මාව දමා යන්න ගියා සිකුරුලියා

ඔක්තෝබර් 25, 2018

නාමලී සුන්දර ගැමි තරුණියක්. ඇය දුප්පත් තරුණියක් වුවද හැකි හැම විටම උත්සහා කළේ සැහැල්ලුවෙන් සතුටින් සිටීමටය. ඇයගේ පියාට හරි හමන් රස්සාවක් තිබුනේ නැත. වලව්වේ ළමාතැනීගේ වත්තේ කොනක තම පවුල සමඟ පදිංචි වී සිටින ඔහු අරක්කු බීමටද රුසියෙකි. නිතරම සිටියේ අඩි ගහපු ගමන්මය. මේ හෙයින් ඔවුනගේ පවුල සිටියේ දරිද්‍රතාවයේ කෙළවරමය .නාමලී ඒ සියල්ලම උසුලා ගෙන සිටියේ, හැකි ඉක්මනින් තම පෙම්වතා වූ 'පාල' සමඟ විවාහ වීමටය.

"වසන්තයේ මල් කැකුළයි - දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හර සොල්වයි - ඔබේ නෙත් කැලුම් ඉල්ලයි -
අදත් මගේ අතින් අල්ලයි "

පාලද එතරම් සල්ලි තියෙන හාදයෙක් නොවේ. හරි හමන් රැකියාවක්ද තිබුනේ නැත. එහෙයින් ඔවුන් දෙදෙනාට විවාහය පිළිබඳව තීරණයක් ගැන්මට හැකියාවක් තිබුණේම නැත. එහෙම වුණා කියා ලව් කරන්නට බාධාවක් නැහැනේ. ඔවුන් දෙදෙනාත් ලද නිදහසින් සිතේ හැටියට ලව් කළෝය.

"මල් සර හදකට තුරුලු වෙලා - තව එක හදකට මුකුළු කළා 
පොපියන දෙහදක- එය මිහිර බලා- ආදර දහනක් ජනිත කළා

ඒ වුණාට එහෙම " ආතල් " එකේ වැඩිකල් ඉන්නට දෙන්නට හම්බවෙන්නේ නැහැ. ඒකටත් ඇත්තටම බලපාන්න ඇත්තේ මේ දරිද්‍රතාවය තමා.

ඒ කථාන්දරේ වෙනස් වුණේ "මාර" විදියට.

වලව්වේ ළමාතැනි ට හිටියා පුතෙක්. දැන් මේ පුතා විවාහ වන වයසට ඇවිල්ලා. වැදගත් පවුල් වලින් බලන බලන මඟුල් හරියන්නේ නැහැ. ඒකට මූලික හේතුව, පුතා කුරු මිනිහෙක් නොහොත් කොටෙක් වීම. ඉතින් මේ 'ෂෝට් 'ට කෙල්ලෝ කැමති වෙයිද? ළමාතැනී බැලුවේ තමන්ගේ වත් පොහොසත් කම් , සල්ලි බාගේ පෙන්නලා ෂෝටව කව්රු හරි කෙල්ලෙක්ගෙ කරේ ගහන්න .ඒත් වැඩේ සෙට් වුණේ නැහැ. දැන් ෂෝට්ටත් මදන විසේ ඉහට ගහලා. ළමාතැනීට කරදර කරනවා ඉක්මනට කසාද බන්දන්න කියලා. ළමා තැනී කියලා මේ කොටාට කෙල්ලෝ කොහෙන් හොයන්නද?.

ඔය අතරේදී නාමලී වත්තේ කෙළවර, වෙල් ඉපනැලි වල රවුම් ගගහා ඉන්නකොට ෂෝට් ගේ ඇහැට මාට්ටු වුණා. නාමලීගේ නාමලක් වැනි රූපසොබාව දැක්කාම ෂෝට් කොර වුණා. ෂෝට්ට කොහොමහරි නාමලිවම බදින්න ඕන වුණා . ළමා තැනී ඒකට ලොකු උප්පරවැට්ටියක් දැම්මා.

හරමානිස්, ඒ කියන්නේ නාමලීගේ තාත්තාව වලව්වට ගෙනල්ලා, අරක්කු එහෙම බොන්න දීලා කාරණාව කිව්වා විතරක් නෙමෙයි ඒක අනිවාර්යනේම කළ යුතු යයි අණ කළා . හරමානිස් ටත් "නෝ චොයිස් ". අනිත් අතකට "කන්සෙප්ට් " එකේ අවුලකුත් නැහැ. කෙළින්ම හරමානිස්ගේ පවුල රජ පවුලකට හේත්තු වෙනවා. අනිත් එක හැමදාම වුණත් අරක්කු බොන්න පුළුවන් 'ඇට්ටි' හැලෙන්න. හරමානිස් වලව්වට එනකොට ආවේ නැට්ට පස්සේ ගහගත්ත බලු කුක්කෙක් ගානට. ඒත් ළමාතැනිගේ "ප්‍රොපොසල් " එකෙන් පස්සේ හරමනියා කන පැලෙන්න බීලා ගෙදර ගියේ එළිසබෙත් මහා රැජිනගේ මහත්තයා වු

පිලිප් මවුන්බැටන් වගේ.

නාමලී මේක දැනගත්තට පස්සේ ඇයට තේරුම් ගන්නට බැරි වූයේ තාත්තට මංඥ්ඥංද ,නැත්තං තමන්ට මංඥ්ඥංද කියලා. අම්මා වුණත් කිව්වේ මේ තරම් ලස්සන කෙල්ලෙක් ෂෝට් වගේ එකෙක්ව කොහොමද බදින්නේ කියලා. ඒත් හරමානිස් ගේ අවසන් තීරණේ තම දුව අනිවාර්යෙන්ම කසාද බැදිය යුත්තේ 'ෂෝට්"ව කියාය.. නාමලිට "නෝ චොයිස්" ය. නාමලී වැටුණේ මාර උගුලකටය. පාලට ඇවිත් තමාව උස්සගෙන යන්නයි කියන්නත් බැරිය. හරි හමන් රස්සාවක්, ඉන්න තැනක් නැති පාලට නාමලිව උස්සගෙන කොහේ යන්නද?උස්සගෙන ගියත් කන්න බොන්න දෙන්නේ මයියෝක්කද ? එහෙම හරි කන්න දෙන්න පාල මයියොක්කා ගහක්වත් වවා ගන්න පුළුවන් ඩයල් එකක් නොවේ.

දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. නාමලිට හරමානිස්ට විරුද්ධව යන්න තරම් තත්වයක් තිබුනේ නැහැ. මොකද හරමානිස් තමා ගෙදර මහේස්ත්‍රාත්. විනිශ්චෂයක් දුන්නොත් කාටවත් "නො චොයිස්."

ඔන්න මඟුල් දවසත් එළඹුණා . මණමාලයා ෂෝට් නොහොත් පොඩි හාමු නොහොත් "දනිත්"ය. ඔහුගේ අත ගත්තේ වන්ඩිජීර ආරච්චිලාගේ නාමලී කාන්ති ලතාය. ඔය වෙඩිමට මාර කට්ටියක් සහභාගි විය. එච්. ඩී .ප්‍රේමරත්න ,දයා විමලවීර ,ටයිටස් තොටවත්ත, ජෝ දඹුළුගල, ඊබට් විජේසිංහ, එම් .වී.හේමපාල,ජයනාත් ගුණවර්ධන. වගේ අය. "පාටියට" සංගීතේ දුන්නේ ක්ලැරන්ස් විජේවර්ධන ඇතුළු "සුපර් ගෝල්ඩන් චයිම්ස්" සංගීත කණ්ඩායම. සින්දු කිව්වේ ශිරෝමි ප්‍රනාන්දු සමග ලිලන්ති කරුණානායක .

"හිම කන්දේ මනමාලි- හිම අරණේ සුකුමාලි 
කොහිද අපේ හිම මනමාලි 
හිම කන්දේ- හිම වැටියේ 
හිම අරණේ තනි වෙලා 
හිමාලයේ- හිම විමනේ 
සිටියා කඳුළැලි ,සල සලා "

එච්. ඩී .ප්‍රේමරත්න, තම කුලුදුල් අධ්‍යක්ෂණය වූ " සිකුරු ලියා" ට රැගෙන ආවේ "කාල ගෝල දික්තලා " කථාවේ ආභාසයයි . ඒ ආභාසය තුළින් තම කථාව හා තිරරචනය හැරවුයේ අමුතුම දිශාවකටය. ඇත්තටම ඔහු ගත්තේ දැඩි අවදානමකි. කුරු මිනිහෙක්ව කේන්ද්‍රීය කරගෙන සිංහල චිත්‍රපටයක්

"මාකට් "කරනවා කියන එක නම් පහසු දෙයක් නොව. ඒ "රිස්ක් " එක එච්. ඩී. ගත්තේ මේක සාර්ථක වුවහොත් එච්. ඩී. ගොඩ, අසාර්ථක වුව හොත් එච්. ඩී.ට "සොරි" කියන පදනම උඩය. එකෙන්ම ගොඩ යනවා නැත්නම් වැනසෙනවා කියලා ඔහු චිත්‍රපටය කළේ සිනමාස්කෝප් නොහොත් පුළුල් තිර ප්‍රමාණයෙනි. මේ නිහාල් සිංහගේ "වැලි කතරට" පසු නිර්මාණය වුණු දෙවෙනි සිනමාස්කෝප් චිත්‍රපටයය.

ෂෝට් ගෙයි නාමලිගෙයි පවුල් ජීවිතය අවුල් වූවද, අර වෙල් ඉපනැල්ලේ මඩ පාග පාග හිටිය නාමලී දැන් සැප සම්පත් වලින් පිරුණු ළමා

තැනී කෙනෙක් විය. ෂෝට් සහ නාමලී අතර නොගැළපීම් රාශියක් තිබුණද, නාමලී ඒවා විද දරා ගෙන සිටියේ, ඇයට "නෝ චොයිස්" නිසාය.

මේ අතර නාමලීට එහෙ මෙහෙ රස්තියාදු ගැහීම සදහා ගෙදර කාර් රථයට "ඩ්‍රයිවර්" කෙනෙක් ගැනීමේ අදහසක් මතු විය. "ඩ්‍රයිවර්" ඉන්ටවීව් එක කළේ "දනිත් " නොහොත් ෂෝට්ය. ඔහු තරුණ ඩ්‍රයිවර් ලා ගැනීමට සම්පූර්ණ විරුද්ධ වූයේ , නාමලිට මෝල් කලන්තේ හැදී, ඒ තරුණ ඩ්‍රයිවර් එක්ක දිරා මාරු වන බව අනිවාර්යෙන්ම දන්නා නිසාය. එහෙයින් ඔහු මැදිවියේ රියදුරෙක්ව තෝරා ගත්තේ නාමලිට තෙල වැඩිවූවත්, වයසක ඩ්‍රයිවරයා ඒවාට අනුබල දීමට ශක්තියක් නැති යයි සිතාය.

පබෙරිය කංකානම්ගේ බර්ටි සූරසේන , කථාවට සෙට් වුණේ මෙතැන් සිටය. ෂෝට් තෝරාගත් මැදිවිය ඉක්මවූ රියදුරාය මේ බර්ටි. දැන් ෂෝට් ට "ෆුල් සැටිස්ෆ්යිඩ්ය ". බර්ටියා, නාමලිට කොටන්නේ නැති විත්තිය ෂුවර්ය. නාමලිත් ඔය වයසක ඩයල් එක්ක ඇමිනෙන්නේ නැති එකත් ෂුවර්ය. ඒත් ෂෝට් වැරදිය. නාමලී වළව්වේ සිට සැප කෑම ගිලමින් තෙල වැඩිවී ,ඒක ඉහට ගිහින්, මෝල් කලන්තේ ඩබල් ට්‍රිබල් විය. ෂෝට් ගෙන් "ආතල්" එකක් නැති විට නාමලිට මැදිවියේ බර්ටිව පෙනුණේ හරියට "රාජේශ් ඛන්නා" වගේය. උප්පරවැට්ටියකින් බර්ටිව තම කාමරයට ගෙන්න ගත් නාමලී බර්ටි සමඟ ඇති තරම් ජවුසං නැටුවාය.

ප්‍රේමරත්න තම කතාසාරය තුළ දික්තලා, කාල ගෝල, හා දික්පිටියා යන චරිත තුන ට නාමලී, දනිත්, සහා බර්ටි ව බද්ධ කර ගත්තේ එසේය. කාල ගෝල කථාවේදී ගඟක් තරණය කිරීමට දික්පිටියා ගෙන් උදව් ඉල්ලන්නේ කාල ගෝලය. "සිකුරු ලියා " චිත්‍රපටයේද, තම රථයේ රියදුරාට බර්ටිව තෝරා ගන්නේ ෂෝට් ය. ඉතින් මේ ගැහැනු දෙදෙනාටම ඉනිමං සාදා දෙන්නේ පිරිමින් දෙදෙනා වූ කාල ගෝල හා ෂෝට් හෙවත් දනිත්ය. එතැන් සිට කථාව තරමක් දුරට දිව යන්නේ ද කාලගෝල කථාව අනුසාරයෙනි. ප්‍රේමරත්න උම්මන්ග ජාතකයේ එන කාල ගෝල ජාතක කථාව හැත්තෑ දශකයට ගෙනවිත්, එය නවීකරණය කර ලාංකේය සිනමාවේ නව සංස්කෘතියක් බිහි කිරීමට උත්සහා ගෙන තිබුණි.

බර්ටිත් සමග සම්බන්ධ වූ පසු, නාමලිගේ විසේ තව තවත් වැඩි විය. බර්ටිත් මැදිවියේ වුවාට, ජවය ,බලය ,ශක්තියෙන් නම් අඩුවක් වූයේ නැත. මැදිවියේ වූවද, බර්ටි තනිකඩයෙකි. එහෙයින් පවුල් ප්‍රශ්න ,ළමයි බමයි , බර්ටිට තිබුනේ නැත. බර්ටි නාමලිගේ ශෘංගාරයට ඇලුණේ "මල්ටීබොන්ඩ් " වගේය. දැන් නාමලිට ෂෝට් සමඟ ජීවත් වීම වහ කඳුරුය .

දිනක් ෂොට් හා නාමලී කාර් රථයෙන් ගමනක් ගියෝය. රථය පදවාගෙන ගියේ බර්ටිය . කෙසේ හෝ කාර්මික දෝෂයක් මවා පා ෂෝට්ව රථයෙන් බස්වාගත් බර්ටි හා නාමලී ,ෂොට් ව මහමඟ දමා පැන ගියෝය. ඒ පැන යාම නතර වූයේ බර්ටි නැවතී සිටින මහල් ගොඩනැගිල්ලේ කාමරයේය.

එතැන් සිට නාමලී ජීවත් වූයේ බර්ටි සමඟය. දැන් නාමලිට අර සැප සම්පත් මොකුත් නැත. ඒත් නාමලිට හැඳුණු මෝල් කලන්තෙටනම් බෙහෙත් තිබුණි..

නාමලිව මහල් කාමරයට ගෙන ආවට පසු ඔහුගේ සඟයෝ පොඩි බජව්වක් දැම්මෝය.

"දිළි දිළි දිළිසෙන එළියක්- එළියෙන් දෙන කළඑළියක් 
කළුගල් අතරට මැණිකක්- පහළ වෙලා ඇත්තේ
නැකතට පෝරුවේ- තැලි පිළි නැතිවට 
දෑවැදි රන් පොදි-පැතුවේ නැතිවට 
ලොකුවට මඟුලක්- ගත්තේ නැතිවට 
ලොක්කා ගෙනා මනමාලිය හරි පිං පාටයි 
හරි පෙම් පාටයි"

ප්‍රේමරත්න කථාවේ උච්චතම ස්වරය මෙතැනට ගෙනආවට, එතැන් සිටත් කථාව තවත් දිසාවන්ට යොමු කරන්නට වූයේ, හදිසියේ පාල ,යහළුවෙක් හමුවීමට මෙම මහල් නිවාස ගොඩනැගිල්ලට එනවිට අහම්බෙන් නාමලිව හමු වීමෙ සිද්ධියෙනි. ඒ වන විට නාමලිට බර්ටි ගේ නසරානි ජීවිතේ ගැන හොද හැටි වැටහීමක් ඇතිවී තිබුණි. ඇත්තෙන්ම ඇය කබලෙන් ළිපට වැටී තිබුණි. එහෙත් බර්ටි ළග හිරකාරියෙක් වී සිටිනවා හැරෙන්නට ඇයට "නෝ චොයිස් "ය.

දැන් පාලටත් යමක් කමක් කරගන්නට පුළුවන් තත්වෙකය සිටිනුයේ. එහෙයින් ඔහු තම හිත මිතුරා වූ සිරිදාස සමඟ නාමලී බේරාගෙන මෙතනින් රැගෙන යාමට ප්ලැනක් ඇන්දේය.

මේ අතර තමාව ද්වේශ සහගත ලෙස මහමඟ දමා අතහැර ගිය නාමලී හා බර්ටි ගෙන් පළි ගැනීමට ෂෝට් උත්සහා කළේය. එහෙත් ඔහුට නාමලී නැති සෝකය දරා ගැන්මට නොහැකි විය.

" කොමළ ලියා බොළඳ ලියා- මාව දමා යන්න ගියා 
සියුමැලියා සිකුරුලියා- සියුමැලියා සිකුරුලියා 
ගත සීතල පහස ලබා- ලැම රන්වන් සුවඳ සොබා 
මුව මී රොන් ලැබුව මෙමා- සිකුරුලියා -මාව දමා යන්න ගියා-සියුමැලියා"

ප්‍රේමරත්න ඉතාමත් නිර්මාණශීලිව ෂෝට් නොහොත් දනිත් , නාමලී ට බැඳී ආදරය, සෙනහස, මෙන්ම ශෝකය ,විරහව, එකී නොකී හැම වේදනාවක්ම මෙම දර්ශනයේදී කැටි කොට සැලෝලයිඩ් පටිය තුලට කා වද්වා පෙන්වුයේ විශිෂ්ට ලෙසය. එයට ධර්මසිරි ගමගේ ගේ ගී රචනය හා ක්ලැරන්ස් විජේවර්ධන ගේ සංගීතයද බලපෑ අතර, එම ගීතය ගැයූ ජේ.ඒ.මිල්ටන් පෙරේරාගේ,හඬ හා ගායනා විලාශයත් චිත්‍රපටය අමරණීය කරන්නට ඉහළින්ම දායක විය.

නාමලීව පාලට ලැබෙයිද,බර්ටි වැනි මැරයෙකුගෙන් පාල නාමලිව බේරා ගනීවිද, ෂෝට් නාමලිගෙන් හා බර්ටිගෙන් පලි ගනීවිද යන ප්‍රශ්නාර්ථ කීපයකටම කුතුහලය රදවමින් ,ඒවාට නිසි පිළිතුරු දී "සිකුරු ලියා" චිත්‍රපටය සාර්ථකව නිමකිරීමට ප්‍රේමරත්න සමත් විය. සමත්වූවා පමණක් නොව, එයින් ඔහුට අලුත් "ටයිටල්" එකක්ද ලැබුණි. ඒ ලාංකීය සිනමාවේ "මැද මාවතේ " සිනමා කරු ලෙසය.

සුවිනීතා වීරකෝන් ලාංකේය සිනමාවේ ප්‍රථම හා දෙවන සිනමාස්කෝප් චිත්‍රපටවල රඟපෑමේ වාසනාව හිමි විය. ඒ "වැලි කතර" හා "සිකුරු ලියා" චිත්‍රපට වලිනි. මිනිසුන් තුන්දෙනෙකුගේ අතින් අතට මාරුවෙන නාමලිගේ චරිතය සුවිනීතා රඟපෑවේ අද්විතීය ලෙසය. මුළු සිනමා පටයම තිබුනේ මේ ස්ත්‍රීයව කේන්ද්‍රීය කරගෙනය. එය ඇය හොදට අවබෝධ කර ගෙන තිබුණි. බර්ටි වූ ජෝ අබේවික්‍රම තම සුපුරුදු ප්‍රතිභාවය පෙන්වමින් එය කදිමට ජීවමාන කළේය. පාල ලෙස රඟපෑ විජය කුමාරණතුංගට තම වැඩ පෙන්වන්නට එම චරිතය තුළ විශාල පරාසයක් තිබුණේ නැත. එහෙත් ඔහුගේ ආකර්ෂණය, චිත්‍රපටයට ගෙන ආවේ අපූරුවූ ආලෝකයකි. ෂෝට් හෙවත් දනිත් පුංචි හාමු ලෙස රඟපෑ බන්දුල ගලගෙදර, තේමාවට අනුචිතව බද්ධ විය. රොබින් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියදාස ගුණසේකර, ශාන්ති ලේඛා, විමල් කුමාර ද කොස්තා, දෙනවක හාමිනේ, තලතා ගුණසේකර, ගාමිණී ගනේගොඩ, ජෝ දඹුලුගල, බැසිල් ද සේරම්, බර්ටි ගුණතිලක, ඇග්නස් සිරිසේන, රූබි ද මෙල්, වැන්නන් ද ප්‍රේමරත්නව ස්ථාවර කරන්නට මෙම නිර්මාණයට විශිෂ්ඨ ලෙස දායක විය. ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතය ලාංකේය සිනමා සංගීතයට නැවුම් විය. ප්‍රේක්ෂකයා එය සදාදරණීය ලෙස පිළි ගති.

1975 සැප්තැම්බර් 27 වන දින "තාරක" චිත්‍රපට හරහා ඉදිරිපත් වූ "සිකුරුලියා" තුළින් එච්.ඩී. ප්‍රේමරත්න චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කිරීමේ මාර්ගයකට අවතීර්ණ විය.

"නෙත ඇඳී රුව ඔබය සුදූ - අද ඒ නෙත කඳුළු බිඳු 
ආදරයෙන් ඔබව හැදූ- සිකුරුලියා 
මාව දමා යන්න ගියා- සිකුරුලියා... "

 

ශෝන් මැක්ස්මස් දිසානායක (ලබන සතියෙ තවත් චිත්‍රපටයක්)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.