නිළියක් වීම හදිසි විනිශ්චයක් නොවන බව කියූ මේබල් බ්ලයිත්

නොවැම්බර් 24, 2018
ප්‍රවීණ රංගනවේදිනී අයිරාංගනී සේරසිංහ අතින් සරසවිය රණතිසර සම්මානයෙන් මේබල් බ්ලයිත් පිදුම් ලද මොහොත. එවක සරසවිය කර්තෘ අනුර බණ්ඩාර රාජගුරු හා වත්මන් කර්තෘ අරුණ ගුණරත්න

1956 මැයි 27 වෙනිදා තිරගත වූ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න අධ්‍යක්ෂණය කළ 'දෛව විපාකය' චිත්‍රපටයේ ශිරෝමාලා ලෙස රඟපාමින් ගැයූ මේ ගීතය ඔබට තවම මතක ඇති. විවිධ ප්‍රසංගයකදී ගැයෙන මේ ගීයේ එන සරා ගොයියා ද පොලිස් රාළහාමි ලෙස ද රඟපෑ මේබල් බ්ලයිත් චරිතාංග නිළියක් ලෙස ද, විකට නිළියක් ලෙස ද සිංහල සිනමාවේ කැපී පෙනෙන රංගන ශිල්පිනියක් වූවාය.

'සරා ගොයිය හරි මිනිහා
තුවක්කුවක් කරේ තියා
දවසක් දඩයමේ ගියා
සරා ගොයිය හරි මිනිහා

මේ ගීතය එදා සිංහල පේ‍්‍රක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වූ බව අපට මතකය.

මේබල් බ්ලයිත් සිනමාවට එක් වන්නේ අහම්බෙනි.

'මගේ පළමුවන චිත්‍රපටය 'හදිසි විනිශ්චය'යි. එහෙත් මා නිළියක් වීම හදිසි විනිශ්චය නොවේ. එය මව් පිය උරුමයෙන් ලද ජන්ම දායාදයක්. මගේ ආදරණීය පියා ජෝන් බ්ලයිත් දොස්තර මහතායි. මාගේ දෙමව්පියන් කලාවට ළැදි අයයි. අපි ලංකාවේ කලාකාරයන් සඳහා මැවුණු නුවරඑළිය නිජ බිම කොට උපන්න අය. එහි සුවදායක දේශගුණයෙන් අපි අපමණ සැපයක් ලැබුවා. මේ වගේ සනීප දේශගුණයක් මුළු ලෝකෙම නැතිව ඇති.' මේබල් තම ජිවිත කතාව අපට කීවේ මීට වසර ගණනකට එපිටය.

මේබල් ජොසෆින් බ්ලයිත් ඉපදුණේ 1930 මාර්තු 28 වෙනිදා නුවරඑළියේදීය.

නුවරඑළියේ ගුඩ් ෂෙපර්ඩ් (යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ) හා මහනුවර ගුඩ් ෂෙපර්ඩ් කන්‍යාරාමයේ ඉගෙනීම ලැබූ ඇය ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා ජ්‍යෙෂ්ඨ සහතිකය හිමිකර ගත් සොළොස් හැවිරිදි වියේ පාසල් අධ්‍යාපනයට 'ආයුබෝවන්' කී යුවතියකි. ඇගේ මව උඩරට කුමාරිහාමි කෙනෙකි. ඇගේ නම අගට 'කුමාරිහාමි' කොටසකුත් තිබේ. උඩරට සිරිත් විරිත්, වත් පිළිවෙත් අකුරටම රැකි මේබල්ගේ මව කලාවට ඇලුම් කර ඇත. අගේ පියා ජෝන් බ්ලයිත් බර්ගර් ජාතික වෛද්‍යවරයෙකි. සිංහල ජාතික කාන්තාවකට දොස්තර බ්ලයිත් පෙම් කොට ඇත. දෙපැත්තේම විරෝධතා මැද මේ දෙදෙනා විවාහ වී ඇත. මේ දෙදෙනාගේ දියණියක වූ මේබල් ජොසෆින් බ්ලයිත් පසු කලෙක ජනප්‍රිය චිත්‍රපට නිළියක වූවාය.

මේබල් 1979 මැයි 16 වෙනිදා ගුවන් විදුලියේ පිළිසඳරකට එක් වී පාලිත සමරසිංහට තම කුඩා කාලය ගැන මෙසේ කියා තිබුණි.

'තාත්තා අම්මාට පිටුපාලා කොතැනකදීත් තනි තීරණයක් ගත්තේ නෑ. සමාජයේ හැම කෙනෙක්ම ආශ්‍රය කරන නිසා තාත්තා එක දෙයක් දැන හිටියා. සමාජය දවසෙන් දවස වෙනස් වෙනවා. ඒ අනුව ගැහැනු ළමයි හැදෙන්න ඕන කියන එක. මේ නිසා මා චිත්‍රපට නිළියක් වෙනවාට තාත්තා තදින්ම විරුද්ධ වුණේ නැහැ. අම්මා නම් මුල ඉඳලම ගත්තු තීරණය වෙනස් කළේ නෑ. මම කුඩා දවස්වලදී තාත්තා නිතරම කිව්වේ වෛද්‍යවරියක් වෙන්න කියලා. අම්මා කිව්වෙ වෛද්‍යවරියක් වෙන්න බැරිනම් හෙදියක් වෙන්න කියලා. මගේ පවුලේ මට සහෝදරියන් දෙදෙනකුයි සහෝදරයන් දෙදෙනෙකුයි ඉන්නවා. පසු කාලයකදී ජනප්‍රිය වූ ෂර්ලි බ්ලයිත් (ඇය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ මුල් යුගයේ චිත්‍රපට වූ හදිසි විනිශ්චය, සැඟවුණු පිළිතුර, කුසුමලතා, උමතු විශ්වාසය, අයිරංගණී, දෛවවිපාකය, වනලිය, හදිසි විවාහය, ජීවිත පූජාව චිත්‍රපටවල රඟපෑ අතර හදිසි විවාහය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ සිසිර පියසේන සමඟ විවාහ වී එංගලන්තයේ පදිංචිව සිටී) මගේ බාල නංගි ප්‍රින්සි බ්ලයිත් උමතු විශ්වාසය, අයිරාංගණී, දෛව විපාකය චිත්‍රපටවල රගපෑවා) නංගිලා චිත්‍රපට නිළියන් වුණේ මම චිත්‍රපට නිළියක් වූ නිසා.

බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහත්තයාගේ කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම චිත්‍රපටවල රඟපෑ ජෙමිණි කාන්තා (ජොසී බබා) ඒ කාලේ ජනප්‍රිය නිළියක්. එඩී ජයමාන්න එක්ක විකට චරිත රඟපෑවේ ඇය. ඒ දවස්වල එඩී එක්ක චිත්‍රපටවල ගීත කිව්වෙත් එයා. නුවරඑළියේ පදිංචි වෙලා හිටියා ජෙමිණිගේ මාමා කෙනෙක්. මේ මාමා මිනර්වා නාට්‍ය කරන කාලේ ඉඳලම ඒ නාට්‍ය කණ්ඩායමේ හිටියා. මේ කාලේ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සමුපකාර ක්‍රමයට මුදල් එකතු කරලා හදපු චිත්‍රපයට නම තිබ්බා 'පෙරළෙන ඉරණම' කියලා. ජෙමිණිගේ අර මාමාත් ඒකට උදව් වුණා. දවසක් එයා අපේ ගෙදර ඇවිත් අර චිත්‍රපටය ගැන කතා කර කර ඉන්න ගමන් මෙහෙම ඇහැව්වා.

'ඩොක්ටර්ගේ මේබල් දුවට ලස්සන රූපයක් තියෙනවා. ඒ වගේම හොඳ කටහඬක් තියෙනවා. නරකද දුව චිත්‍රපට නිළියක් කළාම'

අම්මයි, තාත්තයි හිනා වුණා මිසක ඒ ගැන වචනයක්වත් කතා කළේ නෑ' මේබල් අතීත කතාව කියා ඇත්තේ එසේය.

දිනක් මේබල් ෂර්ලි නංගිත් එක්ක ජෙමිණිගේ මාමා සොයා ගොස් ඇත්තේ දෙමාපියන්ට නොකියාය.

'මම චිත්‍රපට නිළියක් වෙන්න ආසයි අන්කල්'

'ඒක මට සුළු දෙයක්. දැන් ජෙමිණිත් විවාහ වෙන්න යන්නේ, ඊට පස්සේ රඟපෑම අතහරීවි. ඔයාගේ පින්තූර දෙක තුනක් දෙන්න. මම ජෙමිණි අතේ බී. ඒ. ඩබ්ලිව්ට යවන්නම්'

ඡායරූපය දුටු බී. ඒ. ඩබ්ලිව්. සම්මුඛ පරීක්ෂණයකට එන්න කියා මේබල්ට ලියුමක් නුවරඑළියට යැවීය. ලියුම ගෙදරට එන විට මේබල් ගෙදර සිට නැත. අම්මා අතට හසු වූ ලියුම දැක කේන්තියෙන් මෙසේ අසා ඇත.

'චිත්‍රපට නිළියක් වෙන්න ද හදන්නේ.'

'ඔව් අම්මා. මම නිළියක් වෙන්න ආසයි'

'මම ඉන්නකන් ඒවට ඉඩ නෑ'

මේබල් ගුවන් විදුලි සාකච්ඡාවේදී පාලිත සමරසිංහට ඉන් පසුව වූ සිද්ධීන් විස්තර කර ඇත්තේ මෙසේය.

'මගේ අම්මා මිනර්වා සමාගමෙන් ආපු ලියුම හංගලා. සමහර විට අම්මා ඒක පුච්චන්න ඇති. අම්මා වෙන වැඩක යෙදිලා ඉන්න වෙලාවක ගේ හැම තැනම මම ලියුම හෙව්වා. අයෙත් සැරයක් අර මාමා හමුවෙන්න ගිහින් එයාට කාරණාව කියලා සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා තියෙන දවසයි, වෙලාවයි එයාගෙන් දැනගත්තා. කොහොම හරි අම්මට මේ ගැන සැක හිතිලා එදා මාව කාමරයකට දාලා වහල ඒ මදිවට ජනේල පොල්ලක අත් දෙකම ගැට ගහලා දැම්මා. මගේ ඇඳුම් ඔක්කොම ට්‍රන්ක් පෙට්ටියක දාලා අම්මා අඳුනන ගෙදරකට යැව්වා. අන්තිමේදී තාත්තාට දුක හිතිලා මාව සිර කාමරයෙන් නිදහස් කරගෙන සම්මුඛ පරීක්ෂණයට මීගමුවට එක්ක ගියා. ඊට සති දෙකකට පසු මට ලියුමක් ලැබුණා 'හදිසි විනිශ්චය' චිත්‍රපටයට තෝර ගත්තා කියලා.'

මේබල් බ්ලයිත් මේ චිත්‍රපටයේ රඟපෑවේ ශ්‍රිමතී නම දරු ප්‍රසූතියකට ළංව සිටින ඉතා භයානක විලාපයක් නඟන මහා මාර්ගයක ගමන් ගන්නා ගැහැනියකගේ චරිතයකි. අතරමඟදි ඇය ගැහැනු ළමයකු ප්‍රසූත කරයි. එතැනට පැමිණි මහල්ලෙක් ඇය කෙරෙහි අනුකම්පාවෙන් දරුවා අනාථ නිවාසයකට භාර දෙයි. ශ්‍රීමතී ඉබාගාතේ අනාථව යයි.

මේබල්ට 'හදිසි විනිශ්චය' චිත්‍රපටයේ පසුබිම් ගායනයට පිවිසීමට අවස්ථාව උදා වෙයි. ඒ සංගීත අධ්‍යක්ෂ බී. එස්. පෙරේරාගේ සංගීතයට මර්සලිනු ඇල්බට් රචනා කළ ගීතයකිනි.

'මාගෙ මවුනි

ප්‍රිය මාගෙ මවුනි

කරුණා ගුණ මා වෙත පානා

දීලා කිරි නළවාලා'

'සැඟවුනු පිළිතුර' (1951) චිත්‍රපටයේ නැන්සිගේ චරිතය රඟපෑමට ඇයට අවස්ථාව ලැබිණ. මේ චිත්‍රපටයේ ඇගේ පෙම්වතා ජෝකිනු ලෙස රඟපෑවේ එඩී ජයමාන්නය. එහිදී මේබල් වෙනුවට පසුබිම් ගී ගයන්නේ ලැටීෂියා පීරිස්ය. උමතු විශ්වාසය (1952) චිත්‍රපටයේ ඇයි ලිසී ලෙස සාපින් ලෙස රඟපාන එඩී ජයමාන්න සමඟ පෙම්වතුන් ලෙස පසුබිම් ගී ගයමින් රඟපාති.

'මම මනමාලි ඔබේ ප්‍රේම ලෙවේ පාමු රැඟුම්

පෙම් ලොවේ පාමු රැඟුම්'

'ජාතී ජාතී නවීන ශිෂ්ටාචාරේ

ජොලිය ලෝකේ'

එස්. එස්. වේදාගේ සංගීත අධ්‍යක්ෂණයට හර්බට් එම්. සෙනෙවිරත්න රචනා කළ ගීත දෙකකි මේ. මේබල් හා එඩී වඩාත් ජනප්‍රිය වූයේ කැලෑහඳ (1953) චිත්‍රපටයේ රඟපෑ මිසී සහ අන්ඳාගේ චරිතයෙනි. එහි පසුබිම් ගී ගායනය ද ඔවුන්ගේය. චිත්‍රපටය මෙන්ම ඔවුන්ගේ ගීත ද අතිශයින් ජනප්‍රිය විය. සංගීත අධ්‍යක්ෂණය වේදාය. හර්බට්ගේ ගීත රචනාය.

'හෝ මනමාලයා

ආදරේ නොයාය මැකී

කොණ්ඩේ බැන්දාට සකී

අන්දයියා මාගෙ පෙම් රාජයා

පොඩි මනමාලයා - හෝ මගේ ගෝලයා'

ආලේ රහසේම මාගෙ හදේ මෝරලා

කාලෙ කාලේ තමා සිකුරා ළං වෙලා'

'පරණ පිනක් මගෙ හිසේ කඩාගෙන වැටුණා

හොඳ කාලේදෝ මේ වාසනාව රජ කරනා'

මේබල් බ්ලයිත් වඩාත් කැමැත්තෙන් රඟපෑවේ 'දෛව විපාකය' චිත්‍රපයේ බව පවසා ඇත. 1959 අප්‍රේල් 01 වෙනිදා 'සිනමාදීප' සිනමා පුවත්පතට 'මා කැමති දේ' විශේෂාංගයෙන් ඇය සඳහන් කර තිබුණේ තමා කැමති නළු නිළි යුවළ බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න හා රුක්මණී දේවි බවය. හින්දි තිරෙන් නාර්ගීස් හා රාජේන්ද්‍ර කුමාර්ට ද බටහිර නළුවන්ගෙන් ඩර්ක් බොගර්ඩ්ට හා 'ටාසන්' චිත්‍රපටවල රඟපෑ ලෙක්ස් බාකර්ට කැමති බව පවසා තිබුණි. තමා රඟපෑ චිත්‍රපට දර්ශන අතුරින් 'දෛව විපාකය' චිත්‍රපටයේ සරා ගොයියා ගීතය ඇතුළත් එකවර චරිත තුනක් රඟපෑ චරිතයට කැමති බව පවසා තිබුණි.

තම චිත්‍රපට ජීවිතයේ දරුණුම අත්දැකීම ලැබුවේ ද 'දෛව විපාකය' චිත්‍රපටයේ දී බව ඇය මා කළ 'සරසවිය' පුවත්පතේ සාකච්ඡාවකදී කියා සිටියාය.

'මේ චිත්‍රපටයේ කිත්සිරි ලෙස රඟපාන සේනාධීර කුරුප්පුත්, නාට්‍ය කළමනාකරු ලෙස රඟපෑ ඩඩ්ලි වානගුරුත් අතර සටනේදී ඩඩ්ලි මල් බඳුනකින් සේනාධීරට ගහනවා. එය වැදුණේ මගේ හිසට. මේ මල් බඳුන පිත්තල එකක්. එය මගේ හිසට වැදී ලේ ගලන්න ගතත්ා. හැමෝම බිය වුණා මම රෝහල් ගත වුණා.

චිත්‍රපටයේ හැටියට තිබුණේ මල් බඳුනක් වැදී සිහිසුන් වන මා රෝහල් ගත වන දර්ශනයක්. ඒ සඳහා තෝරගෙන තිබුණේ ප්ලාස්ටික් මල් බඳුනක් නමුත් චිත්‍රපටයේ දර්ශනයට සහාය කලා අධ්‍යක්ෂවරයා ගෙනත් තිබුණේ බර පිත්තල මල් බඳුනක්. සේනාධීර හා ඩඩ්ලි ගේ සටන් දර්ශනය තාත්විකව රූගත වන විට ඩඩ්ලි අතට ගත් අර පිත්තල බඳුන මගේ හිසේ වැදීමෙන් මම රෝහල් ගත වුණා. ඩඩ්ලි මෙන්ම සේනාධීරත් කලබල වී මාව ඔසවා ගත්තා. ඇත්ත වෙළුම් පටවලින් හිස ආවරණය කොට පිස්සියක මෙන් රෝහල් දර්ශනය රඟපෑම ගැන මට ප්‍රසංශා කළා.'

තම ආශාවත්, ප්‍රාර්ථනා ගැන කතාකරමින් වරක් ඇය මෙසේ අදහස් පළ කළාය.

'එක තැනම තැන්පත් වී සෙවල බැඳී පවතින දඹුලු ගලක් බඳු ජිවිතයකට මා නොරිසිය. ක්‍රියාශීලී ලෝකයේ දිලිසෙන ඔප මට්ටමින් හෙබි ගලක් මෙන් ජීවත්වීම මගේ පරම ආශාව වන්නේය.

කලාව රස ගඟකි. නාට්‍ය එහි ගලන රැලිය. ගීතය එහි මිහිරි සිසිලය. ගලා යන ගඟ දියට ප්‍රබෝධයේ හිරු රැස් වැදී විනිවිද පෙනෙන්නේ කලාත්මක සෞන්දර්යයි. නළු නිළියෝ ඒ දියෙන් පෙරළි පෙරළි යන දිමුතු තිරුවාන ගල් බඳු වෙති. ඔවුන්ගේ ජීවිතවලට මට බවෙන් නොතොර වෙයි. ඒ සොඳුරු නදියේ මම දිමුතු ගල් කැටයක් වී පෙරළි පෙරළී යන්නෙමි. ඒ බලන කලා රසිකයන්ගේ ඇස්වල ප්‍රීතිය සැලසේ නම් මට ඒ ජීවිතය මිහිර දෙන බැව් කියමි.'

'දෛවවිපාකය' චිත්‍රපටයෙන් පසු මේබල් වනලිය, හදිසි විවාහය කවට අන්දරේ, ජීවිත පූජාව, මංගලිකා, කළ කළ දේ පල පල දේ, සුජාගේ රහස, සැනසුම කොතනද, පිපෙන කුමුදු, මඟුල් පෝරුව, සරණ, ගීතා, සුජීවා, සූකිරි කෙල්ල, හරියට හරි, ඉලෙයි නීලා, කඩවණු පොරොන්දුව (නව නිෂ්පාදනය) රත්තරන් කන්ද, චෙරියෝ ඩොක්ටර්, ජය ශ්‍රී වේ කුමරියේ, ජීවන් මල්ලි, සැපට දුකට සනි චිත්‍රපටවල රඟපෑවාය. ඇය වේදිකා නාට්‍ය කිහිපයක රඟපෑවාය. මල් යහනාව, සසර දුක, සීතල නදිය ඒ නාට්‍යය. එචතතඪරඪද ඉඥතමචද චිත්‍රපටයේ ඇම්. ජී. රාමචන්ද්‍රන් සමඟ ද ර්‍ථඥපඪරච ධ්ඤචබඩබඩභ ර්‍ථඥද ද්‍රවිඩ චිත්‍රපටයේ චන්ද්‍රබාබු සමඟ ද ඇය රඟපා ඇත.

ජ්‍යෙෂ්ඨ රංගනවේදී අයිරාංගනී සේරසිංහ අතින් සරසවිය රණතිසර සම්මානයෙන් පිදුම් ලැබූදා දෙපා වාරු නැති මේබල් බ්ලයිත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පැමිණියේ ඉතා වේදනාවෙන් හා බොහෝ දෙනෙකුගේ ආධාරයෙනි. නමුත් ඇය ආපසු ගියේ අලුත්ම රෝද පුටුවකින් මහත් සන්තෝසයකින් බව එදා සුනිල් හොරේෂස් සරසවියට ලියා තිබුණි.

වරක් තමා වාඩාත් කැමති බටහිර චිත්‍රපට නළුවකු වූ ටාසන් චිත්‍රපටවල රඟපෑ ලෙක්ස් බාකර් ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු හමු වී ඇගේ සමරු පොතට අත්සන ලබා ගත් ඡායාරූපයක් 'විසිතුර' පත්‍රයේ පළ වී තිබූ අතර ඒ සටහන ලියා තිබුණේ ප්‍රවීණ ඉංග්‍රීසි මාධ්‍යවේදී නොයෙල් කෲස්ය.

රන්ජිත් ඇන්ටන් සමඟ විවාහ වී සිටි මේබල් බ්ලයිත් 2004 දෙසැම්බර් 27 වෙනිදා (සුනාමි කාලේ) මිය ගියාය.

දින තුනක් තුළදී රෝගාතුරව හෘදයාබාධයකින් මිය ගිය බවත් හාවාඑළියේදීම දිනක් තුළ මිහිදන් කෙරුණ බව ඇගේ සොහොයුරු පෝල් බ්ලයිත් 'සරසවිය'ට පවසා තිබුණි. මේබල්ගේ සමීප ඥාතියකු වූ රොනී ලීච් ඇය ගැනත් ඇගේ පවුලේ තොතුරුත් වරින් වර අපට කීවේය. තව රසවත් තොරතුරු තියෙනවා යයි කියමින් සිටියදී ඔහු අකාලයේ මිය ගියේය.

ඒ. ඩී. රන්ජිත් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.