සුප්‍රකට “ආවේ මරියා” ඔපෙරාවෙන් ආලෝකවත් වූ රුක්මණී දේවිය ගේ “නමෝ මරියනි” ගීතය

දෙසැම්බර් 24, 2020

දහඅට වැනි සියවසේ යුරෝපයේ ජීවත් වූ ඔස්ට්‍රියානු ජාතික ෆ්‍රෑන්ස් ෂූබර්ට් (Franz Schubert) නම් සුප්‍රකට සංගීතඥයා ගේ “ආවේ මරියා” නම් ඔපෙරාව සියවස් ගණනක් එකලෙස කිතුනු බැතිමතුන්ගේ ජනාදරය දිනාගත් ගීතයකි. එවකට ස්කොට්ලන්තයේ සිටි ජනප්‍රියම කවියා වන ශ්‍රීමත් වෝල්ටර් ස්කොට් ගේ ජනප්‍රිය ආඛ්‍යාන කාව්‍යයක් වන “ද ලේඩි ඔෆ් ද ලේක්” (The Lady of the Lake) හි ගීත හතක එකතුවක් 1825 දී ෆ්‍රාන්ස් ෂුබට් විසින් ඔහුගේ 52 වැනි ඔපෙරාව සඳහා ජර්මානු බසට පෙරළා (එය ජර්මානු බසට පරිවර්තනය කරන ලද්දේ ඇඩම් ස්ට්‍රෝක් විසිනි) භාවිත කරන ලදී. ශ්‍රීමත් වෝල්ටර් ස්කොට් ගේ මෙම ආඛ්‍යාන කාව්‍යය ඔපෙරාවක් බවට පත්කර ෂූබර්ට් විසින් මුල්වරට ඉදිරිපත් කරන ලද්දේ කුඩා ඔස්ට්‍රියානු නගරයක් වන ස්ටෙයරෙග් හි ආදිපාදවරිය වූ සොෆී වයිසන්වොල්ෆ්ගේ මාලිගාවේදී බව වාර්තා වේ. අනතුරුව මෙම ගීතය සියවස් ගණනාවක් විවිධ ඔපෙරා කණ්ඩායම් සහ ගායක ගායිකාවන් විසින් “ආවේ මරියා” (Ave Maria) නොහොත් ලතින් බසින් “කන්‍යා මරියතුමිය අභිවන්දනය” (Hail Virgin Mary) ලෙසින් වෝල්ටර් ස්කොට් ගේ කාව්‍යයේ මුල් සන්දර්භයට සහ ෂූබර්ට් ගේ මුල් ඔපෙරාවෙහි සංගීතමය අනුභූතියට තරමක් වෙනස් වූ සරල ස්වර රචනා මගින් වර්තමානය දක්වාම ගායනා කරනු ලැබේ. මෙම මුල් ඔපෙරාව පියානෝව සඳහා අනුවාද තුනකින් සකස් කර ඇත්තේ ෆ්‍රාන්ස් ලිස්ට් විසිනි.

“ග්‍රැමොෆෝනය” හෙවත් “ශබ්දවාහිනී යන්ත්‍රය” ලොවට හදුන්වාදීමත් සමගම ෂූබර්ට් ගේ මෙම “ආවේ මරියා” (Ave Maria) ඔපෙරාව භාෂා ගණාවකින් ලොව සීඝ්‍රයෙන් ශබ්දවාහිනී තැටි ලෙස විවධ කාලවකවානුවලදී නිකුත් විය. එය අපරදිග මෙන්ම පෙරදිග රටවල ද කිතුනු භක්තිකයන් අතර අතිශය ජනප්‍රිය ගීතයක් විය. මෙම ගීතය එකල යටත්විජිත සමයේ මිෂනාරි අධ්‍යාපනික කෙන්ද්‍රස්ථාන සහ පල්ලි ආශ්‍රිත දේවමෙහෙයන් හි ද, සුලභව ගැයුණු ගීතයක් විය. මෙරටට ග්‍රැමොෆෝනයේ ආගමනයත් සමඟම, මුල් කාලයේ සිට ම බෞධාගමික තේමාවන් ඔස්සේ මෙන්ම කිතුනු බැතිමතුන් සඳහා ද, ගීත තැටි නිකුත් විය. මුල්ම යුගයේ , කිතුනු ගායනා ලෙස ලතෝනි, අම්බර ලතෝනි, දේව ප්‍රශංසා, පාස්කු නාටක ගීත ආදිය ග්‍රැමොෆෝන් තැටි මගින් නිකුත් විය. සුප්‍රසිද්ධ “බොරලැස්සේ පාස්කු නාටක” වල පුරෝගාමියා වූ, කේ. ලෝරන්ස් පෙරේරා මහතාගේ කිතුනු ගීත වර්ෂ 1929-31 කාලයේ පර්ලොෆොන් ලේබලයෙන් නිකුත් විය. අනතුරුව 1930-40 දශක වල, එවකට ජනප්‍රිය බොහෝ ගායක ගායිකාවන් විසින් ග්‍රැමොෆෝන් තැටි ඔස්සේ කිතුණු ගීත නිකුත් කරන ලදී.

ක්‍රි.ව. 1939-45 වකවානුවේ සුප්‍රසිද්ධ නාටක කණ්ඩායමක් වූ මීගමුවේ බී. ඒ ඩබ්ලිව් ජයමාන්න මහතා ගේ “මිනර්වා නාට්‍ය කණ්ඩායම” ද මෙසේ කිතුණු පරිසරයක බිහිවුණු විශිෂ්ටතම නාට්‍ය කණ්ඩායමක් වූයේ ඔවුනගේ ජනප්‍රියම වේදිකා නාට්‍යයක් වූ “කඩවුණු පොරොන්දුව“ පසු කලෙක (1947) මෙරට “පළමු කථානාද චිත්‍රපටය” ලෙස තිරයට නැගීමත් සමගය. වර්ෂ 1943 දී බී.ඒ ඩබ්ලිව් ජයමාන්න මහතා විසින් රචනා කරන ලද, මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයක් වූ “වැරදුණු කුරුමාණම” (EVASIVE DENIAL) නාටකයේ ගීත රචනා කරන්නේ එවකට යොවුන් ගීත සහ නාටක රචකයෙක් වූ පී. එල්. ජේ. නන්දනකීර්ති මහතා විසිනි. ජයමාන්නගේ මෙම “වැරදුණු කුරුමාණම” නාටකය වර්ෂ 1948 දෙසැම්බර් 03 දින මෙරට පස්වැනි කථානාද චිත්‍රපටය ලෙස තිරයට නැගෙන්නේ “සීමාසහිත සිලෝන් තියටර්ස්” සමාගමේ නිෂ්පාදනයක් ලෙස වංග ජාතික ජ්‍යෝතිෂ් සිංග් ගේ අධ්‍යක්ෂණයෙනි. මෙහි කතාව සහ දෙබස් බී.ඒ ඩබ්ලිව් ජයමාන්නගෙනි. චිත්‍රපටයේ සංගීත සංයෝජනය දකුණු ඉන්දියානු සංගීතඥ සි. එන්. පණ්ඩුරංගන් සහ බී .එස්. පෙරේරා ගෙනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ මෙරට සිනමා අග්‍ර රාජිණිය සහ ගීත කෝකිලාවිය වූ රුක්මණී දේවිය සහ හර්බි සෙනෙවිරත්න විසිනි. ජයමාන්න මහතා ගේ “වැරදුණු කුරුමාණම නාටකයේ” (1943) ඇතුළත් වූ ඇතැම් ගීත චිත්‍රපටය සඳහා ඇතුළත් නොකළ අතර, ඒ වෙනුවට එවකට (1945-1948 වකවානුවේ) ජනප්‍රිය වූ වංග සහ හින්දි ගීත තනු ඇසුරින් නව ගීත “වැරදුණු කුරුමාණම චිත්‍රපටය” වෙනුවෙන් සකස් කරන ලද්දේ ද පී. එල්. ජේ. නන්දනකීර්ති විසිනි. කෙසේ වෙතත් මුල් නාටකයට ඇතුළත් වූ, ගීත දෙකක් එලෙසම චිත්‍රපටය වෙනුවෙන් ද ඇතුළත් කෙරුණි. ඒ එඩී ජයමාන්න විසින් ගැයූ “දෙව්ලොව දෙවියනේ ගැහැනුන් හට කිමද මේ වුණේ” යන විකට ගීතයත්, රුක්මණී දේවිය විසින් ගැයූ “නමෝ මරියනී” නම් මෙම ගීතයත් ය. “නමෝ මරියනී” ගීතය වැරදුණු කුරුමාණම නාටකයට (1943) මෙන්ම චිත්‍රපටයට (1948) ද ගැයුණේ ෆ්‍රෑන්ස් ෂූබර්ට් ගේ මතු දැක්වූ සුප්‍රකට “ආවේ මරියා” ඔපෙරාවේ තනුව භාවිත කරමින් ය.

බී. ඒ. ඩබ්ලිව් ජයමාන්නගේ නාටක වලින් සිනමාවට නැගුණු චිත්‍රපට බොහොමයක අන්තර්ගත ගීත වල කිතුනු පරිසරය හුවා දක්වන වචන අන්තර්ගතකිරීම වීම ප්‍රකට කරුණක් විය. “මොක්ෂේ“, “ප්‍රේමේ අල්තාරයේ“, “ජීවිතය නමැති කුරුසය”, “දෙව් ස්වාමිනී” ආදී වදන් එකී ගීතාවලියෙහි දැකිය හැකි වූ නමුදු සම්පූර්ණ පදමාලාවක් සහිතව කිතු බැති ගීයක් පළමු වරට ජයමාන්න ඔහුගේ චිත්‍රපටය වෙනුවෙන් ඇතුළත් කළේ “වැරදුණු කුරුමාණම” චිත්‍රපටය වෙනුවෙනි. එසේම මෙරට සිංහල චිත්‍රපට ගීතාවලියේ පළමු කිතු බැති ගීතය වන්නේද රුක්මණී දේවිය විසින් ගයන මෙම “නමෝ මරියනී” ගීතයයි. එසේම සිංහල චිත්‍රපටයකට ඔපෙරා ශෛලීයෙන් ගැයුණු පළමු ගීතය ලෙස නම් කළ හැක්කේ ද මෙම ගීතයයි. චිත්‍රපටයේ ප්‍රධාන සංගීත අධ්‍යක්ෂකවරයා දකුණු ඉන්දියානු සංගීතඥ සි. එන්. පණ්ඩුරංගන් වුවද, මෙම ගීතයේ සංගීත සංයෝජනය සහ පියෑනෝ වාදනය කළේ චිත්‍රපටයේ සම සංගීත අධ්‍යක්ෂකවරයා වූ බී. එස්. පෙරේරා ය. ගීත පටිගත කිරීම සිදුකරන ලද්දේ මදුරාසියේ නැප්චූන් චිත්‍රාගාරයේ ය. මෙම ගීතය හිස්මාස්ටර්ස් වොයිස් (HMV) ගීත තැටි අංක එව් 506 අංකයෙන් නිකුත් විය. ගීතයේ පදමාලාව පහත පරිදි වේ.

 

නමෝ මරියෙනී......

ශාන්ත වූ මවුනි......

දයා කරුණා දම් වර්ෂා දෙවාවී .......

මඩු මෑණියෙනි....

උතුම් වූ දර්ශනෙනි මවුනි -

ස්වර්ගීය මෝක්ෂ මාර්ගේ

රාජෙශ්වරිනි මාගේ මේ යාඥා -

අසා වෙනු ද මා සමා

සමා-සමා-සමා-සමා- වේවා

නමෝ මරියෙනී ........

 

එසේම පළමු වරට බටහිර ඔපෙරා තනුවක ආභාසයෙන් සිංහල චිත්‍රපටයක් සඳහා ගීතයක් ලෙස පටිගත කළ පළමු ගීතය ද වන්නේ මෙයයි. බටහිර සම්භාව්‍ය සංගීතයේ මූලික පුහුණුවකින් සහ ආභාසයකින් තොරව ගැයීමට තරමක් අපහසු ගායනයක් වන මෙය රුක්මණී දේවිය විසින් කිසිඳු ආයාසයකින් තොරව බටහිර සංගීතයේ ට් ථචණධප ස්වර ග්‍රාමයේ ගායනා කරන්නී ය. එහි විශේෂත්වය වන්නේ, මුල් ගීතයේ ස්වර රචනාව පිහිටි ඛ් ථචණධප ස්වර ග්‍රාමයට ස්වර පහක් ඉහළින් පිහිටි ට් ථචණධප ස්වර ග්‍රාමයේ ඉතාමත් ස්ථිතිකව රුක්මණී දේවිය විසින් ගායනය සිදුකිරීම ය. සංගීත භාණ්ඩ ලෙස පියෑනෝව, වයලින් සහ චෙලෝ හෝ ඩබල් බේස් වාදනය කරන අතර ගායනයෙන් පිට වාද්‍ය ඛණ්ඩ මුල් ගීතයේ ආකෘතියට අනුකූලව එහි රසයට බාධා නොවන අයුරින් ඉදිරිපත් කිරීමට සංගීතඥ බී. එස්. පෙරේරා සමත් වී ඇත. රුක්මණී දේවිය බාලිකාවක සිටි කාලයේ පල්ලියේ ගීතිකා සහ කැරොල් කණ්ඩායම් වල ගීතිකා ගායනා කිරීමෙන් මෙන්ම, මීගමුවේ සුප්‍රසිද්ධ නාඩගම් නිළියක වූ සිමෝනා පෙරේරාගේ ගේ සහ කේ. ලෝරන්ස් පෙරේරා ගේ නාට්‍ය කණ්ඩායම් හි නාටකවල ගීත ගායනා කිරීමෙන් ලද ආභාසය ඇයට මෙවැනි ගීයක් ආයාසයකින් තොරව ගැයීමට රුකුල් වූවා විය හැකිය. එසේම මිනර්වා වේදිකාවේ 1943 සිට බොහෝ වාරයක් මෙම ගීතය ගායනා කළ නමුදු, ජයමාන්නගේ නාටක ගීත කිසිවක්, ග්‍රැමොෆෝන් තැටිවලට නොනැගුණු බැවිනි හදිසියේවත් බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න මෙය චිත්‍රපටයට ඇතුළත් නොකිරීමට තීරණය කළේ නම් අපට රුක්මණී ගේ මෙම සුගායනය කිසිදා නැවත අසන්නට නොලැබෙන්නට තිබුණි.

රුක්මණී දේවිය ගේ ගායනය සම්බන්ධව ලිපිය අවසන් කිරීමට පෙර සටහනක් තැබිය යුතුමය. රුක්මණී දේවිය මෙරට බිහිවූ අනභිභවනීය ගායිකාව බව අවිවාදිත ය. එය එසේ වන්නේ, රුක්මණී දේවිය තරම් , විවධ කාල වකවානු තුළ (1938-1978) , විවධ වූ සංගීතමය ආකෘතීන් තුළ, විවධ සංගීත සංයෝජනයන් යටතේ ගීත ගායනා කොට එකී අනුභූතීන් තුළ ස්වකීය දක්ෂතාවය උපරිම අන්දමින් විදහා පෑ ගායිකාවක් තවමත් මෙරට බිහිවී නොමැති බැවිනි. පශ්චාත් නුර්ති යුගයේ සහ ග්‍රැමොෆොන් ගීත තුළින් ගැයුණු හින්දුස්ථානි රාගධාරී සංගීතයේ රාග ඇසුරින් සකස්වුණු ශාස්ත්‍රීය සහ සරල ශාස්ත්‍රීය ගීත, චිත්‍රපට සහ ගුවන්විදුලි සරල ගීත, වේදිකා නාට්‍ය ගීත, කණ්ඩායම් සංගීතය, ඔපෙරා ශෛලීය, විරිඳු සහ සීපද, බටහිර ගීත ආදී විවධ ශෛලීන් රුක්මණී ගායනා කළේ කිසිදු විධිමත් සංගීත අධ්‍යාපනයක් නොමැති වය. මෙරට සිටි අතිවිශිෂ්ට ඉංගිරිසි නාටක කතුවරයෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වූ ෆ්‍රෙඩ්රික් චාල්ස් ලුඩ්වොයික් මහතා වරෙක ප්‍රකාශ කළේ “රුක්මණී දේවිය යුරෝපානු රටක ජන්මලාභය ලබා සංගීතය සහ නාට්‍ය කලාවන්හි විධිමත් පරිචයක් ලැබුවා නම්, ඇය ලොව සිටින උත්කෘෂ්ටතම සොප්‍රනෝ ගායිකාව වීමට තරම් ප්‍රබලත්වයක්” ඇයගේ ස්වරයෙහි පැවැති බව ය. Had she (Rukmani Devi) been born in a European country and been trained in the art of drama and music, she would definitely have been a pre eminent soprano vocalist...

 

ලොව පුරා කිතුනුවන් විසින් සමරන උතුම් වූ නත්තල් දිනය වෙනුවෙන් ගෙන ආ, කාලයේ වැලි තලාවෙන් වැසි ගිය හෙළයේ අසහාය ගීත කෝකිලාව වූ රුක්මණී දේවියගේ මෙම “නමෝ මරියනී“ ගීතය ඇයගේ නාමයට උපහාරයක් ම වේවා! එසේම සුවහසක් රසික පර්ෂදයන් පිනැවූ මේ උතුම් කලාකරිනියට ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදා වේවා!

 

මූලාශ්‍ර : “රුක්මණී“ ගීත පොත (1948) - නිව් වෙල්කම් ස්ටෝර්ස්, මරදාන ;මහාචාර්ය සුනිල් ආරියරත්න (1997)- සුප්‍රකට ගීත ලියු අප්‍රකට ගීත රචකයා - පී. එල්. ජේ. නන්දනකීර්ති ; Spaeth, Sigmund (2005). Whitefish, Montana Stories Behind the World's Great Music, p. 114, Kessinger Publishing. ; Garrett Field (2017) Modernizing Composition- Sinhala Song, Poetry, and Politics in Twentieth-Century Sri Lanka.
 

 

විශේෂ ස්තූතිය : ග්‍රැමොෆෝන් ගීත තැටි සංරක්ෂක ජයරත්න ප්‍රනාන්දු සහ දයා ලියනගේ මහත්මාවරු, සිනමා සහ කලා ලිපි සංරක්ෂක කපිල සිරිමාන්න සහ ප්‍රේමදාස තෙලිකෝරළ මහත්මාවරු,ගීතයේ සංගීතමය අගය කියා දුන් අසංක පෙරේරා මහතා