පුංචි තිරයේ කිරුළි සිතුමි

නොවැම්බර් 15, 2018

රංගනයට මෙන්ම හඬ කැවීමට සහජ හැකියාවෙන් පිරිපුන් සිතුමි රොහන්සා මෙන්ඩිස් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ කිරුළි නමිනි. කොටස් 85 කින් සමන්විත වූ හිරු නාළිකාවේ සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි පුරා පැයක් විකාශය වූ කිරුළි ටෙලි නාට්‍යයේ කිරුළි ලෙසින් රංගනයෙන් එක්වූයේ සිතුමිය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිතුමි රංගනයට අවතීර්ණ වූයේ ඇයට වයස අවුරුදු තුනේදී පමණය. වෙළෙඳ දැන්වීම් 25 ක පමණ රඟපා ඇති ඇය වෙළෙඳ දැන්වීම් නිසාම ටෙලි නාට්‍ය රංගන සඳහා ඇරැයුම් ලැබීය. සිතුමිගේ කුලුඳුල් ටෙලි නාට්‍ය රංගනය වු කිරුළි තුළින් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය විය.

ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කළ කිරුළි ටෙලි නාට්‍යය සඳහා සිතුමි රංගනයෙන් එක් වූයේ අවුරුදු හතේදීය. ඇගේ වැඩිමල් සහෝදරිය අශේන්ද්‍රි මෙන්ඩිස් ද වෙළෙඳ දැන්වීම් කිහිපයකටම රංගනයෙන් දායක වී ඇති අතර ඇයත් සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. සහන් රන්වලගේ ළමා බලකායේ ජන ගී, නැටුම් පිළිබඳව මෙන්ම රංගනය පිළිබඳ ඉගෙනුම ලබන සිතුමි තම සහෝදරියගේ රංගනයන් දැකීම තුළින් සිය රංගන දිවිය සඳහා පෙලඹී ඇත.

විමෝදාංශයක් ලෙසින් රංගනයේ ඉදිරියට යාමට අපේක්ෂිත සිතුමි තමන්ගේ සිතැඟියාවන් පළ කළේ මේ අයුරින්. අද මට ගොඩක් නැන්දල මාමලා වගේම මගේ යාළුවෝ මට කතා කරන්නේ සිතුමි කියලා නෙමේ කිරුළි කියලා. මමත් ඒ නමට ආශයි. කිරුළි ටෙලි නාට්‍යයේ මගේ අම්මා වුණේ මේනකා පීරිස් ඇන්ටි. තාත්තා වුණේ බිමල් ජයකොඩි මාමා. කැමරාව ඉස්සරහ රඟපාන්න මට බයක් දැනුණේ නැහැ. මම රඟපාන්න යන කොට යාළුවො වගේම පාසලේ මගේ ගුරුතුමිය අමන්දා ගමගේ මැඩම් මට විශාල සහයෝගයක් ලබා දෙනවා අතපසුවන පාඩම් වැඩ ටික කර ගන්න. මම වෙළෙඳ දැන්වීම් ගොඩක රඟපෑවා. ඒ අතරින් වෙළෙඳ දැන්වීම් හතරකම මගේ අම්මා වුණේ රුවි ලක්මාලි ඇන්ටි. මගේ අම්මා රසිකා උපසේන, තාත්තා නිශාන්ත මෙන්ඩිස් මා වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරලා මාව උනන්දු කරනවා. පාසලේ වැඩ අතපසු නොවන විදියට නිවාඩු කාලයේ තමයි මම වැඩිපුරම රඟපාන්න යන්නේ. රංගනයට මම ආස වුණත් මගේ එකම බලාපොරොත්තුව ලොකු වුණාම පයිලට් කෙනෙක් වෙන්න.

415/2, හයිලෙවල් පාර, ගංගොඩවිල, නුගේගොඩ සිතුමි රොහන්සාගේ ලිපිනයයි.

චන්දන
ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.