පූජකවරයකු වූ පසුවත් හෙබිරිස්සාවටත් ගියේ අම්මා ළඟටයි

75 විය සපිරූ බෙනඩික්ට් ජෝසෆ් පියතුමා
දෙසැම්බර් 20, 2018

 දෙවියන් වහන්සේ විවිධ පුද්ගලයන් සඳහා විවිධ තලෙන්තු ලබා දෙනසේක. මෑත කාලයේ අප දුටු පියතුමන් අතරින් බෙනඩික්ට් ජෝසෆ් පූජකතුමා කැපී පෙනෙන්නේ ඒ විශේෂ දේව කරුණාවට පාත්‍ර වූවකු ලෙස පුවත්පත, ගුවන්විදුලිය, සිනමාව සහ රූපවාහිනිය යන මාධ්‍ය සියල්ලේ දශක හතරකට ආසන්න කාලයක් දැක් වූ අපූර්ව දායකත්වය නිසාය.

පසුගිය ඉරිදාට සිය දිවිමඟේ 75 වැනි දිනුම් කණුව පසු කළ එතුමාණෝ සිය පූජකවරයේ අඩසිය වස සපුරන්නට දෙවියන් වහන්සේගේ ආශීර්වාද දීමනාව පූරණය වන ඉදිරි මාස කීපය දෙස මහත් බලාපොරොත්තු සහිතව සිටිති. සරසවිය අපි බෙනඩික්ට් ජෝසෆ් පියතුමන්ට සියලු යහපත පතමින් අනාගත බලාපොරොත්තු පිළිබඳවත් අතීත සැමරුම් පිළිබඳ මතකය අවදි කරන්නටත් උන්වහන්සේ තාවකාලිකව ලැගුම් ගෙන සිටින 'ඊව්නිං ස්ටාර් වැඩිහිටි පිය සෙවණ'ට ගොඩ වුණෙමු.

සාමාන්‍ය කමිසයකින් සහ කලිසමකින් සැරසුණු පියතුමා දෙස මා යොමු කළ විමසුම් දැස නිසාම දෝ ක්‍රියාශීලී බවේ අල්පමාත්‍ර වෙනසක් නොපෙන්වා අප කැඳවා යන අතර උන්වහන්සේ වැඩිහිටි පිය සෙවණේ සිටින්නට හේතුව විමසන්නටත් පෙරම පැවසූහ.

"මම ටික කාලෙකටයි මෙහෙ ආවේ. පුංචි තුවාලයක් කකුලේ. ස්වාමීන්වහන්සේ මට ටික දවසක් දීලා තියෙන්නේ විවේක සුවයෙන් ඉඳන් කිසිදු අප්‍රසන්න සිදුවීමකින් තොරව ජීවිතේ මෙතෙක් ආ ගමන මගේ සාර්ථකත්වයන්, පසුබෑම්, සභාවට, සමාජයට, ජනමාධ්‍යයට කළ සේවය හරියට ඉටු වුණාද, තව මගේ අතින් ඉටුවිය යුතු දේ මොනවාද කියා සිතන්න. ඒ සඳහා ශක්තිය බලය මට උන්වහන්සේගෙන් ලැබෙනවා." සිතේ දිරිය ගතේ සවිය කරගත් පියතුමා එදා මෙන්ම නොවේදැයි මට සිතිනි. බෙනඩික්ට් ජෝසෆ් පියතුමා මා මුලින්ම දුටුවේ 1989 වසරේ ඕසීඅයිසී සිනමා සම්මාන උලෙළට තාත්තා සමඟ සහභාගී වූ කුඩා දරුවකු ලෙසිනි. දෛවෝපගතව සිග්නීස් උත්තමාචාර උලෙළේ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ලෙස උන්වහන්සේ සමඟ කටයුතු කිරීමට ඉන් වසර විස්සකට පමණ පසුව මම අවස්ථාව ලදිමි. ඒ සැම විටම මෙන්ම අදත් බොහෝ සුහද කාරුණික ලීලාවෙන් සම සිතින් අප පිළිගන්නට පියතුමන්ගේ මුහුණේ රැඳී නොවෙනස් සිනාව සමත් විය. එදා මෙදා තුර තොරතුරු අපි මෙසේ කතා කළෙමු.

"මම ඉපදුණේ ගම්පහ හංවැල්ල තරාල ගම්පියසේ. තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඔහු මුදලට වෙදකම් කළ කෙනෙක් නොවේ. අම්මා මුල් කාලේ ගුරුවරියකව ඉඳලා පසුව අපි නිසා ඉවත් වුණා. මගේ අක්කත් සොයුරියක් වෙලා දයාසේවයේ කැපවුණා. ඇගේ ආදර්ශයත් මගේ මේ ගමනට බලපැවා. මට බාල සහෝදරියන් තිදෙනයි. වර්ණකුලසූරිය ආරච්චිගේ දොන් බෙනඩික්ට් ජෝසෆ් තමයි මගේ ගිහි නම. අපි හරි කෙළිදලෙන් ජීවත් වුණේ. මම කට පුරා කියන්න කැමති වැඩියෙන්ම ආදරේ අම්මාට කියලා. තාත්තා අපට දුන්නේ හොඳ පුරුෂයකුගේ ගතිගුණ. ඒ දෙන්නා කට උස්සලා එකිනෙකාට කතා කරගන්නවා අපි කවදාවත් දැකලා නැහැ.

පවුලේ නම ගෙනියන්න හිටි එකම පුතා මම වුණත් තාත්තා කීවේ දේව සේවයට කැප වෙන්න කැමැත්තක් තිබෙනවා නම් එය සරි කරන්න කියලා. එතකොට මට අවුරුදු 12ක් විතර ඇති. තරාල කතෝලික දේවස්ථානය කේන්ද්‍ර කරගෙන ඒ පාමුල පිහිටි පාසලේ අපි ඉගෙන ගනිද්දි ඒ පියවරුන්ගේ ගති ගුණ, ලැගුම්ගෙට වෙලා කාලය ගත නොකර සමාජ සේවයේ යෙදුණු හැටි, ගුරුවරුන්ගේ කැපවීම අපට මහත් ආදර්ශයක් වුණා. ඔවුන් පාසලට පැය භාගයකට කලින් එන්නේ ළමයින් ආදරෙන් පිළිගන්න. ඒ පසුබිමේදී පූර්ණකාලීනව දේව සේවයට කැපවිම ලොකුම ජයග්‍රහණය බව ඉතිහාසයේ දිදුලන චරිතවලින් අප දුටුවා. දෙව්සත්හලට ඇතුළු වුණු පසුවත් අප ගෙදර වටපිටාවෙන් ලැබුණු සුබවාදී දේ වඩාත් හොඳීන් පුහුණු කරමින් අධ්‍යාත්මිකබවට ලැදි, ක්‍රියාශීලී චර්යාවලින් පිරි චරිත ආදර්ශයට ගත්තා.

අප කුඩා කල සිටම තාත්තා කීවේත් මාර්ගෝපදේශයක් ගත හැකි බුද්ධිමතුන් හඳුනාගන්න කියලයි. පාරේ වැටුණු පත්තර කැලි පවා අහුලාගෙන විත් අපට දෙමින් තාත්තා ඉංග්‍රීසිය ජීවිතයට කාන්දු කරගත යුතු ආකාරය කියා දුන්නා. දහමට නැඹුරුව අධ්‍යාත්මයට යොමු වනවා සේම අපේ සංස්කෘතිය, භාෂාව, ගීත කලාව ආදිය පිළිබඳ අවදියෙන් ඉන්න කියාත් කීවා. ඒ සඳහා මර්සලින් ජයකොඩි පියතුමන්ගේ චිත්‍රය අප ඉදිරියට ගෙනාවා. මහාචාර්ය ඩොන් පීටර් පියතුමා ඉතිහාසඥයකු වුණත් සිංහල බස ඉගැන්වූවා. ඒ වගේම ඔස්වල්ඩ් ගෝමිස්, ඇන්ස්ලම් කෲස්, එඩ්මන්ඩ් පීරිස් වැනි පියතුමන්ලාගේ වගේම ෆ්‍රැන්ක් මාකස් රදගුරුතුමාගේ උපදෙස් සහ ගිහියන් ලෙස කේ. ෆ්‍රැන්සිස්, හෙක්ටර් වෙල්ගම්පල, නෝබට් මාවලගේ වැනි කැපී පෙනෙන චරිත අපේ ජීවිතේ මඟ හෙළි කළා.

ස්වාමිවරය ලබා මුලින්ම ගියේ ආරෝග්‍යශාලා උපාධ්‍යවරයකු ලෙස. ඒ 1971 වසරේ. එහි මාස තුනක් කටයුතු කරද්දි දෙව්සත්හලේම භාණ්ඩාගාරිකව සිට කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගත්තා. අසූතුන වසරේ බොරැල්ල ශාන්ත ඇලෝෂියස් දෙව්හලේ අප ඉගැන්වූ ක්‍රිස්තියානි ධර්මයට පෙනී සිටි ළමයින් 64 දෙනාම විශිෂ්ඨ සාමාර්ථ්‍ය ලබා ගැනීම අදටත් මතකයි. ඉන්පසු ඉගැන්වූ කෘෂිකර්මය කළ දරුවන් 8 දෙනාමත් ඒ සාමාර්ථ්‍ය ලබාගැනීම විශේෂයක්.

ඒ කාලෙම ලේක් හවුසිය, ගුවන්විදුලිය, චිත්‍රපට සංස්ථාව වගේම පසු කාලීනව රූපවාහිනිය සමඟ කටයුතු කළ නිසා අපට 70-80 යුගයේ දැවැන්තයන් ඇසුරු කරන්න වාසනාව ලැබුණා. ඒ ආයතන අප පිටස්තරයන් නොවන ලෙස පිළිගැනීම මේ ගමනට සහායක් වුණා. කතෝලික පියතුමකු ලෙස වැඩිම ගුවන්විදුලි වැඩසටහන් සංඛ්‍යාවක් කිරීම සහ රූපවාහිනී මැදිරි තුළත් එළිමහනේත් වැඩසටහන් මෙහෙයවීම ගැන සිහින් ආඩම්බරයකුත් හිතට දැනෙනවා.

1982 ශ්‍රී ලංකා කතෝලික සිනමා පර්ෂදයේ අධ්‍යක්ෂ වීමත් සමඟ බොහෝ දෙනකු සමඟ සිනමා කලාව පිළිබඳවත්, පසුව රූපවාහිනිය පිළිබඳවත් අවබෝධය ලබමින් අපට කළ හැකි සේවය ඒ මඟින් ඉටු කරන්න අවස්ථාව ලැබුණා. ලෙස්ටර් පීරිස්, නිහාල්සිංහ, ධර්මසිරි බණ්ඩාරනායක, පතිරාජ වැනි දැවැන්තයන්ගෙන් සිනමාව අකුරු කරන්නට අපට අවස්ථාව ලැබීම ඒ ගමනට හේතුවක්. පූජකවරයකු ලෙස එක් පැත්තකට යොමු නොවී බුද්ධිමත් සිනමාවක මෙහෙවර වලංගු කරමින් කාර්යක්ෂමව නිර්මාණශීලීත්වයේ දේශීය හැඩරුව ලෝකයට ගෙන යන්නට එහිදී මට දේව කරුණාව ලැබී තිබුණා. අර්නස්ට් පෝරුතොට පියතුමන්ගේ දුරදක්නා නුවණින්, මතභේද පරයමින් කළ මේ උත්තමාචාර උලෙළ ක්ෂේත්‍රයට මහත් සේවයක් බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි. මගේ ලොකුම ආශාව වුණේ මේ උලෙළ සරසවිය, ජනාධිපති සම්මාන උලළ මට්ටමට ගෙන ඒම. ඒ උරදීමෙන් විශාල මෙහෙයක් සිනමාවට කිරීමට අවස්ථාව වසර දොළහක් පුරා මට උදා වුණා. එයට මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ආචාර්ය එඩ්වින් ආරියදාස, විචාරක ගාමිණි වේරගම සේම තරුණ විනිශ්චය කරුවන්ගෙන් ලැබුණු සහාය සහ අත්දැකීම් සාධාරණ විනිශ්චයකට මඟ හෙළි කළා. සිනෙසිත් ශාස්ත්‍රීය සඟරාවේ කලාප 25ක් අපේ යුගයේදී එළි දක්වන්න ඇෂ්ලි රත්නවිභූෂණ සහ රංජනී යුවළගෙන් ලද සහාය අගය කළ යුතුයි. අප ආරම්භ කළ සිනමා පාඨමාලාවලින් ක්ෂේත්‍රයට විවිධ ශිල්පීන් එක් කරන්නත් අවස්ථාව ලැබීම මහත් සතුටක්. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව 'සිනෙබ්‍රිජස්' ඔස්සේ අන්තර්ජාතික සිනමා උලෙළ මඟින් අපේ නිර්මාණකරුවන්ට රටරටවල සිනමාව පිළිබඳ දොරගුළු විවර කරන්නටත් හැකි වුණා.

1995දී ශාන්තුවර ජුවාන් පාවුළු පාප්වහන්සේගේ මෙරට සංචාරයේ මාධ්‍ය භාරව කටයුතු කිරීමට ලැබීම අප ලද ආශීර්වාදයක්. එහිදී 'එදා මෙදා තුර' නමින් සභා ඉතිහාසයේ නිකායන් සහ කාන්තා පිරිමි දායකත්වය පිළිබඳ ග්‍රන්ථයක් සම්පාදනයට මට අවස්ථාව ලැබුණා.

දෙව්සත් හලේදී සිංහල බසට දැක්වූ උනන්දුව නිසා ඥානාර්ථ ප්‍රදීපය, දිනමිණ වැනි පුවත්පත්වලට ආධුනිකයකු ලෙස ලීවා. පසු කලෙක 1989 සිට 2002 දක්වා ඥානාර්ථ ප්‍රදීපයේ කර්තෘධුරය දැරීමට ලැබීම මගේ විශාල භාග්‍යයක්. එයට අවස්ථාව ලබාදුන්නේ එවකට කොළඹ අගරදගුරු නිකලස් මාකස් අපේ ප්‍රධාන එ‍ඬේරායි. මම ඒ කාර්යාලයට ගියේ මගේ පියකු, ගුරුවරයකු ලෙස සලකන මර්සලීන් ජයකොඩි පියතුමන්ගේ ආශීර්වාදය සහ උපදෙස් ලබාගෙනයි. හෙළ හවුලේ ක්‍රියාකාරිකයකු වූ මාහිමි මෝසෙසි පෙරේරා පියතුමන්ගේ සහායෙන් නිවැරැදි සිංහලෙන් ගීතිකා හා කන්තාරු ගායනයට පිරිස යොමු කිරීමට හැකි වීමත් සතුටක්. ඒ පියවරුන් දෙදෙනාගේ ගීත සහ නත්තල පිළිබඳ දැනුම් සම්භාරය එක් කොට ඊටම කතෝලික ජනසන්නිවේදනයේ දේශීය සහ විශ්වීය භාවිතය පිළිබඳ කරුණු රැගත් 'කතෝලික ජනසන්නිවේදනය' ග්‍රන්ථය රචනා කරන්නට අපට හැකි වුණා. චරිත කතා ලෙස 'මර්සලීන් ජයකොඩි පියතුමා සහ නත්තල් සලකුණ', 'මාහිමි මෝසෙසි පෙරේරා' කෘතිද්විත්වයත්, 'නත්තල් සිරිත' කෘතියත් ලේඛන හැකියාවේ ප්‍රතිඵල ලෙස ගන්නට පුළුවන්. එවකට කතානායකව සිටි විජමු ලොකුබණ්ඩාර කෘතවේදීව සිහි කළ යුතතේ පාර්ලිමේන්තුවේ අති උත්කර්ශවත් අන්දමින් අපට නත්තල් උත්සවය පවත්වන්නට කටයුතු සම්පාදනය පිළිබඳවයි.

අසූව දශකයේ වෙරිටාස් ගුවන්විදුලිය නිවැරැදි සත්‍ය තොරතුරු වාර්තාකරණයේ ප්‍රමුඛයා බවට පත් කරන්න හැකි වීම අපට ලොකු සැනසීමක්. ඒ වගේම ජනවාරි 26 අගරදගුරු ප්‍රධානත්වයෙන් පවත්වන මාධ්‍යකරුවන්ගේ හමුව ක්ෂේත්‍රයේ මහත් සුහදත්වයක් ඇති කරන්නට හේතු වූ බව බොහෝ දෙනා පැවසුවා.

අවුරුදු 16ක් කළ මීසම් සේවය මේ වසරේ ජූනි මාසයෙන් අප අවසන් කළා. කාදිනල් උන්නාන්සේ උපදෙස් දුන්නා නිදහසේ සිටිමින් මෙහෙවර කරන්න කියා. ආචාර්ය ප්ලැසිඩස් ද සිල්වා පියතුමා මගේ මාධ්‍ය මෙහෙවර හඳුනන නිසා ඇක්වයිනාස් ආයතනයේ මාධ්‍ය අංශය බාරව මෙහෙවර කරන්න ආරාධනා කළා. ගුවන්විදුලි මැදිරියක් තනා එහි පාඨමාලා ආරම්භ කළා. තොරතුරු තාක්ෂණ අංශය බාර ආචාර්ය සුසිත් මාක්ස් සිල්වා සමඟ ඒ ඔස්සේත් යම් මෙහෙවරක් කරමින් යනවා.

අම්මා ඉන්න කාලේ නම් පූජකයකු වෙලත් හෙම්බිරිස්සාවටත් අම්මා තුරුලට දිව්වා. ඒ මොහොතේ අම්මාගේ සෙනෙහෙස මගේ පපුවට පංකාවක් වගේ. මගේ හිතේ තිබෙන ලොකුම සිතිවිල්ල නංගිලාට තරම් අම්මලා ගැන මට බලන්න බැරි වුණ එකයි. ඒ අතින් මගේ ඇසුර වැඩිපුර අම්මාට දෙන්න නොලැබීම ගැන මම සුසුම් හෙළනවා. තාත්තා වගේම මගේ අම්මාත් සරල ජීවන මඟක ගිය, තියෙන දේ බෙදා හදාගත් නියම අම්මා කෙනෙක්. මගේ ජීවිතය එතරම් කලබලකාරී නොවන්න එක හේතුවක් මගේ මව්පියන්. වයසට යද්දි කෙනකුට හිතෙන්න පුළුවන් අපේ කාලේ අවසන් දැන් අපි අවලංගු කාසි වගේ කියලා. ඒත් මට තවමත් විවිධ අවස්ථාවන්ට සහභාගීවන්න ආරාධනා ලැබෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ කටයුතුවල තව කාලයක් නිරත වන්න තිබෙනවා. මට තව කළ හැකි දේ බොහෝයි. ඒ සේවය ඉෂ්ට කිරීම තමයි මගේ එකම අභිලාශය."

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.