මනෝ ජගත් සම්මාන දිනූ සූවිසි විවරණට මොකද වුණේ?

ජනවාරි 16, 2020

 

මනෝරත්නයන්ගේ විශිෂ්ට වූ රංග ප්‍රතිභාව විදහා දැක්වෙන තවත් සිනමාපටයක් ළඟදීම තිරගත වීමට නියමිතය. සූවිසි විවරණ නමැති එහි ඇති විශේෂත්වය වනුයේ මනෝ එම සිනමාපටයේ කළ ගුරුන්නාන්සේගේ චරිතය වෙනුවෙන් අන්තර් ජාතික සම්මානයකට පාත්‍රවීමය.

ඉන්දියාවේ බයස්කෝප් අන්තර් ජාතික සම්මාන උලෙළේ දී හොඳම නළුවා ලෙස ඉකුත් වසරක සම්මානනීය වූයේ මනෝරත්නය. අවාසනාවකට ඔහු ජීවතුන් අතර සිටියදී සූවිසි විවරණ තිරයට ආවේ නැත. මනෝට අන්තර් ජාතික සම්මානයක් ගෙන දුන් අධ්‍යක්ෂවරයා එනම් සූවිසි විවරණ නිර්මාණකරු සරත් ධර්මසිරි මනෝගේ රංග ප්‍රතිභාව ගැන කතා කිරීමට අප හා එක් විය. මේ ඔහු තම හිතාදර ප්‍රවීණයා පිළිබඳ අදහස් දැක් වූ අයුරුයි.

මං චිත්‍රපට තුනයි කළේ. එකක් ගිනි කිරිල්ලි. අනික භේරුණ්ඩ පක්ෂියා, සූවිසි විවරණ තමයි අනෙක් චිත්‍රපටය. මනෝ මගේ පළමුවැනි චිත්‍රපටයෙත් රඟපෑවා. පොලිස් චරිතයක් ඒක කළේ. ඔය චරිතෙ නිසා මනෝ අලි අමාරුවකත් වැටුණා. පොලිස් චරිතෙට අපි මනෝව ඇන්දුවා. නිල ඇඳුමට අංකයක් එපායැ. ඉතින් මම ව්‍යාජ අංකයක් තමයි සවි කළේ. වැඩේ කියන්නේ ඒ අංකයෙන් ඇත්ත පොලිස් නිලධාරියෙක් ඉඳලා. ඔහු අපිට විරුද්ධව නඩු දැම්මා. මනෝටයි මටයි මිරිහානේ පොලීසියට යන්න වුණා. ඔහුව දැකලා පොලිස් නිලධාරීන් මොකද මොකද කියලා අහන්න ගත්තා.

අන්තිමේ මම වැරැද්ද වගකීම බාර අරගෙන පන්සලකට ආධාරයක් දෙන්න පොරොන්දු වෙලා තමයි එතනින් ගැලවුණේ. මොන දේ වුණත් මමෝ මගෙත් එක්කම හිටියා. ඔය සූවිසි විවරණ චිත්‍රපටය තියෙනවා නේද මනෝ ඒකෙ කළේ ගණිතසාර ගුරුන්නාන්සේ කියලා නැටුම් ගුරුවරයකුගේ චරිතයක්. මනෝ ඒ චරිතයට අකැමැති වුණා නම් නිර්මාණය හරියට නොකෙරන්න තිබුණා. චිත්‍රපටයේ නර්තන වින්‍යාසය කළේ මහාචාර්ය මුදියන්සේ දිසානායක. ඔහුත් සමඟ සෞන්දර්ය කැම්පස් එකේ ශිෂ්‍යාවෝ කිහිප දෙනෙක් ඇවිත් සිටියා නිර්මාණයට දායක වෙන්න. මුදියන්සෙ සර් ස්ටෙප් කියලා දෙන කොට ඉතාම ඉක්මනින් මනෝට ඒවා අල්ල ගන්න පුළුවන් වුණා.

නැටුවා නැටිල්ලක් පළපුරුදු ඔක්කොම පරද්දලා. මනෝරත්නට තියෙන්නේ නියම සිංහල පෙනුමක්. නැට්ටුවෙක් නම් නැට්ටුවෙක්, බාස් කෙනෙක් නම් බාස් කෙනෙක්, හිඟන්නෙක් නම් හිඟන්නෙක් වගේ ඕනෑම චරිතයකට අනුගත වෙන්න මනෝට පුළුවන් වුණා. කිව්වට විශ්වාස කරන්න අපි සූවිසි විවරණ ෂූට් කරපු ගමේ උදවිය හිතාගෙන හිටියේ මනෝරත්න ඇත්තටම නැටුම් ගුරුවරයෙක් කියලා. සූවිසි විවරණ ෂූට් කරන කාලේ තවත් අමතක නොවන සිද්ධියක් වුණා. මනෝයි මමයි දර්ශන තලයෙන් පිට ගිය වෙලාවක මොකක් හරි ප්‍රශ්නයක් නිසා ප්‍රඩක්ෂන් ටීම් එකට ගමේ අය ගහලා. ඒක මනෝ දැනගත්තම හරියට කනගාටු වුණා. ඔහු තමයි ගමේ අය සහ ප්‍රඩක්ෂන් ටීම් එකත් අතර සම්බන්ධිකාරකවරයා වුණේ. දෙගොල්ලන්ව කොහොම හරි මිත්‍ර කළා. මනෝ චිත්‍රපටයේ කරපු රංගනයට අන්තර් ජාතික සම්මානයකුත් ගත්තනෙ.

 

අපි ඒ වෙනුවෙන් පදනම් ආයතනයේ උපහාර උලෙළකුත් සංවිධානය කළා. ඒත් කියන්න දුක හිතෙන කරුණු දෙකක් තියෙනවා. මනෝ ගත්තු අන්තර් ජාතික සම්මානය ගැන කතා කළේ හරිම අඩුවෙන්. ඒ වගේම සූවිසි විවරණ මමෝ ඉන්නකම් පෙන්න ගන්න ලැබුණේ නැහැ. මනෝ කියන්නේ පුදුමාකාර විදිහේ ඇක්ටිං කන්ටෙ‍්‍රීල් එකක් තියෙන නළුවෙක්. 2.5 කට රඟපෑවාම මනෝ අපි 3 විතර ඇක්ටිං එක අප් කරන්න කිව්වාම කන්ට්‍රෝල් වෙනවා අපූරුවට. මනෝ ඇත්තටම පුදුමාකාර නළුවෙක්.