මං කාලෙන් කාලෙට ස්වරූපය වෙනස් කරගන්නවා

සංසාරාරණ්‍යය අසබඩ හේරතා අජිත් ශාන්ත
සැප්තැම්බර් 17, 2020

 'සංසාරාරණ්‍යය අසබඩ' ටෙලි සිතුවමේ හේරතා තමයි මේ ඉන්නේ. ඔහු අජිත් ශාන්ත. අජිත් නළුවෙකු ලෙස චරිත ගණනාවකින් ඔබ හමුවට ආවා. මේ දිනවල විකාශය වන මඩොල් කැලේ වීරයෝ ටෙලිනාට්‍යයේද ඔහු රංගනයෙන් දායක වනවා. ඒ වගේම බිම්බා දේවි නොහොත් යශෝධරා, විජයබා කොල්ලය ඇතුළු සිනමාපට රැසක අජිත් රඟපාලා තියෙනවා. මේ අපූරු නළුවාට සරසවිය අප ඇරැයුම් කළේ ඔහු වැඩිපුර මාධ්‍ය ඉදිරියට නොඑන නිසයි.'ඒකටත් හේතුවක් තිබෙනවා' කියන ගමන් අජිත් මෙහෙම කතාව ආරම්භ කළා.

පත්තරේකට ඇවිත් කතා කරන්නත් දෙයක් තියෙන්න ඕනනේ. ඒක නිසා උදේ හවා ඇවිත් මධ්‍යයට කතා කරන්න මම ආස නැහැ. චරිතෙකුත් එක්ක ආවොත් කියන්න දේවල් තියෙනවානේ.

ඔබ නිතර දෙවේලේ දකින නළුවෙක් නෙවේ?

රඟපානවා කියලා ලැබෙන සෑම චරිතයක්ම මම බාර ගන්නේ නැහැ. මට දැනෙන, මට රඟපාන්න දෙයක් තියෙන චරිතවලට තමයි මම යන්නේ. වාසනාවට මට සීනි බෝල චරිතවලට ඇරැයුම් ලැබෙන්නේ නැති තරම්. ඩිරෙක්ටර්ලා මට හොඳම චරිතෙකට තමා කතා කරන්නෙත්. හේරතා කියන්නෙත් එහෙම චරිතයක්. ඔහු නියෝජනය කරන්නේ වැඩවසම් යුගය. මමත් ඒ කාලේ මිනිස්සුන්ගේ සොබාවය ගැන යම් අධ්‍යයනයක යෙදුණා හේරතාට පණ පොවන්න කලින්.කොහොමහරි මම කියාගෙන ආවේ අවුරුද්දකට එකක් දෙකක් හරි කමක් නැහැ හොඳ චරිත කරනවා නම් ඒක තමයි මගේ තෘප්තිය.

මේ තාක්කල්  කරපු චරිතවලින් ඔබ වඩාත්ම ප්‍රිය කරන්නේ?

හේරතා හැර කතා කළොත් 'හිරු දහසක් යට' ටෙලිනාට්‍යයයේ කළු අයියා. 'අකඩවාරිය 'නාට්‍යයයේ ටිකිරා වගේ චරිතවලට මම ප්‍රියයි.

ඔබ ජනප්‍රියද?

ජනප්‍රිය කියන සංකල්පයට මම එච්චර ආස නැහැ. මුහුදු මංකොල්ලකාරයෙකුට වුණත් ජනප්‍රිය වෙන්න පුළුවන්නෙ. හුදෙක්ම චරිත පිපාසාව සහ මගේ වෘත්තීය මේක නිසා මම රඟපානවා. අනික අපි තරු ගුණයක් තියෙන කට්ටිය නෙවෙයිනේ ජනප්‍රියත්වය ගැන කතා කරන්න.

ඔබව තැනකට ගියාම මිනිස්සු අඳුන ගන්නවාද?

මම කාලෙන් කාලෙට ස්වරූපය වෙනස් කරගන්නවා. චරිත නිසා තමයි එහෙම කරගන්නේ. කොණ්ඩේ කපනවා,වවනවා. රැවුලත් එහෙමයි. ඒක නිසා මිනිස්සු හඳුනාගන්නවා අඩුයි. නමුත් මේ දවස්වල මඩොල් කැලේ වීරයෝ නිසා පොඩි ළමයි එහෙම මාව දැක්කොත් කෑමොර දෙනවා. මගේ මතය නම් මාව වඩාත් හඳුනා ගන්නෙ නැති තරමට ලෙහෙසියි.

ඔබ ක්ෂේත්‍රයට එන්නේ අංග රචනා ශිල්පියෙකු ලෙසින්ද?

ඒ තැනට එන්නෙ දෙවනුව. මම මුලින්ම කළේ නිශ්චල ඡායාරූපකරණය. මේ වෙලාවේ මගේ පියා එච්. එස්. ප්‍රේමචන්ද්‍ර මතක් කරන්නම ඕනේ. ඔහුත් කලාවේ හිටියා. ඒ ආභාසෂය මතයි මම ඔය වැඩවලට එන්නේ. ෆොටෝ ගගහා ඉඳලා අංගරචනයට එනවා. බට්ටි ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවක මේකප් ආර්ටිස්්ට් විදිහට හිටියා. ඊටත් පස්සෙ තමයි රඟපාන්න එන්නේ. දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිස් දෙකක්.

දැන් අංගරචනයට ඇරැයුම් ලැබෙන්නේ නැද්ද?

අපෝ ලැබෙනවා. මේකප් ආර්ටිස්ට් විදිහට වැඩ කරන්න ගියාම දවස් ගණනාවක් ඒ නිර්මාණය තුළ ඉන්න ඕනේ. බැරි වෙලාවත් හොඳ චරිතයකට කතා කළොත් යන්න බැහැනේ. වේදිකා නාට්‍යවලත් මම ඉන්න නිසා එවාට යන්නත් බැරි වෙනවා.දෙයියන්ගේ පිහිටෙන් මට හොඳ       චරිතවලට ඇරැයුම් ලැබෙනවා. ඒවා අතහරින්න වෙනවා මේකප් කරන්න ගියා නම්. එහෙම කරන්න දැන් බැහැ.

මහචාර්ය සුනිල් ආරියරත්න ඔහුගේ සිනමා නිර්මාණ කිහිපයකටම එක දිගට ඔබව ගත්තා?

ඒක මගේ වාසනාවක්. සුනිල් සර්ගේ සහාය අධ්‍යක්ෂ විමල් දේශප්‍රිය මගේ එක කුස උපන් අයියා. ඔහුට මම කවදාවත් කියලා නැහැ මාව සුනිල් සර්ගේ වැඩවලට ගන්න කියලා. දවසක් සර් මම ඉන්න නාට්‍යක් දැකලා අයියා එවලේ සර් ගාව ඉඳලා. "දේශා කවුද මේ නළුවා" කියලා සර් අහලා අයියාගෙන්. එතකොට තමයි අයියා කියලා තියෙන්නේ ඔය මගේ මල්ලි කියලා. ඔහොම තමයි මට සුනිල් සර්ගේ නිර්මාණවලට එකතු වෙන්න ලැබෙන්නේ.