මරණය මෙතරම් අපූරුද විජය?

හෙටට යෙදෙන විජය කුමාරතුංගයන්ගේ 75 වැනි ජන්ම දිනය නිමිත්තෙනි
ඔක්තෝබර් 8, 2020

වර්ෂය 1988ය. කෙළිලොල් ළමා වියේ සිටි මා හට ඒ යුගයේ රටේ තොටේ සිදුවීම්වල බරක් පතළක් එතෙක් දැනී තිබුණේ නැත. එහෙත් වැඩිහිටියෝ නිතර ගුවන්විදුලියට සවන්දුන්හ. ඒ සමයේ අපට තිබුණු ප්‍රබලම තොරතුරු දැනගැනීමේ මාධ්‍යය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පුවත් විකාශයයි. එය බොහෝ ගම්භීර හඬින් බාධාවකින් තොරව වගකීමකින් සිදුවන්නකි. එහෙත් එදා, පෙබරවාරි 16 වැනිදා එකවරම ප්‍රවෘත්ති විකාශය මැද දොරක් ඇරෙන හඬක් සහ නිශ්ශබ්දතාවක් ඇති විය. පසුව වෙන කෙනකුගේ හඬින් 'මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්' යැයි කියනු ඇසිනි. තාත්තා කෑ ගැසීම නවතන ලෙස මට සන් කළේ ඇදහිය නොහැකි දෙයක් දෙවැනිවරට අසා තහවුරු කර ගැනීම සඳහාය. ඉන්පසු ඇති වූ තත්ත්වය නිසා මට නිවේදනය හරියටම මතක නැතත් ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංග නන්නාඳුනන තුවක්කුකරුවකු විසින් ඝාතනය කරන ලද වග එහි කියැවුණු බව මතකය.

මරණය යනු කුමක්දැයි ඒ වන විටත් මට නිසි ලෙස දැනී නොතිබිණි. එනිසා විජය කුමාරතුංග ඝාතනය ද මීට වසර 32ට පෙර ළමා වියේ වූ මට දැනුණේ ලස්සන ප්‍රසිද්ධ කෙනකු කුරිරු ලෙස මරා දැමීමක් ලෙස පමණි. එවක රටේ තැන තැන වූ සිදුවීම් නිසා ඒ වයසේදී මා සිටියේ මිනී පෙට්ටි සහ මළගෙවල් ප්‍රතික්ෂේප කරන මනසකිනි. එනිසා විජය කුමාරතුංග අවමංගල්‍යයට තාත්තලා සමඟ මා ගියේ නැත. එහෙත් ජීවිතේ මුල්වරට මරණය පිළිබඳ ආසාවක් මා සිතේ හට ගත්තේ 'විජය'ගේ මළගම රූපවාහිනියේ සජීවීව දුටු මොහොතේය. මිනිසකු මියගිය පසු ඔහුගේ ගුණ මෙතරම් ගැයෙනවා නම්, දේහය දකින්නට මේ තරම් සෙනඟක් පොරකනවා නම්, මිය ගිය කෙනා වෙනුවෙන් කෙනෙක් සියදිවි නසා ගන්නවා නම්, ඔහුට ආදරය කළවුන්ට හෘදයාබාධ වැලඳෙනවා නම් මරණය කෙතරම් අපූරු අත්දැකීමක් විය යුතුද? එහෙත් ඉන් පසු දුටු කිසිදු මළ ගෙයක මෙවන් දෑ සිදු නොවූයේ මන්ද? ඒ ඔවුන් කිසිවෙකුත් 'විජය කුමාරතුංග' කෙනෙක් නොවුණ නිසාය. ඇතැමුන් කීවේ ඒ ඔහු මිල මුදල් නොව මිනිසුන් ඉපැයූ නිසා කියාය. එය අද මා විග්‍රහ කරගන්නේ මෙලෙසිනි.

මෙලොව සියල්ලන් මෙන්ම විජය කුමාරතුංග කෙනකුද ලොවට පහළ වන්නේ එක් වරකි. තම තමන්ගේ පින් පවු, කර්මය, වාසනා ගුණය, දෛවය මේ කුමන හෝ හේතූන් මත අපට හිමි ගමනක් තිබේ. බොහෝ දෙනාගේ ගමන් මඟ පොදුවේ අඩු වැඩි වශයෙන් සමාන වද්දී කීපදෙනකුට පමණක් විශේෂිත වූ මාර්ග ලැබෙන්නේ ඒ කෙනාට විශ්වය පවරන රාජකාරිය වෙනස් බැවින් විය යුතුය. විජයගේ ගමන මේ විශ්වය පාලනය වන කුමක් හෝ බලවේගයක් විසින් මෙහෙය වූ අයුරු අපූර්ව වන්නේ හෙළ සිනමාවේ පහළ වූ එතෙක් මෙතෙක් අප අසා ඇති ආකර්ෂණීයම පුද්ගලයා ඔහු බවට පත් කරමිනි. වසර විස්සක් වැනි කෙටි කාලයක් තුළ චිත්‍රපට 120කට වඩා දායක වෙමින් ඉන් 114කම ප්‍රධාන චරිතයේ පණ පොවමින්  වේගවත් ගමනක් ඔහුට හිමි කර දෙන්නට ඇත්තේ ඒ වේගයෙන්ම ඔහු හෙළ සිනමාවට මෙන්ම දිවි සිනමාවටද අහිමි කරන බවට දෛවය දැන සිටි නිසා විය නොහැකිද? 

අප සැම දන්නා පරිදි විජය කුමාරතුංගගේ මන මෝහනීය රුව දැවැන්ත රිදී තිරයේ ප්‍රධාන චරිතයකින් මුල්වරට දිස්වන්නේ සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ හන්තානේ කතාවේ බන්දු නම් සරසවි සිසුවා ලෙසිනි. ඒ 1969 වසෙර්ය. විජය ද සිය පළමු සිනමාගමනය ලෙස එය තහවුරු කළද ඔහු කැමරාවකට මුහුණ දුන් පළමු වතාව ලෙස දේශීය සිනමා ඉතිහාසඥයෝ  සඳහන් කරන්නේ ඉන් තෙවසරකට පෙර නිමැවුණු මනමාලයෝ ය.  රෝමියෝ ජුලියට් කතාවක් 1969 තැනුණද ඒවායේ ඔහු ප්‍රධාන නළුවා නොවීය. විජය කුමාරතුංග කෙනකු රිදී තිරයට දායක කිරීමේ ගෞරවය සරසවිය පුවත්පතට ද හිමිය. ඒ එහි පළ වූ දැන්වීමක් අනුව ඔහු නළුවකු වීමට ඉල්ලුම්පත් යවා තිබුණු නිසාය.

හන්තානේ කතාවේ රඟපාන විට විජය වයස 24ක පමණ නාඹර තරුණයෙකි. සැබැවින්ම සරසවි සිසුවකුගේ වයසේ වූ ඔහුගේ කඩවසම් දේහය, ගමන් විලාසය, සුකුමාරවූත් ලජ්ජාශීලී හැඟීමෙන් යුතු වූත් මුහුණ, මෙන්ම සෑම කෙනකුටම පොදු නොවූ තිර පෞරුෂය (ඉජපඥඥද ර්‍ථඥපඵධදචතඪබර)ස්වර්ණමය යුගයේ හිනි පෙත්තට නඟිමින් සිටි සමයේ සිංහල සිනමාවට වටිනා වස්තුවක් විය. එනිසාම ඔහු යුගයේ සිහින කුමරා වීම ද නොවැළැක්විය හැකි විය. අද කාලේ අපේ වචනයෙන් කිවහොත් විජය 70-80 දශකවල තරුණියන්ගේ 'ක්‍රෂ්' එකය. එනිසාම තරුණයන් ද විජය වන්නට උත්සාහ කළේ ඒ අයුරින් කොණ්ඩය සකසමින් සහ ඇඳුම් මෝස්තර අනුකරණය කරමිනි. තම මිතුරාට තරුණියන්ගේ සිත්ඇදෙන විට එන ඊර්ෂ්‍යාසහගත හැඟීම පොදුවේ සිනමා රසික තරුණයන්ට විජය කෙරෙහි නොආවේ යැයි කිව හැක්කේ කාටද? එහෙත් ඔහු සාධාරණ පෙම්වතා, යුක්තිගරුක චණ්ඩියා වන විට ඊර්ෂ්‍යාව මැඩගත් වීරත්වයකින් රසික හදවත් පිරී යන්නට ඇත. හතර දෙනාම සූරයෝ, වන රාජා, දියමන්ති, උන්නත් දාහයි මළත් දාහයි, නොම්බර 17, හිඟන කොල්ලා, පොඩි මල්ලි, ජය සිකුරුයි, යුක්තියද ශක්තියද, රජ වැඩකාරයෝ, සූරයන් අතර වීරයා, මමයි රජා වැනි චරිත ඔස්සේ ඔහු තරුණ සිත්වල වීරයා විය. එමෙන්ම මේ දෑස කුමටද, තුෂාරා, පෙම්බර මධු, නැවත හමුවෙමු, ඔබටයි ප්‍රියේ ආදරේ, දෙව්දුව වැනි චිත්‍රපටවල පෙම්බර කුමරා ඔහු විය. ඔහුටම ගැළපෙන පෙම්වතියන් රැසකගෙන් සුවිශේෂී කෙනෙක් තිරයේ හමු වූ කල විජය-මාලිනී යුගයක්ද තිරයට බිහි විය. එයින් ඔහුගේ අනෙක් පෙම්වතියන් කිසිසේත් අවතක්සේරු නොවේ. එහෙත් ඔහුගේ කායරසායනයට වඩාත්ම ගැළපුණේ නිළි රැජන මාලිනී ෆොන්සේකා බව රසිකයන්ගේද තීරණය විය. 

හින්දි සිනමාවේ දිලිප් කුමාර් - මධුබාලා සහ අමිතාබ් -රේඛා ද එවන් කාය රසායනයෙන් ගැළපුණු පෙම්වතුන්ය. ඔවුන්ගේ සැබෑ දිවියේ බැ¼දීම තිරයේදී සියුම් ඉංගිතයන් මැවීමට හේතු වීම ඇතැම්විට රසික සිත් වසඟ කරන විශ්වසනීයත්වයකට සාධක වූවාට සැක නැත. 

ඒ කෙසේ වෙතත් සිංහල සිනමාව පිළිබඳ විචාරන්නෙකු ගාමිණි වේරගම මහතා විසින් රචිත දේශීය සිනමා වංශය ද්විතීයික කාණ්ඩය පමණක් පරිශීලනය කළද හැත්තෑව යනු ලොව පුරා දේශපාලනයේ ආර්ථිකයේ මෙන්ම සිනමාව ඇතුළු සමස්ත කලාවේ කඩඉම් සලකුණු වූ දශකයක් බව පෙනී යයි. ප්‍රංශ නවරැල්ලෙන් නැහැවුණු මැද මාවතේ නැතහොත් විකල්ප සිනමාවේ ආභාසය සිංහල සිනමාවට කෙතරම් බලපෑවේද යන්න ඒ යුගයේ සිනමා කෘති කෙරෙහි විශේෂ අවධානයක් යොමු නොකළ ද  දැකිය හැකිය. ජනප්‍රිය ධාරාව, කලාත්මක සිනමාව, වම් ඉවුරේ චිත්‍රපට ආදී කුමන බෙදීමකින් හැඳීන්වුවත් ප්‍රේක්ෂකයා ශාලාව කරා ගෙන ආ ප්‍රධාන සාධකය පුද්ගලබද්ධ ආකර්ෂණය බව ගාමිණි, ටෝනි, ජෝ රංග ත්‍රිමූර්තිය පසෙක තබා විජය කුමාරතුංග‌යන්ගේ රංග දායකත්වය ලද නිර්මාණ විශ්ලේෂණයෙන් පමණක් වුව හඳුනාගත හැකිය.

නළුවෙකු වීමට දක්ෂතාව අවශ්‍යවනවා සේම තරුවක් වීමට ආකර්ෂණීය රුවක් අවශ්‍ය බව නොරහසකි. වරක් රංජිත් ලාල්  මහතා (නිම්වළල්ල අධ්‍යක්ෂ) සමඟ සුහද කතාබහකදී දැනගන්නට ලැබුණේ විජය කුමන අතකින් සේයාරුවට හසු කරගත්තද සමබර අංගයන්ගෙන් යුත් මුහුණක් හිමි වාසනාවන්තයකු බවය. එහෙත් මා බොහෝ චිත්‍රපටවල  දැක ඇත්තේ ඔහු පෙම්වතියන් සමඟ රංගනයේදී හෙළන්නේ මුව පසෙකින් නැඟෙන සිනාවකි. එයින් හ ැඟෙන කෝල ගතියට  තාරුණ්‍යය ආකර්ෂණය වූවා යැයි කිව හැකිය. එසේ නොවන්නට ඔහු බඹරු ඇවිත්, ගඟ අද්දර, පාර දිගේ, බැද්දෙගම, මහගෙදර, අහස් ගව්ව, කරුමක්කාරයෝ මෙන්ම කැඩපතක ඡායා වැනි ජනප්‍රිය ධාරාවට අයත් නොවන්නේ යැයි ගැනෙන චිත්‍රපටවල  රඟ දැක් වූ චරිතවල ස්වභාවය ගෙන බලන විට පුද්ගලබද්ධ ආකර්ෂණය නිසාම ඔහුගේ ජනප්‍රියත්වය නොකඩවා රැ¼දී පැවතුණා හැර වෙන විස්මයක් නැත.

මා වරින් වර රූපවාහිනියේ හෝ සීඩී පටවලින් දැක ඇති විජයගේ චිත්‍රපට අතරින් සිය රංගන රීතිය ඔහු හොඳීන්ම හෙළි කළේ ඉහත කියුවා වැනි කෘතිවල යැයි මට සිතුණු අවස්ථා එමටය. ගාමිණි වේරගමයන් පවසන අන්දමට මරුවා සමඟ වාසේ කෘතියේ විජයගේ රංගනය රෂොමොන් චිත්‍රපටයේ තොෂිරෝ මිෆුනේගේ අධිතාත්වික රීතියට ආසන්න වෙයි. එසේ බලන කල මල්ගස් වටේ නටන, ෆයිට් තුනයි සින්දු පහයි චිත්‍රපටවලට ඔහු ඔහේ පෙනී සිටියා විනා කැපවීමකින් චරිත නිරූපණයක් කළේදැයි සැක සහිතය. එහෙත් උත්පත්තියෙන් ලද රූපකායේ වාසනා මහිමයට කැමරා කාචය පෙම්බඳීන තරුවක් වූ බැවින් ඔහු උඩපැන්නද බිම වැටුණද එය රංගනයක් යැයි සලකන්නට රසිකයන් සැදී පැහැදී සිටි වග නොබිඳුණු ජනප්‍රියත්වයෙන් පැහැදිලි වේ. ඔහු 1983 සිට 88 දක්වා (ඝාතනයෙන් පසුවද වරක්) සරසවිය සම්මාන උලෙළ හයකදී නොකඩවා ජනප්‍රිය නළුවා වන්නේ ඒ නිසාය. එහෙත් ඔහුගේ විසි වසරකට සිනමා දිවියේ හොඳම නළුවා වූයේ ඕසීඅයිසී සහ ස්වර්ණ සංඛ උලෙළවලදී කැඩපතක ඡායා වෙනුවෙන් පමණි. 1989 ලැබුණු එය දැකගැනීමට ඔහුට වාසනාවක් නොවීය. ඔහුගේ ඒ සම්මාන පිළිබඳ මට ඇති විවේචනය නම් ප්‍රධාන ධාරාවේ කෘති සැහැල්ලුවට ගැනීමේ විපාකය එය බවයි. එසේ නැතිව ඔහු ක්‍රිස්තු චරිතය නිරූපණය කිරීම නිසා හෝ කතෝලිකයකුව ඉපිද නැංගුරම් දෙමළ චිත්‍රපටයේ හිමිනමකගේ චරිතයට පණ පෙවීම නිසා වස්වැදීමක් ඔහුට නොවීය. ඒ ඔහු කිසි විටෙකත් ජාති ආගම් කුල භේදය හිසින් දැරූවකු නොවූ බැවිනි. 

නළුවකු සතු විය යුතු ප්‍රධාන ලක්ෂණ අතරින් ඉතාම වැදගත් හඬ පෞරුෂය ද ඔහුට මැනවින් පිහිටා තිබුණි. ගැඹුරු පෙම්බර පිරිමි හඬ ඔහුට කාන්දමකින් සැදූ ආභරණයක් බඳුය.  එපමණක් නොව ඔහු වෙනුවෙන් ගී ගැයූ එච්. ආර්. ජෝතිපාලයන්ගේ හඬද ඔහුට මනාව ගැළපුණි. විජයට පෙර දිවි සිනමාවෙන් සමුගත් ජෝතිගේ අවමංගල්‍යයද අසීමිත සෙනඟකගෙන් පිරුණක් වන්නට ඒ රුවෙන් හා ඒ හඬෙන් දෙදෙනා ලද අන්‍යෝන්‍ය පෝෂණය හේතුවක් විය හැකිය. ජෝති ජීවත්ව සිටින තුරු කිසිවිටෙකත් විජය තමන් වෙනුවෙන් ගීයක් ගායනා නොකළේ ඔහු තුළද ඒ හඬ ගැළපීම පිළිබඳ තිබුණු විශ්වාසය හා මිත්‍රත්වයේ තිබුණු දැඩි බව නිසාය. විජය මෙන්ම ජෝතිද හිතහොඳ මිනිසුන් ලෙස ප්‍රකටය. ඉන් විජය ජෝතිටත් ඉදිරියෙන් සිටි බව සමහරුන්ගේ මතයයි. විජයගේ හඬ කෙතරම් ළගන්නාසුලු දැයි කීමට හොඳම සාක්ෂිය ගඟ අද්දර වැනි සියයකට අධික ගීතවල ජනප්‍රියත්වය පමණක් නොවේ. ඔහු සහරාවේ සිහිනය වෙනුවෙන් ගැයූ වලාකුළක් ගෙන මුවා කරමු හිරු ගීතයටත්, දොළොස් මහේ පහන වෙනුවෙන් ගැයූ සරා ගුවන විද නැඟුණ ගීතයටත් හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් සරසවිය සම්මාන හිමි වීමය. ඒ ඔහුගේ අභාවයෙන් දෙවසරකට ද පසුය.  ගී ගැයිමට මෙන්ම ගීත රචනයටද ඔහු යොමු වූ බවට ඇති එකම සාක්ෂිය මුළු හදින්ම ඔබ හට ආදරෙයි නම් ගීතය පමණි. 

විජයගේ තතු විමසන කල ඔහු නිරන්තර සිය මෝටර් රථයේ ඇඳුම් කීපයක් තබාගෙන සිටියේ ඕනෑම අවස්ථාවක සේයාරුවකට පෙනී සිටීමට හැකි වන පරිදි බව අපේ ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී උපාලි ෆොන්සේකා සරසවියට කියා තිබුණි. එසේම තමන්ගේ පින්තූර කාඩ් පොකට් කැලැන්ඩර සඳහා පවා නොමිලේ ලබා දුන්නේ යැයි තවත් තැනෙක සඳහනක් විය. මා අද එය දකින්නේ ඔහුගේ පරිත්‍යාගශීලී බවට අමතරව නියැළි දේශපාලනයේද කොටසක් විය හැකි ලෙසයි. හන්තානේ කතාවෙන් වසර හතක් ඉක්මවන තැන ඔහු කටාන ආසනයට තරග කරන මට්ටමේ දේශපාලනයක නිරතව තිබුණි. අගමැතිවරු දෙදෙනකුගේ දියණියක සේම මෙරට මෙතෙක් බිහි වූ එකම විධායක ජනපතිනිය වන්නට තරම් දේශපාලනික වපසරියක් තිබුණු කාන්තාවක සිය බිරිය වීම ඔහුගේ දේශපාලනයට කෙසේ බලපාන්නට ඇත්දැයි විමසීම මේ ලිපියේ අරමුණ නොවේ. කෙසේ වෙතත් ඔහුගේ සමාජවාදී මතය දර්ශන තලයේදී හෙළි වන්නේ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාට හාත්පසින් ‌වෙනස් මුහුණුවරකින් බව සරසවිය කර්තෘ මණ්ඩලයේදී මම අසා ඇත්තෙමි. ගාමිණි වෙනුවෙන් තරු පන්තියේ ආහාර සපයද්දී අනෙක් ශිල්පීන්ට සාමාන්‍ය ආහාර වේලක් ලබා දෙන්නේ නම් ඔහු කරන්නේ අන් අයටද තරුපන්තියේ වේල සපයනතුරු අරගල කිරීමය. එහෙත් විජයට තරු පහේ ආහාර වේලක් සහ අන් අයට පාන් සහ පරිප්පු දුන් විට විජය මටත් පානුයි පරිප්පුයි හොඳයි මල්ලි  කීවේලු. මේ අතරින් වඩා සාධාරණ යැයි මා පිළිගන්නේ කවුදැයි හෙළි නොකරමි. 

ඒ කෙසේ වෙතත් ඝාතනයෙන් වසර 32ට පසුවත් විජය කුමාරතුංග නම් සිහින කුමරාගේ දින දර්ශන බිත්තිවල එල්ලාගෙන සිටින රසිකයන් සිටීම මෙන්ම යූ ටියුබයේ ඔහුගේ චිත්‍රපට හා ගීත නැරැඹූවන් දස දහස් ගණනින් අදටත් දක්නට ලැබීම ඔහුගේ ජනප්‍රියත්වය සෝඩා බෝතල වර්ගයේ එකක් නොවන වගට සාක්ෂියකි. 

විජය අදටත් මෙරට සුපිරිම තරුව ලෙස වැජඹෙන්නට තවත් හේතුවක් මම දකිමි. ඒ අපේ යුගයේ එවැනි සිහින කුමරුවකු බිහි නොවීමය. '83 කලබලවලින් පසු කාලයක් නිතර චිත්‍රපට බලන්නට ගියබවක් මතකයේ නැත. එවක ස්වාධීනව ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීමේ වයසක නොසිටි ළමයින් වූ අපේ පරපුර පූර්ණ දේශීය සිනමා රසවින්දනයට හිමිකම් නොකී පිරිසක් වුයේ යැයි අද මට සිතේ. කළු ජූලියේ සිට කොවිඩ් දක්වා දේශීය සිනමාව මුහුණ දුන්නේ අර්බුදවලට පමණි. එනිසා අපේ ක්‍රෂ් එක බවට පත්වන්නට රිදී තිරයේ විජයගේ තැන ගත්තකු බිහි වූයේ ද නැත. සමහර විට එවැනි කුමාරයන් යුද්ධයට ගොස් සිනමාවට අහිමි වූවා විය හැකිය. ඒ ඔවුන්ගේත් අපේත් සිනමාවේත් ලැබීමය. අතිදක්ෂ රංගන ශිල්පීන් සිනමාවට ප්‍රවිෂ්ට වූ  බව ඇත්තය. එහෙත් ඒ කිසිවකුටත් විජයට මෙන් ආකර්ෂණයක් තිබුණේද යන්න සැක සහිතය. ඒ නිසා අපේ පරපුරටත් ක්‍රෂ් එකක් වන තරම් පෙනුමක් තිබුණේ විජයටමය. එහෙත් ඔහු අයත් වන්නේ අපේ තාත්තලා, මාමලා අයිති පරපුරටය. අනෙක ඔහු ඒ වන විට ජීවතුන් අතරද නැත. එවිට එය සැබෑම ක්‍රෂ් එකක් විය හැකිද? විජයගේ පෙනුම අඩුවැඩි වශයෙන් ගන්නට උත්සාහ කළ ශිල්පීන්ට වුව ඒ ආකර්ෂණයට ළඟාවන්නටවත් හැකි වූයේ නැත. විජය කෙනෙක් අපේ පරපුරට නැති වීමෙන් සිදු වූ අනර්ථය නම් අපේ පරපුරේ  සිහින කුමාර රික්තය පුරවන්නන් බවට පත් වුයේ 90 දශකයේ බිහි වූ ෂාරුක් ඛාන්ලා, ඩිකැප්රියෝලා වීමය. සිංහල සිනමාවට වඩා ඒ චිත්‍රපට අපට ආකර්ෂණයක් දැනවීය. අපට වීරයන් පෙම්වතුන් හිඟ වීම නිසා පරදේසක්කාර කුමාරයන් අපේ සිනමා අපේක්ෂාව ආක්‍රමණය කරන්නට විය. විජයගේ අඩුව පුරවාගන්නට අප කළේ මහානාමලා වැනි එවක ක්‍රිකට් තරුවල පින්තූරු පොත්වල අලවා ගැනීමය.

මරණයේ අපූරුව මෙන්ම ඝාතනයක ප්‍රතිඵලය මුල් වරට මා අත්දකින්නේ ද විජයගෙනි. පුවත්පත්වල, විශේෂයෙන් ගෙදර නොවරදින සරසවිය පුවත්පතේ ද විජයගේ මුහුණට වෙඩි තැබූ ආකාරය කිය වූ ම‌ට මා කුඩාම කල පිළියන්දල සීදේවි නමින් තිබූ සිනමාශාලාව ඉදිරිපිට දේශපාලන වේදිකාවේ දේවදූතයකු මෙන් පියවි ඇසින් දුටු ඒ මුහුණ සිහි විය. ඔහුගේ උසත් හඳුන් පැහැති මුවකමලත් පිළිබඳ මතකයක් තිබිණි. එවන් වූ අයකුගේ මුහුණට වෙඩි තබන්නේ ඊර්ෂ්‍යාව මුල් කරගෙන බව කවුරුත් කියනා කරුණකි. එයින් ඒ මිනීමරුවන් උත්සාහ කළේ විජයට තිබූ අප්‍රමාණ ජනප්‍රසාදය කෙළවර කිරීම නම් මගේ මතය අනුව එය ඔවුන්ට වූ විශාලතම වැරදීමයි. 

මා මුලින් කී සිනමාවේ පෙම්වතුන්ගේ යුගවලදී සඳහන් කළ අමිතාබ් භච්චන් යැයි කී විට අද ඔබට මැවෙන්නේ අභිමාන් හි අමිතාබ් ද නැතහොත් සුදු රැවුලත් රිදී කොණ්ඩයත් පරෙස්සමින් සොලවන සිරුරත් හිමි අමිතාබ්ගේ රුවද? දිලීප් කුමාර් කී විට මට මැවෙන්නේ පනහ හැට දශකවල දඟර පෑ දිලීප් කෙනකු නොව ඔහුගේ සැදෑ සමයේ  සීයා කෙනකු මෙන් ජනමාධ්‍ය ඔස්සේ පතළ සේයාරූය. අපේ සාමාන්‍ය ස්වභාවය වන්නේ අප අවසන් වශයෙන් දකින රූපයෙන් කෙනකු මතක සිටීමයි. එහෙත් විජය කුමාරතුංග කී විට ඔබට, ම‌ට පමණක් නොව මගේ මීමුණුපුරන්ට වුව කිසිදාක එවැනි වියපත්  රුවක් සිහිගන්වා ගත හැකි නොවන්නේ විජය එවැනි වයසකදී අපට දැකගන්නට ඉඩ නොලැබෙන බැවිනි. ඔහු ඝාතනය වන විට යන්තම් අවුරුදු 43ක් වූවා පමණි. 1945 ඔක්තෝබර් 09 වැනිදා උපන් ඔහු හෙටවනතුරු සිටියා නම් වයස අවුරුදු 75කි. 

එසේ වූවා නම් ඇතැම්විට තවත් හොඳම නළුවා සම්මාන කීපයක් පවා දිනන්නට ඉඩ තිබිණි. දේශීය සිනමාව වෙනත් මානයකට ගමන් කරන්නටද ඉඩ තිබෙන්නට ඇත. එසේත් නොමැති නම් පැවැති ජනප්‍රියත්වය මත රටේ පාලකයකු බවට වුව පත් වන්නට ඉඩ තිබිණි. නැතහොත් පැවැති දේශපාලන මඩ ගොහොරුවේ එරී ජනප්‍රියත්වයෙන්ද පිරිහෙන්නට වුව ඉඩ නොතිබුණා නොවේ. ඔහු ඉපැයූවේ මිල  මුදල් නොව මිනිසුන් වුවත් ඒ මිනිසුන් මුදලට නොවිකිණේ යැයි අධිතක්සේරුවකින් සිටීම ඔහුට මේ ඉරණම අත්කර දුන්නා යැයි සිතමි. එසේත් නැත්නම් විශ්වය ඔහුට බාරදුන් වැඩ කෝටාව ඉක්මනින් අහවර කර ඉක්මන් ගමන් යැව්වේ ඔහුගේ මහලු රුවක් සිංහල සිනමා ඉතිහාසයට එක් නොකරන්නට තිබූ අවශ්‍යතාව නිසා විය හැකිය. ඒ කුමක් කෙසේ සිදු වුවත් කිව යුත්තේ ඝාතකයන්ට අවශ්‍ය දේ නම් අදටත් සිදු වී නැති බවය. ඔවුන්ට ඔහුගෙන් පළිගැනීමට අවශ්‍ය වූවා නම් කළ යුතුව තිබුණේ හැකිතාක් ජීවත්වන්නට ඉඩ හැරීමයි. එසේ වූවා නම් ඔහු සිරගත කොට, නම සහ රුව පවා පැවසීම තහනම් කළ යුගයේ බිඳීන්නට බැරි වූ ජනප්‍රියත්වය එයින් අහවර වන්නට ඉඩ තිබුණි. එහෙත් මේ ඝාතනය නිසා සිදුව ඇත්තේ කිසිදාක විරූපී නොවන සුන්දර යෞවනයකු ලෙසම  පමණක් විජය කුමාරතුංගයන්ගේ රුව හෙළ සිනමා අඹරේ එදා මෙන්ම අදත් හෙටත් ජනප්‍රිය තරුවක්ව දිලීමය.