‘දුක සැප නිති පෙරළෙන’ බව කියා සිනමාවට පැමිණි ක්‍රිස්ටි ද මැල්

(1925 - 2004)
දෙසැම්බර් 10, 2020

 

‘දුක සැප නිති පෙරළේ

රිය සක ලෙස ලෝකේ

ජීවිතයාගේ අස්ථිර භාවේ

පෙන්වනා

 

ඒ ධනවතා සැතපෙනා මන්දිරයේ

දුගියා වැතිරේ හඬමින තණ බිමෙහී

ධර්මේ සසරෙ පෙන්වනා

 

ලෝ ජනිත රකින කිරුළ හිස පලඳා

රජිඳා මහ මඟ බැස යන්නා

ජීවිතයේ ලෞකික සැපත වැනසේ

මරණයේ ඝොර භවේ

දුක සැප . . .

බයිසිකලයක නැඟි තරුණයකු මේ ගීතය ගයමින් පාරේ විසිතුරු බලමින් ගයයි. විටෙක ඔහු ගීතය උරුවම් බායි. මෙය 1948 පෙබරවාරි 23 වෙනිදා මෙරට තිරගත වූ ‘කපටි ආරක්ෂකයා’ චිත්‍රපටයේ ආරම්භක දර්ශනයේ එන අවස්ථාවකි. මෙහි විශේෂය නම් ගීතය ගයන්නේ ද එහි රගපාන නළුවා වීමය.

මේ නවක නළුවාගේ ප්‍රථම රංගනය හා ප්‍රථම පසුබිම් ගායනය ඇතුළත් වූ මේ චිත්‍රපටයේ තවත් යුග ගී දෙකක් රුක්මණී දේවි සමඟ ගායනා කරමින් රඟපෑම තවත් විශේෂයකි.

චිත්‍රපටයේ කතා පිටපත බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගෙනි. සිලෝන් තියටර්ස් සමාගම නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉන්දීය ජාතික ජෝ‍යීතිෂ් සිංය. ඉන්දීය ජාතික සී. ඇන්. පණ්ඩුරංගන් සංගීත අධ්‍යක්ෂණය කළ අතර මෙහි ගීත රචනය පී. එල්. ජී. නන්දන කීර්තිය. ඔහුගේ ද ප්‍රථම ගීත රචනය ඇතුළත් චිත්‍රපටය ද ‘කපටි ආරක්ෂකයා’ය.

‘දුක සැප නිති පෙරළේ’ ගීතය ගයමින් රඟපෑ නවක නළුවා ක්‍රිස්ටි ද මැල්ය. ක්‍රිස්ටිට ප්‍රථම චිත්‍රපටයේ රඟපෑමට ලැබෙන්නේ අහම්බයෙනි. ඔහු මිගමුවේ උපන් කෙනෙක් හා එකම පාසලේ ඉගෙන ගත් නිසා එඩී ජයමාන්න දැන සිටියේය. එකල එඩී රඟපෑ මිගමුවේ මිනර්වා නාට්‍ය සංගමයේ නාට්‍යයක්, ප්‍රසංග වේදිකා විකට ජවනිකා ඉදිරිපත් කරමින් ගී ගයනු ක්‍රිස්ටි බලා සිටියේ නොතිත් ආසාවකිනි.

මට මුල්වරට ක්‍රිස්ටි ද මෙල් හඳුන්වා දුන්නේ චිත්‍රපට විචාරක අභාවප්‍රාප්ත ලෙස්ලි බොතේජු විසිනි. 1974 වසරේදීය ඒ. නුගේගොඩ කන්දවත්ත පාරේ මුල හරියේම පිහිටි චිත්‍රපට අධ්‍යක්ෂ ගොඩ්වින් හාන්තිගේ නිවසේ ‘කොහොම කියන්නද’ චිත්‍රපටයේ රූගත කිරීමක් ගැන ලිවීමට ගිය අතරය. මේ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරුන් වූයේ ලෙස්ලි බොතේජු හා ගොඩ්වින් හාන්තිය. කලකින් ලෙස්ලි අධ්‍යක්ෂණය ගොඩ්වින්ටම භාර දුන්නේ චිත්‍රපටයේ කලාත්මක අගය පිරිහෙමින් තිබූ නිසාද?

එදින රූගත කළ දර්ශනයට පැමිණ සිටි ක්‍රිස්ටි ද මැල්ව ලෙස්ලි විසින් මට හඳුන්වා දුන්නේ මෙසේය.

‘ඔයා අඳුන ගන්න ඕනෑ චරිතයක්. ක්‍රිස්ටි ද මැල්. මගේ හොඳම යාළුවෙක්.’

‘මම ක්‍රිස්ටි අයියා ගැන අහල තියෙනවා. අර දුක සැප නිති පෙරළේ සින්දුව අපට අමතක වෙන්නේ නෑ. මේ චිත්‍රපටයේ ක්‍රිස්ටි අයියා රඟපානවාද?’

‘නෑ, මම ආවේ ලෙස්ලි හම්බ වෙන්න. මම පදිංචිව ඉන්නෙත් මේ කිට්ටුව කොටා රෝඩ් එකේ.’

ක්‍රිස්ටි ද මෙල් ගැන ලිපියක් සරසවිය පත්‍රයට ලිවීමට සිතුවද වසර 30 ට පසු මිය යන තෙක්ම අවකාශ නොලැබුණි. එහෙත් එදා ඔහු සමඟ කළ පිළිසඳරේ නටඹුන් ටිකක් ඉතිරි විය

කවුද? මේ ක්‍රිස්ටි ද මැල්?

1925 වසරේ ජූනි 10 වෙනිදා කලාපදූවේ උපත ලැබූ මිහිඳුකුලසූරිය ඇන්තනී අර්නස්ට් ක්‍රිස්ටොෆර් ද මැල් අධ්‍යාපනය ලබා ඇත්තේ මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙනි. ක්‍රිස්ටි පාසලේ පැවැත්වූ විවිධ ප්‍රසංගවල සිත්කළු ගී ගයන්නෙකු හා රංගන ශිල්පියෙකු ලෙස කැපී පෙනුණේය. ගුරුවරුන්ගේ සිත් දිනූ ඔහු පාසලෙන් මෙන්ම මිගමු පුරවරයේ කුසලතා විදහා පෑ කලාකරුවෙකු විය. පාසලේ අධ්‍යාපනය අවසන් කොට යුද හමුදාවට බැඳුණු ඔහුට යුද්ධ කිරිීමට හා අවි පුහුණුව ගැන තිබුණේ අකමැත්තකි. එහෙත් යුද හමුදාවේත් ගායකයකු හා වේදිකා නළුවකු ලෙස දක්ෂතා පෙන්වීය.

‘අයිසේ ක්‍රිස්ටොෆර්, තමුසෙට හමුදා රස්සාව හරි යන්නේ නැහැ. තමුසෙට කලාවේ පැත්තෙන් ලොකු දුරක් යන්න පුළුවන් වේවි’ හමුදාවේ කර්නල් කෙනෙකු කීවේ දියතලාවේ පුහුණුවකට යාමට ඔහු අදිමදි කිරීම නිසාය.

රැකියාවෙන් අස් වී ගෙදර පැමිණි ක්‍රිස්ටි මීගමුවේ ප්‍රභූවර වාසල මුදලිතුමෙකුගේ නිවසේ පැවැති උත්සවයක ගී ගයද්දී එවකට ‘විකට රජා’ ලෙස මුළු රටේම පසිඳු එඩී ජයමාන්න ක්‍රිස්ටිට කතා කොට මෙසේ කීය.

‘අයිසේ ක්‍රිස්ටි මසුරං ටිකට සින්දු කිව්වනේ. අපේ ගමේ හොඳ සින්දුකාරයෙක් ඉන්න බව දන්නේ අදනේ. මම තමුසේ ගැන ඇලෝ අයියට (බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නට) කියන්නං. කැමැතිද පික්චර් එකක සින්දුවක් කියන්න’.

‘මේ මොනවද එඩී අයියා මගෙන් අහන්නේ. මම කැමැතියි’

‘එහෙනං ලබන ඉරිදා ඇලෝ අයියා උදේ පල්ලියට ගිහිං එනව දහයට විතර. තමුසෙ එහෙ එනවා. මම ඒ වෙලාවට එනවා.’

ක්‍රිස්ටි ඇලෝ අයියා හමුවීමට ගිය විට සින්දුවක් කියන්නැයි කීවේය. ඇලෝ අයියා ක්‍රිස්ටිගේ අංග චලනය ගැන දැඩි විමසීමෙන් සිටියේය.

‘අයිසේ තමුසේ අපි ඉන්දියාවට ගිහින් කරන්න ඉන්න කපටි ආරක්ෂකයා පික්චර් එකේ රඟපාන්න යන්න එනවා. දැන් හමුදාවෙත් නෑනේ’

‘මම කැමතියි ඇලෝ අයියා’

ක්‍රිස්ටිගේ ඉන්දියා ගමන අත්දැකීම් බහුල, වරෙක ත්‍රාසජනක විය. මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරය අසළ සිට මාක් සමරනායක සමඟ ගිය ගමනකදී ඔවුහු පාරක් තොටක් ගැන කිසිවක් නොදැන අතරමං වූහ. හොඳටම අඳුර වැටී තිබුණි. ඒ අසළම සිනමා ශාලාවක් ඔවුනට දක්නට ලැබූ නිසා රාත්‍රී 9 යේ දර්ශනය බැලීමට මාක් සමරනායක යෝජනා කර ඇත. එය අවසන් වී රෑ 12 ට පමණ දෙදෙනාම එළියට පැමිණ නෙප්චූන් චිත්‍රාගාරයට යන පාර ඉංග්‍රීසි බසින් කිහිප දෙනෙකුගෙන් ඇසූ නමුත් ඔවුහු ඉංග්‍රීසි දැන නොසිටීම නිසා අන්දමන්ද වූහ. මුළු නගරයේම මහ රෑ ඇවිද ඇවිද සිටින විට බී. ඒ. ඩබ්ලිව්. එවූ වෑන් රථය දුටු විට දෙදෙනාගේම බිය පහව ගියේය.

ක්‍රිස්ටිට ‘කපටි ආරක්ෂකයා’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් සමඟම එහි ප්‍රධාන නිළි රුක්මණී දේවි සමඟ ගීත ගැයීමට අවස්ථාව ලැබිණ. ක්‍රිස්ටි චිත්‍රපටයේ රඟපෑවේ ගුණපාල නම් චරිතයයි. ඔහුගේ වැඩිමහල් අයියා ලෙස රඟපෑවේ හර්බි සෙනෙවිරත්නය. ගුණපාලගේ ලොකු තාත්තා (නොතාරිස්) ලෙස බී. ඒ. ඩබ්ලිව්. රඟපෑ අතර ඔහුගේ එකම දියණිය ලෙස රුක්මණී දේවි රඟපෑවාය. ගුණපාල ලෙස ක්‍රිස්ටි රඟපෑවේ දුක්බර අනන්ත අප්‍රමාණ දුක් ගැහැට ලබන අවාසනාවන්ත මරණයකින් කෙළවර වන චරිතයකි. තම එක කුස උපන් සොහොයුරා වූ ගුණපාලගේ පියාගේ හදිසි මරණය නිසා ලොකු තාත්තා ඔහුට අයත් දේපළ තමාට ලියාගෙන විපුලසේනගේත්, ගුණපාලගේත්, මවගේත් කපටි ආරක්ෂකයා වෙයි. තම නිවසේ මෙහෙකාර වැඩ කිරීම ගුණපාලට සිදු වෙයි. මේ හැම විටම ගුණපාලට කරුණාව දක්වන්නේ ලොකු තාත්තාගේ දියණිය මල්ලිකා (රුක්මණී දේවි)ය. මල්ලිකා තම සුළු පියාගේ පුතා වූ ගුණපාලට අපරිමිතව ආදරය කරන්නීය. එය සහෝදර ප්‍රේමයකි. කුඩම්මා මෙය වරදවා තම සැමියාට කියා ගුණපාලට කස පහර දෙයි.

පසු කලෙක තම ජීවිත කතාව ලියු රුක්මණී දේවි පවා කියා තිබුණේ කස පහරින් ක්‍රිස්ටිගේ පිට තුවාල වු බවය. ගුණපාලව බේරා ගැනීමට ගිය තමාට ද හොඳ හැටි කස පහර ලැබී තුවාල වූ බවය.

තම දියණිය සමඟ අයථා ප්‍රේමයක් ඇති බව කියන පුංචි අම්මාගේ බස් අසා ලොකු තාත්තා ගුණපාල වෙඩි තබා මරයි. අවසානයේ ලොකු තාත්තා ද වෙඩි තබාගෙන මිය යයි.

ක්‍රිස්ටි ‘කපටි ආරක්ෂකයා’ චිත්‍රපටයේ රුක්මණී දේවි සමඟ යුග ගීත දෙකක් ගැයූවේය. ඒ ගීත එකල ජනපි‍්‍රය වී ඇත. මේ අතර ‘අඹරේ තඹ පැහැ රැස් රැළි නැගිලා - පෙරදිග ගුවන දිලේ සරා’ ‘පාපේ සාදනා තණ්හාවේ පතුලේ ගිලිලා’ ගීත දෙක ද වෙති.

ක්‍රිස්ටිගේ දෙවැනි චිත්‍රපටය වූයේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න කතා පිටපත ලියූ ජ්‍යෙතිශ් සිං අධ්‍යක්ෂණය කළ ‘වැරදුණු කුරුමාණම‘ චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ චන්ද්‍රපාල ලෙස රඟපෑ ක්‍රිස්ටි පෙම්වතෙකි. පෙම්වතිය ස්වර්ණා ලෙස රුක්මණී දේවි රඟපෑවාය. චන්ද්‍රපාලගේ රැකියාවට යාමට මුදල් ඇපය සපයා දෙන්නේ ඇයය. එහෙත් දිනක් වලව්වේ ප්‍රේමා පුංචි මෝනාගේ ලලිතා කුමාරි මෝටර් රථය වූ ආබාධයක් නිසා ඇයට පිහිට වන්නේ චන්ද්‍රපාල හා මිතුරෙක්ය. චන්ද්‍රපාල ඇයට ආදරය කරයි. දැන් ඔහුට ස්වර්ණාගේ උදව්වත් අමතක වෙයි. මිතුරාගේ මැදිහත් වීම නිසා චන්ද්‍රපාල හා ස්වර්ණා විවාහ වෙති.

මේ චිත්‍රපටයේ ගුණපාල හා ස්වර්ණා ගයන මේ ගීතය පසුබිමින් ගයන්නේ ද ක්‍රිස්ටි හා රුක්මණීය.

ස්ව - ‘ශාන්ත මේ ප්‍රේමේ - ප්‍රේම ගං තීරේ

මාල ගිරා ගයන ගී නාදේ - පාවේ ගං ඉවුරේ

දෙදෙනාම - ස්වර්ග සැපා දේ ශ්‍රියාලතා මා

සුරංගණී දෝණි

ස්ව - ඒ සුර විමනේ අනංග රාජා - ඔබයි මගේ ස්වාමි

චන්ද්‍රපාල හා ප්‍රේමා (ලලිතා කුමාරි) සමඟ ගයන මේ යුග ගීතය පසුබිමින් ගයන්නේ ද මේ දෙදෙනාමය.

චන්දු - මගේ ආදර ප්‍රීති පැළෑටිය නෑවේ

ප්‍රේ්මේ සඳපානේ

ඒ දිස්නේ කාන්ති කඩා හැලේ

ප්‍රේමිගෙ මුහුණේ ළපටි මුහුණෙ

ප්‍රේමා - නොපිරෙති සාගර ජලෙනි ලෝකේ

එලෙස වේ අප ප්‍රේ්මේ

මේ ගීත පී. ජී. එල්. නන්දකීර්ති රචනා කර තිබූ අතර සංගීත අධ්‍යක්ෂණය සී. එන්. පාණ්ඩුරංගගේ හා බී. එස්. පෙරේරායි.

‘කපටි ආරක්ෂකයා’, වැරදුණු කුරුමාණම‘ චිත්‍රපට දෙකේ රඟපෑමෙන් පසු ක්‍රිස්ටිට වේදිකා නාට්‍යවලට වැඩි ඉල්ලුම් ලැබුණු බව පැවසේ. ‘ගෑනු හිත’ නම් නාට්‍යය ලංකාව පුරා ජනප්‍රියව ඇත. ක්‍රිස්ටිට තම අනාගත සහකාරිය හමු වන්නේ වරක් මොරටුවේ සංගීත සංදර්ශනයක ගීත ගායනා කිරීමට ගිය අවස්ථාවේදීය. මෙහි ගීත ගැයීමට පැමිණි ගායිකාවක් මියුරු හඬින් ගී ගැයූ තරුණියක් ගැන ඔහුගේ අවධානය යොමු විය.

‘ඔයාගේ ගායනය මිහිරියි. ඔබට ස්තූති කරන්න ආවේ’ ක්‍රිස්ටි කීවේය.

මේ හමුවීමෙන් පසු ඇයවම ජාඇල රත්නාවලී සිනමාහලේ පවත්වන ලද සංගීතමය විවිධ ප්‍රසංගයකදී නැවත හමු විය.

‘අද අපි දෙන්නට යුග ගීතයක් කියන්න තියෙන්නේ’ ක්‍රිස්ටි ඇයට ආදර හඬින් කීවාය.

ඇය සිනාවෙන්ම පිළිතුරු දුන්නාය.

ඒ යුග ගීය සමඟම මේ දෙදෙනා අනාගත අඹු සැමියන් වීමට පදනම වැටිණ.

කවුද මේ ගායිකාකව?

ග්‍රැමෆෝන් ගායිකාවක් හා ගුවන් විදුලියේ ජනප්‍රිය ගායිකාවක් වූ මාලතී ෆ්‍රැක්සිඩ් ප්‍රනාන්දුය.

ක්‍රිස්ටි ද මැල් කලක් සිනමාවෙන් ඈත්ව සිට 1984 තිිරගත වූ ෂර්ලි පී. විජේරත්නගේ ‘වැල්ලේ තැනූ මාලිගා’ චිත්‍රපටයේ රඟපෑවේය.

ක්‍රිස්ටි ද මැල් 2004 ජුනි 02 වෙනිදා දෙව් මව් තුරුලට ගියේය.

(ආතර් යූ. අමරසේන විසින් ලියූ ‘සිංහල සිනමා වංශය කෘතියෙන් ඡායාරුප ද, ගීත පදමාලා මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියූ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය’ (1947 - 1956) කෘතියෙන් උපුටා ගන්නා ලදී).

 

 

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්