සිනමාවට නිළි රැජන ගෙනා තිස්ස

දෙසැම්බර් 9, 2018

මරදානේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ එකම පන්තියේ එකට ඉගෙන ගත් කලාවට ලැදි ශිෂ්‍යයන් හතර දෙනෙකු වූහ. බොහෝ සිසුවන් විද්‍යාව පැත්තට යොමු වුණත් මේ මිතුරෝ හතර දෙනා ගීත ගයමින් සඟරා සංස්කරණය කරමින් ඉගෙනීම් කටයුතු ද කළහ. පසු කලෙක මේ සිව් දෙනාම කලා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කලාකරුවෝ වූහ.

ඉන් කෙනෙක් ජනප්‍රිය ගායකයකු විය. 'නංගිලා මල්ලිලා ඉන්නවාදො බලා', 'පැලේ වසන රන්මලී' ඇතුළු ජනප්‍රිය ගීත ගැයූ ඔහු 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' (ජෝතිපාල සමඟ) ගැයීය. ඔහුගේ නම සිඩ්නි ආටිගලය. අනිත් කෙනා සිඩ්නි ගැයූ ඉහත කී ගීතවල ගීත රචනා කළ උපාලි අත්තනායකය. නාට්‍ය රචකයකු, නිෂ්පාදකයකු හා චිත්‍රපට නළුවෙකු හා ගීත රචකයකු විය. අනික් තැනැත්තා වූයේ පසු කලෙක 'මනමේ' නාට්‍යයේ පොතේ ගුරා වූ ශ්‍යාමෙන් ජයසිංහය. ඔහු කලක් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කොමසාරිස් ධූරය දැරූ කීර්තිමත් පරිපාලන නිලධාරියෙක් විය. සිව්වැන්නා සිනමා අධ්‍යක්ෂණයෙන් ඉහළටම ගොස් සම්මාන ලබා අනතුරුව ජාත්‍යන්තර සම්මානයෙන් ද පිදුම් ලැබූ ශ්‍රි ලංකාවේ අද සිටින ජ්‍යෙෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. සාරවිට, ගැටවරයෝ, කවුද හරි, නාරිලතා චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වූ තිස්ස ලියනසූරිය ඔහුය.

මේ සිව් දෙනා ස්විමිං පීරියඩ් එක කට් කොට පාසල ළඟම තිබූ ගාමිණී හා නිව් ඔලිම්පියා සිනමාහල්වල ප්‍රදර්ශනය කළ චිත්‍රපට බැලූහ. තිස්ස එකල ඉංග්‍රීසියට මුල් තැන දුන් ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිංහල සඟරාවක් 'පිළිරැව්' නමින් සංස්කරණය කළේය. ඔවුන්ගේ සිංහල ගුරුවරයා වූයේ පසුව ලංකා විශ්වවිද්‍යාලයේ සිංහල කථිකාචාර්යවරයකු වූ වික්ටර් හපුආරච්චි (වී. හපුආරච්චි) මහතාය.

'අපි ස්කූල් කට් කරලා චිත්‍රපට බලන බව ආරංචි වූ විදුහල්පති පීටර් පිල්ලේ පියතුමා අපි හොරෙන් යන බේරේ වැව අයිනේ තිබුණ විශාල කොන්ක්‍රිට් නලය වැහෙන්න කම්බි වැටක් ගහපු නිසා අපේ චිත්‍රපට බැලිල්ල අවසන් වුණා' තිස්ස අතීතය මතක් කරමින් කීිවේය.

තිස්සගේ පියා වූ බෙරෝනිස් පෙරේරා ලියනසූරිය මහා රෝහලේ ඕවර්සියර් කෙනෙකු ලෙස සේවය කළ අතර මව වූ ජොසී මාග්‍රට් මාපා ගෘහනියක් වූවාය. පියාගේ ගම බදුල්ල වූ අතර මව නාතතන්ඩියේ උපන් කාන්තාවක් වූවාය. තිස්ස පවුලේ බාලයා විය. වැඩිමහල් අයියා වූ නාගසේන ජයසුන්දර සේවය කළේ මහා රෝහලේය. ඉංජිනේරුවෙකු වූ චන්ද්‍රසේන ආරියපාල දෙවෙනි අයියා. තුන්වන අයියා වූයේ ගණකාධිකාරීවරයකු වූ ධනසේන ලක්ෂ්මන්ය. මිනින්දෝරුවකු වූ සිරිසේන දයාපාල හතරවැනි අයියාය. පස්වන අයියා ජිනසේන කරුණාධීර නිතිඥවරයකු විය. එකම සොහොයුරිය නීලාය.

1925 වසරේ තිස්සගේ පියා කාසල් රෝහලට පත්වීමක් ලබා පැමිණියේය. එකල කොටා රෝඩ් එක පාළු රෑ කිසිවෙකු පාරේ නොයන, හොර හතුරන්ගේ පාරාදීසයක් බව ඔහු කියයි. කාසල් රෝහලට යාබද ඉඩම තිස්ස මිලට ගෙන එහි ගෙයක් තනා ඇත.තිස්ස අද පදිංචිව සිටින්නේ කාසල් රෝහලට යාබද කොටා පාරට මුහුණ ලා ඇති නිවසේය.

'1953 වසරේ මගේ කලා ජීවිතයට පදනම වැටුණා. අපේ නිවස කිට්ටුවයි කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයා පදිංචිව හිටියේ. කඩවත බියන්විල පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු වූ පෙරේරා මහත්තයා ගුවන් විදුලියට 'ඉන්ස්පෙක්ටර් පෙරේරා' කියලා රහස් පරීක්ෂක නාට්‍ය මාලාවක් රචනා කළා. පාසල් වියේ සිටි මම පෙරේරා මහත්තයා හම්බ වෙලා ගුවන් විදුලි නාට්‍යයක රඟපෑමට මගේ ආශාවක් ඇති බව කිව්වා.

'තමුසෙට සින්දු කියන්න එහෙම පුළුවන්ද?'

'පුළුවන් සර්'

'හෙට මම උගන්වන ඉස්කෝලේ උත්සවයක් තියෙනවා. මම පිළිගැනීමේ ගීතය ලියලා තියෙන්නේ. ඒක තිස්සට කියන්න පුළුවන්ද?'

'කියලා බලමු'

පෙරේරා මට ලියලා තිබුණ ගීතය ඒ කලේ ජනප්‍රිය චිත්‍රපටයක්ව තිබූ 'සුජාතා' චිත්‍රපටයේ කේ. රාණි ගැයූ 'මන රංජන දර්ශනීය ලංකා' ගීතයේ තනුවට ලියපු එකක්. එදා මා ගැයූ ගීතයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. මිස්ටර් පෙරේරාට සතුටුයි. ඔහු මා ගුවන් විදුලියේ 'පැන පොඩි' වැඩ සටහනට සහභාගි වෙන්න අවස්ථාවක් ලබා දුන්නා. මම සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් වැඩසටහනට සහභාගි වුණාම රුපියල් තුනක් ලැබෙනවා. මා සමඟ මේ තරගයට ආනන්ද විද්‍යාලයෙන් බුද්ධදාස බෝධිනායක, නාලන්දාවෙන් ගුණරත්න අබේසේකර, දයා අබේසේකර, කොටහේනේ කුමාර විද්‍යාලයෙන් ගුණතුංග කේ. ලියනගේ, විශාඛා විද්‍යාලයෙන් සුවිනීතා කුමාරතුංග හා තවත් විදුහලක තලංගම ප්‍රේමදාසත් සහභාගි වුණා. තිස්ස ගුවන් විදුලියට දොර ඇරුණු හැටි ඉන් පසු අපට විස්තර කළේය.

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා නිෂ්පාදනය කළ 'ඉන්ස්පෙක්ටර් පෙරේරාගේ වික්‍රම' නාට්‍ය මාලාවට තිස්ස පිටපත් ලිව්වේය. එපමණක් නොව 'ළමා පිටියටත්' ලිපි සම්පාදනය කොට 'ගුවන් විදුලි රඟමඬල'ට නාට්‍යයක් ලියා එහි රඟපෑවේය. 'කවුද හොරා', 'කළු බළලා', 'වයින් වීදුරුව' වඩාත් ජනප්‍රිය වූ නාටකය. 1956 දී පමණ ලියූ මේ නාට්‍යවල ටයිප් කරනලද පිටපත් තවමත් ඔහු ළඟ සංරක්ෂණය වි ඇත.

ඒ වන විට කේ. ඒ. ඩබ්ලිව්., ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රේඛාව' චිත්‍රපටයේ දෙබස් රචනය කර තිබුණි. ලෙස්ටර් ඊළඟට සැලසුම් කර තිබූ 'සන්දේශය' චිත්‍රපටයේ ද දෙබස් රචනය කළේ ද ඔහුය. දිනක් ලෙස්ටර් කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාට කීවේ චිත්‍රපටයේ වැඩවලට සුදුසු තරුණයකු සොය දෙන ලෙසය. කේ. ඒ. ඩබ්ලිව්ට එකවරම ඔළුවට ආවේ තිස්සවය.

'අයිිසෙ තිස්ස, චිත්‍රපටයක වැඩ කරන්න කැමති නැද්ද?' දිනක් කේ. ඒ. ඩබ්ලිව්. තිස්සගෙන් ඇසුවේය.

'හොඳයි මම එන්නම්'

'හොඳයි කිව්වට දුක් විඳින්න වෙන ජොබ් එකක්'

'කමක් නෑ පෙරේරා මහත්තයා මම කැමතියි'

ලෙස්ටර් මේ ධෛර්යවන්ත තරුණයාට අත දුන්නේය. ඔහුට මුලින්ම ලැබුණේ චිත්‍රපටයේ නළු නිළියන්ගේ ඇඳුම් තෝරලා ඒවා පිළිවෙළට නවලා ගබඩා කරන්න. හුඟක් තිබුණේ පෘතුගීසි ඇඳුම්. ඒ රාජකාරිය පිළිවෙළට මම කළා. මේ අතර සංදේශයේ දෙබස් රචනා කළ කේ. ඒ. ඩබ්ලිව්. මහතාට ගුවන් විදුලියේ කටයුතු අතහැර බෙලිහුල්ඔය ඒමට නොහැකි වීම නිසා නළු නිළියන්ට දෙබස් කියාදීම හා අමතර දෙබස් ලිවීමටත් මාව යොදා ගත්තා. ඒක මට උසස්වීමක්. ඒ කාලයේ සංදේශයේ සහාය අධ්‍යක්ෂවරු දෙදෙනෙක් හිටියා. එක් කෙනෙක් 'බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි' චිත්‍රපටයේ නිෂ්පාදන අංශයට බැඳී කටයුතු කළ විජය අබේදේව. ඔහු පළමුවැනි සහාය අධ්‍යක්ෂ. දෙවෙනියා ප්‍රංශයේ සිනමාව ඉගෙගෙන ආව සුමිත්‍රා ගුණවර්ධන (පීරිස්). මගේ කටයුතු නිරීක්ෂණය කළ ලෙස්ටර් මහතා මාව 3 වන සහාය අධ්‍යක්ෂ ලෙස පත් කර ගත්තා. චිත්‍රපටයේ වැඩ අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා මට ගුවන් විදුලියේ පරීක්ෂණයකට ලියුමක් ආවා කියලා ගෙදරින් දන්වා එවා තිබුණා. මම ලෙස්ටර් මහත්තයා ගාවට කිට්ටු කරල මේ බව කියන්න හොඳ වෙලාවක් බල බලා හිටියේ.

'සර් මට රේඩියෝ සිලෝන් එකෙන් පරීක්ෂණයකට එන්න කියලා ලියුමක් ඇවිල්ලා'

'තිස්ස ඒකට යන්න. මම පරීක්ෂණයට යනකොට ගෙනියන්න මම ඔබේ දක්ෂතා ගැන කියලා සහතිකයකුත් දෙන්නම්'

මම මේ ලියුම කොපමණ වාරයක් කියෙව්ව ද කිව්වොත් ඒක මට දැනුත් කට පාඩම්.

This is to certify that Mr. Liyanasuriya has worked with me Assistant Director and dialogue supervisor on the film 'sandesaya'. On occasions he has also been called upon to write additional dialogue for the picture.
 
To all these duties he brought great enthusiasm, and directing of dialogue. He is a hard worker and has a cheerful disposition. I take the greatest pleasure in recommeding him.
'සංදේශය' චිත්‍රපටය කරන්න ගිහින් තිස්ස ලියනසූරියට වූ අපූරු අත්දැකීමක් දිලීප පෙරේරා නම් තරුණ ලේඛකයා විසින් ලියූ 'සොඳුරු සිනමා අදියුරු තිස්ස ලියනසූරිය' කෘතියේ එයි. එය විස්තර කරන්නේ තිස්ස විසින්මය.

'මේ දර්ශනය රූපගත වුණේ බෙලිහුල්ඔය නොන්ෆෙරීල් වතුයායේ ගල් ගුහාවක් ඇතුළේ තමයි ඒ සිදුවීම රූපගත කරන්න සූදානම් කරලා තිබුණේ. මේ සිද්ධිය තරමක අභියෝගාත්මක රංගනයක්. වේලාසනින්ම මම බණ්ඩාර රාළ ලෙස රඟපාන නළුවා හමු වී තරමක දිගට තිබූ දෙබස් කොටස කියෙව්වා. එයා දෙතුන් වතාවක් ඇහුම්කන් දිගෙන ඉඳලා කිව්වා 'ම් . . . දැන් ඔය ඇති' කියලා.

එහෙත් ඔහුගේ පුහුණුවීම් මගේ හිතට මදි. ඒත් ඊට පස්සෙ මම එතනින් පිට වෙලා ආවා. ලෙස්ටර් මහත්තයා 'ඇක්ෂන්' කිව්වා. බණ්ඩාර රාළට ආයෙමත් දෙබස් පැටලුණා. ඔය විදිහට හයවෙනි 'ටේක්' එකටත් ගියා. ලෙස්ටර් මහත්තයාගෙ මුහුණ රළු වුණා. දුම් පයිප්පෙ තදින් උරන ගමන් මගේ දිහා ඇස් කොනින් බැලුවා.

චිත්‍රපටයේ දෙබස් පුහුණු කරන්නා වශයෙන් නළු නිළියෝ දෙබස් වරද්දන කොට වගකීම ගන්න ඕනෑ මම. බණ්ඩාර රාළ ළඟට ගිහින් එයාට ඇහෙන්න දෙබස් ඛණ්ඩය ආයෙමත් කියෙව්වා.

'හරි, හරි ඔය හොඳටම ඇති. දැන් මම කරන්නම්'

'අවශ්‍යයි කියලා හිතෙනවා නම් තව පුරුදු කරන්නම්'

'නෑ . . නෑ . . ඕනෙ නෑ'

ලෙස්ටර් මහත්තයා ඇක්ෂන් කිව්වා. බණ්ඩාර රාළට පේළි දෙකයි කියන්න පුළුවන් වුණේ. එයාට ආයෙත් දෙබස් පැටලුණා. ඒත් එක්කම එයා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා.

'මේ දෙබස් කියයන්න පුළුවන් විදිහට නෙවෙයි ලියලා තියෙන්නෙ. වචන පැටලෙනවා'

ඒ නළුවා ඒ විදිහට කිව්වම මට ආව කේන්තිය පාලනය කර ගන්න බැරි වුණා. මගේ අතේ තිබුණ 'ජනරල් ෆයිල්' එකෙන් එයාගේ මුහුණට දමලා ගැහැව්වා. එයා අඬන්න පටන් ගත්තා.

ඒ සිද්ධියනේ පස්සේ මගේ වැඩ තහනම් කළා. දැන් මගේ කල්පනාව කොළඹ යන්න.

පහුවෙනිදා හවස මම මගේ කුටියෙන් එළියට ඇවිත් ඇවිද ඇවිද ඉන්න කොට මාව දැකලා ලෙස්ටර් මහත්තයා අත්පුඩි ගැහැව්වා.

'තිස්ස චිත්‍රපටයට පිටපතේ නැති අලුත් සිද්ධියක් එකතු කරන්න හිතලා තියෙනවා. මට දෙබස් ටිකක් ලියලා දෙන්න ඕනෑ'

'හොඳයි මම ලියලා දෙන්නම්'

'හෙට උදෙන්ම ෂූට් කරන්නෙ ඒ සීන් එක. ඒ නිසා හෙට උදේ දෙබස් ටික ඕනෑ'

එතැනින් සියල්ල නිරාකරණය වුණා.

තිස්ස සම්බන්ධ වූ මුල්ම දෙබස් රචනා කළ සන්දේශය 'බොක්ස් ඔෆීස්' වාර්තා තබමින් ලංකාවේ සිනමා ශාලාවල තිරගත විය. ඔහු ඊළඟට සම්බන්ධ වෙන්නේ සිංහල සිනමාවේ මහා පෙරළියක් කළ ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ 'රන්මුතු දූවට'ය. එහි සහාය අධ්‍යක්ෂවරයා හා දෙබස් රචකයා වූයේ තිස්සය. තමාට මසකට රුපියල් 500 ක් ලැබූ බවත්, ගාමිණී ෆොන්සේකාට රුපියල් 15,000 ක් ද ජීවරාණිට රුපියල් 10,000 ක් ගෙවූ බව තිස්ස කියයි. 1962 වසරේ මෙය විශාල මුදලකි. මුළු චිත්‍රපටයටම රුපියල් ලක්ෂ 05 ක් වියදම් වූ අතර දිය යට දර්ශන ගැනීමට මිලි මීටර් 16 යෙන් රුප ගතකොට එංගලන්තයේ ආතර් රෑන්ක් සමාගමට යවා 35 ප්‍රමාණයට විශාල කොට ඇත. චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුනෙන් දෙකකට ගාමිණී හා ෂේන් ගුණරත්න තෝරා ගත් පසු සෙසු චරිතය ඉතිරිව තිබූ බවත් ඒ සඳහා ජෝ අබේවික්‍රමගේ නම යෝජනා කරන ලද්දේ තිස්ස විසිනි. මුහුද යට මෙන්ම ත්‍රිකුණාමලේ කෝනේෂ්වරම් දේවාලය අසළ මුහුද ආශ්‍රිත දර්ශනවලදී ලැබූ අත්දැකීම් දිලීප පෙරේරා විසින් ලියූ ග්‍රන්ථයේ සඳහන් වෙයි.

'රන්මුතු දූව' වාර්තා පිට වාර්තා තබමින් ප්‍රදර්ශනය වීම නිසා තමාට ලැබුණු ධනය, බලය, ප්‍රසිද්ධිය අතහැර දැමූ අධ්‍යක්ෂක හා කැමරා ශිල්පී මයික් විල්සන් 'රන් මුතු දුව' චිත්‍රපටයේ මුල් වටයේ ආදායම ලෙස ලැබුණු මුදල් සූට්කේසය රැගෙන නිවසට පැමිණ එය විවෘත කර තමන්ට සහාය වූ සුළු සේවකයන් අමතා මුදල් උඩට වීසි කර 'Who's Want Money' යයි සතුටින් කෑ ගැසූ දිනයත් නිවසේ වහල උඩට විසිරී ගිය සල්ලි විදුලි පංකාවේ සුළඟට සී සි කඩ විසිර ගිය අතර සේවකයන් එකතු කර ගත් හැටි තිස්ස අපට විස්තර කළේය.

මයික් විල්සන් ඊළඟට 'ගැටවරයෝ' චිත්‍රපටයේ කතාව ලියා සම අධ්‍යක්ෂවරයා ලෙස තිස්සට උසස්වීමක් ලැබිණ. 'ගැටවරයෝ' හි දෙබස් ලිවීමට තිස්ස ඒ වරම කළගුණ සලකමින් තම ගුරු කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාට පැවරුවේය. මේ චිත්‍රපටයේ එක දර්ශනයක තිස්ස ජෝ අබේවික්‍රම සහ බෝට්ටු සමාගමක ආරක්ෂකයෙකු මෙන් තිස්ස රඟපෑවේ හාස්‍යජනක කෙටි චරිතයකි.

'මම රඟපෑවේ ඇස් දෙක වපර කරගෙන. පස්සෙ ජර්මන් නිෂ්පාදනයක් වූ ලංකාවේ රූප ගත කළ ටෙලි නාට්‍යයක ද්‍රවිඩ පෙරකදෝරුවෙක් හැටියට රඟපෑවා.' 'ගැටවරයෝ' චිත්‍රපටයේ මයික් හා මා සම අධ්‍යක්ෂවරු. 1964 සරසවිය සම්මාන උලෙළේදී වසරේ හොඳම අධ්‍යක්ෂ ලෙස අපි දෙන්නම සමඟ සමඟ තවත් සරසවිය සම්මාන හතක් ලැබීම ජීවිතයේ අමතක නොවන අවස්ථාවක්' තිස්ස කීවේය.

තිස්සගේ ඊළඟ පියවර තනිවම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට මයික් දෙන වරමය. මෙහි කතා තේමාව දුන්නේ ජෝ අබේවික්‍රමය.

'තිස්ස සබරගමු පෙරහැරට බුලත්විටිකාරයෙක් ගැන හොඳ චිත්‍රපටයක් හදන්න පුළුවන්'

තිස්සට කතා තේමාවට සිත ඇදී ගියේය. ජෝ අබේවික්‍රම ගුණහාමි නම් සාරවිටිකාරයාගේ චරිතයට තෝරා ගත්තේ ද එතෙක් ජෝ රඟපෑ විකට චරිතවලින් මුදාගෙන චරිතාංග නළුවකු කළේ ද තිස්සය. එවර තිස්ස 'සාරවිට' නම් ඒ චිත්‍රපටයේ තිර නාටකය හා දෙබස් ලිවීමට කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරාට පැවරුවේය. 1965 සරසවිය සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂ ලෙස තිස්සත්, හොඳම නළුළුා ලෙස ජෝ ද, හොඳම තිරනාටක රචකයා ලෙස කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා ද, හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ශේෂා පලිහක්කාරත් ඇතුළු තව සම්මාන පහක් ද දිනා ගත්තේය.

තිස්ස තනිවම අධ්‍යක්ෂණය කළ දෙවැනි චිත්‍රපටය 'පුංචි බබා' ය. මේ චිත්‍රපටයෙන් නවක චිත්‍රපට නිළියක් හඳුන්වා දීමට අදහස් කළ තිස්ස, සිසිර සේනාරත්න, සුගතදාස මාරසිංහ, ජෝ අබේවික්‍රම හා ඇන්ටන් අල්විස් එකල ජනප්‍රිය වේදිකා නාට්‍යයක්ව තිබූ 'අකල් වැස්ස' බැලීමට ගියහ. එහි රඟපෑ මාලිනී ෆොන්සේකා නම් වේදිකාවේ හොඳම නිළිය මේ සඳහා තෝරා ගැනීමට ඔවුහු තීරණය කළහ. අද ලෝකයේම හොඳම නිළියන් අතරට එක් වී සිටින මාලිනී සිනමාවේ සිය ප්‍රථම රංගනය බිහි කිරීමට තිස්ස සමත් විය.

තිස්සගේ ඊළඟ චිත්‍රපටය 'නාරිලතා'ය. දුම්රියක සිදුවන කතාවක් ඇසුරෙන් ධර්මසිරි ගමගේ ලියූ කතාවක් එවර තිස්ස අධ්‍යක්ෂණය කළේය. ඒ 1969 වසෙර්ය. 1970 වසරේ 'නාරිලතා'ට සරසවිය සම්මාන 05 ක් හිමි විය. නාරිලතා නිසා තිස්සට ශීලාතිලක ලතාවක් හමු විය. හැඳින ගැණින. විවාහ විය. නාරිලතා චිත්‍රපටයේ නිෂ්පාදක කොටහේනේ කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරික එල්. ඒ. දාවිත් සිංඤෝ මහතා හා එම මැතිනියගේ දියණියකි ඇය. මේ දෙදෙනාගේ විවාහය 1968 වසරේදී සිදු විය.

තිස්ස රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස බැඳෙන්නේ 1968 වසෙර්ය. තිස්ස එහිදී අධ්‍යක්ෂණය කළ 'කිරි' වාර්තා චිත්‍රපටය 1978 වසරේ බර්ලින් කෘෂිකාර්මික චිත්‍රපට උලෙළේ දී රටවල් 40 ක් මඟින් ඉදිරිපත් කර තිබුණු කෘෂිකාර්මික ප්‍රවෘත්ති චිත්‍රපට 100 ක් හා තරග වැදුණි. මෙම උලෙළේ දී තිස්ස ලියනසූරිය 'ස්වර්ණ ශංඛ' සම්මානය ද, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයෙන් 'ඔසරියස්' සම්මානය ද දිනාගෙන ලංකාට විශාල කීර්තියක් ලබා දුන් අතර 'මිරිස් ගෙවතු වගාව' බර්ලින් කෘෂිකාර්මික උලෙළේ ස්වර්ණ ශංඛ සම්මානයද 'රට සරු කරමු වැඩියෙන් වවමු එම උලෙළේදී 'රිදී කරළ' සම්මානය ද දිනා ගත්තේය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාසස්ථාන පිළිබඳ සම්මන්ත්‍රණය වෙනුවෙන් හැදූ 'නිවාස ප්‍රශ්නය' වාර්තා චිත්‍රපටය වැන්කූර් උලෙළට ද, 'වැල් දොඩම්' චිත්‍රපටය ස්පාඤ්ඤ්යේ සාරාගෝසා ජාත්‍යන්තර සම්මාන උලෙළ ද නියෝජනය කළ අතර ඔහු 'ක්ෂය රෝගය' - 'මසුරන් වටිනා ජලය' - 'නගරයක යළි උපත' - 'හැම පුරවැසියෙකුටම නගරය' - ' නිෂ්පාදන සටන' - 'මිරිස්' - 'රටළුනු' 'එළවළු සහ මල්' 'ජීවන ඔරු' 'සුරතුර' වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත.

තිස්ස ලියනසූරිය අධ්‍යක්ෂණය කළ එකම ටෙලි නාට්‍යය 'සිරියලතා'ය.

ලියනසූරිය යුවළගේ පුත් ප්‍රියංග ලියනසූරිය නාවික කපිතාන්වරයෙකි. දුව දිනේෂා ලියනසූරිය රූපලාවණ්‍ය ආයතනයක අධිපතිනියකි.

ලියනසූරිය මහතා හඳුනන්නේ මා පාසල් සිසුවෙකු සිටි කාලයේ සිටය. ඔහුට පෙර මා දන්නේ ලියනසූරිය මැතිනියයි. එතුමියගේ කොටහේනේ මහ ගෙදරට මා නොයෙක් වර ගොස් සංග්‍රහ ලබා ඇත. මගේ මාමා ගුණරත්න රත්නායක (චිත්‍රපට කලා අධ්‍යක්ෂ) එම පවුලේ සමීප හිතවතෙකි. මේ නිසා කුඩා කල සිටම කොටහේනේ දාවිත් සිංඤෝ මුදලාලි මහතාගේ හා එම මැතිනියගේ ආදරය ලබා ගැනීමට හැකි විය. පවුලේ පිරිමි දරුවන් වූ චන්ද්‍රසේන හා සෝමචන්ද්‍රගේ හා රෝහිතගේ මිතුරෙකු වීමට ඉඩ ප්‍රස්ථාව ලැබිණ. එම පවුලේ ප්‍රථම නිෂ්පාදනය වූ 'සීතල වතුර' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක වූ මාමාගේ සහායට පුංචි ඩැනී වූයේ මාය. තිස්ස මහතා එම පවුලට එකතු වූ පසු 'නාරිලතා' චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන කාලේ දිනක් අප නිවසට පැමිණි අවස්ථාව මට මතකය. ඒ 1968 වසරේදීය. ඔහු පැමිණියේ සරසවිය හා සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සිටි පර්සි ජයමාන්න සමඟය. තිස්ස මහතා මගේ එකල වඩාත් ප්‍රිය කළ සාරවිට හා ගැටවරයෝ චිත්‍රපටවල අධ්‍යක්ෂවරයාය. මගේ සිනමා විරයෙකි ඔහු. ඒ චිත්‍රපට හා ඔහු දෙබස් ලියූ 'රන් මුතු දූව' වැඩි වාර ගණනක් බලා මගේ පාසල් සගයන් දෙදෙනකු සමඟ ඔට්ටුවට එහි දෙබස් මුල සිට අගට පිළිවෙළට අභ්‍යාස පොතක ලියා එම ඔට්ටුව දිනූ මට පාසල් කැන්ටිමෙන් මස්කට් කෑල්ලක් හා කිරි තේ එකක සංග්‍රහය මිතුරන්ගෙන් දිනා ගත්තෙමි. මේ ඔට්ටුටවේ වටිනාකම ශත 10 කි.

තිස්ස ලියනසූරිය 1964, 1965 වසරවල සරසවිය සම්මාන උලෙළේ පිට පිට දෙවරක්ම හොඳම අධ්‍යක්ෂ ලෙස සම්මාන දිනා (ගැටවරයෝ, මයික් විල්සන් සමඟ හා සාරවිට) වාර්තාවක් තැබූ තිස්ස 2010 වසරේ එක වරක් පමණක් පිදෙන සරසවිය රණමයුර සම්මානයෙන් ද පිදුම් ලැබීය.

වසර 50 ක් සපිරි මගේ සිනමා ලේඛන ජීවිතයේ සිනමාවට සම්බන්ධ නිහතමානී, උදාර මානව දයාවෙන් යුතු වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙක් වූ ඉතා අල්ප දෙනගෙන් තිස්ස මහා සැබෑ මහත්මයෙකු ලෙස හැඳින්විය හැකිය.

ඡායාරූප පිටපත් කිරීම - ලාල් සෙනරත්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.