සේද මාවතේ සෙවණැලි චිත්‍ර

ඔක්තෝබර් 25, 2018

1285 වැනි සිංහලකතානාද චිත්‍රපටය ලෙස තිර ගත වන්නේ ජාතියේ පියා ඩී.එස්ය. එයට පාදක වනුයේ මෙරට මුල්ම අගමැති ඩී.එස්.සේනානායක මහතාණන්ගේ ජීවන වෘත්තාන්තයයි.මුල්ම සිංහල කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව තිර ගත වු දවසේ එනම් 1947 වසරේ ජනවාරි මස 21 වැනි දින එහි මංගල දර්ශනය පැවැත්වූ කොළඹ කොටහේනේ කිංස්ලි සිනමාහලේ ප්‍රධාන ආරාධිතයා වූයේ ද මහාමාණ්‍ය ඩී.එස්.සේනානායකය.එවකට එතුමන් බ්‍රිතාන්‍ය ජනපදයක්ව පැවැති ලංකා පාර්ලිමේන්තුවේ සභානායක විය.

කඩවුණු පොරොන්දුව නිෂ්පාදක ලෙස නම ගියේ එස්.එම්.නායගම් ගේ වුව ද එහි සම නිෂ්පාදකයකු වූයේ රොබට් පරාක්‍රම සේනානායකය. දෙවැනි කතානාද නිෂ්පාදනය වන අශෝකමාලා චිත්‍රපටයේ ද නිෂ්පාදකවරයෙක් ලෙස රොබට් පරාක්‍රම සේනානායක සඳහන් වෙයි.රොබට් පරාක්‍රම යනු ඩී.එස්.සේනානායක සිරිමතුන්ගේ දෙවැනි පුත්‍රයාය.ඔහු මුල්ම කතානාද චිත්‍රපට දෙකටම සම්බන්ධ වනුයේ එම චිත්‍රපට යුගල නිෂ්පාදනය කළ සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ හේතුවෙනි.

ලාංකික සිනමාවේ නිල ආරම්භය කඩවුණු පොරොන්දුව සේ සැලකිම යුක්ති සහගත නොවන බව අපගේ හැඟිමය.එය එක්තරා සංධිස්ථානයක් බව සැබෑවකි.එය අපේ මුල්ම කතානාද සිනමා කෘතිය බව ද සැබෑවකි.එහෙත් ලංකික සිනමාවේ ආරම්භය ගවේෂණය සඳහා ඊටත් වඩා අතීතයට යා යුතුය.මෙම ලිපි මාලාව මුලපුරන්නේ එයටයි.

ලාංකික සිනමා ඉතිහාසය ලියන්නෙකුට එය ලෝක සිනමාව හා සැසඳීම මෙන්ම ඉතිහාසය හා සිදුවීම් අතර ඇති සබඳතාවන් ද නොසලකා හැරිය නොහැකිය. ලාංකික සාමාජිය හා දේශපාලනික වශයෙන් සිදුවීම් නොසලකා සිනමා ඉතිහාසය ලියන්නේ නම් එය ද අඩුවක් ලෙස සැළකිය යුතුව ඇත.

එබැවින් මෙම ඉතිහාස කතාව මෙරට සිනමාව හා බැඳුණු පුරාවෘත,දේශපාලනික හා ආර්ථික සිදුවීම් පමණක් නොව අතොරක් නැති ඕපාදූප ද ඇතැමෙකුගේ ජීවන වෘතාන්ත ද උපයෝගි කරගෙන ලියන්නක් වනු ඇත.වැදගත්ම කරුණ නම් ලාංකික සිනමා ඉතිහාසය සොයද්දී මෙරට සිනමාව ද ලෝක සිනමාවේම කොටසක් බව සැලකීමය.ලංකාව ලෝකයේ කොටසක් විනා ලෝකය ලංකාවේ කොටසක් නොවන බව අප දැන සිටිය යුත කරුණකි.

ලෝක සිනමාවේ ආරම්භය කාර්මික විප්ලවය නිසා සිදුවූවකි.1895 වසරේ දෙසැම්බර් 28 වැනි දින ප්‍රංශ ඉතිහාසයේ සඳහන් ව තිබිය යුත්තේ පැරිසියට උහුලන්නට බැරි සීතලක් එක් කළ දවසක් හැටියටය.එහෙත් ඉතිහාසයේ එය සදහන් වූයේ එලෙස නොව ලොව මුල්ම චලන චිත්‍ර දැක්ම පැවැත් වූ දවස හැටියටය. ලොව මුල්ම චලන චිත්‍ර දැක්මේ ඉතිහාස කතාව එක රැයක සිදු වූ විප්ලවයක් නොවිය. චලන චිත්‍රයේ කතාව මිනිස් සම්භවය ආරම්භයේ සිට මිනිසා විසින් දකිනා ලද සිහිනයක ප්‍රතිඵලයක් විය.

තම ප්‍රකාශනය උදෙසා චලනයෙන් විස්තර කරන්නට නොහැකිවූ මිනිස් සිත අපට විද්‍යාමාන වනුයේ පැරණි බිතු සිතුවම් අතරිනි. අපේ පැරණි විහාර ගෙයක තවමත් ශේෂව පවතින ජාතක කතාවක් අදින ලද චිත්‍ර ශිල්පියා තුළ පවා ඇත්තේ චලන චිත්‍රයක් පිළිබඳ අහිංසක සිහිනයකි.

ලොව පුරා මිනිස් සිත් තුළ පැවැති මේ ආශාව වඩා ප්‍රචලිත ව යුරෝපයේ සිදුවූ කාර්මික විප්ලවය ඔස්සේ ඔප වැටුණේ චීනයේ අනාදිමත් කාලයක සිට පැවැතුණ සෙවනැලි චිත්‍ර කලාව යුරෝපයට ඇදී ගිය පසුය.එය යුරෝපයට ගෙන ගියේ සේද මාවත ඔස්සේ චීනයට රිංගා ගත් අරාබි වෙළෙන්දන්ය.

ඔවුහු චීනයට ආවේණික බොහෝ නිර්මාණ යුරෝපයට ගෙන ගියහ.විශේෂයෙන් සංනිවේදන මාධ්‍ය ලොව පුරා ව්‍යාප්ත කිරීමේදී චීනයේ ඉපිද ලොවට දායාද වූ නිර්මාණ එමටය.කඩදාසිය ඉන් එකකි.චලන චිත්‍ර කලාවට මුල් වන සෙවනැලි චිත්‍ර කලාව ද තවත් කොටසකි.සේද මාවතේ කොටසක සිටි ලංකා වාසින් ද අනාදිමත් කාලයක් සිට සෙවනැලි චිත්‍රයේ මහිමය නොදැක සිටින්නට හේතුවක් නැත.

15 වැනි සියවසේ පටන් අරාබීන් ද පසුව ඔවුන් ලුහු බදිමින් පැමිණි යුරෝපියන් ද සෙවනැලි චිත්‍රයේ මහිමය හා ආස්වාදය දැන සිටි බව පැහැදිලිය.සෙවනැලි චිත්‍ර කලාව යුරෝපයට ගියේ කවදාදැයි නිශ්චිත කාල වකවානවක් අනාවරණය කර ගත නොහැකි වුවත් අරාබින් සමග යුරෝපයට ගිය එය විනෝද මාධ්‍යයක් ලෙස 18 වන සියවසේ දී වර්ධනය වූ වග සඳහන් වේ.

කෙසේ වෙතත් ප්‍රංශයේ විසූ ලුවී සහ ඔගස්තේ ලුමියෙර් සොහොයුරන් 1895 වසරේ චලන චිත්‍රය පිළිබඳ නිර්මාණාත්මක සොයා ගැනීම ලොවට හෙළි කළහ. එය එක් අතකින් තවත් සියවසක් ගෙවුණු තැන අප විසින් අද අත්විඳින ලෝකයේ ඩිජිටල් විප්ලවයේම මූලාරම්භයක් සේ එය සැළකිය හැකිය.

ඒ චලන චිත්‍රය ලොව පුරා ඉක්මනින් පැතිරවුණ ආකාරය සලකා බැලීමෙනි.විශේෂයන් සිනමාවේ ආරම්භ ගෞරවයේ සදහා ප්‍රංශය සමග අමෙරිකාවේ තෝමස් අල්වා එඩිසන් අතර පැවැති සීතල යුද්ධය නිසා ඔවුන් දෙදෙනාම චලන චිත්‍රය ලොව පුරා පැතිරවීමට ඉක්මන් වූහ.

එබැවින් ඔවුන් දෙදෙනාගේම නියෝජිතයෝ ලොව පුරා සැරිසැරන්නට පටන් ගති.ඒ වන විටත් ලොව පුරා භේදයකින් තොරව මිනිස් සිත් තුළ පැවැති සිහිනයක් සැබෑ කෙරුණ චලන චිත්‍රයට මිනිසුන් වසඟ කර ගන්නට අමුතුවෙන් වැර වෑයමක් වුවමනා නොවිණ.ලොව මුල්ම චලන චිත්‍ර දැක්ම සදහා ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ හෝටලයට එක් රැස් වූ සංඛ්‍යාව තිස් දෙනෙකුගෙන් සමන්විත විය.

ආසන සියයක් ශාලාවේ අමුත්තන් සදහා වෙන් කළ ද එදා එයින් භාගයක් වත් ඒ සඳහා එක් නොවුණේ ගෙයින් එළියට බසින්නට වත් නොහැකි වාර්තා ගත සීතලයි.එමෙන්ම ඉන් මාස කිහිපයකට පසු ඉන්දියාවේ බොම්බායේ දී මුල් වරට චලන චිත්‍රය දැක ගත හැකි වනුයේ 1896 වසරේ ජූලි මස 07 දින දීය.එය අහම්බයකි.ලුමියෙර්වරුන් සිය ලොව පුරා සිනමා දැකම පවත්වද්දී බොම්බාය මුල් වටයට ඇතුළත් නොවීය.ඒ වකවානුවේ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ අගනුවර වූයේ නවදිල්ලිය නොව.කල්කටාවය.

ලුමියෙර් ගේ නියෝජත මේරියස් සෙස්ටියර් ප්‍රංශයෙන් නැව් නැංගේ ඕස්ට්‍රේලියාව බලා යන්ටය.එහෙත් ඒ දවස් ඉන්දියාව ආශ්‍රිත ඉන්දියානු සාගරයේත් අරාබි මුහුදෙත් මහා කුණාටු සහිත වර්ෂාවන් පැවැති සමයක් විය.එබැවින් ඕස්ට්‍රෙලියානු ගමන පැත්තක දැමූ නෞකාව බොම්බායට සැපත් විය.දින ගණනක් නැව් ගමන ප්‍රමාද වන හෙයින් සෙස්ටිසර් කාලයෙන් වැඩ ගන්නට සිතා සිය චලන චිත්‍ර දැක්ම බොම්බායේ වොට්සන් හෝටල් ශාලාවේ දී පැවැත්විය.මහා වැසි කුණාටු සහිත දවස් බැවින් එහි මුල් දිනය ද සාර්ථක ප්‍රදර්ශනයක් නොවිය.

එහෙත් සියවසේ ප්‍රාතිහාර්යය ලෙස හදුන්වා ටෛම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ පළ කළ දැන්වීමේ පුවත කටින් කට යෑමෙන් අනතුරුව චලන චිත්‍ර දැක්මට ලොකු ඉල්ලුමක් විය.අවසානයේ සෙස්ටියර් ඕස්ට්‍රේලියාව බලා පිටත් වූයේ මාසයකටත් වැඩි කලක් ඉන්දියාවේ චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසුවය.ඕස්ට්‍රෙලියාවේ දී චිත්‍රපට ප්‍රදර්ශනයට අමතරව චලන චිත්‍ර දර්ශන පෙළක් රූ ගන්වන්නටත් සෙස්ටියර් සමත්වූයේය.එය ඕස්ට්‍රෙලියාවේ රූප ගත කළ මුල්ම චලන චිත්‍ර දර්ශන පෙළයි.

 

මතු සම්බන්ධයි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.