“තිලෝගුරු නාමයෙන් මෙ මට” සුප්‍රසිද්ධ නුර්ති ගීතයේ “සිවම්මාගේ අප්‍රකට කතාව”

අගෝස්තු 27, 2020

සිංහල නාටකයෙහි විකාශනය පිළිබඳව සලකා බැලීමේ දී, විසි වැනි සියවසෙහි මුල් වකවානුවෙහි මෙරට බිහි වූ විශිෂ්ටතම නාටක ශෛලීය ලෙස සැලකෙන්නේ “නූර්ති” ය. එවකට සුප්‍රකට නුර්ති රචකයන් වූයේ සි.දොන් බස්තියන්, ආර්. ජෝන් පෙරේරා, නීතීඥ ජෝන් ද සිල්වා සහ නීතීඥ චාල්ස් ඩයස් අමරතුංග යන මහත්මාවරු ය. ක්‍රි.ව 1911 දෙසැම්බර මස 16 වන දින ආරම්භ කරන ලද ටවර් නෘත්‍ය ශාලාව මෙරට නුර්තියහි තිඹිරිගෙය විය. “කොළඹ ආර්ය සිංහල නාට්‍ය සභාව” විසින් ඉදිරිපත් කළ බොහෝ නාටක ප්‍රදර්ශනය කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වූයේ කොළඹ ටවර් නෘත්‍ය ශාලාවය. කොළඹ ආර්ය සිංහල නාට්‍ය සභාවෙහි ප්‍රධාන නාටක කතුවරයෙකු වූ නීතීඥ චාල්ස් ඩයස් සූරීන් විසින් රචනා කරන ලද නාටක රාශියකි. චාල්ස් ඩයස්ගේ නාටක අතර, “ජාතක කතා පුවත්” (කුසරාජ චරිතය, උම්මග්ග, භූරිදත්ත, සත්තුභත්ත, ගුත්තිල, විදුර), “ඓතිහාසික කතා පුවත්” (ධර්මාශෝක, පණ්ඩුකාභය, ධාතුසේන, දුටුගැමුණු, උත්තර ගැමුණු, විජය රාජ චරිතය, කසුබු රාජ චරිතය, හේමමාලි, කාවන්තිස්ස, මහා පරාක්‍රමබාහු ), “මහාභාරත කතා”(නල දමයන්ති), “ශේක්ස්පියර් නාටක” (ඔතෙලෝ), “සංස්කෘත නාටක” (නාගානන්ද), “අරාබි නිසොල්ලාසයේ කතා” (ඇලඩින් සහ පුදුම පහන), “සමාජ නාටක” (මායාවතී, ඉන්දුමතී) සහ “සිවම්මා ධනපාල” වැනි හුදු විනෝදාස්වාදය සඳහා වූ විකට නාටක ද, දැකිය හැකිය. මෙකී නාටක බොහොමයක් ඒ වන විටත් ජෝන් ද සිල්වා සහ දොන් බස්තියන් කතුවරුන් අතින් ලියැවී වේදිකාගත කර තිබුණ ද, චාල්ස් ඩයස්ගේ කතා සන්දර්භය, ගීත සහ ජවනිකා ඒවායින් වෙනස් විය. නමුත් ඒවායින් බොහොමයක් සංගීතමය අතින් හෝ කතා සන්දර්භය අතින් කතුවර ජෝන් ද සිල්වාගේ නාටක අභිබවා යාමට නොහැකි විය. අධිරාජ්‍යවාදී සමයේ විරචිත චාල්ස් ඩයස්ගේ මෙම නාටක බොහොමයක මුඛ්‍ය පරමාර්ථය වූයේ ප්‍රේක්ෂකයා තුළ සාධු ගුණ , සුචරිත ගුණ වර්ධනය කිරීමත්, තත්කාලීන සමාජයේ සංකර වූ, පරගැති ගති සිරිත් නිර්දය ලෙස හෙළා දැකීමත්, ජනයා තුළ ස්වාදේශානුරාගය, දේශ වාත්සල්‍යය, දේශාභිමානය ජනනය කිරීමත් ය. මේ සඳහා හෙතෙම උචිත දෙබස් මෙන්ම කර්ණරසායන ගීත ද මෙම නාටකවලට ඇතුළත් කළේ ය.

චාල්ස් ඩයස්ගේ නාටක අතුරින් ජනප්‍රිය නාටකයක් වූ වර්ෂ 1919 දී මුල්වරට ප්‍රදර්ශිත “සිවම්මා ධනපාල“ නම් නුර්තියට ඇතුළත් වූ, “තිලෝගුරු නාමයෙන් මෙ මට” යන ගීතය එදා සිට අද දක්වාම, ශතවර්ෂයක පමණ කාලයක් ගෙවී ගියද අතිශය ජනප්‍රිය ගීතයකි. බොහෝ දෙනා මෙම ගීතය සිවම්මා ධනපාල නුර්තියට ඇතුළත් බව සඳහන් කළ ද, ඇත්ත වශයෙන්ම, මෙම ගීතය මුල්වරට චාල්ස් ඩයස් විසින් ඇතුළත් කරන ලද්දේ නුර්තියට ද, නැතහොත් ඔහු විසින් ඊට පළමුව රචනා කරන ලද්දේ වෙනත් නුර්තියකට ද යන්න සලකා බැලීම මෙම ලිපියෙහි මුඛ්‍ය පරමාර්ථයයි. පාඨක ඔබගේ පහසුව තකා මෙම ලිපියේ අන්තර්ගතය කොටස් තුනක් යටතේ ලියා දක්වමි.

1. චාල්ස් ඩයස් ගේ දුටුගැමුණු (1915), උත්තර ගැමුණු (1915) සහ සිවම්මා ධනපාල (1916) නාටක

2. ග්‍රැමොෆෝන් ගීත තැටියට නැඟුªණු පළමු “තිලෝගුරු නාමයෙන්” ගීතය

3. වේදිකාවේ “පළමු සිවම්මා” සහ “ජනප්‍රියම සිවම්මා”

1. චාල්ස් ඩයස්ගේ දුටුගැමුණු (1915), උත්තර ගැමුණු (1916) සහ සිවම්මා ධනපාල (1919) නාටක :

වර්ෂ 1915 දී නීතීඥ චාල්ස් ඩයස් සූරීන් ඔහුගේ “දුටුගැමුණු” නාටකය රචනා කොට ප්‍රදර්ශනය කළේ ය. මෙම නාටකයේ සන්දර්භය සඳහා දුටුගැමුණු රජුගේ ළමා කාලයේ සිට එළාර දුටුගැමුණු යුද්ධය සහ ලක්දිව එක්සේසත් කිරීම දක්වා කොටස් ඇතුළත් විය. මෙයට අමතරව නාටකය තුළින් හාස්‍ය රසය මතු කරනු වස් ,ධනපාල නම් ගල්වඩුවෙකු සහ පිරිමින් මායමින් රවටා ගන්නා “සිවම්මා” නම් කපටි නළඟනක් සහ “ගුණපාලි“ නම් තවත් තරුණියක් (ධනපාලගේ පෙම්වතිය) යන ප්‍රබන්ධ කතාව ඇතුළත් කොට චාල්ස් ඩයස් මහතා නාටකය රචනා කළේ ය. කෙසේ වෙතත් , නාටකයේ මූලික අනුභූතිය වූ භක්ති රසය මෙම අතුරු කතාව නිසා වෙනස් මඟක් ගනී යයි සිතු නිසා දෝ, සිවම්මා - ධනපාල කතා කොටස චාල්ස් ඩයස් විසින්ම වර්ෂ 1916 දී රචනා කළ “උත්තර ගැමුණු ” නාටකයට ඇතුළත් කළේ ය. මෙම නාටකයෙන් දුටුගැමුණු රජුගේ ද්‍රවිඩ සංහාරයත්, ලක්දිව එක්සේසත් කොට විහාරාදිය කරවීමත්, සාලිය අසෝකමාලා පෙම් පුවතත්, සිවම්මා- ධනපාල නම් අතුරු කතාවත්, දුටුගැමුණු රජුගේ අවසානයත් ඇතුළත් කොට නිර්මාණය කළේ ය. උක්ත නාට්‍ය ද්විත්වයේ ම ජනප්‍රිය භාවය සහ රසික ආකර්ෂණය දිනා ගැනීමට සිවම්මා සහ ධනපාල ගල් වඩුවාගේ අතුරු කතාව සමත් වූ බැවින්, චාල්ස් ඩයස් විසින් වර්ෂ 1919 දී ඔහුගේ සුප්‍රසිද්ධ “සිවම්මා - ධනපාල” නුර්තිය වේදිකාගත කළේ ය.

චාල්ස් ඩයස්ගේ “උත්තර ගැමුණු” නාටකය අංක 3 කින් සහ චිත්‍ර වස්ත්‍ර 31 කින් සමන්විත ය. නාටකය ගීත 36 කින්, ගාථා 3කින්, ශ්ලෝක 1කින් සහ වාසගම් නොහොත් සංවාද 402 කින් සමන්විතය. මෙම නාටකයේ බොහෝ සංවාද සහ ගීත ඔහුගේ “සිවම්මා ධනපාල” නුර්තියේ ද අන්තර්ගත කර ඇත. “සිවම්මා” යනු කපටි ගැහැණියකි. ඇයගේ මායම් සහ කපටිකම්වලින් තරුණයන් වසඟ කොට මුදල් ලබා ගැනීම ඇයගේ අභිප්‍රාය යි. “ධනපාල” යනු තරමක් නුගත්, සහ කවට ලක්ෂණවලින් හෙබි තරුණ ගල් වඩුවෙකි . සිවම්මා ඔහුට ආදරය කරන බවක් පෙන්වමින් තවත් තරුණයන් ද මුළාවේ දමමින් ඔවුන්ගෙන් මුදල් ලබා ගනී. ගුණපාලි යනු අහිංසක ගම්බද තරුණියකි. ඇයගේ පියා ධනපාල වෙත ගුණපාලි විවාහ කරදීමට සැරසුණත්, ධනපාල ගුණපාලීට ආදරය නොකරයි. ඔහුට ගුණපාලි හා විවාහ වුවහොත් ඇයගේ පියාගේ හරක් ලැබෙන නිසා ඔහු විවාහයට කැමති වෙයි. ඉතා වංකව දිවි ගෙවන සිවම්මා පසු කලෙක අන්ත අසරණව සහ ඉතා විරූපීව, සිඟමන් යදින යාචක ස්ත්‍රියක් බවට පත්ව මිය යයි. සිඟමන් යදින සිවම්මාගේ ගීතය ලෙස ප්‍රකට වන්නේ උක්ත “තිලෝගුරු නාමයෙන් මෙමට යමක් දුන්නොතින් පින් සැලසෙයි” යන ගීතයයි. සුරූපී ව සිටි සිවම්මාගේ ඛේදනීය අවසානය දැක කම්පා වන ධනපාල සහ ඔහුගේ පෙම්වතිය ගුණපාලි ගිහි ජීවිතය පිළිබඳ කලකිරී මහණ දම් පිරීමට යයි. “උත්තර ගැමුණු” නුර්තියට ඇතුළත් වූ සිඟමන් යදින සිවම්මාගේ ගීතය වන තිලෝගුරු නාමයෙන් ගීතය අන්තර්ගත වන බව රචකයාගේ අත්පිටපත්වල සඳහන් වේ. මේ අනුව “තිලෝගුරු නාමයෙන් මෙමට” යන ගීතය පළමුව අන්තර්ගත වූයේ චාල්ස් ඩයස්ගේ “උත්තර ගැමුණු” නුර්තියට බව තහවුරු වේ.

ජෝන් ද සිල්වාගේ නාටකවල කථාව සහ ගීත ඇතුළත් පොත් මුද්‍රණය කළ ද, චාල්ස් ඩයස්ගේ නාටක පිටපත් කිසිවක් ඔහු මුද්‍රණය නොකළේ ය. එබැවින් මෙකි නාටකයන හි කතා ශරීරයන් හෝ ගීත සඳහා භාවිත කළ රාග- තාල සෙවීමේ කාර්යය ඉතා දුෂ්කරය. කෙසේ වෙතත් කතුවරයා විසින් එකී ගීතවලට භාවිත කළ වෘත්තයන් ඔහුගේ අත්පිටපත්වල සටහන් කර තිබීම විශේෂත්වයකි. උත්තර ගැමුණු (1916) නාටකය සඳහා රාග තාල දී ඇත්තේ, ඉන්දීය සංගීතඥ මහාචාර්ය අමීර් ඛාන් විසිනි. උත්තර ගැමුණු නාටකය සඳහා සංගීතය සපයා ඇත්තේ ටවර්හෝල්හි සුප්‍රසිද්ධ සංගීතඥයෙක් වූ ජේ.ඩී මාෂල් පෙරේරා විසිනි.

වර්ෂ 1916 අගෝස්තු මස සිට අඛණ්ඩව 1919 වසර දක්වා “උත්තර ගැමුණු” නාටකය මරදානේ ටවර්හෝල්හි අතිසාර්ථකව ප්‍රදර්ශනය විය. මෙහි පළමු දර්ශනයේ (1916) සිවම්මා වූයේ එච්. ඒ .මාර්ෂල් පෙරේරා නමැති ස්ත්‍රී චරිත නිරූපණය කිරීමෙහි අතිදක්ෂ වූ නළුවා ය. ධනපාල නම් ගල් වඩුවා වූයේ ටවර් හෝල්හි “විකට රජා" ලෙස ප්‍රසිද්ධියට පත් වූ එන්. රොමානිස් පෙරේරා ය. වර්ෂ 1918 දී , එවකට අතිශය ජනප්‍රිය නිළිය වූ “ඇනී බොතේජු” උත්තර ගැමුණු නාටකයේ සිවම්මා වූවාය. නිළියක ලෙස “සිවම්මා” ගේ චරිතය පළමු වරට නිරූපණය කළේ ඇනී බොතේජු විසිනි. ඒ “උත්තර ගැමුණු” නුර්තිය වෙනුවෙනි. උත්තර ගැමුණු නාටකයෙන් ස්වායත්තව 1919 දී චාල්ස් ඩයස්ගේ “සිවම්මා ධනපාල” නාටකය නිර්මාණය විය. මෙම නාටක දෙකටම මෙම ගීතය ඇතුළත් වූ බවක් පෙනේ . වර්ෂ 1919 සැප්තැම්බර් මස 20 දින පළමු වරට ටවර් වේදිකාවේ “සිවම්මා ධනපාල” වේදිකාගත කරන ලදී. එවකට ජෝන් ද සිල්වාගේ නාට්‍ය කණ්ඩායමේ ප්‍රබලම නාටිකාව වූ ඇනී බොතේජු වෘත්තීමය වශයෙන් පළමු වරට ටවර්හෝල්හි ආර්ය සිංහල නාට්‍ය සභාව වෙත සම්බන්ධ වන්නේ චාල්ස් ඩයස්ගේ උත්තර ගැමුණු සහ සිවම්මා ධනපාල නුර්ති ඔස්සේ ය. මෙම නාටක ද්විත්වහිම “සිවම්මා” ගේ චරිතය රංග දක්වමින් ඇනී බොතේජු දිනාගත් රසික ප්‍රසාදය අතිමහත් ය. එහි කූට ප්‍රාප්තිය වූයේ, මෙම නාටක දෙකේ ම, ප්‍රේක්ෂකයාගේ නෙත් කඳුළින් තෙත්වන සිවම්මා ගේ ඛේදනීය අවසානය දැක්වෙන මෙම “තිලෝගුරු නාමයෙන්” ගීතය යි.

2. ග්‍රැමොෆෝන් ගීත තැටියට නැඟුණු පළමු “තිලෝගුරු නාමයෙන්” ගීතය

වර්ෂ 1919 දී “සිවම්මා ධනපාල” වෙනම නාටකයක් වශයෙන් ප්‍රදර්ශනය කළ බැවින් ඇතැම් විට “උත්තර ගැමුණු” නාටකයෙන් සිවම්මා සහ ධනපාලගේ කතාව සහ ගීත නාටක රචකයා විසින් ඉවත් කරන්නට ඇත. නමුත් නාටක දෙකෙහිම මුද්‍රිත මුල් පිටපත් නොමැති බැවින් ඒ පිළිබඳවම නිශ්චිත තීරණයකට එළඹිය නොහැක. “උත්තර ගැමුණු” (1918) නාටකයේ ජනප්‍රිය වූ ගීත කීපයක්ම ග්‍රැමොෆෝන් තැටි සඳහා තැටිගත කරන ලදී. එසේ තැටිගත කළ ගී අතුරින් සාලිය සහ අසෝකමාලා ගයන “හරිමි රජ සැපා” ගීතයත්, සිවම්මා විසින් ගයන “තිලෝගුරු නාමයෙන්” ගීතයත් වඩා ප්‍රසිද්ධ විය. මෙම ගීත පළමු වරට තැටිගත කරන ලද්දේ GRAMOPHONE CONCERT RECORD  නම් ලේබලයටය. ගීතය ආරම්භයේ දී ගීතය හඳුන්වාදෙන සංවාද කොටසින් මෙම ගීතය මුල්වරට ඇතුළත් වූයේ “උත්තර ගැමුණු“ නාටකයට බව ප්‍රත්‍යක්ෂ වෙයි. ගීතයේ පදමාලාව පහත පරිදි වේ.

 

ආරම්භක කොටස (ගීතය හඳුන්වා දීම ): “ කොළඹ ආර්ය සිංහල නාට්‍ය සභාව, නීතීඥ චාල්ස් ඩයස් මහතාගේ උත්තර ගැමුණු නාට්‍යයෙන් සින්දුවක්”

තිලෝගුරු නාමයෙන් මෙ මටා -

යමක් දුන්නාම පින් සැලසේ//

කුසේ නෑ කෑම - ක්ලාන්තයි දේහේ

ජිවත් වීමා බැරි වී මැයි //

තිලෝගුරු නාමයෙන්......//

උදවුවක් දීලා පින් පතනු

රති සේ රූ‍ෙ‍ප් යකින්නක් සේ

විකාරයි බෝ අරූප වී මැයි //

තිලෝගුරු නාමයෙන්..... //

 

ගීතය අඩංගු ගීත තැටි ලේබලයේ ද “උත්තර ගැමුණු” ලෙස මුද්‍රණය කර තිබීමෙන් මෙම කරුණ තව දුරටත් ප්‍රත්‍යක්ෂ වේ. ගීතය තැටිගත කළේ ඇනී බොතේජුගේ හඬිනි. එනම් වේදිකාවේ සිවම්මා වූ පළමු නිළියගේ කටහඬිනි. ඒ 1918 දී පමණ ය. ග්‍රැමොෆෝන් ගීත තැටි සඳහා සංගීතය සැපයුවේ ජේ.ඩී. මාෂල් පෙරේරා විසිනි. මෙම ගීතය හින්දුස්ථානි බිලාවල් රාගයෙන් නිර්මිත වන අතර තීන්තාල් (මාත්‍රා 16) නොහොත් ත්‍රිතාලයෙන් සමලංකෘත ය. වාද්‍ය භාණ්ඩ ඉතා සීමිත සංඛ්‍යාවක් වාදනය කෙරේ. හර්මොනියම් / සර්පිනාව, මෘදංගය හෝ තබ්ලාව, සහ රවිකිඤ්ඤය නොහොත් වයලීනය (ඉතා පහළ මට්ටමකින්) සහ එකෝඩියන් පමණක් භාවිත කර සංගීතය නිර්මාණය කර ඇත.

 

ගීතය තැටිගත කළ GRAMOPHONE CONCERT  ලේබලයේ අංකය ට්.ඛ්.13-13257 ය. මෙම තැටි ලේබලයේ අංක ක්‍රමය ඉතා ක්‍රමානුකූල ය. එනම්, 13- 12000 අංක ශ්‍රේණිය පුරුෂ කේවල ගායනා වෙනුවෙන් ද, 13-13000 අංක ශ්‍රේණිය ස්ත්‍රී කේවල ගායනා වෙනුවෙන් ද, 13-14000 අංක ශ්‍රේණිය යුගල හෝ ත්‍රිපුද්ගල ගායනා වෙනුවෙන් ද, 13-14500 අංක ශ්‍රේණිය සමූහ ගායනා වෙනුවෙන්ද වෙන් කෙරුණි. එසේම , ඉන්දියානු, බුරුම සහ ලාංකික ගීත තැටි බොහෝවිට කැපීම සිදු කළේ ඉන්දියාවේ කල්කටාවේ සෙල්දාහි තිබු කර්මාන්තශාලාවක දීය. එය එවකට ආසියාවටම තිබු එකම සහ විශාලතම ග්‍රැමොෆෝන් තැටි කැපීමේ කර්මාන්තශාලාව වූයේ එයයි. කෙසේ වෙතත් මෙම මුල් GRAMOPHONE CONCERT තැටි වල පිටපත් වෙළෙඳපොළට ආවේ සීමිත සංඛ්‍යාවකි. එසේ හෙයින් මුල් පිටපතින් ((Master Copy) නැවත පිටපත් කැපීම සිදුවිය. වර්ෂ 1919 දී පමණ GRAMOPHONE CONCERT ලේබලය වෙනුවටHMV  ලේබලය හදුන්වාදීමත් සමගම, ඉහත GRAMOPHONE CONCERT ලේබලයට නිකුත් කළ ගීත විශාල ප්‍රමාණයක් නැවත HMV ලේබලයෙන් නිකුත් කරන්නේ මුල් පිටපතෙන් නැවත පිටපත් කැපීමෙනි. වර්ෂ 1921-23 දී පමණ ඉහත “තිලෝගුරු නාමයෙන්” ඇනී බොතේජුගේ ගීතය HMV  ලේබලයෙන් ද නිකුත් විය. HMV තැටි නිකුත් කළ ර්‍ථ අංක ශ්‍රේණියෙන් (ර්‍ථ 6156 අංකය යටතේ) මෙම ගීතය නැවත නිකුත් කළ නමුදු, මුල් පිටපතේ අනන්‍යතාවය හඟවනු වස්, ගීත තැටි ලේබලයේ පහළින් මුල් ට්.ඛ්.13-13257 අංකය මුද්‍රණය කරන ලදී. දැනට ශ්‍රී ලංකාවේ ගීත තැටි සංරක්ෂකයන් අතර ඇත්තේ මෙම HMV ලේබලයෙන් 1921 දී පමණ නිකුත් වුණු ගීත තැටියේ පිටපත් පමණකි.

3. වේදිකාවේ “පළමු සිවම්මා” සහ “ජනප්‍රිය ම සිවම්මා”

උක්ත සඳහන් කළ පරිදි නිළියක ලෙස සිවම්මාගේ චරිතයට පළමුව පණ පෙව්වේ සුප්‍රසිද්ධ නාටිකා ඇනී බොතේජු ය. වර්ෂ 1918- 1927 දක්වා දශකයකට ආසන්න කාලයක් ඇනී බොතේජු “සිවම්මා” ලෙසද , ටි.පි. අල්මේදා “ධනපාල” ලෙසද වේදිකාවේ විරාජමාන විය. වර්ෂ 1925 දී “අලුත් ධනපාල” ලෙස ජි.එච්. පොඩිඅප්පුහාමි ද, “අලුත් සිවම්මා” ලෙස එල්.එල්. හේමාවතී පෙනී සිටියද , ඇනී සහ අල්මේදා යුවල ලද ප්‍රසිද්ධිය ඔවුනට නොලැබුණි. වර්ෂ 1926 පෙබරවාරි මස 26 දින දිනමිණ පුවත්පතෙහි මෙම නාටකය පෙන්වා දී ඇත්තේ “සිනහවෙහි නිධානයක් වූ සිවම්මා - ධනපාල“ ලෙස ය. වර්ෂ 1927 අප්‍රියෙල් මස 07 වැනි දින ටවර් වේදිකාවට පෑයූ නවක තාරකාව වූයේ ලක්ෂ්මී බායි ය. “අලුත් සිවම්මා” වූ ලක්ෂ්මි බායී වේදිකාවට සරස්වතිය ද ලක්ෂ්මිය ද එකවර ගෙනාවා ය. සිවම්මා මෙන් නැටුම් ගැයුම් ද , ඉදිරිපත් කළ ඇයගේ ජව සම්පන්න ගායනය සහ රංගනය නිසා වේදිකාවේ එක රැයකින් “ජනප්‍රියම සිවම්මා” වීමට ලක්ෂ්මි බායි සමත් වූවාය. “තිලෝගුරු නාමයෙන්” ගීතය ගයමින් ඇය සිඟමන් ඉල්ලු හැටි දුටු ප්‍රේක්ෂකයෝ වේදිකාවට මුදල් දමා ගැසීමට ද පුරුදු වූහ. එතෙක් ඇනී බොතේජු ලබා තිබු සියලු කීර්ති - ප්‍රශංසා ලක්ෂ්මී බායි වෙත ලැබුණේ ඇයගේ විශිෂ්ට ගායන සහ රංගන කුසලතාවය නිසාම ය. වර්ෂ 1927 -1928 කාලයේ දර්ශන වාර 30 ට ආසන්න ප්‍රමාණයක සිවම්මා වූයේ ලක්ෂ්මි බායි ය. ආර්ය සිංහල නාට්‍ය සභාවේ ජනයා ආකර්ෂණය කිරීමේ ප්‍රබලම සාධකය වූයේ ලක්ෂ්මි බායි ය. වර්ෂ 1929 දී නැවත ආර්ය සිංහල නාට්‍ය සභාව විසින්ම ඇනී බොතේජු මතු කිරීම සමඟින් මෙම නිළියන් දෙදෙනාගේ තරගය කිරීම සඳහා ඇනී බොතේජු සිවම්මා ලෙසද, ලක්ෂ්මි බායි ධනපාල ලෙසද ඉදිරිපත කළ අතර, උත්තර ගැමුණු හි සිවම්මා ලෙස ඇනී බොතේජු ද, සිවම්මා ධනපාලාහි සිවම්මා ලෙස ලක්ෂ්මි බායි ද මාරුවෙන් මාරුවට යෙදූහ. වර්ෂ 1929 ජනවාරි 01 දින ටවර් නෘත්‍ය ශාලාවේ පළමු වරට ප්‍රදර්ශනය ඇරඹුවේ සිවම්මා- ධනපාල නුර්තියෙනි. එහි සිවම්මා වූයේ ද, ලක්ෂ්මි බායි ය. වර්ෂ 1930 දෙසැම්බර් මස 20 දින ආර්ය සිංහල නාට්‍ය සභාව විසින් “පැරණි සිවම්මා සහ පැරණි ධනපාල” ලෙස දක්වමින් ඇනී බොතේජු සහ ටි.පී අල්මේදා යොදා මේ නාටකය වේදිකා ගත කළේ ය.

මෙලෙස 1930 දශකය ආරම්භ වන විට ලක්ෂ්මි බායි සහ ඇනී බොතේජුට අමතරව වෙනත් නිළියන් රාශියක්ද සිවම්මාගේ චරිතයට පණ පොවන ලදී. එඅතුරින්, පර්ල් දසනායක, සුසිලා ජයසිංහ සහ සෝමකන්තා ප්‍රධාන තැනක් ගනී. කෙසේ වෙතත් මේ සියලු නිළියන් අභිබවා ලක්ෂ්මී බායි ජනප්‍රියම වූයේ ඇය වරෙක සිවම්මා මෙන්ද තවත් වරෙක ධනපාල මෙන් ද ස්ත්‍රී සහ පුරිෂ භූමිකා දෙකම අනගි ලෙස නිරූපණය කළ බැවිනි. ලක්ෂ්මි බායි ගැයූ “තිලෝගුරු නාමයෙන් මෙ මට” ගීතය ර්‍ණච්ඡ්ර්‍ණව් ග්‍රැමොෆෝන් ලේබලයෙන් වර්ෂ 1929 දී පමණ නිකුත් වුණු බවක් සඳහන් වුවද, එම ගීත තැටිය සොයා ගැනීමට ඉතා දුෂ්කර ය.

“සිවම්මා” ගේ භූමිකාව ටවර්හෝල් වේදිකාවේ එවකට නිරූපණය කළේ මෙරට නිළියන් පමණක් නොවේ. එවකට භාරතීය නිහඬ සිනමාවේ මෙන්ම කතානාද සිනමාවේ ජනප්‍රිය තාරකාවක වූ “රාම් ප්‍යාරි” නම් නළඟන ද, සිවම්ම ලෙස චරිත නිරූපණය කළාය. පක් දමන් (1931) , ඝර් කී ලක්ෂ්මී (1932), ලයිලා මජ්නු (1932) ආදී චිත්‍රපටවල ජනප්‍රිය නිළියක වූ රාම් ප්‍යාරී ස්වකීය නාට්‍ය කණ්ඩායම සමග වර්ෂ 1933 ලංකාවට පැමිණියේ එවකට ලංකා කම්කරු සංගමයේ ඇරයුමක් පිට ය. සිවම්මා ධනපාල නාටකයේ වර්ෂ 1933 අප්‍රියෙල් 28 දින රාත්‍රී 9.30 දර්ශනයේ “සිවම්මා” ලෙස රාම් ප්‍යාරි රඟන විට එහි ධනපාල වූයේ ලක්ෂ්මි බායි ය. එසේම, එවකට ජනප්‍රිය ඉන්දියානු නළඟනක වූ “සරස්වතී බායී” ද සිවම්මා ලෙස චරිත නිරූපණය කළා ය. දර්ශන වාර 500 ට ආසන්න ප්‍රමාණයක් ප්‍රදර්ශනය කළ මෙම නූර්තිය වර්ෂ 1943 සැප්තැම්බර් මස 16 දින මරදානේ නැෂනල් හෝල්හි වසර 25ක “රජත ජුබිලිය” සමරුවෙන්ය. එහිදී සිවම්මා වූයේ ලක්ෂ්මි බායි ය. සුසිලා ජයසිංහ සාලිය කුමරු වූවා ය. ඩබ්ලිව්. චාල්ස් පෙරේරා දුටුගැමුණු රජු ලෙස චරිත කළ අතර, ඇසිලින් රණසිංහ ගුණපාලි ලෙසද, නෝනා සුබෙයිදා අසෝකමාලා ලෙසද, ජී.එච්. පොඩි අප්පුහාමි ධනපාල ලෙසද පෙනී සිටියහ. වර්ෂ 1944 ජූලි 23 වැනිදා මෙම නාටකයේ කතුවරයා වූ දොන් චාල්ස් ඩයස් අමරතුංග මහතා දෙමටගොඩදි කාලයාත්‍රා කළේ ය. වර්ෂ 1940-40-60 දශකවල නුර්ති නාටක ක්‍රමයෙන් අභාවයට ගිය ද, සිවම්මා ධනපාල නුර්තිය වර්තමානය දක්වාම, ශතවර්ෂාධික කාලයක් නාටක අනුභුතියේ සුළු වෙනස්කම් පැවතිය ද, වේදිකාව සක්‍රීයව ප්‍රදර්ශනය වන නාටකයකි. 1919 සිට 1990 දශකය දක්වා දශක ගණනාවක් සුප්‍රකට සිවම්මාගේ චරිතය නිරූපණය කළ නිළියන්ගේ අසම්පූර්ණ ලැයිස්තුවක් වශයෙන් ඇනී බොතේජු, ලක්ෂ්මි බායි, එල්.එල්. හේමාවතී, රාම් ප්‍යාරී, සරස්වතී බායි, සුසිලා ජයසිංහ, සෝම කාන්තා, ලිලී ගුණවර්ධන, පර්ල් දසනායක, වයලට් වීරකෝන්, රුක්මණී දේවී, සිරිමතී රසාදරී සහ වීණා ජයකොඩි දැක්විය හැකි ය.

1970 දශකයේදී චාල්ස් ඩයස්ගේ නුර්ති නාටක ද්විත්වයක් නැවත අලුතින් නිෂ්පාදනය කෙරුණි. ඉන්, පළමුවැන්න. රුක්මණි දේවි සහ වික්ටර් වික්‍රමගේ නිෂ්පාදනය කළ ‘සිවම්මා ධනපාල’ ය. දෙවැන්න, දයානන්න්ද ගුණවර්ධන නිෂ්පාදනය කළ ‘පද්මාවති’ ය. සිංහල සිනමාවේ අග්‍රෙසර රාජිණිය වූ රුක්මණී දේවිය (සිවම්මා), එඩී ජුනියර් (ධනපාල), මාලිනි ෆොන්සේකා (අසෝකමාලා), වික්ටර් වික්‍රමගේ (සාලිය කුමරු), රවීන්ද්‍ර රන්දෙණිය (දුටුගැමුණු රජු ) සහ සුමනා අමරසිංහ (ගුණපාලි), ලිලියන් එදිරිසිංහ (ධනපාලගේ මව) ඇතුළු පිරිසක් මෙම “සිවම්මා ධනපාල” නව නිෂ්පාදනයේ 50 වැනි ප්‍රදර්ශනයේ චරිත මැවූහ. මෙම නව නිෂ්පාදනයේ 50 වැනි ප්‍රදර්ශනය 1978 වසරේ අප්‍රියෙල් මස 29 දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනය කළේය. රුක්මණී දේවිය “සිවම්මා” ලෙස චරිත මවමින් “තිලෝගුරු නාමයෙන්“ මෙමට ගීතය ගායනා කළ අතර ඇයගේ එම ගායනය 1978 දි පමණ ගීත තැටියකට ද අඩංගු විය. රුක්මණී දේවියට අමතරව 1970 දශකයේ සිනමා තාරකාවන් වූ මාලිනි ෆොන්සේකා සහ සුමනා අමරසිංහද මෙහි ගීත ගායනා කළෝ ය.

ශතවර්ෂාධික කාලයක් වේදිකාවේ ජනප්‍රිය වූ “සිවම්මා ධනපාල” නුර්තියේ කතා සාරය වත්මන් සමාජයට ද ප්‍රක්ෂේපණය කරන්නේ වැදගත් පණිවිඩයකි. ඓතිහාසික ප්‍රබන්ධ කතාවක් ලෙස සකස් වුවද, කතුවරයා ඉන් මතු කළ සමාජ පණිවුඩය සහ උපහාසය සර්වකාලීනය. සුප්‍රකට “සිවම්මා ධනපාල” නුර්තියත්, අප්‍රකට “උත්තර ගැමුණු” නුර්තියත් රචනා කළ චාල්ස් ඩයස් සූරීන්ටත්, එකී නාටක දෙකටම දායක වුණු එදා- මෙදා තුර සියලුම කලා ශිල්පීන්ටත් මෙම සටහන උපහාරයක් ම වේවා!

 

විශේෂ ස්තූතිය : “තිලෝගුරු නාමයෙන්” සුදුර්ලභ ගීත තැටිය සංරක්ෂණය කළ ගීත තැටි සංරක්ෂක කුලසේකර මද්දුමගේ මහතා, පැරණි පුවත්පත් විස්තර සපයා දුන් කපිල සිරිමාන්න මහතා, ජාතික ලේඛනාගාරය, කොළඹ, ගීතයේ රාග- තාල පිලිබඳ දැනුම්වත් කළ අසංක පෙරේරා මහතා

මූලාශ්‍ර : විසි වසරක සිංහල නාට්‍ය සහ රංග කලාව 1912-21, තිස්ස කාරියවසම් (2012, දෙවැනි මුද්‍රණය), දිනමිණ 1927, 1931, චාල්ස් ඩයස් නාටක පිටපත් - නිමල චන්ද්‍ර රත්නායක (2005), සංගීත ඉතිහාසය - පළමු කාණ්ඩය, එල්. ඩී. ඒ. රත්නායක (1946); “සුරතුර” පුවත්පත, 1978 අප්‍රියෙල්;The Gramaphone Company's first Indian recordings, 1899-1908 , Michael S Kinnear (1994