මේ තවත් බැන්ඩ් ෂෝ එකක් නොවේ

සූරිය විමන ගෙන එන හර්ෂ ධනංජය පීරිස්
ජුනි 13, 2019

සජීවී රූපවාහිනී වැඩ සටහනක් ඔබ වෙත ගෙන ඒම හිතනවාට වඩා භාරදූර කටයුත්තකි. විශේෂයෙන්ම ආරාධිත අමුත්තන් කිහිප දෙනකු එයට සහභාගී වන්නේ නම් ඔවුන් වෙලාවට එනතුරු වැඩ සටහනේ නිෂ්පාදක සිටින්නේ යම්කිසි පීඩනයකිනි. අන්තිම මෙහොතේ ආරාධිතයකු නෑවිදින් සිටියහොත් වැටෙන්නේ අලි අමාරුවකය. ඒ බව නිෂ්පාදක අත්දැකීමෙන් දැන ඊට පිලියම් යොදන්නේ ක්ෂණයකිනි. මේ කිසිත් නොවුණු ගාණට වැඩ සටහන නාළිකාවේ විකාශය වන්නේ සුපුරුදු පරිදිය. ස්වාධීන රූපවාහිනියේ විධායක නිෂ්පාදක හර්ෂ ධනංජය පීරිස් ද එවැනි තත්ත්වයන් කිහිපයකටම මුහුණ පෑ තැනැත්තෙකි.

එන්නකො දවසක අයි. ටී. එන්. එකට. අපි පොඩි චැට් එකක් දාමු. ඔහු නිරන්තරයෙන් කළ ඉල්ලීමට එකඟ වී ඉකුත් දිනයකදී අපි ස්වාධීන රූපවාහිනි සංකීර්ණයට ගියෙමු.

ඔයාලා නියම දවසෙ ආවේ. කේක් කෑල්ලක් කාලම ඉමු.

කේක් . . .?

අදනෙ අයි. ටී. එන්. එකේ උපන් දිිනේ. මගේ ෂෝ එකත් අද ස්පෙෂල්.

හර්ෂ ෂෝ එක යනුවෙන් සඳහන් කළේ සූරිය විමන වැඩ සටහනටය. එහි සජීවි සංගීත කණ්ඩායමක් වෙනුවෙන් වේලාව වෙන් කොට තිබේ. සෑම බදාදා දිනකම සූරිය විමන තුළින් ඔබව රස ගන්වන්නේ තෝරා ගත් සංගීත කණ්ඩායමක් සහ පැමිණෙන ආරාධිත ගායක ගායිකාවන්ය.

දන්නවනෙ ලයිව් ප්‍රෝගෑම් කරද්දී අකරතැබ්බමයි වෙන්නේ.

හර්ෂ කතාබහ අරඹන්නට හරබරි ගැහෙයි.

දැන් ඔන්න හෙට ෂෝ එක තියෙනවා. අද රෑ කතා කරලා කියයි ඒ බෑන්ඩ් එකට එන්න වෙන්නේ නැහැ කියලා. මං රෑ නිදාගන්න හදද්දියි එයාලා කිව්වේ. නිදාගන්න ගිය ඇස් දෙකෙන් නින්ද පලා ගියා. හතර අතට කෝල් කර කර හොයා ගත්තා සංගීත කණ්ඩායමක්. ඔවුන්ව දාලා මුකුත් නොවුන ගාණට ෂෝ එක කළා. බලන්න ප්‍රසාද් අපි කොච්චර නම් වටින අවස්ථාවක් ද නවක කණ්ඩායම්වලට දෙන්නේ. අපිම සවුන්ඩ් ගෙනල්ලා ඒ අයට වේදිකාව හදල තියෙන්නේ. එයාලවනෙ ප්‍රේක්ෂකයෝ දකින්නේ අපිව නෙවෙයිනෙ.

අපි යමුද ස්ටුඩියෝ එක පැත්තේ?

යමු . . .

හර්ෂ මාව ප්‍රධාන මැදිරියට කැඳවාගෙන යයි. අග්නිදිග ආසියාවේ සුවිශේෂී වූ රූපවාහිනී මැදිරියකට පිවිස හාත්පස බැලූ මට මතක් වූයේ මෙතැනට කොතරම් වූ විශිෂ්ටයන් පා තබා ඇත්දැයි යන්නය. උරේෂා රවිහාරි සහ ඉන්ද්‍රසිරි සුරවීර මැදිරියේ කතාබහකි. හබරකඩ සොනාටා සංගීත කණ්ඩායම පෙර සූදානම් වෙමින් සිටින්නේ තම හැකියාවන් ප්‍රථමවරට රූපවාහිනී තිරයක් මත පෙන්වීමටය.

මං මෙච්චර සයිස් කාලෙ මේකේ සින්දු කිව්වේ.

උරේෂා ඉණ ගාවට අත පහත් කොට එකල උන්නා එක ගංගාවක ගීතය මේ මැදිරියේදී ගයද්දී ඇගේ උසේ ප්‍රමාණය පෙන්වයි.

මමත් මුල් කාලේ මෙතැනදි ගැයුවා. නවකයෝ වශයෙන් ඉදිරියට යන්න ඒක රුකුලක් වුණානෙ.

චන්දන ලියනාරච්චි පසෙක සිට කියයි.

කොහොමද මේ වැඩ සටහනට සංගීත කණ්ඩායම් තෝර ගන්නේ?

මම විමසීමි.

මේක කරන්නං වාලේ කරන බෑන්ඩ් ෂෝ එකක් නෙවෙයි විශාරද නිහාල් ගම්හේවා, අපේ ආයතනයේ සංගීත අංශයේ ප්‍රධානි චන්දන වැලිකල සහ මගේ දායකත්වය ඇතුවයි මෙම කණ්ඩායම් තෝර ගත්තේ. දෙසීයකට අධික අයැදුම්පත් ප්‍රමාණයක් ලැබුණා. ඒවා අතරින් තෝරා ගත් කණ්ඩායම්වලට මේකට එකතු වන්න අවස්ථාව දෙනවා. බොහෝ කණ්ඩායම් අපට නොසෑහෙන්න තුති පුදලයි මෙතැනින් යන්නේ.

හර්ෂගේ වැඩ සටහනෙහි සමාරම්භය සිදු වන්නට යන වග ඉවෙන් මෙන් මට දැනිණ. මාගෙන් අවසරය ඉල්ලා හර්ෂ යුහුසුලුව එහා මෙහෙ දුව යමින් අවශ්‍ය පිරිසට උපදෙස් දෙන්නට විය. ඔහුත් සමඟ මැදිරියේ පාලක මැදිරියට වි සූරිය විමනේ සංගීත ප්‍රසංගයට සජීවීව සහභාගි වී එහි කොටස්කරුවකු බවට පත්වන්නට මට හැකි විය. ස්වාධීන රූපවාහිනියේ හතළිස් වැනි සංවත්සරය වෙනුවෙන් සැකසූ විශේෂ කේක් ගෙඩිය කැපීමට සූදානම් වනු පෙනිණ. ඒ වෙනුවෙන් ආයතනයේ සභාපතිනි තිලකා ජයසුන්දර ප්‍රමුඛ ඉහළ කළමනාකරණ නිලධාරීහු එතැනට පැමිණ සිටියහ. එම කාර්යයෙන් අනතුරුව විශේෂ ප්‍රසංගය ආරම්භ වූයේය. පැමිණි කාරණය අවසන් බැවින් ස්වල්ප වේලාවකට පසුව හර්ෂගෙන් සමුගෙන මම ස්වාධීන රූපවාහිනී පරිශ්‍රයෙන් නික්ම යන්නට සැරසුනෙමි. ඊට ප්‍රථම මට කිහිප දෙනෙක් ඉන්නවා මතක් කරන්න ඕන යැයි හර්ෂ මගේ කනට කර කීවේය.

කියන්න . . . මං ලියා ගන්නම්.

අපේ සභාපතිනිය ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්ද්‍රජිත් වන්නිආරච්චි, විධායක අධ්‍යක්ෂ චන්දික විජේසේන, චන්දන වැලිකල ඇතුළු කට්ටියව තමයි කියන්න ඕනෑ.

Add new comment