ආදර පූජාසනේ දෙවියනි ඔබ කොහිද?

ඔක්තෝබර් 22, 2018

 

එය මුහුදු කර ප්‍රදේශයකි. ධීවර කර්මාන්තයේ නියැළෙන, සියල්ලෝම පාහේ කතෝලිකයන්ය. ඔවුන් නිතරම දෙවියන් සමඟත් , පල්ලිය සමඟත් නිතරම බැඳී සිටියෝය. පල්ලිය, සුවාමි, මොවුන්ගේ ජීවිතය විය. පල්ලියේ සුවාමිගේ අණට පිටුපාන්නට මොවුන් බයය. එලෙසම මොවුන් තුල සුවාමිට තිබු ගෞරවය ඉමහත්ය. මෙම ගමේ සුවාමි සෙබස්තියන් පියතුමාය. එතුමා තාරුණ්‍යත් මැදිවියත් අතර වූ, කඩවසම් පුද්ගලයෙකි . එලෙසම හේ ඉතාම භක්තිමත් ,පියතුමෙකි.

බොනී සුවාමිගේ ආවතේව කරන තරුණයාය . ඔහු නැවතී සිටින්නේ පල්ලියේමය. ඔහු පල්ලියේ නැවතී සිටින්නේ, හේ මෙම ගමේ කෙනෙක් නොවන නිසාය. සෙබස්තියන් පියතුමාගේ ,කෑම බීම සකසා දීම ඔහුගේ රාජකාරියයි .

එලිසෙබෙත් මෙම ගමේ ධීවර පවුලකට අයත් රූමත් තරුණියකි . ඇය රූමත්ය . හැම ධීවර සාමාජීක, සාමාජීකයන් නිතරම පල්ලියට යෑම් ඊම් කරයි. එය ඔවුනගේ, තවත් නිවසක් සේය. පූජාව ඇතත්, පූජාව නැතත් ඔවුන් පල්ලිය තුළ, පල්ලිය වත්තේ ගැවසෙයි. එය සාමාන්‍ය දසුනකි. එළිසෙබෙත් ද වැඩකට ඇතිව හෝ නැතිව පල්ලියට පැමිණෙයි. බොනී සහ එළිසෙබෙත් අතර පෙම් පළහිලව්වක් ඇතිවෙන්නේ මේ යෑම් ඊම් නිසා. හැබැයි කාගේත් ඇස්වලට වැලි ගහලා ඇති තරම් සමයං නටන්න මේ දෙන්නට පුළුවන් වුණා. මුන් දෙන්නා කොච්චර ලෝකෝත්තරයො ද කිව්වොත්, පල්ලියේ සෙබස්තියන් පියතුමාටත් වහන් වෙලා තමා ප්‍රේම ගඟේ ගිලී ගිලී නෑවේ. පල්ලියේ හිටියා ' අන්නවී " රාළ කෙනෙක් ජුවන් කියලා. හැමදේටම හොට දාන එකයි ජුවන්ගේ වැඩේ. තව හිටියා 'අගීදා " කියලා කට හැකර ,ගම වටේම ගිණි තියන රොයිටරයක්. අගීදා ජුවන් ගේ හොර කැච් එකක්. ඒක වෙනම කථාවක් , කොහොමත් මුන් දෙන්නගෙන් බේරිලා මේ ගමේ අස්සේ මඟුල් නටනවා කියන එක බොරු. ඒත් මේ බොනී සහ එළිසෙබෙත් කියන ලෝකෝත්තර ඩබල මුන්ගෙ ඉවටත් අහු නොවිය සමයං නැටුවේ.

පැරණි ජනකාන්ත සිනමා නළු අරුණ ශාන්තගේ ප්‍රථම අධ්‍යක්ෂණය වූ "දෙවියනි ඔබ කොහිද ?" ජෝසප් වනිගරත්නගේ නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් වුයේ 1977 මැයි 20 වනදාය. බෞද්ධ ආගම අදහන බහුතරයක් සිටින බෞද්ධ රටක, කතෝලික පසුබිමක දිවයන චිත්‍රපටයක්, 'ප්‍රමෝට්' කිරීම විශාල අභියෝගයකි. ඒ අභියෝගය ජය ගන්නට නම් සැමටම දැනෙන චිත්‍රපටයක් කළ යුතු වේ. අරුණ ශාන්ති, ඇන්ටන් ග්‍රෙගරි සමග එක්වී දෙදෙනාගේම සිනමා අත්දැකීම් මෙයට මුසු කළෝය.

සෙබස්තියන් පියතුමා තම පා පැදියෙන් ගම වටා ගොස්, දුප්පතුන්ට දීම සදහා මුදල්, වියළි ආහාර වැනි දේ එකතු කරයි. මුහුදු කරයේ වෙසුනු ධීවර ජනතාවද තමන්ට හැකි අයුරින් මෙයට උදව් උපකාර කරන්නට වූයේ, ඔවුන් සෙබස්තියන් පියතුමාට තිබු බිය මුසු ගෞරවය නිසා විය හැකිය. අන් අතකට ගමේ හැම ප්‍රශ්නයකටම පියතුමා මුහුණ දෙයි. ගම් වැසියන්ට කිසියම් ප්‍රශ්නයක් වූ පසු ඔවුන් යන්නේද සෙබස්තියන් පියතුමා ළඟටය. එතරම් හොද අනෝ‍යීන්‍ය සබඳතාවයකි පියතුමාත්, ධීවර ගම් වැසියන් අතර තිබුණේ.

මේඅතරේදී බොනී සහ එලිසෙබෙත් දිගටම සමයං නැටු අතර, එක් දිනයක සමයං මදිවී ජවුසම් නැටුවෝය. ටික කලෙකින්ම ඒ ජවුසම් වල ප්‍රතිපලය එළියටම ආවේය. ඒ එලිසෙබෙත් ගේ බඩේ

'ඩෝලයක් ' බැඳුණු නිසාය. එලිසෙබෙත් ට දෙලෝ රත්වුණි . ඇය වහා බොනිව හමුවීමට ගොස් 'ඩෝලේ ' ගැන කීය. බොනී බොහොම සාමකාමී වී, මෙවර ඔහු ගමේ ගොස් පැමිණ ආ සැණින්ම එලිසෙබෙත් ව කසාද බඳීන බව පොරොන්දු විය. එලෙසම ඔහු ඇයගෙන්ද පොරොන්දුවක් ලබා ගත්තේය. ඒ, මේ පිළිබදව තමා ගමේ ගොස් පැමිණෙන තෙක් කිසිවෙකුට නොකියන ලෙසය. ඇයද එසේ නොකියන බවට ඔහුට පොරොන්දු විය. අවසානයේ මේ හැම ප්‍රශ්නයකටම හෙනේට හිටියේ ඔය පොරොන්දුවය.

බොනී පසුවදාම ගමේ ගියේ දින තුනකින් නැවත එන බව සෙබස්තියන් පියතුමාට කියමිනි. එයට හේතු දැක්වූයේ තම මව අසාධ්‍ය තත්වයේ සිටින බව පවසමිනි . එහෙත් ඒ ගිය බොනී යළි කිසිදින මෙම ගම්මානයට හෝ පල්ලියට පැමිණියේ නම් නැත. මාස දෙක තුනක් තිස්සෙම එලිසෙබෙත් පල්ලිය ළඟ කැරකි කැරකි සිටීම ජුවන් අන්නැවි රාළ හා අගීදා ගේ උකුසු ඇසට ලක්විය. මෙතන මොකක් හෝ හුටපටයක් තිබෙන බවක් මොවුන් දෙදෙනාට වැටහුනිද එය ඔවුන්ට කෙලෙසකවත් සොයා ගැන්මට නොහැකි වූයේ එළිසෙබෙත් තම රහස තබා ගත්තේ බඩේ බිජු තියා ගන්නා ලෙසින් නිසාය.

එළිසෙබෙත් කීප විටක්ම සෙබස්තියෙන් පියතුමාගෙන් බොනී ගැන වහෙන් ඔරෝ ඇසුවත්, සෙබස්තියන් පියතුමාද බොනී ගේ නොපැමිණීම ගැන සිටියේ විශ්මයෙනි. මාස තුන ගත වන විට එළිසෙබෙත් ගේ බඩේ ඩෝලෙ ලොකු වේගන එන බව ඇයට දැනුණි . තවත් නම් බලා සිටියොත් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වෙන හෙයින්, මෙම ප්‍රශ්ණය සෙබස්තියන් පියතුමාට කිව යුතු යැයි ඇයට සිතුණි. ඇය වහා එතුමාව හමුවීමට ගියාය. එතුමා සිටියේ පල්ලියේ පිටුපස ලැගුම්ගෙයි කාමරයේය. ඇය එතුමාව සොයා ලැගුම් ගෙයි කාමරයටම ගියේ මේ ප්‍රශ්නය දැන් බැරෑරුම් වී ඇති නිසාය. හදිසියේම තම කාමරයට කඩා වැටුණු එළිසෙබෙත් දුටු සෙබස්තියන් පියතුමා තරමක් විමිතියට පත් වූවද එතුමා ඇයට කන්දුනි.

බොනී සමඟ ඇතිකර ගත් සම්බන්ධයෙ අල ගිය තැන් මුල් ගිය තැන් ඇය පැවසූ අතර, බොනී විසින් තම බඩේ ඩෝලයක් බැඳ ගොස් ඇති බවක්ද කීය. ඔය වෙලාවේදී ලැගුම් ගේ අසලින් ගිය අගීදාට කසුකුසුවක් ඇසුණි. ඇය ඇගේ රබර් ඇහැ දමා බලන විට මේ සාමිච්චියේ යෙදෙන්නේ සෙබස්තියන් පියතුමා සහ එළිසෙබෙත් බව හොරෙන් දුටුවාය. ඇය ඔවුන් කියන දෙබසට කන් දෙන්නට විය. දෙදෙනාගේ කරුමෙට අගීදා ට ඇසුණේ මෙන්න මේ දෙබස් පමණි.

සෙබස්තියන් පියතුමා -: " දැන් බඩට මාස කීයද?"

එළිසෙබෙත් -: " මාස 3ක් වෙනවා පියතුමෙනි"

කිරි අප්පට බල්ලෝ පැනපි . අගීදා මෙය අසා ඔල්මොරොන්දම් විය. මෙතෙක් කල් එළිසෙබෙත් පල්ලිය වත්තේ හොර ගල් ඇහිලුව හේතුව දැන් අගීදාට පැහැදිලිය. ඒ කියන්නේ සුවාමිගෙන් එළිසෙබෙත් ට බබෙක්. දැන් බඩට මාස 3 ක්. ඕක තමා අගීදා අර දෙබසෙන් හදා ගත්ත "ස්ටෝරි" එක.

මෙම කථා ශාරය ලියු අරුණ ශාන්ති චිත්‍රපටයකට ඔබින තැතිගැස්ම හරි තැනකට ගෙන ආවේ ඔතනදීය. ඔහු විසින්ම ලියු තිරනාටකය තුල හැල හැප්පීම් සිදුවීමට මග දෙපස එළි කර, එක පාරටම පුපුරුවා හැරියේ මෙම ජවනිකාවේදීය. චිත්‍රපටය උඩු කුරු යටි කුරු වූයේද මෙතැන් සිටය. බලා සිටි ප්‍රේක්ෂක අපද රවුම් දසදහසක් කරකවා අත ඇරියාක් මෙනි. මෙතෙක් සෙබස්තියන් පියතුමා ගැන භක්තියෙන් සිටි ප්‍රේක්ෂක අපට දැන් එතුමාට වෙන්න යන භයානක සිදුවීම ගැන ඇතිවුනේ පුදුම බයකි. පුදුම දුකකි. අරුණ ශාන්ති ගේ තිර නාටකයේ තිබු විශිෂ්ටකම එයය. මෙම තීරණාත්මක මොහොත අරුණ ශාන්ති විසින් හරි අපූරුවට අධ්‍යක්ෂණය කර තිබුණි.

අගීදා මෙම සිදුවීම ගම වටා පැතිරෙව්වේ හරියට සෙබස්තියන් පියතුමා ,එළිසෙබෙත් සමඟ අනාචාරයේ හැසිරුණා තමන්ගේ ඇස් දෙකෙන් දුටුවා සේය. ඇය ගේ ගෙදරට එකම වෙලාවේ ජුවන් හා ඇන්තනි රිංගා ඇන්තනි එනවිට ජුවන්ව පෙට්ටගමකට දමා වසා එතන වුනු අලකලංචිය අගීදා ට ශිෂ්ටසම්පන්නය .

මේ සිදුවීම ගමටම නවනිංගිරාවකි . ඇය ජෝසප්, ජුවන්,ඇන්තනි, ඇතුළු හැමෝම අවුස්සා, මුළු ගමම රැගෙන ගියේ පල්ලියටය. පියතුමාට ඔවුන් තර්ජනය කරමින් ,අපහස කරමින් විමසුවේ මෙවන් දෙයක් සිදු කරාද යන්නය. පියතුමා තම නිර්දෝෂ භාවය කීවද, ගම්මුන්ට එලිසෙබෙත් ගෙන් මෙය දැන ගැන්මට අවශ්‍ය විය. ඔවුන් ඇයවද මෙතැනට කුදලාගෙන පැමිණියේ ඇයගේ කටින්ම මෙය දැනගැන්මටය.

චිත්‍රපටය උච්චතම තැනට නොහොත් ' ක්ලයිමෙක්ස් ' එකට පැමිණ ඇත. ප්‍රේක්ෂක අපද බයෙන් ගැහෙමින් සිටියත් එළිසෙබෙත් අනිවාරයෙන්ම බොනී ගැන ඇත්ත කියන බව අප දැන ගෙන සිටියෙමු. ගම්මු එලිසෙබෙත්ට යක්ෂාවේශව තර්ජන කරන්නට වූයේ, මේ දේ කළේ කව්දැයි අසමිනි. ඇයට බොනී විසින් ඇයගෙන් ගත් පොරොන්දුව සිහිවුනි. එය රැකගැනීමේ වස් ඇය කළේ ,ඇයට මේ දෙය කරනු ලැබුවේ සෙබස්තියන් පියතුමා කියාය.

චිත්‍රපටයේ "ත්‍රිල් " එක තව තවත් වැඩි වුණද, තිරනාටකයේ විස්වශනීයත්වයේ නම් බිද වැටීමක් විය. එහෙත් මෙය චිත්‍රපටයකි. එහෙයින් අප ඒ සිදුවන දේ බලා සිටිය යුතුය. එතැනින් පසු ගම්මුන් සෙබස්තියන් පියතුමාට අනෙක වධහිංසා පැමිණීය . අරුණ ශාන්ති මෙය හරියටම සිදු කර තිබුනේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාත්තියට සමානවය . එය නම් අද්විතීය ලෙස නිර්මාණය කර තිබුණි.

සෙබස්තියන් පියතුමාට උපරිමයට වධ දුන් ගම්මුන් එතුමන්ව ගමෙන් පිටමං කළෝය. ඒ සියල්ල එසේ සිදුවන විට එලිසෙබෙත් සිටියේ ගල් ඉබ්බියෙක් මෙන්ය. අරුණ ශාන්ති මෙතැනදී තව 'ජීමීක්' එකක් කළේය. ඒ බහුතරයක් වූ බෞද්ධ ප්‍රේක්ෂකයන්ට ගැලපෙන සේ චිත්‍රපටයේ ව්‍යුහය වෙනස් කිරීමය.

සෙබස්තියන් පියතුමා ඉබාගාතේ ගොස් නවතින්නේ බෞද්ධ පුත්‍රයෙකු සිටින ආරාමයකය. අරුණ ශාන්ති තම සිනමා අත්දැකීම තුළින් ලැබූ පන්නරය මෙතනට එකතු කළේ බෞද්ධ ආගමත්, කතෝලික ආගමත් එකතු කිරීමෙනි. සෙබස්තියන් පියතුමාගේ හිත හදන්නෙත්, අනුශාසනා දෙන්නෙත් මේ බෞද්ධ පුත්‍රයාය.

එක දිනක් හදිසියේම බොනී මෙම පන්සලට පැමිණෙයි. චිත්‍රපටය ඉවර වීමට ළඟ යැයි දැන් ප්‍රේක්ෂකයාට ෂුවර්මය . එක්වරම රැවුල වවාගෙන කලිසමක් ඇදගෙන හිගන්නෙක් මෙන් සිටි පියතුමා ව දුටු විටය බොනීට තමා කළ වැරැද්දේ බරපතළ කම වැටහුණේ . ඔහු දුවගෙන විත් එතුමා ගේ කකුල් දෙක ළඟ වැටුනා පමණක් නොව , එතුමාගේ නිර්දෝෂ කම ඔප්පුකිරීම සදහා එතුමාව ගමට රැගෙන ගියේය.

ගමේ මිනිසුන් ඉදිරියේ විශාල පාපොච්චාරණයක් කල බොනී මෙම වරද තමා අතින් වූ බවක් කීය. එවර මුළු ගමම බෝනීව සහ එලිසෙබෙත්ව මරන්නට තැත් කළේ ඔවුන් අතින් සෙබස්තියන් පියතුමාට සිදුවූ වැරැද්ද නිවැරදි කර ගැන්මටය. එහෙත් එවරද පියතුමා ඔවුන් දෙදෙනාව ගම්මුන්ගේ තාඩන පීඩන වලින් බේරා ගත්තේය.

'ආදර පූජාසනේ-ඔබයි මගේ කුසුම් කුමාරී

ආදර පූජාසනේ-මමයි ඔබේ කුසුම් මනාලී

ආසිරි පවන් රොදින් ඇසේ-දේව දූතයන්ගෙ මිහිරි ‍ප්‍රේම ගීතිකා

සාදර පැතුම් පවන් වැදී-දේව දූතයන් ගයාවි ප්‍රේම ගීතිකා,

බොනී හා එළිසෙබෙත් ව පල්ලිය විවාහ කර එම මංගල පූජාව මෙහෙය වූයේද සෙබෙස්තියන් පියතුමාමය.

ගාමිණී ෆොන්සේකා රංගන ජීවිතය තුල මා දුටු විශිෂ්ටතම රඟපෑමකි මේ සෙබස්තියන් පියතුමාගේ චරිතය. ඔහු මෙම චරිතයේ ගැඹුරටම කිදා බැස තිබුණි. මා නම් ගාමිණී ෆොන්සේකාව මෙහිදී දුටුවේ නැත.මා දුටුවේ සෙබස්තියන් පියතුමාව පමණි. කතෝලික ආගමේ පූජකවරයෙක් ලග තිබු සංවර කම, හික්මීම, මෙන්ම, ඉවසීම, ගාමිණි ෆොන්සේකා කදිමට හඳුනා ගෙන තිබුණි. ප්‍රධාන චරිතයක් වූ බොනී ගේ චරිතය ඉස්මතු නොවුණේ, එයට නිෂ්පාදක ජෝශප් වනිගරත්න ගේ සහෝදරයෙකු වූ මයිකල් වනිගරත්න රඟපෑ නිසා වන්නට ඇත. එය ට විජය කුමාරණතුංග වැනි නළුවෙක් සම්බන්ධ කර ගත්තනම් චිත්‍රපටය හොදට "බර" වන්නට තිබුණි. මාලිනී ෆොන්සේකා, , ලැඩී රණසිංහ, බැප්ටිස් ප්‍රනාන්දු, මාක් සමරනායක, එඩී ජයමාන්න, ඇන්තනි සී. පෙරේරා, සෝමසිරි දෙහිපිටිය, වින්සන්ට් වාස්, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එච්. ඩී. කුලතුංග, අරුණ ශාන්ති, ඩී. ආර්. නානායක්කාර, ශාන්ති ලේඛා, රුක්මණී දේවි, සෝනියා දිසා, ලතා ප්‍රනාන්දු, ජෝශප් සෙනෙවිරත්න, ග්‍රේස් ජයමාන්න, ලීනා ප්‍රනාන්දු යන සියලු දෙනාගේම රඟපෑම් ගැන නම් කිවීමට වචන සොයා ගැනීම ඇත්තෙන්ම අපහසුය. ඔවුන්ද එතරම්ම විශිෂ්ටය. රොක්සාමි හා අමරදේවයන්ගේ සංගීතයත්, වාමදේවන් ගේ කැමරා අධ්‍යක්ෂනයත් දෙවියනේ ඔබ කොහිද චිත්‍රපටයට ලබා දුන්නේ සුවිශේෂිත දායකත්වයකි,

ලාංකේය සිනමාවේ නොමියෙන සලකුණකි අරුණ ශාන්ති අධ්‍යක්ෂණය කල "දෙවියනි ඔබ කොහිද ?" චිත්‍රපටය. එය කාලාන්තරයකට පසු ලාංකේය සිනමාවට ආ වෙනස් තේමාවක් තුළින් නිර්මාණය වූ අපූර්වතර සිනමා සිත්තමක් විය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.