තම පෙම්වතියට “ඕලු මලේහී සුදෝ සුදෝ”ගීතය ලියූ අප්‍රකට ගීත රචකයා

පී. එල්. ජේ. නන්දන කීර්ති (1918-1949)
ඔක්තෝබර් 15, 2020

“ඕළු මලේහී සුදෝ සුදෝ

මගේ සුදාගේ මුහුණේ දෝ”

හතළිහ දශකයේ අග හා පනහ දශකයේ මුල මඟුල් ගෙවල්වල අනිවාර්යයෙන්ම වැඩි වාර ගණනක් යන්ත්‍රයෙන් වාදනය වන ග්‍රැමෆෝන් චිත්‍රපට ගීතයකි මේ. 1952 වසරේ රාජගිරිය හේවාවිතාරණ විද්‍යාලය තිබෙන පාරේ පිහිටි ඔබේසේකර වලව්ව ඉදිරිපිට පිහිටි මගේ ලොකු අම්මාගේ දියණියකගේ විවාහ මංගල්‍ය උත්සවයකට ගිය පස් හැවිරිදි වියේ සිටි මට ඒ ගීය හොඳට මතකය. එහෙත් මඟුල් ගෙදර ගැන කිසිම මතකයක් නැත. ග්‍රැමෆෝන් යන්ත්‍රය වාදනය කරන තැනැත්තා මට වීරයෙක් විය. මම ඔහු අසල පුටුවේ හිඳගෙන දිගටම සියලු සින්දු අසා සිටියේ එහි ගීතමය රසය නිසාද?

‘මේ සින්දු ඔක්කොම බයස්කෝප් සින්දු . . .’ ග්‍රැමෆෝන් ගීත වාදනය කරන තැනැත්තා මා සමඟ කීය.

පසුකලෙක මගේ අම්මා රැජිනගේ රුව ඇති නිල් පැහැති අභ්‍යාස පොතක තිබී මුමුනන ‘ඕළු මලේ සුදෝ සුදෝ’ ගීතය ගැන තෙරතුරු මට අසන්නට ලැබිණි. අම්මා වැඩිහිටියකුට මේ ගීතය ගැන කතා කරමින් මෙසේ කීවාය.

‘ඒ කාලයේ බඳින්න හිටිය ළමිස්සියෝ ඉලන්දාරින්ට ලියුම් ලියන්නේ මේ සින්දුව මුලින්ම ලියලා. ‘සුදෝ’ කියන වචනය පෙම්වතුන්ට බෝ වුණේ ඒ කාලේ.’

නන්දන කීර්ති නම් ගීත රචකයා ගැන මුල්වරට අනාවරණය කළේ ආචාර්ය සුනිල් ආරියරත්නයන් ‘සරසවිය’ පුවත්පතිනි. 1985 අගෝස්තු 15 වෙනිදා කර්තෘ මාණ්ඩලික අනුර රාජගුරු බණ්ඩාර විසින් ආරියරත්නයන් එම වසරේ සරසවිය සම්මාන උලළේ හොඳම ගීත රචකයා ලෙස *සසර චේතනා’ චිත්‍රපටයේ ‘බුදුනේ බුදු පියාණෙනි’ ගීතය සඳහා සම්මාන ලැබීම නිමිත්තෙන් ලියන ලද විශේෂාංගයේ මේ තොරතුරු අනාවරණය විය. පුවත්පතින් දැක දින කිහිපයකට පසු රාජගුරු හමුවීමට යූ. ඒ. ප්‍රේමරත්න මහතාගේ සම්බන්ධිකරණයෙන් නන්දන කීර්ති මහත්මියත් ඇගේ දියණිය සර්දාසීලී පත්මදේව මහත්මියත්, බෑණනුවන් වන එවකට මරදානේ පොටෝ ක්‍රොම් හි සේවයේ නියුතු කේ. ගුණසේන මහතාත් හමු වී ලියූ අගනා ලිපියක් මට භාර දුන්නේය. මම එවකට ‘සරසවිය’ පුවත්පතේ ජ්‍යෙෂ්ඨ උප කතුවරයා වූ අතර සරසවිය පත්‍රයේ පිටු හතරක ‘සිනමා අතිරේකය’ සංස්කරණය කරමින් සිටියෙමි.

නන්දන කීර්ති මහතාගේ ගීත රචනා ගැන තොරතුරු දැන ගැනීමේ නොතිත් ආසාවෙන් සිටි මට මැණිකක් ලැබුණා මෙන් සතුටක් ඇති විය. මම ‘සිනමා අතිරේකයේ’ මැද පිටු දෙකම මෙය පළ කිරීටම ප්‍රධාන කර්තෘ ග්‍රැන්විල් සිල්වා මහතාගෙන් අනුමැතිය ලබා ගතිමි. රාජගුරුගේ ලිපිය පළ විය. අපට පාඨක ප්‍රතිචාර බහුල විය.

මා 1995 ‘සරසි‘ සිනමා පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කරද්දී ලක්බිම පුවත්පත් ආයතනයේ ටයිප් සෙටිං අංශයේ සේවය කළ සජී සොහොයුරිය මා හමුවීමට පැමිණ ‘නන්දන කීර්ති කියන්නේ මගේ සීයා’ යයි කීවාය. ඒ හැඳිනීම උඩ දිනක් ඇය තම මව වූ සර්දාශීලි නන්දන කීර්ති හා අත්තම්මා වූ තිලකා නන්දන කීර්ති යන මහත්මියත් ‘සරසි‘ කාර්යාලයට කැඳවා ආහ. ඔවුන් කී තොරතුරුත් රාජගුරු ලියූ ලිපයෙත් ආශ්‍රයෙන් මම 1995 මාර්තු 10 වෙනිදා විශේෂ ලිපියක් ලිවීමි.

තිලකා නන්දන කීර්ති මහත්මිය තම සැමියා ගැන අතීතය ආවර්ජනය කරමින් එදා මෙසේ කීවාය.

‘මගේ මහත්තයා 1918 අප්‍රේල් 07 වෙනිදා උපන්නේ කෝට්ටේ ගනේවත්තේදී. එයාගේ සම්පූර්ණ නම පිටිදූව ලියන ආරච්චිගේ ජීවන් ලාල් නන්දන කීර්ති. ඉගෙන ගත්තේ කොළඹ කුප්පියාවත්තේ මාළිගාකන්ද ආණ්ඩුවේ පාඨශාලාවෙන්. ඊට අමතරව මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ගිහින් පාලි සංස්කෘත ඉගෙන ගෙන තියෙනවා. පාසල් යන කාලේ ඉඳලා ලේඛන කලාවට, කතා පැවැත්වීමට, නාට්‍ය ලිවීමට දක්ෂලු. ඉගෙනීමෙන් පසු මාලිගාකන්ද ආණ්ඩුවේ ඉස්කෝලේ උගන්වලත් තියෙනවා’.

ඇය කියන ආකාරයට තම සැමියා මුලින්ම පදිංචිව සිටියේ බත්තරමුල්ල මහින්ද ස්ටේට් එකේය. ඒ කාලේ නන්දන නාට්‍ය කලා සංගමය පිහිටුවාගෙන නාට්‍ය නිෂ්පාදනය කර තිබෙනවා. නන්දන කීර්ති තම නාට්‍ය සංගමයෙන් ‘මංගල තරුව ‘ ‘ගහල කෙල්ල’ ‘යුදෙව් කෙල්ල’ ‘අසෝක මාලා’ ‘හෙන කඳ මහ බිසෝ බණ්ඩාර’ නාට්‍ය රචනා කර නිෂ්පාදනය කර ඇත.

1942 වසරේ නන්දන කීර්ති පුවත්පතක මෙවැනි දැන්වීමක් පළ කර තිබුණි.

‘අත් අකුරු ලස්නනට පැහැදිලිව ලිවිය හැකි, පොත් ලියන්න දන්නා කෙනෙකු අවශ්‍යව තිබේ.’

මේ දැන්වීමට වේයන්ගොඩ කල්එළියේ ගැහැනු ළමයකුගෙන් මුතු අකුරින් ලියූ පිළිතුරක් නන්දන කීර්තිට ලැබිණ. මේ ලිපිය එවූ තිලකා පියසීලි (උප්පැන්නේ තිබෙන්නේ කේ. ඒ. තිලකසිරි හෙවත් ‘තිලකේසරී’) නම් රූබර යුවතිය නන්දන කීර්තිගේ නාට්‍ය පිටපත් මුතු වැනි අකුරින් ලියා දුන්නාය.

‘මම වේයන්ගොඩ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨය දක්වා ඉගෙන ගෙන හිටියේ. ප්‍රකට කවියකු, ලේඛකයකු දක්ෂ ගුරුවරයකු වූ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න මහත්තයා මගේ කිට්ටු ඥාතිවරයෙක්. 1942 වසරේ මම නන්දන කීර්ති මහත්තයා ගාව පොත් ලියන්න ගියා. මහත්තයා කරුණාවන්ත කෙනෙක්. මම ඔහුට කතා කළේ ‘ජින් මහත්තයා’ කියන ආදර නමින්.

‘කැමතිද? මා ළඟ පොත් ලියන්න’

‘ඔව්’

‘පවුලේ තොරතුරු . . .’

‘මගේ තාත්තා නැහැ. අම්මා විතරයි ඉන්නේ. මම පවුලේ වැඩිමලා’

‘හොඳයි මම මාසෙකට රුපියල් 45 ක් දෙන්නම්’

‘හොඳයි මහත්තයා’

මම ඉස්සෙල්ලාම ලිව්වේ ‘ගහල කෙල්ල’ කියන නාට්‍ය පොත. මහත්තයා මේ පොත නාට්‍යය පුහුණු කරනවා මම බලන් හිටියා. දේවි සකුන්තලා, පියදාස පෙරේරා, සනී පෙරේරා, නන්දිසේන කුරේ (හිටපු උප නගරාධිපති, හිටපු ඇමති සිරිසේන කුරේ මහතාගේ වැඩිමහල් සොහොයුරා) මේ නාට්‍යයේ රඟපෑවා.’ තිලකා පියසීලි මහත්මිය අපට කීවාය.

පසු කලෙක දක්ෂ චිත්‍රපට නළුවකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ඩොමී ජයවර්ධන හාපුරා කියා වේදිකා නාට්‍යයක රඟපෑවේ නන්දන කීර්ති ලියා නිෂ්පාදනය කළ ‘අසෝක මාලා’ නාට්‍යයෙනි. ඩොමී මේ නාට්‍යයේ සාලිය ලෙස රඟපෑ අතර අසෝකමාලාට රඟපෑවේ නෝනා සුබෙයිදාය. මේ කාලේ ඩොමී හා නෝනා සුබෙයිදාගේ ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. මේ සම්බන්ධය කොතෙක් දුර දිග ගියා ද යත් නාට්‍යයේ සාලියත් අසෝකමාලාත් හිටි හැටියේ පළා ගිය නිසා නාට්‍යය පවත්වාගෙන යාම නන්දන කීර්තිට ප්‍රශ්නයක් විය. පසුව ඩොමී හා නෝනා සුබෙයිදා රහසේම විවාහ වූහ.

පසු කලෙක ‘ප්‍රේම තරඟය’ චිත්‍රපටයෙන් ‘ටාසන්’ නමින් විකට චරිතයකින් ජනප්‍රිය වූ රිචඩ් ඇල්බට් හාපුරා කියා වේදිකා නාට්‍යයක රඟපෑවේ නන්දන කීර්තිගේ ‘සිහිනය’ නාට්‍යයෙනි. ඉන් පසු නන්දන කීර්ති ‘හඳපාන’ ‘ජීවිත සටන’ නාට්‍ය නිෂ්පාදනය කර ඇත.

‘නන්දන කීර්ති මහත්තයා රඟදැක් වූ හැම නාට්‍යයක්ම බලන්න මාව එක්ක ගියා. අපි එක්ක ඩී. ආර්. නානායක්කාර, ඇනී බොතේජු, මාක් සමරනායකත් ගියා. මහත්තයා ‘සිළුමිණ’ පත්‍රයට ලියූ ‘කල්එළියේ සුන්දරී’ නමින් ලියූ කවි පන්තියක් පළ කිරීම නිසා මුළු කල්එළිය ගමම කලබල වුණා. ඒ කවි පන්තියෙන් මට මතක කවියක් මේ.

මින් පෙර කිසිවෙකු හට මන නෑලී

දුටුදා බැඳපු මා වෙත දිය කේලී

මා මන දිනූ කුසුම තිලකා පියසිලී

ඔබ මගෙ පෙම් පඬුර ගම්බද මනමාලි

මේ කවිය දැකලා ගම කලබල වූ බව දැනගත් මහත්තයා මාව විවාහ කර ගත්තා. අපේ විවාහයෙන් මට දුවලා දෙදෙනෙක් ලැබුණා. ලොකු දුව සර්දාශීලි පද්මා දේවි නන්දන කීර්ති, දෙවැනි දුව රීටා ජෙනට් නයනා චන්ද්‍රා කීර්ති නන්දන’ තිලක පියසීලි මහත්මිය අපට කීවාය.

නන්දන කීර්ති නිෂ්පාදනය කළ ‘සාලිය අසෝකමාලා’ නාට්‍යය මිගමුවේ නගර ශාලාවේ වේදිකා ගත වූ දවසේ එය බලන්න බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, රුක්මණී දේවි හා එඩී ජයමාන්න පැමිණියහ. බී. ඒ. ඩබ්ලිව්ගේ සිත ගියේ නාට්‍යයට වඩා එහි කන්කලු ගීත කෙරෙහිය. නාට්‍යය අවසානයේ බි. ඒ. ඩබ්ලිව්. නන්දන කීර්ති සොයා ගියේය.

‘මම බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න. අපේ අලුත් චිත්‍රපටය ‘කපටි ආරක්ෂකයා’. මට චිත්‍රපටයේ සින්දු ලියා ගන්න ඕනෑ’.

නන්දන කීර්ති ගීත 14 ක් රචනා කළේය. ඒ සඳහා ඔහුට රුපියල් 300 ක් ලැබී ඇත.

චිත්‍රපටය කපටි ආරක්ෂකයාය. සංගීත අධ්‍යක්ෂවරයා ඉන්දීය ජාතික සී. එන්. පාණ්ඩුරංගන්ය. නන්දන කීර්ති ලියූ ගීතවල ගී තනු අනුකාරක ඒවා විය හැකි යයි පවසන මහාචාර්ය සුනිල් ආරියරත්න මුල්වරට විරිදු පන්තියක් සිංහල චිත්‍රපට ගීත අතරට එක් වී ඇතැයි පවසයි.

මේ චිත්‍රපටයේ ජනප්‍රිය වූ ගීත කිහිපයක් මෙසේය.

‘දුක සැප නිති පෙරළේ

රිය සක ලෙස ලෝකේ’

(ගායනය - ක්‍රිස්ටි ද මැල්)

පින්සර මා - අයියා

පින්සර මාගෙ සෝයුරා - ප්‍රේමෙන් පිදූ ජීවිතේ’

(ගායනය / රුක්මණී දේවි)

ශ්‍රියා දෙනා - ශ්‍රියා දෙනා උදය ගිරේ

රන්වන් මේ අම්බරේ

(ගායනය / රුක්මණී දේවි)

එඩී ජයමාන්න, ජෙමිණි කාන්තා ගයන මේ විරිදු පන්තිය - ‘පරණ කාලෙ අපේ සීයල ආච්චිලත් සමඟ’ එඩී ජයමාන්න ගයන ‘සුපිනගෙ රූපෙ අම්මපා ගින්දර’

ජෙමිණි කාන්තා ගැයූ ‘සෝඩ නොදා විස්කි බ්‍රැන්ඩි’ එඩී හා ජෙමිණි ගැයූ ‘මහ මුහුදේ සුළිය’ නම් නන්දන කීර්තිගේ ජනප්‍රිය ගීතය.

1948 වසරේම තිරගත වූ බී. ඒ. ඩබ්ලිව්. නිෂ්පාදන ‘වැරදුණු කුරුමානම‘ චිත්‍රපටයේ ද පෙර ඉන්දීය සංගීත අධ්‍යක්ෂණය යටතේ ගීත 12 ක් ලිවීමට නන්දන කීර්තිට පැවරිණි. මෙහි එන ගීත අතර රුක්මණී දේවි ගැයූ

‘මෝරනවා ප්‍රේමේ හදේ

නිලම්බරේ තාරපතී සේ හායි හා’

‘ගලා කන්දේනි මතු වෙනා - දොළකී මේ ප්‍රීති ජීවිතේ’

‘ශාන්ත මේ ප්‍රේමේ - ප්‍රේම ගං තීරේ’

(සහය ගායනය - ක්‍රිස්ටි ද මැල්)

‘සැන්දෑවේ . . . සැන්දෑවේ . . .

හිරු දිය ගොඩ ගිනියම් කරලා’

ජෙමිණි කාන්තා ගයන ‘කළු දොදොල් - කළු දොදොල්’ ගීතය ද ජනප්‍රිය වූ ගීතයකි.

මහාචාර්ය ආරියරත්න පවසා ඇත්තේ මේ ගී තනු, ස්වතන්ත්‍ර ද අනුකාරක ද යන්න අවිනිශ්චිත බවය.

අවසන් වරට නන්දන කීර්ති ගීත රචනා කර ඇත්තේ 1949 තිරගත වූ ‘පෙරෙළෙන ඉරණම‘ චිත්‍රපටය සඳහාය. සිංහල සංගීතවේදියකු සිංහල චිත්‍රපටයක සංගීත අධ්‍යක්ෂණය කළ ප්‍රථම අවස්ථාව මෙය විය. සංගීත අධ්‍යක්ෂවරයා බී. එස්. පෙරේරාය. මෙහි එන ගීත 12 කි. ගී තනු ස්වතන්ත්‍ර නොවේ යයි පවසන මහාචාර්ය ආරියරත්න, රුක්මණී දේවි ගයන ‘බැඳලා කාසි බැම්මේ’ තනුව නූර්ජෙහාන්ගේ ගීතයක් බවත්, රුක්මණී දේවි ගැයූ ‘නින්දේදී රාත්‍රි යහනේ’ තනුව නෞෂාද් සංගීතවත් කළ ‘අනෝකි ආදා’ ගීතයෙන් ද එඩී ජයමාන්න ගැයූ ‘නටන්ඩ හිතුණා’ තනුව චල් චල් කෙ නෞ ජවාන්’ ගීය ආශ්‍රයෙන් නිර්මාණය කළ ගීතයක් බව ‘සිංහල චිත්‍රපට ගීතවාලිය’ කෘතියේ දක්වා ඇත.

‘පෙරළෙන ඉරණම‘ චිත්‍රපටයේ ජනප්‍රිය මේ ගීතය ගයා ඇත්තේ රුක්මණී දේවි හා අරුණ ශාන්තිය. ඒ ගීතය ‘ඕළු මලේහි සුදෝ සුදෝ - මාගේ සුදාගේ මුහුණ දෝ’ මේ ගායක යුවළ ගැයූ ‘පාපේ මේ ජීවිතේ විකාර ලෝකයේ’ ගීතයත් ‘හද ආදර ප්‍රේමේ මන්දිරේ’ ගීතයත් රුක්මණී දේවි ගයන ‘බැඳිලා කාසි බැම්මේ’ ගීත ද එදා අතිශයින්ම ජනප්‍රිය වූ බව කියැවේ. ‘මහත්තයා මට හුඟාක් ආදරෙයි. මත්පැන්, සිගරට් බිව්වේ නෑ. එයා ‘ඕළු මලේහි සුදෝ සුදෝ’ ගීතය ලිව්වේ මටලු.

‘ආකාසේ පේනා රිදී තරූ

දිස්නේ දේ දත් මා ප්‍රියාවිගේ’

මේ පද ටික මට මුලින්ම ලියලා පෙන්නුවා.

‘මේකත් ලිව්වේ ඔයාට‘ මහත්තයා හිනා වෙලා කිව්වා.

මහත්තයා අඩු වයසෙන් මැරුණේ 1949 මැයි 08 වෙනිදා. මිය යන කොට එයාගේ වයස අවුුරුදු 31 යි. මම විවාහ වෙන කොට මට වයස අවුරුදු 18 යි. මහත්තයා 1949 ඉන්දියවේ ගිහින් සින්දු ලියලා ගෙදර ආවා. අපේ යාළුවෙකුගේ නිවසක තිබුණ උත්සවයකටත් ගිහින් ආවා. රෑ අමාරු වුණා. කොළඹ මහ රෝහලට අපි අරං ගියා. එදා රෑම මහත්තයා අන්ත්‍රා වුණා.’ තිලකා පියසිලී නන්දන කීර්ති මහත්මිය ශෝකයෙක් කීවාය.

තම පියා ලියූ ගීත හා නාට්‍ය පිටපත් මම සංරක්ෂණය කරලා තියෙනවා. තාත්තා සෝමකාන්තාට ලියූ ‘සාධු දන්ත දා’ ගීතය පසු කලෙක සුජාතා අත්තනායක ගැයුවා. තාත්තගේ ගීත සඳහා මෙතෙක් කිසිම කර්තෘ භාගයක් ලැබී නෑ. ගීත රචකයා හැටියට තාත්තාගේ නමවත් සඳහන් කරන්නේ නැහැ’ යයි දියණිය සර්දාශීලි මහත්මිය අපට කීවාය.

නන්දන කීර්ති මහතා ගැන ‘අප්‍රකට ගීත ලියූ අප්‍රකට ගීත රචකයා’ නම් කුඩා ප්‍රස්තිකාවක් 2000 වසරේ ජනාධිපති සම්මාන උලෙළ නිමිත්තෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න එළි දැක්විණි.

‘ශ්‍රී ලාංකික සිනමාවේ ආරම්භක දශකය තුළ චිත්‍රපට ගීත රචනයට හෙළ කාව්‍ය සම්ප්‍රදායේ ගුණ සුවඳ එක් කළ පී. ඇල්. ජේ. නන්දන කීර්ති ගීත රචකයා පිළිබඳ හැඳින්වීමකි එහි සඳහන්ව තිබුණි.

2000 වසරේ සිට හොඳම ගීත රචනයට පිදෙන ජනාධිපති සම්මානය ‘ජී. ඇල්. ජේ. නන්දන කීර්ති සමරු සම්මානය’ ලෙස නම් කිරීමට එවකට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති තිස්ස අබේසේකර මහතාගේ යෝජනාවකි.

මේ ලිපිය ලිවීමේදී වස්කඩුවේ ගාමිණී ගුණතිලක හා කළුතර සිරි අබේසේකරගේ සිනමා සාහිත්‍ය පිළිබඳ දත්ත ද මහෝපකාරී වූ බව කෘතඥතා පූර්වකව මතක් කරමි.

 

 

 

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්