ලතා නිසා සිංහල ඉගෙන ගත් ඒ.භාස්කර් රාජ්

1925-2020
සැප්තැම්බර් 3, 2020

1999 වසරේ දී එවකට චිත්‍රපට සංස්ථා සභාපති තිස්ස අබේසේකරයන්ගේ උපදෙස් පරිදි කොළඹ සහ මහනුවර පැවැත්වුණ පැරැණි ජනප්‍රිය දෙමළ චිත්‍රපට ඇතුළත්  චෝල මණ්ඩල සිනමා උලෙළේ දී ප්‍රධාන ආරාධිතයකු ලෙස රාජ් යළි ලංකාවට පැමිණියේය. ඒ අවස්ථාවේ කිහිප වරක්ම ඔහු හමුවී කථා බස් කරන්නට මට අවකාශ ලැබිණ. මෙයින් එක් වතාවක් ජනප්‍රිය සිනමාකරු අභාවප්‍රාප්ත ටී.අර්ජුන ගේ මෙහෙයුම මත සිදුවූවකි. මැදියම් රැය එළැඹෙනතුරු අපි සිනමාවේ අතීත කතන්දර වල ගිලෙමින් සන්තර්පනය වීමු.

1961 වසරේ දී ලංකාවෙන් නික්ම ගිය රාජ් අනතුරුව ඉන්දියාවේ දී දෙමළ චිත්‍රපට 2ක් සහ මලයාලම් චිත්‍රපට රාශියක්  නිර්මාණය කළේය. 1985 වසරේ දී මලයාලම් බසින් නිර්මාණය කරන ලද ඔරිමක්කාන් ඔමනික්කාන් රාජ් විසින් නිර්මාණය කරන ලද අවසාන චිත්‍රපටයයි. ඒ වන විට ඔහු චිත්‍රපට 65ක් නිර්මාණය කර තිබිණ. දෙමළ සිනමාවේ සම්මානනීය රංගනවේදිනි සාරන්‍යා පොන්වන්නන් රාජ්ගේ දියණියයි. ඔහු මිය යනවිට සිටියේ ඇය ළඟය.

කොළඹ බේබෲක් පෙදෙසේ එවකට පැවැති එම්පයර් සිනමාහල පිහිටි ඉඩමේම එයට යාබදව සිල්වර්ෆෝන් නම් කුඩා ශාලාවක් විය. සිල්වර්ෆෝන් ශාලාව මිලි මිටර් 16 ප්‍රමාණයේ චිත්‍රපට ප්‍රදර්ශනයේද යෙදුණ අතර ශබ්දාගාරයක් ලෙස ද භාවිතවිය.  1952 වසරේ පමණ එහි ගීත පටිගත කිරීමක් සිදුවිණ. ගායනා කරනු ලැබුයේ පසුකලෙක සිනමා ගී රැජන වූ ලතා වල්පොලයි. ලතාගේ ගායනය  අසා සිටි ඉන්දියානු සිනමාකරුවා ඇයට එන්නට කීවේ කරුණාබර හඬකිනි. ඔහු එම හඬට තෘප්තිමත් ව සිටියේය. එහෙත් ඇය එහි නොආවාය. දෙතුන් වතාවක් ම ඇයට ආරාධනා කළ ද අධ්‍යක්ෂවරයාට තරමක් කේන්ති ගියේය. ‘ඒ ළමයා එන්නේ නෑනේ.‘

‘ඔය කියන්නේ එන්ඩ කියලා නෙමේ.එන්ඩ එපා කියලානේ ‘

ගීත රචක හියුගෝ ප්‍රනාන්දු අධ්‍යක්ෂට පැහැදිලි කළේය. අධ්‍යක්ෂ පවසා තිබුණේ එන්ඩ අප්පා යනුවෙන්ය. දෙමළ ඌරුව නිසා ඇහෙන්නේ එන්ඩ එපා යනුවෙන්ය. ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ඒ දවස් ටිකට එන්ඩ යන්ඩ වචන කිහිපයක් අධ්‍යක්ෂ දැනගෙන තිබිණ.  තම වරද වටහා ගත් අධ්‍යක්ෂවරයා නිෂ්පාදක එස්.එම්.නායගම්ගෙන් ඉල්ලිමක් කළේය. ඒ චිත්‍රපටයේ රූප ගත කිරිම් තුන් මසකටවත් කල් දමන ලෙසය. සිංහලෙන් චිත්‍රපට හදන්නට පෙර සිංහල බස හැදෑරිය යුතැයැයි  ඔහු තීරණයක් ගෙන සිටියේය. අන්තිමට  හියුගෝ මාස්ටර් සිය ගුරු තනතුරෙහිලා අධ්‍යක්ෂ හොඳීන් සිංහල ඉගෙන ගත්තේය. කෙතරම් හොඳීන් සිංහල ඉගෙන ගත්තාද කිවහොත්  1961 වසරේ දී  සිංහල චිත්‍රපටයක් හදා ආපසු ඉන්දියාවට ගිය මේ සිනමාකරු ආපසු ලංකාවට ආවේ 1999 වසරේ ය. එවර ඔහු ස්වර්ණවාහිනිය උදෙසා මා සමඟ සාකච්ඡාවක් කළේය.නිකම්ම නොවේ අමු සිංහලෙන්මය.

දේශිය  සිනමාව ගොඩනැගීමේ  පුරෝගාමී මෙහෙවරක නියැළි මෙකී  සිනමාකරුවා  ඉකුත් 23වැනි දින ඉන්දියාවේ චෙන්නායි නගරයේ දී මෙලොව්න් සමුගත්තේය. ඒ වන විට ඔහු වයස අවුරුදු 95 ඉක්මවා සිටියේය. ඔහු ඒ.බී. රාජ් ය. ඒ යනු ඇන්තනිය. බී යනු භාස්කර්ය. සිංහල කථානාද චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා ඉන්දියාවේ සිට පැමිණි දෙවැනි සිනමාකරුවා ඔහුය. එමෙන්ම පළමුවරට චිත්‍රපටයක් සම්පූර්ණ කරනුයේ ඔහුය. 1947 වසරේ දී  වසරේ දී මෙරට මුල්ම කථානාද චිත්‍රාගාරය ගොඩ නැංවූ එස්.එම්.නායගම් එයින් නොනැවතී මෙරට මුල්ම චිත්‍රාගාරය ද ගොඩ නැංවූයේ කඳානේ මීගමු පාර අයිනේදීය. ඒ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයයි. ඒ වන විට නායගම් මදුරෙයි නගරයේ චිත්‍රකලා මුවිටෝන් චිත්‍රාගාරයේ ද හිමිකරු වුවත් ඔහු තමා හැදී වැඩුණු ලංකාවේ ගොඩ නැංවූ ස්වදේශි ව්‍යාපාර ආයතනයට මඳක් නුදුරින් මේ චිත්‍රාගාරය ගොඩ නැංවූයේය.

එයින් තැනුණු මුල්ම චිත්‍රපටය බණ්ඩා නගරයට පැමිණීම නම්විය. එහි අධ්‍යක්ෂණය සඳහා මෙරටට පැමිණි රාජා වහබ් කාශ්මීර්ට මෙරට වැඩකිරිම අපහසු වූයේ භාෂා ප්‍රශ්නයක් වූ නිසාය. කාශ්මීර්ට මෙරටට පැමිණ කථානාද චිත්‍රපට අධ්‍යක්ෂණය කළ පළමුවැන්නා ලෙස ගෞරවය හිමිවන්නේ එහෙයිනි.  එයින් පසු නායගම් මෙම චිත්‍රපටය සම්පූර්ණ කිරිම සඳහා ඒ වන විට සේලම් හි මොඩර්න් තියටර්ස් ආයතනයේ පුහුණුව ලැබ සිටි එහෙත් ඒ වන තෙක් සිනමා අධ්‍යක්ෂණයේ අත්දැකීම් රහිත   මලයාලම් ජාතික තරුණයකු ට ආරාධනා කළේය. මේ තරුණයා ඒ.බී. රාජ්ය. ඒ වන විට රාජ්ට යන්තම් අවුරුදු විසි හයකි. ඔහු උපන්නේ 1925 වසරේ අප්‍රේල් මස 21 වැනි දින එවකට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ට්‍රැවන්කෝරයේ (වර්තමාන කේරළයේ) අලප්පුලා ගම්මානයේය.

 බණ්ඩා නගරයට පැමිණීම තිරගතවූයේ  1952 වසෙර්ය. එයින් පසු ඔහු ප්‍රේමතරගය(1953) අහංකාර ස්ත්‍රි(1954) ,පෙරකදෝරු බෑණා(1955), රම්‍යලතා (1956), සොහොයුරෝ (1958), ගංතෙර (1961) යන සිංහල චිත්‍රපට නිර්මාණය කරන ලදී. මේ අතරින් පෙරකදෝරු බෑණා හැර සෙසු සියලු චිත්‍රපට නිපදවන ලද්දේ ලංකාවේදීමය. සොහොයුරෝ චිත්‍රපටය රාජ් හා එල්.එස්.රාමචන්ද්‍රන් ගේ සම අධ්‍යක්ෂණයකි. වනමෝහිනි (1958)  චිත්‍රපටයේ දී ද නිලනොලත් අධ්‍යක්ෂවරයා ඔහුයැයි පැවසේ. එහි නාමාවලියේ සඳහන් වනුයේ රාජ් ගේ ගුරුවරයා මෙන්ම මොඩර්න් චිත්‍රගාරායේ හිමිකරු වූ ටී.ආර්.සුන්දරම් ගේ නමය. මොඩර්න් චිත්‍රාගාරයට නැවත ගිය අවස්ථාවක  සිය ගුරුවරයා නිසා මේ චිත්‍රපටයට  හදිසියේ සම්බන්ධව එය  නිම කිරීමට සිදු වූ වග රාජ්  මා සමග පැවසුවේය. එමෙන්ම ඩේවිඩ් ලීන් මෙරට දී අධ්‍යක්ෂණය කරන ලද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපටයේ දෙවැනි කණ්ඩායමේ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ද රාජ් මෙරට දී උදාකර ගත්තේය. පෙරකදෝරු බෑණා චිත්‍රපටය ජයමාන්න සිනෙමාටෝන් (නිෂ්පාදක විලී ජයමාන්න) වෙනුවෙන් ද  මෙන්ම ගංතෙර හෙළදිව ෆිල්ම් ආට්ස් වෙනුවෙන්ද (නිෂ්පාදක එස් ද එස්.සෝමරත්න ) නිර්මාණය කළ රාජ් සෙසු චිත්‍රපට නිර්මාණය කරන ලදදේ නායගම්ගේ ශ්‍රී මුරුගන් නවකලා වෙනුවෙනි. පෙරකදෝරු බෑණා චිත්‍රපටයේ සංගීතය බී.එස්.පෙරෙරා ගේ වූ අතර සෙසු චිත්‍රපට සංගිතවත් කරන ලද්දේ ආර්.මුත්තුසාමිය. ගංතෙර සඳහාද   බී.එස්.පෙරේරා යොදා ගත්ත ද එහි ගීත කිහිපයක් පටි ගත කළ පසු ඔහු හදිසියේ අභාවප්‍රාප්තවූයෙන් එයින් පසු චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන ලද්දේ ආර්.මුත්තුසාමිය.  රාජ් නිර්මාණය කරන ලද චිත්‍රපට ඉන්දියානු ගති ලක්ෂණ වලින් කිසිවිටෙකත් අත් මිදුණේ නැත. එමෙන්ම මෙරට සිට චිත්‍රපට හැදූ පසුකාලින ඉන්දියානුවන් වූ මස්තාන් හෝ එල්.එස්.රාමචන්ද්‍රන් මෙන් ස්වකීය අනන්‍යතාව ගොඩ නඟන්නට රාජ් ට හැකියාවක් තිබුණේ නැත. හැටේ දශකයේ ගොඩ නැගුණ අපේ ජනප්‍රිය සිනමාවේ ලක්ෂණ හමුවේ තව දුරටත් රාජ් වැනි සිනමා කරුවකු ගැන බලාපොරොත්තු තබා ගන්නට හැකියාවක් ද නැත. ඒ වන විට නායගම් සිනමාව අත්හැරියා පමණක් නොව චිත්‍රාගාරය ද ඇන්ඩෘ නායගම් මුත්තයියාට විකුණා දැම්මේය. ඔහු එය එස්.පී.එම්.නමින් යළි නම් කළේය. රාජ් නිර්මාණය කරන ලද ඇතැම් චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට සෘජු  අනුකරණ විය. ඔහු මුලින් දායක වන බණ්ඩා නගරයට පැමිණීම මෙන්ම පෙරකදෝරු  බෑණා ද වේදිකා නාට්‍යයන් පාදක කොට ගත්තක් විය. ගංතෙර කථාව තරගයකින් තෝරා ගත් එකක් විය. එහෙත් මේ චිත්‍රපට තුනම සාර්ථක වූයේ නැත. සෙසු චිත්‍රපට දෙමළ බසින් නිර්මාණය වූ චිත්‍රපට ආභාසය ලද හෝ අනුකරණය කරන ලද චිත්‍රපට විය. කොයි හැටි වෙතත් රාජ් තැනූ හැම චිත්‍රපටයකම  සමකාලින දෙමළ සිනමාවේ ගති ලක්ෂණ අඩු වැඩි වශයෙන් පැවැතිණ. 

එමෙන්ම සිනමා ඉතිහාසයේ සොඳුරු මතක සටහන් රැසක් ඒ.බී.රාජ් ගේ චිත්‍රපට නාමාවලිය සමග අපට සිහිපත් වෙයි. මෙරට චිත්‍රපට උදෙසා අපූරු සංගීතයක් බිහි කළ ආර්.මුත්තුසාමි සංගීතඥයා මෙරටට පැමිණෙන්නේ ප්‍රේම තරගය සමඟය. එය මුත්තුසාමිගේ මුල්ම සංගීත අධ්‍යක්ෂණයයි.  එපමණක්නොව ඔහු එම චිත්‍රපටයේ නිර්මාණය කරන ලද ස්වීය ගීත නිසා භාරතීය පත්‍රකලාවේදින්ගේ සංගමය මඟින් සම්මානයක් ද පිරිනැමුවේය. මෙය මෙරට චිත්‍රපටයක අංගයක් උදෙසා විදෙස් රටකින් ලද මුල්ම සම්මානය සේ සැලකෙයි. එමෙන්ම  මෙරට චිත්‍රපට ගායනයට ධර්මදාස වල්පොල මුලින්ම එක්වනුයේ ද ප්‍රේම තරගය චිත්‍රපටය උදෙසාය. ලතා ජී.ප්‍රනාන්දු සහ ධර්මදාස දෙදෙනා ගැයූ මුල්ම ගීය ඇතුළත් වනුයේ ද එයටය. පසුකලෙක ලතා වල්පොල බවට  පත්වනුයේ  මේ හමුවෙන් පසුවය. එමෙන්ම සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා විසින් මෙරට සිනමාවේ බිහි වූ විශිෂ්ටතම රංගවේදියායැයි හඳුන්වාදෙනු ලැබූ ලැඩී  රණසිංහ මෙන්ම ජනප්‍රිය නිළියක ව සිටි අයේෂා වීරකෝන් (වර්තමානයේ ග්වේන් හේරත්) සිනමාවට හඳුන්වා දෙනු ලබනුයේ ද ප්‍රේම තරගයෙන්ය. අහංකාර ස්ත්‍රි චිත්‍රපටයෙන් ලැඩී වෙනුවට සිනමාවට හඳුන්වා දෙනු ලබනුයේ  පසුකලෙක සරසවිය රණතිසර සම්මානයෙන් ද පිදුම් ලද  වින්සන්ට් වාස්ය. එමෙන්ම ජනප්‍රිය ඉන්දියානු ගායිකා කේ.රාණි පසුබිම් ගායනයෙහිලා සිංහල චිත්‍රපටයකට එක්වනුයේ අහංකාර ස්ත්‍රි චිත්‍රපටයෙනි.  පසුකාලිනව විශිෂ්ට රංගනවේදිනියක ලෙස  අපේ සිනමාවේ   බුහුමන් ලබන වීණා ජයකොඩි සිඟිති දැරියකව සිනමාවට එක්වූයේ අහංකාර ස්ත්‍රි චිත්‍රපටයෙනි. කිංස්ලි රාජපක්ෂ මෙන්ම බැප්ටිස්ට් ප්‍රනාන්දු සිනමාවට එක්වනුයේ පෙරකදෝරු බෑණා චිත්‍රපටයෙන්ය. රාජ් ගේ ජනප්‍රියම චිත්‍රපටය ලෙස සැලකෙන රම්‍යලතා චිත්‍රපටයට පාදකවනුයේ දේව්දාස් චිත්‍රපටයේ කතාවයි.

1961 වසරේ දී ලංකාවෙන් නික්ම ගිය රාජ් අනතුරුව ඉන්දියාවේ දී දෙමළ චිත්‍රපට 2ක් සහ මලයාලම් චිත්‍රපට රාශියක්  නිර්මාණය කළේය. 1985 වසරේ දී මලයාලම් බසින් නිර්මාණය කරන ලද ඔරිමක්කාන් ඔමනික්කාන් රාජ් විසින් නිර්මාණය කරන ලද අවසාන චිත්‍රපටයයි. ඒ වන විට ඔහු චිත්‍රපට 65ක් නිර්මාණය කර තිබිණ. දෙමළ සිනමාවේ සම්මානනීය රංගනවේදිනි සාරන්‍යා පොන්වන්නන් රාජ්ගේ දියණියයි. ඔහු මිය යනවිට සිටියේ ඇය ළඟය. 

1999 වසරේ දී එවකට චිත්‍රපට සංස්ථා සභාපති තිස්ස අබේසේකරයන්ගේ උපදෙස් පරිදි කොළඹ සහ මහනුවර පැවැත්වුණ පැරැණි ජනප්‍රිය දෙමළ චිත්‍රපට ඇතුළත්  චෝල මණ්ඩල සිනමා උලෙළේ දී ප්‍රධාන ආරාධිතයකු ලෙස රාජ් යළි ලංකාවට පැමිණියේය. ඒ අවස්ථාවේ කිහිප වරක්ම ඔහු හමුවී කථා බස් කරන්නට මට අවකාශ ලැබිණ. මෙයින් එක් වතාවක් ජනප්‍රිය සිනමාකරු අභාවප්‍රාප්ත ටී.අර්ජුන ගේ මෙහෙයුම මත සිදුවූවකි. මැදියම් රැය එළැඹෙනතුරු අපි සිනමාවේ අතීත කතන්දර වල ගිලෙමින් සන්තර්පනය වීමු. එමෙන්ම  නායගම් දියණිය වූ කමලාදේවි මාණික්කම් මහත්මිය රාජ් වෙනුවෙන් සිය නිවසේ දහවල්  භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර  එයට එවකට සරසවිය කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දි තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රවීණ රංගවේදිනි ක්ලැරිස් ද සිල්වා, ප්‍රවීණ ගායිකා ලතා වල්පොල ඇගේ පුත් සුනෙත් වල්පොල මෙන්ම මම ද සහභාගි වීමි. රාජ් ගේ සිනමා ජීවිතයේ මෙරට සමීපතයන් අතර සිටි නායගම් ගේ දියණියත් ක්ලැරිස් හා ලතා වල්පොල දෙපොළගේත් දශක ගණනාවකට පසු සිදුවූ මේ හමුව හැඟුම්බර එකක් විය.  ඒ දිනවලම ස්වර්ණවාහිනියේ ඇරැයුමෙන්  ඒ.බී.රාජ් නම් පුරෝගාමියා සමඟ සාකච්ඡාවක් මෙහෙයවන්නට මට ඉඩ ලැබිණ. එය අප පැවැත්වූයේ කඳානේ  සුන්දර සවුන්ඩ් චිත්‍රගාර භූමියේය. එනම් එවකට එස්.පී.එම් ස්ටුඩියෝවේය. රටක දේශිය සිනමාව ගොඩ නැංවීමෙහිලා  පුරෝගාමිව වැජඹුණු  චිත්‍රාගාරයක මුල්ම සිනමාකරුවා සමග එම දර්ශන තලයේ ම සිට  එහි අතීතාවර්ජනයක යෙදීම ඉතා විරල අත්දැකීමක් බව අමුතුවෙන් කිව යුතු නැත. චිත්‍රපටයක් වැඩ කටයුතු ඇරඹෙද්දී පවත්වන ලද පුරාණ හින්දු චාරිත්‍ර විධි පමණක් නොව එදා සිනමාව පිළිබඳ අගනා අත්දැකීම් රැසක් මට ද ලබා ගත හැකි වූයේ ඔහු චිත්‍රාගාරයේ නටබුන් අතර ඇවිදිමින් ඒ පැරණි මතක එකින්එක විස්තර කළ හෙයින්ය. ඒ වන විට චිත්‍රාගාරයේ හිමිකරුව සිටි ජූඩ් මුත්තයියා ද මේ වයෝවෘධ සිනමාකරුවාගේ අත්දැකීම් අසමින් සලිත විය.  එය ලාංකික සිනමා ඉතිහාසයේ චිත්‍රාගාර චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ සැලසුම් පිළිබඳ පැරැණි සිනමාකරුවෙකුගෙන් මා ලද වඩාත් වැදගත් අත්දැකීම විය. මෙරට මුල්ම චිත්‍රගාරය පැවැති අන්දම දශකයක් ඇතුළත එහි සිදු වූ විපර්යාසයන් පමණක් නොව ඔහු ලද අත්දැකීම් හා එය   බිහිවීමේ පසුබිම ද චිත්‍රපට රූප ගත කරවීමේ ක්‍රමවේදයන් ද කැමරා වර්ග ද ආලෝක පාලනය ද  එයින් බැහැරව හදිසියේ හෝ බාහිර රූප ගත කිරිමක සිදුවන ප්‍රායෝගික  ගැටලුද හෙතෙම එකිනෙක විස්තර කළේය. 

ඒ.බී.රාජ්ගේ අභාවය මට මුලින්ම දන්වන ලද්දේ ප්‍රවීණ සිනමා විචාරක ඈෂ්ලි රත්න විභූෂණ මහතාය. රාජ් ගේ සිනමා කෘති එදා සිනමා විචාරකයන් අතින් දරුණු ප්‍රහාරවලට ලක් වුව ද  මේ සිනමා කෘති අපට බොහෝදේ ඉතිරි කළේය. ඒ අද අප අත්විඳීන සිනමාවේ මූලාරම්භයයි. අද අපේ සිනමාව ගොඩ නැගුණේ රාජ් වැනි සිනමාකරුවන් මෙරටට පැමිණ කළ මෙහෙයක ප්‍රතිඵල හැටියටය. ඔහු එතෙර සිට නොව මෙතර සිටම එම කර්තව්‍යය ඉටු කළ බැවින් අපගේ ගෞරවය හා හෘදයංගම බව වැඩිය. කෘතවේදිත්වය වැඩිය.එය ඉතා දුෂ්කර වෑයමක් වන්නට ඇති බැව් නොකියාම බැරිය.  ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සිනමාකරණයේ නියැළි සමස්ත පරම්පරාවම ඒ.බී.රාජ්ගේ අභාවයත් සමග අවසානවෙයි. සිංහල චිත්‍රපට තැනූ ඉන්දියානු සිනමාකරුවන් අතරින් තවම ඉතිරිව ඇත්තේ ද එක් අයෙකි. ඒ මුල්වරට වීර විජය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ පසුකලෙක ඉන්දියානු සිනමාවේ  සම්මානනීය සිනමාකරුවකු වූ කේ.එස්.සේතුමාධවන් පමණකි.