රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ...

සිරිල් ඒ. සීලවිමල (1930 - 2010)
දෙසැම්බර් 3, 2020

1966 වසරේ ආනන්දයේ ඉගෙන ගනිමින් සිටි කුලරත්න ආරියවංශත් (සම්මානනීය ගීත රචක) මාත් කොළඹ අලුත්කඩේ මිහිඳු මාවතේ පිහිටි දවස පුවත්පත් ආයතනයට සතියකට වරක්වත් ගියෙමු. අප දවස කර්තෘ මණ්ඩලය හරහා ගොස් ‘ශ්‍රී’ සඟරාවේ සංස්කාරකවරිය වූ ශ්‍රියා රත්නායක මහත්මිය හමුවීමට යන්නේ කෙටිකතාවක් හෝ ලිපියක් රැගෙනය. ‘ශ්‍රියා අක්කා’ අපට හැම උපකාරයක්ම කළාය. අප ඩබල යන එන විට නිරතුරුව දවස කර්තෘ මණ්ඩලයේ කිසිවක් ලියමින් හා කියවමින් සිටි අප දෙස බලා නිර්ව්‍යාජ සිනාරැල්ලකින් සංග්‍රහ කිරීමට සිරිල් ඒ. සීලවිමල මහතා නිහතමානි විය.

සිරිල් ඒ. සීලවිමලගේ නම මා දැන සිටියේ තාත්තාගේ හිතවතෙකු ලෙසත් ‘ලංකා චලන චිත්‍ර’ සිනමා සඟරාවට ඔහු ලියූ ලිපි මඟිනි. තාත්තාට තුටු පඬුරු ලෙස ලැබෙන මේ සඟරාවට මා ආශාවක් දැක් වූයේ වයස අවුරුදු පහළවක ගැටයකු වූ කාලයේ සිටය. සිරිල් ඒ. සීලවිමල මහතා ගැන කෙටි ලිපියක් මුලින්ම ‘දවස’ නිවසට ගියේ 1961 වර්ෂයේ මැද භාගයේ යයි අනුමාන කරමි. ඊට පෙර මම පාසල් යන කාලයේම ආරියරත්න කහවිට මහතාගේ ‘කලා ‘ සඟරාවට ලිපි ලියමින් සිටි කාලයේ මට ජනප්‍රිය ගායකයකුව සිටි මොරිස් දහනායක හඳුනාගෙන සිටියෙමි. මා ‘සරසවිය’ පත්‍රයේ වැඩ කරන මුල් කාලයේ දිනක් මොරිස් මෙසේ කීවේය.

‘අයිසේ රන්ජිත්, මම කියපු ජනප්‍රිය ගීතයක් තියෙනවා ‘සුදෝ පොඩ්ඩක් අඬන්න’ ලිව්වේ කවුද දන්නවද?’

‘අනේ ඔව් මොරිස් අයියා, අපි ඔය සින්දුව දහම් පාසලේ ඉගෙන ගන්න කාලේ විවේක කාලයේ කෙල්ලන්ට කියලා තරහ ගන්වනවා.’

‘ඒ ගීතය ලිව්වේ සිරිල් ඒ. සීලවිමල. ඔයාට පුළුවන් ද එයා ගැන ‘සරසවියට‘ ලියන්න. හරිම අහිංසක හොඳ මිනිහෙක්’ මොරිස් කීය.

මම සරසවිය පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ ලක්ෂ්මන් වික්‍රමසිංහට කියා අනුමැතිය ලබා මොරිස් අයියා එදා සේවය කළ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කතා කොට මේ ආරංචිය කීවෙමි.

මොරිස් අයියා මට ලේක්හවුසියට කතා කළේ පසුදාය.

‘මල්ලිට පුළුවන් ද හෙට දවල් වෙලා දවසට යන්න. මම සිරිල්ට කිව්වා ඔයා ගැන.’

මම පසුදා සිරිල් මහතා හමුවීමට ‘දවස’ නිවසට ගියෙමි.

‘මල්ලි, මට මොරිස් ඔයා ගැන කිව්වා. අපි යමු පහළ කැන්ටිමට තේ එකක් බොන්න’

ඔහු කොතරම් නිහතමානි, දයාර්ද මිනිසෙක්දැයි මට සිතුණි. පඩි පෙළ බසිමින් අපි කැන්ටිමට ගියෙමු. වැඩි දෙනෙක් නැති නිසා අපි කොනේ මේසයක් අල්ලා ගතිමු.

ඔහු සමඟ මා කළ විශේෂාංගය ඊළඟ සරසවියේ පළ විය. ඔහු මට ලේක්හවුසියේ ‘සරසවිය’ කර්තෘ මණ්ඩලයට කතා කොට ලොකු ස්තූතියක් කළේය.

‘සිරිල් අයියා වගේ ජ්‍යෙෂ්ඨ පත්‍ර කතුවරයෙක් මෙහෙම කතා කරන එක පුංචි අපට ලොකු ශක්තියක්.’

විවේක තියෙන දවසක ටෙලිෆෝන් කරලා එන්න’

සිරිල් අයියා හඳුනා ගත් අයුරුයි ඒ. එදා මෙදා ඒ හමුවීමට වසර 50 ගෙවී ඇත. ඒ වගේම මේ මානව හිතවාදී නිහතමානී මිනිසා මිය ගොස් දස වසර සපිරෙන්නේ අද වැනි දිනකය. දෙසැම්බර් 5 වෙනිදාය. මීට වසර 90 කට පෙර එනම් 1930 ඔක්තෝබර් 29 වෙනිදා සඳලංකාවේ ඉරබඩගම උපන් ඔහුගේ සම්පූර්ණ නම සිරිල් අබේනායක සීලවිමල ගැන අපට කතා කරන ඔහුගේ දයාබර බිරිය අනුලා පෙරේරා අබේනායක හෙවත් අනුලා අක්කා තම සැමියා වෙනුවෙන් කරන ආගමික කටයුතු සිහිපත් කරන්නීය.

සිරිල් අයියා ගැන කියන විට මරදානේ ෂාලිමාර් හෝටලය ළඟ ටවර් ෆැලට් එකේ තිබූ ඔහුගේ සින්දු කාමරය අමතක නොවේ. සින්දුකාරයන්ගේ නිල නිවස එය විය. ජෝතිපාල, මිල්ටන්, ෆ්‍රෙඩී, සිවානන්ද, ක්‍රිස්ටි ලෙනාඩ්, මොරිස් නිතර ආව ගිය තැනකි එතැන. මේ කාමරය අරුම පුදුම එකකි. එහි ජනෙල් දොරවල් දිවා රෑ විවෘතය. තිබුණේ ලියන මේසයක් පුටුවක් හා ඇඳක් පමණි. සිරිල්ගේ සොහොයුරු උදයකාන්තට අයිති කාමරයකි ඒ. එහි දිනක් පැමිණි ජී. ඩී. එල්. පෙරේරා (සරසවිය සම්මාන දිනූ චිත්‍රපට අධ්‍යක්ෂ) කඩවසම් තරුණයකු වූ සිරිල් දැක මෙසේ ඇසුවේය.

‘අයියා කැමති නැද්ද මම ඉස්සෙල්ලම කරන ‘කඳුළු’ නාට්‍යයේ රඟපාන්න’.

‘මම රඟපෑමට ආශා නැහැ. ඔයා මගේ මල්ලිගේ හොඳම යාළුවෙක් නිසා උදවුවක් හැටියට රඟපාන්නම්.’

සිරිල් එකම එක නාට්‍යයකින් වේදිකා නළුවෙකු වූයේ මේ අයුරිනි. ගුවන් විදුලියේ ළමා වැඩ සටහන්වලට නිබන්ධන සැපයූ ඔහු විසින් මුලින්ම ප්‍රබන්ධය කළ ‘මා හිමිරජාණෝ ලෝකනාථ වූ‘ ගීය ගායනා කළේ අයිරින් අල්විස්ය. ඉන් පසු ආර්. සිවනන්දට ‘ආදරේට ඇගේ වේදනාව දෙන්නේ’ ගීතය ලියා දුන් ඔහුගේ ජනප්‍රිය ගීත ලෙස මුලින් ජනප්‍රිය වූයේ මොරිස් ගැයූ මේ ගීතයයි.

‘සුදෝ පොඩ්ඩක් අඬන්න

හරිම ආසයි බලන්න

ඔයා ලස්සන අඬන විටදී

කඳුළු බිඳුවක් හෙළන්න’

සිරිල්ව චිත්‍රපට ගීත රචනයට යොමු කර ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂය. ‘දීපශිඛා’ චිත්‍රපටයේ පී. එල්. ඒ. සෝමපාලගේ සංගීතයට ලතා ගැයූ ‘එන්නා . . . කරුමෙ ලුහුබැන්දා’ හා ‘කංකං බූරු’ යන ගීත මුල්වරට ඔහු රචනා කළේය. ඔහු ‘ස්වීප් ටිකට්’ චිත්‍රපටය සඳහා ලියූ ජෝතිපාල සහ ඇන්ජලින් ගැයූ ‘හොඳ සිරියාවයි ආකාසේ’ ගීතයත් ‘සුදු දුව‘ චිත්‍රපටය සඳහා ලියූ සුජාතා සහ ලන්ත්‍රා ගැයූ මේ ගීතයත් අතිශයින්ම ජනප්‍රිය විය.

‘ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

කවුද පාවෙන මලක් වගෙයිනේ’

සිරිල් රචනා කළ චිත්‍රපට ගී අතුරින් ‘කේසර සිංහයෝ’ චිත්‍රපටයේ මිල්ටන් පෙරේරා සහ ශ්‍රීමති තිලකරත්න ගැයූ ‘සන්සුන් රුවන් හද මන්දිරේ’ ‘දැන් මතකද’ චිත්‍රපටයේ මිල්ටන්, ජෝති, බෙග් ගැයූ ‘හිස් ටින් එකක් වගේ අපේ ජීවිතේ මල්ලී’ ‘සුහද පැතුම‘ චිත්‍රපටයට ජෝති හා ඇන්ජලින් ගැයූ ‘දෝතින් දෝතයි’ ‘සිකුරුලියා’ චිත්‍රපටයේ එම්. එස්. ගැයූ ‘දිලි දිලිසෙන එළියක්’ වැනි ගීත අතිශයින්ම ජනප්‍රිය වූ අතර චිත්‍රපට ගණනාවකට ඔහු ගීත ලියා ඇත.

ඔහු රචනා කළ ගුවන් විදුලි සරල ගී අතර මොරිස් ගැයූ ‘මෙත් මල් පිබිදේවා සිත් තුළ මල් පිබිදේවා’ වික්ටර් ගැයූ ‘රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ’ ගීත දෙක සදා අමරණිය ගීත ලෙස හැඳින් විය හැකිය.

සිරිල් අයියා කිසිදා මත්පැන් හා දුම්වැටි පානය කර නැත. ඔහුට අනාගත සහකාරිය අනුලා පෙරේරා හමුවන විට ඇය වයස අවුරුදු 16 ක පාසල් දැරියක් වූවාය. මාලිගාවත්තේ පන්සලක පැවති සිංහල පන්තියේ සිංහල ඉගැන් වූ සීලවිමලට ඇය පිළිබඳ සිතක් ඇති විය. 1963 මැයි 30 වෙනිදා සිරිල් හා අනුලා විවාහ වූහ.

සඳලංකාවේ උපත ලැබුව ද සිරිල් හැදී වැඩී ඇත්තේ මීරිගමය. මීරිගම කඳන්ගමුව මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පුවත්පත් කලාවට, කවියට පුංචි කාලයේ සිටම ආදරය කළේය . කලා, චලන චිත්‍ර සිනමා සඟරාවල පනහේ දශකයේ සේවය කොට පෙරමුණ පුවත්පතින් පත්‍ර කලාවට එක් වී දවස, රිවිරැස පත්‍රවල කර්තෘ මණ්ඩලවල සේවය කොට පසුව ‘රිවිරැස’ ප්‍රධාන කර්තෘවරයා විය. සිත ඇඳි රේඛා, සඳ ලතා යන නවකතා ද ‘සඳ නුදුටු පිනි’ ‘සිරිල් විමල පැදි ගඟුල’ කාව්‍ය සංග්‍රහයන්ය.

සිරිල් හා අනුලා යුවළට නාලක, උදිත, අනුෂා, හර්ෂා යනුවෙන් දරුවන් තිදෙනෙකි.