මුල් අකුරු දෙකෙන් රටක් හැඳීනගත් කලාකාමී දේශපාලනඥයා

ටී.බී.
දෙසැම්බර් 10, 2020

කලාව ස්පර්ශ කළ දේශපාලන චරිත අති විශාල සංඛ්‍යාවක් සිටි බව ඉතිහාසය පිරික්සද්දී අපට දැක බලා ගත හැකිය. කලාවට සමීප වූ පමණින් ඔහු හෝ ඇය සුන්දර චරිතයක් වන්නේ නැත.

කලාවේ සහෘදත්වය උත්පත්තියේ සිටම ගෙන ආ යුතු බවට සැකයක් නැත. එයට ආසන්නම උදාහරණයක් ලෙස ගෙන හැර පාන්නට හැකියාව ඇත්තේ හිටපු අමාත්‍ය ටී බී ඒකනායකයි. අමාත්‍ය වරයෙක් ලෙස කටයුතු කරද්දී කලාකරුවන් වෙනුවෙන් නිතර කතා කළ දේශපාලන චරිතයක් ලෙස වඩාත් ප්‍රකට ඔහු අප අතරින් සදහටම සමුගත් පුවත මෙසේ අපි සැලකොට සිටින්නේ අතිශය ශෝකානුකූල හැඟුමෙන් යුතුවය. කලාවට ඇති ළෙංගතු කම නිසාම ඔහු දේශපාලනයට අමතරව කලා කටයුතු වල නියැළෙමින් ආත්ම තෘප්තියක් ලැබුවේය. ඒ රංගන ශිල්පියෙකු සහ ග්‍රන්ථ කර්තෘවරයෙකු වශයෙනි. 1954 වර්ෂයේ අගෝස්තු 27 මහව පොල්පිතිගම ගම් පියසෙහි උපත ලැබූ එතුමා කුරුණෑගල මලියදේව විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකු විය. ඔහුගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ 1977 වර්ෂයේ ලංකා සමසමාජ පක්ෂයෙන් මහ මැතිවරණයට තරග වදිමිනි. ඒකනායක මහතා පාර්ලිමේන්තුවට තේරී පත් වන්නේය 1994 දීය. අනතුරුව අමාත්‍ය ධූර කීපයක්ම හෙබවූ හෙතෙම 2011 වසරේ සංස්කෘතික හා කලා කටයුතු කැබිනට් අමාත්‍ය ධූරයත් සමඟ කලාකරුවන් සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන් වෙනුවෙන් වැඩසටහන් කීපයක්ම දියත් කරනු ලැබුවේය. විශේෂයෙන්ම කලාකරුවන් රෝගාතුර වූ අවස්ථාවලදී සහ කලාකරුවන්ගේ අවමඟුල් අවස්ථාවන්වල දී ටී.බී ඒකනායක මහතාගේ සැලසුම් යටතේ ඔවුනට සහ ඔවුනගේ පවුල්වලට උපකාර කෙරිණ. සිංහල ශබ්ද කෝෂය සහ විශ්වකෝෂය ප්‍රථම වතාවට අන්තර්ජාලයට එක් කිරීම, මහා වංශය සම්පාදනය කිරීම සඳහා සම්පාදන කාර්යාලයක් හා සම්පාදන මණ්ඩලයක් පත් කිරීම, සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කොට සාක් රටවල අතර සංස්කෘතික සහයෝගයතාවය සඳහා මංපෙත් විවර කර දීම, සරච්චන්ද්‍ර නාට්‍ය පාසල ආරම්භ කිරීම, කලාකරුවන් සඳහා රක්ෂණ ඔප්පු සහ හැඳුණුම්පත් ප්‍රදානය කිරීම, කොළඹ ටවර් රඟහල ප්‍රතිසංස්කරණය කොට ප්‍රේක්ෂකයන් සඳහා දායාද කිරීම, ලෝක නර්ථන දිනය උලෙළක් ප්‍රථම වතාවට යාපනයේ දී පැවැත්වීම ආදී කර්තව්‍යයන් රැසක් ඒකනායක මහතා විසින් සිදු කළ සේවාවන් අතර තිබේ. එවන් වූ පරිසරයක් තුළ සිය කාර්යබහුල ජීවිතය මධ්‍යයේ වුව ද රංගන ශිල්පියකු ලෙසද නිර්මාණ කිහිපයකටම දායකත්වය සැපයීමට ඒකනායක මහතා පසුබට නොවිණ. කටු ඉඹුල, කරුවල ගෙදර, ගිරිකුල(සුදත් රෝහණ) ව්හඟ ගීතය(අජිත් ලොකුගේ) මහාතලා හටන(අනුර මාධව ජයසේකර) යන ටෙලි නාට්‍යවල විවිධ චරිත රඟපෑ ඔහු ග්‍රන්ථ කර්තෘවරයෙක් වශයෙන් ද නිර්මාණකරණයේ යෙදිණ. ගිරිකුළ ටෙලි සිතුවමේ වෙද මහත්තයාගේ චරිතයෙන් ඒකනායක මහතා රංගන ශිල්පියකු ලෙස වඩාත් ජනප්‍රිය විය. කුල කෙවිට සහ මල්වතු මහා විහාර වංශ මහා නාහිමිවරු යන ග්‍රන්ථ ඔහු විසින් රචනා කරනු ලැබූ ඒවාය. එකී අංශ සඳහා පමණක් නොව නිෂ්පාදකවරයෙකු ලෙසද ඒකනායක මහතා එක්තරා අවස්ථාවකදී අපට හමු විය. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ, ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපති සුදත් රෝහණගේ යුග විලක්කුව ටෙලි සිතුවමෙනි. එහි සම නිෂ්පාදකවරයා වූයේ ටී. බී. ඒකනායක මහතාය. සිය මුල් අකුරු දෙකෙන් මතක හිටින නමක් තිබූණේ ඔහුටය. එතුමා කළ සේවාව නොඅනුමානව තව කලක් යනතුරු අගය කරනු ඇත. අවුරුදු හැට හයක් ආයුෂ විඳී ටී බී ඒකනායක මහතාගේ අවසන් කටයුතු පසුගිය අඟහරුවාදා මහව දිගන ක්‍රීඩාංගණයේ දී සිදුවිය.