මියගියත් නොමියෙන රුක්මණී දේවි

ඔක්තෝබර් 25, 2018

හතළිස් වැනි ගුණානුස්මරණය වෙනුවෙනි

මම ගායිකාවක් හැටියට ගීත ප්‍රසංගයක් පැවැත්වීමට හීනෙකින්වත් හිතුවේ නෑ. එයට හේතුව අනාගතය ගැන සිතීමට හීනෙකින්වත් මා තුළ බලාපොරොත්තු නැති නිසා. මගේ හිතවත් මිතුරු මිතුරියන්ගේ ඉල්ලීමට 'ස්වර්ණ ගී' ප්‍රසංගය පැවැත්වීමට හිතුවා' ඇය කීවාය.

'රුක්මණී දේවිගේ ප්‍රසංගයක් ලබන සතියේ තියෙනවා. මමත් ආසයි එයාගේ පරණ සින්දු අහන්න. රංජි පුතේ රුක්මණී හම්බ වෙලා මුකුත් ලියමුද?' 1978 ඔක්තෝබර් මාසයේ දිනක 'සරසවිය' කර්තෘ ධර්මදාස බොතේජු මහතා මගේ මේසයට ඇඟිලි තුඩුවලින් තට්ටු කරමින් කීවේය. කර්තෘ මහතාගේ උපදෙස් පරිදි මම දෙහිවල ඇය නැවතී සිටි නිවසට ගියෙමි.

එවේලේ මළ හිරු බැස යමින් තිබිණ. රුක්මණී දේවි අවසන් වරට 'සරසවිය' පාඨකයන් වෙනුවෙන් මම හමු වූයේ මිය යාමට දින හතරකට ඉහත දෙහිවල ඇගේ සොහොයුරියගේ නිවසේදීය.

ඇය මා හඳුනාගෙන සිටියේ ඊටත් වසර නවයකට ප්‍රථම ආනන්ද විද්‍යාලයේ මාගේ පන්ති මිතුරන් සමඟ නිර්මාණය කළ 'නිම්වළල්ල' චිත්‍රපටයට ඇයට රඟපෑමට ආරාධනය කිරීමට ගිය දින සිටය. නිහතමානීව ඇය මා පිළිගත්තේ නිර්ව්‍යාජ සිනාරැල්ල මුවට නඟා ගනිමිනි.

'මම ගායිකාවක් හැටියට ගීත ප්‍රසංගයක් පැවැත්වීමට හීනෙකින්වත් හිතුවේ නෑ. එයට හේතුව අනාගතය ගැන සිතීමට හීනෙකින්වත් මා තුළ බලාපොරොත්තු නැති නිසා. මගේ හිතවත් මිතුරු මිතුරියන්ගේ ඉල්ලීමට 'ස්වර්ණ ගී' ප්‍රසංගය පැවැත්වීමට හිතුවා' ඇය කීවාය.

තමා ගායිකාවක් ලෙස මේ රටේ යම් තැනක් ලැබී ඇති ද ඒ සඳහා අගේ පියාට සදා ණයගැතියි. මගේ පියා ගීත අහන්න ප්‍රිය කළ කෙනෙක්. ඇයට මිහිරි හඬින් ගී ගැයීමට පුළුවන් බව දුටු මුල්ම තැනැත්තා ද ඇගේ පියා වූ ජෝන් ඩී. ඩැනියල්ස් මහතාය. මේ සියල්ලටම ඇය අම්මාටත් තාත්තාටත් පින් සිද්ධ වෙන බවත් එදා රුක්මණී දේවිය මට කීවාය.

'මම මගේ අම්මවත්, තාත්තාවත් රැක ගැනීම තමයි අනාගත බලාපොරොත්තුව. ඔවුන් දෙදෙනා වෙනුවෙන් උපහාර ගීතයකුත් මම එදාට ගයනවා' ඇය බොහෝ බලාපොරොත්තු ඇතිව කීවාය.

'සරසවිය' වෙනුවෙන් අප කතබහ කරමින් සිටියදී ඇයට පුහුණුවීමක් සඳහා කොළඹ ෆ්ලවර් පාරේ කාන්තා විද්‍යාලයට යාමට මෝටර් රථයක් පැමිණියේය.

'ඩේසි අක්කාට පරක්කු වෙනවා නම් අපි ලේඩිස් කොලේජ් එකට ගිහිල්ලම කතා කරමු' මම යෝජනා කළෙමි.

'නෑ, සරසවියේ වැඩක් පැහැර අරින්න බැහැ. අපි මෙහෙදිම කතා කරමු'.

'මගේ ජීවිතයේ ලොකුම දුක මට කියලා පුතෙක් හරි දුවෙක් හරි නැතිවීම. එදා මගේ අම්මා, තාත්තා මම ගීත කියනවා අහලා සතුටු වෙන්න ඇති. 'අනේ මගේ රත්තරං කෙල්ල හොඳට සින්දු කියනවා' කියලා. මට ඒ සතුට නෑ. මට දුවෙක් හෝ පුතෙක් හිටියා නම් ගීත ප්‍රසංගය දවසේ මට කොපමණ සතුටක් ඇති වේවිද?'

එදා රුක්මණී දේවියගේ සංවේදී කතාබහ ගැන සිතමින් මම බස් රියට නැඟ අසුනක වාඩි වූ විට ඇය 'දොස්තර' චිත්‍රපටයේ ගැයූ ගීතයක් මතකයට ආවේය. එය එතරම් ජනප්‍රිය ගීතයක් නොවුණත් තනුව මා සිත් ගත් නිසා මම හෙමින් මිමිණුවෙමි.

'ජීවිතේ මා පාළු වී යයි
අන්ධකාරේ පාවෙවී අහො පාවෙවී 
ප්‍රේම පාලා ගිය දමලා
මේ අහිංසක ආදරී ඔබෙ ආදරී'

1978 ඔක්තෝබර් 28 වෙනිදා නිවාඩුවක් ගත් මා බිරිඳ සමඟ පෞද්ගලික බසයක නැඟී අම්බලන්ගොඩට යමින් සිටියෙමු. ඒ පෞද්ගලික බස් මහ පාරට පැමිණි අලුතය. එම බස් රියේ ගුවන් විදුලියෙන් ගීත ප්‍රචාරය වෙමින් තිබුණි. හිටි හැටියේ උදෑසන 7 ට පමණ රුක්මණී දේවි එදින උදේ 6.30 ට පමණ ජාඇල තුඩැල්ලේදී ඇති වූ මාරක අනතුරකින් මිය ගිය ශෝකී පුවත කියවිණි. බස් රියේ සිටි මගීන් 'අයියෝ. . . .' සුසුම් හෙළනු මම දුටුවෙමි. අප ආදරණීය 'ඩේසි අක්කා' යි අමතන ඒ නිරහංකාර ශ්‍රේෂ්ඨ කලාකාරිය ගැන ඒ ශෝක පුවත ඇසූ සැණෙන් මම අන්ද මන්ද වීමි. අපි කොන්දොස්තරට කියා බසය නවතාගෙන එයින් බැස්සෙමු.

'දැන් මම ලේක්හවුස් එකට යන්න ඕනෑ. අපි කොළඹ යන බස් එකෙන් ඔයාව ගේ ගාවින් බස්සවන්නම්'

බිරිඳ රත්මලානේ ගොළුමඩම හන්දියේ නිවස ළඟ බස්වා මම ලේක්හවුසියට ගියෙමි. මගේ අදහස රුක්මණී ගැන අප සකස් කිරීමට සැලසූම් කළ සරසවිය පත්‍රය වෙනස් කොට කර්තෘ මහතාට කියා විශේෂ කලාපයක් සකස් කිරීමටය. රුක්මණී දේවි විශේෂ උපහාර කලාපයක් මුද්‍රණය විය යුතු යයි ලේක්හවුස් සභාපති රණපාල බෝධිනාගොඩ මහතා ද කර්තෘ ධර්මදාස බොතේජු මහතාට උපදෙස් දී තිබුණි.

'පුතා අපි හොඳ උපහාර පත්තරයක් ගහමු' බොතේජු මහතා කර්තෘ මාණ්ඩලික ජ්‍යෙෂ්ඨයා වූ සෝමවීර සේනානායක හා මා ද කැඳවා තම මේසයට ඇඟිලි තුඩුවලින් තට්ටු කරමින් කීවේය. අපට අවශ්‍ය ලෙස පින්තූර තෝරා ගෙන සරසවිය පත්‍රයේ කලා සංස්කාරකව සිටි නිමල් පෙරේරා අභයවර්ධන මහතාට භාර කළෙමු. මා වාහනයක නැඟී වත්තල හැඳල සිටි එඩී ජයමාන්න හමු වී එඩී රුක්මණී මීගමු මුහුදු වෙරළේ හමු වූ කතාව මැද පිටුවට ද රුක්මණී සමඟ අවසන් වරට කළ විශේෂාංගය ද ලීව්වෙමි. එහි ශීර්ෂය වූයේ 'ජීවිතයේ නිසරු බව ගැන කතා කළ අඩ පැයක්' යන්නය. සරසවිය උපහාර කලාපය 1978 නොවැම්බර් 03 වෙනිදා නිකුත් විය. රුක්මණී අපට වඩා පෙර සිටම හැඳින සිටි ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදී අර්නස්ට් වඩුගේ ද අගනා විශේෂාංග කිහිපයක් ලියා තිබුණි. නිමල් පෙරේරා අභයවර්ධන, රියැන්සි විජේරත්න, නීල් මෝසස්, බන්දු කොඩිකාර, රෙජී බුලත්සිංහල, ක්‍රිස්ටි සිල්වා යන ලේක්හවුස් ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප හා රුක්මණී රඟපෑ චිත්‍රපටවල ඡායාරූප ද කලා සංස්කාරකගේ මේසය මත විසුරුවා තිබුණි. පත්‍රය නිකුත් වූ පසු බෝධිනායක මහතා අපට ස්තුති කළේය. ඒ ගෞරවය හිමි විය යුත්තේ සරසවිය කර්තෘ බොතේජු මහතාටය. සියලු වගකීම් අප වෙත පවරා අප කරන දේ බලා සිටි ඔහු හැම පිටුවකම සෝදුපත් බැලීම පමණක්ම කිරීම ඔහුගේ නිහතමානිත්වයේ සලකුණක් සේ අපි දුටුවෙමු.

උදාර මිනිස් ගුණ පිරි හදවතකට හිමිකම් කී රුක්මණී ගැන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ ලියූ කෙටි සටහන ඇය ගැන කළ අගනා වාර්ණිකාවකි.

'ඔබ තවමත් හුස්ම ගනිමින් ඔබේ උස් පහත් වන ළය මඬල නම් සෙනහස් තොටිල්ලේ දයාබරිතව අප හොවා තුරුළු කැරගෙන හදවතින් ඇසෙන මියුරු ගීයට කන් දෙන්නැයි කියා නළවමින් මතු යම් දිනක් එළඹෙන තුරු අපේ සියලු දුක්ඛ දෝමනස්සයන් හා කැටි වූ කඳුළු වේදනා නිවාලනු ඇත. එවිට ජාතියේ හද ගැස්ම හා මුසු වූ කූජන රිද්ම රාවයෙන් ඔබේ සුමධුර කෝකිල ගීතය අපි අසන්නෙමු. යශෝරාවයේ රිදී කඳු ශිකරය ඉස්මත්තේ සිට ඉර සේවයට එබී ඔබේ සුරම්‍ය සිනාවත හැමදාමත් දකින්නෙමු. මතු යම් කලෙක නිවන් දක්නා ජාති දක්වා මෙලෙස ඔබ අප මුණ ගැසෙනු ඇත.'

රුක්මණී දේවියට මා කොතරම් ආදරය කළා ද යත් ඇය ගැන 'රුක්මණි දේවි : යුගයක ස්වර්ණ ගීතය' කෘතියක් 2002 ජනවාරි 21 වෙනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී උත්සවශ්‍රීයෙන් එළිදැක්වීමු. එදින ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, මහාචාර්ය සුනිල් ආරියරත්න ද මුල් ආසනවල අසුන් ගත්හ. එම ග්‍රන්ථයට පසු වදනක් ලියූ මහාචාර්ය සුනිල් ආරියරත්න රුක්මණී දේවි ගැන මෙසේ කියා තිබුණි.

'රුක්මණී දේවිය තරම් මෙරට පොදුජන ජීවිතයෙහි ලැගුම් ගත් වෙනත් කලා ශිල්පිනියක් මෙතෙක් පහළ වී ඇත්දැයි මම නම් නොදනිමි. මන්ද යත් ඇය හැම දවසකම, හැම මොහොතකම අනුප්‍රාණය ලබමින් අප හදවත් තුළ ජීවත් වන බැවිනි. ඇය අපගේ පැරණිතම චිත්‍රපට නිළිය වුවත් අපට හැඟෙන්නේ ඇය අපගේ අලුත්ම චිත්‍රපට නිළිය බවයි. සැබැවින්, බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ පටන් ලෙස්ටර් ජේම්ස් පීරිස් දක්වා සිය සිනමා රංගනය විහිදවාලීමට තරම් ඇය භාග්‍යවන්තියක වූවාය. ඇය අපගේ පැරණිතම චිත්‍රපට පසුබිම් ගායිකාව වුවත් අපට හැඟෙන්නේ ඇය අපගේ අලුත්ම ගායිකාව බවයි. සැබැවින් නාරායන අයියර්ගේ පටන් අමරදේව දක්වා වූ සංගීතවේදීන්ගේ ද හියුගෝ ප්‍රනාන්දුගේ පටන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ දක්වා වූ ගේය කාව්‍ය රචකයන්ගේ ද ඇසුර ලබන්නට තරම් ඇය පුණ්‍යවන්තියක වූවාය.'

 

රුක්මණී ශ්‍රී ලාංකික කථානාද සිනමාවේ ප්‍රථම නිළිය හා ගායිකාව වන්නීය. මුල්වරට සිංහල චිත්‍රපටයක ද්විත්ව චරිත නිරූපණය කළ චිත්‍රපට නිළිය ඇයයි. ඒ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න 1952 නිපද වූ 'උමතු විශ්වාසය' චිත්‍රපටයේ මව සහ දුවගේ ද්විත්ව චරිත නිරූපණයයි. මෙරට චිත්‍රපට සම්මාන උලෙළකදී හොඳම නිළියට හිමි 'දීපශිකා' සම්මාන මුල්වරට දිනා ගත්තේ ඇයයි. ජාතික පුවත්පතකට තම ජීවිත කතාව ලියූ ප්‍රථම නිළිය ද ඇයයි. 1955 වසරේ ඉරිදා ලංකාදීපයට ඇගේ ජීවිත කතාව ඇය වෙනුවෙන් අප්‍රකටව ලියන්නේ කරුණාසේන ජයලත්ය. එමෙන්ම 1951 වසරේ තිරගත වූ 'කුසුමලතා' නම් වූ මෙරට ප්‍රථම දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ද ඇය වන්නීය. 1956 දී තිරගත වූ 'දොස්තර' චිත්‍රපටය ප්‍රදර්ශනය වීම නිමිත්තෙන් රුක්මණී විසින් ලියූ 'මගේ ජීවිත විත්ති' කෘතිය සිනමාස් සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලදී. මේ අනුව අපේ චිත්‍රපට නළුවකු හෝ නිළියක විසින් ලියා ප්‍රකාශයට පත් ප්‍රථම ග්‍රන්ථය මෙය ලෙස සැළකේ. චිත්‍රපට නිළියක් හා නළුවකු මුල්වරට නිෂ්පාදනය කළ ප්‍රථම චිත්‍රපටය වූ 'සිරියලතා' නිෂ්පාදනය කළේ රුක්මණී හා ඇගේ සැමියා එඩී ජයමාන්නය. ඉන්දියාවේ ප්‍රකට සිනමා සඟරාවක් වූ ෆිල්ම් ෆෙයාර්' සඟරාවේ මුල් ඡායාරූපයක් පළ වූ ලංකාවේ ප්‍රථම හා එකම නිළිය වන රුක්මණීගේ විශේෂාංගය (My Likes and Dislikes) එහි පළ වූ මුල්ම ලිපිය විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නළුවකු හෝ නිළියක වෙනුවෙන් තැපැල් මුද්දරයක් නිකුත්ව ඇත්තේ ද රුක්මණී දේවිය වෙනුවෙනි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි තැපැල් ඇමතිව සිටි ඇලික් අලුවිහාරේ මහතා විසින් මේ සමරු මුද්දරය නිකුත් කරනු ලැබීය. මුද්දරයට ඇතුළත් ඡායාරූපය ගනු ලැබුවේ මීගමුවේ 'ලයන් ස්ටුඩියෝ' හි ඊලියන් සේනානායක විසිනි. රුක්මණී මිය යාමට දින කිහිපයකට ඉහත ඇගේ 'ස්වර්ණ ගී' ප්‍රසංගය වෙනුවෙන් ඔහු ගත් ඡායාරූපයකි මේ.

ශ්‍රී ලංකාවේ කලාකරුවකු, කලාකාරියක උදෙසා ඉදි වුණු මුල්ම ප්‍රතිමාව ඉදි කෙරුණේ රුක්මණී දේවි වෙනුවෙනි. රුක්මණී දේවියගේ සමීප මිතුරියක් වූ ලීලා කෝට්ටේගොඩ පෞද්ගලික වියදමින් (රුපියල් 50,000 පමණ) ජාඇල තුඩැල්ලේ රුක්මණී අනතුරින් මියගිය ස්්ථානය අසළ ඉදි කළාය. මේ පිළිරුව නිර්මාණය කළේ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ, චිත්‍ර හා මූර්ති ශිල්පී ආරියවංශ වීරක්කොඩිය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නළුවෙක්, නිළියක් වෙනුවෙන් පිහිටවනු ලැබූ මුල්ම රසික සංගමය බිහි වී ඇත්තේ ද රුක්මණී දේවිය වෙනුවෙනි. මෙයින් එක් රසික සංගමයක් 1962 වසරේ පිහිට වූවා යයි 1994 පෙබරවාරි 23 වෙනිදා සරසි පුවත්පතට විමලදාස පෙරේරා ලියූ 'මට මතක තියෙන අතීතයක්' නම් (ආනන්ද පද්මසිරි විසින් ලියූ) මෙසේ පළ වී තිබුණි.

1962 දී පිහිටුවා ගන්නා ලද 'රුක්මණී දේවි සිනමා රසික සංගමය' මේ රටේ බිහි වූ එවැනි මුල්ම රසික සංගමයයි. එහි සභාපතිත්වය දැරුවේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදකයකු වන මා මිත්‍ර ආරියදාස පීරිස්ය. එහි සංවිධායක වශයෙන් කටයුතු කළේ මාය. (විමලදාස පෙරේරා) රුක්මණී සිනමා රසික සංගමය යන නමේ මුල් අකුරු එක් කර 'රුසිර' සංගමය යනුවෙන් අප විසින් එය නම් කර තිබුණා.'

1978 මැයි 19 වැනිදා මහනුවරින් බිහි වූ රුක්මණී දේවි රසික සමාජයක් ඇය මිය යාමට මාස 5 කට පෙර තමාගේ බරපැන උසුලමින් ජෙෆ්රි විජේසිංහ පිහිට වූ බවත්, එය නළුවෙකු හෝ නිළියක වෙනුවෙන් ඇරඹි ප්‍රථම රසික සමාජය බවත් ඔහු පවසා ඇත්තේ 1996 ඔක්තෝබර් 25 වෙනිදා සරසි සිනමා පුවත්පතටය. පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහනුවර සිවිල් ඉංජිනේරු ජේ. තුරෙයිරාජා යන මහතුන්ගේ සහයෝගයෙන් පිහිටුවාලු රුක්මණී දේවි රසික සමාජය මහනුවර පිහිට වූදා රුක්මණී තරුණ පිරිස මෙන්ම ළමුන් ද පිරිවරා සතුටු වූ අයුරු ජෙෆ්රි විජේසිංහ එදා සරසි පුවත්පතට කියා තිබුණි. රුක්මණී මියගිය පසු එවකට අගමැති ආර්. ප්‍රේමදාස මහතාට ලියුම් ලියමින් මීගමුවේ රුක්මණී දේවි කෞතුකාගාරයක් ඉදි කිරීමටත්, සමරු මුද්දරයක් නිකුත් කිරීමටත්, මීගමුවේ කුන්ඩවිල පාර 'රුක්මණී දේවි මාවත' ලෙස නම් කිරීමටත්, සංගීතය හදාරන දෘශ්‍යාබාධයෙන් පෙළෙන සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනමන ලෙසත් එදා ජෙෆ්රි විජේසිංහ යෝජනා කර තිබුණි. එපමණක් නොව රුක්මණී දේවිගේ ජීවිත කතාව ඉංග්‍රීසි බසින් මුද්‍රණය කිරීමට ද විජේසිංහ යෝජනා කර තිබුණි.

රුක්මණී දේවී අනුස්මරණ ශිෂ්‍යත්වය 1987 පිරිනැමී ඇත්තේ මහනුවර බෝලවත්ත සාමවාසී ආබාධිත නිවාසයේ නාලිනී ගුරුගේ ශිෂ්‍යාවටය. සංගීතයට ළැදි ඇයට මහනුවර එම්. ජී. පී. කලායතනයේදී ආනන්ද පෙරේරා සංගීත ශිල්පියා වෙතින් සංගීතය ඉගෙනීමට හිමිකම් ලැබිණි. රුක්මණී දේවි අනුස්මරණ ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවීමේ මිතුරු හවුලේදී මහාචාර්ය ඈෂ්ලි හල්පේ, දොස්තර සී. ඩී. ඇල්. ප්‍රනාන්දු, ඒ. බී. කිරිදෙන, සිරිල් මාතරගේ, කුසුමා විජේසිංහ, සමන්ති අබේවීර සමඟ ප්‍රවීණ නළු ශේෂා පලිහක්කාර ද මුදලින් පරිත්‍යාග කළ බව ලේක්හවුස් ගෙලිඔය සමූහ වාර්තාකරු ආර්. එම්. රත්නායක 1987 මාර්තු 12 'සරසවිය' පුවත්පතට වාර්තා කර තිබුණි.

එවකට අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා 'රුක්මණී දේවි අරමුදලක්' ඇති කොට එයට අරමුදල තර කිරීමට එවකට රුක්මණී රඟපෑ චිත්‍රපට උලෙළක් සංවිධානය කිරීමට ලේක්හවුස් සභාපති රණපාල බෝධිනාගොඩ මහතා සරසවිය කර්තෘ ධර්මදාස බොතේජු මහතාට උපදෙස් දුන් අතර එම භාරධූර කාර්යය සංවිධානය කිරීමට බොතේජු මහතා මට පැවරීය. එකල කොටහේනේ 'ඩොමිනියන්' සිනමාහල වසා දමා එය සිලෝන් තියටර්ස් සමාගමේ චිත්‍රපට ගබඩාව ලෙස භාවිත කරමින් තිබුණි. එහි ගිය මට ශාලාව තුළත් එළිමහනේත් පැරණි චිත්‍රපට ගණනක චිත්‍රපට කෑන්ස් දැක මම මවිතයට පත්විමි. 'අපොයි දෙයියනේ මෙහෙම අපරාධයක්' මට කියවිණි. මම සතියක් තිස්සේ දූවිල හා පුස් කෑ චිත්‍රපට කෑන්ස් එකින් එක තෝරා රුක්මණී රඟපෑ චිත්‍රපට 20 ක් පමණ තෝරා ඒවා ටවර් හෝල් රඟහලට ගෙන ගොස් සතියක් පුරා උදේ 10 සිට සවස 6 පමණ තෙක් මුල සිට අගටම නරඹා ඉන් චිත්‍රපට 15 ක් තෝරා ගතිමි. එහිදී මට උපකාර කළේ ටවර්හෝල් හි කළමනාකරුවන්ව සිටි කුමාර් ද සිල්වා සහ චන්දි ගුණතිලක යන දෙදෙනාය.

1979 අගෝස්තු 24 සිට සැප්තැම්බර් 07 වෙනිදා දක්වා 'සරසවිය' පත්‍රයේ සංවිධානයෙන් 'රුක්මණී දේවි උපහාර උලෙළ' සාර්ථකව පැවැත්වීය. ඒ චිත්‍රපට මංගලිකා, දෛවයෝගය, සැමියා බිරිඳගේ දෙවියාය, නළඟන, සිරියලතා, ළාදලු, ඉහත ආත්මය, හෙට ප්‍රමාද වැඩියි, කවට අන්දරේ, මඟුල් පෝරුව, කපටි ආරක්ෂකයා, දස්කොන්, වීදුරු ගෙවල් හා දෛවයෝගය තෝරා ගෙන ඒවා ප්‍රදර්ශන වන දින 6.30 දර්ශනයට ප්‍රධාන අමුත්තන් ලෙස ලැඩී රණසිංහ, සේනාධීර කුරුප්පු, ඩොමී ජයවර්ධන, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, මාක් සමරනායක, ස්ටැන්ලි පෙරේරා, ඩී. ආර්.නානායක්කාර, ප්‍රේම් ජයන්ත්, ධර්ම ශ්‍රී රණතුංග, රූබී ද මෙල්, හර්බි සෙනෙවිරත්න, හර්බට් එම්. සෙනෙවිරත්න, ඩී. ආර්. නානායක්කාර ද අවසාන දිනයේ දෛවයෝගය චිත්‍රපටය අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

රුක්මණීගේම අත් අකුරින් ලියූ ජීවිතයේ අවසන් වරට මාතර උයන්වත්තේදී ගැයූ 'බැඳීලා කාසි බැම්මේ' ගීතයේ ලේ සහිත අත් පිටපත තලතා ගුණසේකර 'සරසවිය' පත්‍රයට භාර දුන්නාය. මෘත ශරීරාගාරයේදී කිසිවකු විසින් මෙය තලතාට භාර දී තිබුණි. 1978 නොවැම්බර් 10 වෙනිදා එම ලිපිය පළ විය.

මා මෙහි සඳහන් කළේ රුක්මණී දේවිය ගැන වෙනදා ලියන අනුස්මරණ ලිපිවලට වඩා 'සරසවිය' පුවත්පතට සම්බන්ධ මතකයන් කිහිපයක් පමණි. ඇය මිය යාමට සතියකට දෙකකට පමණ පෙර මට ලේක්හවුස් මන්දිරය අසළ දී හමු වූ අවස්ථාවකුත් මගේ මතකයට එයි. මා දුටු රුක්මණී දේවිය මෙසේ කීවාය.

'අපිට පොඩි සපෝට් එකක් දෙන්න ඕනෑ. මරු නාඩගමක් නටන්න ලැහැස්ති වෙලා ඉන්නේ. 'සිවම්මා ධනපාල' ආයිත් අපි පුරුදු වෙනවා. මම ආයිත් පටන් ගත්ත තැනටම යනවා' ඇය සුපුරුදු නිහතමානී මෙන්ම අව්‍යාජ සිනරැල්ල මුවට නඟා ගනිමින් කී අයුරු මට මතක් වේ. ඇය කීවා මෙන්ම මරු නාඩගමක් නටා අවාසනාවන්ත ගමනක ඇය ගියාය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.