මේ නිහඬ නිල් තලයේ පෙම්බර මධු

නොවැම්බර් 8, 2018

ඩල්සි විශ්වවිද්‍යාලයට එන විටම ඇය විවාහක කාන්තාවක් කිරීමට යාපා වග බලාගත්තේය. ඇයට ඕනෑම නෙයියාඩකමක් නැටීමේ ඉඩ ප්‍රස්ථාව යාපා විසින් සලසා දුන්නේ, තරුණ ඇයව වයසක මිනිසෙකුට කසාද බන්දවා දීමෙනි.

"හන්තානේ කථාව" අධ්‍යක්ෂණය කළ සුගතපාල සෙනරත් යාපා, කොමර්ෂල් ෆිල්ම් එකක් කරන බවත්, ඒක⁣ට කොපි සිංදු විතරක් නෙමෙයි, සෙක්ස් සීන්ස්, තියන බවත්, එහී නම "පෙම්බර මධු" බවත් එකල තරුණයන් වූ අපට ආරංචි වුණු පසු, අප නිකං 'අංඥෝ කොරොස්සන්' විය. සුගතපාල සෙනරත් යාපා, ලෙනින් මොරායස් කෙනෙක් වෙන්න යනවාදෝ යන්න සැකයකුත් අපට ඇතිවිය. එතැන් පටන් "පෙම්බර මධූ" තිරගත වනතෙක් අපි අවධානයෙන් සිටියෙමු.

සේනක විශ්වවිද්‍යාලීය තරුණයෙකි. හේ දුප්පත් පවුලකින් පැවත ආ මව්පිය අහිමි වූ අහිංසක මොඩලකි. එහිම තවත් සිසුවියක වූ මධු සේනක හඳුනා ගන්නේ තම නෑනා වූ මේනකා හරහාය. මේනකාද එහී සිසුවියක් සේම, මධු ඇයගේ හොඳම මිතුරියයි.

සෙනරත් යාපාට, විශ්වවිද්‍යාල පරිසරයන් මුලික කරගෙන චිත්‍රපට හැදීමෙ උමතුව හැදෙන්නට ඇත්තේ "හන්තාන කථාවෙන්" පසුව වන්නට ඇත. නැත්නම් සෙනරත් යාපාගේ කිසියම් ආත්මීය බැඳීමක් මේ විශ්වවිද්‍යාල සංස්කෘතින් හරහා තිබෙන්නට ඇත.

හැටේ දශකයේ අවසන් භාගයේ, විජය කුමාරණතුංග නම් කඩවසම් පුද්ගලයෙකු සොයාගෙන ඔහු, විශ්වවිද්‍යාල සිසුවෙක් කෙරූ සෙනරත් යාපා, ඉන් අවුරුදු හත අටකට පසුත් නැවතත් විජය කුමාරණතුංග විශ්වවිද්‍යාල සිසුවෙක් කළේ පෙම්බර මධු චිත්‍රපටයටය.

සේනකගේ ඇවැස්ස නෑනා වූ මේනකා, සේනකට ආදරය කරන්නට වූ අතර, ඇය ,තමා හා ආත්මීය බැඳීමකට සේනකට ආරාධනා කළද, සේනක එය ප්‍රතික්ෂේප කළේය. මධු දුටු දිනම සේනකට ඇය ගැන සිතක් පහළ විය. ඉන් පසු ඔහු ඇය වටා පත්තු කෙරූ බල්බයක් වටේ කැරකෙන මෙරුවෙක් මෙන් කැරකී කැරකී සිටියේ ඇයගේ අදහස දැන ගන්නටය.

"පෙම්බර මධු මගේ,
මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ,
මැවේ මැවේ නයනේ
පෙම්බර මධූ මගේ,
පෙම්බර මධූ මගේ"

සේනකගේ කඩවසම් තාරුණය හා, අහිංසක දඟකාරකම ළඟ මධුගේ හිත නැවතුනේ ඇයටද හොරාය.

සෙනරත් යාපා, සේනක හා මධූ සමඟින් තවත් සුන්දර වූ ආදරයක් ලාංකේය සිනමාව තුළ සනිටුහන් කරන්නට විය. විජය කුමාරණතුංග ගේ මුදු මුදු හිසකෙස වසා, යොවුන් පෙනුමක් ලබා දෙනු වස්, සෙනරත් යාපා ඔහුට පැළදූ බොරු කොන්ඩය, ඇත්තටම, එම චරිතයට මනා ලෙස ගැලපුණි.

සේනක, මධු ලඟ 'හාකොබොන්ඩ්', ගා ඇලී සිටිනවා දුටු මේනකා, තමාගේ 'වන් සයිඩ් ලව් ස්ටෝරියෙන්' ඉවත් විය. ඉන් පසු ඇය 'සපෝට්' රෝල් එක කරන්නට විය. මා නම් සිතුවේ සේනක අයිතිකරගනු වස්, මධු හා මේනකා කෙහෙවලු පටලා ගනියි කියාය. එහෙත් සේනකට ඒ තරම් 'ඩිමාන්ඩ්' එකක් ⁣දීමට, මධූට හෝ මේනකාට ගායක් තිබුනේ නැත.

දැන් සේනකයි, මධුයි ප්‍රේම සයුරේ කිමිදෙයි. සෙනරත් යාපා එකවරම ජෝ දෙව් ආනන්දගෙ ,යසපාලිත නානායක්කාරගේ මොඩල් එකට බැස්සේය. සේනක හා මධූ මුහුදු වෙරලේ හින්දි කොපි සින්දුවකට නටන හැටි දැක්කාම, මේ හන්තානෙ කථාව හැදූ සුගතපාල සෙනරත් යාපාමද කියා තේරුම් ගැන්මට බැරිය.

"මුහුද ගලා ඒ නම්-මා ගිලිලා යානම්
දියඹේ දුර පාවි පාවි, එහෙම වුණොත් මොනවා වෙයිදෝ
දිය රැල්ලක් වීලා ගොඩ බිම් වෙලා
කිරිදරුවෙකු උණුසුම් දී ළඟ බලා
මම මිනිසෙකු ලෙස ඉන්නෙමි
ඔච්චම් කරමින් ඔහේ"

මුහුදු වෙරලේ, විජය කුමාරණතුංග හා මාලනී ෆොන්සේකා දුවමින් නටන කොට, මේ "තුෂාරා"ද, "සංගීතා"ද එහෙම නැත්නම් "වාසනා"ද යන චිත්‍රපට කියා සිතුණි. පසුවය මේ සුගතපාල සෙනරත් යාපාගේ චිත්‍රපටයක් කියා සිහිඑළවා ගත්තේ.

සේනක හා මධු නොරොක් වෙන්නට පටන් ගත්තේ 'ඩල්සි' නිසාය. ඩල්සි විශ්වවිද්‍යාලයට පැමිණියේ ශෘංගාරයත් සමඟය. සෙනරත් යාපා චිත්‍රපටයට ⁣'සෙක්ස්' ගෙනෙන්නේද, ඩල්සි හරහාය. යාපාට ඕනකම තිබුනේ මධූ අහිංසක පෙම්වතියක් කර, ඩල්සිව කාමුක ගැහැණියක් කිරීමටය.

ඩල්සි විශ්වවිද්‍යාලයට එන විටම ඇය විවාහක කාන්තාවක් කිරීමට යාපා වග බලාගත්තේය. ඇයට ඕනෑම නෙයියාඩකමක් නැටීමේ ඉඩ ප්‍රස්ථාව යාපා විසින් සලසා දුන්නේ, තරුණ ඇයව වයසක මිනිසෙකුට කසාද බන්දවා දීමෙනි. සාමාන්‍යයෙන් ලංකාවෙ පමණක් නොව ලෝකයේම තරුණ ගැහැනියක් වයසක මිනිහෙක්ව විවාහ කර ගතහොත්, එම ගැහැණුන් ගෙවන්නේ අතෘප්තිමත්, අසහානාකාරි ජීවිතයන්ය. ඉන්පසු ඔවුන් එම මෝල් මාන්දම හොදකරගැන්මට, තරුණයෙකුට හේත්තුවේ. තරුණයාටද එය වගේ වගක් නැත. හේතුව, මේ විවාහක ගැහැණුන් තමන් ලඟට එන්නේ මොල් මාන්දම ඉවර වෙනකල් පමණක් බව ඔවුන් දන්නා නිසාය. ඒවා බොහොම පැහැදිලිවම "ලේඩි චැට්ලි ලවර්ස්","රයන්ස් ඩෝටර්","බ්ලෝ හොට් බ්ලෝ කෝල්ඩ්" වැනි චිත්‍රපටවලින් පෙන්වා දී තිබුනි.

ඩල්සි විශ්වවිද්‍යාල රූපසුන්දරිය විය. එතැනින් පසු ඇය ජනප්‍රිය චරිතයක් විය. සාමාන්‍යයෙන් ලස්සන කෙල්ලෙක් දුටු විට සෙවල පෙරන්නේ ⁣කොල්ලොය.එහෙත් සෙනරත් යාපා එය අනෙක් පැත්තට හැරෙව්වේය. මෙතැන සේනකට සෙවල හලන්න පටන් ගන්නේ ඩල්සිය.

ගීතා කුමාරසිංහ සිනමාවට ආ මුල් කාලයේ ඇය ඕනෑම චරිතයකට අභීතව රඟපෑමට ඉදිරිපත් විය. නිළියක් වශයෙන් හෝ නළුවෙක් වශයෙන් ඕනෑම චරිතයකට අවතීර්න වෙනවා කියන්නේ, ඇත්තෙන්ම ඔවුන් තම වෘත්තිය හරි හැටි හඳුනා ගත් බවය. මේ සියල්ලන්ම කරනුයේ කැමරාවක් ඉදිරිපස, කාර්මීක ශිල්පීන් ගනනාවක් ඉදිරියේදි කරන රඟපෑමකි. ඔවුන් කළේ තිර රචනයේ චරිතයට ඇතුළුවීමක්ය. ඉන් පසු ඔවුන් බසින්නේ ඔවුනගේ සාමාන්‍ය ජීවිතයටය. එහෙත් ගීතා කුමාරසිංහගේ බාහිර ස්වරූපයට ඇයව නිතරම ගන්නට බැලුවේ රාගාධීක චරිතවලටමය. එය නම් ඇයට සිදුවූ විශාල අසාධාරණයකි. සුගතපාල සෙනරත් යාපාද ගීතා කුමාරසිංහ ඩල්සි ගේ චරිතයට ගෙන ඒ වැරද්ද කළේය.

ඩල්සිට කෙසේ හෝ අවශ්‍ය වී තිබුණේ, කඩවසම් සේනකගෙන් තම ශරිරය බුර බුරා නැගෙන ආශාවන් සන්තර්පනය කර ගැනීමටය. ඩල්සීට සේනකව තමා වෙතට නතුකරගැන්මට, විශේෂීත උත්සහයක් දැරීමට සිදු නොවීය.

ඩල්සිගෙ අඟර දඟර පෙනුමට සේනක ඇදී යන එක පුදුමයක්ද?

ඇය සේනක තනිව මුණ ගැසුණු පසු කරපු කෝලං...මගේ අම්මෝ ඇඟ හිරිවැටෙනවා අප්පා...ගීතා කුමාරසිංහත් හරියට 'මර්ලින් මොන්රො ' වගේ තමා. කොහොම හරි ඩල්සියි, සේනකයි ආතල් ගත්තයි කියමුකො.

වැඩේ කොහොම හරි මධුට මාට්ටු. දැං සේනකයි, මධුයි අතරෙ ගිනි ජුම්බරයයි. මධු අඬනවා හෝ ගාලා. කෙළින්ම දෝෂාරෝපණය සේනකට. ඒ බැඳපු වල් ගෑනියෙක් එක්ක, සමයං නැටුවයි කියලා.

ඒත් සේනක කියන්නෙ, එහෙම දෙයක් වුණේ නැහැ. ඩල්සි තමුන්ගෙ ඇඟට ආවත්, තමුන් ඩල්සිව මඟ ඇරියයි කියලා. එහෙම කිසිම නොමනා සම්බන්ධයක් ඩල්සි එක්ක තිබුනෙ නැහැ කියල, සේනක දිවුර දිවුරා කිව්වත්, මධූ නොවේ ඒක පිළිගත්තෙ. තවත් ගෑණියක් එක්ක හිටපු කෙනෙක් තමන්ට එපාමයි කියලා මධූ සේනකගෙන් වෙන්වුණේ පුදුමාකාර වේදනාවකින්.

සෙනරත් යාපා හැමෝම ගෙනෙන ත්‍රිකෝනාකාර සම්බන්ධයන් මෙතැනටද ගෙන ආවේය. අර විජය, මාලනී, ගීතාගෙ රඟපැම් වල තිබූ ආකාර්ෂණයෙන් ප්‍රේක්ෂකයා රඳවා ගැන්මට තරමක් දුරට හැකි වීම තුළින් ඔවුන් සෙනරත් යාපාවද ගොඩ ගන්නට බැලීය.

සේනක⁣ නිර්දෝෂි බව ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වුණිද, එය මධූට නම් තේරුම්කර දීමට නොහැකි විය. ඇත්තෙන්ම මධූ මේ අවුල ඇතිකර ගත්තේ සැකයක් නිසාය. ඇය යථාර්ථය තේරුම් ගැන්මට හෝ, සේනක නිර්දෝෂි යැයි පිළිගැන්මට කැමතිවූයේම නැත.

මේ හෙයින්, සේනක මේනකා වෙත හැරෙන්නට විය.

මධුටද අලුත් හිතවතෙක් මුණ ගැසුණි. විටෙක ඔහු ඇයගේ අලුත් පෙම්වතා යැයි සිතේ.

"දෙනුවන් බිඟුන් මත් කළාවෝ ඔබේ
මල් විමානේ- මල් විමානේ.
රන් සේල දුහුලින් මුවාවූ කසුන් පෙම් විමානේ
හිත මාගේ කැලඹූ සරාගී ඔබේ නෙත් විමානේ- නෙත් විමානේ
අද වාගේ මා මත්ව කිසිදාක චංචලව නැහැනේ"

එහෙත් එය වැඩි දුර ව්‍යාප්තවූ බවක් පෙනුණේ නම් නැත.

චිත්‍රපටයට අවසාන දෙකක් එකතු කිරීමෙන්, සුගතපාල සෙනරත් යාපා, ලාංකේය සිනමාවට අලුත් අත්දැකීමක් ද එක් කර තිබුණද, මා නම් දුටුවේ එය "පිස්සු විකාරයක්" ලෙසය. එක් දිනක් ශෝකාන්තයකින්, නිම වෙන චිත්‍රපටය, අනෙක් දින, සන්තෘෂ්ඨියකින් අවසන් කර තිබුණි.

දෙයාකාරයකින් අවසන් වීම සිදුවූයේ මෙසේය.

මධු සැකය නිසා සේනකව අත්හැරියද, පසුව ඇත්ත අවබෝධ කරගෙන, යළි ඔහු හා ප්‍රේමයෙන් බැඳීමට සිතා, සේනකට මුහුදු වෙරළට එන්නට කියා ඇය එතැන තිබූ කුළුණකට නැගී,බලන විට හදිසියෙම සේනක දැක, සිතේඇතිවූ සතුටට, 'සේනක' කියා කෑ ගැසූ විට, ඒ ශබ්දයට කලබල වූ සේනක පය ලිස්සා එතැන ප්‍රපාතයකට ඇදවැටී, ජීවිතක්ෂයට පත්වෙයි. එය එක් අවසානයකි.

සේනක වෙනත් රටකට යෑමට සැරසේ. ඔහු යෑමට ප්‍රථම මේනකාට මුදුවක් පළඳවා, යළි පැමිණි පසු මේනකා විවාහ කර ගන්නා බවට පොරොන්දුවක් වී ඇයගෙන් සමුගෙන යන්නට සැරසෙයි. මේ අතර මධූ සේනකගෙන් සමාව ගැනීමට ගුවන් තොටුපොළට පැමිණෙයි. මෙහිදී සේනකත්, මධුත් යළි එක් කිරීමට මේනකා මූලික විය. සේනක විදේශ ගමන නතර කර මධු සමඟ මෝටර් රථයක නැගී සතුටින් පිටවී යයි. දවස් දෙකේම පැමිණ, ඒ කොටස් දෙකම බලා, සෙනරත් යාපාට මඤ්ඤංද,අපට මඤ්ඤංද කියා අප තුෂ්නින්භුතව බලා සිටියෙමු.

සිනමා හෝල් කාරයන්ටද මෙය 'මල' පනින වැඩක් විය. අවසානයේදී ඔවුන් කළේ අර දෙදෙනාම සතුටින් යන රීලය පමණක් යොදා එය හැමදාම පෙන්වීමය.

කෙසේ හෝ ⁣"පෙම්බර මධු" ජනප්‍රිය චිත්‍රපටයක් විය. විජය කුමාරණතුංග , මාලනි ෆොන්සේකා, ටෝනී රණසිංහ, ගීතා කුමාරසිංහ, රවින්ද්‍ර රන්දෙණිය වැනි දැවන්තයන් සමඟ තවත් විශාල නළු නිළි කැළක් මෙහී රඟපා චිත්‍රපටය හොඳට 'බර' කළෝය.

1977 අප්‍රේල් 22වන දින, තිරගත කළ සුගතපාල සෙනරත්යාපාගේ මෙම චිත්‍රපටය හැඳීන්වූයේ , 'එක් වී වෙන්වෙන, වෙන්වී එක් වෙන පෙම්බර මධු" කියාය.

ශෝන් මැක්ස්මස් දිසානායක
(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.