දෙරණ ලිට්ල් ස්ටාර් ලොක්කන් අන්දමන්ද කරන පොඩ්ඩන්ගේ පෙළහර

අවසන් තරඟය 27 දා
ජුනි 25, 2020

එය සුවිසල් වේදිකාවකි. එහෙත් එතැන විස්කම් පෑවේ පුංචි තාරකාවන්ය. හිතේ හැටියට ඔවුන් ඒ තෝතැන්නේ රැඟූහ. ගැයූහ. ජයග්‍රහණයන් ලබා ගත්හ. පුරා දස වසරක් එකී වේදිකාවේ  නැඟ රටක් වසඟයට ගන්නට ඒ පොඩිත්තන්ට හැකියාව ලැබිණ. වෙනම ප්‍රේක්ෂකාගාරයක් ද ඔවුනට ගොඩ නැඟිණ. මේ පුංචි තාරකාවන් බිහි කළ තැන දෙරණ ලිට්ල් ස්ටාර් වේදිකාවයි. එහි දසවැනි අදියර මෙම මස 27 වැනිදා පැවැත්වෙනු ඇත. එය සජීවීව ටී. වී. දෙරණ ඔස්සේ විකාශය වේ. එකිනෙකාට නොදෙවෙනි අන්දමින් පොඩිත්තෝ වේදිකාවේ පෙළහර පාති. ඉන් බොහෝ අවස්ථාවන්වලදී අපහසුතාවයට පත් වන්නේ විනිශ්චය මණ්ඩලයයි. හැමෝටම එක හා අන්දමෙන් ප්‍රතිචාර දැක් විය යුතුය. අඩුපාඩු ඇත්නම් පෙන්වා දිය යුත්තේ මල් වැනි පුංචි  සිත් නොපාරමිනි. වෙන විනිශ්චය මණ්ඩලවලදී  නොමැති සංයමයක් මෙතැනදී තිබිය යුත්තේ එහෙයිනි. දෙරණ ලිට්ල්ස්ටාර් ගායන අංශයේ විනිසුරුවරයන් ලෙස  සංගීත විශාරද ජගත් වික්‍රමසිංහ, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්, වාද්‍ය නිපුන් පේෂල මනෝජ් කටයුතු කරනු ලබති. ඔවුන් තිදෙනා ද ලිට්ල් ස්්ටාර් පිළිබඳව මෙලෙස අදහස් දැක්වීම සිදු කළෝය.

විශාරද ජගත් වික්‍රමසිංහ

මේ තරඟ බිමට ලක්ෂ සංඛ්‍යාත දරුවන් පිරිසක් එනවා. මෙයට ඇතුළු වෙද්දීම තරගකාරීත්වයක් ඒ පිරිසත් එක්ක පුංචි දරු දැරියන්ට දැනෙනවා. එතැන ඉඳලා තමයි ඔවුන් අරමුණක් හදා ගන්නේ. මේ වේදිකාවේ ගයන ළමයින් සමහරු හරිම පොඩියි. ඒ වුණාට තෝර ගන්නේ ඉතා මිහිරි ප්‍රශස්ත මට්ටමේ ගීත. ඔවුනට ඒවායේ අර්ථය නොදන්නවා වුණාට හරිම භාවාත්මකව ඒ ගීත ගයනවා. අපිත් බොහෝ අවස්ථාවලදී  විස්මයට පත් වෙනවා ඒ හැකියාවන් දැකලා. මම  හිතනවා මේ වැනි ඉඩ ලැබීම් නිසා ළමයින්ගේ රස වින්දන හැකියාව ඉහළ යනවා කියලා. පුංචි සංදියේ ඉඳලා ඔවුනගේ කන වැකෙන්නේ අර්ථවත් ගීතනෙ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ලෝකයේ හැම දෙයකම තරඟයක් තියෙනවා. ගහක් වැවෙන තැන ඉඳලා ඒ තරඟය අභියෝග ජය ගැනීම කියන කාරණා පෙනෙන්න තියෙනවා. ලිට්ල් සටාර් වේදිකාවේ මේ ක්‍රියා කලාපයන් නිසා ජය පරාජය දරා ගැනීම වැනි දේ ළමයින්ට හුරුවෙනවා. එමඟින් බිහි වන්නේ අභියෝග ජය ගත හැකි ශක්තිමත් දරුවෙක්. 

විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්

මේ මගේ පළමු රියැලිටි අත්දැකීම. මීට පෙර කිසිම රිියැලිටි තරඟයක විනිසුරුවරියක ලෙස කටයුතු කරලා නැහැ. මට දැනෙන විදිහට මෙය ළමයින්ට මහඟු අවස්ථාවක්. මං එහෙම කියන්නේ මීට පෙර මෙම වේදිකාවට පය තැබූ බොහෝ දෙනෙකු කලා ලොවේ ඉහළට යනවා අපිට පේන්න තියෙන නිසයි. ඉස්සර වගේ නෙවෙයි දැන් කාලේ ළමයි හැදෙන්නේ තාක්ෂණයත් එක්ක. අපිට වඩා දේවල් ළමයින් දන්නවා.  මේ තත්ත්වයත් එක්ක ළමයින්ගේ දක්ෂතාවයන් ෆෝන් එකක් ටැබ් එකක් තුළට කොටු වෙන්න පුළුවන්. එහෙම වුණාම වෙන්නේ ළමයාගේ දක්ෂකම ඉස්මතු නොවන එක. එහෙම නොවී නිවස තුළින්ම දරුවාගේ දක්ෂකම හඳුනාගෙන ඔවුන්ව ඉදිරියට ගෙන ආ යුතුයි. ලිට්ල් ස්ටාර් වේදිකාවෙන් කරන්නේ අන්න ඒ  දේ. ලිට්ල් ස්ටාර් මීට අවුරුදු දහයකට ප්‍රථම ආරම්භ නොවුණා නම් කොතරම් පොඩ්ඩන් පිරිසකගේ දස්කම් අපතේ යනවාද.

වාද්‍ය නිපුන්  පේෂල මනෝජ්

දොළහෙන් පහළ ගායන අංශයේ ඉන්න ළමයි දෙන්නම මීට ප්‍රථම ලිට්ල් ස්ටාර් ආව අය. ඔවුන් ෆයිනල්වලට කලින් මං හිතන්නේ කැපුණා. ඒත් කොහොම හරි නැවත නැවතත් ඔවුන් තරඟයට සහභාගී වෙලා අද  ෆයිනල් ඇවිල්ලා තියෙනවා. බලන්න  ඔවුන්ගේ නොපසුබට උත්සාහය කොහොමද කියලා.  ඒ මහන්සිය අපි අගය කරනවා. වයසේ හැටියට නෙවෙයි දරුවන්ගේ වැඩ. අපිව වෙලාවකට පුදුම කරනවා. විනිශ්චය මණ්ඩලයේ අපි එකිනෙකා කතා කර ගන්නවා මේ අයට සින්දුවල වචන මතක තියා ගන්නෙ කොහොමද කියලා.  එච්චරට ඔවුන් දක්ෂයි. ඒ වගේම පහුගිය කාලේ හැදුණු ටෙලි නාට්‍ය චිත්‍රපටවල ගායනයට රංගනයට ලිට්ල් ස්ටාර්වලින් ආව ළමයින් තෝර ගන්නවා අපි දුටුවා. ඒක ඉතින් සතුටට කරුණක්. 

දෙරණ ලිට්ල් ස්ටාර් මෙහෙයවීම

මාධව විජේසිංහ සමඟ සචිනි නිපුන්සලා 

සංගීත අධ්‍යක්ෂණය

විශාරද මනෝජ් පීරිස් 

අධීක්ෂණය 

දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල, වැඩ සටහන් අධ්‍යක්ෂිකා ෂර්මිලා ධර්මරාසා, ජ්‍යෙෂ්ඨ විධායක අධ්‍යක්ෂ ඉසංක සේපාල දහනායක, විධායක අධ්‍යක්ෂ චන්දන කළුආරච්චි

ලිට්ල් ස්ටාර් නිෂ්පාදනය 

කුසල විදානපතිරණ, ධනංජය සෙනෙවිරත්න

සහාය නිෂ්පාදනය 

හිමාෂා අලුත්ගේ