ලේසියෙන් මාව රවටන්න බෑ

උතුරු සුළඟ ගෙනෙන චාමර ජනරාජ් පීරිස්
ජනවාරි 9, 2020

චාමර ජනරාජ් පීරිස් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි. කලක් ලේක්හවුස් ආයතනයේ සේවය කළ හෙතෙම වර්තමානයේ වෘත්තීමය වශයෙන් නිර්මාණකරණයේ යෙදෙයි. අයාල්, යාය 4, පියවි, ඇසිඩ්, රාහු වැනි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ චාමර ස්වකීය නිර්මාණ දිවියේ ඊළඟ පියවර ලෙස චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කොට තිබේ. එය නම් කොට ඇත්තේ ‘උතුරු සුළඟ’ නමිනි. ටෙලි නාට්‍යයෙන් චිත්‍රපට ලොවට පිවිසි චාමර ඒ පිළිබඳ සිය අදහස් බෙදා ගත්තේ මේ අයුරිනි.

චාමර, උතුරු සුළඟ මොන වගේ කතාවක්ද?

මේකත් මගේ අනිත් වැඩ වගේම අමතුම වැඩක්. සුනිමල් කියලා තරුණයෙක් ඉන්නවා. ඔහු ගමකට පිටින් ආව පුද්ගලයෙක්. එක්තරා හේතුවක් මත සුනිමල්ට ගම්මු පහරදීලා ගමෙන් එලවනවා. මේ සිදුවීමත් එක්ක සුනිමල්ට සුනිමල් හමු වෙනවා. ඔහු කොහේ ඉඳන්ද ආවේ, එතකොට තමන්ගේ ඉතිහාසය වගේ ඒවා හෙළි වෙනවා.

මෙහි තිර රචනය ඔබගේද?

ඔව්.

සත්‍ය කතාවක් පසුබිම් කරගෙනද උතුරු සුළඟ ලිව්වේ?

නැහැ. මේක මගේ ඔළුවට එකපාරටම ආව කතාවක්.

ඔබ දිගු කාලයක් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රැඳුණු චරිතයක්. සිනමාවට පිවිසීමත් සමඟ වෙනස්ම අත්දැකීම් කිහිපයක් ලබන්න ඇති?

මං සිනමාපටයක් නිර්මාණය කිරීමට සූදානම් වුණ වෙලාවෙදි අම්මෝ මචං සිනමාවද? පිස්සුද මචං චිත්‍රපට කරන්න. දන්න ටෙලියක් කරගෙන හිටපං වගේ දේවල් කිව්වා. දෙතුන් දෙනකු විතර තමයි උදව් කළේ. මට ඒවා අදාළ කර ගත්තේ නැහැ. මං ලේක්හවුස් එකේ හිටපු කෙනෙක්නෙ. මහරාජා එකෙත් වැඩ කළා. මාව අන්දන්න හරිම අමාරුයි. හිතුවොත් දෙයක් කරලමයි ආපහු හැරෙන්නේ. චිත්‍රපටයක් කරද්දී ටෙලි නාට්‍ය මාධ්‍යයෙන් ලබාගත් අත්දැකීම් බොහොම වැදගත් වුණා. නමුත් වෙනස්කම් තිබුණා. චිත්‍රපටයේ ධාවන කාලය පැය දෙකක් විතර. ඒක නිසා ඒ කාලය ඇතුළත කතාව කියලා ඉවර කරන්න ඕනෑ. අවශ්‍යම රූප රාමු විතරයි රූපයට නඟන්න පුළුවන්. 

අප රටේ චිත්‍රපට තිරගත වෙන කොට අකටයුතුකම් සිදුවෙනවා කියලා අධ්‍යක්ෂවරු මැසිවිලි නඟනවා. ඔබත් ඒවා අසා ඇති?

ඒ අය අතරේ මගේ චිත්‍රපටය හොඳට දුවනවා කියලා කියන අයත් ඉන්නවනෙ. මේක මාෆියා එකක්. බොහෝ අධ්‍යක්ෂවරු තමන්ගේ වැඩේ කර ගන්නවා මිසක් ඒක කර ගත්තේ කොහොමද කියලා කියන්නේ නැහැනෙ. අලුත් අය මේකට වැටිලා පීනලා ගොඩ එන්නේ තමන්ගේම ස්වෝත්සාහයෙන්. එකෙක් නැහැ මේ විදිහට පීනපං කියන අය. මටත් ඒක තමයි වුණේ. මං මං විසින්ම සොයා ගත් දැනුම නිසා පීනලා පිනලා ඇවිත් දැන් ඉවුර ගාව ඉන්නේ. ඉතුරු ටිකත් එහෙම්මම කරනවා.

උතුරු සුළඟේ ප්‍රධාන චරිත මවන්නේ කවුද?

කාවින්ද්‍යා දුල්ෂානි සහ එරංග ජීවන්ත තමයි කොල්ලයි කෙල්ලයි.

ඔබගේ ටෙලි නාට්‍ය බොහොමයකත් ප්‍රධාන චරිතය වුණේ එරංග?

එරංග හොඳ නළුවෙක් මචං. කවදාවත් කැමරාව ඉස්සරහ මං එරංග එරංග විදිහට දැකලා නැහැ. ඌ ඉන්නේ චරිතෙ. චරිතයෙන් චරිතයට ස්වභාවය වෙනස් කර ගන්නවා. මට එරංගට ආදේශකයක් නැහැ. වෙන නළුවෙකුට චිත්‍රපටයේ චරිතය දුන්නා නම් වැඩේ ෆේල් වෙන්න තිබුණා.

චිත්‍රපටය කරද්දී වෙච්ච අමතක නොවන අත්දැකීම මොකක්ද?

අපි ෂූට් කළේ ආනමඩුව මහඋස්වැව කියන ප්‍රදේශයේ. ඒ හරියට කවදාවත් හෙලිකොප්ටර් එකක් ගොඩ බැහැල තිබුණේ නැහැ. මට චිත්‍රපටයේ අවසාන දර්ශනයට හෙලිකොප්ටර් සීන් එකක් ඕන කරලා තිබුණා. මේ බව දැනගෙන ගමම එතනට ආවා. එදා ගමේ ඉස්කොලේ නිවාඩු. බැංකුවල වැඩ කරන අය, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ගමේ ප්‍රධානියෝ ඔක්කොම අටසීයක් විතර ඇති. හෙලිකොප්ටරේ බාන කුඹුරේ වටවෙලා මේ සේරම මගේ ප්‍රඩක්ෂන් එකේ වැඩ කළා. අපි ඒම් කරගෙන හිටියේ තුන්සීයයි. අන්තිමේ අටසීයකට විතර එදා කන්න දෙන්න වුණා.

නිශ්ශංක විජේරත්න