ග්‍රැමොෆෝන් ගී යුගය විචිත්‍රවත් කළ සුමධුර පෙම් ගී ගැයූ “චිත්‍රලේඛා”

දෙසැම්බර් 17, 2020

“ශ්‍රී සෙත් සාදයි මෝක්ෂපුරේ - ත්‍රිවිධරත්නේ ආධාරේ” ........ දශක අටකට පෙරාතුව මෙරට බිහි වූ අතිශය ජනප්‍රිය පැරණි බොදු බැති ගීයක් වූ මෙම ගීතය නොදන්නා කෙනෙකු වත්මනෙහි ද සොයාගැනීම උගහට ය. මෙම ගීතය තැටිගත වූයේ වර්ෂ 1939 තරම් ඈත කාලයකදී ය.

මෙම ගීතය ගායනා කළේ එවකට හිස් මාස්ටර්ස් වොයිස් නොහොත් HMV ග්‍රැමොෆෝන් ගීත තැටි සමාගමේ නිත්‍ය ගායකයෙක් සහ අතිදක්ෂ මැන්ඩලීන් වාදකයෙක් වූ ඇම්. කේ. වින්සන්ට් මහතා විසිනි. වින්සන්ට් මහතා හට මෙම ගීතය සඳහා ගායනයෙන් සහාය වූයේ එකකුස උපන් සොහොයුරියන් දෙදෙනෙකි. එකී ගායිකාවන් දෙදෙනා තැටිගත කළ පළමු ගීත තැටිය ද එය විය. එම සහාය ගායිකාවන් දෙදෙනා වූයේ වී .පී. අනුලාවතී සහ වී.පී. ලීලාවතී යන සොහොයුරියන් දෙදෙනා ය. ස්වකීය පළමු ගීත තැටියෙන් ම මහත් ජනාදරයක් ලබා ගත් මෙම ගායිකාවන් දෙදෙනාගෙන් වැඩිමහල් සොයුරිය වූ වී .පී. අනුලාවතී 1940-1950 දශක වල මෙරට ජනප්‍රියම ගුවන්විදුලි සහ ග්‍රැමොෆෝන් ගායිකාවක වූවා ය. අද මා මෙම ලිපියෙන් පාඨක ඔබ වෙත ගෙන එන්නේ වී .පී. අනුලාවතී මහත්මිය විසින් ගායනා කරන්නට යෙදුණු ජනප්‍රිය ගීතයක සැඟවුණු ඉතිහාසයයි.

 

මෙම ලිපි මාලාවේ මීට ඉහතදී විස්තර කෙරුණු ලිපිවල සඳහන් වූ පරිදි වර්ෂ 1939 මෙරට ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසයේ කඩඉම් වසරකි. එවකට ප්‍රධාන ගීත තැටි සමාගම් දෙකක් වූ HMV සහ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ගීත තැටි සමාගම් දෙකට එවකට ජනප්‍රියව සිටි ගායක ගායිකාවන් මෙන්ම නවක ගායක ගායිකාවන් ද පස් අවුරුදු ගිවිසුම් අත්සන් කොට වෘත්තීමය වශයෙන් බැඳුණේ මෙම වසරේ දී ය. එසේම, නුර්ති ගී ආකෘතියෙන් බැහැරව, සුප්‍රකට හින්දි, තෙළඟු, වංග, දමිළ හෝ බටහිර ගීත තනු වලට “නව ගීත“ නිෂ්පාදනය ඇරඹුණේ ද මෙම වකවානුවේ ය . එවකට HMV සමාගමේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක ධූරය හෙබවූ එච්.ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් හට පැවරුණේ මෙකි “නව ගී” සියයක් HMV ගීත තැටි සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යයයි. මේ සඳහා එතුමා විසින් එවකට ජනප්‍රිය උත්තර හා දක්ෂිණ භාරතීය ගීත තනු බහුලව භාවිත කළේ ය. එසේම, විවධ තේමාවන් යටතේ මෙම ගීත ගොනු කළේ ය. ඒ සඳහා, බොදු බැති ගී, දේශාභිමාන ගී, ළමා ගී, කවි, විරිඳු, බයිලා, විකට ජවනිකා, මංගල ගී, ශාස්ත්‍රීය ගී, ස්තෝත්‍ර ගායනා, මවු ගුණ ගී ආදී වශයෙන් මෙන්ම පෙම් ගී (ඹ්ර්‍ණඍඡ් ඉර්‍ණව්ට්ඉ) ද තෝරා ගත්තේය. රූපසිංහ මාස්ටර් ගේ කණ්ඩායමේ සිටි කෝකිල දේවී, රුක්මණී දේවී, ලක්ෂ්මී බායි, ඇනී බොතේජු ,ජෝසප් පෙරේරා, ලෝරන්ස් පෙරේරා, රෙජිනා පෙරේරා ආදී ගායක ගායිකාවෝ මෙම 1939-45 වකවානුව තුළ කිසිඳු පෙම් ගීතයක් තැටිගත කළේ නැත. ප්‍රේම ගීත ගායනා කිරීමට රූපසිංහ මාස්ටර් විසින් පළමුවෙන් ම තෝරා ගත්තේ නව ගායක - ගායිකා යුවළකි. ඒ, ඇම්. කේ. වින්සන්ට් සහ වාසුදේවා (පර්ල් වාසුදේවී) තරුණ ගායක යුවළ ය.

වර්ෂ 1939-40 කාලයේ මෙම දෙපළ විසින් තැටිගත කළ “පිපි කුසුම සේ“, “සිරි වඩනා ඔබගේ රූපේ“, “රම්‍ය ශ්‍රීනි කුසුමන්”, “පානු ආලේ මාවෙත ප්‍රේමී“, “අඹරේ දිලෙනා“, “ප්‍රේම ලතාවේ සුපිපි මාලා“ ආදී ප්‍රේම ගීත එවකට අතිශය ජනප්‍රිය වූ අතර “වාසුදේවී - වින්සන්ට් යුවළ” එවකට පෙම් ගී ගැයීමේ ජනප්‍රියම ගායක යුවළ බවට නමක් දරා සිටියහ. වර්ෂ 1940න් පසු වාසුදේවි HMV සමාගමේ ම, බී .එඩී ද සිල්වා මාස්ටර් ගේ සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාව වූ පසු, ඇම්. කේ වින්සන්ට් සමගින් යුග ගී ගැයීමට “නවක ගායිකාවන්” දෙදෙනෙක් තෝරා ගැනුණි. ඉන් එක් ගායිකාවක් මෙම ලිපියෙහි කතා නායිකාව වන වී. පී. අනුලාවතී ය. අනෙක් ගායිකාව වූයේ අප පසුගිය ලිපියක විස්තර දැක්වූ නිර්මලා (ධර්මානි ආමත්) ය. “වින්සන්ට් - අනුලාවතී” සුසංයෝගයෙන් ප්‍රේම ගීත මෙන්ම බොදු බැති ගීත ද රාශියක් බිහි විය. මෙම ගීත සියල්ලක් ම එවකට අතිශය ශ්‍රාවක ආකර්ෂණයක් දිනා ගත්තේ ය. “ශ්‍රී සෙත් සාදයි මෝක්ෂපුරේ”, “දළදා ස්වාමි”, “ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ“, “ප්‍රේමි මගේ ප්‍රේම හිමි මාගේ“, “මාතා කුසයේ”, “ප්‍රේම භරිත නාරී”, “ප්‍රේම ලතාවේ කුසුමකි”, “මධුර රස කථා” ආදී යුග ගීත රාශියක් එවකට HMV තැටි සමාගමෙන් නිකුත් විය. “වාසුදේවී සහ වින්සන්ට්” විසින් ලැබූ ජනප්‍රියත්වය නොබෝකලකින් ම “අනුලාවතී සහ වින්සන්ට්” වෙත ලැබුණි.

වර්ෂ 1940 HMV ගීත තැටි අංක ව් 13021 අංකයෙන් නිකුත් වුණු ගීත තැටියේ අඩංගු වුණු ඇම්.කේ. වින්සන්ට් සහ වී. පි. අනුලාවතී ගැයූ “ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ“ යන ගීතයෙහි කෙටි ඉතිහාසය මෙහි ඉදිරිපත් කරමි. මෙම ගීත ද්විත්වයම රචනා කරන ලද්දේ එවකට ජනප්‍රිය ගීත රචකයෙක් මෙන්ම සුප්‍රසිද්ධ අක්ෂි වෛද්‍යවරයෙක් වූ බෙලිඅත්තේ ඇම්. ඩබ්ලිව්. ඇන්. එස්. විජේසිරි මහතා ය. ගීතයේ සංගීත සංයෝජනය කළේ එච්. ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් විසිනි. “ප්‍රිය ස්වාමී මගේ ගීතය“ මෑත කාලයේ ද, ගුවන්විදුලි “පැරණි රසාංග” තීරයේ නිතර ප්‍රචාරය වූවකි. ප්‍රේම ගීතයක් වන මෙහි හින්දුස්ථානි කාෆී රාගයේ සේයාවන් දක්නට ලැබෙන නමුත් ශාස්ත්‍රීය ලක්ෂණ ප්‍රකට නොකරයි. මෙය සරල ගීයක් ලෙස සකස් කර ඇති අතර, කෙහෙර්වා තාලයෙන් නිර්මිතය. ගායනයට ඉතා පහසු සරල ගීත තනුවකි. ප්‍රේමයේ ලාස්‍යය සහ ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක් අතර ඇතිවන ප්‍රේමණීය සංවාදයක් මෙම ගීතයෙහි ප්‍රකට කරන නමුත්, ප්‍රේමය ඉතා මතුපිටින් ස්පර්ශ කර ඇති බවක් පෙනේ. සංස්කෘත මිශ්‍රිත තත්සම වචන සුලභව ගීත සඳහා යොදාගැනීම බෙලිඅත්තේ විජේසිරි මහතාගේ ගීත රචනාවන් හි අනන්‍ය ලක්ෂණයකි. එය මෙම ගීතයේ ද පැහැදිලිව දැකිය හැකි ය.

 

ගැ : ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ

- මනහර වේ රූපේ ඔබේ //

පි : ප්‍රේම රසී ජීවන ශ්‍රි -

හෘදය මගේ මන්දිරයේ

සුරතලි තී ප්‍රදීප වේ //

ගැ : ස්වාමි මගේ නයන මෙනේ -

මනහර වේ රූපේ ඔබේ

ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ....

ගැ : ඔබ රාජා වූවෝ දේවී වේ මා

මනහර ආදරවන්තී සේ //

පි : ප්‍රේම ගඟේ බැස පීනා -

යමු ප්‍රීති රම්බරියේ

අපි ප්‍රේම ගඟේ බැස පීනා -

යමු ප්‍රීති රම්බරියේ //

සුරඟන සේ ලක්ෂණ වේ //

ගැ : ස්වාමි මගේ නයන මෙනේ-

ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ

මනහර වේ රූපේ ඔබේ-

ස්වාමි මගේ නයන මෙනේ ...

 

මෙම ගීතය ඇතුළත් ගීත තැටි කවරයේ ඇම්. කේ. වින්සන්ට් මහතා ගේ සේයාරුවක් ද මුද්‍රණය වූ අතර, ගීත තැටි ඒජන්තවරුන් වූ කාගීල්ස් සමාගම විසින් බෙදා හැරුණු HMV ගීත පොතෙහි මෙලෙස සඳහනක් යෙදුණි. “ප්‍රේම ගීත ගැයීමේ දැනට ලක්දිවෙහි ප්‍රසිද්ධියක් උසුලා සිටින අනුලාවතී තරුණ නෝනා ගේ සහ ඇම්. කේ වින්සන්ට් මහතාගේ අලුත් සින්දු දෙකක්. මේ දෙදෙනාගේ ගීත ගැයීම ගැන අමුතුවෙන් ඔබතුමන්ලාට වර්ණනා කිරීම ඕනෑ නැත. මේ දෙදෙනාගේ අලුත් සින්දු බලාපොරොත්තුවෙන් සිටින අයට මෙය කදිම අවස්ථාවකි” යනුවෙන් සඳහන් කිරීමෙන් එවකට මෙම ගායක ගායිකා යුවළ ලබා තිබුණු ප්‍රසිද්ධිය මොනොවට පැහැදිලි වේ.

“ප්‍රිය ස්වාමි මගේ නයන මෙනේ” ගීතය සඳහා රූපසිංහ මාස්ටර් උපුටා ගත්තේ එවකට දක්ෂිණ භාරතයේ ජනප්‍රිය තෙළගු චිත්‍රපටයක් වූ , වර්ෂ 1939 දී ප්‍රදර්ශනය කරන්නට යෙදුණු වයි. වී. රාඕ අධ්‍යක්ෂණය කළ “මල්ෙලෙ පෙල්ලී“ චිත්‍රපටයේ බේසවාඩා රාජරත්නම් නම් නිළි ගායිකාව ගැයූ “චලි කුංකුම මේ පාවන මේ“ යන ගීතයේ අනුනාදයයි. මෙම ගීතයේ සංගීතය ඕ. රාමචන්ද්‍ර රාඕ විසිනි. මෙමෙ ගීත තනුවේ ජනප්‍රියත්වය නිසාම එවකට ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ගීත තැටි සමාගමෙන් ද, HMV ගීත තැටි සමාගමේ ගීතයට අභියෝගයක් ලෙස, මෙම තනුවට ම තවත් ප්‍රේම ගීතයක් නිර්මාණය කළේ ය. එවකට ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ තැටි සමාගමේ ප්‍රේම ගීත ගැයීමේ ජනප්‍රියම ගායක-ගායිකා යුවළ වූ කේ. කේ. රාජලක්ෂ්මි සහ මොහිදීන් බෙග් විසින් “සඳකාන්ති ජලේ සුන්දර මේ” යනුවෙන් ගීතයක් තැටිගත කරන ලදී. එම ගීතය රචනා කළේ යූ.ඩී. පෙරේරා මහත්මා විසිනි, සංගීතවත් කළේ මොහොමඩ් ගවුස් මාස්ටර් ය.

මෙම ලිපියේ කතානායිකාව වන අනුලාවතී මහත්මියගේ ජීවන තතු බිඳක් මෙසේ ඉදිරිපත් කරමි. වර්ෂ 1925 නොවැම්බර් මස 17 දින මැද කොළඹ දී විදානපතිරණලාගේ අනුලාවතී පෙරේරා ලෙස ජන්මලාභය ලද මෙතුමිය වර්ෂ 1931 දී කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලයයේ එවකට ඒ.ඊ. ගුණසිංහ නම් සුප්‍රකට දේශපාලඥයා පිළිගැනීමේ උත්සවයක ළමා ගායිකාවක ලෙස යන්තමින් වයස හය සපිරෙද්දී ගීතයක් ගායනා කළා ය. අනතුරුව වර්ෂ 1933 දී එවකට ශ්‍රී ලංකා ගුවන්විදුලියට ළමා ගායිකාවක ලෙස ගීත ගැයීමට සම්බන්ධ වන එතුමිය එච්. දොන් විල්සන් මාස්ටර් යටතේ ගීත ගායනයට සම්බන්ධ වන්නී ය. මෙසේ ගුවන්විදුලියේ ගායිකාවක ලෙස ජනප්‍රියත්වයක් ලබන ඇය වර්ෂ 1939 දී HMV ග්‍රැමොෆෝන් තැටි සමාගමේ ගායිකාවක ලෙස ගිවිසුම් අත්සන් කරන්නේ සිය නැගණිය වන වී.පී.ලීලාවති ද සමගිනි. වර්ෂ 1939 දී තැටිගත කරන “ශ්‍රී සෙත් සාදයි මොක්ෂපුරේ“ යන පළමු ගීතයෙන් ම මේ සොයුරියන් දෙදෙනා අතිශය ජනාදරයක් දිනාගන්නේ ය. “නාඬා මගේ හොඳ නංගි“, “ලීලකොබෝ -ඩේලිය හා රෝසා” මෙම වසරේම මෙම සොයුරියන් දෙදෙනා විසින් තැටිගත කරන ළමා ගීත වෙත්. අනතුරුව ඉහත සඳහන් කර පරිදි 1941-43 වකවානුව දක්වාම වින්සන්ට් සහ අනුලාවතී ගීත රාශියක් තැටිගත කළෝ ය. මෙතුමියගේ සොයුරිය වූ වී.පි. ලීලාවතී මෙනෙවිය ආනන්ද සමරකෝන් මහතාගේ ශිෂ්‍යාව ලෙස එතුමාණන් සමගින් යුග ගීත රාශියක් (බැස සීතල ගඟුලේ, විලේ මලක් පිපිලා, පොඩි මල් එතනෝ, පුදමු මේ කුසුම් ආදී ගීත) ගායනාකොට ජනප්‍රියත්වයක් ලැබුවාය.

එවකට ජනප්‍රිය වේදිකා නළුවෙක් සහ HMV ලේබලයේ ම ගායකයෙක් වූ විල්ෆ්‍රඩ් පෙරේරා මහතා සමගින් විවාපත් වන අනුලාවතී මහත්මිය වර්ෂ 1944 පටන් යුග ගීත සියල්ලක්ම පාහේ සිය සැමියා වූ විල්ෆ්‍රඩ් පෙරේරා මහතා සමගින් තැටිගත කළා ය. “කාන්ති දේ චන්ද්‍රා ලෝකේ”, “සාර කෙතේ හී - සාර කෙතේ හී” යන ගීත එවකට මේ දෙපළ ගේ අතිශය ජනප්‍රිය යුග ගී ලෙස වාර්තාගත විය. “චන්ද්‍රා නිලම්බරේ පායා දිලෙන්නා”, “මහමෙවුනා උද්‍යානෙ ශ්‍රී මහාබෝධි”, “මුනිඳා මුනිඳා ගෞතම මුනිඳා”, ආදී කේවල ගායනා මෙතුමියගේ ග්‍රැමොෆෝන් තැටි වලට නැගුණු ජනප්‍රියම ගායනා වන්නේ ය. එසේම, සිංහල, දමිළ, හින්දි , දමිළ සහ උර්දු බසින් ද විවධ සංගීත සංදර්ශන සඳහා ගීත ගැයූ මෙතුමිය විශාල ජනප්‍රියත්වයක් ලබා සිටියා ය. එසේම වර්ෂ 1945 දී “HMV තාරකාවන්” ලෙසින් සඳහන් කරමින් බී. එස්. පෙරේරාගේ සංගීතයට මුල්වරට “සුමිහිරි පානේ පදමට ගහලා” සහ “කාකි සූට් එක ඇඳලා” යන බයිලා ගීත යුගලය ගායනා කළේ ද අනුලාවතී සහ විල්ෆ්‍රඩ් පෙරරේරා යුවළ විසිනි. මේ වකවානුව වනවිට ගුවන්විදුලියේ ද ජනප්‍රියම ගායක යුවළක් වූ මෙම දෙපළ විසින් ආනන්ද සරත් විමලවීරයන් විසින් ප්‍රබන්ධ කළ “පුංචි පුතා සැප නින්දේ“, “රාධා ක්‍රිෂ්ණා ගීතය”, “දිලෙනා මුතු සේමා සෝභා“ ආදී යුග ගීත රාශියක් 1945-47 වකවානුවේ ගුවන්විදුලියට ගායනා කළහ. එසේම එවකට භාරතයේ මෙන්ම සිරිලකෙහි ද ජනප්‍රිය හින්දි චිත්‍රපටයක් වූ “රතන්“ චිත්‍රපටයේ ගීත තනු ඇසුරින් සිංහල ගීත ද, එකී හින්දි ගීත ද මනා ලෙස ගැයීමේ හැකියාවක් තිබු අනුලාවතී සහ විල්ෆ්‍රඩ් පෙරේරා ලංකාවේ මෙන්ම භාරතයෙන් ද ඇරයුම් ලබා ගීත සංදර්ශන වෙනුවෙන් ගීත ගායනා කර ඇත.වර්ෂ 1941 දී එස්. ජස්ටින් කොතලාවල මැතිඳුන් ගේ ඇරයුමෙන් පංජාබ් සෙබළුන් වෙනුවෙන් පවත්වන්නට යෙදුණු උත්සවයකදී, හින්දි ගීත සහ හින්දි ගීත තනු ඇසුරින් නිපැයුණු සිංහල ගීත ගයා අනුලාවතී මහත්මිය මහත් ප්‍රසිද්ධියක් ලබා ගත්තාය.එසේම, ඒ. ඊ. ගුණසිංහ, මහාමාන්‍ය ඩී. එස්. සේනානායක, ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ සහ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක ආදී ප්‍රභූන් ගෙන් අනුලාවතී සහ විල්ෆ්‍රඩ් පෙරේරා යුවළ එවකට සම්මාන, බුහුමන් සහ පදක්කම් බොහොමයක් ඔවුනගේ ගායනා වෙනුවෙන් දිනාගත්හ.

ගීත සහ නාට්‍ය කලාව වෙනුවෙන් මෙම දෙපළ විසින් කරන ලද සේවය අගයා, එවකට කම්කරු අමාත්‍යවරයා වූ ඒ.ඊ ගුණසිංහ මහත්මා මෙම දෙපළ ට වර්ෂ 1945 දී “චිත්‍රලේඛා” සහ “ස්වර්ණමන්ත්‍රී“ යන ගෞරව නාමයන් කලා ක්ෂේත්‍රයේදී භාවිත කරන්නට ප්‍රසිද්ධ කළේය. මෙම ගෞරව නාමයන් යෝජනා කරන ලද්දේ එවකට සිටි සුප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙක් වූ කලාගුරු ජේ.ඩී. ඒ පෙරේරා මහතා විසිනි. එතැන් පටන් ග්‍රැමොෆෝන් සහ ගුවන්විදුලි ගීත සඳහා මෙන්ම වේදිකා නාටක සඳහා ද අනුලාවතී සහ විල්ෆ්‍රඩ් පෙරේරා යුවළ “චිත්‍රලේඛා” සහ “ස්වර්ණමන්ත්‍රී” ලෙසින් හඳුන්වන ලදී. එවකට මුද්‍රණය වූ බොහෝ ගීත පොත්වල කංචුකයන් හි මෙම දෙපළ ගේ සේයා රූ මුද්‍රණය විය. “එඩී- රුක්මණී” ලෙසින්ම “චිත්‍රලේඛා සහ “ස්වර්ණමන්ත්‍රී” එවකට ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙහිම වැජඹුණහ. එසේම වර්ෂ 1952 දී පවත්වන්නට යෙදුණු ජනප්‍රියම ගායිකාව තේරීමේ තරඟයක දී, පුවත්පත් පාඨක ජන්ද 298 ක් ලබා ගැනීමට මෙතුමිය සමත් වූවා ය. වර්ෂ 1953 දී ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය සඳහා පවත්වන්නට යෙදුණු , මහාචාර්ය රත්නජංකර් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ ශ්‍රි ලංකා ගුවන්විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් මෙතුමිය “ඒ ශ්‍රේණියේ” සරල ගී ගායිකාවක ලෙස ඉහළ ලකුණු ලබා ශ්‍රේණිගත වූවාය.

වර්ෂ 1933 දී ළමා ගීත ගායිකාවක ලෙස ගායන දිවිය ඇරඹි අනුලාවතී (චිත්‍රලේඛා) මහත්මිය , වර්ෂ 1953 සිට ශ්‍රේණිගත සරල ගී ගායිකාවක ලෙසින් වර්ෂ 1969 දක්වා පුරා වසර 36 ක් අඛණ්ඩව ගුවන්විදුලි ගායිකාවක ලෙස ගීත ගායනා කළා ය. වර්ෂ 1939 සිට 1949 දක්වා එතුමිය විසින් තැටිගත කරන ලද ග්‍රැමොෆෝන් ගීත සංඛ්‍යාව ආසන්න වශයෙන් 30 ක් පමණ වන අතර, ගායනා කළ ගුවන්විදුලි ගීත සංඛ්‍යාව සියයකට ආසන්නය. මෙරට ගීත ක්ෂේත්‍රය සඳහා ඉටුකළ මෙහෙය වෙනුවෙන් වර්ෂ 2002 දී “කලාභූෂණ” සම්මානයෙන් චිත්‍රලේඛා මහත්මිය පිදුම් ලැබුවාය. රංජිත්, නිරංජලා, වසන්ත, මහේන්ද්‍ර, විජයන්තිමාලා, ප්‍රියදර්ශනී, නිර්මලා, හේමන්ත ආදී දුවාදරුවන් නව දෙනෙකුගේ දයාබර මාතාවක වූ මෙතුමිය වර්ෂ 2004 දී සදහටම දෙනෙත් පියා ගත්තා ය.

ස්වකීය මධුරතර හඬින් ශ්‍රාවක පර්ෂද ගණනාවක් යුග යුග මනෝරංජනය කළ මෙරට සිටි ගීත කෝකිලාවක වූ “චිත්‍රලේඛා“ (අනුලාවතී) මහත්මියගේ නාමයට මෙම සටහන උපහාරයක් ම වේවා !

 

විශේෂ ස්තූතිය : චිත්‍රලේඛා (අනුලාවතී) මහත්මියගේ මුනුබුරු, නව පරපුරේ ගායක මනෝජ් යාපා මහතා, ගීත තැටි සංරක්ෂක ටී.ඇන්. විජේසිංහ මහතා, ප්‍රේමදාස තෙළිකෝරළ මහතා, ගීතයන්හි සංගීතය පිළිබඳ දැනුම්වත් කළ විශාරද නිහාල් ගම්හේවා සහ අසංක පෙරේරා මහත්මාවරු.

 

මූලාශ්‍ර : HMV ගීත ලැයිස්තු - කාගීල්ස් සමාගම 1941, 1947; සංගීත් මාස්ටර් - ඩොමීනියන් කලාපය (1947); කතා පෙට්ටියේ ගී - ලයනල් ගුණතිලක (1996)