කලා නිකේතනය සොයා කුණ්ඩසාලේ ගියෙමු

පෙබරවාරි 14, 2019

ගිනි ගහන අව්කූටකේ වාහන යන කොට ඇවිස්සෙන දූවිලිවලින් නාස්පුඬු ඇඹරෙනවා වගේ. හිතත් නිකන් පාළු අම්බලමක් වෙලා. ඒ අව් කූටකේ කඩි ගුලක් වගේ ඒ මේ අත දුවන මිනිස්සු එලොව මෙලොව නැතිව මොබයිල් ෆෝන්වල මුහුණු ඔබා ගත්තු ගමන් ඉන්නේ. යන්නේ කොහාටද කියලා වගේ වගක් නැති ජීවිත. මුහුණුවල එක එක බලාපොරොත්තු. මේ කටුක පරිසරයෙන් අස්වැසිල්ලකට මිදෙන්න ඇත්නම් එය අප්‍රමාණ සැනසිල්ලක්. මේ අයුරින් අප කතාබහක යෙදී සිටින විට දුරකතන ඇමතුමකින් සරසවිය ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්නට ආරාධනාවක් ලැබිණි. ඒ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කුණ්ඩසාලේ සංස්කෘතික මධ්‍යස්ථානයට යන්න. ආරාධනය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගෙන්. අපව රැගෙන ගියේ එහි නිලධාරිනී ඉන්ද්‍රානිය.පී.විජේගුණවර්ධන.

කටුගස්තොට කුණ්ඩසාලේ මාර්ගයේ ගමන් ගන්නා අපට මාර්ග උපදේශනයත් පෙර ගමන්කරුවාත් වන්නේ ජංගම දුරකථනයයි. අතුරු පාරකට වැටෙන අපි ඒ ඔස්සේ රයිපල් බලකා පටු මාර්ගය ඔස්සේ පිවිසෙන්නෙමු. අපට නැගෙනහිරෙන් සුන්දර නකල්ස් කඳු වැටියත් ගිණිකොනින් ජාත්‍යන්තර පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයත් දිස් වන්නේය. ඒ මේ පටු මාර්ගයේ ඉදිරියට ඇදෙන නිමේෂයෙනි. එහි කළු පාට යකඩ ගේට්ටුවකි. ඉන් එහා පරිසරයට අපි එයින් ඇතුළු වීමු. අරුම පුදුමයකි. විශාල එළිමහන් රංග පීඨයකි. ඉන් එහා සුවිසල් ගොඩනැගිලි සමූහයකි. තාප්පයෙන් වට මේ බිම සම්ප්‍රදායික සංස්කෘතික මධ්‍යස්ථානයකැයි අප මනසේ මැවුණු රුව ඉක්මනින් අපූරු චමත්කාර ජනක දසුනක් බවට පත් විය. කෙසේ නමුත් අප ගිය පසු එහි පැමිණි කාර්ය මණ්ඩලයේ ඉරුගල් බංඩාර අපට එතැන් පටන් මෙහි ඇති සියලු දේ අකුරෙන් අකුරට විස්තරාත්මකව පහදා දුන්නා.

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් කුණ්ඩසාලේ ජාතික කලා නිකේතනයක් ඉදි කිරීම සඳහා පිඹුරු පත් සැකසූවේ 2011 වසෙර්ය. ඒ අතර විශේෂයෙන්ම පුරෝගාමිකත්වය දැක්වූයේ ජීවිතයෙන් සමුගත් හිටපු සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විජිත් කණුගල මහතාය.

පසුගිය වසරේ ජූනි මස 02 වැනි දින ජාතික කලාව උදෙසා මෙම නිකේතනය විවෘත කරන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාලේ දකුණු ග්‍රාම නිලධාරි වසමේ අක්කර 05 ක් පමණ වන භූමි භාගයක මෙම අගනා මෙහෙවර උදෙසා කැප කොට ඇත.

හිටපු මාණ්ඩලික නිලධාරී ඩබ්ලිව්. රාජපක්ෂ මහතාගේ අනුශාසකත්වය ඇතිව ආරම්භ කළ මෙම නිකේතනයේ නැවුම් අංගෝපාංග රැසකි. ඒ අතර වැඩහලක් සහිත නිවහන්, ප්‍රධාන ශාලාව, පුස්තකාලය හා සංරක්ෂණාගාරය, ශබ්දාගාරය, එළිමහන් රඟහල, පුහුණු ශාලා, අලෙවි ප්‍රදර්ශනාගාරය, භෝජනාගාරය, පර්යේෂණ නිවාස, නිවාඩු බංගලාව, විදේශිකයක් සඳහා නිවාස, කාර්යාලය, ගබඩා කාමරය, අභ්‍යන්තර මාර්ගය, ප්‍රභූ නේවාසිකාගාරය, කලාකරු නේවාසිකාගාරය, පුහුණු ශාලාවන්, විදුලි කාමරය, වරකට එක් ශාලාවක පනහ බැගින් සිය දෙනෙකුට නවාතැන් ගත හැකි සියලු පහසුකම් සපිරි කාන්තා හා පිරිමි නේවාසිකාගාරයන් ආදී වූ අංගෝපාංග රැසකින් සමන්විතය.

හෙළ කලාවන් හා සංස්කෘතික පෝෂණය වෙනුවෙන් කළ හැකි සියලුම කලා නිර්මාණයන් මෙහිදී සිදු කළ හැකිය. දේශීිය, විදේශීය කලා නිර්මාණකරුවන්ට, පර්යේෂකයන්ට, ගත් කතුවරයන්ට මෙන්ම නානාවිධ නිර්මාණයන්හි නිරතවීමට අපේක්ෂා කරන සියලු කලාකරුවන්ට සිය කලාවන් පෝෂණය කර ගැනීමට මෙහි සියලු භෞතික හා තාක්ෂණික මෙන්ම බුද්ධිමය සම්පතින් පූර්ණව පවතී. සාහිත්‍ය කුසලතා ඇසුරෙන් පර්යේෂණ සිදු කිරීම නව පර්යේෂණ බිහි කිරීම හා පුරාතන නිර්මාණ නැවත කියවා ඒවායේ හර පද්ධතීන් තේරුම් ගනිමින් තවදුරටත් කාලීන සමාජ, දේශපාලන, සංස්කෘතික අවශ්‍යතා අනුව මෙහි නිර්මාණ සිදු කළ හැකිය. ඒ සියල්ලට වඩා සිනමා පාසලකට සුදුසු තැනක් නැතැයි මෙරට සංස්කෘතියේ බලධාරීන් පවසද්දී ඒ සඳහා සුදුසු නේවාසිකාගාර සහිත කදිම පරිසරයක් එහි තිබෙනු සංචාරය කරද්දී අපට වැටහිණි.

කලා කටයුතුවලට අමතරව දෙස් විදෙස් සංචාරකයන්ට, විවාහ මංගල්‍යයන් වෙනුවෙන් සුවිශේෂී දර්ශන තලයන් වෙනුවෙන් ආදී වශයෙන් මෙම අතිශය රමණීය භූමි භාගයේ පිහිටි භෞතික සම්පත් භාවිත කළ හැකිය. සංචාරකයන්ට නේවාසික පහසුකම් වෙනුවෙන් වෙන් කරවා ගත හැකිය. මෙම කලා නිකේතනයේ කාර්යය සාධනය උදෙසා 9 දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිටී. වසන්ත බංඩාර, ඉරුගල් බංඩාර, මහේෂිකා ධනපාල, නදීශානි කුමාරි, ඉරෝෂන් සංජීව, දිල්ෂාන් කාවින්ද වික්‍රමසිංහ, ගයාන් බුද්ධික, එස්. ඒ. ජයකොඩි, ඉන්ද්‍රා අමරනි ඒ අතර වෙති.

ඉතා කදිම හා මනරම් භූමි භාගයක ඉදි කළ මේ ජාතික කලා නිකේතනය භෞතික, තාක්ෂණික හා මානව ආදී සියලු සම්පත් හා සසඳා බැලු කළ මෙහි චිත්‍රාගාරයක් හා සිනමා හලක්, අභ්‍යන්තර රංග ශාලාවක් ඉදි වූවා නම් ශ්‍රී ලංකාවට අඩුපාඩුවක් පවතින සිනමා අධ්‍යයන පාසැලකට තිබූ හිඩැස ද පූර්ණ වනු ඇත.

මෙම කලා නිකේතනය නැරඹීමට හෝ තම කලා කටයුතු වෙනුවෙන් හෝ වෙනත් පුහුණු සැසි, සම්මන්ත්‍රණ සඳහා භාවිත කිරීමට ඔබට අවැසි නම් ඒ සඳහා 0112882592 හෝ 0812420007 ඇමතිය හැකිය

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.