතෙකු වි සිටියේය.

 ‘කේ. ඒ. ඩබ්ලිව්. තමුසෙ හම්බ වුණ එක හොඳයි. අර අපි ආනන්දේ ඉගෙන ගන්න කාලේ හිතුව දේ - චිත්‍රපටයක් කරමු කියපු කතාව මට ඉටු කරන්න කාලය ඇවිත්. අපි ෆිල්ම් එකක් කරමු.  තමුසෙත් දැන් සිනමාවේ කෙරුම්කාරයෙක් නේ?’ ප්‍රේමලාල් යෝජනාව ඉදිරිපත් කළේය.

 ‘හොඳ අදහස කවුද අධ්‍යක්ෂණයට ගන්නේ’

 ‘ඇයි තමුසෙ?’

 ‘අනේ ප්‍රේමලාල් චිත්‍රපටයට මම කතාවකුත් ලියලා දෙබසුත් ලියලා දෙන්නම්. තමුසෙගේ පළමුවැනි චිත්‍රපටයනේ. අපි පළපුරුදු කෙනෙක් යොදා ගම්මු’

 ‘කවුද තමුසෙ යෝජනා කරන්නේ’

 ‘ටී. සෝමසේකරන්. මිනිහා දක්ෂයා. ‘සැඩසුළං’ කරලා බොක්ස් ඔෆීස් චිත්‍රපටයකුත් කළේ. එයා සතුටු නම් මම සම අධ්‍යක්ෂක විදිහට වැඩ කරන්නම්

 ‘තමුසෙගෙ කැමැත්තක්’

මේ අවස්ථාව ගැන කේ. ඒ. ඩබ්ලිව්. මට එදා විස්තර කළේ මෙසේය.

 ‘මම දෙබස් ලියලා සෝමසේකරන් සමඟ සම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ‘පිරිමියෙක් නිසා’. මේ චිත්‍රපටයට ‘සන්දේශය’ චිත්‍රපටයේ තම්මිට ලෙස දක්ෂ ලෙස රඟපෑ ගාමිණී ෆොන්සේකා මම ප්‍රධාන චරිතයට තෝරා ගත්තා. 

ෆ්ලොරිඩා ජයලත් ගාමිණි මවට තෝරා ගත්තා. සුජාතා විජේසේකර නම් නවක නිළියක් අපි හඳුන්වා දුන්නා. ජෝ අබේවික්‍රමත් තෝරා ගත්තා. 

සෝමසේකරන් මට අවශ්‍ය නිදහස දුන්නා. මා දෙබස් රචනා කොට සම අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය නිෂ්පාදනය කළේත් ප්‍රේමලාල්මයි. 1963 වසරේදී සුහද සොහොයුරෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා එල්. එස්. රාමචන්ද්‍රන්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපෑ අසෝක පොන්නම්පෙරුම, ක්ලැරිස් ද සිල්වා හා ස්ටැන්ලි පෙරේරාට දෙබස් කියා දී, රඟපාන හැටි ද කියා දී මම කැමරාවට ඇහැ තියලා කැමරා කෝණය බලන්න යන කොට අධ්‍යක්ෂ රාමචන්ද්‍රන් මගේ පිටට තට්ටු කරලා මෙහෙම කිව්වා.

 ‘තමුසෙ තාම කතා රචකයෙක්. කැමරාවෙන් බලලා කැමරා කෝණ බලන්න තව ගොඩාක් කල් තියෙනවා. එතකන් ඉවසනවා’ ඔහු උපහාසාත්මකව මට කිව්වා. මගේ ඇහැට කඳුළු පිරුණා.’

මම හිතා ගත්තා තව අවුරුදු දෙකකින් මම තනිවම  චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියලා. ඔය අතරේ මට බොක්ස් ඔෆීස් වාර්තා තැබූ රන්මුතු දූව චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙක් හා දෙබස් රචකයකු ලෙස සේවය කළ තිස්ස ලියනසූරිය මට ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ දෙබස් ලියන්න ආරාධනා කළා. මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයාත් (මයික් විල්සන් සමඟ) තිස්ස.  තිස්ස මගේ ගෝලයෙක්. ගුවන් විදුලි නාට්‍ය ලිවීමට හා රඟපෑමට තිස්සව යොමු කළේ මම. ඔහු කළගුණ දන්නා තරුණයෙක්. ‘සන්දේශය’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස මා අවස්ථාව ලබා දුන් අයුරු ඔහු කෘතඥතා පූර්වකව මතක් කරනවා. 1964 සරසවිය සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂ ලෙස තිස්ස, මයික් සමඟ සම්මාන ලැබුවා.

1964 දී තිස්ස ලියනසූරිය මුලින්ම අධ්‍යක්ෂණය කළ ‘සාරවිට‘ චිත්‍රපටයේත් තිර නාටකය හා දෙබස් ලිවීමට මාව තෝරා ගත්තේ ගුරු බැතිය නිසාය. අපි අහිංසක සාරවිටිකාරයකු මුල් කරගෙන අපූරු කතාවක් ලිව්වා.  සාරයියා ලෙස රඟපෑවේ ජෝ අබේවික්‍රම. පුංචි සරල තේමාවක්. මේ චිත්‍රපටයට 1965 සරසවිය සම්මාන උලෙළේදී හොඳම තිරනාටක රචකයා ලෙස මට සම්මානය ලැබෙන කොට හොඳම අධ්‍යක්ෂක ලෙස තිස්සත්,  හොඳම නළුවා ලෙස ජෝත් සරසවිය සම්මාන ලැබීම මට ලොකු සතුටක් ලැබුණා.

තමාගේම අධ්‍යක්ෂණයක් සහිත චිත්‍රපටයක් හැදීමට  කේ. ඒ. ඩබ්ලිව්. ගේ හිතේ කොනක ආශාවක් තිබුණි. ඒ සඳහා වස්තු බීජය ලැබුණේ ඔහුගේ  බිරිය නිසා. ඇගේ නම මිහිඳුකුලසූරිය වර්ණපේලියගේ තෙරේසා ඇග්නස් පෙරේරාය. ඇය ඔහුට හමු වූයේ හෙදියන් ට්‍රේනිං කරන පාසලක් අසලදීය. හෙදියක වූ ඇය දැකීමෙන් ඇය කෙරෙහි ඔහු තුළ සිතක් ඇති විය. ඇය ඔහුගේ අත ගන්නා විට රෝහලේ මාණ්ඩලික හෙදියක්ව සේවය කළා. තමාට සිය කුලුඳුල් චිත්‍රපටය සඳහා වස්තු බීජය ලැබුණු හැටි කේ. ඒ. ඩබ්ලිව්. මට එදා විස්තර කළේ මෙසේය.

 ‘මගේ බිරිය කොළඹ රෝහලක මාණ්ඩලික හෙදියක්. ඇය හමුවීමට රෝහලට යන බොහෝ අවස්ථාවලදී අපට හමු වූ විවිධ චරිත හා සිදුවීම් චිත්‍රපට කතාවක් ගොඩ නැඟීමට බොහෝ සේ ඉවහල් වුණා. වරක් මගේ බිරිඳ රෝහල් බිමේ කොරිඩෝව දිගේ එන පුද්ගලයකු පෙන්නා මෙහෙම කිව්වා.

 ‘ඔය මිනිහ මහ පුදුම මිනිහෙක්. මරණාසන්නව ඉන්න තාත්තා ළඟට ඇවිත් ඔප්පුවකට අත්සන් ගන්න හදන කොට මම එලව ගත්තා. ඒ තරහට මිනිහා මාව තිරිකුණාමලයට මාරු කරනවයි කිව්වා’ කියා සිනාසුණා.  තවත් දවසක් එක්තරා මිනී පෙට්ටි සාප්පුවක් අයිති මිනිහෙක් මට පෙන්නලා ‘මැරෙන ලෙඩ්ඩුන්ගේ ඇඳවල් ළඟට ඔය මිනිහ කිට්ටු වෙලා බොරු අනුකම්පාවක් පෙන්නලා සම්බන්ධ වෙලා මළාට පස්සේ පෙට්ටියෙ ඕඩරය ගන්නවා’.

මේ අත්දැකීම් ගොනු කරලා රෝහලක් පසුබිම් කරලා හෙදියක්, දොස්තර කෙනෙක්, මේල් නර්ස් කෙනෙක් මුල් කරගෙන කතාවක් ලිව්වා. මගේ හිතේ මැවුණේ හෙදියට ජීවරාණි කුරුකුලසූරිය, දොස්තරට ගාමිණී ෆොන්සේකා, මේල් නර්ස්ට ජෝ අබේවික්‍රමය. කතාව ලියාගෙන ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙකු ගාවටම ගියා. හරි  ගියේ නෑ. දවසක් මම ගාමිණි ෆොන්සේකාට මේ කතාව කිව්වා.  

 ‘කතාව නම් හොඳයි, මගේ යාළුවෙක් ඉන්නවා රත්මලානේ සිරිමල් උයනේ අපේ ගෙවල් ගාව සෝමසිරි පෙරේරා කියලා. මම කියලා බලන්නම්’ ගාමිණී කිව්වා.

මම දහසක් සිතුවිලි මවාගෙන එක්තරා පෝය දවසක ගෙදර එළිමහනට වී රාත්‍රී 11 ට පමණ හඳ දිහා බලාගෙන මෙහෙම හිතුවා.   අනේ මගේ එකම ප්‍රාර්ථනය මගේම කියලා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. එය ඉටුවේවා. මම ප්‍රාර්ථනා කළා. ඒ සමඟම ගෙදර ටෙලිෆෝනය නාද වුණා. මම ඉක්මනට ගියා. කතා කළේ ගාමිණී.

‘කේ. ඒ. ඩබ්ලිව්. අර වැඩේ හරි. සෝමසිරි පෙරේරා කතාව අහලා කිව්වා - ගාමිණී කියනවා නම අපි චිත්‍රපටය කරමු කියලා. හෙට උදේ 10 ට විතර අපේ ගෙදර එන්න. සෝමසිරිත් ඒවි’ ගාමිණී කිව්වා.

මට අදහා ගන්න බැරිව ගියා. මගේ චිත්‍රපටයේ නම ‘සැනසුම කොතැනද?’ මම  සැනසුම මුලින්ම ලැබුවේ ගාමිණීගෙන්. සාකච්ඡාව සාර්ථකයි. චිත්‍රපටය පටන් ගත්තා. ඔය කාලේ මම ප්‍රේමසිරි කේමදාසගේ ‘නවරැල්ල’ ගීත නාටකය බලන්න මම ගියා. එහි එන ගීතවල රචනයටත්, සංගීතයටත් මගේ හිත ගියා. මගේ මුල්ම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට කේමදාසටත්, ගීත රචනයට නව රැල්ලේ ගීත රචක  ධර්මසිරි ගමගේවත් මම තෝරා ගත්තා. ගමගේ චිත්‍රපටය ලියූ ගීත පහම එක ලෙස ජනප්‍රිය වුණා.  ‘සැනසුම කොතැනද’ ආදායම් වාර්තා බිඳ හෙළමින් තිර ගත වුණා. 1967 සරසවි සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානය දිනුවේ නිෂ්පාදක  සෝමසිරි පෙරේරා. මට ඒ ඇති. මට සම්මාන නැතත් කමක් නෑ.’

ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන්  කේ. ඒ. ඩබ්ලිව්. ආරම්භ කොට නිෂ්පාදනය කළ ජනප්‍රිය වැඩ සටහන් අතර ‘හඳමාමා’ (ළමුන් සඳහා) ‘රේඩියෝ සඟරාව‘ (යෞවනයන් සඳහා) ‘වාසනාව උදාව‘ (වැඩිහිටියන්ගේ බුද්ධි වර්ධනයට) කැපී පෙනෙයි.  චිත්‍රපටවල  දෙබස්, තිර නාටක ලිවීම, චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුව සිටි කේ. ඒ. ඩබ්ලිව්.ට ගුවන් විදුලියෙන් වාරණය පැන විය. ඒ 1966 වසරේදීය. අධ්‍යක්ෂ ජනරාල් එස්. බී. සේනානායකය. ගුවන් විදුලියේ රාජකාරි වේලාවේදී හෝ ඉන් පිට කවර වේලාවකදී හෝ සිනමා කලාව හා සම්බන්ධ කවර කටයුත්තක හෝ යෙදීම සපුරා තහනම් කෙරේ. මේ වාරණ නියෝගය පිළිගනිමින්  කේ. ඒ. ඩබ්ලිව්. හා කරුණාරත්න අබේසේකර තම ස්ථිර රැකියා අතහැර පූර්ණකාලීනව සිනමාවට කැප විය.

1966 වසරේ  සිට කේ. ඒ. ඩබ්ලිව්. ට එක පිට එක චිත්‍රපට ගලා ආවේය. තම පන්ති මිතුරා වූ ප්‍රේමලාල් (ඊ. ඒ. පී) නිෂ්පාදනය කළ ‘කපටිකම‘ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂවරයකු ලෙස ඒ ගමන ඇරඹූ කේ. ඒ. ඩබ්ලිව්. ‘බයිසිකල් හොරා’ (1968), ‘සීයේ නෝට්ටුව‘, (1971), කතුරු මුවාත්’ (1971), ලොකුම හිනාව (1972), ඉහත ආත්මය (1972), අපරාධය හා දඬුවම (1973), දුලීකා (1974), ළසඳා (1976), නෑදෑයෝ (1976), ජනක හා මංජු (1978), සසර (1978), හිඟන කොල්ලා (1979), ආදර රත්නේ (1980), බංගලි වළලු (1981), වතුර කරත්තය (1982), රේල් පාර (1982), දුර්ගා (1988), ධවල පුෂ්පය (1994), මධුරි (1996), උණ්ඩය (2000), සුමේධා (2003) මේ චිත්‍රපට සිංහල  සිනමාවට එකතු කළේය.

අධ්‍යක්ෂණයට පෙර ඔහු හෙට ප්‍රමාද වැඩියි (1964) කළ කළ දේ පළ පළ  දේ (1964), යට ගිය දවස (1965), ඔබ දුටුදා (1966), පේනව නේද? (1970) චිත්‍රපටවල  දෙබස් රචනය කළේය. කේ. ඒ. ඩබ්ලිව්. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. ගමන, ප්‍රමාද වැඩියි, හැංගි හොරා, හිඟන කොල්ලා, පාසල් ගුරුවරී මේ ටෙලි නාට්‍යය.

කේ. ඒ. ඩබ්ලිව්. හා තෙරේසාට දරුවන් තිදෙනෙකි. නයනානන්ද චන්ද්‍ර කුමාර, ජයන්ත දාස් පෙරේරා, තමරා චන්ද්‍රමාලි පෙරේරා මේ තිදෙනාය.

1972 දී චිත්‍රපට සංස්ථාවක් බිහි කිරීමට පුරෝගාමී වූ බලකණුවක් ලෙස ද කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා හැඳින්විය හැකිය. 

කේ. ඒ. ඩබ්ලිව්. ගේ චිත්‍රපටවලට නිර්දය ලෙස පහර ගැසූ චිත්‍රපට විචාරකයෙකි ජයවිලාල් විලේගොඩ. තම ඇතැම් චිත්‍රපටවල චරිතය තුළින් විලේගොඩ උපහාසයට ලක් කිරීමට ද කේ. ඒ. ඩබ්ලිව්. ද පසුබට වූයේ නැත. කපටිකම චිත්‍රපටයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුගේ චරිතයට බී. එස්. පෙරේරා නම් විකට නළුවා යොදා චිත්‍රපට විචාරකයන්ට පහර  දීමට කේ. ඒ. ඩබ්ලිව්. සමත් විය.

මා (මේ ලියුම්කරු) ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයේ සේවය කරන කාලයේ  සිට (1970) කේ. ඒ. ඩබ්ලිව්. සමඟ සමීප ඇසුරක් තිබුණි. වරක් ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවට මා සමඟ මගේ සන්මිත්‍ර කුලරත්න ආරියවංශ (සම්මානනීය ගීත රචක)  සහභාගි විය. එය අවසන් වී දිවා ආහාරය ගෙන කේ. ඒ. ඩබ්ලිව්. ගේ මෝටර් රථයේ නැගී නුගේගොඩ සිට කොහුවල හරහා කොටුව දෙසට එමින් සිටියදී ජයවිලාල් විලේගොඩ ගැන අපේ මාතෘකාව විය.

 ‘මොකද විලේගොඩ මිස්ටර් පෙරේරා එක්ක තියෙන තරහා’ මම විමසීමි.

 ‘විලේගොඩ මගේ ඥාතියෙක්. හේතුව මම දන්නේ නෑ. මගේ ‘සැනසුම කොතනද’ ඉඳලා හැම චිත්‍රපටයකටම පහර දීලා විචාර ලිව්වා’

මේ වන විට කේ. ඒ. ඩබ්ලිව්. ගේ රිය කළුබෝවිල රෝහල පසු කරමින් ඉදිරියට යමින් තිබුණි. සුසාන භූමිය අසල බස් නැවතුම්පොළේ ජයවිලාල් විලේගොඩ සිටිනු දුටු කුලරත්න ආරියවංශ මෙසේ කීවේය.

 ‘මිස්ටර් පෙරේරා, බස් හෝල්ට් එකේ මිස්ටර් විලේගොඩ ඉන්නවා’

 ‘මේක පුදුම දෙයක්. මිස්ටර් විලේගොඩ ගැන කතා කර කර ඉන්න කොටම එයා මෙතැන. මෙය චිත්‍රපටයක  දර්ශනයකට දැම්මොත් අස්වාභාවිකයි කියාවි’ මම කීවෙමි.

කේ. ඒ. ඩබ්ලිව්. තම රථය විලේගොඩ අසල නතර කළේය.

 ‘විලේගොඩ කොහේද යන්නේ’

 ‘කොටුවට. ලේක්හවුස් එකට‘

 ‘නඟින්න. මම යන්නේ රංජිත්ලව ඇරලන්න ලේක්හවුස් එකට‘

කිසිම පැකිලීමක් නැතිව විලේගොඩ රථයට නැංගේය. එතැන් සිට මේ දෙදෙනාම සිනමාව හැර වෙනත් රටේ ලෝකේ දේවල් කතා කරමින් යනු මාත්, කුලරත්නත් අසා සිටියේ නොතිත් අසාවෙනි. අද ජීවතුන් අතර නැති විලේගොඩ හා කේ. ඒ. ඩබ්ලිව්. ගේ මේ සිද්ධිය මමත් කුලේත් ඉඳහිට මතක් කරන්නේ ඒ දෙදෙනාට අපේ තිබූ හෘදයාංගම බව පළ කරමිනි. විලේගොඩ මියයන විට කේ. ඒ. ඩබ්ලිව්. සිටියේ නුවරඑළියේ රූ ගත කිරීමකය. චිත්‍රපට නළු හර්බට් අමරවික්‍රම ලවා මල් වඩමක් යවා තම ශෝකය පළ කිරීමට කේ. ඒ. ඩබ්ලිව්. අමතක කළේ නැත.

කේ. ඒ. ඩබ්ලිව්. රසවත් මිනිසෙකි. අව්‍යාජ මිනිසෙකි. කළ ගුණ දන්න මිනිසෙකි. අලුත් පරපුරට අත හිත දුන් මිනිසෙකි. ඔහු තමා මිල දී ගත් ලා නිල් පැහැති මෝටර් රථයට කොතරම් ආදරය කළා ද යත් අලුත් රථයක් මිල දී නොගෙන ඒ රථය අලුත්වැඩියා කළ බාසුන්නැහේ ලවාම අඩුපාඩු සකස් කර අන්තිම මොහොත දක්වාම පදවාගෙන ගියේය. තම අන්තිම කැමැත්ත වූයේ තමාගේ  මෘත දේහය ගෙන යන අවමඟුල් රිය පසුපස තම 4 ශ්‍රී 3112 දරණ ෆෝඩ් කාරය ද රැගෙන යා යුතු බවය. ඔහු අවසන් ගමන් යනදා පුතුන් දෙදෙනා අකුරටම පියාගේ අන්තිම කැමැත්ත ඉටු කළ බව අපි දැක්කෙමු.

කේ. ඒ. ඩබ්ලිව්. සම්මානයෙන් පුද ලැබූ අවස්ථා කිහිපයකි. පොදු ජන හදවතට සිනමාව ගෙන යාමේ පුරෝගාමියා නිමිත්තෙන් දීපශිඛා සම්මානය ද, ළසඳා චිත්‍රපටය සඳහා ටෂ්කන්ට් අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී විශේෂ සම්මානය ද, දේශීය සිනමාවට ඉටු කළ මාහැඟි මෙහෙවර වෙනුවෙන් රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් ස්වර්ණ ජයන්ති සම්මානය ද, ජනාධිපති ස්වර්ණ සිංහ සම්මානයත්. කලාශූරී සම්මානය, සරසවිය රණතිසර සම්මානය, යූ. ඩබ්ලිව්.  සුමතිපාල අනුස්මරණ සුමති සම්මාන ඔහු ලබා ගත්  සුවිශේෂ සම්මාන අතර වෙයි. 2003 නොවැම්බර් 19 වෙනිදා බණ්ඩාරනායක අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ස්වර්ණවාහිණියේ මෙහෙයවීමෙන් පැවති උපහාර සම්මාන උලෙළ ඔහුට කළ එකම උපහාරය ලෙස සනිටුහන් වී ඇත. එදින  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී  ධර්මසිරි ගමගේ විසින් ලියූ ග්‍රන්ථයක් ද එළිදැක්විණ.     

ඒ. ඩී. රන්ජිත් කුමාර

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්