ලංකා TV අන්දරය

ජුනි 6, 2019

කට පාඩම බෝඩ් එකෙන්

ජාතික රූපවාහිනිය ආරම්භ කර කෙටි කලකදීම 82 ජනාධිපති මැතිවරණයේ දින තීන්දු විය. මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා නව මාධ්‍යය ප්‍රබල ලෙස භාවිත කිරිමට එම මැතිවරණයට ඉදිරිපත් වූ සියලු අපේක්ෂකයෝ උත්සුක වූහ. එක්සත් ජාතික පක්ෂයෙන් ජේ. ආර්. ජයවර්ධන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව, ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර, සමස්ත ලංකා ද්‍රවිඩ සංගමයෙන් කුමාර් පොන්නම්බලම්, ලංකා සමසමාජ පක්ෂයෙන් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා සහ නව සමසමාජ පක්ෂයෙන් වාසුදේව නානායක්කාර යන අපේක්ෂකයෝ 82 ජනාධිපති මැතිවරණය සඳහා ඉදිරිපත් වූහ. මැතිවරණ කොමසාරිස් චන්ද්‍රානන්ද ද සිල්වාගේ නියෝගයෙන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සෑම අපේක්ෂකයකුම වෙනුවෙන් එක සමාන ගුවන් කාලයක් රූපවාහිනියෙන් වෙන්කරන ලද අතර ඔවුන් සෑම කෙනකු විසින්ම රූපවාහිනියට කරන ලද ප්‍රකාශනයන් විකාශය කිරීමට ප්‍රථම එහි නිරවද්‍යතාව තහවුරු කර ගැනීම පිණිස විශේෂ නිරීක්ෂණ මණ්ඩලයක් ද පිහිටුවන ලදී.

සෑම ඡන්ද අපේක්ෂකයකුම කිසිදු කොළයක් පරිහරණය නොකරමින් එක දිගට විනාඩි 30 ක් කැමරාව දෙස බලාගෙන කට පාඩමින් ජනතාව ආමන්ත්‍රණය කිරීම, රූපවාහිනී මාධ්‍යයට කෝඩුකාරයන් වූ ලාංකික ජනතාව වික්ෂිප්ත කර වූ කරුණක් විය. මම ද එවැනිම ප්‍රේක්ෂකයෙක් වීමි. කට පාඩමේ රහස දැනගන්නට හැකි වූයේ මැතිවරණයෙන් වසරකට පමණ පසුව රූපවාහිනිය මාධ්‍යයට එබිකම් කිරීමෙනි. සෑම ඡන්ද අපේක්ෂකයකුටම ජනතාවට කියන්නට අවශ්‍යව තිබූ කරුණු ලොකු අකුරෙන් බ්‍රිසිල් බෝඩ්වල ලියා ඒවා කැමරාව අසලින්ම ඔහුට පැහැදිලිව පෙනෙන සේ අල්ලාගෙන සිටින ලදී. බෝඩ් අනු පිළිවෙළට මාරු විය. ඒ සඳහා අදාළ පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනකුගේම සහාය ලැබී තිබිණ. කැමරාවෙන් පිටුපස සිදු වූ මෙම ක්‍රියාදාමය ප්‍රේක්ෂකයින් දුටුවේ නැත. අද දවසේ වුව ද ප්‍රවෘත්ති කියවන නිවේදකයා හෝ නිවේදිකාව තම දෑතේ දැවටෙන කොළය දෙසවත් නොබලමින්, සුළු වැරැදීමක්වත් කිරීමට ඉඩ නොතබමින්, එක ලයකින් යුතුව ප්‍රේක්ෂක ජනතාව ඉදිරියේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන විට, ඔහු හෝ ඇය කට පාඩමින් එය කියවනු ඇතැයි යම් ප්‍රේක්ෂකයකුට හැඟේ නම් එය සාධාරණය. නමුත් එහි ඇති තාක්ෂණික රහස බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය.

නිවේදකයා (හෝ නිවේදිකාව) ගේ රූපය හසුකර ගන්නා කැමරාවට පහළින් ටෙලි ප්‍රොම්ටරය (Tele Prompter) යනුවෙන් විශාල සිරස් රූපවාහිනී තිරයක් ඇත. නිවේදකයා අත ඇති කොළයේ අඩංගු ප්‍රවෘත්තිය එයට උඩින් සවි කර ඇති කැමරාවකින් හසුකර ගන්නා අතර, එහි ඇති අකුරු ලොකු කරමින්, ටෙලි ප්‍රොම්ටරයේ තිරය මත එය පතිත වේ. නිවේදකයා ප්‍රවෘත්ති පිටපත උඩ සිට පහළට ගෙන යන වේගය අනුව ටෙලි ප්‍රොම්ටරයේ තිරය මත අකුරු පතිත වන වේගය ද රඳා පවතියි. එම තිරයේ දිස්වන අකුරු කියැවීමේදී එයට උඩින් රඳවා ඇති කැමරාවෙන් රූපවාහිනී නිවේදකයා හෝ නිවේදිකාවගේ රූපය හසු කර ගන්නා විට ප්‍රේක්ෂකයින්ට දැනෙන්නේ කොළයක් දෙසවත් නොබලමින් ඔහු හෝ ඇය කට පාඩමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට දක්ෂයන් පිරිසක් විලසිනි. සමහර මාධ්‍ය ආයතන මෙම තාක්ෂණය ද යාවත්කාලීන කර ඇති බව සැලකුව මැනව.

අනුර මාධව ජයසේකර

Add new comment