‘ගොළු හදවතේ” සුගත් වෙන්න සිටි චිත්‍රපට අදියුරු ටී. අර්ජුන

ජනවාරි 14, 2021

දේදුන්නෙන් එන සමලුනේ 
ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ 
රෑන් රෑන් ඇවිදිල්ලා 
අපේ ළඟින් ඉඳහල්ලා

දවසක් දා බෝ මළුවේ 
හමුවූ දාකදි අප දෙදෙනා 
පහනක් දල්වා 
එකම හිතින් - පැතු පැතුම් 
තෙපි නෑ දන්නේ 
බවෙන් බවය පෙර ආවා සේ 
බවෙන් බවය මතු සංසාරේ 
නිවන් දක්නා ජාති දක්වා 
එකට බැඳී ඉන්නයි පැතුවේ.

පේ‍්‍රමසිරි කේමදාස සංගීත නිර්මාණය කළ අජන්තා රණසිංහ ගේය පද රචනය කළ, සනත් නන්දසිරි සහ ලතා වල්පොල විසින් ගැයූ මේ ගීතය ඇතුළත් වන්නේ 1979 වසරේ තිරගත වූ ටී. අර්ජුන අධ්‍යක්ෂණය කළ ‘වසන්තයේ දවසක්” චිත්‍රපටයෙනි.

1980 ජනාධිපති චිත්‍රපට සම්මාන උලෙළේ දී දක්ෂතම නිළිය (මාලිනී ෆොන්සේකා), දක්ෂතම සහය නළුවා (ජෝ අබේවික්‍රම), දක්ෂතම කැමරා අධ්‍යක්ෂක (සුමිත්ත අමරසිංහ) දක්ෂතම සංගීත අධ්‍යක්ෂක (පේ‍්‍රමසිරි කේමදාස), දක්ෂතම ගීත රචක (අජන්තා රණසිංහ) දක්ෂතම ගායකයා (ටී.එම්.ජයරත්න) දක්ෂතම කලා අධ්‍යක්ෂක (හේමපාල ධර්මසේන) යන සම්මාන 7ක් දිනූ “වසන්තයේ දවසක්” චිත්‍රපටයේ නිර්මාතෘ හෙවත් අධ්‍යක්ෂක කවුද? 

ඔහු ටී.අර්ජුන හෙවත් තංගරාජා අර්ජුනය.

“අර්ජුන’ යනු මහා භාරතයේ හි එන පංච පාණ්ඩයන්ගෙන් එක් අයකුගේ නමය. අපරාජිත වීරවරයකු වූ මේ රාජ කුමාරයා ශ්‍රී කෘෂ්ණගේ සන් මිත්‍රයා විය. (උපුටනය- ආචාර්ය කේ.බී.ඒ.එඩ්මන්ඩ්ගේ මහා සිංහල සාහිත්‍ය ශබ්ද කෝෂයෙනි.

ටී. අර්ජුන ද සිංහල චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කොට කලාකරුවන් රැසකගේ “අපරාජිත වීරයකු” ලෙස වැජඹී සිට මීට වසර කීපයකට පෙර මිය ගියත් ඒ කලාකරුවන්ගේ සදා මතකයේ රැදෙන මානව දයාවෙන් යුතු මිනිසෙකි. ඔහු මිතුරන් සමීපයේ සිටියේ ඔවුනගේ සැපේ දී, හෝ ජයග්‍රහණවල දී නොව, ඔවුන් විපතට, පත් වී අසරණව විට හා රෝගීව සිටිය දීය.

ටී.අර්ජුන නර්තන කලාවට, සම්බන්ධ මහා කලාකාරියකගේ පුතා ලෙස 1943 අපේ‍්‍රල් 16 වෙනිදා කොළඹ කොටහේනේ “කොලේජ් ස්ට්‍රීට්” පැරණි මන්දිරයක උපත ලැබුවේය. 1950 වසරේ කැරෝල් රීඩ් නම් ඉංගී‍්‍රසි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයා ලංකාවට පැමිණ රූප ගත කළ ර්‍ණභබ ඛ්චඵබ ධට බඩඥ ධ්ඵතචදඤ චිත්‍රපටයේ උඩරට නැටුමක් ඉදිරිපත් කළේ අර්ජුන් මව වූ රංජනා තිලෝත්මක ය. පියා වූයේ සරවනමුත්තු තංගරාජා යාපනයේ උපත ලබා ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඕ.ඒ හා ඕ.ඉ.ඛ් උපාධි ලබා එවකට කොටහේනේ සාන්ත තෝමස් විද්‍යාලයේ (පසුව ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලය) ආචාර්යවරයකු ලෙස සේවය කර ඇත. ඔහුගෙන් ඉගෙන ගත් දීප්තිමත් ශිෂ්‍යයන් අතර හිටපු අග්‍රාමත්‍ය ඩඩ්ලි සේනානායක සහ හිටපු අමාත්‍යවරයකු වූ සී.පී.ද සිල්වා ද වූහ. යාපනයේ සිංහල උරුමය ගැන ප්‍රබලම සාක්ෂිය වූ වල්ලිපුරම් රන්පත රජයට බාරදෙන ලද්දේ තග්‍යාරාජා මහතාය.

ටී. අර්ජුන මා හඳුනා ගත්තේ අප දෙදෙනාම කොටහේන ආශ්‍රිතව උපන් නිසාත්ය. ප්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහ විසින් 1974 වසරේ අර්ජුන මට මුල් වරට හඳුන්වා දෙන ලැබීය. කිරුළපන ලංකා චිත්‍රාගාරයේ පැවැති අර්ජුන ගේ මුල්ම චිත්‍රපට වූ “කලියුගකාලේ” චිත්‍රපටයේ මුහුරත් උලෙළට මම ‘සරසවිය’ පත්‍රය වෙනුවෙන් සහභාගි වුණෙමි. මේ හමුවීමෙන් පසු මා පදිංචිව සිටි කොස්ගස් හන්දියේ සිට පයින්ම කොටහේනේ ඔහුගේ නිවසට ගියේ ‘ෂෝට් කට්” වලට පින් සිදුවන්නටය. එකල ඔහු කොස්ගස්හන්දියේ ලස්සන කෙල්ලකට ආලය කළේය. මා ඒ විශාල නිවසට ගිය විට ඔහු උදේ ස්නානය කොට කන්තෝරු කාමරයට එනතෙක් අසුනක හිඳ ඈත කෙළවර බලා සිටින්නේ ඔහුගේ අම්මා නර්තනය පුහුණුවන ශාලාව දෙසය. එහි ලෑලි පොළොව ඇගේ පාදවලට තෙපුල් දෙයි. ඒ සමඟ මෘදංග නාදය මුසු වෙයි.

ටී.අර්ජුන අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. ඉන් ඉක්බිති එංගලන්තයට ගොස් ඹ්ධදඤධද ඉජඩධධත ධට ජ්ඪතථ ඊඥජඩඪඳභඥ ආයතනයෙන් සිනමාකරණය ගැන උපාධි ලැබුවේය. ඉන්පසු බෲනායි රජයේ සුල්තාන්වරයා ගේ ආරාධනයෙන් එරටට ගොස් රජයේ චිත්‍රපට අංශයක් පිහිටුවීමට උපදේශකත්වය ලබා දී ඇත.

තරුණ අර්ජුන කඩවසම් තරුණයකු සිටි බව ඔහුගේ පසුව වියපත් මුහුණින් මොනවට ප්‍රකට විය. ඔහු තුරුණු වියේ සිට 1965 දී පමණ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කිරීම සැලසුම් කර සිටි “ගොළුහදවත” චිත්‍රපටයේ සුගත් ලෙස තෝරාගෙන ‘ස්ක්‍රීන් ටෙස්ට්’ එකක් කළ බව සිය මිතුරන් සිනහා සයුරේ ගිල්වමින් කී අයුරු අපට මතකය.

“අනේ හොඳ වෙලාවට එහෙම වුණේ. අපේ වාසනාවට අර්ජුන රඟපෑමට එදා ආවා නම් අපිට රඟපාන්න ලැබෙන එකක් නෑ. ඔහු සමීපතම මිතුරෙකු වූ ලූෂන් බුලත්සිංහල කීවේය.

අර්ජුන සෘජු අදහස් ඇති අවංක චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ලන්ඩනයේ සිට ලංකාවට පැමිණි අලුත එවකට සිටි චිත්‍රපට කර්මාන්තය භාර රාජ්‍ය ඇමති හමුවී සිනමාවේ ඉදිරි ගමන යෝජනා සහිත සන්දේශයක් ඉදිරිපත් කළ අතර ඇමතිවරයා එයට කිසිදු යහපත් ප්‍රතිචාරයක් දක්වා නැත. කොහොමත් කුකුල් කේන්තිකාරයකු වූ අර්ජුන තමාට නැවත භාර දුන් සන්දේශයක් ඇමතිවරයාගේ මුහුණට වීසි කොට ගෙදර පැමිණීම දන්නෙ ළඟම හිත මිතුරන් පමණි. ඔහු සංග්‍රහශිලි බව ද හෙට අතේ සතයක් වත් නැති වූවද, අද හිත මිතුරන්ට ඉස්තරම්ම අයුරින් සංග්‍රහ කිරීම ගැන ද ප්‍රකට කරුණකි. ඔහුගේ ඉන්දියාවේ චෙන්නහි පිහිටි අඩයාර්වල තිබූ නිවසේ නවාතැන් ගෙන ආගන්තුක සත්කාර උපරීම ලැබූ ජනපි‍්‍රය නළු නිළියන් කොතෙක් සිටියා ද? ඒ ඔහුගේ හැටිය.

අර්ජුන අධ්‍යක්ෂණය කළ “කලියුග කාලේ” 1975 තිරගත වූ අතර එය හාස්‍ය රසය මතු කළ චිත්‍රපටයක් මේ චිත්‍රපටයේ ටෝනි රණසිංහ හා නීටා ප්‍රනාන්දු ප්‍රධාන චරිත රඟපෑ අතර ඩී.ආර්. නානායක්කාර, ලෙටීෂියා පිරීස්, බී.එස්.පෙරේරා රඟපෑහ. මෙහි දෙමළ පිටපත ‘කලියුග කාලම්’ 1974 තිර ගත වී ඇත. ‘සාරා” ඔහුගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණයයි. 1978 තිරගත වූ මේ චිත්‍රපටයේ ටෝනි රණසිංහ හා ගීතා කුමාරසිංහ ප්‍රධාන චරිත රඟපෑහ. එඩී.ජයමාන්න, ඩී.ආර්.නානායක්කාර, පර්ල් වාසුදේවි ඇතුළු නළු නිළියන් රඟපෑ මේ චිත්‍රපටය ද හාස්‍යය, උපහාසය කැටි කළ චිත්‍රපටයකි.

අර්ජුන ගේ ලන්ඩනයේ ලැබූ සිනමා දැනුම මැනවින් ප්‍රයෝජනයට ගත්තේ ‘වසන්තයේ දවසක්” චිත්‍රපයෙනි.” මේ චිත්‍රපටයට ජනාධිපති සම්මාන 7ක්ම ලැබීමෙන් එය කලාත්මක ධාරාවේ සිනමා කෘතියක් ලෙස මතුවිය. මේ චිත්‍රපටයේ පේ‍්‍රමසිරි කේමදාසගේ නිර්මාණාත්ම ගීත හා පසුබිම් සංගීතය මැනවින් කැපී පෙණුනි. 

එහි එන ටී.එම්.ජයරත්න ලතා වල්පොල සමඟ ගැයූ ‘මාල ගිරා ගෙළ මාල පොටක් බැඳ ගෝමර පෙති මාලේ” ද ජනපි‍්‍රය විය. ‘වසන්තයේ දවසක්” චිත්‍රපටයේ මාලිනි ෆොන්සේකා හා රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රධාන චරිත රඟ පෑ අතර ජෝ අබේවික්‍රම, සොීමලතා සුබසිංහ, ජයසේකර අපොන්සු, ඇතුළු නළු නිළි පිරිසක් රඟපෑහ. වසන්දත්තිල් බාරු වානවිල්.”

(වසන්තයේ එක් දේදුන්නක්) දෙමළ භාෂා චිත්‍රපටය ඉන්පසු තිරගත විය. මේ චිත්‍රපටයේ විශේෂ ලක්ෂණය වුයේ ශ්‍රී ලංකාවේ සිංහල ජාතික සංගීතඥායෙත් ඉන්දියාවේ ගොස් එහි චිත්‍රගාරයක දී ජනපි‍්‍රයම ගායක යුවළක් එස්.පී. බාලසුබ්‍රමනියම් හා එස්. ජානකී යොදාගෙන ඉතා නිර්මාණශීලි ගීතයක් නිර්මාණය කිරිමය. මේ සංගීතඥයා පේ‍්‍රමසිරි කේමදාසයන්ය.

අර්ජුන තම මව ගැන ආඩම්බරයෙන් කතා කළේය.

“මගේ අම්මා ලංකාවේ දක්ෂ නර්තන ශිල්පිනියක්. උඩරට නැටුම් සහිතව ප්‍රථම මුද්‍රා නාට්‍යය ලංකාවේ වේදිකා ගත කළේ ඇය. තාත්තාත් එක්ක එකතු වී ලංකා ඉතිහාසය ඇසුරෙන් නිර්මාණය කළ ‘බර්ත් ඔෆ් ලංකා” සිංහල හා දෙමළ නළුවන් සමඟ එක්ව එකමුතුව ජාතික සමගිය ඇති කිරීම පරමාර්ථය කොට නිපද වූ නිර්මාණයක්. මගේ අම්මා අල්ගම කිරි ගණිත අර්නෝලිස් හා ඉඹුල් ගොඩ යන ගුරුන්නාස්සේලා සමඟ උඩරට නැටුම් පුහුණු කරනවා. මාලතී විද්‍යාපති හා කිරි ගණිත ගුරුන්නාස්ගේ දියණියක් මම පුංචි කාලේ දැකල තියෙනවා.” අර්ජුන වරක් අපට කියා ඇත. ඒ

අර්ජුන ගේ මව රංජනා තංගරාජා ගේ අන්තිම ශිෂ්‍ය පරපුරට අයත්ව ඇත්තේ මුදියන්සේ දිසානායක (පසුව මහාචාර්ය) රවිබන්ධු විද්‍යාපති (ප්‍රවීණ නර්තන ශිල්පී) ආදීන්ය.

“මගේ තාත්තා ගැනත් කියන්න හුඟාක් දේ තියෙනවා. තාත්තා කලක් නැවතී සිටි නිවසේ නැටුමට දක්ෂතා දැක් වූ ගැහැනු ළමයෙක් හිටියලු. තාත්තට හිතිල තියෙනවා. මේ ළමයට උදව් කරන්න. තාත්තගේ වියදමින් මේ ළමයා ඉන්දියාවේ ‘කලා කේෂ්ත්‍ර” නැටුම් පාසලට යවලා රුක්මණී දේවි අරුණ ඩේල් යටතේ වසර තුනක් ද, තංජෝරහි නැටුම් පාසලකටත් යවලා තියෙනවා. මේ දැරිය තාත්තා කළ උපකාරවල සිය කැමත්තෙන් බිරිය වී තියෙනවා. ඒ අපේ අම්මා තාත්තගෙයි අම්මගෙයි වයස් පරතරය අවුරුදු 22ක්ය.” අර්ජුන අපට වරක් කීවේය.

කොටහේනේ අර්ජුන ගේ නිවසට මා යන හැම අවස්ථාවකම මට මුලින් හමුවන්නේ ඔහුගේ පියාය. තංගරාජා මහතා ගේ සමීප පැවිදි මිත්‍රයන් වූයේ වල්පොල රාහුල, යක්කඩුවේ ප්‍රඥාරාම, හම්මලව සද්ධාතිස්ස කළල් ඇල්ලේ ආනන්ද සාගර, හැවන්පොල රතනසාර, බඹරැන්දේ සිරි සීවලී, ආදී මහ පඬි හිමිවරුන්ය. වල්පොළ රාහුල හිමියන්ට පැරිසිරියට ගොස් වැඩිදුර ඉගෙනීමට මුදල් ආධාර දුන්නේ තංගරාජා මහතා බව රාහුල හිමියෝ සඳහන් කළහ. 

ටී.අර්ජුන හා පේ‍්‍රමසිරි කේමදාසයන් අතර තිබුණේ අවියෝජනීය මිත්‍රත්වයකි. ‘වසන්තයේ දවසක්” චිත්‍රපටයෙන් තමාට ලැබුණු ආදායමෙන් ඔහු ජපානයෙන් සාදන ලද ඉස්තරම්ම “යමහා” පියාමෝවක් මාස්ටර්ට තෑගි දුන්නේය.

අර්ජුනගේ බාල සහෝදරයන් වූ හරිරාම් තංගරාජා බෲනායි රජ පවුලේ මුල්‍ය උපදේශකයාය. ඊළඟ සහෝදරයා විෂ්ණුපි‍්‍රය තංගරාජා ස්පාඤ්ඤා රජයේ බාක් ප්‍රාන්තය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකි. ඊළඟ සිව්වැන්නා කමලකුමරුන් තංගරාජා ඇමරිකාවේ සිටි බෑන්ක් සමුහයකට නියෝජ්‍ය සභාපතිවරයෙකි. නැගණිය මානික්කවල්ලි තංගරාජා මාධ්‍යවේදිනයකි.

අර්ජුනට උපෙන්ද්‍ර හා ධනංජය නමින් පුතුන් දෙදෙනෙකු හා ධනංජනී නම් දියණියක් ද සිටි.

දඩබ්බර හිතුවක්කාර චරිතයක් වූ අර්ජුන මිතුරන්ටනම් ගජ මිතුරෙකි. මා දන්නා අන්දමට ඔහුගේ සමීප මිතුරන් වූයේ පේ‍්‍රමසිරි කේමදාස, ලුෂන් බුලත්සිංහල, මහාචාර්ය සුනිල් ආරියරත්න, බුද්ධි කීර්තිසේන, අනුර රාජගුරුබණ්ඩාර ආදීන්. තවත් ඇති.

2017 අපේ‍්‍රල් 15 වෙනිදා රාත්‍රී 12ට පමණ ‘සරසවිය” කර්තෘ අරුණ ගුණරත්න මට කීවේ ‘අර්ජුන හදිසියේම හෘදයාබධයකින් මියගිය බවය. අර්ජුන මිය යන අවස්ථාවේ ගත කර ඇත්තේ බුද්්ධි කීර්තිසේනගේ කොස්වාඩියේ නිවසේය. ලුෂන් බුලත්සිංහල හා අනුර රාජගුරු බණ්ඩාර සමඟය.

“අපට යහපත් මිතුරෙකු වූ ඔහු මතකය ඉතිරිකොට සමු ගත්තේ 2017 අපේ‍්‍රල් 16 වෙනිදාය. ඔහුගේ 74 වැනි උපන් දිනය යෙදී තිබුණේ ඊට පසු දිනය.