රසික සූරතාන්තය බිඳවන තමිල්නාඩු මුල් පුටු හටන

ඔක්තෝබර් 29, 2020

වසර කිහිපයකට පෙර තමිල්නාඩුවේ වෙසෙන මාගේ ඉන්දීය මිතුරෙක් සමඟ මට යම් දේශපාලන සංවාදයකට මුල පිරීමට හැකි විය. බොහෝ කරුණු හුවමාරු වූ පසු මා ඔහුගෙන් ඇසුවේ රජිනි කාන්ත් හට සාර්ථකව තමිල්නාඩු මහා ඇමති අසුන ජයගත හැකිද යන්නයි. ඔහුගේ පිළිතුර වූයේ කාට වුනත් තමිල්නාඩුවේ ප්‍රශ්න විසඳන එක ලෙහෙසි නැහැ.

 

ඉන්දීය සිනමාවේ උන්මාදනීය රසිකත්වය හිමි තමිල්නාඩුවේ මහා ඇමති සටන ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ තවත් මාස කිහිපයකි. 2021 මැයි මස බොහෝ දුරට මෙකී මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇත. මේ සඳහා ජයලලිතා ජෙයරාම් නියෝජනය කළ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය සහ මුත්තුවේල් කරුණානිධි නියෝජනය කළ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය මේ වන විටත් ලබන වසර සඳහා සූදානම් වනවා. ඒ පසුගිය දශක කිහිපය පුරා 'අම්මා' යනුවෙන් හැඳීන්වූත් 'ද්‍රවිඩ විමුක්තිදායකයෙක්' ලෙස හැඳීන්වූත් ජයලලිතා කරුණානිධි දෙපළ නොමැති පළමු මැතිවරණය ජය ගන්නට පිඹුරු පත් සකසමින්. පී පලනිස්වාමි ජයලලිතා පාර්ශවයෙන් මහා ඇමති සටනට පිවිසෙන බව කල් ඇතිව කීවත් කරුණානිධි පාර්ශවයෙන් තවමත් එවැනි නිවේදනයක් නිකුත් කර නැහැ. නමුත් බොහෝ විට එය මේ මොහොතේත් පක්ෂය දුවවන කරුණානිධි පුත්‍රයා වන එම්. කේ ස්ටාලින් බවට සැක හැරම නිවේදනය විය හැකියි. එමෙන්ම සිනමාවට සම්බන්ධ නොමැති මහා ඇමති පුටුවට තියුණු සටනක් දෙන අපේක්ෂකයන් දෙදෙනෙක් තමිල්නාඩුවට බිහිවෙන්නේත් දශක දෙකකට පමණ පසුවය.

 

ඒ තමිල්නාඩු දේශපාලන පිටිය දැන් පෙනෙන ආකාරයයි. නමුත් ඉදිරි මාස 6ක කාලය සඳහා දේශපාලන පුවත් උණුසුම් කිරීමට අපේක්ෂකයෙක් වැනි අයෙක් දැනටම සිටී. ඒ ආසියාවේ ඉහළම මිලක් අය කරන, පද්ම විභූෂන් තලෙයිවා ගරු නම් ලත්, සුපිරි නළු ධනූෂ්ගේ මාමණ්ඩිය වන, කර්නාටකයෙන් තමිල්නාඩු පැමිණි, සුපිරි තරු රජිනි කාන්ත්. මේ උන්මාදනීය චරිතයේ දේශපාලන ආගමනය ලාංකේය ප්‍රේක්ෂකයාට ඇසට කනට නුහුරු වුණත් තමිල්නාඩු වැසියන්ට එතරම් නුහුරු කරුණක් නොවෙයි. රජිනිගේ දේශපාලන තතු ඔහුගේ ප්‍රකාශවලින් සහ ඕපාදූපවලින් එළියට එද්දී ඔහු ගැන වාර්තා වුණු නවතම පුවත දේශපාලන එකක් නොවේ.

 

රජිනි කාන්ත් සතු ව්‍යාපාරයක් වන චෙන්නායි හි රාගවේන්ද්‍ර කල්‍යාන මණ්ඩපම් නම් මංගල උත්සව ශාලාව වෙත ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් ලක්ෂ 6.5 ක දේපල මත පැනවෙන බද්දක් නියම කළ අතර මාර්තු මස සිට එකම මංගල්‍යයක් හෝ නොමැතිව වසා දමා තිබූ ව්‍යාපාරයට මෙසේ බදු පැනවීම අසාධාරණ යැයි පවසමින් රජිනි තමිල්නාඩු මහාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කළා. ඒ අනුව කරුණු සලකා බලා රජිනිට දැන්වූයේ ඔහුට වාසි සහගත තීරණයක් නොවෙයි. මෙහි නඩුවක් නොමැති බවත් අධිකරණයේ කාලය නාස්ති නොකරන ලෙසත් අධිකරණය රජිනිට දන්වා තිබුණා. මේ සිද්ධියත් සමඟ අන්තර්ජාලයේ විවිධ මත පළවුණු අතර දහස් ගණන් පිරිසට වසංගතය හේතුවෙන් රැකියා පවා අහිමි වූ වේලාවක බිලියනපතියන් මෙසේ හැසිරීම හරිද යන්න ඔහුට චෝදනා එල්ල වුණා. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයකින් රජිනි පැවසුවේ තමන් ඊට කණගාටු වන බවත් මේ සම්බන්ධයෙන් තමන් හට බදු දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමට තිබූ බවත්ය.

 

ඒ කෙසේ වෙතත් සිනමාවේ සිට දේශපාලනයට සංක්‍රමණය වන ඡන්ද අපේක්ෂකයන්ගෙන් මෙන්ම අටෝපචාරී රසික ප්‍රජාවන්ගේ අඩුවක් නොවන තමිල්නාඩුවට රජිනි මේ මොහොතේත් හිස්තැනකි. නමුත් රජිනිගේ දේශපාලන භාවිතාවන් ප්‍රකාශ වූයේ අද ඊයෙක නොවෙයි. ඔහු කරුණානිධිගේ ඩී එම් කේ පක්ෂයට හිතවත් බව හැඟෙන ප්‍රකාශ 90 දශකයේ බොහෝ තිබුණි. 1996 මැතිවරණයේදී ඔහු ඡන්දදායකයන් හට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ' ජයලලිතාට ඡන්දය දුනහොත් මේ වතාවේදී දෙවියන්ටවත් අපව බේරා ගත නොහැකියි ' යන්නයි. මේ ප්‍රකාශය තමිල්නාඩුව සෙලවීමට තරම් සමත් වුණු අතර අවසානයේදී කරුණානිධි මහා ඇමතිවරයා බවටද පත් විය. මෙවැනි ප්‍රකාශ හරහා ඔහු නියත දේශපාලන තරුවක් වන බවට මත පළවුණත් 1995 ප්‍රකාශය යතාර්ථයක් නොවුණි. 95' ප්‍රකාශය කුමක්ද? ඒ සියලු රට්ටුන්ගේ කතා මැද අදටත් වලංගු ප්‍රකාශයයි. ' මම කවදා කෙසේ දේශපාලනයට එනවා දැයි මම නොදනිමි. නමුත් මම නිවැරදි අවස්ථාවේ දේශපාලනයට එමි '.

 

1995 සිට එන රජිනි කාන්ත් රසික විලිරුදාවේ තවත් අවස්ථාවක් එළඹුණේ 1998 ඉන්දීය මහා මැතිවරණයේදී කරුණානිධි පාර්ශවය වෙනුවෙන් සහාය දීමට ඔහු වක්‍ර දායකත්වයක් ලබා දී තිබූ නිසාය. එම මැතිවරණයේදී ජයක් අත්පත් කර ගැනීමට කරුණානිධි පාර්ශවය අසමත් වීමෙන් අනතුරුව රජිනි කාන්ත් කලක් ගත කරන්නේ දේශපාලන නොනගතයකට හසු වෙමිනි.

 

වසර කිහිපයකට පෙර තමිල්නාඩුවේ වෙසෙන මාගේ ඉන්දීය මිතුරෙක් සමඟ මට යම් දේශපාලන සංවාදයකට මුලපිරීමට හැකි විය. බොහෝ කරුණු හුවමාරු වූ පසු මා ඔහුගෙන් ඇසුවේ රජිනි කාන්ත් හට සාර්ථකව තමිල්නාඩු මහා ඇමති අසුන ජයගත හැකිද යන්නයි. ඔහුගේ පිළිතුර වූයේ කාට වුණත් තමිල්නාඩුවේ ප්‍රශ්න විසඳන එක ලෙහෙසි නැහැ. රජිනි එනවා නම් ඔහුට සිද්ද වෙනවා තමිල්නාඩුවේ පාරම්පරික වතුර ප්‍රශ්නය විසඳන්න. අනික ඉන්දියාවේ ගව රේස් තහනම්. නමුත් තමිල්නාඩුවේ ගව රේස් කියන්නේ පැරණි සංස්කෘතික අංගයක්. මේ කාරණා දෙක විසඳන එක ඔහුට කරන්නම වෙනවා.

 

ඔහු කියූ කාරණය වඩාත් ඔප්පු වන්නේ 2002 දී කාවේරි ගඟේ ජල ප්‍රශ්නයට රජිනි මැදිහත් වූ ආකාරය දෙස බලන විටයි. තමිල්නාඩුවේ ජල හිඟයේ ඉතිහාසය සියවස්ම කිහිපයක් ඉතිහාසයට දිවයන්නක්. කාවේරි ගඟේ ජලය බෙදා ගැනීමේ නීති ප්‍රශ්නයකට දශක ගණනාවක් තිස්සේ අසල්වැසි ප්‍රාන්ත සමඟ සටන් කරන අතරතුර වැසි නොලැබීමෙන් තමිල්නාඩුව අසරණ විය. එවැනි තත්වයක් මත ජලය වෙනුවෙන් මහජන පෙළගැස්මක් අවශ්‍ය බව ප්‍රකාශ කළේ රජිනි ය. එසමඟම ඔහු ප්‍රකාශ කළේ මෙතුළින් තමාට දේශපාලඥයෙක් වීමට අභිලාෂයක් නොමැති බවයි. 2004 ඉන්දීය මහා මැතිවරණයේදී ඔහු දේශපාලන කරණමක් ගසන්නේ කවුරුත් නොසිතූ පරිදියි. ඒ එතෙක් ඔහු දේශපාලනිකව කිට්ටුවෙන් ඇසුරු කළ කරුණානිධි පාර්ශවය අතහැර ජයලලිතා - භාරතීය ජනතා පක්ෂ සන්ධානයට සහාය පළ කිරීමට ගත් තීරණය සමඟයි. 2004 දී එම තීරණය රසික සූරතාන්තයකට නොගොස් නැවතුණේ තමන් මෙම තීරණයට එළඹුණේ ජයලලිතා කෙරෙහි ඇති වූ ගෞරවයකට නොව භාරතීය ජනතා පක්ෂ රජය කාවේරි ගඟේ ජල ගැටළුව විසඳා දේවි යැයි තිබෙන බලාපොරොත්තුව නිසා බව ප්‍රසිද්ධියේ කීම නිසාය.

 

2004 න් පසු වසර 10ක් 2014 තෙක් යළිත් දේශපාලන නොනගතයකට හසුවන රජිනිගේ නම යළිත් ගෑවෙන්නේ නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ විගසයි. එහිදී රජිනි මෝඩිට සුබ පතා තිබූ අතර මෝඩි පසු අවස්ථා කිහිපයකම කියා සිටියේ රජිනි තමාගේ හොඳ මිත්‍රයෙක් බවයි. 2016 දී ජයලලිතා හදිසි අසනීප තත්වයක් මත අභාවප්‍රාප්ත වන්නේ 68 වැනි වියේදීය. ඒ වන විටත් කරුණානිධි තම ජිවිතයේ අවසන් භාගය ගෙවමින් සිටියේය. දේශපාලන සූරතාන්ත සැපයීමේ රජිනිගේ ඊළඟ පියවර වූයේ 2017 දෙසැම්බර් 31 වනදා දහවල් සුදු වතින් සැරසී රසික හමුවක් අමතමින් තමා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව ප්‍රකාශ කිරීමයි. සම්ප්‍රදායක දේශපාලනය දිනෙන් දින පහලට ඇද දමන තමිල්නාඩුව සඳහා නව දැක්මක් අවශ්‍ය බවත් ඒ දැක්ම සඳහා තමා සූදානම් බවත් 2021 ප්‍රාන්ත මැතිවරණය සඳහා තමන් පක්ෂයක් පිහිටුවන බවත් ඒ ආරංචිය ගම් දනවු සිසාරා පතුරුවන ලෙස රසික ප්‍රජාවගෙන් ඉල්ලා සිටීමත් එහිදී සිදු වුණා.

 

මෙම ආරංචිය තමිල්නාඩුව මොහොතකට හෙල්ලුම් කෑ සිද්ධියක් වූ අතර දේශපාලන විචාරකයන් රජිනිගේ දේශපාලන තීරණය කිරා මැන බලන්නට යෙදුණා. කරුණානිධිගේ මරණයත් සමඟින් ඔහේ ගෙවී ගිය 2018 වසර අවසානයේදී නැවතත් රසික කුකුස දැල්වුණේ ඉන්දීය මහා මැතිවරණය සඳහා රජිනි කුමක් කරයිද යන්නයි. විවිධ දේශපාලන හැල හැප්පිලි මැද නරේන්ද්‍ර මෝඩි සිය දෙවන ධූර කාලය සඳහා සූදානම් වෙත්දී රජිනිගේ තීරණය වූයේ 2019 මැතිවරණය සඳහා තමන් තරඟ නොකරන බවත් කිසිම පක්ෂයක් සඳහා සෘජුව හෝ වක්‍රව සහාය නොදෙන බවත්ය.

 

මේ අතර වාරයේ රජිනිගේ චිත්‍රපට දෙකක් සූදානම් වෙමින් තිබුණි. ඒ පේට්ට සහ දර්බාර් චිත්‍රපට දෙකයි. මේවා ඉතාම ආකර්ෂණීය හැඩයන් දෙකක් රජිනි වෙනුවෙන් මවා තිබුණි. 2019 දී 'පේට්ට' තිරගත වුණු අතර 2020 දී 'දර්බාර්' තිරගත විය. විචාරක මත සහ ආදායම් වාර්තා කෙසේ වුවද එම චිත්‍රපට දෙක ඉදිරි කටයුතු සඳහා රජිනිගේ දිස්නය නොමැකී තබා ගන්නට සමත් විය. මේ අතර රජිනි ලෝකයේ සුප්‍රකට දුෂ්කර පරිසරවල ක්‍රියාදාම වල යෙදෙන බෙයාර් ග්‍රිල්ස් සමඟ මහා කැලයක තනි වුණේ විනාඩි 40ක වාර්තා වැඩසටහනක් සඳහාය. ඉන් ටු ද වයිල්ඩ් නම් ඩිස්කවරි නාලිකාවෙන් විකාශය වූ එම වැඩසටහනට ඉන් පෙර බෙයාර්ගේ අමුත්තා වූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ය. මාර්තු 23 වනදා රජිනිගේ වැඩසටහනට දින නියම වූ නමුත් තමිල්නාඩුව පුරාම මේ වැඩසටහනට සුබ පැතුම් එක් වූයේ පෙබරවාරියේ සිටය. විවිධ ගායනා විවිධ නැටුම් සමාජ මාධ්‍යවල ට්‍රෙන්ඩින් වූයේ රජිනිට සුබ පතමිනි.

 

රජිනිගේ සූරතාන්ත දේශපාලනය යළි පටන් ගැනුනේ වැඩසටහනට දින ළං වෙද්දීය. එහිදී ඔහු තමන් විකල්පයේ දේශපාලනයේ නියැලෙන බවත් තරුණ පරපුර දේශපාලනයේ ඉහළ තනතුරු වෙනුවෙන් ගෙන ඒමේ වගකීමට තමන් උර දෙන බවත් මැතිවරණයට තරඟ කළද මහා අමාත්‍ය තනතුර තමන් අපේක්ෂා නොකරන බවත් ප්‍රකාශ කළා. රජිනිගේ අනාගතවාදී ප්‍රගතිශීලී ප්‍රකාශ විශ්වාස කරමින් රසිකයා තවත් කලක් බලා සිටි අතර පසුගියදා එක් විටම තමිල්නාඩුව පුරා ආරංචි පැතිර ගියේ වසර කිහිපයක් තිස්සේ කල් ගත කළ රජිනි පක්ෂය නොවැම්බර් මස පිහිටුවන බවකි. ගත වූයේ පැය කිහිපයකි. රජිනිගේ රසික සංගමය මෙම ආරංචිය කටකතාවක් සේ සලකා ප්‍රතික්ෂේප කළේ රසික සූරතාන්තය අඩියට බස්වමිනි.

 

මැතිවරණයේ ජය ලැබීමට නම් ආසන 234 ක් සඳහා තරග කළ යුතු වේ. මේ වන විට තරගයේ වැඩි වාසිය කරුණානිධි පුත්‍ර ස්ටාලින් වෙත හිමිව තිබෙනවා. එමෙන්ම එය එසේ සිදුවුණහොත් අනාගතයේ දවසක තවත් නළුවෙක්ට මහා ඇමති පුටුවේ වාඩි ගන්නට වරම් ලැබේ. ඒ කරුණානිධිගේ මුනුබුරු උදයනිධි ස්ටාලින්. එය පමා කරන්නේ නම් පමා කළ හැක්කේ රජිනිගේ දේශපාලන ව්‍යාපාරයකටය. මන්ද ජයලලිතා පාර්ශවයද මේ වෙද්දී දෙකඩ වී ඇති නිසාය.

 

ලබන වසරේ රජිනිගේ නවතම චිත්‍රපටය එළි දක්වන්නට නියමිතය. ඒ 'අන්නාත්ත'. මෙය නිෂ්පාදනය කරන්නේ සන් ටීවී ව්‍යාපාරය හිමි රජිනිගේ සාර්ථකම චිත්‍රපට කිහිපයක නිෂ්පාදක වූ කලෙයිනිධි මාරන්. දර්බාර් හි නිෂ්පාදකයා ඔහුය. දර්බාර් වෙනුවෙන් රජිනිගේ අය කිරීම ඉන්දීය රුපියල් කෝටි 118 කි. මාරන් පසුගිය දිනෙක රජිනිගේ නිවසට ගොස් තමන්ට ගෙවිය හැක්කේ කෝටි 58ක් යැයි අයැදිමින් කීවේය. රජිනි එයට හා කීවේය. රසිකයෝ සලකන විදිහ විටෙක කාලගුණය වාගේය.

 

------------------

2020/11/05

මෙහෙම වුණානම් වඩාත් නිවැරැදියි
 
'රසික සූරතාන්තය බිඳවන තමිල්නාඩු මුල් පුටු හටන' මැයෙන් ඔක්තෝබර් 29 බ්‍රහස්පතින්දා පිටු 22 හා 23 හි පළවූ ලිපියේ කොටසක් නිවැරදි කිරීමයි.
 
එහි පළවූ රජිනි කාන්ත් ගේ දර්බාර් චිත්‍රපටයේ නිෂ්පාදකයා වූ කලෙයිනිධි මාරන් දර්බාර් වෙනුවෙන් වූ රජිනිගේ ගාස්තුව ඉන්දීය රුපියල් කෝටි 58 දක්වා අඩු කරගෙන ඇත යන අදහස මෙසේ නිවැරදි විය යුතුය.
දර්බාර් චිත්‍රපටයේ නිෂ්පාදක වූයේ ලයිකා නිෂ්පාදන වෙනුවෙන් අලියරාජා සුබාස්කරන්. එහි චන්ද්‍රිකා විකාශන අයිතිය ලබා ගෙන ඇත්තේ සන් ටීවී වෙනුවෙන් කලෙයිනිධි මාරන්. චිත්‍රපටය තමිල්නාඩුවේ පෙන්වූ අදායම් අසාර්ථකත්වය නිසා කලෙයිනිධි මාරන් රජිනිගෙන් අඩු කරගෙන ඇත්තේ ඔහුගේ චිත්‍රපටය සඳහා වන ගාස්තුවයි.     
                
 -ෂෙනාල් එරාන් ජයසේකර-