රැඟුමට එක් වූ ගායන ප්‍රතිභා ප්‍රභා...

සැප්තැම්බර් 17, 2020

සුප්‍රකට ඉතාලියානු ජාතික නාට්‍යවේදී ලුයිජි පිරැන්ඩෙල්ලෝගේ ‘Six Characters in Search of an Author’  නාට්‍යය ඇසුරෙන්  කෘතහස්ත  නාට්‍යවේදී සුගතපාල ද සිල්වා සූරීන් “හරිම බඩු හයක්” (1965) නාට්‍යය නිර්මාණය කළේය. ඉන් කලකට පසුව මේ මුල් කෘතිය ඇසුරෙන් තවත් නාට්‍යයක් නිර්මාණය කෙරිණ. එනම් අකාලයේ අපට අහිමි වූ සුප්‍රකට ලේඛකයකු, කථිකාචාර්යවරයකු වූ පසන් කොඩිකාරගේ “හයේ කල්ලිය” නාට්‍යය වේ. නිළියක් තමා රඟන චරිතය සමඟ සංවාදයෙහි යෙදෙන අපූර්ව භූමිකාවක් මාදනී මල්වත්තගේට මෙහිදී රඟපෑමට අවස්ථාව ලැබිණ. සුදත් මහදිවුල්වැව නිර්මාණය කළ “සහතික නොකළ මරණයක්” (2012) අභූතරූපී (ABSURD) ලකුණු පළ කළ නාට්‍යයකි. අමූර්ත (ABSTRACT) සංකල්පවලින් සුසැදි ආකෘතියකින් හා අන්තර්ගතයකින් සමන්විත වූ මේ නාට්‍යයෙහි ආචාර්ය ජයලත් මනෝරත්න සහ මාදනී මල්වත්තගේ අඹුසැමි යුවළක් ලෙස රැඟූහ. මියගිය මිනිසකුගේ මළ සිරුරක් ඔවුහු තම නිවසේ තැන්පත් කොට ගෙන සිටිති. වරෙක මේ මෘත දේහයෙහි හතු පිපෙනු දක්නා ලැබේ. 

ඉතිහාසය හා ජනශ්‍රැතිය සමඟ බද්ධ වූ ප්‍රශස්ත ගණයේ පර්යේෂණාත්මක නාට්‍යයක් වූ දයානන්ද ගුණවර්ධන  සූරීන්ගේ “මධුර ජවනිකා” නාට්‍යයෙහි “නෙයිනාගේ සූදුව“ අරභයා දැක්වෙන ජවනිකාවෙහි එදා විරුදු ගායනයට එක්වූවෝ ප්‍රවීණ රූපණ ශිල්පීන් වූ ජැක්සන් ඇන්තනි සහ අනුලා බුලත්සිංහලය. වත්මන් නාට්‍යයෙහි ජැක්සන් හා එක්වන්නී මාදනී මල්වත්තගේය. “මධුර ජවනිකා” නාට්‍යයට පදනම් වූයේ වර්තමාන තත්ත්වයට පසුබිම් වූ ඓතිහාසික සංසිද්ධීන්ය. එහිලා ඉතිහාස ග්‍රන්ථවලට වඩා දයානන්ද ගුණවර්ධනයන් ඇසුරු කොට ගත්තේ ජනශ්‍රැතිය බැව් පෙනේ. “රාම රාවණා යුද්ධයෙහි සිට වංශවතී ඩුබායි යෑම දක්වා ලක්දිව සසල කළ රංග තරංග“ ලෙස මේ නාට්‍යය එදා එතුමෝ හැඳින්වූහ.

 “පළමුව මම වැන්දා බුදුන් 

සිහි කරගෙන ඒ ගුණ කඳ

දෙවනුව සද්ධර්මේ උතුම්

මුදුනත් කර මෙන්න වැන්දා 

තෙවනුව මහ සංඝරත්නෙ

වැඳ සුරන්ට පින් දී සොඳ

කියනවා අපි නෙයිනගෙ සූදුව

කවියෙන් කර ප්‍රබන්ධ”

වත්මන් “මධුර ජවනිකා” නාට්‍යයෙහි කුවේණියගේ භූමිකාව ද මාදනී මල්වත්තගේ නිරූපණය කළාය. ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ “කුවේණි” නාට්‍යයෙහි මෙන්ම සානුකම්පිත දෘෂ්ටියකින් දයානන්ද ගුණවර්ධනයන් ද මෙහි ඇය දෙස බලනු පෙනේ.

“වඳුරා ගච උඩ ලියදළු කද්දී 

වැඳිරී ගච මුල කඳුළු පෙරද්දී

ඇගේ දරුවෝ කොළේ නටද්දී

නිදී වරෙං පුතා ලී

ඔබත් මොබත් ඔබ චොර බොර වැවාණෝ

අඬා දිය වදින මහවිලි ගඟාණෝ

දිය නොවිඳෙයි ඔබ මහවිලි ගඟාණෝ

නිල් මල් බිචව් දිය කෙළිණා වැවාණෝ 

චොර බොර වැවේ චොඳ චොඳ ඕලු නෙලුම් ඇතී

මීවා නෙළන්නට චොඳ චොඳ ලියෝ එතී

කළු කරලා රතු කරලා උයා දෙතී

උලු වාලේ බත් කන්නට මාළු නැතී

ජන නාට්‍ය සම්ප්‍රදාය  අනුව යමින් රෝහණ බැද්දගේ නිර්මාණය කළ “අලකලංචිය” නාට්‍යයෙහි මාදනී නිරූපණය කළේ කටකාර ගැහැනියකගේ භූමිකාවකි.

අගතා ක්‍රිස්ටිගේ “THE MOUSETRAP” නමැති රහස් පරීක්ෂක, ත්‍රාසජනක නාට්‍යය 1952 සිට 2020 මාර්තු 16 දක්වා අඛණ්ඩව 70 වසරකට ආසන්න කාලයක් රඟදැක්වූයේ ඓතිහාසික වාර්තාවක් තබමිනි. ලාංකේය නාට්‍ය කලාවෙහි එබඳු ඓතිහාසික වාර්තාවක් තැබූ නිළියක් සිටියාය. ඇය මාලිනී රණසිංහය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “සිංහබාහු” (1961) නාට්‍යයෙහි සුප්පා දේවියගේ අමරණීය භූමිකාව ඇය අඛණ්ඩව අඩ සියවසක් පුරා රඟමින් වාර්තාවක් තැබුවාය. වත්මන් “සිංහබාහු” නාට්‍යයේ සුප්පා දේවියගේ භූමිකාව රඟන්නී නිහාරි සෝමසිරි (වික්‍රමාරච්චිය)ය. ලාංකේය වේදිකාවේ  ස්ත්‍රී නිරූපණයට සමගාමීව නිළි ප්‍රතිරූප අරභයා ද අවධානය යොමු කරන කල්හී පසුගිය සිව් දශකයෙහි නිහාරි වික්‍රමාරච්චි ද වෙසෙසින් කැපී පෙනුණු රංගවේදිනියකි, ගායන ශිල්පිනියකි. ඇය බාහිර රූපකායෙන් පෞරුෂයෙන් සේම රංගන, ගායන ප්‍රතිභාවෙන් ද සුප්පා දේවියගේ චරිතයට මැනවින් ගැළපිණ. නිළියකට එකිනෙකට හාත්පසින්ම වෙනස් විවිධ සංකීර්ණ චරිත රඟපෑමට අවස්ථාව ලැබීම භාග්‍යයකි. මාලිනී රණසිංහගෙන් පසුව ‘සුප්පා දේවියට’ තමන්ට ආවේණික අර්ථකථනයක් එක් කිිරීමට ඇය උත්සුක වූවාය. ඇගේ ගායන ප්‍රතිභාව ද ඊට ආලෝකයක් මැ විය.

කලාව උරුම වූ පවුලකින් පැවත ආ නිහාරි, වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ හඳුන්වාදීමෙනි. එවක ඇය ළාබාල දැරිවියකි.  මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ “වෙස්සන්තර” (1980) නාට්‍යයෙහි ජාලිය කුමාරයා ලෙස පිරිමි දරුවකුගේ චරිතයක් නිරූපණය කරමින් ඕ වේදිකාවට පිවිසියාය.

බක ජාතකයෙහි අතීත කතාව ඇසුරු කොට ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිර්මාණය කළ “මානසවිල” ඔපෙරාවෙහි කණයා ඇය නිරූපිත භූමිකා අතර විශේෂිතය. ස්වාධීන මතධාරී, බුද්ධිමත් මත්සයකුගේ භූමිකාව ඇය “මානසවිල” හි රැඟුවාය. කණයා පණ්ඩිතයා වනුුයේ ලූලා නොමැති කල්හිය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ “පේමතෝ ජායතී සෝකෝ” ගීත නාටකයෙහි නිහාරි රැඟූ “ස්වර්ණතිලකා”ගේ භුමිකාව “කණයා”ට සපුරා වෙනස් වූවකි. “ස්වර්ණතිලකා” බොළඳ ගති පැවතුම්වලින් හෙබි සැඩොල්් කුලහීන කාන්තාවකි. ඒ ස්වර්ණතිලකාවන්ට පෙම් බඳිමින් මෙහි ප්‍රේම පීඩාවන්ට ගොදුරු වූ උද්දාල බමුණාගේ චරිතය කෘතහස්ත රූපණවේදී නිශ්ශංක දිද්දෙණිය නිරූපණය කළේය. ප්‍රවීණ සංගීතවේදී ජයන්ත අරවින්ද සූරීන් මේ නාට්‍යයෙහි සංගීතය නිර්මාණය කළේ රාග 40 කටත් වඩා ඇසුරු කොටගෙනය. උත්තර භාරතීය රාගධාරී සංගීතයේ රාග, ස්වර සංගති මේ සා විශාල සංඛ්‍යාවක් ඇසුරු වූ අවසෙස් නාට්‍යයක් තවම නැති. නිශ්ශංක දිද්දෙණිය, නිහාරි වික්‍රමාරච්චි යනාදීන්ගේ ගායන ප්‍රතිභා ප්‍රභා මේ ගැයුම් විචිත්‍රවත් කළ බව මා අමුතුවෙන් කිව යුතු නැත. නිශ්ශංක දිද්දෙණිය සූරීන් වූ කලී කායික ස්වරූපයෙන්, පෞරුෂයෙන්, රැඟුමෙන් හා ගැයුමෙන් කාව්‍යාත්මක හෙවත් ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායට මැ (POETIC THEATRE) උපන් හපන් විශිෂ්ටයෙකි. පුදුමය නම් ඒ මහා ප්‍රතිභාව තාත්වික නාට්‍ය සම්ප්‍රදාය (THEATRE OF ILLUSION) තුළ එලෙසින්ම විශද නොවීමය. ඔහු අතික්‍රමණය කළ ශෛලිගත නළුවකු මා තවමත් ලාංකේය වේදිකාවේ දැක නැත. සරල ගී ගැයුම හා නාට්‍යයක ගී ගැයුම මාධ්‍යයේ ස්වරූපය අනුව වෙනස් වේ. සරල ගී ගැයුමකට වඩා නාට්‍යයක ගායනයේදී හඬ ප්‍රක්ෂේපණය (VOICE PROJECTION) ප්‍රබල විය යුතුය.  සරල ගීයක් මයික්‍රෆෝනය ඉදිරියේ ගැයීමේදී එබඳු හඬ ප්‍රක්ෂේපණයක් ඇවැසි නොවේ. තත්ක්ෂණ ජීව කලාවක් වූ නාට්‍යයේදී ප්‍රේක්ෂකාගාරයේ සියලු ප්‍රේක්ෂකයන් වෙත හඬ ප්‍රක්ෂේපණය විය යුතුය. මෙය බෙරිහන්දීමක් නොව, මනා හඬ පුහුණුවකින් සුපැහැදිලිව භාව, ස්වර විචලනයන් සහිත හඬ ප්‍රක්ෂේපණයකි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “ලෝමහංස” නාට්‍යයේ ඇතොර ස්ත්‍රියක (අන්තඞපුර කාන්තාවක්) ලෙස නිහාරි රැඟුවාය. මෙහි තම සැමියාගේ මුල් විවාහයේ පුතු වරදට පොලඹවා ගැනීමට වෙර  දරමින් අවසන ඔහු පීඩාවට ලක් කරන බිසවගේ චරිතය මුලින් මැණිකේ අත්තනායකත් පසුව යශෝධරා සරච්චන්ද්‍රත් නිරූපණය කළ බව සහෘද ඔබට මතක ඇති.    

ශ්‍රී හර්ෂගේ සුප්‍රකට සංස්කෘත නාට්‍යය ඇසුරෙන් ලලිතා සරච්චන්ද්‍ර නිර්මාණය කළ “රත්නාවලී” නිෂ්පාදනයේ “වාසවදත්තා”ගේ චරිතය නිහාරිගේ රංගන ජීවිතයේ කඩඉමකි. තම සැමියා වූ උදයන රජු රත්නාවලීට රහසෙන් පෙම් බඳියි. පසුව මේ රහස හෙළි වූ විට  සැමියාගේ  කැමැත්තට ඉඩ දෙමින් තම ප්‍රේමය පරිත්‍යාග කරන්නා වූ සානුකම්පිත  ස්ත්‍රියක ලෙස වාසවදත්තා නිරූපිතය.මෙකල ද වාසවදත්තලා කොතෙකුත් අප සමාජයේ සිටිනු දැක්ක හැකිය. අවසන රත්නාවලී යනු තමාගේම නැඟණිය බව ඇය දැන ගනී. හාස්‍ය රසයත් ශෝකී රසයත් සහසංකලනය වූ නාට්‍යයක් ලෙස “රත්නාවලී” ට හිමි වනුයේ වෙසෙස් ආස්ථානයකි. මෙහි “රත්නාවලී”ගේ භූමිකාව ගංගා පරණවිතාන නිරූපණය කළ අතර උදයන රජුගේ චරිතය වරින්වර සනත් විමලසිරිත්, රාජිත හේවාතන්ත්‍රිත් රඟපෑහ.

රෝහණ බැද්දගේ නිර්මාණය කළ “රාලහාමි” නාට්‍යය නොබෝදා නලින් මාපිටිය යළිත් නිෂ්පාදනය කළේය. මෙහි නිහාරි රඟපෑ “ඇලිස්ගේ” භූමිකාව “වාසවදත්තාට” වඩා බෙහෙවින් වෙනස් වූවකි. රාලහාමිගේ ප්‍රේමයට පාත්‍ර වන ඇලිස් කෙළිලොල්, දඟකාර, සැහැල්ලු ගති පැවතුම්වලින් හෙබි ගැහැනියකි. රෝහණ බැද්දගේගේ නිර්මාණයේ බන්දුල විජේවීර හා විජේරත්න වරකාගොඩ රැඟූ රාලහාමිගේ ප්‍රධාන භූමිකාව වත්මන්  නලින් මාපිටියගේ නිර්මාණයේ නිරූපණය කරනුයේ ජයනාත් බණ්ඩාරය.

ටවර් රඟහල පදනම වෙනුවෙන් ඇ. ලයනල් ගුණතිලක නිර්මාණය කළ ‘රාමායණය’ නුර්තියෙහි කයිකේ බිසව ලෙස නිහාරි නිරූපණය කළ චරිතය ඓතිහාසික ස්ත්‍රීත්වයෙහි වෙනත් මානයකි. කයිකේ බිසව වූ කලී රාම කුමරුගේ පියාගේ තවත් බිසවකි. ඇගේ උත්සාහය භරත කුමරුට රජ කිරුළ ලබාදීමටය.

ඉතිරි කොටස ලබන සතියේ