ටෙලිනිසට 25යි දැන් ඉතින්...

සභාපති නීතිඥ ඩග්ලස් සිරිවර්ධන
ජුනි 20, 2019

මෙවර ගරු සාමාජිකත්වයෙන් පිදුම් ලබන්නෝ

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25වෙනි සංවත්සරය අද (20) සවස 3.30ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සම්මානනීය සිනමාවේදිනී සුමිත්‍රා පීරිස්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය එඩ්වින් ආරියදාස, ප්‍රවීණ රංගන වේදීන් වන අයිරාංගනී සේරසිංහ, ආචාර්ය මාලිනී ෆොන්සේකා, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය සහ සංගීතඥ ආචාර්ය රෝහණ වීරසිංහ ඇතුළු කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳ ටෙලිනිස වත්මන් සභාපති ප්‍රවීණ කලාශිල්පී නීතීඥ ඩග්ලස් සිරිවර්ධන සරසවියට මෙසේ විස්තර කළේය.

ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය වෙනුවෙන් පමණක් නොවේ කිසිම කලාවක් වෙනුවෙන් බිහි වූ සංවිධානයක් වසර 25ක් සක්‍රීයව පැවතී නැහැ. ඒත් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය ආරම්භයේ සිට මේ දක්වා පුරා දශක දෙකහමාරක් ක්‍රියාකාරීව පැවතෙනවා. සැම වසරකම සංවතසර උත්සවය පවත්වනවා. නිලධාරීන් පත් කරගන්නවා. රටේ කුමන කලබලයක් ඇති වුණත් සැම මාසෙකම පළමුවැනි සිකුරාදා සවස 6ට විධායක සභාවේ දෙදෙනකුගේ සහභාගීත්වයෙන් කුමන හෝ ස්ථානයක රැස්වීම තබා තීරණ ගන්නවා. ඒ නිසා නමට පමණක් නොවේ වැඩටත් එක ලෙස සමත් එකම සහ ප්‍රබල සංවිධානය ටෙලිනිසයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලෙස පවතින යුගයේ සෝමරත්න දිසානායක නිර්මාණය කළ අවසඳ සහ දයාරත්න රටගෙදර නිර්මාණය කළ මහමෙර පාමුල ටෙලි නිර්මාණ දෙක එවක ජනමාධ්‍ය ඇමැතිවරයා වූ ඒ ජේ රණසිංහ මහතාගේ නියෝගයෙන් 1993 ඔක්තෝබර් මසදී විකාශය නවතා දැමීම මේ සංසදය බිහිවීමේ ප්‍රබලම හේතුව බව කියන්න පුළුවන්. 1982 බිහි වූ රූපවාහිනී සංස්ථාවත් ඊට පෙර බිහිවුණු ස්වාධීන රූපවාහිනී සේවයත් අලුතින් ඇති කළ ටෙලි නාට්‍ය විකාශය කිරීමේ ක්‍රියාවලිය ඔස්සේ නිහාල්සිංහ මහතාගේ දිමුතුමුතු සහ පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ළාහිරු දහසක් ටෙලි නාට්‍ය වඩවඩා ජනප්‍රිය වීම නිසා මෙරට වෙළෙඳ ප්‍රචාරක සංස්කෘතියේ විශාල වෙනසක් අති වුණා. ඒ වගේම වේදිකාව සහ සිනමාව නරඹමින් සිටි සමස්ත ශ්‍රීලාංකික ජනතාවගේ විනෝදාස්වාදය වෙනස් වී ඔවුන් වේගවත් සමාජ ක්‍රියාකාරකම්වලට යොමු වීමත් එවකට පවති රජයේ විවෘත ආර්ථික ක්‍රමයේ වෙනස්කම් නිසාත්, මෙරට සංස්කෘතික, සමාජීය, දේශපාලනික හා ආර්ථික වශයෙන් විශාල වෙනස්කම් සිදු වූයේ රූපවාහිනිය නිසා. එතෙක් වේදිකාවේ හා සිනමාවේ රඟපෑ නළු නිළියන් වෘත්තීය රූපවාහිනී ශිල්පීන් බවට පත් වුණා.

රූපවාහිනිය ආශ්‍රිත යටිතලයට සම්බන්ධ විවිධ වෘත්තීන් අතිවුණා. මෙහි ප්‍රතිඵලයක් විදිහට ලංකාවේ වෘත්තීය නිපුණතාවයේත් ඒ පුහුණුවීම්වලත් විශේෂිත වූ පිරිස් බිහිවුණා. මේ අතර තමයි ටෙලි නාට්‍යවලට දේශපාලනික බලපම් වඩිවුණේ. 1993 වනවිට මේ රටේ උතුරේ හා දකුණේ පවති අතිශය භීෂණාත්මක තත්ත්වයේ නිමාවත් සමඟ ප්‍රේක්ෂකයන් සැනසුම් සුසුමක් හෙළා සන්සුන් වන්නට පටන්ගත්තා පමණයි. ඒ මොහොතේ නිර්මාණය වූ ටෙලි නාට්‍ය හා නිදහසේ බිහිවුණු නිර්මාණ සමහර දේශපාලනඥයන් මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන් පෞද්ගලික අත්දකීම් ලෙස සිතමින් ටෙලිනාට්‍යය නවත්වන තැනට ආවා. ටෙලිනිස බිහිවන්නේ එවැනි සමාජ ක්‍රියාකාදාමයක් තුළ සංවිධානය වීම ඒ මාධ්‍යය විසින් ඉල්ලා සිටි මොහොතකයි, ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ අර්බුදයක්, නිෂ්පාදකවරුන් හා නාළිකා අතර ගැටුමක් අති වූ අවස්ථාවකයි. ඒ නිසා එය ජාතික අවශ්‍යතාවක ප්‍රතිඵලයක්. රූපවාහිනී මාධ්‍ය සඳහා ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුයි, වාරණයෙන් තොරව නිදහසේ නිර්මාණය කිරීමේ අයිතිය සුරැකිය යුතුයි, නියාමන කමිටුවකින් අනුමත කළ ටෙලි නාට්‍යයක් කවර හේතුවක් නිසාවත් කිසිවකු විසින් නතර නොකළ යුතුයි, අධ්‍යක්ෂවරයාගේ බලය අබිබවමින් නාළිකාවලට අවශ්‍ය පරිදි ටෙලිනාට්‍ය සංස්කරණය නොකළ යුතුයි, ප්‍රේක්ෂක අයිතිය රැකිය යුතුයි. ඒ වගේම වර්තමාන හා අනාගත ප්‍රේක්ෂක රසඥතාව සුරැකෙන ගුණාත්මක උසස් නාට්‍ය නිර්මාණය කළ යුතුයි යන පරමාර්ථ එක්කයි බිහි වුණේ. ප්‍රවීණ අධ්‍යක්ෂ සුදත් රෝහණගේ කැඳවුම අනුව සංවිධානය වෙලා 1993 වසරේ දෙසැම්බර් 18 මහවැලි කේන්ද්‍රයේදී ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය පිහිටුවා ගත්තා. එහි සභාපති ලෙස පත් වුණේ තිස්ස අබේසේකරයන්. ලේකම්ධුරයට පත් වුණේ මම. එදා සිටම භාණ්ඩාගාරික වුණේ බන්දුල වීරක්කොඩි. වත්මන් ලේකම් ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ නාලන් මෙන්දිස්.

සෑම වසරකම සංවත්සර උලෙළ පැවැත්වීමත්, ගරු සාමාජිකත්වය ලබාදීමත් සිදුකෙරෙනවා. ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙවරක් කළ අයටයි අපි ඒ ගරු සාමාජිකත්වය ලබා දෙන්නේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මාගේ සිට සෝමවීර සේනානායකයන් දක්වා මේ වනවිට අප ඒ ගෞරවය ලබා දී තිබෙනවා. මේ වසරේ අපේ ගරු සාමාජිකත්වයෙන් පිදුම් ලබන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ සම්මානනීය ගේයපද රචක මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන, ප්‍රවීණ ටෙලි නාටක රචක කේ. බී. හේරත්, ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ දි. ග. සෝමපාල සහ ප්‍රවීණ රූපවාහිනී තාක්ෂණික ඉංජිනේරු රොහාන් පෙරේරා යන මහත්ම මහත්මීන්. මෙවර සංවත්සර උලෙළේ ආරාධිත විශේෂ දේශනය පවත්වන්නේ රජරට විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සේන නානායක්කාර මහත්මයායි.

රාජ්‍ය නාළිකා හැරුණු විට අනෙක් සියලුම නාළිකා අපට පසුව බිහි වූ නිසා ටෙලිනිස ජ්‍යෙෂ්ඨයි. ටෙලි නාට්‍ය සඳහා වන සම්මාන උලෙළ හතරක් පැවැත්වීමෙන් මේ ක්ෂේත්‍රය පිළිබඳ තිබෙන උනන්දුව අපට පේනවා. සුමති, රයිගම්, සිග්නීස් සහ රාජ්‍ය ටෙලි නාට්‍ය උලෙළ විශේෂයෙන් අගයන්න අප මේ සංවත්සරයේදී කටයුතු කරන්නෙ ඔවුන් ටෙලි ක්ෂේත්‍රයේ ගුණාත්මක නිර්මාණ අගයන්න දරන උත්සාහය නිසා. වසර විස්සකට වඩා වැඩි කාලයක් අපේ සංසදයේ හිඳීමින් ක්ෂේත්‍රයට සේවය කළ කීපදෙනකු ඇගයීමටත් අප කටයුතු කරනවා.

ටෙලිනිස සුබසාධන සංවිධානයක් නොවේ. ඒත් සුනාමි, ගංවතුර, නියඟය වගේ අවස්ථාවල විපතට පත් වූ අපේ සහෘද රසික ජනතාවට නිවෙස් තනා දීමට, වියළි සලාක, පානීය ජල පහසුකම් සලසා දීමට අපේ නළු නිළියන් වගේම නිෂ්පාදකවරුන් සහ අනෙක් ශිල්පීන් කටයුතු කරනවා. සංසදය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් වැඩි ප්‍රචාරයක් නැතිවම කරගෙන යනවා. දැනට යාවජීව, පූර්ණකාලීන සහ ආශ්‍රිත වශයෙන් 700ට වැඩි පිරිසක් ටෙලිනිස සාමාජිකත්වය දරනවා. කිසිදු අවස්ථාවක විකාශය වෙමින් පවතින කිසිදු ටෙලි නාට්‍යයක් නැවැත්වීම එපා කියන තැනට අප කටයුතු කළා. මකර විජිතය ටෙලි නාට්‍යය එක්තරා අධ්‍යක්ෂ ජනරාල්වරයකු ඉන්නතුරු විකාශය නොකිරීමට ගත් තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයට ගොස් මූලික අයිතිවාසිකම් පෙත්සම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකසා දීමට අපි කටයුතු කළා. එමඟින් ටෙලි නාට්‍යයක් තෝරාගැනීමේ පටිපාටිය පිළිබඳ ලියැවිල්ලක් තනා එය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර, ටෙලි නාට්‍යයක් විකාශය සඳහා ඉදිරිපත් කළ විට සිදු කළ යුතු ක්‍රමවේදය විනිවිදභාවයකින් සිදුකළ යුතුයි යන්න සම්මත කර ගත්තා. එනිසා කිසිවෙකුට අතරමැදින් කිසිදු දූෂණයක්, වංචාවක්, හොරකමක් කරන්න බැහැ. මෙගා රැල්ලට එරෙහිව අපි විශාල අරගලයක් ගෙනගියා. එහි ප්‍රතිඵලය වුණේ රජයේ නාළිකාවල කොටස් සංඛ්‍යාව උපරිම100ටසීමා කිරීමට හැකි වීමයි. ජාතික නාළිකාවලට ජාතික වගකීමක් තිබෙනවා ලාභය පමණක් නොසලකා කටයුතු කිරීමට. හඬ කවන ටෙලි නාට්‍ය පාලනය කළ යුතු බවට අපි අරගල කළා. ඒ නිසා ඒවාට විශාල බදු පැනවීමක් වුණා. 2006 අංක 11 දරන මුදල් පනත යටතේ. එමඟින් ඒ රැල්ල සීමා වෙලා, මුලින් 90,000ක් වූ මුදල පසුව ලක්ෂ තුනක් දක්වා වැඩි කළා. එය යළිත් ලක්ෂ එකහමාර දක්වා අඩු වී තිබෙනවා. එයින් එකතු වුණු විශාල අරමුදලින් තමයි රන්මිහිතැන්න ටෙලිගම්මානය බිහි වුණේ. ඊට පසු එකතු වූ බිලියන ගණනක් මැතකදි භාණ්ඩාගාරයට ලබාගෙන තිබුණා. අපේ යෝජනාව නම් ඒ මුදල ටෙලි නිර්මාණකරුවන්ගේ නිර්මාණ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැපයීමට වගේම රංගනය ඉගැන්වීමට අවශ්‍ය අභ්‍යාස පාඨමාලාවක් හා ආයතනයක් පිහිටුවීම සඳහා යොදවන්න කියන එකයි. අඩුම තරමේ එක ටෙලි නාට්‍ය කොටසකට රුපියල් 25000ක් බැගින්වත් දෙන්න කියලා අපි ඉල්ලා සිටියා. ටෙලි නියාමන මණ්ඩලයක් පත් කරන්න රජයට යෝජනා කළා. පසුගියදා ටෙලිනිස අපි, ටෙලිවිෂන් වෘත්තිකයන්ගේ ජාතික සංවිධානය සමඟ එක් වෙලා පනතකට යෝජනා ඉදිරිපත් කළා. එය දැනට තිබෙන තැන නොදන්නවා වුණත් ඒ ලේඛනයට ඉදිරියේදී නීත්‍යානුකූල බවක් ලබාගෙන මේ කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යොදවන්න කටයුතු කරනවා.

අපි දිගටම කරගෙන ආ ටෙලිනාට්‍ය රස වින්දන වැඩසටහන දිවයින පුරා පාසල් හා විශ්වවිද්‍යාලවල දරුවන්ගේ රසඥතාව වර්ධනය සඳහා ඉදිරියටත් කරනවා. ටෙලි තරු ගී ප්‍රසංගයේ දෙවැනි අදියර 2019 කිරීමට බලාපොරොත්තු වෙනවා. රංගන පාඨමාලාව ලබන වසරේ සිට අනුග්‍රාහකයකු සමඟ එක්ව නොමිලේ පවත්වන්නත් අපේක්ෂා කරනවා. විශාල ඉල්ලුමක් සහිත කලා ශිල්පීන්ගේ නාමාවලිය අංගසම්පූර්ණව ප්‍රකාශයට පත් කරනවා. ටෙලි නාට්‍ය මඟින් ප්‍රේක්ෂකයා සතුටු කරනවා වගේම තිරයෙන් පිටුපසම සැම වෘත්තිකයකුටම දරු පවුලකුත් ඉන්නවා. ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වූ මොවුන් ජීවත් කරවීම සහ අපේ කියන අනන්‍යතාව සහිත ටෙලිනාට්‍ය කලාවක් බිහිකිරීම සඳහා ඇතැම් පාලකයන්ට අමතක වූ ජාතික වගකීම වෙනුවෙනුයි ටෙලිනිස කටයුතු කරන්නේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.