බල අරගලයට මැදි වූ ස්ත්‍රීත්වය

සැප්තැම්බර් 3, 2020

ඉතිහාසයෙන් සුවිශේෂය ද (Particular)  කලාවෙන් සාමාන්‍යය ද (General) පිළිබිඹු වේ යැයි වරක් ඇරිස්ටෝටල් ගුරුහු පැවසූහ. මෙහිදී ඔහු සූචනය කළ අර්ථය වූයේ කලාවෙහි නිරූපිත සුවිශේෂ චරිත සාමාන්‍යකරණයට ලක් වන බවය. ආර්. ආර්. සමරකෝන් සූරීන් හැරුණු විට ස්වතන්ත්‍ර නාට්‍ය නිර්මාණයටමැ නැඹුරු වූ ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත්, පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය විෂය විශේෂ උපාධියට හැදෑරුවේය. එබැවින්දෝ ඔහු තම බොහෝ නාට්‍ය උදෙසා ඓතිහාසික සිදුවීම් මූලාශ්‍රය කොට ගත්තේය. අපගේ ප්‍රස්තුතයට අදාළව විමැසූ කල්හී කේ. බී. හේරත්ගේ “දෝන කතරිනා” සුවිශේෂ නාට්‍යයකි. ඒ නාට්‍යය අරභයා ඔහු මෙසේ ලීවේය.

“දෝන කතරිනා හි සිදුවීම් පෙළ සත්‍ය වුවද මේ ඉතිහාසයේ පුනරුච්චාරණයක් නොවේ. ඉතිහාසය කලාවට විෂය කර ගැනීමේදී දෘෂ්ටි කෝණය, අර්ථකථනය හා ආකෘතිය අතින් ඉතිහාසයේ වැට කඩොලුවලට ඔබ්බෙන් ඇති සෞන්දර්යයක් කරා ළඟා වීමට මම තැත් කළෙමි.”

නාට්‍යවේදියා අතීතාවර්ජනයක් ලෙස දෝන කතිරිනාගේ කුඩා කාලයේ සිට ඇගේ මරණය දක්වා සිදුවීම මෙමඟින් විවරණය කෙරේ. මෙහිදී ඇගේ කුඩා කාලය සඳහා එක් නිළියක ද වැඩිහිිටි කාලය සඳහා තවත් නිළියක ද ඔහු යොදා ගනිමින් සංක්ෂිප්තව සිදුවීම් ඉදිරිපත් කිරීමට සමත් වේ. “දෝන කතිරිනා” වූ කලී ඛේදජනක ඉරණමකට ලක් වූ ගැහැනියකි. කරලියැද්දේ බණ්ඩාරගේ දියණිය ලෙස තම උරුමයෙන්ම හිමි වූ රජ පදවිය ඇයට අහිමි වේ. දෙමව්පියෝ ඇගේ කුඩා කාලයේ සීතාවක සිට පැමිණ පෘතුගීසීන්ගේ රැකවරණය පතති. පෘතුගීසීහු “දෝන කතරිනා” නමින් ඇය බෞතීස්ම කරත්. උඩරට පෙළපතකින් නොපැවතෙන්නකුට එකල රජකම ලබා ගත නොහැකිය. ප්‍රභූවරයකු වූ වීරසුන්දර බණ්ඩාරගේ පුත් කොනප්පු බණ්ඩාර උපක්‍රමශීලීව පෘතුගීසින් රවටා ඇය අභිෂේක කොට I විමලධර්මසූරිය නමින් මහනුවර රජ පදවිය ලබා ගනී. බලය ලබා ගනු පිණිස දෝන කතරිනා එක් අතකින් පෘතුගීසින් ද අනෙක් අතින් කොනප්පු බණ්ඩාර ද උපයුක්ත කොට ගන්නේ ඛේදජනක අයුරිනි. ඇය මේ දෙපැත්තට වරින්වර දෝලනය වේ. පෘතුගීසින්ගේ භාරයට පත් වී වැඩිකල් නොගොස් තම දෙමවුපියන් වසූරියෙන් මියයෑමෙන් ඇය හුදෙකලා වේ.

පසුව I  විමලධර්මසූරිය රජුගේ බිසව වූ නමුදු ඔහු අකාලයේ මියයයි. ඉක්බිතිව I  විමලධර්මසූරියගේ සොහොයුරු සෙනරත් සමඟ විවාහ වීමට ඇයට සිදු වූයේ ද බල අරගලය නිසාමය. පැවැදි වී සිට පසුව උපැවදි වන සෙනරත්, රජ පදවිය ලබා ගනු පිණිස ඇය හා විවාහ වේ. මේ අනුව කෙටි කලකදී රජවරු දෙදෙනකුගේ භාර්යාව වීමට ඇයට සිදු වේ. ඇය ඔවුන්ට දාව දරුවන් හත් දෙනෙකු ද බිහි කළාය. ඇගේ වැඩිමහල් පුතු මරා දමනු ලැබීමත් දෙවැනි විවාහයේ දියණිය තමා මෙන්ම වයස අවුරුදු 13 දී රජ බිසව බවට පත් වීම යනාදී ඛේදජනක සිදුවීම් රැසකට දෝන කතරිනා මුහුණ පෑවාය. අවසන අවුරුදු 33 දී ඇය අකාලයේ මියගියාය. දෝන කතරිනාගේ ජීවිතයේ මෙකී සිදුවීම් පෙළ මැනවින් ප්‍රතිනිර්මාණය කිරීමට “දෝන කතරිනා” නාට්‍යය ඔස්සේ කේ. බී. හේරත් සමත් වේ. සෙනරත් රජුගෙන් ඇයට හිමි වූ පුත්‍රයා පසුව I I  රාජසිංහ නමින් රජ පදවියට පත් විය.

කුසලතා පූර්ණ නිළි කෞශල්‍යා ප්‍රනාන්දුගේ ශූර රංගනය මේ නාට්‍යයේ ආත්මය බවට පත් විය. ප්‍රවීණ රූපණවේදීන් දෙපළක වන ශ්‍රියන්ත මෙන්ඩිස් සෙනරත් රජු ලෙසත් ලාල් කුලරත්න විමලධර්මසූරිය රජු ලෙසත් ස්වකීය භූමිකාවන්ට සාධාරණය ඉටු කළහ.

කේ. බී. හේරත්ගේ “කළු කුමාරි” (2012) ජනශ්‍රැතිය පාදක වූ වෙසෙස් නාට්‍යයකි. මේ වූ කලී ජනශ්‍රැතියෙහි එන කළු කුමාර සංකල්පය සමඟ බැඳී පවතින්නකි. ස්ත්‍රීන් ගැබ් ගැනීමට සම්බන්ධ කතා පුවත් මෙහි අන්තර්ගතය. මේ අරභයා විග්‍රහ කරන කල්හි “කළු කුමාර” සංකල්පය පාදක කොට පසුව තැනූ ජයන්ත චන්ද්‍රසිරිගේ “ඝරසරප” චිත්‍රපටය මා සිහියට නැඟේ. “කළු කුමාරි” නාට්‍යය ඔස්සේ කේ. බී. හේරත් උත්සුක වූයේ පැරණි ජනශ්‍රැතියෙන් උකහා ගත් වස්තු විෂයක් නූතනවාදී ආකෘතියකින් නිර්මාණය කිරීමටය. නලින් ප්‍රදීප් උඩවෙල, මාධනි මල්වත්තගේ, ෆර්නි රෝෂිණී, සුමිත් රත්නායක, බන්දුල විතානගේ, දුලාංජලී විජේසේන යනාදීහු මෙහි රංගනයෙන් දායක වූහ. යුරෝපයේ පශ්චාත් නව්‍යවාදයේ(Post Modernism) ආභාසය ලැබූ නාට්‍යයක් ලෙස “කළු කුමාරි” කැපී පෙනේ. ජනශ්‍රැතිය ඉවහල් කොට ගත් පශ්චාත් නූතනවාදී ලේඛකයෝ විවිධ දෘෂ්ටි කෝණයන්ට අනුව යථාර්ථය විග්‍රහ කළහ. ලතින් ඇමරිකානු, චෙකොස්ලොවැකියානු, අප්‍රිකානු නවකතාකරුවන්, නාට්‍යවේදීන් පශ්චාත් නව්‍යවාදී ව්‍යුහයන් උදෙසා ජනශ්‍රැතිය ඇසුරු කොට ගත් බැව් පෙනේ. මෙරට මහා සාහිත්‍යවේදියකු වූ සයිමන් නවගත්තේගමයන් ද මින් ලැබූ ආභාසය මා සිහියට නැඟේ. ස්ත්‍රී - පුරුෂ චරිත පුද්ගලයෙක් හෝ පුද්ගලියක් නොවී සංකේතයක් වීම, කාලය හා අවකාශය අතර පවත්නා සබැඳියාව බිඳ දැමීම, ශෛලින් සමමිශ්‍රණය වීම යනාදී පශ්චාත් නූතනවාදී ලක්ෂණ “කළු කුමාරි” නාට්‍යයෙහි දක්නා ලැබේ.

මෙකල සිටින ඇතැම් ටෙලි නාට්‍යකරුවෝ දර්ශන තලයට පැමිණ අවට බලා අහල පහල සිටින නළු නිළියන්ට ගැළපෙන පරිදි කතා පිටපත සකස් කරති. ඔවුන්ගේ “මෙගා” ටෙලි නාට්‍යවල ඕලාරික චරිත, සිදුවීම් ගහණය. අනෙක් අතට ධනේශ්වර සමාජ ක්‍රමයේ ග්‍රහණයට හසු වී බහුතරයක් තරුණ පරපුර එහි ගිලී ඇති බව ඊනියා යථාදර්ශන (Reality) වැඩසටහන් ඔස්සේ පිළිබිඹු වේ. “කළු කුමාරි” නාට්‍යයෙහි යටි පෙළෙන් විවරණය කෙරෙනුයේ මේ ඛේදවාචකය නොවේද?

“පුතා ලොකු මිනිහෙක් නොවෙයි. හොඳ මිනිහෙක් වෙයන්”

මේ වූ කලී මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ “විරාගය” නවකතාවෙහි අරවින්දට කුඩා කාලයේ තම මවගෙන් ලැබුණු ඔවදනකි. දුරාතීතයේ සිට සාරධර්ම, අගනාකම්වලට මුල්තැන ලැබුණු අධ්‍යාපන ක්‍රමවේදය, යටත් විජිතවාදය සේම 1977 විවෘත අර්ථක්‍රමය මෙරටට ආකාස්මිකව සංක්‍රමණය වීම සමඟ ක්‍රමිකව විපරිණාමයට බඳුන් විය. බෞද්ධ සභ්‍යත්වයෙන් චිරාත් කාලයක් මෙරට පොදු ජන විඥානයට කාවැදී තිබුණු “අත්තහිත - පරහිත” උතුම් සංකල්පය වෙනුවට ආත්මාර්ථකාමී, හති වැටෙන භෞතිකවාදී තරඟයකට මෙරට ළමා හා තරුණ පරපුර යොමු කෙරෙන අධ්‍යාපන ක්‍රමවේදයක ආධිපත්‍ය දක්නට ලැබිණ. ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහගේ “විකෘති” (1984) මේ ප්‍රස්තුතය වස්තු විෂය වූ ප්‍රශස්ත නිර්මාණයකි. පළමුව පාසල් නාට්‍යයක් ලෙස ඇරැඹි පසුව ප්‍රසිද්ධ වේදිකාවට පැමිණි මේ නාට්‍යය වඩාත් යොවුන් ස්ත්‍රී චරිත කේන්ද්‍ර කොටගෙන ගොඩනැඟිණි. පවතින නිරර්ථක අධ්‍යාපනය ළමා, යොවුන් මනස ව්‍යාකූලභාවයට පත් කරන අයුරු නිර්දය ලෙස විවරණය කිරීමට මේ නාට්‍යය ඔස්සේ සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය සමත් වූවාය.

නිල්මිණි සිගේරා, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස් හා නදී කම්මැල්වීරගේ රඟපෑම් “විකෘති” නාට්‍යය ගැන විවරණයේදී අමතක කළ නොහැකිය.

 

ඉතිරි කොටස ලබන සතියේ