උත්ප්‍රාසය මුසු වූ යථාර්ථවාදී රූපණ ලීලා

ඔක්තෝබර් 15, 2020

1964 දී ‘එක වහල යට’ නාට්‍යය නිර්මාණය කරමින් නාට්‍යකරණයට බට රංජිත් ධර්මකීර්ති දේශීය නාට්‍ය වංශයට පසුගිය අඩ සියවසකටත් වැඩි කාලය පුරා අමූල්‍ය දායකත්වයක් ලබා දුන් කෘතහස්ත නාට්‍යවේදියෙකි. තම ප්‍රථම නාට්‍යය සේම දැඩි දුෂ්කරතා මධ්‍යයේ ඔහු දෙවැන්න ‘නැංගුරම්’ නමැති නාට්‍යය 1965 දී නිර්මාණය කළේ්්ය. 60 දශකයේ සුගතපාල ද සිල්වා සූරීන්ගේ ප්‍රමුඛත්වයෙන් ස්ථාපිත වූ ලෝක ධර්මී හෙවත් තාත්වික නාට්‍ය සම්ප්‍රදායේ ප්‍රබෝධය රංජිත් කෙරෙහි ද බලපෑ බැව් පෙනේ. එකල දක්නට ලැබුණු නාට්‍ය කණ්ඩායම් අතරට (ජන රංග සභා, නව රංග සභා, අපේ කට්ටිය, කලා පෙළ, 63 කණ්ඩායම, එස් තුනේ කණ්ඩායම) ඔහුගේ දොළොස් දෙනාගේ කණ්ඩායම ද එක් වූ බව අමතක නොකළ යුතුය. යථාර්ථවාදී රංග ක්‍රමවේදය හරහා මිනිස් ජීවිතවල සංකීර්ණත්වය ඉසියුම් ලෙස කුළුගැන්වීමට හේ සමත් වූයේය. ‘එක වහල යට’ ‘නැංගුරම්’ යන රංජිත්ගේ මුල් නාට්‍ය යුගලටම එකල විචාරකයෝ ප්‍රශංසා කළහ.

රංජිත් ධර්මකීර්තිගේ නාට්‍ය අතර ‘මෝදර මෝල’ට හිමි වන්නේ වෙසෙස් ආස්ථානයකි. 1983 දී එයට හොඳම නාට්‍ය පිටපතට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. පරිවර්තන නාට්‍ය ඔස්සේ ද දේශීය නාට්‍ය කලාව සුපෝෂණය කළ ඔහු මීට සමගාමීව ස්වතන්ත්‍ර නාට්‍ය හරහා ද ස්වකීය නිර්මාණශීලී දායකත්වය ලබා දීමට අමතක නොකළේය. ‘මෝදර මෝල’ වූ කලී තත්කාලීීන සමාජ, ආර්ථික ප්‍රවණතා සියුම් ලෙස විග‍්‍රහ කළ නාට්‍යයකි. අනෙක් අතට ‘මෝදර මෝල’ වේදිකාවට පැමිණියේ විදෙස් පරිවර්තන හා අනුවර්තන නාට්‍ය බාහුල්‍යයක් වේදිකාවේ දක්නා ලැබුණු සමයකය. එහෙයින් මෙරට නාට්‍යවේදින්ගේ, විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ අවධානය යළිත් ස්වතන්ත්‍ර නාට්‍ය කෙරෙහි යොමු කිරීමට ‘මෝදර මෝල’ නාට්‍යය සිදු කළ බලපෑම සුළුපටු නැත. එකල වේදිකාවේ පැහැදිලි ප්‍රවණතා ත්‍රයක් දිස් විය. ශූර නාට්‍යවේදීහු ගැඹුරු දේශපාලන ප්‍රස්තුත පාදක කොටගෙන නාට්‍ය තැනූහ. මේ අතර ඇතැම් නාට්‍යවේදීන්ගේ නාට්‍ය ඔස්සේ දිස් වූයේ හුදෙක් දේශපාලනික ප්‍රචාරාත්මක සටන් පාඨය. මේ පසුබිමෙහි සමහර නාට්‍යවේදීහු තම නාට්‍ය උදෙසා දේශපාලන ප්‍රශ්න පාදක කොට ගැනීම සපුරාම ප්‍රතික්ෂේප කළහ. මේ අතර වේදිකාවට ආ ‘මෝදර මෝල’ සෞන්දර්යාත්මක ප්‍රවේශයකින් සමාජ යථාර්ථය ඉසියුම් ලෙස විවරණය කළ නාට්‍යයක් විය. ‘මෝදර මෝල’ හි රංගනයෙන් දායක වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් මේ අරභයා මෙසේ ලියූහ. (සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය - පිට 261).

‘මෝදර මෝල රූපණය අතිශය යථාර්ථවත් තාත්ත්වික ශෛලියක් නියෝජනය කරයි. ලෝක ධර්මී නියාමයන්ට අනුකූලව සෑම චරිතයක්ම එදිනෙදා ජීවිතය ප්‍රකාශ වන පරිද්දෙන් රංගන කාර්යයේ යෙදෙයි. සංවාද උසුරුව, ගමන බිමන, ඇවතුම් පැවතුම් සියල්ල යථානුරූපීය.’

‘මෝදර මෝල’ ධනපති හා කම්කරු ගැටුම කුළුගැන් වූ සමාජවාදී දෘෂ්්ටියකින් හෙබි නාට්‍යයකි. මෙහි මෝල් හිමි ලක්දාසගේ චරිතය නිරූපණය කළේ රංජිත් යායින්නය. ඔහුගේ බිරිය හාමිනේගේ භූමිකාව මැණිකේ අත්තනායක රැඟුවාය. විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන ඔවුන්ගේ දියණිය ලෙස රැඟුවේ මල්කාන්ති ජයසිංහය. හුදෙක් ලාභ ඉපයීමේ ආශාවෙන් මඩනා ලද ඔහු කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකමින් තම ලාභය උපරිමයෙන් තර කොට ගැනීමට වෙර දරන අයුරු මෙහිදී දැක්ක හැකිය. අවසන මෝලේ කම්කරුවෝ ඊට එරෙහිව නැඟී සිටිත්. මෙය එක් අතකින් වැඩවසම් සමාජ සබඳතා සහ ධනේශ්වර සමාජ සබඳතා අතර ගැටුමකි.

මැණිකේ අත්තනායකගේ භූමිකා නිරූපණ අතර සුනිල් චන්ද්‍රසිරිගේ ‘නිශ්ශබ්ද වෙනු’ නාට්‍යය ද කැපී පෙනේ. ඉන්දීය ජාතික නාට්‍යවේදියකු වූ මහේෂ් එල්කුන්ච්චාර්ගේ 'Pratibimb' (Reflection) (1987) නම් වූ මරාති නාට්‍යයේ සිංහල පරිවර්තනයක් වූ මෙහි එච්. ඒ. පෙරේරා, මැණිකේ අත්තනායක, ශ්‍රීනාත් මද්දුමගේ හා අනෝමා ජනාදරී ප්‍රධාන චරිත රැඟුහ. මේ නාට්‍යය උදෙසා රාජ්‍ය නාට්‍ය උලෙළේ ජූරියේ විශේෂ ඇගැයුම හිමි විය. ‘කැඩපතෙන් බැලූ කල්හී ඉන් සැබෑ ප්‍රතිරූපය නොපෙනේ’ යන දෘෂ්ටිය මේ නාට්‍යයෙන් කුළුගැන් වූ අතර හුදෙකලා ගැහැනියකගේ අධ්‍යාත්මය මැණිකේ රැඟූ භූමිකාවෙන් හෙළි වේ.

‘කැලණි පාලම’ (1978) ආර්. ආර්. සමරකෝන් සූරීන්ගේ ප්‍රශස්ත නාට්‍යය මතු නොව යථාර්ථවාදී නාට්‍ය සම්ප්‍රදායේ අග්‍ර ඵලයක් ද වේ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නාට්‍යය සමඟ සමරකෝන්ගේ ‘කැලණි පාලම‘ තුලනය කළ මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන ‘ප්‍රතිවිරුද්ධ රංග ශෛලීන් දෙකකින් මතු නොව හැම අතින්ම ප්‍රතිවිරුද්ධ ලක්ෂණවලින් යුත් මේ නාට්‍ය යුගල දාරක ප්‍රේමය හේතු කොට ව්‍යසනයට පත් වන පියවරුන්ගෙන් කෙළවර වන සනාතන පිය පුතු ගැටුම පිළිබඳ දෙවිදියක අර්ථකථන සපයන’ බැව් පෙන්වා දේ.

‘කැලණි පාලම’ අරභයා එදා ප්‍රවීණ නාට්‍යවේදී බන්දුල ජයවර්ධනයෝ මෙසේ පැවසූහ.

‘දේශපාලන තේමාවක් රැගත් උසස්ම නාට්‍ය කෘතිය මෙය වේ. එහි අති නාට්‍යමය අවසානය නොවන්නට පරිපූර්ණ කලා කෘතියක් වනු නිසැකයි.’

ස්වභාව ධර්මයෙන් මතු නොව සමාජ ආර්ථික පීඩනයෙන්, දරිද්‍රතාවයෙන් බැට කන කැලණි පාලම අසබඩ කීර කොටු පැල්පත්වාසීන්ගේ ඛේදජනක ජීවන අරගලය මීට වස්තු විෂය වේ. ඔවුන්ගේ ජීවිත දෙස නාට්‍යවේදියා හෙළන සානුකම්පිත ජීවන දෘෂ්ටිය හේතු කොට මෙමඟින් ප්‍රේක්ෂක මනසට පහන් සංවේගයක් ජනිත කෙරිණ. මෙහි තියුණු නාට්‍යෝචිත අවස්ථා හා උත්ප්‍රාසය කුළුගැන්වෙනුයේ ප්‍රබල සංවාද හේතු කොටගෙනය. මේ නිසා සමරකෝන් සිංහල නාට්‍ය කලාවේ හොඳම දෙබස් රචකයා බවට සැකයක් නොමැති බව ආචාර්ය ගුණදාස අමරසේකරයෝ වරක් පැවසූහ. ‘කැලණි පාලම‘ ඔස්සේ ප්‍රාබල්‍යයෙන් ඉස්මතු වූ නිළි ප්‍රතිරූප ත්‍රිත්වයකි. මෙහි මැටිල්ඩා ලෙස රඟන රම්‍යා වනිගසේකර, රූපවතී ලෙස රඟන මැණිකේ අත්තනායක සහ ලැයිසා ලෙස රඟන පද්මිණී දිවිතුරුගම මේ නිළි ත්‍රිත්වය වෙති. ‘කැලණි පාලම’ නාට්‍යය සමරකෝන් ඇරැඹීමට පූර්වයෙන් වත්මන් කැලණි පාලම තැනීමට පෙර තිබූ පැරැණි කැලණි පාලම උඩට මෙහි නළු නිළියන් කැටුව ගොස් එතැන සිට පෙනෙන කීර කොටු පැල්පත්වාසීන්ගේ පැල්පත් පෙන්වා ඔවුන්ගේ ජීවිත පිළිබඳ විග්‍රහ කළේය. මෙහි රූපවතී ලෙස රඟන මැණිකේ අත්තනායක සහ මෙම්බර් ලෙස රඟන ජේ. එච්. ජයවර්ධන අතර උත්ප්‍රාසය දනවන සංවාදයක් මේය.

මැම්බර් - පුදුමයිනෙ මේ ළමයා මෙච්චර කල් මට මුණ ගැහුණෙ නැති එක. කොහෙද පදිංචිය?

රූපවතී - කීර කොටුවෙ.

මැම්බර් - බඳින්න ඉස්සර?

රූපවතී - සේදවත්තේ.

මැම්බර් - සේදවත්තෙ කොහෙද?

රූපවතී - බස් ස්ටෑන්ඩ් එක ගාව.

මැම්බර් - අර වම් පැත්තට දෙවටයක් තියෙන්නේ මෙහෙ ඉඳං යන කොට.

රූපවතී - අන්න හරි. ඒ දෙවට දිගේ ගියාම හම්බ වෙන අන්තිම ගේ.

මැම්බර් - වෙන්න බෑනෙ. මම නොදන්න කාණුවක් බෝක්කුවක් කොහෙන්ද ඒ පළාතේ’

යථෝක්ත සංවාදයේ උත්ප්‍රාසයට ව්‍යංග්‍යාර්ථයට ප්‍රේක්ෂකයෝ සිනාසුණාහ. මැණිකේ අත්තනායක රංගන ශිල්පිනිය වරක් මට පැවසුවේ මුල්වරට රඟන විට මේ දෙබසට ප්‍රේක්ෂකයන් සිනාසෙන්නේ මන්දැයි තමාට නොවැටහුණු බවත් ඒ ගැන සමරකෝන් මහතාගෙන් විමැසූ බවත්ය. ‘ආ ඒක ඔබතුමියට පසුව තේරෙයි’ සමරකෝන් මහතා පැවසුවේ එපමණකි.

රම්‍යා වනිගසේකර මෙහි මැටිල්ඩා ලෙස කළ ශූර චරිත නිරූපණය මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැ වී ඇත. චුට්ටේගේ (නීල් අලස්) බිරිය ලෙසත් සරණපාලගේ (සිරිල් ධර්මවර්ධන) මව ලෙසත් මෙහි ප්‍රධාන නිළි චරිතය නිරූපණය කළේ ඇයයි. මෙහි නීල් අලස්ගේ සහ රම්‍යා වනිගසේකරගේ ශුර රඟපෑම් සුප්‍රකට විචාරක පිලිප් කුරේ (ඉභදඤචර ර්‍ණඡඵඥපමඥප - 1978 - 10 - 29) මෙලෙස ඇගැයුමට ලක් කළේය.

“Using this basic plot helped by superb allround acting with two marvellous performances by Neil Alles and Ramya Wanigasekara as “chutte’s wife’’, Samarakoon’s play with its brilliant use of dialogue realistic, sarcastic, humorous, vulgur, politically witty - makers a shattering impact on the audience’

 

ඉතිරි කොටස ලබන සතියේ...