“කැලණි පාලම” ලියන්න තොටළඟ තැබෑරුම්වල ගැවසුණු ආර්. ආර්. සෑම්

සැප්තැම්බර් 3, 2020

මේ සුන්දර මිනිසා සිටින තැන කිසිම පාළුවක් තිබුණේ නැත. තම හද බැඳි මිතුරන් සමඟ ඔහු අල්ලාප සල්ලාපයට ගියොත් එළිවෙනවා නොදැනේ. ‘යාන්ස්’ කීමට මෙන්ම ‘යාං හෑලි‘ කීමට ද ඔහු වැනි දක්ෂයෙක් මට තවම හමු වී නැත. තමා විසින්ම නිර්මාණය කළ එවැනි කතා සිය ගණනක් තිබුණි. ඔහු ඒවා කියන්නේ ඇවිදිමින් හෝ රඟපාමිනි. කොතරම් කතා කියා තිබුණත් නිතර හමුවන මිතුරන්ට කීමට අලුත් කතා කප්පරක් තිබුණි. මධු මීවිතට ආලය කළ මේ මිනිසා ප්‍රමාණය ඉක්මවා නොගිය සෞන්දර්යවාදියෙකි. දාර්ශනිකයෙකු විය. ඔහුගේ සුදු පැහැති මුහුණ රතු පාට වන්නේ ‘මල් පැණි’ බීමෙන් පසුය.

මේ මිනිසා තුළ කලාකරුවන් කිහිප දෙනකු සැඟ වී සිටියේය. දක්ෂ කෙටිකතා රචකයකු, නවකතා රචකයකු, නාට්‍ය රචකයකු වූ ඔහු ආර්. ආර්. සමරකෝන්ය. ඔහු අන් කිසිවක් නොලියා ‘කැලණි පාලම‘නාට්‍යයත් ‘ගේ කුරුල්ලෝ’ නවකතාවත් පමණකින් වුව ද ඔහු නිර්මාණ සාහිත්‍යයේ බැබැළෙන්නේය.

1939 නාවලපිටියේ දෙකිඳ උපත ලැබූ ඔහු නව යොවුන් තරුණයකුව කොළඹ ජනාකීර්ණ නගරයක් වූ කොම්පඤ්ඤවීදියේ බෝඩිමක නවාතැන් ගත්තේ ස.තො.ස ආයතනයේ භාෂා පරිවර්තකයකු ලෙස පත්වීමක් ලබා ගනිමිනි. නිර්මාණ සාහිත්‍යකරණයට පිවිසීමට අත් පොත් තැබීමට ඔහු ‘දිනමිණ’ පුවත්පතේ මාසිකව පළ වන ‘නව ලේඛකයන්ගේ කෙටිකතා’ තරඟයට කෙටි කතාවක් තැපැල් කළේය. කෙටි කතාව සමඟ ලේඛකයාගේ හෝ ලේඛිකාවගේ ඡායාරූපයක් ද යැවිය යුතු කොන්දේසියක් තිබුණි. පුංචි බොරැල්ලේ පිහිටි ස්ටුඩියෝවකින් ඡායාරූපයක් ගත් ඔහු ‘ගමේ වසම‘ නම් කෙටිකතාව සමඟ ලේක්හවුසියට තැපැල් කළේය.

ඒ 1963 වසරය. කෙටි කතාව ඡායාරුපයත් සමඟ දිනමිණ කෙටිකතා අතිරේකයේ පළ ව තිබුණේ කොම්පඤ්ඤවීදියේ ආර්. ආර්. සමරකෝන් යන නමිනි. කෙටිකතා තෝරා තිබුණේ කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ විමල් නවගමුව විසිනි. සමරකෝන්ගේ කලා ජීවිතයේ ආරම්භය එය විය.

1970 වසරේ ‘සරසවිය’ පුවත්පතේ වේදිකා නාට්‍යකරුවන් ගැන ලිපි පෙළක් ‘අලුත් ඉරක් යටින්’ නමින් ලිවීමට නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහයන් මට භාර කළේය. හැකියාව ඇති තරුණ නාට්‍යකරුවන් වූ සයිමන් නවගත්තේගම, ඇස්. කරුණාරත්න, රන්ජිත් ධර්මකීර්ති, නලින් විජේසේකර, සුමන ආලෝක බණ්ඩාර ආදීන් ගැන ලියූ මම එවකට සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ භාෂා පරිවර්තකයකුව සිටි ආර්. ආර්. සමරකෝන් සොයා දහවල් 11 පමණ ඔහුගේ කාර්යාලට ගියෙමි. ආගිය දේ ගැන කතා කරමින් ඔහු තම අත් ඔර්ලෝසුව දෙස බලා ‘යමු රන්ජිත් නිවිහැනහිල්ලේ කතා කිරීමට අල්ලපු ගෙදරට‘.

ඔහු අල්ලපු ගෙදර කීවේ සලාකා හෝටලයේ අවන්හලටය.

‘අපි කූල් බියර් එකක් බිබී කතා කරමු’

1939 අගොස්තු 14 වෙනිදා නාවල දෙකිඳ උපන් රණසිංහ රාජපක්ෂ සමරකෝන්ගේ පියා වූයේ ආර්. සමරකෝන්ය. මව වූයේ ආර්. ඊ. රන් මැණිකේය. ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ දෙකිඳ රජයේ පාසලෙනි. ඉන්පසු නාවලපිටියේ සාන්ත ඇන්ඩෲ විදුහලේ හා මහනුවර කිංස්වුඩ් විදුහලේ අධ්‍යාපනය ලබා ඇත.

‘පාසල් යන කාලයේ මා වඩාත් ප්‍රිය කළේ මාරක කතා කියවීමටය. කිංස්වුඩ් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වශයෙන් සිටියදී ‘වෙස් මුහුණු’ නමින් රහස් පරීක්ෂක කතාවක් ලියලා මුද්‍රණය කළා. එහෙත් ඒවා නිසරු කතා නිසා මම වික්‍රමසිංහ, අමරසේකර, ජයතිලක, මඩවල වගේ ප්‍රවීණ ලේඛකයන්ගේ පොත් කියවීමෙන් මගේ නිර්මාණ ශක්තිය දියුණු වුණා. කොළඹ ආවට පස්සේ ‘ගැහැනියකගේ කතාව‘ ‘දෙහදක් අතර’ හා ‘එක් සභ්‍ය කතාවක්’ නවකතා ලිව්වා. මම මේ නවකතා අර ඉහත කි ලේඛකයන්ට තෑගි කරලා ඔවුන් සමඟ සමීප ඇසුරක් ඇති කර ගත්තා’ සමරකෝන් එදා මට කීවේය.

සමරකෝන් මගේ සමීප මිතුරෙකු වූයේ හැත්තෑව දශකයේ මුල සිටය. දිනක් සවස සමරකෝන් සලාකා හෝටලයේ මඳක් අඳුරු අවහන්හලේ මල් පැණි බොමින් සිටින අවස්ථාවක මට මෙසේ කීවේය. ඒ කාලයේ මා ප්‍රකට ලේඛකයන් රැසකගේ පොත් කවර නිර්මාණය කරමින් සිටියේය.

‘මම අලුත් නවකතාවක් ලිව්වා. මට පොත් පිට කවරයක් ඇඳලා දෙන්න. නවකතාවේ නම ‘ගේ කුරුල්ලෝ’. ඉස්සෙල්ලම කියන්නම්කෝ අත්දැකිම ලැබුණු හැටි. මම මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ඉගෙන ගත්ත කාලේ මම නවාතැන් ගත්තේ පාසලට ආසන්න ගමක තිබුණ පුංචි නිවසක. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කොට විශ්‍රාම ගිය මහත්තයෙක් මා හිටිය ගෙදර අල්ලපු වත්තේ පදිංචිව හිටියා. ඒක කටු මැටි ගහපු ගෙයක්. ඔහු ඉඳහිට මා සමඟ පිළිසඳරේ යෙදෙනවා. තමන්ට දරුවන් තිදෙනකු සිටින බවත්, ඔවුන් හැම දෙනාම විවාහ වී ඈත ප්‍රදේශවල පදිංචියට ගොස් ඇති නිසා තමන් ගැන සොයා බලන්නටවත් කෙනෙකු නැති බව කිව්වා. ඒත් ඒ මහත්තයා මෙසේ කීවේ දරුවන් නිසා ඇති වූ කලකිිරීමෙන් නොවෙයි, එය ස්වභාවික සිද්ධියක් වශයෙන් සලකා සිනාසෙමින්. ඒ කතාව අසා සිටි මගේ සිත කම්පාවට පත් වුණා. දෙමාපියන් බොහෝ දුක් මහන්සි වී ආදරයෙන්, සෙනෙහසින් යුතුව දරුවන් හදනවා. ඒත් දරුවෝ ලොකු මහත් වී රැකියා ලැබ විවාහ වීමෙන් පසු දෙමාපියන්ට කාන්සියක් පාළුවක් දැනෙනවා. ඇතැම් පියෙක් හෝ මවක් වැල් කැඩුණු පුටුවකට වී අතීතයට පිවිසෙමින් ඒ අතීත සිද්ධීන් සිහි කරනවා. දෙමාපියන්ගෙන් වෙන්ව යන දරුවෝ හරියට ගේ කුරුල්්ලෝ වාගේ. ගේ කුරුලු පැටවුන්ට තටු ඇවිත් ඉගිළ ගිය පසු ආපසු එන්නේ නැහැ. මගේ නවකතාවේ එන චරිත ගේ කුරුල්ලන්ට සංකේත කළේ ඒ නිසා. සමරකෝන් එසේ කතාව ගැන දළ අදහසක් පිට කවරය සඳහා චිත්‍රයට නඟන ලෙස කීවේ මේ කවියත් කියමිනි.

දස මාසයක් කුසලාගෙන සිටින මට

නොබලා ඉන්ට බෑ නුඹගේ මුහුණ මට

ඇවිත් යන්ට බැරි නං දොරකඩ ළඟට

එපිට ඉඳන් අත වනපං පුතේ මට

එදා සමරකෝන් කිව් අදහස කැටි කොට මම පිටකවරයක් ‘ගේ කුරුල්ලෝ’ නවකතාවට නිර්මාණය කළෙමි. වසරේ හොඳම නවකතාව ගේ කුරුල්ලෝ ලෙස රාජ්‍ය සාහිත්‍ය තෑග්ග දිනා ගත්තේය.

‘මා එක්ක එකට පාසල් ගිය හිතවත් මිත්‍රයෙක් හිටියා. මම ඔහුගේ ගෙදර කිහිප වතාවක් ගිහින් තිබුණා. ඔහුට ඇවිද ගත නොහැකි අංග විකල සහෝදරයෙක් හිටියා. ඔහු රබර් සීට් එකක් පස්සට බැඳ ගෙන නිවස පුරා රූටමින් යනු මා දැක තියෙනවා. ගෙයි කනප්පුව උඩ තිබුණේ ඔහු කඩදාසි සහ රෙදි කැබැලිවලින් සාදන ලද අන්නාසි ගෙයක්. තවත් විසිතුරු බඩු ඔහු සාදා ඇති බව මට දැනගන්න ලැබුණා. ‘ගේ කුරුල්්ලෝ’ නවකතාවේ හිච්චි මහත්තයාගේ චරිතය නිර්මාණය වුණේ ඔහු ඇසුරෙන්’ කී සමරකෝන් තවත් බීර බෝතල දෙකක් ඇනවුම් කළේය.

මා සමරකෝන් ඇමතුවේ ‘සෑම්’ කියාය. සෑම් දිනක් මට ලේක්හවුසියට කතා කොට හෙට ගුණදාස අමරසේකරගේ ගෙදරට දහවල් කෑමට එන ලෙස කීය. මට මෙය විමතියකි. මේ 1971 වසරය. මා අමරසේකරගේ පොත් කියවා තිබූ නමුත් දැක කතා කර තිබුණේ නැත. ඔහු වසර කිහිපයක් එංගලන්තයේ සිට ලංකාවට පැමිණි අවස්ථාවයි මේ.

අමරසේකරයන් ලියූ මුල්ම නාට්‍ය පොත වූ ‘පවුරු පදනම්’ කෘතියට පිට කවරයක් ඇඳ ගැනීමයි මේ ගමනේ නිමිත්ත. අමරසේකර පදිංචිව සිටියේ කොළඹ වෝඩ් පෙදෙසෙන් විජයාරාම පාරට හැරෙන දකුණු පැත්තේ තිබූ නිවසකය. අමරසේකරයන් සමඟ දීර්ඝ ඇසුරකට මුල පාදා දුන්නේ සෑම්ය. එපමණක් නොව තම හිතවත් ලේඛකයන්ගේ පොත්වලට පිටකවර ඇඳ ගැනීමට රෙකමදාරු කළ සෑම්ට මම කෘතඥ වෙමි.

සමරකෝන් නාට්‍ය රචකයකු හා නිෂ්පාදකයකු ලෙස ජනප්‍රිය වූයේ 1965 වසරේ නිර්මාණය කළ ‘ලෙඩක් නැති ලෙඩෙක්’ ‘චරිත දෙකක්’ (1967) නාට්‍ය තුළිනි. එයට ප්‍රධාන හේතුව ඔහුගේ ප්‍රාණවත් දෙබස්ය. සමරකෝන්ගේ ‘අහසින් වැටුණු මිනිස්සු’ නාට්‍යය සමරකෝන්ගේ සම්මාන දිනූ මුල්ම නාට්‍යයයි. එම වසරේ රජ්‍ය නාට්‍ය උලෙළේ දී සමරකෝන් හොඳම රචනයත්, හොඳම නව නිර්මාණය ලෙසත්, රංජිත් යායින්න හොඳම නළුවා ලෙසත් චන්ද්‍රා කළුආරච්චි හොඳම නිළිය ලෙසත් සම්මාන ලැබූහ.

වරක් සමරකෝන් ‘අහසින් වැටුණු මිනිස්සු’ නාට්‍යයේ මිල්ටන්ගේ චරිතය නිර්මාණය වූ හැටි අපට විස්තර කළේ මෙසේය.

‘මම වැලිකඩ තැබෑරුමක දී අපූරු චරිතයක් හමු වුණා. මිනීමරුවකු වන ඔහු මට කතා කළේ ‘දොරේ’ යන සුහද හා ගරු ඇමතුමෙන්. ඔහු ඉක්මනින්ම මගේ කුලුපග මිත්‍රයෙක් වුණා. ‘අහසින් වැටුණු මිනිස්සු’ නාට්‍යයේ මිල්ටන්ගේ කටට රුවා ඇති දෙබස් ඛණ්ඩ බොහොමයක් ඔහුගෙන් උගත් ඒවා. නාට්‍යය නැරඹීමෙන් පසු හෙතෙම මා වේදිකාවේ කොනකට කැටුව ගොස් ‘දොරේ කවුද අර ආසික් බඩු කෑල්ල’ යයි මගෙන් ඇසුවා. ඔහුට වුවමනා වී තිබුණේ නාට්‍යයේ ප්‍රධාන නිළිය කවුදැයි කියා දැනගන්න.’

සමරකෝන්ගේ නාට්‍ය අතුරින් වඩාත් ජනප්‍රිය නාට්‍යය වූයේ ‘ කැලණි පාලම‘ ය. මේ නාට්‍යයට පසුබිම් වූ කතා පුවත ඔහු තළු මර මරා අපට විස්තර කළ අයුරු මට මතකයට එයි. මේ නාට්‍යය ලියන කාලේ ඔහු තොටළඟ, ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය පැත්තේ තැබෑරුම්වල ගත කළ බව මිතුරන් අතර ප්‍රකට කරුණකි. සමරකෝන් කොස්ගස් හන්දියේ මාටින් මහත්තයාගේ බාර් එකේ මෙන්ම ජෙසීමා සිනමාහලේ ඇතුළේ තිබූ බාර් එකට ද මා සමඟ ගිය ගමන් මගේ මතකයට එයි. එහිදී හමු වූ විවිධ වර්ගයේ මිනිසුන්ගෙන් අසා දැනගත් අත්දැකිම් ගබඩාවෙන් නාට්‍යයට උචිත දේ පමණක් ඔහු තෝරා ගත්තේ කෙසේදැයි යන්න වටහා ගැනීම ආධුනික නාට්‍යකරුවන්ට හොඳ අභ්‍යාසයක් වනු ඇති.

1975 වසරේ නිෂ්පාදනය කළ ‘ඉඩම’ නාට්‍ය රාජ්‍ය නාට්‍ය උලෙළේදී ස්වතන්ත්‍ර රචනයට ඔහුට රාජ්‍ය සම්මානයත් එයි රඟපෑ රවීන්ද්‍ර රන්දෙණිය, එල්සන් දිවිතුරුගම, මර්සි එදිරිසිංහ හා ජේ. එච්. ජයවර්ධන උසස් රඟපැම් සඳහා කුසලතා සම්මාන හිමි වූහ. සමරකෝන් 1986 ‘ජේලර් උන්නැහේ’ නාට්‍යය ද 1990 දී ‘දූවිලි’ හා 1991 ’රජ කතාව‘ ‘කකුල් හතරේ ඉලංදාරියා’ ‘කපුටු බෝ’ නාට්‍යය ද නිෂ්පාදනය කළේය.

නවකතා රචකයකු ලෙස ද සමරකෝන් ප්‍රතිභාව දක්වා ඇත. ‘සඳ එළිය කළුවරයි’, ‘එක කුසේ උපන් එවුන්’, ‘තලමල’, ‘අකලංක’, ‘අසම්මත ආදරයක්’, ‘චන්ද්‍රතාපය’ ‘හෙට කළුවර දවසක්’ නවකතා ලියූ ඔහු ‘රාති‍්‍රය අවදි නොවේ’ කාව්‍ය පොත ද පළ කළේය. ‘සුදු වලාකුළු’ ඔහු ලියූ ගුවන් විදුලි නාට්‍යයකි.

ඔහුගේ දයාබර බිරිය වූයේ චිත්‍රපට, රූපවාහිනි, වේදිකා නිළි ගුවන් විදුලි නිවේදිකා රම්‍යා වනිගසේකරය. ස.තො.ස කළමනාකරුවකු ලෙස කටයුතු කළ ඔහු පසුව පූර්ණකාලීනව නාට්‍ය කලාවටම ජීවිතය කැප කළේය.

2010 අගෝස්තු මස 01 වෙනිදා ජීවිතයෙන් සමුගත් සමරකෝන් කලාකරුවන්ට අමතක නොවන නොමැරෙන චරිතයකි.

 

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්