තනි වේවි එක්ටැම් ගේ

නොවැම්බර් 15, 2018

"උන්මාද සිතුවම් මැවේ බිඳේ

මී දුම් වලා මැද අතීතයේ

බිදුණු පෙමින් ගිණිගත් හදවත්

තනිවේවි එක් ටැම් ගේ"

ගීතයක්, චිත්‍රපටයකට පූර්ණව බලපෑම් කීරීමට හැකි වෙන අවස්ථා නම් විරලය. එහෙත් ඉහත ගීතය, මුළු චිත්‍රපටයම අභිබවා ගොස් ඇති බවක් මා පැවසුවහොත් ඔබ එයට අනිවාරයෙන්ම එකඟ වේවි.

මාලා පුෂ්පලතා, හැඩකාර,විසේකාර,රූමත් තරුණ්‍යයේ පසුවූ ගැමි සුවද වාහනය වන ගමක වෙසූ ලඳකි. අඟ හිගකම් මැද ඇය ජීවත් වූයේ ඇඟේ මව බත් අම්මා සමඟය. ඇඟේ මව බත් කඩයක් කරමින් ජීවත් වූ හෙයින්, ඇයට කව්රුත් අමතන්නට වූයේ 'බත් අම්මා' ලෙසය.

සරත් මහත්තයා මෙම කථාවට සම්බන්ධ වන්නෙ එම ගමට තාර පාරවල් සාදන කන්ඩායමේ 'ඕවර්සියර්' ලෙසය. සරත් 'හැන්ඩියෙකි'. එමෙන්ම දකින දකින රුවැති කෙල්ලන් පසු පස යන 'කොකෙකි'. සරත් ගේ එකම විනෝදාංශය රුවැති කෙල්ලන් හා තාවකාලිකව යහළු වීමය.

හර්බට් රංජිත් පීරීස් තම සිනමා කෘතියට සරල කථාවක් රැගෙන, ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට ගිය උත්සහායට ,ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිඵලය නම් අතී සාර්ථක වී තිබුණී. අදද කිසිවෙකුට "එක් ටැම් ගේ" ගැන කිවහොත්, ඕනෑම කෙනෙක් කියන්නේ "මරු චිත්‍රපටය, අර ගුණදාස කපුගේගෙ සිංදුව, 'උන්මාද සිතුවම්', මාර ලස්සනයි' කියාය.

මාලා පුෂ්පලතා ගමේ කරක් ගසමින් සිටින විටය, සරත්ගේ ඇස මාලා දෙස රැදෙන්නෙ. අන් අතකට, ගමට තාර දාන කන්ඩායමට බත් සපයන්නේද බත් අම්මාය. එම කන්ඩායමට සරත්ද අයිතිය. මේ බත් හුවමාරුවද, සරත්, මාලා තරමක් කිට්ටු කිරීමට, උපකාරිවූ සාධකයක් විය.

කොහොම හරි සරත් මහත්තයට "සෙට්ල්' වෙන්නට හිතුනේ මාලාව දුටු පසුවය. හේතුව මාලාව සරත්ගේ බොක්කටම වැදුණු නිසාය.

එහෙත් සරත් මහත්තයා කව්ද යනු ඒ වන විටත් ගමේ කෙල්ලො දැනගෙන සිටියෝය. සරත් මහත්තයා යනු දකින දකින කෙල්ලන්ව යාළු කරගන්නා බෘංග රාජයෙක් බව එම කෙල්ලො පමණක් නොව, මාලාද දැන ගතී.

එහෙයින් මාලා වුවද සරත් මහත්තයාව ආශ්‍රය කළේ තරමක් අතේ දුර තබාගෙනය.

තමාගේ අනඟ දිවියට තිත තබමින් , මාලා ගැන පමණක්ම සිතා මාලාට පමණක් ආදරය කර, මාලාව පමණක් විවාහ කරගන්නවා යන තිර අධිෂ්ඨානයක් ඇති කර ගනිමින්, තම අදහස මාලාට පැවසුවද, මාලා එය පිළිගැනීමට කැමති වූයේ නැත. ඒ සතාගේ හැටි ඈ දන්නා නිසාය. නමුත් සරත් මහත්තයා සමඟ තියෙන සුහද ඇසුර ඇය නතර කෙරුවේ නැත.

හර්බට් රංජිත් පීරිස්, චිත්‍රපටය තුලට අපූරු රිද්මයක් ඇතුල් කළේ එතැන් සිටය. එතෙක් සැහැල්ලුවෙන් ජීවත් වුනු සරත් මහත්තයාව, "සීරියස්" කර, එතෙක් "සීරියස්" ව ජීවත් වුණු මාලාව, සැහැල්ලු කරමිනි.

එය මනා ලෙස පිළිඹිබු වන අවස්ථාවකි, මාලා විසින් සරත් මහත්තයා සිටින තැනට රෝස පැල පෝච්චියක් ගෙන ඒම. සරත් සිතුවේ වැඩේ ගොඩ කියාය. සාමාන්‍යයෙන් රෝස මල් සංකේතවත් වනුයේ 'ආදරය' ය. මාලා තමාට රෝස පෝච්චියක්ම ගෙනත් දීම යනු ඇය තමාට මොන තරම් ආදරය ඇත්දැයි අමුතුවෙන් සිතිය යුතු නොවේ යැයි සරත්ට වැටහුනි. සරත් ඒ බව පැවසුවද, මාලා කීවෙ එහෙම දෙයකට නොව ගෙදර වැඩිපුර රෝස පැල තිබුනු නිසා එකක් ගෙනත් දුන් බවය.

සරත් හැම ආකාරයෙන්ම, මාලාට තමාගේ ආදරය පවසන්නට උත්සහාකළද, ඒ හැම අවස්ථාවකම මාලාගේ කටින් පිටවුයේ ඔහුව හිත රිදවන මන්දෝත්සාහී වචනය.

දිනක් මාලා, සරත්ගෙන් තමා කෙල්ලන් කී දෙනෙක් සමඟින් යහළු වී ඇත්දැයි ඇසී අතර, ඇයට අවංක විය යුතුයැයි සිතා , තමා කෙල්ලන් එකොළොස් දෙනෙක් සමඟ යහළු වී සිටියේ යැයි කීය. තමාගේ අවංකකම, ඇය දයාබරත්වයෙන් පිළි ගනු ඇතැයි ඔහු සිතුවද, ඇය සිතුවේ කොහොමද සතාගෙ තරම කියාය.

"මට නම් කොහොමටත් පේන්නේ නැහැ එයාගේ හැදිච්ච සංවර කමක්"

ඇය ඇයගේ යෙහෙළියට එසේ කීවේ, ඒ නිසා වන්නට ඇත.

එහෙත් සරත් තම උත්සහය නම් අත හැරියේ නැත. ඔහු සිතුවේම, අනිත් කෙල්ලො, කැමති වූවා සේම මාලාද තමාගේ බහට කැමති වේ යැයි කියාය. එකම වෙනස අනෙක් කෙල්ලන්ව ඔහු ආශ්‍රය කළේ සෙල්ලමටය. එහෙත් මාලාව ඔහු තෝරා ගත්තේ, සදහටමය. එහෙයින් ඔහු මාලාට තමාගේ හදවත තුලින් නැග එන ආදරය, පෙන්වීමට හැකි හැම උත්සහයක්ම ගතී.

අහස උසට මාලා ගැන සරත් බලාපොරොත්තු තබා ගත්තද, මාලා තම යෙහෙළියට කීවේ මෙවැනි කථාවකි.

" මගේ හිතේ ඉන්න රූපය නම් එයා වගේ කෙනෙක් නෙමෙයි".

හර්බට් රංජිත් පීරීස් ඒ ආදරයට පිළිතුරු වේලාසනම දුන්නද එය පිළිගැන්මටවත් සරත් මහත්තයා කැමති වූයේ නැත.

මේ අතර බත් අම්මාගේ නිවසින් බත් කෑමට නවත්වන ලොරියේ, මැදිවියේ පසුවන විල්සන් නම් ලොරි රියදුරා හා ඔහුගේ ගෝළයා, හරහා එක්ටැම් ගේ මැද කොටස කීමට හර්බට් රංජිත් උත්සහා ගනී.

විල්සන් රියදුරු හා ඔහුගේ ගෝලයා බත් අම්මා, හා මාලා අතර ඇත්තේ ළෙන්ගතුවූ මිතුරු කමකි. බත් අම්මා ඇතැම් විට සුළු සුළු අතමාරු කර ගන්නේද විල්සන් රියදුරුගෙන්ය. විල්සන් ද ඔවුන්ට නොමසුරුව උදව් කරයි. ඒ මාලා ගැන යටි සිතේ තබාගෙනය.

විල්සන් දියූණුවේගන යන පුද්ග⁣ලයෙක් බව හැමෝටම පෙණුනි. තමාට කියා ලොරියක් රැගෙන ඔහු මුලින්ම පැමිණියේ, බත් අම්මාගේ ගෙදරටය. පසුවදාම ඔහු ඔවුන් සමඟ කතරගම වන්දනා ගමනක් යොදා ගතී. එම ගමනේදීය විල්සන් තම අදහස මාලාට කීවේ.

මාලා අකමැති වූයේ නැත. ඇය විල්සන් හා විවාහ වී ගමෙනුත් පිට වී ගියාය.

හර්බට් හරි ඉක්මනට, සරත් මහත්තයාගෙත්, මාලා පුෂ්පලතාගේත් ආදරයට නැවතීමේ තිත තැබුවේය. මාලාටවත්, හර්බට් රංජිත්ටත් ඒ ආදරය එතරම් නොවටිනා වූවද, සරත් මහත්තයාට නම් එය, හර්බට් රංජිත්, හෝ මාලා පුෂ්පලතා ට මෙන් ලේසියෙන් අමතක කිරීමට නොහැකි විය. මාලාගේ ආදරය සරත් මහත්තයාගේ ජීවීතය විය, ඇඟේ වෙන්වීම ඔහුගේ මුලු වේදනාවම විය.

විල්සන් හා මාලාගේ විවාහයේ මුල් වකවානුව සතුටින්, සොම්නසින් ගෙවී ගිය බවක් පෙන්වූ අතර, මාලාව විවාහ කරගත් පසු, විල්සන්ට ස්විප් ටිකට් දිනුමක් ඇදීම, එමෙන්ම එතැනින් පසු ඔවුන් දිනෙන් දින දියුණු වී, ලොරි ගනනාවක අයිතිකරුවන් වීම වැනි විශාල ආර්ථීක දියුණුවකට පත්වීම මගින් හර්බට් හෙළිකරන්නට උත්සහා කළේ, මාලා , විල්සන්ව විවාහ කර ගැනීමට ගත් තීරණය සර්ව සාධාරණ යැයි කීමට වූවද, හර්බට් ඒ මැදින් තවත් කථාවක් කීමට සැරසුනු බවක් දැනුනේ, ගමේ යෙහෙළිය ඇයව මුණ ගැසීමට පැමිණු අවස්ථාවේදීත්, ඒ වන විටත් මාලා ගැබ්බර නොවී සිටීම හරහාත්ය.

විශාල ධනස්කන්ධයකට හිමිව තිබුණද විල්සන් හා මාලා දරුවන් නැති සොවින් පෙළීම තුලට, සරත් මහත්තයාගේ වර්තමාන තත්වය යෙහෙළියගෙන් දැනගත් පසු ඒ ජීවිතය සම්පූර්ණයෙන්ම කාලකණ්නි වී ගොස් ඇත්තේ තමා නිසා බැව් මාලාට දැනීමම, විල්සන්ව නොරිස්සීම හේතුවක් වුනාදැයි ප්‍රශ්නාර්ථයක් සේ සිතන්නට හර්බට් ප්‍රේක්ෂකයන්ට ඉඩ හැරීම නම් ප්‍රශංසනීයය. එතැන් පටන් මාලා මලානීක විය. මැදිවයසේ මිනිසෙක් විවාහ කරගත් පසු ඔහුගෙන් ශාරීරීකව පූර්ණ තෘප්තියක් නොලැබූ බව, මාලා හරහා හර්බට් අපට කියනුයේ, එසේ තෘප්තියක් ලැබුවා නම්, මාලා තවත් සරත් කෙනෙක් ගැන සිතන්නේ නැති බවක්ය. දැන් තමා නිසා කාලකණ්නි වූවා යයි සිතන සරත්ගේ ජීවිතයට වඩා යටින් දිවයනුයේ මාලාගේ අතෘප්තිමත් ශාරීරික සුවයයි.

මෙතැනදී මා දුටු අවංකම චරිතය විල්සන්ය. හර්බට් ඔහුව අවංක කිරීමට සර්වපිත්තල උත්සහයක යෙදුනේ නැත. විල්සන් මුලින් ම තමාගේ අදහස මාලාට කීවේද, මාලා කැමති නැත්නම් මෙම ඉල්ලීම අමතක කර දමා සුපුරුදු සුහද ලෙස ඇසුරු කරමු කියාය. විල්සන් මාලාව විවාහ කර ගත් පසු මුල් තැන දුන්නේ ඇයටය. එලෙසම හැම නිදහසක්ම ඇයට දුන් අතර, හැම දෙයක්ම කිරීමට ප්‍රථම ඇයට දන්වා එය කළේ ඇයගේ අනුමැතිය ගෙනය. ඔහු කිසි දිනෙක, කිසි ලෙසකත් ඔවුන් දෙදෙනා දෙදෙනෙක් කියා සිතුවේ නැත. හැම වේලේම සිතුවේ එක්කෙනෙක් කියාය. අනුන්ගේ ලොරියක ඩ්‍රයිවර් කෙනෙක් වූ විල්සන් අද ස්වඋත්සහයෙන් විශාල ප්‍රවාහන සමාගමක අයිති කරුවෙක්වී, සමාජයේ උසස්තලයකට පිවිසුණි. ඔහු නිතොරම සිතුවේ මේ සියල්ලම ලැබුණේ මාලාගේ වාසනාවට කියාය. ඒ ඔහු මාලා ගැන සිතූ හැටිය. ඒ ඔහු එතරම් අවංක නිසාය.

නමුත් හර්බට්, චිත්‍රපටයේ විශ්වාසනීය භාවයට, පලුද්දක් කරගන්නේ, මෙතරම් යසඉසුරු ලැබුනු ගම්මානයක බත්විකුණමින් සිටි ගැහැනියකගේ දියණියක්, ඒ සියලු යස ඉසුරු පූජා කර, තමා නිසා ජීවිතය කාලකන්නි කර ගත්, තමා පෙම් නොකෙරු මිනිසෙක්ගේ ජීවිතයක් හදන්නට යෑමය. "එක් ටෑම් ගේ", තුළින් පෙනෙන මමෝමමායාව එය විය. චිත්‍රපටය තිව්ර කරන්නට හර්බට් එමගින් උත්සහා කළද , චිත්‍රපටයේ හරය හා සමතුලිත බව නැතිවුනේද එතැනින්ය. එසේ නැතහොත් මාලාගේ ශාරිරීක සෝමාල කමට දිය හැකි ඉන්ජෙක්සනය ඇත්තේ සරත් මහත්තයා ළඟ බව ඇය තීරණය කළාද?.

හර්බට්ට මාලාව "ලේඩි චැටලි ලවර්ස්" කෙනෙක් කිරීමට තිබූ අවස්ථා නම් බොහෝම විය. විල්සන්ගේ ප්‍රවාහන සමාගමට හොද තරුණ ඩ්‍රයිවර් කෙනෙක්ව සෙට් කර දෙන්නට තිබුනී. නමුත් හර්බට්ට ඕනා වුනේ, විල්සන් අවංක මෙන්ම, මුලදී සල්ලාල ප්‍රේමවන්තයෙකු වූ සරත් මහත්තයාද අවංක පෙම්වතෙකු බව පෙන්වන්නට විය හැක.

"මගේ හිතේ ඉන්න රූපය නම් එයා වගේ කෙනෙක් නෙමෙයි" කියූ මාලාම පසුව තම යස ඉසුරින් පිරී පවුල් ජීවිතය අත්හැර දමා, නංනත්තාරව සරත්ව සොයා යෑම තුළ නම් පෙනුනේ හර්බට් රංජිත් නංනත්තාර වූ බවකි.

සරත් ලයිටි හවුස් එකක රැකියාවක් කරන බවත්, සියලු මිනිසුන්ගෙන් ඈත්වී ජීවත් වන්නේ, මාලා ඔහුගේ ආදරයට පිටුපෑ නිසා බව හර්බට් රංජිත් ප්‍රේක්ෂකයාට දන්වන්නට අසාර්ථක උත්සහයක යෙදුනි. මාලා ඔහුව සොයා යන ඒ අසාර්ථක උත්සහය තුල ,සරත් ඇයව නොපිළිගැනීමත් අතර ඇතිවෙන කුකුසට හර්බට් රංජිත් හරි හමන් පිළිතුරක් දෙන්නේ නැත. මාලා සිතන්නට ඇත්තේ, රැවුල් වවාගෙන මල පෙරේතයෙක්ව සිටින සරත් මාලා තමා සොයා ආ දුටු සැනින්ම 'ඕ මයි ස්විට් හාට්. මයි ලව්" කියා බදාගනියි සිතාය. එහෙත් එතැනදී හර්බට්ට මොළයක් තිබුණි. ඔහු යථාර්ථය මොනවා වුනත් එය සිනමාත්මකව ඉදිරිපත් කිරීමට උත්සහා කර තිබුණි. එයට මනා පිටුවහලක් වූයේ සරත් දසනායකගේ සංගීතයත්, එයට ගැයුණු ගුණදාස කපුගේගේ හඬය. ඒ තිව්ර අවස්ථාව තුළ හර්බට්ට ඇනෙන්ට ගියද, කපුගේ විසින් හර්බට්ව සම්පූර්ණයෙන්ම ගොඩදා තිබුණී.

මෙතෙක් ප්‍රධානව ගලා ආ චරිත තුන වූ මාලා පුෂ්පලතා, සරත් මහත්තයා, සහ විල්සන් අයියා අනාථ වූ චරිත තුනක් බවට පත්කරන විට, ප්‍රේක්ෂකයන්ද අනාථ වන්නට තිබූ ඉඩ කඩද ඒ සමගම පැණ නැගීය. එ⁣සේ නොවී එය බේරා ගත්තේ නම් ඒ ගුණදාස කපුගේ, සරත් දසනායක හා සුනිල් ආරියරත්නය.

"අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ

පාළු හුදකලා සුළග පමණි උරුමේ

හඩා වැටෙන සිත, සදා සරණ මට

තනිවේවි එක්ටැම් ගේ"

ගීතයක් චිත්‍රපටයකට පූර්ණව බලපෑම් කර ඇති බව මා මුලින් කීවේ ඒ නිසාය. "එක් ටැම් ගේ" පුරාවටම සරල තේමාවක් ප්‍රබලව ඉදිරිපත් කිරීමට බොහෝ ප්‍රබලයන් ඉදිරිපත් විය. මෙම කථාන්තරය යටින් දිවයනුයේ, එම චරිත වලටත්, එය හැසුරූඅයටත්, එය නැරඹූ අයටත් එක්වරම වටහාගැන්මට නොහැකිවූ දුර්ලභ වූ සෙනෙහසකි. සරත් ගේ ආදරය, මාලාට තේරුම් ගත නොහැකි වූ අතර, විල්සන්ගේ ආදරයද, මාලාට තේරුම් ගත නොහැකි විය. පසුව සොයා ආ මාලාගේ ආදරය ,සරත්ටද තේරුම් ගත නොහැකි විය. මේ තිදෙනාගේම ආදරයේ, ගැඹුරත්වය ප්‍රේක්ෂකයන්ටද තේරුම් ගන්නට නොහැකි විය. නමුත් ප්‍රේක්ෂකයන් ඔවුනට ආදරය කළෝය.

මාලනී ෆොන්සේකා ,මාලා පුෂ්පලතා ලෙස අතීදක්ෂ රඟපෑමක නිරත විය. ඇයට මෙම චරිතය තුල අන්ත තුනක් තිබුණී. බත් අම්මා සමග ගමේ සැහැල්ලුවෙන් ජීවත් වූ කාලය, විල්සන් සමඟ ගත කළ විවාහ ජීවිතය, හා ඒ සියල්ල අතහැර සරත් මහත්තයාව සොයා යන සිදුවීම. මාලාගේ මෙම චරිතය තුළ ඇය කිසිවෙකුටවත් ආදරේ කරන්නේ නැත. එය මාලනී හොද හැටි හඳුනා ගත් බව පෙනුණි. ඇත්තෙන්ම ඇය අග්‍රගණ්‍ය නිළියක් බව මාලා පුෂ්පලතා හරහා නැවතත් ඔප්පු කළාය. විල්සන් ලෙස රඟපෑ ජෝ අබේවික්‍රමද ඔහුගේ සුපුරුදු දක්ෂතා පෙන්නුම් කළේය. සරත් මහත්තයා වූ රවින්ද්‍ර රන්දෙණියට එම චරිතයේ ලොකු බරක් තිබුනේ නැත. මුලින්, පැණි පෙම්වතෙක් වූ සරත්, අවසන් හරියේ සීරියස් වීම තුළින් රවින්ද්‍ර හපන්කමක් කළේය. ශාන්ති ලේඛා,විමල් කුමාර ද කොස්තා, හයිසින්ත් විජේරත්න, හා ගරු චරිත දෙකක් රඟපෑ ටෝනි රණසිංහ හා සුවිනීතා වීරසිංහද තම චරිත හොදට හදුනාගෙන තිබුණි.

සිනාමාත්මක ගීතයක් බඳුවූ හර්බට් රංජිත් පීරීස්ගේ "එක්ටැම් ගේ" ලාංකේය සිනමාව තුළ සනිටුහන් වනුයේ, ආදරය සොයා ගිය, ආදරය හිමි හා ආදරය අහිමි අයගේ ශෝකාප්‍රලාපයක් ලෙසය.

"දහසක් මල් මැද, එකම මලයි පැතුවේ

එමල කිමද සරදම් කර සැඟව ගියේ

දැනේ තවම මට, මලේ සුවඳ පොද,

තනි වේවි එක් ටැම් ගේ"

 

(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)