ටෙලිනාට්‍ය කලාවේ “කුමාරයාණෙනි” සමුගැනීමට අවසරයි !

නොවැම්බර් 19, 2020

සිඩ්නි චන්ද්‍රසේකරව මට කවදාවත් මුණගැහිලා නෑ. ඒත් පොඩි කාලේ ඉඳලාම සිඩ්නිව මං ටීවි එකෙන් දැක්කා. සිඩ්නිගේ රූපය විතරක්ම නෙවෙයි, සිඩ්නි කියන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයාව, සිඩ්නි කියන ප්‍රෝග්‍රෑම් ප්‍රඩියුසර්ව, සිඩ්නි කියන ගී පද රචකයාව, සිඩ්නි කියන වෙනස් ටෙලිවිෂන්කාරයාව, කාලෙන් කාලෙට මට දකින්න ලැබුණා. පහුගිය සෙනසුරාදා උදේ ෆේස්බුක් නිව්ස් ෆීඩ් එක පුරා සිඩ්නි යන්න ගිහිං කියන දේ පේන්න තියෙනකොට, ළඟ ළඟම ඉඳලත් හැබැහින් මුණනොගැහුණු මනුස්සයෙක් කරපු දේවල් ජීවිත කාලයක් තිස්සේ මට දකින්න ලැබුණු හැටි මතක් වෙන්න ගත්තා.

සිඩ්නි කියන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ගැන මට ඉතා කුඩා කාලේ ඉඳලා මතකය තියෙනවා. විශේෂයෙන්ම සිඩ්නි ඩිරෙක්ට් කරපු කතාවල ගීතය සහ ටෙලිනාට්‍යය කියන දෙක එකට මික්ස් කරගන්න කරපු එක්ස්පෙරිමන්ට්ස්වලට, පොඩි කාලේ ඉඳලාම නොදැනීම මගේ හිතේ ලොකු ආසාවක් තිබ්බා. ඒ වගේම ඔළුවට ප්‍රින්ට් කළා වගේ ඒ සින්දු අදටත් මතකයේ තියෙන ලස්සනම තීම් සෝන්ග්ස්. 'නිදිකුම්බා මල්' තීම් සෝන්ග් එක මගේ පර්සනල් ෆේවරිට් නිර්මාණයක්.

ඒක ලංකාවේ මියුසික් ෆීල්ඩ් එක පැත්තෙන් ගත්තත් බොහොම සුවිශේෂී නිර්මාණයක්, මොකද ඒක මියුසික් කළේ ක්ලැරන්ස් විජේවර්ධන, ගායනා කළේ අමරදේව සූරීන්. ලෙජන්ඩරි දෙන්නෙක්ගේ එකම කලැබ් එක. 'සසර ගෙවා යන' සිංදුවේ ඉන්ටලූඩ් එකම මට ඇති පාලිත සිල්වාගෙයි නිල්මිණි තෙන්නකෝන්ගෙයි විෂුවල්ස් ඔලුවේ මැවෙන්න. 'ඈත එපිට හිම කන්දෙන්' සින්දුව තිබුණෙත් 'නිදිකුම්බා මල්' ටෙලිඩ්‍රාමා එකේ. අපි F.R.I.E.N.D.S, Fresh Prince of Bel Air, The Big Bang Theory  වගේ ලොකු ටෙලි සීරීස්, ෆිල්ම් ස්ටුඩියෝ ඇතුළේ කරපු හැටි අදටත් බලනවා. 'නිදිකුම්බා මල්' කියන්නේ අලුතෙන්ම සෙට් හදලා, රූපවාහිනි ස්ටුඩියෝ එකක් ඇතුළේ වැඩි ෂූටිං ප්‍රමාණයක් සිද්ධ කරපු පළවෙනි ලංකන් ටෙලිඩ්‍රාමා එක.

ඒක හිට් වෙනවත් එක්කම, ඒ හැඩයෙන්ම කතාවක් මිනිස්සුන්ට අවශ්‍ය වුණු නිසා සිඩ්නි 'කුමාරයාණෙනි' හැදුවා. බේස් වුණේ ජනක රත්නායකගේ 'කුමාරයාණෙනි' චිත්‍රකතාව. දැන් පොතක් විදිහට ගන්නත් තියෙනවා. 'කුමාරයාණෙනි' එකේ තීම් සෝන්ග් එක, අමරසිරි පීරිස් මහත්මයා කියන 'අත්වැල ගිලිහී ලොව තනි වූ දා' සින්දුවේ, "අත්වැල ගිලිහී..." කියන වචන දෙක විතරක් ඇහුණත් ඇති, තියෙන වැඩ ඔක්කොම නවත්තලා ඒ සින්දුවට හිත යන්න. හැන්දෑවක ඈත ක්ෂිතිජයෙන් ඉර බැහැගෙන යන ෂොට් එකක් මැද්දෙන් ටර්ක්විස් පාටට අකුරු මතුවෙනවා. ඒ තරමට ඒවා මතකයේ රැඳුණා. අද කාලේ කී කරනවා කියන එක ලේසි වැඩක්.

ඒත් 93 වගේ කාලෙක සිඩ්නි ඒක අඩු ෆැසිලිටීස් යටතේ ට්‍රයි කළා. ලෙස්ලි ප්‍රනාන්දු කියන 'දුර ඈත ආකාසේ' සින්දුවේ රවින්ද්‍ර රන්දෙනියව ඇලඩින් වගේ අන්දලා, කාපට් එකක පා කරලා යවලා, මැද්දෙන් ලා තණකොළපෙත්තාස්, පිස්සු පූසා විෂුවල්ස් දාලා වෙනස් වැඩ කළා. ඒ කාලේ හැටියට විස්වකර්ම එක්ස්පෙරිමන්ට්ස්. 'නිදිකුම්බා මල්', 'කුමාරයාණෙනි' කතා දෙකේම එපිසෝඩ්ස් පොඩ්ඩයි. ඒ වගේම ලස්සනයි.

සිඩ්නි කළා 'සමුද්‍ර ඡායා' කියලා ටෙලිඩ්‍රාමා එකක්. ශූට් කරලා කාලයක් ගියාට පස්සේ තමයි ටෙලිකාස්ට් වුණේ. කමල්, රොජර්, යශෝධා රඟපෑවේ. ඒකේ රවින්ද්‍ර යසස් හිටියා සීසර් කියලා සර්වන්‍ට් කෙනෙක්ට. එයා සීසර් නිසා වයිෆ්ට කිවුවේ ක්ලියෝ කියලා. ඒ සීසර් වැඩ කළේ වත්තේ සුපරින්ටෙන්ඩන්ට්ගේ බංගලාවේ. සුපරින්ටෙන්ඩන්ට් වුණේ රොජර්. රොජර්ගේ බංගලාවට එනවා එයාගේ යාළුවෙක්. ඒ යාළුවා කමල්. කමල්ට හිත යනවා ඒ පැත්තේ ඉන්න කෙල්ලෙක්ට. ඒ කෙල්ල යශෝධා.

ඒ කෙල්ල කමල්ට කැමති වෙන්නේ තමන්ගේ තාත්තාත් ඒ වගේ නිසා. ඒකට කමල් ඉන්නේ අප්සට් එකෙන්. තාත්තාට නැතුව තමන්ට ආදරේ කරන දවසක් එනකං එයා දුකෙන් ඉන්නවා. 'ඡායා' කියලා ලස්සන තිම් සෝංග් එකක් ඒ කතාවට තිබ්බා. ඒ වගේම 'කෝ මගෙ ජුලියට් ජුලියට් ජුලියට්' කියලා ඒ කාලේ හිට් වුණු සින්දුවක් තිබුණා. ඒක යූටියුබ් එකේවත් නෑ මං දන්න තරමින්. කමල් යශෝධාට ගෙනියන්න ගත්ත එක්ස්පයර් වුණු බටර් කේක් එකක් සීසර්/රවින්ද්‍ර යසස් එක්ක ගල්තලාවක් උඩ තියං කන ෆනී සීන් එකක් මතකයි. ආසාවෙන් බලපු ටෙලියක්.

'ඒ නයින්' කියන ඩ්‍රාමා එකත් ඒ කාලේ හිට් එකක්. මතක විදිහට සටන් විරාම ගිවිසුම අත්සන් කරපු කාලේ හැදුණේ. 'අ අ අ අ ආනා ආවන්නා', 'වාංග මචාං වාංග' වගේ හිට් සින්දු එක්ක, ලස්සන සංහිඳීයා ප්ලොට් එකක් සිඩ්නි නිර්මාණය කළා. රොෂාන් - චතුරිකා හිටිය, සිඩ්නි ඩිරෙක්ට් කරපු 'පෙම්බරයාණෙනි' ඩ්‍රාමා එකේ තිබුණු 'ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ', 'මම ඇහැව්වා හොරෙන් හදවතින්' සින්දු දෙක අදටත් රොමෑන්ටික් සින්දු ලිස්ට්වල ප්ලේස් වෙන්නේ ඉහළම තැනක. දෙකම ලිවුවේ සිඩ්නි. ඒ සින්දු දෙක හරහා අලුත් පරම්පරාවකට කේට' කරන්න, සින්දු දෙක ගායනා කරපු රූකාන්තටත් අවස්ථාව ලැබුණා. රොෂාන් - චතුරිකා දෙන්නාට ඒ දවස්වල තිබුණු පවර් කපල් ආකර්ෂණය වගේම මේ සින්දු දෙකත් කතාව හිට් වෙන්න ලොකු හේතුවක්. තවත් පැත්තකින් හිතුවොත්, රියැලිටි වේදිකාව උඩ මේ සිංදුවට ලැබුණා ඉතා ඉහළ වටිනාකමක්. වැලිවේරියේ හිටිය අවුරුදු විස්සක කොල්ලෙක්ගේ ජීවිතේම උඩුයටිකුරු කළේ මේ සින්දු දෙක. ඔව්, 'ඇස් දෙක පියාන', 'මම ඇහැව්වා හොරෙන් හදවතින්' සින්දු දෙක නැත්නම් අද ශිහාන් මිහිරංග කියලා ස්ටා‍ර් කෙනෙක් නෑ.

ටෙලිඩ්‍රාමාවලටම විතරක් නෙවෙයි ගායක ගායිකාවන්ටත් සිඩ්නි සින්දු ලිව්වා. අන්තිම දොළහටවත් තේරෙන්නැතුව රියැලිටි වේදිකාවෙන් බැහැලා ගිය චාමික සිරිමාන්න, රියැලිටි තරු එන්න කලින් හිට් එකක් වුණේ සිඩ්නි ලියපු 'අපි වෙන් වෙන තරමට' සින්දුවෙන්. ඒ දවස්වල වෙනස් මියුසික් පැටර්න් එක නිසා පලු යන්න බැනුම් අහපු ඉරාජ් ගැන මිනිස්සු දෙපාරක් හිතන්න ගත්තේ මලිත් සහ සමිතා කියපු 'මතක මන්දිර/චංචලා' සින්දුව නිසා. ඒක ලිව්වෙත් සිඩ්නි. මේ විදිහට තවත් සුවිශේෂී, දන්න කියන සින්දු ගොඩක වචන ඉස්සෙල්ලම මැවුණේ සිඩ්නිගේ හිතේ. මං හිතන්නේ සිඩ්නිගේ පද රචනා ශෛලියට මිනිස්සුන්ගේ හිත් ඉක්මනින් ආකර්ෂණය කරගන්න පුළුවන් වුණා. ඒ පද රචනා අනුගමනය කළේ සරල බස් වහරක්. හැබැයි එහෙම වුණා කියලා ඒ පද රචනා අවර ගණයේ කියලා බැහැර කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒක සරල වුණත් හරිම විරල පද රචනා ශෛලියක්. සිඩ්නි කියන ටෙලිනාට්‍යකරුවා සහ ගී පද රචකයා මට මතක තියෙන්නේ ඒ විදිහට.

ස්වර්ණවාහිනිය පටන්ගත්ත අලුත ඉරිදා උදේට ගියා වෙනස් විදිහක වීකෙන්ඩ් මෝනිං ෂෝ එකක්. ඒකේ නම 'ස්වර්ණෝදය'. වෙනස් ෆෝමැට් එකක, වෙනස් සෙග්මන්ට්ස් එක්ක අලුත් මූණු ටිකක් එළියට ආවා. හැමදාම දකින බේසික් නිව්ස් බුලටින්වලට වඩා අලුත්, වෙනස් වැඩක් ස්වර්ණවාහිනියෙන් පටන් ගත්තා. ඒකට 'Live at 8' කියලා හරිම කැචී බ්‍රෑන්ඩ් එකක් හැදුණා. මේවා සිඩ්නිගේ වැඩ. නිරෝෂා, මනූෂ, සුසාර වගේ, මිනිස්සුන්ට මතක මීඩියා මූණු ගොඩක් හැදුණේ සිඩ්නිගේ ස්වර්ණවාහිනි යුගයත් එක්ක. මම කලින් දවසක ලිවුවා ටෙනිසන් කුරේගේ ජෝක්ස් බහුතරයකට මට හිනා ගියේ නෑ කියලා. ඒක ටෙනිසන්ගේ වැරැද්දක් නෙවෙයි, ටෙනිසන්ව ඩිරෙක්ට් කරපු අයගේ වැරැද්දක්. සිඩ්නි ටෙනිසන් කුරේ එක්ක කළා 'කතුර' ටයිප් එකේ පොලිටිකල් සැටය', කොමඩි ප්‍රෝග්‍රෑම් එකක් දැනට අවුරුදු දාහතරකට පහළොවකට විතර කලින්. මට ඒකේ නම මතක නෑ. ඒකේ හෝස්ට් විදිහට හිටියේ සිඩ්නි. ටෙනිසන් මොකක් හරි ජෝක් එකක් කියන්න හදනකොට පටන් ගන්නේ "When I was in New Guinea" කියලා. ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් මම දැක්කා වෙනස් ටෙනිසන් කෙනෙක්ව. ඇත්තටම හිනා යන ජෝක්ස් කරන ටෙනිසන් කෙනෙක්ව. කාටවත් අහුනොවුණු ටෙනිසන් කෙනෙක් ඒ ප්‍රෝග්‍රෑම් එකෙන් සිඩ්නි මතු කළා. සිඩ්නි කියන ප්‍රෝග්‍රෑම් ප්‍රඩියුසර්ව මං දකින්නේ ඒ විදිහට.

මේ වගේ විවිධ අංශයන්ගෙන් වැඩ දාන්න සිඩ්නි තමන්ගේ එරීනා එක කරගන්නේ ටෙලිවිෂන් එක. සිඩ්නි ගතින් වයසට ගියාට, සිඩ්නිගේ මයින්ඩ්සෙට් එක හැමදාම තිබුණේ තරුණ තැනක. පවතින මොහොතට වඩා ඉස්සරහින් ඉන්න එක ගොඩක් තැන්වලදී වාසිදායකයි. ටෙලිවිෂන් සම්බන්ධයෙන් සිඩ්නිගේ මයින්ඩ්සෙට් එක තිබුණේ අවුරුදු ගාණක් ඉදිරියෙන්. අන්තිම කාලෙත් 'Good Bad & Ugly' වගේ වැඩකින් අපිට ආපහු 'ඕල්වේස් බ්‍රේක්ඩවුන්' අතීතය සිඩ්නි මතක් කරලා දුන්නා. හම්බවෙන්න හොඳටම පුළුවන්කම තිබිලත් විවිධ හේතු නිසා මට සිඩ්නිව විනාඩි පහකටවත් මුණගැහෙන්න චාන්ස් එකක් ලැබිලා නැති එක ගැන මං දුක් වෙනවා. සිඩ්නි අඩු කාලෙකින් අපිව දාලා ගිය එක ගැන කණගාටු වුණාට, වෙනත් කෙනෙක් ජීවිත කාලයක් ඇතුළත කරනවාට වඩා වැඩි වැඩ කොටසක් මේ පොඩි කාලේ ඇතුළත සිඩ්නි කරලා තියෙනවා නේද කියන දේ දැක්කහම පුදුමයක් වගේම සතුටක් දැනෙනවා.

සිඩ්නි කියන්නේ විෂන් එකක් තිබ්බ ටෙලිවිෂන්කාරයෙක්.

සුබ ගමන්, සිඩ්නි චන්ද්‍රසේකර