ඔව්... ඇත්තටම ඇහෙනවා තමයි

ජනවාරි 14, 2021

මනුෂ්‍යය සම්බන්ධතා සංකීර්ණ ය, විවිධාකාර ය, ගතික ය යන අදහස් විෂයෙහි නවතාවක් දත හැක්කේ කලාතුරකිනි. ඇත්ත වශයෙන්ම මේ මනුෂ්‍යය සම්බන්ධතා නිර්වචනයේදී භාවිත වන අතිශය සුලබ වදන් ය. කෙසේ නමුත් මෙහිලා නිෂේධනාත්මක පිළිවෙතක නො පිහිටීමට පියවර ගත යුතුවේ. මන්ද උක්ත නිර්වචන සපුරා බැහැර කළ නො හැකි නිසාවෙනි. සපුරා බැහැර නො කළ යුතු නිසාවෙනි.

බැලූ බැල්මට එකිනෙකා අතර සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවක සේයාවක්වත් නොමැති මනුෂ්යක සම්බන්ධතා නිර්වචනය කළ හැක්කේ කෙසේද? ඒවා සුපුරුදු නොවන මනුෂ්‍යය සම්බන්ධතා විශේෂයක් ද? සුනිල් කොස්තා සිය නවතම ප්රා සාංගික ටෙලි නාටකය ඔස්සේ විමසන්නේ එම ප්‍රශ්න ද්විත්වය යි. ඔහු ප්‍රේක්ෂකයන් වෙත පමණක් ම එම ප්‍රශ්න යොමු නො කරන බව පැහැදිලි ය. සිය අවකාශය කරාද ඔහු ඒවා යොමු කරන්නේ පිළිතුරක් අපේක්ෂාවෙන්මදැයි යන්න නම් අපැහැදිලි ය. නමුත් ඔහු බලාපොරොත්තු සහගතව සිටී.

මේ ටෙලි නාටකයේ - 'කැන් යූ හියර් මී' හි මුල් අදියර පසුගියදා විකාශය වූයේ එසේ මනුෂ්‍යය සම්බන්ධතා පිළිබඳ සූක්ෂ්ම විවරණයක් සෞන්දර්යාත්මක ගුණාංග සහිතව අවධාරණය කරමිනි. සුනිල් ඉවසිල්ලෙන් මෙහිලා සකි‍්‍රය වූ වග පෙනේ. කවර විටෙකදීවත් පමණ ඉක්මවා ප්‍රවේගවත් වීමේ වරද සිදු නොකරන්නට ඔහු සමත්වීම 'කැන් යූ හියර් මී' හි ප්‍රමිතිය ඉහළ නැංවීමට ප්‍රබල හේතුවකි. සතිපතා තමනට ලැබෙන මිනිත්තු දාහත හෝ දහ අට ඉතා සකසුරුවම් අන්දමින් භාවිත කරන සුනිල් , පසුවදාටද ප්‍රේක්ෂකයන් රඳවා තබා ගන්නට අනුගමනය කළේ බලහත්කාරී පිළිවෙතක් නොවේ. ප්‍රේක්ෂකයා ස්ව කැමැත්තෙන් ම 'කැන් යූ හියර් මී' හා බැඳෙනු දැකීම ද සුනිල්ගේ අභිලාෂයක් සේ පෙනේ.

මෙසේ මනුෂ්යි සම්බන්ධතා නිරූපණයේදී සුනිල් කි‍්‍රයා කළ ආකාරය විෂයෙහි දෙයාකාරයක් හඳුනා ගත හැකි ය. නිසැක වශයෙන්ම 'කැන් යූ හියර් මී' මෙ සමයේ නිර්මිත වඩා හරවත් ප්‍රසාංගික ටෙලි නාටකයක් සේ නිශ්චය කළ හැක්කේ එහෙයිනි. ඒ ඔස්සේ සුනිල්ගේ දැක්ම ද නිශ්චය කර ගන්නට පුළුවන. ඊට අභියෝග කළ හැකි ආකාර උපදින්නේ ද එතැනිනි.

චරිත රැසක් 'කැන් යූ හියර් මී' හි වපසරිය පුරාම විසුරුවා හැර තිබීම නිසා උද්ගත වන ප්‍රමුඛතාව පිළිබඳ ගැටලුවට සුනිල් විසඳුම් සපයන්නේ පළමු වටයේදීමයි. එනම් කිසිදු චරිතයක් ප්‍රධාන චරිතයක් සේ ගෙන හැර නො පෑමය. හැම විටම ප්‍රමුඛ වන චරිතය හෝ චරිත , ප්‍රධාන චරිතය හෝ ප්‍රධාන චරිත සේ හඳුන්වා දේ. මෙනිසා ඒ ඒ චරිත සතු අනන්යොතා උකහා ගැනීමට ලැබෙන්නේ ප්‍රමාණවත් අවකාශයකි. නමුත් මේ අනන්‍ය‍තා සාපේක්ෂ වන්නේ ය යන සත්යිය මඟ හැර යන්නට සුනිල් උත්සාහ නොකරයි. පුද්ගල අනන්‍යතා යනු ඊළඟ මොහොතේදී වෙනත් හැඩයක් ගන්නා හඳුනා ගැනීම් විශේෂයක් යැයි 'කැන් යූ හියර් මී' හා කෙමෙන් බැඳෙන කළ ප්‍රේක්ෂකයනට හැඟෙ.

එනම් එකිනෙකා හා සම්බන්ධ නොවන බව පෙනෙන චරිත එකිනෙකා හා අනවරතයෙන් ම බැඳී සිටින වග පෙන්නුම් කිරීමයි. ඊට සුලබ බෙදා දැක්වීම් අදාළ නොවන අන්දම පැහැදිලි ය. ඒ අනුව දේශපාලන , පන්තිමය හා සංස්කෘතිකමය පරස්පරතා හෝ ගැටුම් මධ්‍යයේ පවා කිසිවෙකුත් අනෙකෙකුගෙන් දුරස්ථ නොවන වග සුනිල් පවස යි. නමුත් එය වටහා ගැනීමේ ඥානයක් වැඩි දෙනෙකුට තිබේදැයි යන්න සැක සහිත ය. මන්ද එබඳු ඥානයක් වගා කර ගැනීමේ අභිලාෂයක් කිසිවකුටත් නොමැති හෙයිනි. එවැනි ඥානයකින් ඵලක් නොමැති ය යන පූර්ව නිගමනය මෙහිලා නොසලකා හරින්නට බැරි සාධකයකි.

සිය චරිත සමූහය සතු බලාපොරොත්තු හා ප්‍රාර්ථනා එකිනෙකට වෙනස්ය යන්න සුනිල් කියා සිටින්නේ ඒ හැමෙකකටම මුල් පෙළේ වටිනාකමක් ලබා දෙමිනි. එසේම ඔවුන් මුහුණ දෙමින් සිටින ප්‍රශ්නකාරී තත්ත්වයන් ද නො අනුමානවම බරපතළ වන වග ඔහු පවසයි. ඒවා කිසිවකුට පැවසීමෙන් පලක් නොමැති වග සියලු චරිත වටහා ගන්නේ අත්දැකීම් ආශ්‍රයෙනි. අවසන ඔවුන් ප්‍රේක්ෂකයනට පවසන්නේ තමන් මුහුණදෙන මෙම ඛේදවාචකය සියලු දෙනාට ම නොයෙක් ප්‍රමාණයෙන් පොදු වන බව ය.

කෙනෙකුට ධන සම්පත් කොතෙකුත් තිබුණ ද තරුණ පුත්‍රයාගේ ආබාධිත බව ප්‍රශ්නයකි. තරුණයාගේ පෙම්වතිය තවෙකෙකුගේ ආදරය ද ලබයි. මොහු වැර වෑයමෙන් ධනවත් වූ පහළ පන්තියේ තරුණයෙකි. ධනවතාගේ දික්කසාද බිරිය සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. ඇගේ වර්තමාන සැමියා කල් බදු මූල්ය ආයතනයක ප්‍රධානියෙකි. අර ආබාධිත තරුණයාට ඇප උපස්ථාන කරන තරුණිය සෙල්ලක්කාර තරුණයකුගේ ආදරයට හිමිකම් කියයි. ඔහු වෙසෙන්නේ නිසි රැකියා නොමැති දෙදෙනෙකු සමඟය. ඉන් එකෙකු විවාහ වන්නට යන්නේ කථන ආබාධයක් සහිත ළාබාල යුවතියක සමඟිනි. මේ අතර බේකරි හිමිකරුවෙකි. ආදරයෙන් පිස්සු වැටෙන ස්තී‍්‍ර ධුර්තයෙකි. බේකරියේ සේවයට එන අවිහිංසක යුවතියගේ පියා ගෙවුණු යුද්ධය හා මඟ හැරුණු බිරිය නිසා කායික හා මානසික පීඩා විඳීන බීමත් මිනිසෙකි. තවත් කතා ගණනාවක් ම මෙසේ 'කැන් යූ හියර් මී' පීරද්දී හමුවේ. හැම කතාවක් ම අතුරු කතාවක් වන බවත්, දුරස්ථව නොසිට සමීපව බලන කල සෙසු අතුරු කතා සඟවන මහා කතාවක් ඉස්මතු වන බවත් නොකඩවා 'කැන් යූ හියර් මී' නැරඹු ප්‍රේක්ෂකයනට රහසක් නොවේ. 

'කැන් යූ හියර් මී' පළමු අදියර නරඹා හමාර කළ සබුද්ධික ප්‍රේක්ෂකයනට හැඟෙන්නේ තම තමන්ගේ මනුෂ්‍යය සම්බන්ධතා ද්විතීයික හෝ තෘතීක පිළිවෙත් ඔස්සේ තවදුරටත් විනිවිද දැකිය යුතු වග ය. තමා අබියස සිටින්නා හෝ සිටින්නිය කවර තැනකදීවත් ආගන්තුකයකු නොවන්නේය යන සත්‍යය ප්‍රතික්ෂේප නොකරන්නට මෙතැනදී ප්‍රේක්ෂකයන් තීරණය කරනවා ඇත.

සුනිල් නොකියා කියන්නේ 'කැන් යූ හියර් මී' එකම ප්‍රදේශයක් මත පාදක වීම සිය අභිප්‍රාය හා දැක්ම කුළුගැන්වීමට පහසුවක් වූ බවයි. මේ ප්‍රදේශය මනුෂ්‍යය‍ සමාජයේ පිළිබිඹුවක් ය යන්න රහසක් නොවේ. ඒ මනුෂ්ය සමාජයේ බොහෝ අංගෝපාංග අතිශයෝක්තියෙන් තොරව සටහන් කරන්නට මෙහිලා ඇති සමත්කම නිසාවෙනි. මෙතැනදී සුනිල් තෝරා ගන්නේ ද දෘශ්‍යමානව කිසියම් විචිත්‍ර ඉසව්වකි. නමුත් සැබෑ ජීවිතයෙන් පළා නො යන ඉසව්වකි. රූප රචනයට ඉන් ලැබෙන පිටිවහල අගනේ ය. කුඩා ප්‍රාදේශීය නගරය හා එහි අවිධිමත් බව, මීදුම, පාළු මාවත් හා තේ වතු, වර්ණවත් මල් ගොමු, හුදෙකලාව, නිහැඬියාව සේම භාවාතිෂ අවස්ථා හැකි පමණින් තුරන් කිරීම තුළ රූප රචනය සුවිශේෂත්වයක් ගනී.

ඒ ඒ චරිත තුළට වැදී සංචරණයෙහි නිරත වීමට වඩා මනුෂ්‍යය සම්බන්ධතා හසු කර ගන්නට දැරූ සුනිල්ගේ වැයමට පිටිවහලක් වන මේ අගනා රූප රචනය තුළ කැමරා අධ්‍යක්ෂවරයාගේ ප්‍රවේශය ද පවතී. වඩාත්ම අසීරු කාර්යයක නිරත වූයේ සංස්කාරකවරයායි.මුල් කොටස් කිහිපයේදී දක්නට ලැබුණු විසිරුණු ස්වරූපය අකා මකා දමා ප්‍රේක්ෂකයන් රැක ගනු පිණිස ඔහු සුනිල් වෙත ලබා දුන් සහය අතිමහත් ය.

සුනිල්ගේ වෙහෙසට සාධාරණය ඉටු කරන්නට බොහෝ රංගන ශිල්ප ශිල්පිනියන් සමත් වූ බව පෙනේ. ඔවුන් වෙතින් අතපසුවීම් වාර්තා වූයේ කලාතුරකිනි. තමා නිරූපණය කරන්නේ සම්මත ප්‍රධාන චරිතයක්ය යන මිථ්‍යාවේ ඇලී ගැලී නොසිටීම ම ඔවුනගේ වැටහීමේ ප්‍රමාණය ප්‍රකට කරන අවස්ථාවකි. රොජර් සෙනෙවිරත්න, දිල්හානි අශෝකමාලා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ආනන්ද කුමාර උන්නැහේ, වීණා ජයකොඩි , පි‍්‍රයංකර රත්නායක, ගිහාන් ප්‍රනාන්දු සේම නිරෝෂන් විජේසිංහ හා සම්පත් ජයවීර ද , නවක රංගන ශිල්ප ශිල්පිනියන් ද නිසා 'කැන් යූ හියර් මී' තවත් වතාවක් පැකිලීමකින් තොරව නැරඹිය හැකි ටෙලි නාටකයක් බවට පත් වෙයි.