විදුහල්පතිට ලියුමක් ලියා සොයාගත් හඳ නැන්දා

පෙබරවාරි 14, 2019

යුග පුරුෂයකුට බිරියකව

මා වරක් පැවසූ පරිදිම යුග පුරුෂයන් සෙවණේ යුග ස්ත්‍රීන් ද වෙසෙන බව රහසක් නොවේ. ඉන් සමහර ඇත්තියෝ නිහඬව තම යුග සේවයේ යෙදෙන්නාහ. තවත් සමහරු වෘත්තියෙන්ම හඬ නඟන්නාහ. ගුවන්විදුලියේ හඳ මාමා වැඩසටහනට අඛණ්ඩව වසර 57ක් පුරා සහභාගී වන සහ එයට සවන් දෙන දූ පුතුන්ගේත් ඔවුන්ගේ මව්පියන්ගේත් යුගය බිහිකළ හඳ නැන්දා නැතහොත් සුමනා නැන්දා කේ. ජයතිලක නම් වූ යුග පුරුෂයන් සෙවණේ සිටි යුග ස්ත්‍රිය ලෙස නම් කළ හැක්කේ ඒ හඬ නිසාය. අප මේ යන්නේ ඇය හමුවන්නටය. නාවල පාරේ හතරවන පටුමඟේ නිවෙස ඉදිරියේ අපේ රිය නතර වෙයි. මම ඇයට බොහෝ දෙනා අමතන නාමයෙන් ඇමතුමක් ගෙන අසමි.

"සුමනා නැන්දා, අපි නම් ටිකක් කලින් ආවා?"

සුපුරුදු සුහද ආමන්ත්‍රණයයි. "ආ.. මුතූ මමත් රෙකෝඩින් කලින් ඉවර වුණ නිසා ආවා. ගේට්ටුව ඇරගෙන එන්න."

අප දකින්නේ රෝස පැහැති ඔසරියකින් සැරසී සිටින සුමනා ජයතිලක මහත්මියයි. මහන්සියක සේයාවක් වත රැඳී ඇත. මම යෝජනා කරමි. "අපි හිමින් කතා කරමු. මහන්සිත් ඇතිනේ"

"මොන මහන්සියක්ද? මට ඉතින් පුරුදු වැඩේනේ." ඇය තාරුණ්‍යයේ ජවයක් ආරූඪ කරගත්තා මෙනි.

"හඳ මාමා තමයි වර්ල්ඩ් රෙකෝඩ් එකකට ගිහින් තියෙන්නේ අවුරුදු 57ක් එක්කෙනෙක් කරපු එකම වැඩසටහන හැටියට මං හිතන්නේ. 1963 දෙසැම්බර් 14 තමයි මුල්ම වැඩසටහන ප්‍රචාරය වුණේ. එදා මෙදා තුර මම කොහේ ගියත් අදාළ වැඩසටහන පටිගත කරලා තියලා තමයි යන්නේ. පහුගිය දවස්වල මම රට ගිය වෙලාවේත් කොටස් ටික වෙන වෙනම අවශ්‍ය උපදෙසුත් එක්ක රෙකෝඩ් කරලා තියලා තමයි ගියේ. එතකොට නිෂ්පාදකට පහසුයි ඉතිරි ටික කරගෙන යන්න මම ඉන්නවා වගේම. මම ඉක්මනින් ආවේ නිදහස් උත්සවේ තිබුණ නිසා. සාමාන්‍යයෙන් හඳමාමා වැඩසටහනේ සිරිතක් තමයි හැම මාසෙම විශේෂත්වයක් දරන දේවල් ගැන කතා කරන එක. ජනේරුවට මිහිඳු පෙරහැර, පෙබරවාරියට නිදහස වගේ. ඒකට අපි පාසලක් තෝරගෙන ගීත අලුතෙන් ලියන්න, විනාඩි පහක විතර නාට්‍යයක්, ඒ හැම එකක්ම ඓතිහාසික පසුබිමක් සහිතව අපේ අනන්‍යතාව අභිමානය මතුකරන්න පුළුවන් විදිහට තමයි හදන්න කියලා උපදෙස් දෙන්නේ අපි."

"ඒ තමයි ජීවිතේ වගකීම නේද?"

"වගකීම කියන්නේ... මම උයද්දි වුණත් මාළුවට අදාළ ජාති ටික හරියට තියාගන්නවා. කවුරු කොහොම මට කැගැහුවත් ඔන්න ඕක අතැරලා දාලා නිකං ඉන්න කියලා, මට කොච්චර අසනීප ගතියක් දැනුණත් මට හිතෙනවා අනේ මගේ වගකීමක් නේද මේ. ළමයි දහ දෙනෙක් කීවොත් අනේ අද හඳ මාමා වැඩසටහන නෑනෙ කියලා මගේ හිතට කොයි තරම් දුකක්ද? ඒ ළමයි කොච්චර අපේක්ෂාභංගත්වයට පත්වෙයිද? අනෙක ඉතින් අපි ළමයින්ට දෙන දායාදය ඔච්චරනේ. විශ්වාසය, අම්මගෙ තාත්තගේ ආදරය. ඒවායින් තමයි දරුවෙක් හරියට හැදෙන්නේ"

"අද ළමයින්ට අඩුත් ඒකනේ නේද" කියමින් මම කොණ්ඩය මුදුන් කර ගන්නා ගමන් "ඩාදියයි. අහසෙ වලාකුළු බර නිසා වෙන්ඩැති" කියන්නේ අවසර ගන්නට මෙනි. "කමන්නෑ. තමුන්ගෙ ගෙදර කියලා හිතාගෙන නිදහසේ ඉන්ඩ." ඇය මව්වත් බවින් කතා කරන්නේ දශක හයකට ආසන්න කාලයක් තමන්ගේත් අනුන්ගේත් දරුවන් සමඟ කටයුතු කර ඇති පුරුද්ද නිසා විය යුතු යැයි සිත මට කියයි. අවසන අපි මාතෘකාවට එළැඹෙමු.

"මම මාස දෙකක් තිස්සේ හොයන්නේ?" මම චෝදනාවකට සමාන හඬින් කියමි.

"මම ගියා තුන්මුනුපුරන් බලන්න නිව්සීලන්ඩ්. අපේ පළමුවෙනි මුනුපුරයි එයාගේ නෝනයි එහෙ ආවා නිව්යෝක්වලින් ටිකක් එහා සියැටල්වල ඉඳන් බබාලා දෙන්නත් අරගෙන මට පෙන්නන්න." ඇය බොහෝ සතුටිනි. මමත් නිශ්ශංකත් ඒ චූට්ටන්ගේ විස්තර අසමින් සතුටු වෙමු.

"ඔය සතුටට මුල පිරුණු හැටි මතකද?" මගේ මුල පිරීමයි.

"මම මියුසියස් පුහුණුවීම් පාසලේ ජ්‍යෙෂ්ඨ පන්තියේ ඉද්දි අපේ ටීචර්ස්ල ට්‍රිප් එකක් යන්න ලැස්ති වුණා. ඒකට ළමයින් පස්දෙනකු තෝරගෙන අරගෙන යන්න ඒ අය කල්පනා කළා. දෙන්නෙක් නොමිලේ. ඒකට තුණ්ඩු දැම්මා. අනේ... මම තේරුණේ නැහැ. ඉතින් එහෙනම් මම තාත්තට කියලා බලන්නම් සල්ලි දෙයිද කියලා මම කීවා. ඒ දවස්වල මට කීවේ පුණ්‍යා කියලා. මගේ නම පුණ්‍යවතී. ඒ පාර ටීචර්ස්ලා කීවා නෑ කමක් නෑ අපි පුණ්‍යාවත් නොමිලේ එක්කගෙන යමු කියලා. ඒක දෛවය."

"ඉස්කෝලෙ කැපී පෙනෙන ශිෂ්‍යාවක් වෙන්නැති ඒ කාලෙ?"

"ඔව්. ඒ දවස්වල කොළඹ තරුණ බෞද්ධ සංගමේ තිබුණා, ජන ගී, ගම්බද ගී, කවි ගායනා තරග. මම කණිෂ්ඨ තරගෙන් රිදී පදක්කම දිනුවා. දෙවැනි අවුරුද්දේ ජ්‍යෙෂ්ඨ තරගයෙන් රන් පදක්කම දිනුවා. ඒ තරගෙ පිරිමි අංශෙන් දිනුවේ ලලිත් එස්. මෛත්‍රීපාල. ජයතිලක මහත්තයාගේ මුණගැහිල්ලට පස්සෙත් තිබුණා නගර සභාවේ ලොකු කවි ගායනා තරගයක් එදා වයස 17 ඉවරයි 18යි කියලා පළමු වතාවට ඔසරිය ඇඳලා ගියේ. එදා 'දිනමිණ කුසලානය' දිනුවා."

"ඉතින් අර දෛවයේ ලියැවුණු ගමන මොකද වුණේ?"

"ආ... ගමන ගියේ නාගදිපෙට. එදා ජයතිලක මහත්මයා ආවෙ ට්‍රේනිං කොලේජ් එකේ ටීචර් කෙනෙක්ගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගේ යාළුවා හැටියට."

"ඒ කියන්නෙ ශිෂ්‍යයෙක්ද ජයතිලක මහත්තයා?"

"අපෝ ශිෂ්‍යයෙක් නෙවෙයි. එයා මට වැඩිය අවුරුදු 10ක් විතර වැඩිමල්. පොත් මුකුත් ලියලත් නැහැ. එයා ඒ දවස්වල ලන්ඩන් විද්‍යාලය කියලා තැපැල් මාර්ගික අධ්‍යාපන ආයතනය භාරව හිටියෙ. ඉතින් අපි සින්දු කිය කිය එහෙම ගියේ. යාපෙන් මිදි අරගෙන අනෙක් අයට එක මල්ලක් දීලා මට වෙනම එක් දුන්නා. මමත් ඉතින් බොහොම ස්තුතියි කියලා අරගත්තා."

"යාපනේ මිදි ඇඹුලයි නේද?"

"එදා මිදි පැණි රසයි" ඇය සිනාසෙයි. මට එය වැටහුණේ මොහොතකට පසුවය. සිනා සාගරයකි.

"ඉතින් ඊට පස්සෙ"

"සතියකින් විතර ප්‍රින්සිපල්ට ලියුමක් එනවා අපේ තාත්තට ඇඩ්‍රස් කරලා. ප්‍රින්සිපල් තාත්තට එන්න කීවා. මම ඉතින් වරදක් කරලත් නෑනෙ. මම පණිවිඩේ කීවා. ප්‍රින්ස්පල් එයාවවත් තාත්තවත් විශේෂයෙන් අඳුනන්නෙ නෑ. මම ඇහුවම මොකටද කියලා ඉස්කෝලෙ වැඩ වගයකට කියලා තාත්තත් නිකං හිටියා. මල්ලි දැකලා තියෙනවා තාත්තගෙ සාක්කුවෙ මේ ලියුම. ඒකෙ තිබිලා තියෙන්නෙ මං ගැන හැඟීමක් ඇතිවුණාය. ඒත් ඒ බව මගේ අධ්‍යාපන කටයුතු ඉවර වනතුරු අඟවන්න එපාය. ඉගෙනීමෙන් පස්සෙ ඒ කටයුතු කරන්න හිතාගෙන ඉන්නවාය. ඒ පිළිබඳ කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා තාත්තගෙන් ඉල්ලලා.

"පස්සෙ දවසක් අපි සෙල්ලම් කරද්දි මහත්තයා එනවා මොකක්ද නමක් කියාගෙන යාළුවෙක් හොයන්න කියලා. අපි හිටියෙ ඉස්කෝලෙ ළඟම. අපි කීවා එහෙම කෙනෙක් දන්නෙ නෑ වෙන කාගෙන් හරි අහල බලන්න කියලා. ඒ ඇවිත් තියෙන්නෙ බොරුවට. එදා ආපහු ටිකක් දුර ගිහින් අපේ ගෙදර ආවා. වාඩි වෙලා ඇහුවා කොහොමද විභාග කටයුතු එහෙම කියලා. මල්ලිට කීවා එයාගේ අර ආයතනය පැත්තේ එන්න කියලත්. ඊට කලින් දවසකත් මම ආත්තම්මත් එක්ක ගමනක් යන්න එළියට බහිද්දි අලුත්ම මොරිස් මයිනර් කාර් එකක් ඇවිත් එකපාරට නැවැත්තුවා අපි ළඟ. බලද්දි එයා. මේ කොහෙද යන්නෙ, මෙහෙද ඉන්නෙ කියලා අහල ගියා. එයා අලුතින්ම අරගත්ත වාහනේ තමයි ඒ ඇවිත් තියෙන්නෙ. කොහෙද යන්නේ මම ගිහින් දාන්නම් කීවා. අපි එපා කියලා පයින් ගියා. ඒ කාලේ එහෙම යන්න එපා කියල අපට කියලා දීලා තියෙනවානේ. දෛවය තමයි ඒ. ඉතින් මල්ලිට එන්න කියලා එක්කගෙන ගිය තැන ලිපිනය තමයි ලියමනේ තිබුණේ කියලා මල්ලි තාත්තට කීවා. ලන්ඩන් විද්‍යාලයෙන් විභාගෙට යන ළමයින්ට දෙන ප්‍රශ්න පත්‍ර අරවා මේවා මිටියක් මට මෙයා ගෙනැල්ලත් දුන්නා. මේ අතර අපේ මාමා කෙනෙකුත් මා ගැන හිතේ තියාගෙන ඉඳලා. නැකමට මාමා වුණාට තරුණ එක්කෙනෙක්."

"කතාවේ දුෂ්ටයෙකුත් ඉන්නවා එහෙනම්?" මම අඩුව පුරවමි.

"ඔව්. ඔව්. පොඩි කතාබහකුත් ගිහින් තාත්තා කීවා උඹලට දෙන්න මෙහෙ ගැනු නැහැ කියලා. එතකොට ටිකක් ෆයිට් එකට වගෙත් ආවා. පස්සේ තාත්තයි ආත්තම්මයි එකතුවෙලා ඉක්මනින් ජයතිලක මහත්තයට බන්දලා දුන්නා. මට අවුරුදු පහේදි හතරවෙනි මල්ලි ලැබෙන්න ගිහින් මගේ අම්මා නැති වෙලා නිසා ඒ අත්තම්මා තමයි මාව බලා ගත්තේ. අපේ පවුලේ තුන්දෙනයි. මමයි මල්ලියි නංගියි. තාත්තා වෙන කසාදයක්වත් නොකර අපිව බලාගෙන හිටියා. 1954 මැයි 24 තමයි අපේ උත්සවේ ගත්තේ කොළඹ තරුණ බෞද්ධ සංගම් ශාලාවේ. ඒ වෙද්දි නාවල පරණ පාරේ ගෙයක් අරගෙන බඩු මූට්ටු දාලා අපිටම හදලයි තිබුණේ."

"ෂා... හරි පිළිවෙළයි නේද?" මට කියැවේ.

"ඔව් හරි පිළිවෙළට සැලසුම් කරලා ඔක්කොම වැඩ. මම කර්ට්න් මහලා එහෙම දැම්මා."

"මැහුම් ගෙතුම් වැඩත් පුළුවන් ඒ කියන්නේ?"

"ඔව් ඔව්. මම ඉස්කෝලේ විභාගෙට මැහුම් කරලා විශිෂ්ට සාමාර්ථ්‍යයක් තියෙනවා. මගේ මංගල ඇඳුම් පවා මමයි මහගත්තේ. අදටත් මම අඳීන සාරි හැට්ට මහගන්නෙත් මම."

"ලොකු පුතා හම්බුණේ?"

"ඒ 55 අවුරුද්දෙ. ඒ කාලෙම වගේ අපේ කොළඹ උසාවිය ගාව තිබුණු ලන්ඩන් කොලෙජ් එක හොරු බින්දා. විවාහ වුණ දවස්වලමයි 'පරාජිතයෝ' නවකතාව ලියලා පළ කළේ. ඒක තමයි ලිවීමේ ආරම්භය. එයා ලිය ලිය හිටිය කවි පොතක් තිබුණා වියෝ දසුන කියලා. ඒකෙ අත්පිටපත එහෙ මෙහෙ වෙලා තිබිලා පස්සෙ කාලෙක මුද්‍රණය කළා. කොළඹ සාංචිආරච්චි පාරේ දෙමහල් නිවෙසක අවුරුදු 12ක් පදිංචි වෙලා හිටියා. අපි ආයෙ නාවල ගෙදරට එන්න හදනකොට කට්ටිය කීවා අවුරුදු 12ක් හිටියාම ඕගොල්ලන්ට ගේ අයිතිවෙනවා කියලා. ඒ පාර ජයතිලක මහත්තයා කීවා අපට අයිතිවෙන්න දෙයක් තියෙනවා නම් අයිති වෙයි. අනුන්ගේ දේවල් ඕනෙ නැහැ කියලා. එදා ඉඳන් තමයි මේ ගෙදරට ආවේ. ඒ වෙද්දි අපට හතර වෙනියත් හම්බෙලා. 55 පෙබරවාරි මගේ ලොකු පුතා, දෙවෙනි දුව 56 අප්‍රේල්, 58 ඔක්තෝබර් තුන්වැනි දුව, හැටතුනේ ජූනි මගේ හතරවෙනි පුතා හම්බුණේ. මාර්ටින් වික්‍රමසිංහ ජෝඩුවත් ආවා අපේ බේබිව බලන්න. මහත්තයගෙ ලොකු සම්බන්ධයක් තිබුණා වික්‍රමසිංහ මහත්තයා එක්ක. ඒ ගොල්ලෝ හිටියේ කිරිමණ්ඩල මාවතේනේ. බේබි ඉපදිලා ටික කාලෙකින් තමයි මම හඳමාමා වැඩසටහන පටන් ගත්තේ."

"එතකොට පුණ්‍යවතී, සුමනා වුණේ?"

"මගේ උපන් වෙලාවට අනුව හොඳ අකුර බලලා නම දාලා තියෙන්නේ නානායක්කාරගේ පුණ්‍යවතී කුරේ කියලා. මට තැගි හම්බුණෙත් ඒ නමට. විභාගෙට යන්න ගිහින් බලද්දි උප්පැන්නේ තියෙන්නේ සුමනාවතී කියලා. ඒ නම තමයි අන්තිමට සුමනා ජයතිලක වුණේ."

"ගුවන් විදුලියට ගියේ?"

"මම රස්සාවක් කළේ නැහැ. නිකං ගුවන්විදුලියේ නාට්‍ය, කවි වැඩසටහන්වලට සහභාගී වෙලා එනවා. ඒ කාලේ ඔඩිෂන් පාස් වෙන්න හරි අමාරුයි. දැන් වගේ ඇඳුණුම්කම්වලට එහෙම දෙන්නේ නැනේ. ආත්තම්මා තමයි මාව අරගෙන ඒ දේවල්වලට ගිහින් හෙවණැල්ල වගේ හිටියේ."

"ජයතිලක මහත්තයා ඒ වැඩවලට මොකද කීවේ?"

"පුංචි කාලේ අත්තම්මා ගෙනිච්චා වගේම බැන්දට පස්සේ ජයතිලක මහත්තයා හරි කැමැත්තෙන් මාව එක්කන් යනවා, එනවා. එයාත් රස්සාවක් කළේ නැනෙ. ලියන එක තමයි කළේ. කොහොම හරි තුන්වැනියා ඉපදුණාට අවුරුදු පහකට විතර පස්සේ තමයි පොඩි පුතා ඉපදුණේ. ඒ කාලෙ මම හරී ඔතැනි විදිහට අකර්මණ්‍ය වෙලා ඉඳලා තියෙනවා. මට සින්දු කියන්න නටන්න එහෙමත් පුළුවන්, නාට්‍ය බලන්න ආසයි වගේ දේවල් නිසා අර ගතිය මඟ හැරෙන්න කියලා සරච්චන්ද්‍ර මහත්තයයි, ගුණසේන ගලප්පත්ති මහත්තයයි, පී. වැලිකල මහත්තයයි එක්ක කතා කරලා මාව එහෙ එක්කගෙන ගියා. හඬ පරීක්ෂණ කරලා මාව සම්බන්ධ කරගත්තා. මම මනමේ, සඳ කිඳුරු, කුණ්ඩලකේශී අත්වැල් ගායනය කළා. පළමුවරට සංස්කෘත නාට්‍ය සිංහලෙන් කරපු අවස්ථාව වන රත්නාවලී සහ මැටි කරත්තයේ රඟපැවා. පබාවතී නාට්‍යයේ වගේම සරච්චන්ද්‍ර මහත්තයාගෙ පොතකින් ගලප්පත්ති මහත්තයා කළා මඟුල් ප්‍රස්ථාව. මමයි, හෙන්රි ජයසේනයි, දයානන්ද ගුණවර්ධනයි ඒකේ රඟපැවේ. දවසක වෙනස තමයි මගේ පළමුවෙනි වේදිකා නාට්‍යය. මූදු පුත්තු මුල්ම නිෂ්පාදනයේ සෝමලතා සුබසිංහගේ මවගේ චරිතය කළේ මම. අන්තිමට 67 සහන නිවේදිකාවක් වුණා. බීම් එකක එනවුන්ස් කරන්න ගියේ එදායින් පස්සේ. එතන ඉඳන් තමයි ඉල්ලුම්පත්‍රයක් දාලා ස්ථිර රැකියාවක් ලෙස නිෂ්පාදිකා, සංවිධායිකාවක්, පාලකවරියක්, අවසානයට සිංහල සේවා අතිරේක අධ්‍යක්ෂ ළමා හා කාන්තා හැටියට විශ්‍රාම ගියේ."

"ඒ කියන්නෙ හඳ නැන්දා වෙනකොට..." ඇය ඉතිරිය පුරවයි.

"අම්මා කෙනෙක්. හඳ නැන්දා වුණේ හඳ මාමා සංකල්පයත් එක්ක ගැළපෙන්නේ නැන්දා නිසායි. කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මාමා තමයි නම යෝජනා කළේ. සහභාගී වන දරුවන්ට දුවේ පුතේ කියලා කතා කරනවාට අදත් දරුවො කැමතියි. මම එයාලගෙන් අහනවා නම කියන්නද දුව හරි පුතා හරි කියන්නද කියලා. ඔය සංකල්ප අපෙන් ඇතට යන හින්දා තමයි අද මේ ඔක්කොම ප්‍රශ්න." ඇය දරුවන් පිළිබඳ විග්‍රහ කරන්නේ විශාල අත්දැකීම් රැසක් සහිතවය.

"ඔය සියල්ල කරද්දි ජයතිලක මහත්තයාගෙන් විරෝධයක් ආවේ නැද්ද?"

"කවදාවත් මම කරන දේකට තහංචි දැම්මෙ නැහැ. හැබැයි පොඩි අකමැත්තක් තිබුණා අපේ දරුවො ලොකු වෙද්දි ඒ අයව දාලා නාට්‍ය එක්ක, පටිගත කිරීම් සඳහා දුර යද්දි නම්. පුළුවන් තරම් ඒවා අඩු කරගන්න කීවා දරුවන්ගෙන් ඇත්වෙන්න එපා කීවා. හතරදෙනාගේ අධ්‍යාපන කටයුතුවලදි වුණත් මම කළේ ඒ අයට බාහිර පහසුකම්, පොත්පත්, ඇඳුම් වගේ දේවල් සපයන එක විතරයි. අධ්‍යාපන කටයුතු සියල්ල බැලුවේ තාත්තා. දරුවන් හැදුවෙත් හරි චාමෙට. දවසක් මම දූලා දෙන්නට ලස්සන සමනල්ලු මහලා ෆ්ලෙයාඩ් සාය අන්දලා කීවා තාත්තගෙන් ගිහින් අහන්න ලස්සනද කියලා. තාත්තා කියනවා ලස්සන නම් තමයි ඒත් හොඳට ඉගෙනගෙන ලොක්කො වෙලා ඉගිළීගෙන ආවනම් වඩාත් ලස්සනයි කියලා. ඒ හතරදෙනාම ඉහළටම ඉගෙන ගත්තා. දුවලා දෙන්න විශාඛාවටයි පුත්තු දෙන්නා රාජකීය විද්‍යාලයටයි ගෙනාවේ ගෙනිච්චෙ ඒ වගේම විශ්වවිද්‍යාලයට යනකනුත් තාත්තම තමයි."

ඒ අතර දුරකථනය නාද වෙයි. ඒ ලොකු පුතාය. ඔහු විමසන්නේ අම්මා තනිවම ගෙදර සිටින්නේද කියා බව ඇය අපට කියයි. දූදරු මාපිය සබඳතාව මනාව සුරැකීමේ පින ජයතිලක මහත්මියට පළ දෙන්නේ ඒ අයුරිනි. ඇය මහත් සතුටිනි. මොහොතකින් මම අසමි.

"නිර්මාණ කටයුතුවලදි?"

"මොකක්හරි එයාගෙන් අහගන්නකොට ඒක බලලා කවදාවත් හොඳ නැහැ කියන්නේ නැහැ. හොඳයි ඒත් තව චුට්ටක් මෙන්න මෙහෙම වෙනස් වුණොත් තවත් හොඳ වෙයි කියලා හිතෙනවා කියනවා. සමහරවිට අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටපු හින්දා වෙන්න ඇති. ඒ වගේම එයාගෙ පොතක් හරි නිර්මාණයක් හරි කවදාවත් ලියන ගමන් අපට පෙන්වන්නේ නැහැ. ඒක උසාවිය ගාව කන්තෝරුවෙදි ලියලා හිමින් අච්චු ගහලා ගෙනත් මේසේ උඩ තියලා තියනවා. මම අහනවා හානේ තවත් අලුත් පොතක් නේද? නිකංවත් කිව්වෙ නැනේ කියලා. එතකොට 'ඕක කිව්වනම් ගහන්න හම්බෙන්නැ.' කියනවා."

"ඒ මොකද ඒ?"

"එයා කියන්නේ මඟදි බලලා මොනවා හරි කීවොත් ඒක ආයෙ ලියන්න හිතෙන්නේ නැහැලු. එයාගේ නිර්මාණයක්, සංකල්පයක් මට වෙනස් කරන්නත් බැනේ. නිතර මොනවා හරි කල්පනා කරමින් ඉන්නෙ. අනෙක් හොඳම වැඩේ තමයි ගෙදර පොත් අස්කරලා තියන්න බැහැ. අඩු ගානේ මේසෙවත් අස්කරනවාට කැමති නැහැ. හැම තැනම ඇඳ උඩද, සාලෙද, මෙසේද පුටු උඩද එයා තියපු විදිහට පොත් තියෙන්න ඕනා. අපි ඒවා බලනවා නම් ආපහු තියන්න ඕනත් අර ඇඳඋඩ වගේ තිබ්බ තැනමයි. පොත් නැව්වොත් එහෙම නම් ඉවරයි."

"සුමනා නැන්දාට ඒවා අවුලක් වුණේ නැද්ද?"

"මට අවුලක් කරගෙන බැහැනේ. එතන අවුල කළොත් තමයි පවුල් අවුල් වෙන්නේ. ඒකට එකඟ වුණාම තමයි සාර්ථක වෙන්නෙ. අපේ සිරිතක් තිබුණා මාස තුනකට විතර සැරයක් නිවාඩුවට යනවා දරුවොත් එක්ක ඇත පළාත්වලට ට්‍රිප්. දවස් දෙකතුන ඉඳලයි එන්නේ. ඒ ගමන් හරි ප්‍රයෝජනයි. ළමයින් එයාගේ කණ්ණිමහර ගමටත් ආදරේ වුණා. ඒ නිසා තමයි නැති වෙන්න අවුරුදු හයකට විතර කලින් මහගෙදර පුස්තකාලයක් ආරම්භ කරන්නත් පුළුවන් වුණේ. අදත් ඒ පුස්තකාලය සාර්ථකව කරගෙන යනවා. 1500ක් විතර අදටත් සාමාජිකයන් ඉන්නවා. පර්යේෂණ කරන අයට වෙනම රෙෆරන්ස් කොටසක් තියෙනවා."

"ඉතින් කවදාවත්ම බහින්බස් වීමක් වෙලා නැද්ද?"

"තදින් නම් නැහැ. එකම දේ එයාට ඔය ජ්‍යෝතිෂය, වෙලාවල් බැලිලි, හොල්මන් වගේ ඒවා තුට්ටුවකට විශ්වාස නැහැ. බෞද්ධ දර්ශනයටම තමයි කැමති. දර්ශනවාදය අසබඩින් පොත ලිව්වෙත් ඒකනෙ. ඒත් මම දරුවන්ගෙ විවාහ මංගල උත්සව වගේ ඒවායෙදි නැකත් බැලුවා. අනෙක් පැත්තේ අයගේ විශ්වාසත් බලන්න එපැයි. හැබැයි එතකොට මොනවත් කීවෙත් නැහැ. මම වාද කරන්න යන්නෙ නැහැ. මොකද මට හිතෙනවානේ මට වඩා දන්නවා කියලා. මම ඉවසීමේ පාඩම ඉගෙන ගත්තේ මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනා ප්‍රේමා වික්‍රමසිංහ එක්ක වැඩසටහනක් කරද්දි අහපු ප්‍රශ්නෙකින්මයි. පුත්තු ගොඩාක් ඉන්නවානේ ඒ දෙන්නට. මෙච්චර පුත්තුයි වික්‍රමසිංහ මහත්තයාගේ වැඩයි එක්ක කොහොමද දේවල් කරගෙන ගියේ කියලා. එයා කීවේ 'ඔය හැම එකකටම සුමනෝ ගැහැනු හැටියට අපි පළමු තැන ඉවසීමට දුන්නොත් හැමදේම ජයගන්න පුළුවන්' කියලා."

"ජයතිලක මහත්තයා කැමති දේවල් එහෙම විශේෂයක් තිබුණද?"

"පැණි රසට වැඩිය කැමති නෑ. ඒත් වැලිතලපවලට තමයි හරිම ආසා. ගමේ ගියාම කොස් පොළොස්, වැටකොළු, කිරිබත් වගේම රොටි පිට්ටු කන්නත් ආසයි. එයා ආණ්ඩුවේ රස්සාවකට නොගියේ කාටවත් දීනවෙලා ඉන්නේ මොකටද කියලා. ඒ වගේම වික්‍රමසිංහ මහත්තයා පවා පොත් මුද්‍රණාලයක් අරගෙන කරන්න කියපු වෙලේ කීවේ අනේ මට ඔය මුදලාලිකෙනෙක් වෙන්න නම් බෑ කියලා. ඒ නිසා අදත් මම ප්‍රශ්නෙකට මැදිහත් වෙලා ඉන්නෙ. සමහර විකිණෙන්නැති පොත්වල පාඩුව පිරිමහන්නේ වැඩියෙන් විකිණෙන පොත් දාලා. තව, එයත් එක්ක එළියට යද්දි ලුංගි එහෙම ඇන්දොත් එපා කියන්නෙ නෑ ඒත් මොකක්ද ඔය ඇඳන් ඉන්නේ කියලා අහනවා. වඩාත් කැමති ඔසරිය අඳීනවාට. අනෙක තමයි දක්ෂ ළමයෙක් අහුවුණොත් හරියට උදව් කරනවා. මටත් ඒ ආභාසය තමයි ලැබුණේ, හතුරෙක්ගෙ වුණත් ළමයා දක්ෂ නම් උදව් කරන්න. ඒ නිසා තමයි පිටරටවලදි පවා මට හඳමාමාට සහභාගි වුණු ළමයින්ගෙ ළමයින් හමුවන්නේ. ඒක හරි සතුටක්. අනෙක හරිම නිහතමානියි ජයතිලක මහත්තයා."

මට කේ ජයතිලක මහත්මා සමඟ කළ පුවත්පත් සාකච්ඡා සිහිවෙයි. ඉහළ උසාවියට යන පාරට මුහුණලා පිහිටි ඔහුගේ පුස්තක රාජධානියේ සිහසුන ඉදිරිපිට ඉඳගන්නා මගෙන් සාකච්ඡාව අවසානයේ ඔහු අසන්නේ මගේ කුඩා පුස්තකාලය ගැනය. ඉන් පසු හෙමිහිට නැඟිට ගොස් පොතක් දෙකක් ගෙනැවිත් එහි අත්සන් කර පුස්තකාලයට කියමින් පරිත්‍යාග කරයි. ඒ සිතිවිල්ලෙන් මා මුදන්නේ සුමනා ජයතිලක මහත්මිය අපට දීමට කේ. ජයතිලක මහතා අවසානයේ ලියා-නොලියා ගිය පොත සොයද්දීය.

"මතක සහ සිතුවිලි එයාට ලියලා ඉවර කරගන්න බැරි වුණා. මම ලියපු ටික එකතු කරලා මහාචාර්ය ඒ.වී. සුරවීරට කියලා ප්‍රස්තාවනාවක් ලියලා තමයි මුද්‍රණය කළේ, අවුරුදු තුනකට විතර කලින්." ඇය සුසුමක් පිට කරයි. දැන් අවුරුදු හතක්නේ එයා ගිහින්. මම නොවිමසාම ඇය කියයි. "එයා ලෙඩ වුණාම මම හිටියට හිටියද මතක නැහැ. රොබෝ කෙනෙක් වගේ වැඩ කරගෙන ගියා. ඉස්පිරිතාලෙට ඇවිදගෙන ගිය කෙනානේ. මූත්‍රා පිට නොවුණේ හෘදය වස්තුවේ අමාරුවකට කියලනේ බෙහෙත් කළේ. අන්තිමට වුණ දේ. මම නම් කියන්නේ මාව නම් කිසිම වෙලාවක ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට මිස ගෙනියන්න එපා කියලා. අපි ඉතින් අවසන් වනතුරු පුළුවන් හැමදේම කළා. අන්තිමට මම මුකුත් නැති හිස් කාන්තාවක් වගේ දැනුණා. අදත් මට හිතාගන්න බැහැ අවුරුදු 58ක් අපි එකට හිටියා. මේ සැරේ අපේ පවුලම එකතු වුණ වෙලාවේ මම සංකල්පයකුත් ලීවා. ඒත් හිතුණා අත්තා හිටිය නම් කියලා. මගේ පාළුව දුක අමතක කරන්නේ වැඩ කරලා. එයා ගැන මට තියෙන්නේ ලොකු ගෞරවයක්. යුග නෙවෙයි එයා කල්පාන්තය තෙක්ම පුරුෂයෙක්. මට දැන් එයා වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ, මගේ පරම යුතුකම එයා ලියපු දේවල් සංරක්ෂණයයි මුද්‍රණය කරන එකයි විතරයි. මගේ ජීවිතේ එක බලාපොරොත්තුවයි තියෙන්නේ. ඒ මගේ අවසන් හුස්ම හෙළන මොහොතක මගේ ළඟ ඉන්න කවුරුහරි මට කියන්න හඳ මාමා වැඩසටහනින් රටේ දරුවන්ට ඔබ කළ සේවයේ පිනම ඇති ඔබට නිවන් දකින්න කියලා."

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.